වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අත්හැරීමේ චේතනාවෙන්ම දන් දෙන්න

විසාලා මහනුවර වූ කලි බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි උත්තර භාරතයේ පිහිටි සුවිශාල නගරයකි. මේ කියන වකවානුවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ය. මෙහි විසූ සීහ සේනාපතියා ජෛනාගම ඉතාම භක්තියෙන් අදහාගෙන, නිගණ්ඨනාථපුත්තට දාන මානාදියෙන් සංග්‍රහ කරමින් සිටි එම ආගමේ බැතිමත් අනුග්‍රාහකයෙක් විය.

එක්තරා අවස්ථාවක ලිච්ඡවි රජවරු න් පිරිසක් එකතු වී බුද්ධරත්නයේ ගුණත්, ධම්ම රත්නයේ ගුණත්, සංඝ රත්නයේ ගුණත් ඉතා උත්කර්ෂවත් ලෙස වර්ණනා කරමින් සිටින ආකාරය සීහ සේනාපතිට දැන ගත හැකි විය. ඒ ගුණ ගායනාව අසා සිටි මොහුගේ සිතේ බලවත් ප්‍රසාදයක් ඇතිවිය. පැහැදීම හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යෑමට බලවත් ආශාවක් උපන්නේ ය.

සාමාන්‍ය වශයෙන් තමන් අදහන ආගමෙන් පිටස්තර ශාස්තෘවරයකු හමුවට යෑමට නම් තම ශාස්තෘවරයාගෙන් අවසර ගත යුතු වීම සිරිතක් විය. ඒ නිසා සීහ ද නිගණ්ඨනාථපුත්ත හමුවීමට ගොස් බුදුරජාණන් වහන්සේ දැකීමට යෑමට අදහසක් පහළ වූ බවත්, ඒ නිසා ඒ සඳහා අවසර ලබා ගැනීමට පැමිණි බවත් කියා සිටියේ ය. නිගණ්ඨනාථපුත්ත මොහොතක් කල්පනාකර, යම් කෙනෙක් බුදුරදුන් සමීපයට ගියොත් නම් ආපසු නොඑන බවත්, බුදුරදුන්ට යම් මායා බලයක් ඇති බවත් කියමින් බුදුරදුන් දැකීමට යාමට අවසර නොදී සිටියේ ය. බුදුරදුන් කෙරෙහි පවතින මේ මායා බලය ආවර්තනී මායාව නමින් හැඳින්වෙන බවත් වැඩිදුරටත් පැවසී ය.

සීහ සේනාපති ඉතා ධනවත් ය. මෙබඳු ධනවත් පුද්ගලයකුට බුදුරජාණන් වහන්සේ සමීපයට යන්නට ඉඩ දීමෙන් තමන්ට සිද්ධ වෙන්නේ බලවත් පාඩුවකි. නිගණ්ඨනාථ පුත්ත මහත් භීතියට පත්විය. ඒ නිසා වඩාත් බුදුරදුන් කෙරෙහි කළකිරීම ඇති කරවනු පිණිස බුදුරදුන් අකිරියවාදියකු බව ද කියා සිටියේ ය.

කෙසේ වෙතත් සීහ තම අධිෂ්ඨානය අත් හැරියේ නැත. දෙවැනි වරටත් අවසර ඉල්ලා සිටිමුත් එවර ද අසාර්ථක විය. තුන්වැනි වරට ද අවසර ඉල්ලා සිටියත් ඔහුගෙන් කිසිම ඉඩ හසරක් බුදුරදුන් හමුවීමට යෑමට නොලැබෙන බව දැන ස්වමතය අනුව ම බුදුරජාණන් වහන්සේ වෙත ගියේ ය. බුදුරජාණන් වහන්සේ හමුවට ගිය සීහ “ඔබ වහන්සේ වෙත එන්නට නිගණ්ඨනාථපුත්ත මට ඉඩ නොදුන්නේ ඔබ වහන්සේ “අකිරියවාදියෙක්” යැයි කියන නිසා බව පවසා එය සත්‍යයක්දැ යි විමසී ය. සිත, කය වචනයෙහි සුචරිතය දියුණු කරන අදහසින් අකිරිය නොව කිරියවාදියෙක් යැයි තමන් හට කියන බව බුදුරජාණන් වහන්සේ පැවසූහ.

මෙසේ දහම් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව සීහ සේනාපති සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. මෙසේ ඵලාධිගමනයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මොහුට දේශනා කළේ නිගණ්ඨනාථපුත්තට දුන් දානය නොනවත්වා තව දුරටත් දෙන හැටියටයි. සීහ දැන් මාර්ගඵල ලාභියෙකි. සම්මා දිට්ඨිය ලැබූවෙකි. ආර්ය භූමියට සැපත් වූවෙකි. සීලබ්බත පරාමාස යනුවෙන් හැඳින්වෙන මිසදිටු ඇදහිලි, විශ්වාස බුදු සසුනෙන් පිටස්තර අන් ශාසනයක සරණ යෑමක් නැත. මෙසේ සිටියා වූ මට මිථ්‍යාදෘෂ්ටිකයකුට දන් දෙන්න යැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවර කරුණක් නිසාද? ආර්ය භූමියට සැපත් වුවකුට මෙසේ කියන්නේ කුමක් නිසා දැයි සිතට විමතියක් ඇතිවිය. ඒ නිසා ඔහු මේ කාරණය බුදුරජාණන් වහන්සේගෙන් විමසීය.

දන් දෙන්නේ අන් කිසිවක් නිසා නොවෙයි. තණ්හාව නැති කිරීමට යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙහිදී වැදගත් වන්නේ දන් දෙන්නේ කාටද? යන්න නොව දානය කුමක් අරභයා ද යන කාරණයයි. මෙහි කුමක් අරභයා ද යන අදහස ගැඹුරින් විමසිය යුතු ය. බුදු දහමේ මූලික සිද්ධාන්තයක් නම් ‘අත්හැරීම’ යන කාරණයයි. නිර්වාණයට හේතු වන්නේ එයයි. සියල්ලෙන් ම මිදීමට සංසිඳීමට, ලෝකයට අයත් හැම ධර්මතාවයකින් ම මිදී ක්ෂාන්තී දායක වූ නිර්වාණය නිවීම සඳහා උපකාර වන්නේ අතහැරීම හෙවත් තෘෂ්ණාව නැත්තටම නැති කිරීමයි.

බුදුදහමේ එකම අවසාන පරමාර්ථය නැවැත්වීමයි. නවත්වන්නේ කුමක්ද? භව ගමනයි. නිර්වාණය කියන්නේ එයයි. එසේ නම් මේ සඳහා අප මෙතෙක් රැස් කරගෙන සිටි හා රැස් කරන සෑම දෙයක්ම අතහැර දැමිය යුතු ය. දානයෙහි පරම අර්ථය එයයි.

සසර දුකට එකම හේතුව හැටියට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් වන්නේ තෘෂ්ණාවයි. එය මුළුමනින්ම හැර දැමීමට නම් සියල්ල අත්හළ යුතු ය. ඒ නිසා දන් දෙන තැනැත්තා (ප්‍රතිග්‍රාහකයා) නොවෙයි වැදගත් වෙන්නේ. දීමේ පරමාර්ථයයි. සිල්වතුන් සොය සොයා දන්දීමට නොයා යුතු ය. අපට නැති කර ගන්න, ප්‍රහීණ කර ගන්නට තිබෙන්නේ තණ්හාවයි. කාට දන් දුන්නත් එහි පරමාර්ථය විය යුත්තේ සියල්ල අත්හැරීමත්, තණ්හාවට පහර දෙමින් නිර්වාණය කරා ගමන් කිරීමයි.

බුද්ධ දේශනාව අසා සීහ තවදුරටත් පැහැදුණේ තවත් දිනක් විශාලා මහ නුවර කූඨාගාර ශාලාවේ දී ඔහු බුදුරජාණන් වහන්සේගෙන් දානයේ සාන්දෘෂ්ටික ප්‍රතිවිපාක තිබේ දැයි ඇසීය. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

දන් දෙන පුද්ගලයෝ දන් දෙන ආකාරය අනුව තුන් ආකාර වේ. එනම්,

දාන දාස, දාන සහායක හා දානපති යනුවෙනි.

දාන දාස -

මොහු දානය පන්සලට යවන්නේ දාසයන් අත ය. නිවසේ දී දානය පිළිගන්වන අවස්ථාවක නම් සේවක සේවකාදීන් ලවා එය පිළියෙල කර ගනී. තමන් භුක්ති විඳින ප්‍රමාණයට වඩා අඩුවෙන් දානය පිණිස දීමට සලස්වයි.

දාන සහායක -

අන් පුද්ගලයන් දන් දෙන විට දානය පිළියෙල කරගැනීම ආදිය සඳහා උදව් කරයි. යහළුවන්ටත් තමන් අනුභව කරන ආකාරයට ම සංග්‍රහ කරයි.

දානපති -

තමා පරිභෝග කරනවාටත් වඩා හොඳින් දන් දෙයි. සියතින් ම සකසා මැනවින් තමා අතින් ම පිළිගන්වයි. දානයෙහි ආනිශංස පස් ආකාර වේ.

සමාජයේ කා අතරත් පි‍්‍රය මනාප පුද්ගලයකු බවට පත්වේ. මේ ආනිසංස ලබන්නේ දානපතියා ය.

දානය නිසා තව තවත් සත් පුරුෂයන් බොහෝ කොට හඳුනා ගැනීමට අවස්ථාව උදාවෙයි. යහපත් කෙනකුගේ ඇසුර ලබන්නේ තවත් එබඳුම යහපත් කෙනෙක් ම ය.

ප්‍රසන්න වූ කීර්ති රාවයක් පැතිර යයි.

දානපතියාට ඕනෑම සභාවක් මැදට ගිය විට විශාරදයකු සේ නිර්භයව බැබළේ.

මරණින් පසු සුගතිගාමී වී වේ.

සීහ සේනාපතියා මේ බුද්ධ දේශනාව අසා සිට මෙසේ පැවසීය. මේ ආනිශංසවලින් මුල් හතර මට ශ්‍රද්ධාවෙන් තොරව ම පිළිගත හැකිය. එය පිළිගැනීමට මට ශ්‍රද්ධාවක් අවශ්‍ය නොවේ. මුල් ආනිසංස සතරම සාන්දෘෂ්ඨික ය. ප්‍රත්‍යක්ෂ ය. මගේ ජීවිතයෙන් ම මට පෙනී යයි. පස්වැන්න මා පිළිගන්නේ ශ්‍රද්ධාවෙනි. කුමක් නිසාදැයි කිවහොත් මතු ආත්ම භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් මට නැති නිසා ය.

සීහ සේනාපති මනා කොට දන් දුන් කෙනෙකි. මරණින් මතු සුගතිගාමී වන බව පමණක් ප්‍රත්‍යක්ෂ භාවයේ තොර නිසා ශ්‍රද්ධාවෙන් පිළිගත යුතුව මෙන්, අප ද ශ්‍රද්ධාව දියුණු කරගෙන ප්‍රත්‍යක්ෂය කරා යා යුතු ය.

දේශනාව අවසානයේ සීහ සෙන්පතියා අතිශයින් පී‍්‍රති ප්‍රමෝදයට පත්විය. ජීවිතයට සතුට ලබා ගැනීමේ එකම මඟ ධර්මය උපයෝගී කර ගැනීමයි. කාට වුවත් ප්‍රශ්නයක් නැත. අත්හැරීමේ චේතනාවෙන් යුතුව ම දීමෙහි නරත වන්න. නිවනට මඟ එය ම වන්නේ ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෝධි රෝපණය කිරීමේ ආනිශංස.

🌸🌿
🌿🌸
🌸🌿🌸“උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
“ලෝක ජ්යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතුටු සිතින් උන්වහන්සේගේ පියා බෝ රුකින් ඵලයක් ගෙන උතුම් බෝධියක් රෝපනය කෙළෙමි.
“එය නම්න් අසන පියා නම්වූ බෝධි වෘක්ෂයයි. එම උතුම් බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි. (පිදීමි.)
“ආශ්චර්ය්යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්රකාශ කරන්නේ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි.
“එකල්හි සියල්ල තෙමේ දැනගත්තාවූ, අග්ර පුද්ගලවූ, ඒ තිස්ස සර්වඥ තෙමේ භික්ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක.
🌸♀️🌸“යමෙකු විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු (කවරෙක්දැයි) ප්රකාශ කරන්නෙමි. (එය) ප්රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.
🌸♀️“(හෙතෙම) තිස් කපක් දෙවියන් අතුරෙහි දිව්ය රාජ්යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය.
🌸♀️“කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව්ය මනුෂ්ය සම්පත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය.
🌸♀️“වීර්ය්යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශ්රව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.
🌸♀️“විවේකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ, මම හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
🌸♀️“මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි (එම) පියා බෝධිය රෝපණය කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මේ විපාකයයි.
🌸♀️“මෙයින් සූ සැත්තෑවන කපෙහිවූ එකල්හි සත් රුවණින් යුත් දණ්ඩසේන නම් සක්විති රජෙක් වීමි.
🌸♀️“මින් තෙසැත්තෑවන කපෙහිවූ පෘථිවීශ්වරවූ සමන්තනෙමි නම්වූ සක්විති රජවරු සත් දෙනෙක් වූහ.
🌸♀️“මින් පස්විසිවන කපෙහි සත් රුවණින් යුත්, මහත් බල ඇති, පුණ්ණක නම් සක්විති රජෙක් වීමි.
🌸♀️“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසනබෝධිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
( ඛුද්දක නිකාය - අසනබෝධිය ථෙරාපදානය )
තෙරුවන් සරණයි!!! සුවපත් වේවා!!!🌸🌿🌸
රුවනි මහේශා නෙත්මින  


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගෙඩිය ගැසීම සහ එහි ආනිසංස ධර්‍මතා

ගෙඩිය ගැසූ කළ.

සතං හත්ථි, සතං අස්සා... යනාදීන් සිහිකරමින් දාගැබ් මහබෝයට එළඹ පිදිය හැකි වතක් ඇත පුදා..
යනාදී ලෙස දක්වන ගෙඩිය ගැසීම...🌼👉
මෙහිදී ගොඩක් පහල මාත්රාවේ සිට ඉහළ මාත්රාව දක්වා නාඳය ගෙනවිත් නැවත අඩු ශබ්ද නාදයේ සිට ඉහලට යෑම සිදු කොට මෙසේ තෙවරක් ම එය සිදු කොට.අවසානයේ තුන්වර ගෙඩිය ගැසීමටත්.
ඒ පිණිස ලී ගෙඩියක් යොදාගැනීමටත් විශේෂ හේතු ඇත මෙහිදී ඒ සඳහා විශේෂ හේතුවක් ලෙස ගත යුත්තක් නම්..

භාවනා යෝගී ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතය වැඩීමට උපෝෂථ විනය කර්මයකට හෝ යම්කිසි සාසනික කටයුත්තකට වෙලාව හඟවන විට එය
එකවර මහා සද්දයක් ඝාන්ටාවක් හඬ නැගීමෙන් ව උන්වහන්සේලාගේ භාවනාව බිඳී සමහරවිට මාර්ගඵල සිතකට පත් වෙන්නට තිබූ අවස්ථාවක් ද නැති විය හැක...
එබැවින් කුඩා සබ්ද ඒ සිට හිමින් හිමින් දැනෙන තරමේ ශබ්දයකට එන විට
ඒ භාවනා සිතට පළිබෝධයක් නොවී හිමින් හිමින් ශබ්දය අරමුණට පැමිනේ
දෙවන තෙවන වතාවටත් හඬ නංවන විට ඊටත් වඩා ගැඹුරු මනසිකාරය ක සිටින හිමිවරුන්ට ද එය ඇසේ.
අවසානයේ තෙවරක් ශබ්ද නාඳ පැවැත්වීම තුළ හරියටම එය ගෙඩි සබ්දය බව ඒ සංසුන් සිතට තහවුරු වේ...
විශේෂයෙන්ම කුරුල්ලෙක් ගහකට කොටනාව වන් ස්වභාවික ශබ්දයක් නිසා එය සිතට සිසිලසක් සැනසීම ගෙනදේ බාධාවක් නොවේ.
වන ගැබ මැද්දෙන්..
ගෙඩි හඬ මතුවී එන ආකාරය හරිම සාසන මිහිරියාවකි.🙏😌
මේ ගෙඩි පූජාවෙහි ආනිසංස මහත්ය..🌼👉
*៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐*
මහා සංඝරත්නය පිණ්ඩපාත වැඩීම,මහා සංඝරත්නය එක් රැස් කර කැදවීම,වත් පිළිවෙත් කිරීම ඇතුළු කාල වේලාව හැදින්වීම සදහා ආරණ්ය සේනාසන වල භාවිතා කෙරෙන නාද කර ශබ්දය මුදා හැර කාල හැගවීම සදහා අවශ්ය උපකරණක් වන "ගෙඩිය" නිර්මාණය කිරීම.
පින්වත් එරන්ද මහත්මා සහ උපුල් මහත්මා ඇතුලු සැදැහැති පිරිසගේ ගෙන් ප්රධානත්වයෙන් සිදු වූ මෙම පින් කැමැත්තෝ ඉතාම ශ්රද්ධා සිතින් දැකබලා අනුමෝදම් වෙත්වා,
ගෙඩිය ගැසූ කළ
"සතං හත්ථි සතං හත්ථි අස්සා" යනාදීන් සිහිකරමින් දාගැබ් මහා බෝයට එළඹ තිබිය හැකි වතක් ඇත පුදා .
යනාදී ලෙස පුරාතනයෙහි පටන් ම.
මේ විශ්වයේ දී බුදු පසේබුදු උතුමන්ට පසුව වඩාත්ම ශ්රේෂ්ඨ උත්තම උත්තමයෝ වැඩ හිත පිණිස වන භික්ෂූන් වහන්සේලාගේ උතුම් පිම්බර අර්ථවත් පැවිදි ජීවිතය ඇරඹෙන්නේ ගෙඩියෙනි.
මෙහි ආනිසංස සලකා බලන විට හේතුඵල ධර්මතාවය තුළින්.
ප්රධාන විමසා බැලිය යුත්තේ ගෙඩියකින් සිදුවන කාර්යභාරය කුමක් ද සහ එම ගෙඩි පූජාව සිදු කරන්නේ කවුරුන් උදෙසාද කියන කාරණා දෙකයි.
ඒ අනුව පළමුව දැක්වූ පරිදි මෙම ගෙඩි පූජාවකින් සිදුවන සාසනික කාර්යභාරය කාර්යභාරය කුමක්දැයි විමසා බැලීමේදී.
පුරාතනයේ පටන්ම මේ ගෙඩිය භාවිතා වූවා සේම බුද්ධ කාලයෙහි පෙර බුද්ධ ශාසන වලත් භික්ෂූන් වහන්සේලාගේ එක් රැස්වීමට භාවිතා වන්නේ මෙම ගෙඩියයි.
මෙය බව බොහෝ බෞද්ධ මාතික මාතාදී කතා පුවත්ද ත්රිපිටක සූත්ර ධර්ම ජාතකාදිය තුළ සඳහන් වේ
ඉතින් පින්වත් අප පිරිස විසින් ඇහැළ ගස් වලින්. සකසා ආරණ්ය සේනාසන .සියයක් උදෙසා සිදුකෙරෙන මෙම ගෙඩි පූජා පූජා සියය තුළින්...
සිදුවන කාර්යභාරය මෙසේ පෙළ ගැසුවහොත්.
පින්වත් ආරණ්යවාසී යෝගී ස්වාමීන් වහන්සේලාගේ උතුම් පින්බර වත් පිළිවෙත් සරු ජීවිතයට මහත් උපකාරයක් ලෙස සකසා පූජා කරන මෙම ගෙඩි පූජාවෙහි ආනිසංස සලකා බලන විට...
මේ විශ්වයෙහි උතුම්ම මග වන නිවන් මඟ වඩන පූජනීය යෝගාවචර ස්වාමීන් වහන්සේලා දිනය අරඹන්නේ වෙන ගෙඩිය හැඬ වීමෙනි.
එයින් ඇරඹෙන පින්වත් පින්වත් ජීවිතය තුළ එදිනෙදා සිදුවන සෑම විශේෂ කටයුත්තක්ම දැනුවත් වීමට මෙම ගෙඩිය භාවිතා වේ.
එනම්.
නවදහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ තිස් හය දහසකින් යුතු වන ගරු උපසම්පදා සීල පාරිශුද්ධිය පිණිස මසකට දෙවතාවක් සිදු වන
උපෝසථ විනය කර්මයට සංඝයා එකතු වන්නේ මෙම ගෙඩිය හැඩ වීමෙනි.
එසේම මහා වටිනාම දිව්යක තවත් දිනය් ඇරැඹුනු බව ගෙඩිය හැඩ වීමෙන් දැන.
එසේ දිනය ඇරඹි ස්වාමීන් වහන්සේලාට බුද්ධ වන්දනාව සඳහා දැනුම් දෙන්නේ ද මෙම ගෙඩි නාදයයි.
ඉන්පසු හීල දානය සඳහාත්.
දහවල දානය සඳහාත් ස්වාමින් වහන්සේලා එය දැනුවත් වන්නේ මෙම ගෙඩි නාඳයෙනි.
ඉන්පසු සවස බුද්ධ වන්දනාව සඳහා දැනුවත් වන්නේත් මෙම ගෙඩි නාඳයෙනි.
එසේම හදිසි අනතුරු අවස්ථාවක් ආපදාවක් සංඝයා එකතු වෙති විශේෂ කාරණාවක් ගැන දැනුවත් වන්නේ ද මෙම ගෙඩි නාදයෙනි.
ඉන්පසු ආරණ්ය සිදුවන විශේෂ පින්කම්. භාවනා වැඩසටහන් වැනි දෙය ගැන ද ස්වාමීන් වහන්සේලා දැනුවත් වන්නේ මෙම ගෙඩි නාමය තුළිනි.
එසේම සංඝ සාමගිය පිණිස සංඝයා එකතු වී බොහෝ ධර්ම විනයානුකූල කටයුතු කතාබහ කර ගන්නේ ද ගන්නේද මෙම ගෙඩි නාදය තුළිනි...
මෙසේ සංඝයාගේ සියලු කුදු මහත් කටයුතු වලදී උන්වහන්සේලාව දැනුවත් කරවමින්.
බොහෝ කුටි ගණනයේ බොහෝ ස්වාමීන් වහන්සේලාට පණිවිඩ රැගෙන ගොස් වෙහෙසවීමට වන වෙහෙස වළක්වමින් ස්වභාවික ලෙස බණ භාවනා වඩින ස්වාමීන් වහන්සේලාගේ සිත හිමීට සමාධිමත් ව එයින් අවදි කිරීමට සමත් මෙම ස්වභාවික ගෙඩි නාදය සහිත මෙම ගෙඩි පූජාව යනු සාමින් වහන්සේ ලාගේ මුළු ජීවිතයම එක්තැන් කරන කාල මාපකයකි....
මේ සියලු කටයුතුවලින් උතුම් මහා සංඝරත්නයට සිදු වන ආනිසංශ සලකා බලන විට.
මේ ගෙඩි නාදයකින් හැමවිටම උන් වහන්සේලා වෙමු කරන්නේ දාන සීල භාවනා සීල සමාධි ප්රඥා කියන ත්රිශික්ෂාවන් වෙතය.
නොහොත් ශාසනික වත පිලිවෙත සංඝ සාමග්රිය.
ආදී සියලු සග කටයුතු සංඝ කිස සිහිපත් කරවීමයි.
ඒ හරහා උන්වහන්සේලාට ප්රධානම දියුණු වන්නේ තමන්ගේ සීල සමාධි ප්රඥා ය...
එසේ එකතුව සීල සමාධි ප්රඥා වැඩීම තුළ තමන්ට ලෝකයට සෙත ශාන්තිය හා යහපත සලසන ආකාරය ගැන කතා බහ කිරීම තුළත්
එසේ එකතුව කටයුතු කිරීම තුළ එසේ සංඝ සාමග්රිය ගොඩනැගීම තුලිනුත්.
මෙය ලොව උතුම්ම නිවන් මඟ ගමන් කරන මහා සංඝරත්නයෙහි උතුම් ජීවිතයත් ඒ හරහා යහපත ලබන.සිව්වනක් පිරිසගේ ම ජීවිතයත් ඉමහත් දියුණුවට පත්වේ
..
මෙසේ මෙවන් යහපතක් සැලසෙන මහා පුණ්ය ධර්මයක් වන ගෙඩි පූජාවෙහි ආනිසංස ලෙස එය සකසන අයටත් මෙම ආනිශංස.
හේතුඵල ධර්මය තාවයක් ලෙසම ලැබීම තථාගත ධර්මයයි සදාකාලික නියමයයි එනම්....🌼👉
කුමන ජීවිතයක් ලැබුවත් තමන්ගේ වැඩ කටයුතු ඉතාම පිලිවෙලට හොඳින් කිරීමට ඇරඹීමට හැකියාව ශක්තිය ලැබීම.
ඒ කරන කියන කටයුතු ඉතාම ධාර්මික දේවල්ම වීම .
සිහිය දියුණු වීම.
දානමය ශීලමය භාවනාමය පින්කම් සඳහා තමන්ව අමතක නොකර සත්පුරුෂයන් විසින් සම්බන්ධ කර ගැනීම ....
අමතක නොවී තමන්ගේ ධාර්මික ලෞකික ලොව්තුරු ජීවිතය හොඳින්ම ම වඩවාගැනීමට සිහිපත් වීම...
සංසාරය පුරාම ඉතාමත් සමගි සම්පන්න ජීවිතයක් ගත කිරීමට හේතු සකස් වීම...
විශේෂයෙනඑසේ සේම ප්රධානව තමන්ගේ සීල සමාධි ප්රඥා මැනැවින් ම දියුණු වීමට හැමවිටම උපකාර ලැබීම ....
ඒත් මේ සියල්ල ලැබෙන්නේ මේ සියල්ල ගැන ඇති හේතු ඵල හේතුඵල ධර්මතාව විශ්වාසය ශ්රද්ධාව ප්රඥාව යොදවා එය සිදු කරන තරමටය ...
එබැවින් සියල්ලෝ ම මෙම කරුණු කාරණා හොඳින් සලකා බලා ශ්රද්ධාව ප්රඥාව පිහිටුවා මෙම ගෙඩි පූජාව අනුමෝදන් වෙත්වා
*තුනුරුවන්ගේම සරණයි* !
🌹 සාදූ ! සාදූ ! සාදූ ! 🌹
____❂____
සිදුවූ ගෙඩි පූජාව පිළිබඳව පින්වත් ගුරු ස්වාමීන් වහන්සේගේ පුණ්යානුමෝදනාව කි.
ආලෝකෝ උදපාදී

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ශ්‍රාවකයකුගේ අභිමානය සීලානුස්සති භාවනාවයි ...


පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු

සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු උදාර ගුණාංගයක් වන්නේ සීලානුස්සතියයි. සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ වචනයත්, කයත් සංවර කර ගැනීම තුළ තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමයි.

තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමේ දී තමන්ගේ වචනයෙන් සිදුවුණ අඩුපාඩු, කයින් සිදුවූ අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනේ.

ඉන්පසු තමන් කය හසුරුවන ආකාරය ගැන සිහියෙන් ඉඳල, උදෑසන ම අවදිවෙලා අධිෂ්ඨාන කරන්නට ඕනෙ මම මගේ ශරීරය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ. මම මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ කියලා.

තමන්ගේ කයත්, වචනයත් පිළිබඳ ශාන්ත බවක්, සංවරබවක් ඇති කර ගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන කොට තමන් නොදැනීම උදාර ගුණාංගවලට තමන් හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඒ තුළින් තමන්ට පුළුවන් වෙනවා සියලු දෙනා කෙරෙහි තමන් ගැන විශ්වසනීයත්වයක් ගොඩනඟන්න.

මම අද මගේ කය මුල්කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නෑ. සොරකමක් කළේ නෑ. වැරැදි ජීවිතයක් ගෙවුවේ නෑ. යහපත් ජීවිතයක් ගෙවුවා. මත්පැන් පානයට යොමු වුණේ නෑ. කිසි කෙනෙක් බොරුවෙන් රැවටුවේ නෑ. කේළමක් කිවුවෙ නෑ. පරුෂ වචනයක් කිවුවෙ නෑ. හිස් වචන කියමින් කාලය කා දැම්මෙ නෑ.

මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේ දී, පිරිසුදු වස්ත්‍රයක් දෙස බැලීමේ දී ඒ පිරිසුදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ, තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට පේන නිසා තමන්ගේ සිල්වත් බව භාවනාවක් හැටියට දියුණු කර ගන්නවා.

මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිරතුරුව ම සිදු කරන භාවනාවක්. සීලානුස්සති භාවනාව සිහි කරන්න සිහිකරන්න සිත ශාන්ත වෙනවා. හිතේ තියෙන පසුතැවිල්ල, විපිළිසරබව කලබලකාරී බව නැතිවෙලා යනවා.

මේ සංසිඳීමත් එක්ක සිත සමාධිගත වෙනවා. තම තමන්ගේ ගුණාත්මක ජීවිතය යළි යළි සිහිකරන්න පුළුවන්කම කෙනකුට ලැබෙන උතුම්ම ලාභයක්. ඔබ තුළ ඇති උතුම් ගුණාංග නිරන්තරයෙන් ම මනසිකාරයේ යෙදෙමින් භාවනාමය වශයෙන් දියුණුවක් කරා යන්න පුළුවන් වෙනවා.

සීලානුස්සති භාවනාව

මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිල්වත් වන සේක. බුදුරජාණන් වහන්සේ කය සංවර කළ සේක. වචනය සංවර කළ සේක. පිරිසුදු ජීවිතයක් ගත කළ සේක. කයින් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුව ම ප්‍රහාණය කළ සේක. වචනයෙන් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුව ම ප්‍රහාණය කළ සේක. මිථ්‍යා ආජීවය බැහැර කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළ සේක. සීලය පරිපූර්ණ කළ සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ සීලයෙන් යුතුව සියලු දෙව් මිනිසුන් හට මහා කරුණාවෙන් සීලය පිළිබඳ දේශනා කොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සීලය නිරතුරුව ම මම ආරක්ෂා කරමි. සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන් යුතුව ම සිල් පද ආරක්ෂා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි.

මම සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරවමි. ලොකු කුඩා කිසිම සතකුට දැන දැන කිසිම හිංසා පීඩාවක් නොකරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා මා තුළ භය, තැතිගැනීමක් නැත. අන් සියලු සත්වයෝ ද බියෙන් හා තැතිගැනීමෙන් වළකින්නේ ය. සුව සේ ජීවත් වන්නේ ය.

මම සතුන් මැරීමෙන් වැළකී අන් සියලු දෙනා ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවමි. එහි ගුණ කියමි. මම සතුන් මැරීමෙන් වැළකීම නිසා ද, අන් අය සමාදන් කරවීමෙන් ද, ගුණ ප්‍රකාශ කිරීමෙන් ද අප්‍රමාණ සතුටක් ලබමි. ඒ සතුට මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාර වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසිම තැනක දී, කිසිම අයුරකින් අනුන් සතු දෙයක් සොර සිතින් නොගනිමි. ඉතා කුඩා වූ දෙයක් පවා සොර සිතින් ගැනීමෙන් වළකිමි. මා මෙන් ම අන් සියලු දෙනා ද තම තමන්ගේ ධනයට හා වස්තුවට ආශා කරති. මම කිසිවකුගේ කිසිම දෙයක් සොර සිතින් හෝ වංචාවෙන් රවටා පැහැර නොගනිමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම වැරැදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මෙම සිල් පද ආරක්ෂා කරමි. මම මාගේ බිරිඳ කෙරෙහි, (ස්වාමියා කෙරෙහි) ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. මාගේ දරුවන් කෙරෙහි ද ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. පිරිසුදු චරිතයක් ඇත්තෙක් වෙමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසි තැනකදී. කිසිම අයුරකින් බොරුවෙන් අන් අය රැවටීම නොකරමි. බොරු කීමෙන් පීඩාවට පත් නොකරමි. සත්‍ය වූ වචනම කතා කරමි. සත්‍යයෙහි පිහිටා කතා කරමි. සියලු දෙනාට ඇසීමට ප්‍රිය වූ, මිහිරි වචනම කතා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිස ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි.

බලවත් වීරියෙන් හා සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් මා ආරක්ෂා කරන මේ සීලය සිහි නුවණ දියුණුවීම පිණිසම උපකාර වන්නේ ය. වීරිය පිණිසම උපකාර වන්නේ ය. සමාධිය දියුණුවීම පිණිසම උපකාර වන්නේ ය. චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම උපකාර වන්නේ ය.

මාගේ මේ සීලය නිරතුරුව ම ආරක්ෂා කර ගනිමි. මේ සීලානුස්සති භාවනාව සතුට පිණිස ම, ප්‍රමෝදය පිණිස ම, සමාධිය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාර වේවා!


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගුණ ඇත්තන්ට දෙන දානයේ විපාකය ප්‍රමාණය කරන්න එපා

 

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි

අතීතයේ ලක්දිව කම්පුව නමින් ගමක් තිබුණා. හෙළදිව අවසන් මහරහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධ මාලෙය්‍යදේව හෙවත් මලියදේව තෙරුන් වහන්සේ ඒ ගම ඇසුරු කරගෙන දිනපතා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළා.

උන්වහන්සේ එක් දිනක් උදෑසනින් නැඟිට පාත්‍ර සිවුරු අරගෙන පහත හෙළාගත් ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගෙපිළි වෙළින් පිඬුසිගා වැඩියා. එසේ වඩින තෙරුන් වහන්සේ දුගී පවුල් කිහිපයක් ජීවත්වන පෙදෙසකටයි මෙදින වැඩම කළේ. එහි ජීවත්වුණා ඉතා දිළිඳු වූ, අසරණ වූ මහලු කාන්තාවක්.

ඇය ඉතා අපහසුවෙන් සකසා ගත් කැඳ ස්වල්පයක් ආහාරයට ගැනීමට උදෙන්ම සූදානම් වී සිටියා. ඒ මැහැල්ල ඒ මොහොතෙහි ම ඈතින් වැඩම කරන මලියදේව තෙරුන් වහන්සේ දුටුවා. සමීපයට වැඩම කරන තෙක් පෙරමඟ බලා සිට ශ්‍රද්ධාවෙන් කැඳ කෝප්පය පිළිගැන්වූවා. ඇය බොහෝම සතුටට පත් වුණා. බත් උළුවලින් හා පිටිවලින් මිශ්‍ර වූ ඒ කැඳටික අරගෙන තෙරුන් වහන්සේ නිදහස් ස්ථානයකට වැඩම කළා.

මලියදේව තෙරුන් වහන්සේට පිණ්ඩපාතය නො ලැබුණ බව දැනගත් පුවඟුදිවයින් වැසි මිත්‍ර තෙරුන් වහන්සේ නමක් වූ තිස්ස තෙරුන් විසින් භික්‍ෂූන් වහන්සේ දෙනමක් පිණ්ඩපාතය රැගෙන උන්වහන්සේ වෙත එවා තිබුණා. මලියදේව තෙරුන් වහන්සේ ඒ දෙනම ගෙනා ආහාර පිළිගන්ට අකමැති වුණා.

දුප්පත්, අසරණ, මහලු කාන්තාව පිළිගැන්වූ කැඳටිකම ඇයට අනුකම්පා පිණිස වැළඳුවා. එය වළඳා අවසානයේ දිවසින් බලා වැඩම කර සිටි දෙනම අමතා, ‘පින්වත් ස්ථවිරයෙනි, මා වෙත අද කැඳ පිළිගැන් වූ අසරණ මැහැල්ල සැටකල්පයක් මුළුල්ලේ මෙහි විපාක විඳීනවා”යි ප්‍රකාශ කළා.

තෙරුන්ගේ කීම ඇසූ ඒ පිණ්ඩපාත භෝජනය ගෙනා රහත් තෙරුන් වහන්සේ දෙනමගෙන් එක් නමක් ප්‍රතිඋත්තර දෙමින් “ස්වාමිනි, දුර්භික්‍ෂ කාලයේ දී දුෂ්කර දෙයක් කළ මේ උපාසිකාව සැත්තෑ කල්පයක් සැප විඳීන්නේ යැයි මට පෙනෙනවා” යි පවසා සිටියා. දෙවැනි තෙර නම ඒ බස් අසා, “මහතෙරණුවෝ ආනිශංස ස්වල්පයයි දුටුවේ. ඔබ වහන්සේත් ස්වල්පයයි දුටුවේ. මේ මැහැල්ල අසූකල්පයක් සැප විඳීන බව මට පෙනෙනෙවා’යි කියා සිටියා. ඒ භික්‍ෂු දෙනම නැවත රේවත නම් මහතෙරුන් වෙත ගොස් සැක දුරු කර ගැන්ම සඳහා ඒ කාරණය නැවතත් විමසා බැලුවා. එහි දී උන්වහන්සේ අමතා “ස්වාමිනි, ගැටලුවක් තිබේ, මාලෙය්‍යදේව තෙරුන් වහන්සේට එක් මැහැල්ලක් කැඳ දානයක් පිළිගන්වා තිබෙනවා. උන්වහන්සේ එහි ආනිශංස වශයෙන් සැටකපක් සැප විඳින බව දකිනවා.

මම සැත්තෑකපක් යැයි ප්‍රකාශ කළා. ධම්මගුත්ත තෙරුන් වහන්සේ පවසන්නේ අසූකපක් ඒ මැහැල්ල කැඳ දානයේ විපාක විඳින බවයි. තුන්දෙනා වහන්සේ ම ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් ආනිශංස ප්‍රමාණය කරමින් දකිනවා. ඔබ වහන්සේට කෙතෙක් පෙනේ දැයි කිව මැනවැ”යි විමසා සිටියා. එවිට උන්වහන්සේ දෙනම ඇමතූ රේවත තෙරුන් වහන්සේ

“පින්වත් ස්ථවිරයෙනි,

මලියදේව තෙරුන් වහන්සේත්, තොප දෙදෙනා වහන්සේත්, අල්ප සංඛ්‍යාවක් ම යි දැක තිබෙන්නේ. ඒ මහලු කාන්තාව අනූකපක් සැප විඳීමට භාග්‍ය උදාකර ගෙන තිබෙන බව මට පෙනෙනවා” යි පවසා සිටියා.

මේ භික්‍ෂු දෙනම සාගරයට ඇතුල්ව එහි වැඩ වසන මහත් ඍද්ධි ඇති නාග තෙරුන් වෙත එළඹ මේ කාරණය තවදුරටත් පැහැදිලි කර ගැනීමේ අදහසින් ඉදිරිපත් කළා.

නාග තෙරුන් වහන්සේ ඒ දෙනම කේලාසපබ්බත විහාරයට යවා එහි වැඩ වසන උන්වහන්සේගේ ශිෂ්‍යවරයකු වූ සාමණේර නමකගෙන් විචාරා දැන ගන්නට සැලැස්වූවා.

ධම්මගුත්ත තෙරුන් වහන්සේත්, අනෙක් භික්ෂුවත් එහි ගොස් සාමණේර නමට ඒ සියල්ල කියා සිටියා. හැම දෙනාගේ ම කීම් ඇසූ, පිරිසුදු නුවණැති, දක්‍ෂ වූ සාමණේර නම මොහොතක් කල්පනා කොට බලා

“මේ දානය අප්‍රමේය වූ, කල්ප වශයෙන් ගණන් කළ නො හැකි කාලයක් විපාක දෙන්නක්.

එහෙත් මෙහි වරදක් තිබේ, එය පිළිගනු මැනවි. යම් කිසිවකු විසින් පිරිසුදු සිතින් අධික ගුණ ඇත්තන් කෙරෙහි දෙන ලද දානයාගේ විපාකය ප්‍රමාණ කරන්නට යන්න එපා, එය නො වටිනා වැඩක්, අශෝභන දෙයක්, සිත කිළුටු කරන දෙයක්”යැයි දක්වමින් ධර්මාවවාද කළා.

වැඩිමහලු වූ දෙදෙනා වහන්සේ ම එය මහත් ගෞරවයෙන් පිළිගත්තා.

දන්දීමෙන් පසු එහි විපාක කොතරම් දැයි ගණනය කිරීම හෝ ප්‍රමාණය කිරීම හෝ නො වටිනා බවත්, බෞද්ධ ඉගැන්වීම්වලට නො ගැළපෙන බවත්, නිවනට බාධා පමුණුවන බවත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

මෙය බෞද්ධ සැදැහැතියන්ටත්, දන් දෙන සෙසු ජන කොටස්වලටත් මහත් උපදේශයක් ලබාදෙන කතා පුවතක්. දුන් දෙයෙහි වටිනාකමත්, එයින් ලැබෙන විපාකත් ගණනය කිරීම නොවැදගත් දෙයක් බවයි මේ කතා පුවතින් පෙන්වා දෙන්නේ.

ඔබ දන් දී වියදම් වූ මුදල ගණනය කිරීමටවත්, ලැබෙන ආනිශංස ප්‍රමාණය කිරීමටවත්, මැන බැලීමටවත් නො යන්න. එය පින්කමක ඇති නො වැදගත්ම දෙයයි. මෙය ඉතා පැරැණි සිංහල බණ කථාවල සඳහන් වන වටිනා කතා පුවතකි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෝධි පූජාවේ නිවැරැදි පිළිවෙත්

 

හෝමාගම, පිටිපන දකුණ මෙත්සිත් අරණ විවේක සෙනසුනේ විහාරාධිපති,

බෞද්ධ ජනතාව, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිරතුරු පුදපූජා පවත්වන පූජාර්හ වස්තූන් අතර දළදා වහන්සේටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ‘බෝධි’ යන වචනයේ තේරුම නිවැරැදි, පැහැදිලි, සම්පූර්ණ වූ දැනුමයි. අවබෝධයයි. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු රුක පාමුලදී සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අර්ථවත් වන්නේ ලෝක සත්‍යය පිළිබඳ නිවැරැදි, පරිපූර්ණ වූ දැනුම සහ අවබෝධය ලබා ගැනීමයි.

ශාසන ඉතිහාසයට අනුව සැවැත් නුවර ජේතවනාරාම විහාර භූමියේ සිදු කළ ආනන්ද බෝධි රෝපණයත් සමග ආරම්භ වූ බෝධි වන්දනාව, කාලයත් සමඟ වෙනස්කම් රැසකට භාජනය වී ඇත. ඇතැම් වෙනස්කම් සාධනීය වනවා සේ ම ඇතැම් වෙනස්කම් මිථ්‍යාදෘෂ්ටිය වෙත යොමු කරවන බවක් දක්නට ලැබෙයි. එබැවින් බෝධි පූජාවේ සැබෑ අරුත කුමක් විය යුතු ද? බෝධි පූජාවක් ඵලදායක ලෙස සිදුකර ගැනීමට අනුගමනය කළ යුතු දෑ මොනවාද ? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

බෝසතාණන් වහන්සේ ඇසතු බෝධිය පාමුල ලබා ගත්තේ නිවැරැදි දැක්මයි. ප්‍රඥාවයි. ලෞකික ආශාවන්, බලාපොරොත්තු, බැඳීම් සියල්ල නිරර්ථක බව වටහාගෙන ඒ සියල්ල අත්හළ ස්ථානය බෝධියයි.

එසේනම් ඔබ, බෝධීන් වහන්සේ පාමුල සිට ලෞකික බලාපොරොත්තු ඉටු කරවා ගැනීමට පිහිට පතන්නේ නම්, එය බෝධි පූජාවේ සැබෑ අරුත නොසලකා හැරීමක් බව තේරුම් ගත යුතුය.

මෙයින් අදහස් වන්නේ බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීම, පුදපූජාවන් පැවැත්වීම නිරර්ථකය යන වැරදි අදහස නොවේ. ලෞකික ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවා ගැනීමට බෝධියට පුදපූජාවන් කරමින් ආයාචනා කිරීම නිෂ්ඵල බවයි.

බෝධි පූජාව යොදාගත යුත්තේ නිරන්තරයෙන් කෙලෙස්වලින් කිලිටි වන සිත්, කුසල් සිතිවිලිවලින් පිරිසුදු කරගැනීමටයි. ඒ පිරිසිදු සිතින් යම් අයෙකුට යහපතක් වේවා, නිරෝගි වේවා, යැයි ආශීර්වාද කරන විට ඔබටත් අන් අයටත් බෝධි පූජාව ඵලදායක වනු ඇත. එසේ නොමැතිව ඊර්ෂ්‍යාව, මානය, අහංකාරකම, ආත්මාර්ථකාමීකම යනාදී අකුසල් සිතිවිලි හිතේ පුරවාගෙන කරන ප්‍රාර්ථනාවන් කිසිසේත් සඵල නොවේ.

උදාහරණ ලෙස විභාගවලින් අනිත් අයට වඩා වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට, නඩුහබවලින් තමන්ට වාසි ලැබීමට බෝධි පූජා සිදු කරන්නේ නම්, අරමුණ අපිරිසුදු නිසා ප්‍රතිඵලයක් නොලැබෙයි. එහෙත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට පිරිසිදු සිතින්

වත්පිළිවෙත් කර ආශීර්වාද කිරීම වරදක් නොවේ. එය පින්කමකි. අන් අයගේ යහපත ප්‍රාර්ථනා කිරීමකි.

බෝධි පූජාවක් සිදු කිරීමේ දී ඒ සඳහා පෙර සූදානම ඉතා වැදගත්ය. විශේෂයෙන් තුණුරුවන්ට, ත්‍රිවිධ චෛත්‍යයන්ට පූජා කරන දේවල් ඉතා පිරිසුදුව, පිළිවෙලට සකස් කර ගත යුතුය.

පූජා ද්‍රව්‍යයන් වෙළඳසැල්වලින් මිලදී ගැනීමට වඩා තමන්ටම සකස් කරගත හැකිනම් එය වඩාත් ආනිශංසදායක ය. පොල්තෙල් තමන්ට සකසා ගැනීම අපහසු නම් මිලදී ගන්නා විට වෙනත් තෙල් වර්ග මිශ්‍ර නොකළ, විශ්වාසවන්ත තැනකින් ලබාගන්න. හොඳ සුවඳවත් හඳුන්කූරු සපයා ගන්න. ගෙවත්තේ නොමැතිනම් තිබෙන තැනකින් වට්ටියකට මල් නෙළාගන්න. ගිලන්පස සැකසීමේදී ඉතාමත් පිරිසුදු සහ උසස්ම තත්ත්වයෙන් පිළියෙල කර ගන්න.

පූජා ද්‍රව්‍යයන් සකසාගෙන බෝධි පූජාවට යන ඔබ සම්පූර්ණ සුදු ඇඳුමකින් සැරසෙන්න. අප බොහෝ විට දැක ඇත්තේ, ඇතැම් අය සිතාගෙන සිටින්නේ ඇඳුමේ කොතැනක හෝ සුදු පාට ඇති නම් එය සුදු ඇඳුමක්ය යනුවෙනි. එහෙත් සම්පූර්ණ සුදු ඇඳුම යනු වෙනත් පාට කිසිවක් නැති, සංවර ඇඳුමටය. දුටුවන් නෙත්සිත් පහදවන, විලාසිතාවලින් තොරවූ ඇඳුමටය.

සිද්ධස්ථානවලට යන විට වටිනා ආභරණයන් පැළඳීම ඔබේ අරමුණට නොගැලපෙනවා පමණක් නොව ඇතැම් විට අනතුරුදායක ද විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වීම සුදුසු ය.

බෝධි පූජාව සිදු කිරීමට පෙර චෛත්‍යය, බෝධිය, විහාර මන්දිරය තුළ ඇති මල් ආසන පිරිසුදු කිරීම, ඇමදීම ආදී වතාවත් සිදු කිරීම අත්‍යවශ්‍යය.

ඇතැම් අය මල් ආසන මත පරමල් ගොඩ ගැසී ඇතත් ඒවා පැත්තකට තල්ලු කර තමන් ගෙනා මල් පූජා කරති. එබඳු ක්‍රියාවලින් සංකේතවත් වන්නේ සිත අපිරිසුදු බවයි. සිත අපිරිසුදු නම් කරන, කියන දේවල්වලින් පිනක් සිදු නොවේ.

විහාර භූමිය පිරිසුදු කිරීමේ වතාවත් සිදු කිරීමෙන් බෝධි පූජාව, බුද්ධ පූජාව හා සමාන ආනිශංස ලැබෙන බව පැරණි බණකථාවලින් පෙන්වා දී ඇත. පිරිසුදු කිරීමේ වතාවත් නොකර, පවත්වන බෝධි පූජාව අසම්පූර්ණ ය.

වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඔබ සකස් කරගෙන ආ ගිලන්පස සහ අනෙකුත් පූජා ද්‍රව්‍යයන් ඒ සඳහා වෙන්කර ඇති භාජන පිරිසිදු කර ඒවායෙහි පිළියෙල කරගන්න. පහන්, හඳුන්කූරු ඒවාට නියමිත ස්ථානවල දල්වන්න.

මෙහිදී මතක තබා ගතයුතු කරුණක් නම් හඳුන්කූරු විශාල ප්‍රමාණයක්, පන්දමක් මෙන් දල්වාගෙන හෝ ගිනි කබලකට සුවඳ දුම් ද්‍රව්‍යයන් ඉසිමින් බෝධීන් වහන්සේ වටා යමින් දුම් ඇල්ලීම අවශ්‍ය නැත. එය මිථ්‍යාදෘෂ්ටියකි. වැරදි පිළිවෙතකි. එසේම බෝධීන් වහන්සේ පාමුල පහන්, හඳුන්කූරු දැල්වීමෙන් බෝධියට හානි සිදුවේ. එබැවින් පහන්,හඳුන්කූරු දැල්වීමට වෙන්කර ඇති ස්ථානවල පමණක් එය සිදු කරන්න.

භාජනවල ක්‍රමානුකූල ව සකසා ගත් ගිලන්පස බෝධීන් වහන්සේගේ මල් අසුන් මත තැන්පත් කරන්න. දාගැබට සහ විහාර මන්දිරයට ද ගිලන්පස තැන්පත් කරන්න.

මේ මූලික වතාවත්වලින් පසු තමන්ට පහසු තැනක බෝධීන් වහන්සේ අභියස පහසු ඉරියව්වකින් අසුන් ගන්න. තිසරණ පන්සිල් සමාදන් වී පිළිවෙලින් තෙරුවන් වඳීන ගාථා, බෝධි වන්දනා ගාථා කියා මල්,පහන්, සුවඳදුම්, ගිලන්පස බුදුරජාණන් වහන්සේටත්, බෝධීන් වහන්සේටත් පූජා කරන ගාථාවන් කියවන්න.

ගාථා කීමේදී ශ්‍රද්ධා පෙරදැරිව, සන්සුන්ව කියවිය යුතුය. බොහෝ දෙනා බෝධි පූජා ගාථා,කවි අඩංගු මුද්‍රිත පොත් කීපයක් ගෙනැවිත් හැම පොතක්ම මුල සිට අග දක්වාම හඬ නගා කියවීමට පුරුදු වී සිටිති. එසේ කිරීම අවශ්‍ය නැත. අවශ්‍යම ගාථා සහ බෝධි වන්දනා කවි කිහිපයක් කියවීම ප්‍රමාණවත් ය.

ගාථාවන් කියා පූජාව සිදු කිරීමෙන් පසු සිත එකඟ කරගෙන අවම වශයෙන් මිනිත්තු 10ක්වත් බුද්ධානුස්සති සහ මෙත්තානුස්සති භාවනාවන් වඩන්න. රැස්කර ගත් පින් සිහිපත් කරමින් යහපත් ප්‍රාර්ථනාවන් සමඟ ආශීර්වාද කළ යුතු අයට ආශීර්වාද කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය ඒ තුළින් ඔබට ලැබෙනු ඇත. බෝධි පූජාව අවසානයේ භාවනාවක් ලෙස සලකා, සිත සන්සුන් කරගෙන මෙසේ ප්‍රාර්ථනා කරන්න.

සිඳෙන බිඳෙන ලොව ඇති තතු වටහාගෙන ලැබුව නුවණ
ලොව්තුරු බුදුසමිඳුන් වැඩ සිටි හැටි අප සිතෙහි මවන
පින් සිතුවිලි ඇති කර කර දුක් දුරු කර සුවය දෙවන
මගෙ ගත සිත සැනසේවා ලැබගෙන බෝරජුගෙ සෙවණ

ඉරිසියාව වෛරය මානය ඉවතට දමන්නෙමී
මගේ සැපත වගේ අනුන්ගේ සැපතත් සිතන්නෙමී
සතුරාටත් මිතුරාටත් එක සේ මෙත් වඩන්නෙමී
ගතින් කොහේ ගියත් සිතින් බෝ සෙවණෙ ම සිටින්නෙමී

බෝ සෙවණෙදි සන්සුන්කම හැම තැනදිම රකින්නෙමී
බෝසෙවණෙදි පින් සිතුවිලි හැම මොහොතෙම සිතන්නෙමී
බෝසෙවණෙදි ලැබුව නුවණ නිරතුරුවම වඩන්නෙමී
බෝසෙවණෙදි ලැබුව සුවය මුලු දිවියෙම ලබන්නෙමී


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X