වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පින් පල නෙළාගත හැකි උතුම් පින් කෙත

ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

පිළිවෙත් සරු මහ සඟ රුවනෙහි ගුණ ගැයෙන සඟ ගුණ පාඨයෙහි සඳහන් වන අවසන් ගුණය අනුත්තරං “පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” ගුණය පිළිබඳව මෙසේ දැනගනිමු.
ලොව වෙසෙන ගොවියෝ කෙත්වල බීජ වපුරනවා. බීජ වපුරන්නේ සරුඵල ලබන්නයි. වැපුරු බිජුවේ සරුඵල ලබන්නනම් කෙත ද සරු විය යුතු වෙනවා. කෙත ද සුදුසු විය යුතු වෙනවා. මනාකොට ජලය යොදා පොහොර යොදා සී සා සකසා ගත් කෙතක් විය යුතු වෙනවා. සරු කෙතක තිබිය යුතු අංගයන් පිළිබඳව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඛෙත්තූපම සූත්‍රයේ දක්වා තිබෙනවා.
වළගොඩැලි නැති කෙතක් වීම 2) ගල් බොරළු නැති කෙතක් වීම 3) කරමැටි නැති බිමක් වීම, 4) ගැඹුරට සාන ලද බිමක් වීම, 5) ගලා යන එන දිය පහරවල් වලින් යුක්ත වීම, 6) කුඹුරින් ගලා යන දිය පහරවල් ඇත්තක් වීම, 7) දිය ගලා යන ඇළ මාර්ග ඇති තැන් වීම, 8) කෙතේ නියරවල් සීමාවල් තිබීම.
මේ අංගයන්ගෙන් යුක්ත කෙතෙහි වැපුරූ බීජ මහත්ඵල වෙනවා. මධුර වෙනවා. හොඳින් වැඩෙනවා. මෙසේ වැපුරූ බීජ සරුඵල දෙන්නා සේ සැදැහැති පින්වතාට පුණ්‍ය බීජයන් වැපිරිය යුතු කෙත් වන්නේ ආර්ය මහා සංඝ රත්නය නමැති කෙත බව බුදුරජාණන් වහන්සේ වදළා. එසේ හඳුන්වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්ත යන ආර්ය මාර්ගයෙහි ගමන් කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් පමණයි.

ලොව ඇති කෙත් අතර ගොවියා බොහෝ වෙහෙසී ගොවිකමෙහි නියැලුණ ද අල්ප වූ ඵල ගෙන දෙන කෙත් තිබෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණ ඵල ගෙන දෙන කෙත්ද, වෙහෙසෙන තරමට ඵල ලැබෙන කෙත් ද තිබෙනවා. බොහෝ ඵල ගෙන දෙන කෙත්ද තිබෙනවා. එසේම දානයක් පූජා කරන විට එය අල්ප වූ ආනිසංස ඇති වීමටද, මධ්‍යම ප්‍රමාණ වූ ආනිසංස ඇති වීමට ද බොහෝ ආනිසංස ඇති වීමටද, ප්‍රතිග්‍රාහකයාගේ පාර්ශවයෙන් ප්‍රබල දායකත්වයක් ලැබෙනවා. ආර්ය මහා සංඝ රත්නය ලොව වෙසෙන පිරිස් වශයෙන් ගත් කළ උත්තම පිරිස නියෝජනය කරන උතුමන් ය. සිල්වත්කම,උගත්කම,ගුණවත්කම හා නිකෙලෙස් මනසින් යුතුවීම ආදි ගුණයන්ගෙන් අනූන ආර්ය මහා සංඝරත්නය ලොව උත්තම පිරිස නියෝජනයට ඇවැසි සියලු ගුණයන්ගෙන් ශෝභමාන වූ බැවින්, අනුත්තර තත්ත්වයෙන් ම හඳුන්වනවා. සංඝරත්නය කෙදිනකවත් දුස්සීල තත්ත්වයේ නො සැළකේ. “සංඝ” යන පදයෙන් හඳුන්වන්නේ ම සිල්වත් පිරිසකි. යමෙක් දුස්සීල වේද ඔහු සංඝයා යැයි පැවැසිය නොහැක. සංඝ රත්නය ස්වභාවයෙන් ම වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සිල්වත් වූ පිරිසකි .
යමෙක් සංඝයා උදෙසා යමක් පූජා කරන විට එය දුස්සීල ශ්‍රමණ පිරිසක් පිළිගත්තත් දායකයාගේ ආනිසංසවලට ඉන් හානියක් නො වන්නේ දායකයා එය පූජා කළේ ආර්ය මහා සංඝරත්නය උදෙසා උන්වහන්සේගේ ගුණ මෙනෙහි කර ගෙන පූජා කළ බැවිනි. අනාගත කාලයෙහි ශ්‍රාවක සංඝ නාමයෙන් පෙනී සිටින්නා වූ ගෙලෙහි හෝ අතෙහි කහ රෙදි කඩක් දරන්නා වූ දුස්සීල පාපි පුද්ගලයන් ඇති වන බව ද, ඒ අයට ද මිනිසුන් දන් දෙන බවද එසේ දෙන්නා වූ දානයෙන්ද අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දක්ඛණාවිභංග සූත්‍රයේදී වදාළා.
බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන්ට ධර්මය දේශනා කරන්න දෙව්ලොව වැඩි අවස්ථාවේ ධර්ම ශ්‍රවණය සඳහා එකම මොහොතෙහිම පැමිණි අංකුර සහ ඉන්දික නම් වූ දිව්‍ය පුත්‍රයෝ දෙදෙනෙක් බුදුන් වහන්සේ දෙපස හිඳගෙන සිටියා. කල්ගත වෙත්ම මහානුභාව දෙවි දේවතාවුන් පැමිණියා. ඔහුනට ඉඩ දී අංකුර දෙව් පුතුට පසුපසට යන්න සිදුවුණා. එසේ පසුපසට තල්ලු වී ගොස් අවසන බුදුරජාණන් වහන්සේ වැඩ හුන් තැන සිට යොදුන් දොළහක් දුර යනතෙක් ගොස් නතරවුණා. එයට හේතු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ අංකුර කලින් ආත්මයකදී රජ කුලයක ඉපදී මහ දන් දුන් නමුත්, ඒ සියලු දානයන් දී ඇත්තේ මහත් ආනිසංසදායි කළ නොහැකි දුගී මගී යාචකාදීන්ට බවයි. දෙව්ලොව උපනත් අල්පේශාක්‍ය ජීවිතයක් ගත කරන්නට සිදු වී ඇති බව එයින් පැහැදිලියි. ඉන්දික දෙවියාට එසේ තමා හුන් තැනින් ඉවත් වන්නට සිදුවුණේ නැහැ. ඔහු පෙර ආත්මයෙහි අනුරුද්ධ මහ රහතන් වහන්සේ දානයක් ලැබෙන්නට සලස්වාලීම දෙව්ලොව ඉපිද මහේශාක්‍ය තත්ත්වයෙන් සිටින්නට තරම් හේතු වුණා.
ඒ වගේම වේලාම සූත්‍රයෙහි සඳහන් වන පරිදි වේලාම බ්‍රහ්මණයා දුන් ඒ අසිරිමත් දානයද මහත්ඵල මහානිසංස කිරීමට කිසිවෙක් නොවූ බව සඳහන් වෙන්නේ මහා සංඝ රත්නයෙහි වන අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ලෝකස්ස ගුණයෙහි ඇති අගය වඩ වඩාත් තහවුරු කරමින්.
අනුත්තර වූ මහසඟරුවන සතුවිය යුතු ගුණ දහයක් පිළිබඳව අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආහුනෙය්‍ය සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙනවා.
සිල්වත්වීම, ශ්‍රැතධර වීම, කල්‍යාණ මිත්‍රයෙක් වී අනුනටද කල්‍යාන මිත්‍රයෙක්ව කටයුතු කිරීම, සම්මාදිට්ඨියේ යුක්ත වීම, සෘද්ධිප්‍රාතිහාර්ය දැක්වීමට හැකිවීම, දිව, කන් ඇත්තෙකු වීම, අනුනගේ සිත් පිරිසිඳ දැකීමේ හැකියාව, පෙර විසු කඳ පිළිවෙල සිහිකිරීමේ හැකියාව, දිවැසින් ලොව වෙසෙන සත්ත්වයන් කර්මානුරූපීව මැරෙන ඉපදෙන අයුරු දැකීමේ හැකියාව, ක්ෂීණාශ්‍රවවීම ආදී ගුණයන්ගෙන් යුක්ත වන ආර්ය ශ්‍රාවකයා ජනතාවගේ පින් බිජ වපුරන්නට සුදුසු කෙතක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දෙසු දහම බොහෝ සෙයින් ජනතාව අතර ගෙනගියේ ආර්ය මහා සංඝරත්නය යි. ලොවෙහි මහා සංඝරත්නය නොමැති නම් සසුනද පවතින්නේ නැහැ. ලොව බුදු සසුන නො පවතින්නේ නම් කිසිම කෙනෙකුට මේ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ. උතුම් මහා සංඝරත්නය තම ශීලාදි ප්‍රතිපත්තීන් ද රැකගෙන ජනතාවට ම පෙන්වන බැවින් ඔවුහු ද ධර්මානුකුලව ජීවත්වෙනවා. සිත් සේ තම පින් බිජු වපුරනවා. ලොව වෙසෙන සැමට පින් කිරීමට අවස්ථාව සැලසී ඇත්තේ උතුම් මහා සංඝ රත්නයෙහි සුවිශේෂ සහාය ඔවුුනට ලැබෙන බැවිනුයි.
මහා සංඝරත්නය පොදු වූ පිරිසක් වශයෙන් ගෙන දන් දෙන විට පුද්ගලිකව බුදුරජාණන් වහන්සේට දෙන දානයට ද වඩා උසස් ආනිසංස ලැබෙන බව උන්වහන්සේ දක්වා ඇත්තේ මහා සංඝ රත්නයෙහි ඇති පූජනීයත්වය වඩ වඩාත් තහවුරු කරමිනි. දිනක් මහා ප්‍රජාපති ගෝතමි තෙරණිය සිවුරක් සකස් කොට ගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ එය සංඝයාට පූජා කරන ලෙස වදාළා. එසේ කළ විට එය තමන්ට කරන පූජාවක් වන බවද වදාළා.
මෙසේ හෙයින් ආර්ය මහා සංඝ රත්නය සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. සැරියුත් මුගලන් ආදි මහා ක්ෂීණාශ්‍රව උතුමන් වහන්සේ මිනිසුන්ගේ අනේකවිධ පුද පූජාවනට යෝග්‍ය වූයේ උන්වහන්සේ සතු ඒ මහරු ගණ කඳ නිසායි. උන්වහන්සේ ගේ ශ්‍රාවක දරුවන් වූ උතුම් සංඝ රත්නය අද ද පුදනු ලබන්නේ ඒ ගුණ කඳ සිහි කරගෙනයි.
වත්මන් සමාජයේ වැඩ වසන ස්වාමින් වහන්සේ නමකගෙන් කුඩා වූ වරදක් දුටු විට බොහෝ දෙනා සමස්ත සංඝ සමුහයා වෙතම දෝෂාරෝපණය කරනවා. එය නිසි ලෙස තෙරුවන් සරණ නොගිය අය විසින් කරනු ලබන්නක්. කෙසෙල් ඇවරියක ගෙඩියක් නරක් වූ සැනින් ඇවරියම විසිකළ යුතු වන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය මේ ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නට උත්සාහ කරන තැනැත්තා සඟරුවන තමන්ට දකින්නට ලැබීම පවා තමන්ගේ භාග්‍යයක් ලෙස සලකනවා. උන්වහන්සේ තුළින් තමන්ගේ පින් සිත් දියුණු කර ගන්නවා.
එනිසා ආර්ය මහා සංඝ රත්නය අනුත්තර පින්කෙත වන්නේ සැදැහැවතුනගේ දන් පිළිගැනීමෙන් ම පමණක් නොවෙයි. සංඝ රත්නය සැදැහවතුන්ගේ ශීල භාවනාදි ගුණ ධර්මයද දියුණු කරන්නට බෙහෙවින් උපකාර වන නිසායි. එසේ ගුණ ධර්ම දියුණු කර ගැනීමට පසුබිම වනුයේ මහ සඟරුවන යි. කෙත කෙතරම් සරු වුවත් බිජු වපුරන්නා ඒ ක්‍රියාව නිසි ලෙස නොකරන්නේ නම් සරුඵල නො ලැබේ.
එබැවින් සැදැහැති බෞද්ධයෝ තමා ධර්මයෙහි පිහිටා සඟරුවන තුළින් පින් ඵල සරුකර ගන්නට අධිෂ්ඨානයක් ඇතිකර ගතයුතු වෙනවා.

පින් ගන්නට බලා සිටින දුගති සත්වයෝ

පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය පින් ලබාගැනීමට සුදුසු වෙයි. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යයි. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතු වෙයි.
මිනිසත් බව ලැබ සිටියද සියලු දෙනාම මේ ලැබුවා වූ දුර්ලභ මනුෂ්‍යාත්මභාවයෙහි වටිනාකම හඳුනාගෙන කටයුතු නොකරති. එබැවින් ලද වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන, කුසල් දහම්හි නොයෙදී සිට හිස් මිනිසුන් වශයෙන් මිය යන පුද්ගලයෝ බොහෝ වෙති. ඔවුන්ගේ පරලොව ජීවිතය සැපදායක වෙතැයි සිතීම උගහටය.
‘දුල්ලභංච මනුස්සත්තං’ යනුවෙන් මිනිස් ආත්මභාවයක් ලැබීමේ ඇති අතිදුලබ බව පෙන්වාදී තිබේ. එබඳු අතිශය දුර්ලභ වාසනාවකට හිමිකම් කියන අප අතරෙහි මිනිසුන්ව ඉපදුන ද තිරිසනුන් මෙන් හැසිරෙන ක්‍රියා කරන තැනැත්තන් හිඟ නැත. තම තමන්ටත් සෙසු සමාජයටත් අපගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ තිබේ. ඒ අතරිනුත් විශේෂයෙන් දහමෙහි හැසිරීමේ වශයෙන්, පිළිවෙත් පිරිම් වශයෙන් තම තමන් කෙරෙහි යුතුකම් ඉටුකරගත යුතු ය. සෙසු අයට යහපත සැලසීමේ මඟ ද එයයි. තමන්ට යහපත සිදුකර නොගන්නා, තමා විෂයෙහි මෛත්‍රී සහගත නොවන තැනැත්තා සමාජයට යහපතක් සිදුකරන්නේ කෙසේද?
කෙසේ නමුත් මෙබඳු වූ නිවැරැදි දැක්මක් නොමැතිව හිඳිමින්, ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවයෙන් පිරිහී දුගතියෙහි උපදින සත්වයන් බොහෝ ය. ඇතැමුන් ප්‍රේතයන්, භූතයන් වශයෙන් උපත ලබා පෙර භවයේ පවුලේ ඥාතීන්ට හිරිහැර පමුණුවන අවස්ථාද ඇත. එසේම සමහර ප්‍රේතයෝ සාපිපාසා ආදි අනේක දුක්ඛයන්ගෙන් පෙළෙමින් උදව් ඉල්ලා, නෑ පිරිසට බල කරති. මෙවැනි අවස්ථාවලදී නෑදෑ පිරිස කළ යුත්තේ කුමක්දැයි විමසා බැලීම වැදගත් වේ.
බිම්බිසාර රජතුමා වේළුවනාරාමය කරවා බුදුසසුනට පූජා කළ බව සෑම දෙනකුම දන්නා කරුණකි. එම ආරාමය පූජා කළ දිනයෙහි රාත්‍රී මැදියම් යාමයෙහි රජතුමා ඉදිරියෙහි ප්‍රේතයන් විශාල පිරිසක් හඬා වැළැපෙමින් සිටිනු දුටු රජතුමා පසුදින උදෑසනින්ම බුදුරජාණන් වහන්සේ හමු වී මේ කාරණය දන්වා සිටියේ ය. පෙර ආත්මභාවයක බිම්බිසාර රජුගේ ඥාතීන් පිරිසක් දන්වැට සොරා කෑ බවත් එම අකුසල කර්මයෙහි විපාක වශයෙන් නිරයෙහි ඉපිද බොහෝ කලක් දුක් විඳ, ඉන් අනතුරුව ප්‍රේත යෝනියේ උපත ලබා තුන් බුද්ධාන්තරයක් කල් සා පිපාසාවෙන් පෙළී දුක් විඳින අතර මෙසේ රජතුමා ඉදිරියේ පෙනී සිටි බවත් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කර දුන් සේක. දුක්විඳින ඥාති ප්‍රේතයන් සුවපත් කිරීම සඳහා පින් අනුමෝදන් කළ යුතු බව බුදුහිමියෝ දේශනා කළහ.
බිම්බිසාර රජු බුදුපාමොක් මහ සඟනට දන් පිළිගන්වා එම ප්‍රේතයන් හට පින් අනුමෝදන් කරවීය. එම පින් අනුමෝදන්ව දිව බොජුන් ලබා සුවපත් වූ ඥාති ප්‍රේතයෝ එදින රැයෙහිද රජතුමා ඉදිරියේ පෙනී සිටියහ. එහෙත් ඔවුන් නිරුවත්ව පෙනී සිටි නිසා රජු එම කරුණ ද පසුදින නැවතත් බුදුහිමියන් හමුව සැල කළේ ය. එයට හේතුව වස්ත්‍ර පූජා නොකිරීම බව බුදුහිමියන්ගෙන් දැනගත් රජතුමා නැවතත් බුදුපාමොක් මහසඟනට පූජා පවත්වමින් චීවර සහ ආසන ආදියද පිදීමට කටයුතු කළේ ය. එම පින් අනුමෝදන් වූ ඥාති ප්‍රේතයන් සම්පූර්ණයෙන් එම දුකෙන් නිදහස්ව සැප විපාක ලැබූ බව සඳහන් වේ. තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි එම ප්‍රේතයන් පිළිබඳ විස්තරය ඇතුළත්ය.
මෙයින් අපට පැහැදිලි වන්නේ මිනිසුන් වශයෙන් ජීවත්ව සිටියදී අකුසල කර්ම සිදුකොට ඊළඟ ආත්මභාවයන්හි දුක් විපාක විඳීමට සිදුවන ආකාරයයි. ජීවත්ව සිටින අපට එබඳු දුගති සත්වයන් වෙනුවෙන් කළ හැකිවන්නේ පින් අනුමෝදන් කිරීමයි. එම පුණ්‍ය ශක්තිය දුක්විඳින සත්ව කොට්ඨාසයන්ට මහත් උපකාරයක් වෙයි. එහෙත් සෑම ප්‍රේතයකුටම ද මෙසේ පින් අනුමෝදන් වීමේ ශක්තිය නැත. සමහර ප්‍රේත කොට්ඨාසයන්ට සෙසු අය අනුමෝදන් කරවන පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමේ හැකියාව නොමැති බැවින් එයින්ද සුවපත්භාවය නොලබති.
ප්‍රේතයන් පිළිබඳ විස්තර කිරීමේ දී නිජ්ඣාමතණ්හික යනුවෙන් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ බිල සහිත ගසක ඇතුළත හටගත් ගිනි කඳක් මෙන්, කළ අකුසල කර්ම නිසා තැවෙන දැවෙන ස්වභාවයි. මොවුන් උදෙසා පින්දීම ප්‍රයෝජනවත් නැත. ඔවුන් කල්ප ගණන් අකුසල විපාකය විඳිනු ඇත.
තවද කුප්පිපාසික නමින් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ සෙම් සොටුවත් නොමැතිව සා පිපාසාවෙන් කල්ප ගණන් දුක් විඳීමයි. එම අපද්‍රව්‍යවත් නොලැබීමට තරම් ඔවුන් කර ඇති අකුසල් බලවත් ය. ඒ නිසා අති දීර්ඝ කාලයක් සා පිපාසාවෙන් පෙළෙමින් කල් ගෙවීමට සිදුවීම ඔවුන්ගේ ස්වභාවයි. ඔවුන්ටත් පින්වලින් උපකාර කිරීමට අපහසුය. පාංසුපිසාචක යනුවෙන් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ කසල ගොඩවල් ආදී අපවිත්‍ර තැන්වල ආහාර සොයා ඇවිද ලබා ගන්නා අපවිත්‍ර ආහාරයක පිහිටෙන් ජීවත්වීමයි. ඔවුන්ට ද අන්‍යයන් ලබාදෙන පින් අනුමෝදන් වීමේ ශක්තියක් නොමැත.
ඊළඟ ප්‍රේත කොටස පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයයි. ඔවුහු පින් ලබාගැනීමට සුදුසු වෙති. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යති. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතුවෙයි.
දුගතියෙහි උපදින සෑම සත්වයකුම ප්‍රේත ගණයට අයත් වන්නේ නැත.නරක, තිරිසන්, ප්‍රේත සහ අසුර යනුවෙන් අපාය සතරකි. අපාය යන්නෙහි තේරුම ‘සැපයෙන් පහ වූ’ යන්නයි. කුමන අපායක ඉපදුණත් වචනයෙන් විස්තර කරලිය නොහෙන දුක් විඳින්නට සිදුවීම ස්වභාවයි. මෙහිදී ප්‍රේත කොට්ඨාස පිළිබඳ කතා කරතහොත් ඔවුන්ගේ අකුසල විපාකයට අනුව ශරීර ස්වභාවද විවිධ වන අයුරු විස්තර වශයෙන් සඳහන් කර ඇත.
සමහර ප්‍රේත කොටස්වල ශරීර ස්වභාව ඉතා කර්කශව පෙනෙයි. සම සහ නහරවැල් ඇට පෙනෙන සේ වියැකී ගොස් ඇති ශරීර ඉතා අවලස්සනය. ඉවසාගත නොහැකි අයුරෙන් ඔවුන් වෙතින් දුර්ගන්ධයක් ද හමයි. ආහාරපාන නොමැතිව නිරන්තරයෙන් දුක් විඳින අතර ප්‍රමාණවත් ආහාරයක් කිසිදිනෙක නොලබයි.
බොහෝ ප්‍රේතයන් හට ආහාර වශයෙන් ලැබෙන්නේ මිනිසුන්ගේ සහ තිරිසන් සතුන්ගේ සිරුරුවලින් පිට කරන අපද්‍රව්‍යයි. ඇතැම් ප්‍රේත කොට්ඨාස තම ශරීරයේම කොටස් ආහාර ලෙස ගනිති.
අසුර නිකායට අයත් කාලකඤ්ජික නමින් හැඳින්වෙන ප්‍රේත කොටස තුන් ගවුවක් තරම් වන සිරුරු ලබති. ශරීරය මස් ලේ නැති වියැළී ගිය කොළ වැනි ස්වභාවයකින් යුතුය. දෙඇස් කකුළුවන්ගේ ඇස් මෙන් පිටට නෙරා ඇත. හිස මුදුනේ ඇස් දෙක පිහිටා ඇති අතර ඉදිකටු මලක් මෙන් කට ඉතා කුඩාය.
ලෝවැඩ සඟරාවෙහි ප්‍රේතයන් පිළිබඳ මේ කවිය සඳහන් වේ.
උපනත් පේතව පවු කොට නොපනත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත්
උගුරත් නොතෙමෙයි සුර ගඟ වැටුණත්
කලෙකත් පින් නොකළැකි මැයි සිතුනත්

නොහොබිනා පවුකම් කොට ප්‍රේත ආත්මයෙහි උපත ලදහොත් කලාතුරකින් හෝ සෙම්, සොටු පමණවත් ආහාරයක් නොලැබේ. අහස් ගංගාවෙහි වැටුණත් දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේ ය. සිතුනත් කිසි කලෙක පිනක් කළ නොහැකිය.
මේ ආදී කරුණු පරීක්‍ෂා කර බැලීමේ දී ප්‍රේත කොටස් සහ විශේෂයෙන් පින් ලබා ගැනීමේ ශක්තිය ඇති ප්‍රේත කොටස් පිළිබඳ අපට වටහාගත හැකි ය. තිරෝකුඩ්ඩ සූත්‍රය, ප්‍රේත වස්තු ප්‍රකරණය, දික්සඟි අටුවාව, ධම්මපදට්ඨ කතාව සහ සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තය ආදිය පරිහරණය කිරීමෙන් මේ ප්‍රේත කොටස් පිළිබඳ තවදුරටත් අපට දැනුම ලබා ගත හැකිය. අප නමින් මියගිය ඥාතීන් කුමන ආත්මභාවයක් ලබා සිටීද යන්න අපට ස්ථිරව කිව නොහැකි නිසා ඔවුන් උදෙසා පින් අනුමෝදන් කිරීම කළ යුතු ය. එය චාරිත්‍රයක්, යුතුකමක් වශයෙන් මෙන්ම කළගුණ සැලකීමේ ගුණයක් ලෙසින්ද පෙන්වා දිය හැකි ය. ඒ ආකාරයෙන් සිදු කරන පුණ්‍ය කර්මවල විපාක තමනට ද සැප පිණිස පවතී. එබැවින් දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් ‘පත්තානුමෝදනා’ නම් වූ එම උතුම් පින්කම සිදුකර, මියගිය ඥාතීන්ගේ ජීවිත සුවපත් කිරීමටත්, අපගේ ජීවිත සුවපත් කර ගැනීමටත් උත්සාහවත් වෙමු.
තෙරුවන් සරණයි!
ගලගෙදර රතනවංශ හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෙර පිනයි සසර ගමනයි

මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි
මෝඩ මිනිසුන් තමන් කරන,කියන ක්‍රියාවකදී  එම ක්‍රියාවේ ප්‍රතිඵලය පිළිබඳව, ඉන් සමාජයට වන හානිය පිළිබඳව, සිතන්නට යන්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. එම අය තමන්ට ලැබෙන වාසිය ලාභය ගැන පමණක් සිතමින් විවිධ නරක ක්‍රියාවන් කරනවා. එම නරක ක්‍රියාවන් වුණත් ඒවා කරන විට මහත් සතුටින්. පී‍්‍රත්‍රියෙන් සැහැල්ලුවෙන් කරනු ලබනවා. අනුන්ගේ අඩුපාඩුවක් කතාකරන පුද්ගලයෙක්, ඒ අඩුපාඩු කතා කිරීම සමාජයේම අයහපත් ක්‍රියාවක් නේද කියලා හිතන්නේ නැතිව, ඒ දේ කරමින් ම ඉමහත් පී‍්‍රතියක් ලබනවා.
සමාජය පිළිබඳව නොසිතා වැඩ කටයුතු කරන පුද්ගලයා බුදු දහමෙහි හඳුන්වල දී තිබෙන්නේ බාලයා ලෙසය. “බාල” කියන වචනය බුදුදහමෙහි පෙන්වාදී තිබෙන්නේ මෝඩ, අනුවණ, අදූරදර්ශී යන තේරුම් සහිත වචනයක් ලෙසය. අනුවණ පුද්ගලයා සමාජයේ යම් ක්‍රියාවක් කරන විට ඔහු බොහෝ වෙලාවට සිතන්නේ තමන් ගැන පමණයි. තමන්ගේ නෑදෑයන් , යහළුවන් මිත්‍රයන් ආදි අය ගැන පමණයි .
එම ක්‍රියාවෙන් තමන්ට ලැබෙන ලාභය ගැන පමණයි. තමන් කරන ක්‍රියාවෙන් සමාජයට සිද්ධවෙන හානිය ගැන ඔහු සිතන්නේ නැහැ. තමා ජීවත්වන සමාජයට යහපත් ආදර්ශයක් සැපයිය යුතුය යන අදහස ඔහු සිතන්නේ නැහැ. ඒ නිසා එබඳු පුද්ගලයන් බණ දහමෙහි හඳුන්වන්නේ “බාලයා” හෙවත් “අනුවණයා ” යන අර්ථයෙනි. අනුවණ මෝඩ මිනිස්සු තමන් කරන, කියන ක්‍රියාවකදී එම ක්‍රියාවේ ප්‍රතිඵලය පිළිබඳව,ඉන් සමාජයට වන හානිය පිළිබඳව, සිතන්නට යන්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. එම අය තමන්ට ලැබෙන වාසිය ලාභය ගැන පමණක් සිතමින් විවිධ නරක ක්‍රියාවන් කරනවා. එම නරක ක්‍රියාවන් වුණත් ඒවා කරන විට මහත් සතුටින්. පී‍්‍රත්‍රියෙන් සැහැල්ලුවෙන් කරනු ලබනවා. අනුන්ගේ අඩුපාඩුවක් කතාකරන පුද්ගලයෙක්, ඒ අඩුපාඩු කතා කිරීම සමාජයේම අයහපත් ක්‍රියාවක් නේද කියලා හිතන්නේ නැතිව, ඒ දේ කරමින්ම ඉමහත් පී‍්‍රතියක් ලබනවා. අනුන්ට කරදර කරන අයත් එහෙමයි. ඒ දෙය කරල තමන් පසුව සතුටක්, පී‍්‍රතියක් ලබනවා. නරක පුද්ගලයා , නරක වැඩ කරන විට එම ක්‍රියාවන් සතුටින් ප්‍රමෝදයෙන් කතා කරනවා කියලා. “මධුවා මඤ්ඤති බාලෝ “ කරන කළට පව් මිහිරිය මීපැණි වගේය. නමුත් අකුසලය කරන්නේ කවුරු වුවත් ඒ කරන තැනැත්තාට තමන් කරනු ලැබූ අකුසල කර්මයේ විපාකය පෙරළා ලැබෙනවා. අකුසල විපාක පෙරළා ලැබෙන කොට ක්‍රියාව කළ පුද්ගලයා අතිශයින් දුකටපත් වෙනවා. භයට, විමතියට පත්වෙනවා. ඇතැම් වෙලාවට ඔහු හිතනවා මේවා තමන් කරපු අකුසල ක්‍රියාවන්හි විපාක නේදැයි? කියලා. බුද්ධිමත්ව හිතන්නේ නැතිව මටම විතරයිනේ මේවා වන්නේ කියලා හිතනවා.
නමුත් ඔහුට ඒවා වන්නේ ඔහු පෙර කළ ක්‍රියාවන් අනුවයි. අනුවණයා ඒක හිතන්නෙත් නැහැ. එහෙම හිතන්න දන්නෙත් නැහැ.අනෙක් අයට සැප සම්පත් දීලා මට විතරමයි. මේ දුක් දොම්නස් දුන්නේ. මටම විතරයි වන්නේ කියලා හිතනවා. එය බාලයාගේ ස්වභාවයයි. ලෝවැඩ සඟරාවේ මේ ගැන කියන්නේ “ විදින කළට දුක් දැඩිවෙයි ගිනිසේ” කියලා. මීපැණි සහ ගින්න උපමා කරලා තියෙන්නේ තමන් කරන ක්‍රියාවල යහපත් ක්‍රියාවන්හි විපාක සහ නරක ක්‍රියාවන්හි විපාක ලෙස එකතුවයි. සමාජයේ ජීවත්වන විට සමාජය පිළිබඳව අවබෝධය කෙනෙකුට අවශ්‍ය වන්නේ සමාජයේ ජීවත්වීම පහසු කරවන්නටය.බුද්ධිමත්කම අවශ්‍ය වන්නේ සමාජයේ ජීවත්වන විට තමන් කරන කියන දේ වලින් යහපත් ප්‍රතිඵල පමණක් ලැබෙන ආකාරයට කටයුතු කිරීමටය. බුද්ධිමත්කමයි, අවබෝධයයි හැමදාමත් පුද්ගලයෙකුට අවශ්‍යයයි. කෙනෙකුගේ මනැස බුද්ධියෙන් පිරෙන්නේත් තවත් කෙනෙකුගේ ධනය මෝඩ කමින් පිරෙන්නේත් කොහොමද? දැන් අධ්‍යාපන විද්‍යාඥයන් කියනවා ඕනෑම කෙනකු, ඕනෑම තත්ත්වයක් දක්වා සකස් කරන්න පුළුවන්ය කියලා . නමුත් බණ දහමෙහි කියනවා පුද්ගලයාට ඕනැ දෙයක් කරන්න හැකිවුවත් පෙර සංසාරයේ පුණ්‍ය මහිමයකුත් කෙනෙකුට තිබෙන්නට ඕනෑය කියලා. “පුබ්බේච කථපුඤ්ඤතා “ කියන වචනයක් මංගල සුත්‍රයෙහි සඳහන් වෙනවා.මංගල සූත්‍රය කියල කියන්නේ දියුණුවෙන, දියණුවන්න කැමැති පුද්ගලයකු විසින් දියුණුවීම පිණිස අනුගමනය කළ යුතු කරුණු කාරණා රැසක් තිබෙන සූත්‍ර ධර්මයක්. මංගල සම්මත කාරණාවක් ලෙස දියණු ප්‍රභාමත් ජීවිතයක් ගත කරන පුද්ගලයකු ලෙස ඒ පුද්ගලයාගේ ජීවිතය එසේ වන්නට නම් පෙර කරනු ලැබූ පින්කම් පිළිබඳ පුණ්‍ය ශක්තියක් ඔහුට තිබිය යුතුය. පෙර කරන ලද කිව්වට පෙර කියන්නේ කවර කාලයේද කියා නිර්ණය කර නැහැ. කුඩා කාලයේද? තරුණ කාලයේද,මේ ආත්මයේද? ගිය ආත්මයේද? ඊට කලින් ආත්මයේද? ඔය ආදි වශයෙන් නිර්ණය කර නැහැ. තමන් ජීවත් වන්නේ වර්තමානයේ, වර්තමානයේ ජීවත්වන විට ඔහුට ඈතින් තියෙන අතීතයේ සිදුවෙලා තියෙන සියල්ලම අයත්වන්නෙ පෙර කියන වචනය පෙර කරන ලද පින් ඇති බව කියන්නෙ ගිය ආත්ම යේ කරපු ක්‍රියා වෙන්නත් පුළුවන්. තමන් ජීවත්වන වර්තමානයට කලින් කරපු ක්‍රියා වෙන්නත් පුළුවනි. බුද්ධිමත් විදිහට අවබෝධ යෙන් යුතුව කළ යහපත් ක්‍රියාවල ප්‍රතිඵල වර්තමානයේ ජීවත්වන කෙනෙකුට ලැබනෙවාය කියන කාරණාව තමයි “පුබේච කත පුඤ්ඤතා “කියන වචනයෙන් අර්ථ ගන්වන්නේ. මෙම අදහස හරිම පුළුල්.
ආත්ම ගණනාවක් තියෙනවා. දැන් ඉන්න ආත්මය, ගිය ආත්මය, ඊට කලින් ආත්මය නමුත් අපේ බොහෝ අය මේ වචනය තෝරන විට තෝරන්නේ ගිය ආත්මය කියන අදහසින් හෙවත් ගිය ආත්මවල කියන අදහසනි. එහෙම බණ පදය තෝරන විට එහි සම්පූර්ණ අදහස කියවිලා නැහැ. සම්පූර්ණ අදහස කියවෙන්න නම් තමන් වර්තමානයේ ජීවත්වන සමයට පෙර වූ දෙයක් ලෙස එය විග්‍රහ කරන්නට අවශ්‍ය වෙනවා. මනුෂ්‍යයකුට බුද්ධිමත් කම සංසාරයේ ඔහු කරනු ලැබූ පින් නිසාත් ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම වර්තමානයේ සමාජය ඇසුරින් පොත පත කියවීමෙන් ලැබූ දැනුමෙන්, ඒදෙය ලැබෙන්නත් පුළුවන්. පෙර සංසාරයේ ලබපු ශක්තිය වර්තමානයේ සිද්ධකළ ගවේෂණවලින් වැඩදියුණු වෙනවා වෙන්නත් පුළුවන. තමන් වැඩ කරන විට අත්දැකීම් ලබනවා. ඒ අත්දැකීම් තුළින් මොළය මුවහත් වෙනවා. සමාජයේ වැඩ කරන්න තවත් පහසුවෙනවා. ඒනිසා අපට පේනවා. මෝඩයාය. උගතාය කියලා මිනිස්සු වෙන්වෙන් කරල දක්වන්න බැහැ. ඇතැම් අය ඉන්නවා මෝඩ ක්‍රියාවන් කරන .ඇතැම් අය ඉන්නවා ජීවිතයේ වැඩිකාලයක් එබඳු ක්‍රියාවන්කරන ඇතැම් මිනිස්සු ඉන්නවා බුද්ධියත්, ප්‍රඥාවත් අනුව වැඩ කටයුතු කරනවා. ඇතැම් අය ඉන්නවා ජීවිතයේ වැඩි වාර ගණනාවක් සිද්ධ කරල තියෙන්නේ ප්‍රඥාවන්ත බුද්ධිමත් ක්‍රියා. එයින් පෙනෙනවා මෝඩ ක්‍රියාව, බුද්ධිමත් ක්‍රියාව කියන ක්‍රියාව පිළිබඳව මෙම බණ දහමෙහි හඳුන්වන්නේ. බුද්ධිමත් ක්‍රියාවන් වෙන්නේ කලින්ම සිතා බලා සැලසුම් කරලා පිළිවෙලකට කරන යහපත් වැඩ. මෝඩ ක්‍රියාව වෙන්නේ හිතන්නේ නැතිව, කල්පනා කරන්නේ නැතිව, අදූරදර්ශීව කරන මෝඩ වැඩ, බණ දහමින් උගන්වන්නේ තමන්කරන ක්‍රියාව කරන්නට පෙර ඒ පිළිබඳව එහෙම ක්‍රියාවන් කලාට පසුව කෙබඳු ප්‍රතිඵලයක් තමන්ට ලැබෙනවාද කියලා බලන්නට කියලා. අයහපත් වැඩ කරන අයට, ලැබෙන්නේ අයහපත් විපාක, යහපත් වැඩ කරන අයට ලැබන්නේ යහපත් විපාක .මේ හොද නරක තීරණය කරන්නේ සමාජය, තමන්ගේ හෘද සාක්ෂිය, එහෙමත් නැත්නම් ධර්මයෙන් දෙන අර්ථ විග්‍රහයයි.
සටහන
හේමමාලා රන්දුනු
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අට මහා කුසල් අතර පළමු පින්කම

අවුලේගම බයව කැලේගම 
පුරාණ විහාරයේ 
හිඳව සෝභිත හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 
කඨිනංච පරික්ඛාරං වාසදානංච උත්තමා 
බුද්ධප්පමුඛ සංඝස්ස දානංධම්මස්ස ලේඛනං 
ඛෙත්තදානංච සංඝස්ස පටිමාකරණම්පිච 
කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤාති වුච්චරෙතී.

සුපින්වතුනි,
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මේ කාමාවචර ලෝකයේ අපට සිදු කරන්නට පුළුවන් අටමහා කුසල් පිළිබඳව සඳහන් කළා. සැමදා පින් වර්ධනය වෙන පින්කම් අටක්. 1. කඨින සිවුරක් පූජා කිරීම, 2. අට පිරිකරක් පූජා කිරීම, 3. ආවාස ගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම, 4. බුදු පාමොක් මහ සඟනට සඟසතු කර දන්දීම, 5. බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම, 6. සඟසතු කර හෝ බුද්ධ පූජා වශයෙන් හෝ කෙත්වතු පිදීම, 7. බුදු පිළිම තැනවීම (ධාතු චෛත්‍ය විහාර මන්දිර මලසුන් හා බෝධි රෝපණය ද මීට අයත් වේ.) 8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම යන කරුණු අටයි. අට මහ කුසල්වල මුල්ම පින්කම කඨින චීවර පූජාවයි. පෙරවස් පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක්වරක් පමණක් දිය හැකි ආමිෂ දානයකි. වප්මස අව පෑලවිය දිනයේ පටන් ඉල්මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් පමණ වූ කාලය කඨිනය පූජා කළ හැකි සමයයි. එය චීවර මාසය නමින් හැඳින්වේ. කඨින චීවරය ලැබීම නිසා පස්මසක් ගතවනතුරු භික්ෂූන්ට විනය ප්‍රඥප්ති පහක් පිළිබඳව විශේෂ පහසුකම් ඇතිවන බැවින් කඨින චීවර පූජාව වැදගත් පින්කමකි. වෙනත් සිවුරු දහසක් ලැබීමෙන් ද භික්ෂුවකට ඒ වරප්‍රසාද එකකුදු නොලැබේ. මේ නිසා කඨිනය දෙන දායකවරුන්ට ද මහා කුසලයක් ලැබේ. “කඨින” යන වචනයේ තේරුම අනුව ද ඉක්මනින් කළයුතු තදබල නොසැලෙන ගරු මහා පින්කමක් බව කියවෙයි. සතරපේරුවේ දායක දායිකා පිරිස දිනයක් නියම කරගෙන ගොදුරු ගමේ සෑම ගෙදරක්ම පින්කමට සහභාගි කරවා ගැනීමට කටයුතු පිළියෙළ කරති. නියමිත දින අලුයම තුන් සිවුරක් එක් සිවුරකට ප්‍රමාණවත් අලුත් වස්ත්‍රයක් හා එයට අවශ්‍ය ඉදිකටු, නූල්, පඬු ආදිය ද අනෙකුත් උපකරණත් සමඟ ගමපුරා කඨින වස්ත්‍රය රැගත් පුද පූජා භාණ්ඩ සහිත මහා පෙරහර සංචාරය කර අලුයම් වේලෙහි, ගරු ගම්භිර විලාසයෙන් විහාරස්ථානයට ළඟාවේ. අනතුරුව කඨිනය මහා සංඝයාට පූජා කරති. උදෙන්ම පිදිය යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදිනම සිවුරක් කරගත යුතු බැවිනි. හිමිදිරි උදෑසන නැවුම් වස්ත්‍රයක් කඨිනය සඳහා පූජා කිරීමෙන් හැම සිත් සතන් තුළම පහන් සිතිවිලි ජනිත වනු ඇත. පූජා කළ වස්ත්‍රය කපා මසා පඬු පොවා සිවුරක් කිරීමේදී ද ගිහි පැවිදි දායක කාරකාදීන්ට මහත් කුසල් රැසක් අත්කර ගැනීමට අවස්ථාව ලැබේ. මහණෙනි, වස් වැසූ භික්ෂූන්ට කඨිනය අතුරන්ට අනුදැන වදාරමි. මෙසේ පනවා වදාළ බුද්ධ වචනයට අනුකූලව වස් වැසූ භික්ෂූන් විෂයෙහි කරන මහා උදාර පූජාවකි.
කඨින පූජාවේ දී භික්ෂූන්ට ප්‍රයෝජනවත් වෙනත් පිරිකර හා ගරු ලඝු පරිස්කාර ද ආහාරපානාදිය සැදැහැතියෝ පුදති. කඨින පූජාවට වස්ත්‍ර දෙක තුනක් පිදුවොත් සංඝ සම්මතයෙන් වඩා සුදුසු වස්ත්‍රය කඨිනය වශයෙන් පිළිගත යුතු ය. කඨින පූජාව කරන අයට ද එම ආනිසංස වශයෙන් උත්තම පුරුෂයෙක්ව ඉපදීම, අගතියට නොයාම, ඉසුරුමත්ව මිනිස් ලොව ඉපදීම, උසස් කුලයන්හි ඉපදීම, ධනවත් වීම, පි‍්‍රය මනාපවීම, සක්විති සම්පත් ලැබීම, තේජස හා කීර්තිය පැතිර යාම යනාදී යහපත් පලවිපාක අත්පත් වේ. නාගිත තෙරුන්වහන්සේ මහා කල්ප දහ අටක් (18) දෙව් ලෝ මිනිස් ලෝ සැප විඳ ඒ කඨින දානානිශංසයෙන් ම සකල ක්ලේශයන් ප්‍රහීණ කොට බුදුරදුන් ඇතුළු පන්සියයක් මහ තෙරුන් වහන්සේ ඉදිරිපිට තමාගේ පූර්ව කර්ම චරිතාපදානය ප්‍රකාශ කළහ. කඨිනය අයුතු සෙවීමකින් හෝ කයින් බසින් දායකවරුන් පොළඹවා හෝ නොලැබිය යුත්තකි. අහසින් පැමිණි දෙයක් මෙන් ලබා ගන්නා නොදැනුවත්ම ඇඟවීමක් නොමැතිව ධාර්මික ව ලැබිය යුත්තකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි කඨිනයක් පිළිගත්තා වූ කඨිනයක් ඇතුරුවා වූ භික්ෂූන් වහන්සේට ආනිසංස පහක් ලැබෙනවා. ඒ කුමන ආනිසංස පහක්ද භික්ෂූන් වහන්සේ නමක් තමන් ඉන්න ආවාසයෙන් පිටවෙලා යනවා නම් අඩු තරමින් එතන ඉන්න ආවතේව කරුට කියා හෝ මිස පිටත් විය නොහැකිය. එසේ නොකියා පිටවෙලා ගියොත් ඇවතක් සිදුවෙනවා. නමුත් මේ කඨින චීවරය ලැබූ භික්ෂූන් වහන්සේ නමකට යම්කිසි ධර්ම චර්යාවක් සඳහා යහපත් කටයුත්තක් සඳහා ඕනෑම වෙලාවක කිසිවෙකුට නොදන්වා විහාරයෙන් බැහැරවීමේ අයිතිය තථාගතයන් වහන්සේ විසින් පවරලා තියෙනවා. ඒ පළවෙනි ආනිසංසයයි. දෙවෙනි ආනිසංසය තුන්සිවුරු අධිෂ්ඨාන කළා වූ භික්ෂුවකට සෑම දාම පසුවදා අරුණ නැගෙන කොට ඉර පායන කොට සිවුරු තුනම ළඟ තියෙන්නට ඕන. එකක් හෝ වෙන තැනක තිබුණොත් ඇවතක් සිද්ධ වෙනවා. මේ කඨින චීවරය පිළිගත්තාවූ භික්ෂුවකට කැමැති සිවුරක් ළඟ තියාගන්න පුළුවන්. කැමති සිවුරක් බැහැර තියන්න පුළුවන්. සුවසේ පහසුවෙන් ගුණධර්ම පුරන්න පුළුවන්. මේ කියන ලද මාස පහේ කාලය ඇතුළත. මේ කඨින චීවරයක් ලැබූ භික්ෂුවකට ලැබෙන්නා වූ ආනිසංසයයි. තෙවැනි ආනිසංසය අතීත කාලයේ සමහර මනුෂ්‍යයෝ භික්ෂූන් වහන්සේලා දෙතුන් නමක් වැඩ සිටින තැනට ගිහින් ආරාධනා කරනවා. ස්වාමීනි, අපේ ගෙදර අද බතක් ලෑස්ති කරලා තියෙනවා යැයි නුසුදුසු ආකාරයෙන් ආරාධනා කරනවා. එබඳු නුසුදුසු ආකාරයේ ආරාධනා පිළිගන්නට එපා කියලා බුදුහාමුදුරුවො දේශනා කළා. නමුත් මේ කඨින චීවරයක් ලැබුවා වූ භික්ෂුවකට කවර විදියෙන් ආරාධනා කළත් දානයකට අනුග්‍රහ පිරිසක් තමන්ගේ මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිසත් ඒ ඕනෑම ආරාධනාවක් පිළිගෙන දන් වළඳන්නට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. මේ කඨින චීවරයක් ලැබූ භික්ෂුවකට ලැබෙන ආනිසංසයක්. සිව්වැනි ආනිසංසය උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරනවා නම් ඒ සිවුරු තුනට අමතරව කිසිම වස්ත්‍රයක් විනයානුකූ ක්‍රමයකට හැරෙන්නට තියාගන්න බෑ. එහෙම තියාගත්තොත් ඇවතක් සිද්ධ වෙනවා. නමුත් මේ කඨින චීවරයක් පිළිගත්තා වූ භික්ෂුවකට තමන් වහන්සේ කැමති තාක් සිවුරු පිරිකර මේ මාස පහ ඇතුළත පරිහරණය කරන්න පුළුවන්. අන් අයට දෙන්න පුළුවන් කැමති සේ පවත්වන්න පුළුවන්.
පස්වෙනි ආනිසංසය අන්‍ය අවස්ථාවලදී සඟ සතු කරලා යම් තාක් සිවුරු පිරිකර පූජා කරනවද. ඒවා එක් භික්ෂුවකට ගන්න බෑ. සියලු දෙනාට බෙදා දෙන්න ඕන. නමුත් මෙසේ කඨිනයක් පිළිගත්තා වූ භික්ෂුවකට ඒ හා සමඟ සඟසතු කරලා ලැබෙන සිවුරු සියල්ලමත් කඨිනානිසංස පවතින මාස පහ ඇතුළත ලැබෙන සිවුරු සියල්ලමත් තමන්ට කැමැත්තක් කරන්න පුළුවන්. කැමැති නම් අන් අයට දෙන්න පුළුවන්. කැමැත්තට අනුව පවත්වන්න පුළුවන්. මේ කියන ශික්ෂාපද පහකින් බුදුහාමුදුරුවො නිදහස දුන්නා කඨින චීවරයක් ලබන්න වූ භික්ෂුවකට. මේ භික්ෂූන් වහන්සේට ලැබෙන්නා වූ ආනිසංසයන්, සැදැහැවත් පින්වතුන් බොහොම වුවමනාවෙන් කරන්නා වූ මහා පින්කමක් කඨින පින්කම, ගම්බද පැරණි කඨින පූජා පින්කම්වල තවත් විශේෂ ලක්ෂණයකි. විහාරස්ථානයට අවශ්‍ය ගරු ලඝු භාණ්ඩ, පූජා කිරීම, එසේම කඨින පූජා පෙරහර සැදැහැතියන් විසින් ගෙන යන කෙසෙල් පොල් පුවක්, ආදී පැළ වර්ගද බෙහෙත් පැළෑටි වර්ගද, පන්සල් වත්තේ රෝපණය කරති. මෙම පින්කමින් බෞද්ධ ජනතාව තුළ ගුණවගාව ඇතිවන අතරම පන්සල ද පුෂ්පාරාමයක්. ඵලාරාමයක් බවට පත් වේ. වර්ෂයකට වරක් ගම පුබුදුවා ගිහි පැවිදි සම්බන්ධය තහවුරු කරවන දෙලොව වැඩ සලසන කඨින පූජා පින්කම අට මහ කුසල් අතර ප්‍රථම ස්ථානයේලා ගැනේ. රටේ පාලකවරුන් මහා උත්සවාකාරයෙන් රට වැසියා සමඟ මෙම පින්කම කළ බව පොත පතේ සඳහන් වෙනවා. 4 වන දළ මුගලන් රජතුමා ලක්දිව සියලුම ආරාමයන්ට කඨින චීවර පූජා කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමන් (බු.ව. 1889) කඨින පින්කම් අසූවක් සිදුකර ඇත. කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජතුමා (බු. ව. 1953) කඨින පින්කම් (3432) ක් සිදුකළ බව සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (බු.ව. 2226) කඨින පූජා රැසක් සිදු කළ බව සඳහන් වේ. රාජාධිරාජසිංහ රජු (බු.ව. 2323) වර්ෂයක් පාසා කඨින පින්කම් සිදුකරන්නට උනන්දු වූ බව වාර්තාගතයි. අටමහා කුසල් දෙව්ලොව, මිනිස් ලොව, උසස් සැප සම්පත් ලබාදීම පමණක් නොව අවසානයේ සසර දුකින් නිදහස්ව ලබන ලෝකෝත්තර තත්ත්වය අවබෝධ කර ගැනීමටද හේතුවන කුසලයන් බව සැළකිය යුතු යි.
ඔබ සැමට තෙරුවන් සරණයි.
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින් කුසල් කළ යුත්තේ ඇයි?

ශාස්‌ත්‍රපති ගයිරෑනගම විනීත හිමි
අප බොහෝවිට පින කුසලය ගැන කතා කරමු. කරන පින, කළ පින, කිරීමට ඇති පින ගැනද කතා කරමු. පින මෙතරම් වටින්නේ පරලොව පිහිට පිණිස පින හේතු වන බැවිනි. 'පුඤ්ඤානි පරලෝකස්‌මිං පතිට්‌ඨා හොන්ති පාණිනං.' එමෙන්ම පින නිසා මෙලොව මෙන්ම පරලොවද සතුටින් ජීවත්වන්නට අපට හැකියාව ලැබේ. කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති. පින එසේ සසර ජීවත් වන්නට අවශ්‍ය ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥ යන සම්පත් ලබාදෙයි. එසේ කළ හැකි පින් වර්ග රාශියක්‌ වෙති. දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පත්තිදාන (පින් දීම),, පත්තානුමෝදනා (පින් අනුමෝදන් කිරීම), වෙයියාවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදිය යුත්තත් පිදීම), දේශනා (ධර්ම දේශනා කිරීම, කරවීම), සුති (ධර්මය ඇසීම), දිට්‌ඨිජුකම්ම (ස්‌ථිර නිවැරැදි දැක්‌මක්‌ සහිත වීම) මෙම පුණ්‍ය ක්‍රියාවෝය. දස පුණ්‍ය ක්‍රියා ගනයට ඇතුළත් නොවන යහපත් ක්‍රියාවන්ද ඇත. ආරාම රෝපණය, වන රෝපණය, වෙහෙර විහාර පන්සලි ආදී පූජනීය ස්‌ථාන ඉදිකිරීම, පොදු අවශ්‍යතා වන පාර, පාලම්, ළිං ආදිය ඉදිකිරීම තුළින් සැමදාම පින් සිදුකරගත හැකිය. පින සසර වසන සත්ත්වයාට අවශ්‍යම අංගයක්‌ වන්නේ පින නොමැති වීමෙන් බොහෝ අඩුපාඩු සහිතව දිවි ගෙවීමට සිදු වන බැවිනි. එය මිනිස්‌ ලොව මෙන්ම සත්ත්ව ප්‍රජාව දෙස බැලීමේදී අවබෝධ කරගත හැකිය.
කුසලය නම් වැඩිය යුත්තකි. කුසලස්‌ස උපසම්පදා. අට මහා කුසල් දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා සරලව කිරීමට නොහැකි බවයි. කඨින චීවර පූජාව,අට පිරිකර පූජාව, ආවාස කරවීම, බුදු පාමොක්‌ සඟනට දන්දීම, බණ පොත් ලිවීම, කෙත්වතු පූජා කිරීම, බුදුපිsළිම කරවීම, වැසිකිළි කරවීම ආදිය සරල ඒවා නොවේ. තවද කුසල් කිරීමේදී කාය චිත්ත සංවරය මෙන්ම එම ක්‍රියාව කෙරෙහි මනාව යොමුවූ සිතින් කළ යුතුය. එහි මහඟු ආනිශංස ලබාගත හැක්‌කේ ඇතුළතින් යොමුවු ක්‍රියාවක්‌ බවට පත්කර ගැනීමෙන් පමණි. මුදල් වියදම් කළ පමණින් උසස්‌ අනුසස්‌ ලද නොහැකිය. මේ පිනට එහා ගිය කුසලයක්‌ වන්නේ එබැවිනි. දන්දීම, පිනක්‌ වන්නේත්, සඟසතු දානය කුසලයක්‌ ලෙසත් දක්‌වා ඇත්තේ ක්‍රියාවට වඩා මානසිකව පවත්නා බරපතළ අකුසල ෙච්තනා යටපත් කිරීමට, උපදවා ගනු ලබන කුසලය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ නිර්වාණය දක්‌වා ගමන් කිරීමටද හැකියාව ලැබේ. බුද්ධ කාලීන උපාසක උපාසිකා පිරිස අතර කුසල් කළ සමහර දෙනා සෝවාන් වූ බවත් කෙනෙක්‌ රහත්වූ බවත්, ඇතැමෙක්‌ දෙව්ලොව උපන් බවත් සඳහන් වන්නේ කුසලය තුළින් නිවන් මඟ සාදාගත් ආකාරයේ ඇති වෙනස්‌ බව නිසාය.
සසර සැරිසරන සත්ත්වයා අතර මිනිසාට පින කුසලය ගැන මෙතරම් අවවාද කර ඇත්තේ මක්‌නිසාද? මිනිසා අන් සත්ත්වයන් අතර උසස්‌ වන නිසාය. එම උසස්‌ තත්ත්වය ලැබෙන්නේද සසර කළ පිනෙහි සහ කුසලයෙහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ලබාගත් උසස්‌ මනුෂ්‍ය භාවය ආරක්‌ෂා කර ගැනීමේ වගකීම තම තමන් සතු වේ. එමෙන්ම පිනෙහි විපාකය ලැබෙන්නේ එය කරන පුද්ගලයා පිහිටුවාගනු ලබන චිත්ත සම්පත්තිය අනුවය. ඇතැම් අය පින් කරන්නට ආරම්භ කරන්නේම ලෝභය පෙරටු කොට ගෙනය. අටපිරිකර පූජාව යනු අටමහා කුසලයකි. ආගමික ස්‌ථානයකින් අඩු මුදලට ලබාගෙන පූජා කිරීමට ඇතැමෙක්‌ යොමුවන්නේ එම මහා පින්කමේ අනුසස්‌ නොදැනය. අඩු මුදලට ගැනීමට සිතීමෙන් ලෝභය පෙරට එන සැටි ඔබට වැටහෙනවා ඇත. එවිට උසස්‌ ආනිශංසයක්‌ ලැබෙන්නේ කෙසේද? ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මොහෝ අකුසල මූලං (අකුසල මූල සූත්‍රය, අං. නිකාය). ලෝභය අකුසල මූලයක්‌ මිස කුසල මූලයක්‌ නොවේ. එනිසා පිනක්‌ හෝ කුසලයක්‌ කිරීමේදී අලෝභ අදෝස, අමෝහ කුසල මූල ඇතිකර ගැනීම ඉතාම වැදගත් වේ.
මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති සූත්‍රයක්‌ සංයුත්ත නිකායේ දැක්‌වේ. එය ඛණ සූත්‍රයයි. එහි දැක්‌වෙන ආකාරයට (ලාභාවො භික්‌ඛවෙ සුලද්ධං වො භික්‌ඛවෙ ඛණො වො පටිලද්දං බ්‍රහ්මචරියා වාසාය) මහණෙනි, ඔබට ලාභයෙකි, ඔබට යහපත් ලැබීමෙකි, බ්‍රහ්මචරියාව වාසය කිරීමට සුදුසූ අවස්‌ථාවක්‌ ඔබලා විසින් ලබන ලද්දේය. මහණෙනි මා විසින් ඡ ඵස්‌සායතන නම් නිරයො දැක්‌කෙමි. එහි ඇසින් යම් රූපයක්‌ දකීනම් අනිෂ්ට රූපයක්‌ම දකියි. ඉෂ්ට රූපයක්‌ නොදකී. (අනිට්‌ඨා රූපංයේව පස්‌සති නො ඉට්‌ඨ රූපං) අකමැති රූපයක්‌ම දකී. කැමැති රූපයක්‌ නොදකී. (අකන්ත රූපංයේව පස්‌සති නො කන්ත රූපං) ප්‍රිය මනාප නොවූ රූපයක්‌ම දකී. ප්‍රියමනාප රූප නොදකී. (අමනාප රූපං යේවපස්‌සති නො මනාපං) එමෙන්ම කනින් යම් ශබ්දයක්‌ අසයිද, අනිෂ්ඨ ශබ්දයක්‌ම අසයි. ඉෂ්ට ශබ්දයක්‌ නොඅසයි. අකමැති ශබ්දයක්‌ම අසයි. කැමති ශබ්දයක්‌ නොඅසයි. අප්‍රිය ශබ්දයක්‌ම අසයි. ප්‍රිය ශබ්ද ඇසීමට නැත. නාසයට යම් ගඳක්‌ දැනේ නම් අනිටු ගඳක්‌ම දැනේ ඉටු ගඳක්‌ නොදැනේ. අකමැති ගඳක්‌ම දැනේ, කැමැති ගඳක්‌ නොදැනේ. අප්‍රිය ගඳක්‌ම දැනේ ප්‍රිය ගඳක්‌ නොදැනේ. දිවෙන් යම් රසයක්‌ දැන ගනීද, අනිටු රසයක්‌ම දැනේ ඉටු රසයක්‌ නොදැනේ. අකමැති රසයක්‌ම දැනේ, කැමති රසයක්‌ නොදැනේ. අමනාපරසයක්‌ම දැනේ, මනාප රසයක්‌ නොදැනෙ. කයින් යම් ස්‌පර්ශයක්‌ බාද, අනිෂ්ට ස්‌පර්ශයක්‌ම ලබයි. ඉෂ්ට ස්‌පර්ශයක්‌ නොලබයි. අකමැති ස්‌පර්ශයක්‌ම ලබයි.කැමැති ස්‌පර්ශයක්‌ නොeබෙයි. අප්‍රිය ස්‌පර්ශයක්‌ම ලබයි. ප්‍රිය ස්‌පර්ශයක්‌ නොලබයි. සිතට යම් යම් අරමුණු එයිද, අනිෂ්ට අරමුණක්‌ම එයි, ඉෂ්ඨ අරමුණක්‌ නොයෙයි. අකැමැති අරමුණක්‌ම එයි, කැමැති අරමුණක්‌ නොයේ. අප්‍රිය අරමුණක්‌ම ලැබෙයි, ප්‍රිය අරමුණක්‌ නොලැබෙයි.
මහණෙනි, ඔබලාට ලාභයක්‌ම ලැබුණේය. යහපතක්‌ම ලැබුණේය. බ්‍රහ්මචරියා වාසයට සුදුසුම අවස්‌ථාවක්‌ ලබන ලද්දේය. මා විසින් ඵස්‌සායතනික නම් සුගතිය දකින ලද්දේය. (දිට්‌ඨි මායා භික්‌ඛවෙ ඵස්‌සායතනිකා නාම සග්ගා) එහි ඇසින් යම් රූපයක්‌ දකීද, ඉෂ්ට රූපයක්‌ම දකී. අනිෂ්ට රූපයක්‌ නොදකී. කැමැති රූපයක්‌ම දකී. අකැමැති රූපයක්‌ නොදකී. ප්‍රිය රූපයක්‌ම දකී. අප්‍රිය රූපයක්‌ නොදකී. කනින් යම් ශබ්දයක්‌ අසයිද ඉෂ්ට ශබ්දයක්‌ම අසයි.අනිෂ්ට ශබ්දයක්‌ නොඅසයි. කැමැති ශබ්දයක්‌ම අසයි. අකැමැති ශබ්දයක්‌ නොඅසයි. ප්‍රිය මනාප ශබ්දයක්‌ම අසයි, අප්‍රිය ශබ්දයක්‌ නොඅසයි. නාසයෙන් යම් සුවඳක්‌ දැන ගනීද, ඉෂ්ඨ වූ සුවඳක්‌ම දැනගනී, අනිෂ්ට වූ සුවඳක්‌ නොදැනේ. කැමැති වූ සුවඳක්‌ම දැනේ, අකැමැති සුවඳක්‌ නොදැනේ. ප්‍රිය වූ සුවඳක්‌ දැනේ, අප්‍රිය වූ සුවඳක්‌ නොදැනේ. දිවෙන් යම් රසයක්‌ විඳ ගනීද, ඉෂ්ට වූ රසයක්‌ම විඳියි, අනිෂ්ට වූ රසයක්‌ නොවිඳී. කැමැති වූ රසයක්‌ම විඳී, අකැමැති වූ රසයක්‌ නොවිඳී. ප්‍රිය වූ රසයක්‌ම විඳී, අප්‍රිය වූ රසයක්‌ නොවිඳී. ශරීරයෙන් යම් ස්‌පර්ශයක්‌ ලබාද, ඉෂ්ට වූ ස්‌පර්ෂයක්‌ම ලබයි. අනිෂ්ට වූ ස්‌පර්ෂයක්‌ම නොලබයි. කැමැති වූ ස්‌පර්ෂයක්‌ම ලබයි, අකමැතිවූ ස්‌පර්ෂයක්‌ නොලබයි. ප්‍රියවූ ස්‌පර්ෂයක්‌ම ලබයි, අප්‍රිය වූ ස්‌පර්ෂයක්‌ නොලබයි. සිතින් යම් අරමුණු දැන ගනීද, ඉෂ්ට වූ කැමැතිවූ, ප්‍රිය මනාප වූ අරමුණක්‌ම ලබයි. අනිෂ්ට වූ අකැමැතිවූ ප්‍රිය වූ අරමුණු නොලබයි.

ඉහත සඳහන් සූත්‍රය විස්‌තරාත්මකව දැක්‌වූයේ එහි සඳහන් අර්ථය මනාව දැන ගැනීම සඳහාය. බුදුරජාණන් වහන්සේ නිවැරැදි මාර්ගය දන්නේය (මග්ගඤ්­). මාර්ග පෙන්වීමෙහි දක්‌ෂය (මග්ග කෝවිදෝ). උන්වහන්සේ සර්වඥ බැවින් සියල්ල මැනවින් පසක්‌ කළ සේක. එබැවින් තමා දැක්‌ක දෙයම දැක්‌ක දේ ලෙස දේශනා කර ඇත. නිරයත් එහි ස්‌වභාවයත්, සුගතියත් සුගතියේ ස්‌වභාවයත් දකින උන්වහන්සේ මහාකරුණාවෙන් මිනිසාට දේශනා කරන්නේ දුගතියට නොයා සුගතියට යන ලෙසය. ඒ සුගතිය සැප සහිත බැවිනි. දුගතිය දුක්‌ සහිත බැවිනි.

එහෙත් බුද්ධ දේශනාවේ පරම සැපය ලෙස දක්‌වා ඇත්තේ නිවන් අවබෝධ කිරීමයි. නිබ්බානං පරමං සුඛං. එම නිසාම ලෝකෝත්තර සැප විෂයෙහි මූලික අවධානය යොමු කිරීම තථාගත දේශනාවේ දැකිය හැකිය. සංයුත්ත නිකායේ සගයිහ සූත්‍රයේ දක්‌වා ඇත්තේ මහණෙනි, දෙවි මිනිසුන් රූපයෙහි, ශබ්දයෙහි, ගන්ධයෙහි, රසයෙහි, අරමුණෙහි ඇල්මෙන් යුතුව, සතුටු වෙති. එම සංවේදන වෙනස්‌වීමෙන් විරාගයෙන්, නිරෝධයෙන්, දුක්‌ ඇතිව වාසය කරති. තථාගත සම්බුදුරජාණන් වහන්සේ රූප, ශබ්දාදියෙහි ඇතිවීමත්, නැතිවීමත්, ආස්‌වාදයත්, ආදීනවයත්, නිස්‌සරණයත් තතුසේ දැන අරූපයෙහි ඇල්ම නැතිව, රූප ශබ්දාදියේ විරාගයෙන් නිරෝධයෙන් සතුටුව වාසය කරන බවයි. මේ අනුව පින් කුසල් කිරීමෙන් මෙලොව සතුටින් වාසය කිරීමත්, පරලොව සුගතිගාමී වීමත්, මෙන්ම ලෝකෝත්තර සැප වශයෙන් නිවන් අවබෝධ කිරීමත් පෙන්වාදිය හැකිය. මෙම සෑම අවස්‌ථාවකටම වැදගත් වන්නේ ලබාගත් උතුම් මිනිස්‌ භවයයි. බණ සම්පත්තිය දැන් ලබාගෙන ඇත. උත්සාහවත් වීම තම තමන් සතු කාර්යයකි. නුවණැත්තෝ උත්සාහ කරත්වා.
 
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X