වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සම්බුද්ධ පූජාව

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
පැපිලියානේ සුනේත්‍රා මහාදේවි පරිවේධිපති,

ආචාර්ය මැදගොඩ අභයතිස්සහිමි

බුද්ධ පූජාව වර්තමානයෙහි ශාස්තෘ ගෞරවයෙන් සිදු කරනු ලබන ඉතා ජනපි‍්‍රය හා ආකර්ෂණීය ආගමික අංගයක් ලෙස ව්‍යාප්තව ඇත්තෙකි. මෙය ආමිසයෙන් මෙන්ම ප්‍රතිපත්තියෙන්ද තථාගතයන් වහන්සේ පිදීම වශයෙන්ද දෙයාකාරයකින් දැකිය හැකිය. ඇතැමෙක් ආමිසයට වඩාත් නැඹුරු බව දක්වමින් මලින්, දුමින් බුදුරදුන් පිදීම හෙළා දකින අතර ප්‍රතිපත්තියම බුද්ධ පූජාව වන බව දක්වතත් චිරාගතව එන බුද්ධ පූජා ඇබෑසිය නිරන්තරයෙන් මතුවී පෙනෙන වඩාත් ජනකාන්ත බුද්ධ පූජාව ලෙස එබඳු විචිත්‍රවත් බුද්ධ පුජාව තහවුරු වී ඇත. මෙම ලිපියේ අරමුණ බුද්ධ පූජා සංකල්පයේ ආරම්භය හා එයට ත්‍රිපිටකය තුළ කෙතෙක් සම්භාවිතව ඇතිදැයි සොයා යාමයි.
මේ පිළිබඳව එන ඉතා වැදගත් සාකච්ඡාවක් මිළින්දපඤ්හයේ බුද්ධ පූජා පඤ්හ නමින් එයි. එහි මිළිඳු රජු නාගසේන හිමියන්ගෙන් විමසා සිටින්නේ “පූජේථ නං පුජනීයස්ස ධාතුං එවං කරා සග්ගමිතො ගමිස්සථාති” යන ප්‍රකාශයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ එන “අබ්‍යාවටා තුම්හෙ ආනන්ද හොථ තථාගතස්ස සරීරපූජාය” යන්නත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් නොවන්නේද යනුවෙනි. මෙයට පිළිතුරු සපයන නාගසේන හිමියන් පවසන්නේ ගිහියන් විසින් තථාගත පුජාව සිදුකිරීම බුදුරදුන් බැහැර නොකළ බවත් පැවිද්දන්ට ඒ සඳහා ව්‍යාවෘත වීමට වඩා ආර්ය ධර්මයේ යෙදීම වඩාත් අර්ථ සම්පන්න බව බුදුහිමියන් මෙහිලා පැහැදිලි කළ බවයි. නිදසුනක් දක්වන නාගසේන හිමියෝ ක්ෂති‍්‍රය දරුවෝ කඩු, දුණු ශිල්ප ආදි රාජ්‍ය පාලනයට වැදගත් විෂයයන් හදාරහතත් සෙසු වෛශ්‍ය ශුද්‍රාදී විෂයයන් හදාරතත් සෙසු වෛශ්‍ය ශුද්‍රාදී දරුවෝ ගොවිතැන ගවපාලනය ආදි ශිල්ප හුරුකරන්නාක් මෙන් භික්ෂූන් විසින් වඩාත් යෝග්‍ය වන්නේ තථාගත ශරීර පූජාවෙහි නියැලීම නොව ධර්ම චර්යාවෙහි යෙදීම බව මෙයින් අවධාරණය කළා මිස බුදුන් පිදීම මෙමගින් ප්‍රතික්ෂේප නොවන බව එහිලා අවධාරණය කොට ඇත.
සංයුක්ත අටුවාවෙහි “සම්මාදිට්ඨිං පන උපනිස්සාය බුද්ධ පුජං දීපමාලං මහා ධම්මසවනං අප්පතිට්ඨිතෙ දිසාභාගෙ චෙතියට්ඨපනානි එවමාදිනි පුඤ්ඤානි කරොන්ති “ යනුවෙන් සම්මාදිට්ඨිය නිසා බුද්ධපූජා පහන් පූජා ධර්මශ්‍රවණය නොපිහිටි ප්‍රදේශයන්හි චෛත්‍යාදිය ඉදිකිරීම ආදි පින්කම් කරන්නාහු යැයි දක්වා ඒවා බුද්ධ පූජාවක් ලෙස හඳුන්වා ඇත. මෙමගින් සම්මාදිට්ඨිකයාගේ ක්‍රියාවක් ලෙස බුද්ධ පූජාව අවධාරණය කෙරෙයි. බුද්ධ පූජාව බෝධිසත්වයන් වහන්සේ විසින් පවා සිදුරකරන ලද්දක් බව දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලබන අවස්ථාවෙහි අප බෝසතාණන් වහන්සේ මඩෙහි වැතිරී බුදුරදුන් වෙත කළ උතුම් පූජාවෙන්ද ප්‍රකට වෙයි.
අපදානයේ පදුම පුජකථෙරාපදානයෙහි බුදුරදුන් විෂයෙහි පියුමක් පිදූ පිනින් ලද උසස් ආනිශංස පිළිබඳව උත්කර්ශවත්ව වර්ණනා කෙරයි.
එකන වුතිතො කප්පෙ – යං පුප්ඵමභිරොපයිං 
දුග්ගතිං නාභිජානාමි – බුද්ධපුජායිදං ඵලං
එක පඤ්ඤාස කප්පම්හි 
රාජා ආසිං ජලුත්තමො 
සත්තරතන සම්පන්නො 
චක්කවත්ති මහබිබලො
යනුවෙන් බුදුරදුන්ට මල්පූජාවක් කිරීමෙන් අනු එක් කපක් දුගතියක නොවැටුණු බවත් පනස් එක් කපක් සක්විති රජ වූ බවත් දක්වා ඇත. පඤ්ච හත්ථීය ථෙරාපදානයද පියුම් පිදු තෙරනමකගේ අපදානයකි. පදුමචිඡදනීය ථෙරාපදානයේ දැක්වෙන්නේ විපස්සි බුදුරදුන්ගේ චිතකයට මලින් කළ උපහාරයක ආනිශංසයි. සින්ධූ නදී තෙර සක්වා ලිහිණියෙක්ව සිටි කාලයෙහි විපස්සි බුදුරදුන්ට හැල්වී පිදූ පිනින්ද ඉසුරු පිළිබඳව පච්චාගමණිය ථෙරාපදානයේ විස්තරයක් එයි. සුමන ථෙරාපදානය සිඛී බුදුරදුන්ට සමන්මල් පිදීමේ අනුසස් දැක්වෙන ප්‍රවෘත්තියකි. මීට අමතර පුප්ඵචං ගොටිය ථෙරගාථා, පදුම පුප්පිය ථෙර ගාථා, ගන්ධමාලිය ථෙරගාථා මහාපරිවාරක ථෙරාපදාන, සුවණ්ණ පුප්ඵය ථෙරාපදාන ගන්ධොදකිය ථෙරාපදාන ගණ්ඨිපුප්ථිය ථෙරාපදාන, චන්දන පුජක ථෙරාපදාන, වටංසකිය ථෙරපදාන බන්ධූජීවක ථෙරාපදාන ආදි සියල්ලක්ම බුද්ධ පූජාවේ ආනිශංසයෙන් තමා ලද ලෞකික ලෝකෝත්තර සුවයන් පිළිබඳ ව්‍යාඛානයන්ය.
පුණ්ණාගපුප්පිය ථෙරාපදානයේ එන්නේ වනයේ වැද්දෙක්ව සිට පුන්නාග මල් පුදා බුදුන් සිහිකර ගංගාවැල්ලේ ථූපයක් කර පුජා කිරීමෙන් ලද ආනිශංසයි. මිනිසුන් නැති වනයක පිරිනිවි ආනන්ද බුදුරදුන්ට චිතකයක් කොට ආදාහනය කිරීමේ ආනිශංස දක්වන කථාවකි. චිතක පුජක ථෙරගාථාව එසේම තමන් දිය කුකුළෙක්ව සිටි අවධියෙහි තිරිසන් ගතව සිටියද, බුදුරදුන්ට මල් රොන් පිදීමේ ආනිශංසයෙන් ලද උසස් ඉසුරු ලාභය පිළිබඳ නලින කෙසරිය ථෙරාපදානයෙන් හෙළිවෙයි.
බුදුන් දෙසු බණ පදයක් තාපසයෙක්ව සිට අසා හිත පහදවා ලද උසස් ආනිශංස පිළිබඳ සද්දසඤ්ඤකථෙරාපදානයෙන් හෙළිවෙයි. මීට අමතරව මණිපූජකථෙරාපදානය, එක සඤ්ඤාකථෙරාපදානය ආදියද තථාගත පූජාවන්හිම ආනිශංස කථාවන් ප්‍රකාශිත අපදානයන්ය. චිත්තප්‍රසාදය හේතුවෙන් ඒ ඒ මිනිස් තිරිසන් ආදීන් ලද උසස් තත්වයන් පිළිබඳ කතා පුවත් මේ සියල්ලෙහිම අන්තර්ගතය.
බුදුරදුන්ට දක්ෂිණෝදකය පිළිගැන්වූ කෙණෙහිම තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් දිග පළල යොදුන් සියයක් උස සප්තරතනමය නාරිගණ සපිරි දෙව් විමනක් පහළ වු පුවතක් ධම්මපදට්ඨ කථාවෙහි නන්දිය තෙරුන්ගේ කථාවෙහි දැක්වෙයි. එය මනුලොවදි බුද්ධ පූජාව සිදු කිරීමටත් පෙරාතුවම එහි ආනිශංස දෙව්ලොව සැකසුණූ බව දක්වන අසිරිමත් ප්‍රවෘත්තියකි.
කාශ්‍යප බුදුරදුන් වෙත අතිප්‍රසන්න අසරණයෙක් වු මහදුගියා බුදුරදුන්ට සැදැහැයෙන් දුන් දානයෙහි ආනිශංසයෙන් එදිනම සිටු තනතුරක් ලද අයුරු ධම්මදිට්ඨ කථාවෙහි වර්ණිතය. ලකුණ්ඨක භද්දිය කථාපුවතද බුද්ධ පූජාවෙහි පිනක් බුද්ධ පූජාවක් අවම කිරීමෙන්ද අකුසලයක් දක්වන විචිත්‍රවත් ප්‍රවෘත්තියකි. නන්දාරාම වනයෙහි කොවුලෙක්ව සිටි ඵුස්ස බුදුරදුන්ට මී අඹ පිදු පිනිත් ඉතා මිහිරි කටහඬක් ලැබීමත් කාශ්‍යප බුදුරදුන්ගේ ධාතු චෛත්‍යයක් අපේක්ෂිත ප්‍රමාණයට ඉදි නොකොට සත් යොදුන යොදුනකට කුඩා කිරීමේ හේතුවෙන් මිටි ශරීරයක් ඇතිව ඉපදීමත් පිළිබඳව එහි තොරතුරු එයි. මෙහි විශේෂයෙන් අවධාරණය වන්නේ බුද්ධ පූජාව අවම කිරීම විශාල පව්කමක් ලෙසය.
අප ගෞතම බුදුරදුන්ට උවටැන් කළ තිරිසන් ගත චරිතයකි. පාරිලෙය්‍ය ඇතු එම තිරිසන් අත්බවේ සිටි නමුත් බුදුරදුන් වෙත ඇතිකරගත් චිත්තප්‍රසාදයේ අනුහසින් පාරිලෙය්‍ය ඇතු දෙව්ලොව දිව්‍ය පුත්‍රයෙකුව උපන් පුවත උදාන පාලියෙන් හමුවෙයි.
විසුද්ධි මග්ගයේ පඤ්ඤාභූමි නිද්දේසය “තාත තවත්ථාය බුද්ධපුජා කරීයති” චිත්තං පසාදෙහි යනුවෙන් මරණාසන්න අයෙකුගේ චුතිය සකස් කිරීමට බුද්ධපූජා ආනිශංස සිහිකිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. එහිදි චෙතෝප්‍රසාදය හේතුවෙන් සත්වයා සුගතියට යන බව පෙන්වා දෙයි. මට්ටකුණ්ඩලී තරුණයාද මරණාසන්නයේදි බිත්තියෙහි වැටුණු බුදුරදුන්ගේ ඡායාව දෙස බලා සිත පහදවා ගෙන දෙව්ලොව උපන් ප්‍රවෘත්තිය මෙහිලා සිහියට නැගෙයි.
බුද්ධ පුජාව සද්ධාවේ පමණට මිස ආමිසයේ පමණට ආනිශංස නොදෙනේනකි. සුප්පවාසාව සසුනට ඉතාම ප්‍රසාදයට පත්ව සිටි කාන්තාවකි. ගැබ් මුලාව සිටි අවස්ථාවේ ස්වාමියා ලවා තමන් වෙනුවෙන් බුදුන් වහන්සේට වඳින ලෙස ස්වාමියා පිටත් කොට හරියි . බුදුන් වහන්සේ එහිදී සුවසේ දරුවා ප්‍රසූත කරාවායි ආශිර්වාද කරති. එයින් සුවසේ දරුවා බිහිකරයි. සුප්පවාසාවටම සම්බන්ධ වු බුද්ධප්‍රමුඛ මහා දානයක් දන්දුන් දායකයෙක් පිළිබඳවද විස්තරයක් එයි. සුප්පවාසා ඉතා දුක් විඳ දරුවා ප්‍රසූත කර බුදුරදුන්ට දින හතක් පන්සියයක් භික්ෂූන් වහන්සේ සමඟ දානයක් දීමට තීරණය කරයි. එයට ආරාධනය සිදු කරන විටත් මුගලන් හිමියන්ගේ සමීප දායකයකුගේ ආරාධනයක් බුදුහිමියන් භාර ගෙනය. සුප්පවාසාවගේ අවශ්‍යතාව තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ මුගලන් හිමියන්ට පවසනුයේ තමන්ගේ දායකයාට හැකිනම් දින හතකින් පසු සියදානය දීමට කැමැති කරවා ගන්නා ලෙසත් මෙම අවස්ථාව සුප්පවාසාවට ලබාදෙන ලෙසත්ය. මුගලන් හිමි දායකයා සොයා යන අතර ඔහු පවසන්නේ තමන්ට දානයද දන්දිය හැකි වෙතත් දින හතේ කාලය තුළ සිය ධනය,ජීවිතය, සද්ධාව යන කරුණු පවත්වා ගැනීමේ හැකියාව පවතීද යන සංසය දුරු කරන්නේ නම් ඒ සඳහා සුදානම් බවයි. මෙහිදී මුගලන් හිමියන් පවසන්නේ පළමු කරුණුූ දෙකටම තමන්ට ඇප විය හැකි වෙතත් තෙවැන්න එනම් සද්ධාවට තමාට ඇප විය නොහැකි බවයි. කෙසේ වෙතත් ඇයට දානයට අවස්ථාව ඔහු විසින් ලබා දුන් අතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම බුද්ධ පුජාවක් අන්සතු කළ අවස්ථාවක් ලෙස මෙම ප්‍රවෘත්තිය වැදගත් වෙයි. මීට අමතරව බුදුරජාණන් වහන්සේ යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔවුන් තමාට උපස්ථාන කරන්නේ යැයි දේශනා කිරීමෙන් ගිලානෝපස්ථානයද බුද්ධ පූජාවක් ලෙස පැහැදිලි කොට ඇත.
බුදුරදුන්ට කරන පුජාව මහා නිසංස දෙන උසස් ක්‍රියාවක්ද වන්නා සේම උන්වහන්සේට කරන අවමානයද අකුසලයකි.එවන් බොහෝ චරිත කථා ත්‍රිපිටකය පුරාවට එයි. දෙව්දත් තෙර මාගන්ධියා සුප්පබුද්ධ රජු, චිඤ්ඤමානවිකා ආදීහු බුදුරදුන්ට අවමන් කොට දුගතියෙහි වැටුණාහ. වරක් ඡත්ත්‍යානි උපාසකයා බුදුරදුන් අසල ඉඳගෙන බණ අසයි. රජු එම අවස්ථාවෙහි එහි පැමිණියත් ඔහු නොනැගිටින්නේ තථාගතයන් වහන්සේ ඉදිරියෙහි රජුට නැගිටීම බුදුරදුන්ට කරන අවමානයක් ලෙස සිතාය. එහෙත් මෙහිදී රජු කිපීමට පත්වෙයි. බුදුරදුන් මේ පිළිබඳව දැන රජු අවවාද කරන සිද්ධියක් ජාතක අටුවාවෙහි මහාසාර ජාතකයට සම්බන්ධව එයි.
තථාගත පුජාවෙහි වැදගත්කම හෙළිකරන සුත්‍රයක් ලෙස අපගේ අවධානයට දක්ඛිණාවිභංග සූත්‍රය වෙතට යොමුවෙයි. එහිදී පුද්ගලික දාන 14 කින් පෙන්වාදි ඇත. තථාගතයන් වහන්සේට දුන් දානයේ සිට තිරිසන් සතෙකුට කරන දානයක් දක්වා ආනිශංස මෙහි පෙන්වාදී ඇත. තිරිස නෙකුට දුන් දානයෙහි ආනිශංස සියක් ගුණයක් වේ නම් පෘථග්ජන දුස්සීලයෙකුට දුන් දානයේ ආනිශංස දහස් ගුණයකි. මෙසේ පෘථග්ජන සිල්වතා මාර්ගඵලලාභී පුද්ගලයා ආදි වශයෙන් පැමිණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා සිදු කරනු ලබන පූජාවක ආනිශංස පෙන්වා දෙනුයේ කොපන වාදො තථාගතො අරහං සම්මා සම්බුද්ධො “ යනුවෙනි. යමෙක් වසර සියයක් වනයක ගිනි පිදුවත් බුද්ධාදී උතුමෙක් විෂයෙහි මොහොතක් පුද සත්කාර කරන්නේ නම් එය වසර සියයක ගිනි පුදට වඩා ආනිශංස දායක බව ධම්මපදයෙහි පෙන්වා දෙයි.
මෙහිදී සිල්වතා දුසිල්වතාට දෙන දානයට දායක පරිශුදධියෙන් පිරිසුදු වන බවත් දුසිල්වතා සිල්වතාට දෙන දානය ප්‍රතිග්‍රාහක පාරිශුද්ධියෙන් පිරිසුදු වන බවත්, දුසිල්වතා දුසිල්වතාට දෙන දානය ඵල රහිත වන බවත් සිල්වතා සිල්වතාට දෙන දානය මහත්ඵල බවත් වීතරාගී පුද්ගලයා වීතරාගී පුද්ගලයෙකුට දෙන දානයන් අතර උසස්ම දානය බවත් දක්වා ඇත.
ඉහතින් දක්වන ලද්දේ ආමිසයේ ආනිශංස වෙතත් සියලු ආමිසයන් පරදවා ප්‍රතිපත්තිය මහත්ඵල වන්නේ සසර සැප ලැබීම නොව නිවන්සැප ලැබීම යන උත්කෘෂ්ඨ ප්‍රතිඵලයට සාපේක්ෂය.යමෙකුට පුජාදි ආනිශංස හේතුවෙන් දිව්‍ය බ්‍රහ්මාදි සැප ලද හැකි වෙතත් ඒවා තාවකාලිකය. එවැන්නෙකුට පවා පසු කලෙක භවදෝෂයන් හේතුවෙන් දුගතියකට පවා ඉපදීමට සිදුවිය හැකිය. එබැවින් සක්විති සැපයට දෙව්ලොව උපතට වඩා සෝවාන්ඵලය උතුම්ය. මාර්ගඵල නිවන් පිණිස වන්නේ ප්‍රතිපත්තිය මිස ආමිසය නොවේ. නිවන් මඟ හෙළිකළ තථාගතයන් වහන්සේට මතු නොව තමන්ට තථාගතයන් වහන්සේ වෙතට මඟ පෙන්වු අස්සජි හිමියන්ට පවා දිනපතා අගසව් සැරියුත් හිමියන් වැඳ නමස්කාර කළ බව සඳහන් වන බැවින් කළ යුත්තේ ආමිසය හෙළා දැකීම නොව බුද්ධ පූජාදී පින්කම්හි නිරත වන්නාසේම ආධ්‍යාත්ම ගවේෂණය විෂයෙහි වෙර දැරීමයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X