වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මහත්ඵල වැඩෙන ආර්ය උපෝසථය

බුදු දහමේ උපෝසථ දිනය හෙවත් පුරපසළොස්වක පොහොය දිනය වුවත් අව අටවක, අමාවක, පුර අටවක වශයෙන් සතර පොහෝ දිනයක් වෙන් වී ඇත. මෙම සතර පොහොය ගිහිවත රැකීමට ගිහියන් විසින් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව සුරැකීමට යෝග්‍ය දිනයන් බව බුදුරදුන් අනුදැන වදාළහ.
දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ 
ධර්මාචාර්ය ශාස්ත්‍රපති 
ලේල්වල සමිත හිමි
උපෝසථ සීලය සමාදන්වීම තුළ සිදුකෙරෙනුයේ අපිරිසුදු වූ සිත පිරිසුදු කිරීමයි. ඒ සඳහා වෙන්වූ සුවිශේෂී දිනය පොහොය දවසයි. වෛදික යුගයේ උපවස්ථ දිනය ප්‍රතිපත්ති ගරුකව, කල් ගෙවූ අතර සඳ කේන්ද්‍ර කොටගෙන ඒ දිනය ඔවුන් නිර්ණය කළහ. එසේම දෙවියන්ට සමීපව වාසය කරන දිනය හැටියට සලකා ආහාරයෙන් වැළකී ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළහ.
බුදු දහමේ උපෝසථ දිනය හෙවත් පුරපසළොස්වක පොහොය දිනය වුවත් අව අටවක, අමාවක, පුර අටවක වශයෙන් සතර පොහෝ දිනයක් වෙන් වී ඇත. මෙම සතර පොහොය ගිහිවත රැකීමට ගිහියන් විසින් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව සුරැකීමට යෝග්‍ය දිනයන් බව බුදුරදුන් අනුදැන වදාළහ. අංගුත්තර නිකායේ ධම්මික සූත්‍රයේ උපෝසථ වග්ගයේ උපෝසථය පිළිබඳව පෙහෙවස් සමාදන්වීම මෙන්ම රැක ගත යුතු ආකාරය හා ආනිශංස දේශනාකොට ඇත.
බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින අවස්ථාවක විශාඛා මහ උපාසිකාව පැමිණි අවස්ථාවේ ‘විශාඛාවනි’ මෙම දහවල් කාලයෙහි කොහි සිටි පැමිණියේ ද? යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී ‘බුදුරජාණන් වහන්ස අද උපෝසථ දිනය නිසා පෙහෙවස් රකිමියි’ පිළිවදන් දුන්හ.ගෘහ ජීවිතයක් ගත කරනු ලබන ගිහි කුල පුත්‍රයකුට භික්ෂුවගේ ශාසන පරමාර්ථය ඉටුකළ නොහැක. ශ්‍රද්ධාවන්ත බෞද්ධයා නිති පන්සිල් පොහොය අටසිල් සමාදන්ව ආරක්ෂා කරන්නෙකු වේ. බුදුරදුන් විශාඛා මහා උපාසිකාවට උපෝසථ තුනක් දේශනා කළහ. ගෝපාල උපෝසථය, නිගණ්ඨ උපෝසථය හා ආර්ය උපෝසථය යනුවෙනි.
ගෝපාල උපෝසථය යනු ගොපල්ලෙකු අනුන්ගේ ගවයන් බලන කෙනෙක්. ගොපල්ලා ගව හිමියන්ගෙන් ගවයන් බාරගෙන ආහාර දීලා වතුර දීලා නාවලා රාත්‍රී කාලයේ ආපසු ගව හිමියාට බාරදේ. ඔහු කල්පනා කරන්නේ, ගවයන් කෑව හැටි, නාපු හැටි ආදී වශයෙන්. ඇතැම් සිල් සමාදන් වූ උදවිය අනවශ්‍ය දේ කතා කරමින් කිසිම ගත යුත්තක් නැති දේ සිතමින් ක්‍රියා කරති. ඔවුන් සමාදන්ව සිටින්නේ ගොපල්ලන් හරක් බලන්නා සේ ගෝපාල උපෝසථයකි.
බුදුරදුන් අනුදැන වදාළ ආර්ය උපෝසථය මහත්ඵල මහානිශංස දායක වේ. මහත්ඵල යනු සතර මඟ සතර ඵලය වේ. මහානිශංස වනුයේ ආයු, වර්ණ, සැප, පරිවාර, භෝග සම්පත්, සුගති සම්පත් යන ආනිශංස ලබාගත හැකි වේ.
‘මහාජුතික’ මහ ආලෝකයක් ‘මහා විප්පහාර’ විශාල වශයෙන් පැතිරවී ඇතිවන ආනිශංස ලැබෙන මහානීය පින්කම් ලෙස දැක්විය හැක. පෙහෙවස් සමාදන් වීමේ අපේක්ෂාව සිල් සමාදන් වූ දිනයක සිදුකරනු ලබන දින චරියාව මෙන්ම උපෝසථයේ මෙලොව පරලොව වැදගත්වන ආකාරයද උපෝසථ සූත්‍රයේ සඳහන් වේ. ඒ අනුව ත්‍රිවිධ උපෝසථය උපක්‍රමයෙන් සිත පිරිසුදු කරන ක්‍රමය අෂ්ටාංග සීලය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව අෂ්ටාංග උපෝසථයේ ආනිශංසය ලෙස දක්වා ඇත.
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ දානුප්පත්ති සූත්‍රයේ සඳහන් වන පරිදි සිල්වතුන් එකතු වී සියතින්ම දන් පිළියෙලකොට සංඝයාවහන්සේට පූජා කිරීම මහත්ඵල මහානිශංස ලැබෙන කුසලයක් වේ. එසේම දන්දී කරන පැතුම තම සිතැඟි පරිදි ඉටුවෙන්නේ යැයිද සඳහන් වේ. උපෝසථය ආරක්ෂා කිරීම තුළ ‘ස්වයං ප්‍රභා’ තමන්ගේ ප්‍රභාවය ආලෝකය සදිව්‍ය ලෝක දක්වා විහිදෙනු ඇත. පෙහෙවස් සමාදන්වීම තුළ වඩාත් අර්ථ ගන්වනුයේ එක් දිනක්, එක් රැයක් රහතන් වහන්සේලාට ළන්ව ගත කරන දිනයක් ලෙස සුවිශේෂී දිනයක් බවට පත් කිරීමයි. තමා සමාදන් වූ සීලය පිළිබඳව මෙනෙහි කළ යුතු ය.
රහතන් වහන්සේ දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වෙන්වූවාසේ මමද ප්‍රාණඝාතයෙන් වෙන්වී සියලු සත්ව ප්‍රජාව වෙත කරුණාව, මෛත්‍රිය දක්වමි. මේ අයුරින් නොදුන් දේ ගැනීමෙන් වැළකීම, බඹසර දිවි පෙවෙතක් ගත කිරීම, බොරුකීමෙන් වැළකී සත්‍ය වචන කතා කිරීම මදයට හා ප්‍රමාදයට හේතුවන්නාවූ මතින් වෙන්වීම, විකල්භොජුනෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම් විහිළු ආදියෙන් හා මල් ගඳ සුවඳ ආදී ශරීරය සරසන දේවලින් වැළකීම, උස් අසුන් මහ අසුන් පරිහරණයෙන් වැළකීම ඇතුළු කොට ඇති ශික්ෂාපද අටකින් රහතන් වහන්සේලා දිවි හිමියෙන් සීලය ආරක්ෂා කරයිද රහතන් වහන්සේලාගේ උතුම් දිවි පෙවෙතට ළන්ව උපෝසථ දිනයේ මාගේ දිවි පැවැත්ම ගත කරමියි නිතර නිතර සිහිකළ යුතු වේ.
සැදැහැවත් බෞද්ධයා තමා සමාදන් වූ සීලයේ පදනම වන කය වචනය සංවර වීම තුළ අෂ්ටාංග, උපෝසථ සීලය, සුරැකෙන කෙනෙක් ද යනුවෙන් නිතර නිතර විමසා බැලිය යුතු වේ. බුදුදහමින් අවධාරණය කරන ආකාරයට සොළොස් මහා ජන පදවලින් එක් රාජ්‍යයක හෝ සමස්ත රාජ්‍යයන්හි රජ පදවි දැරුවත් එම රජ පදවි වලට වඩා අංග අටකින් යුත් පෙහෙවස් රැකීම ආනිශංස ලැබෙන මහානීය පින්කමකි.
මේ ඉර හඳ යට රන් ,රිදී ,මුතු ,මැණික් දක්නට ලැබේ. ඒ මුතු මැණික් සියල්ල පෙහෙවස් රැකීමෙන් ලැබෙන ආනිශංස හා සමකොට සසඳන විට දහසයෙන් පංගුවක් වටින්නේ නැත. දෙව් මිනිසුන් සහිත, සමස්ත ජන කොට්ඨාසයම පෙහෙවස් රකින්නේ නම් යහපත්ව දිවි ගෙවීමටද කුසල් දහම් රැස් කරගැනීමටද හේතුවන, පුඤ්ඤායතනයක් පින් රැස් කරන නිෂ්පාදනාගාරයක් වන්නට පුළුවන. තමන් සමාදන් වූ සීලය ගැන මෙනෙහි කිරීමේ දී ‘කඩ නොවූ සීලයක්, සිදුරු නොවූ තැනින් තැන නොකැඩුණු, කැළැල් නොවූ, තෘෂ්ණාවෙන් නිදහස් වූ, නුවණැත්තන්ගේ පැහැදීමට, භව සම්පත් නොපතන, සමාධියට හිතකර වූ, සීලයක් විය යුතු ය.’
සීලය ආරක්ෂා කරමින් කටයුතු කරනු ලබන සැදැහැවත් බෞද්ධයා භාවනාව ප්‍රගුණ කිරීම තුළ සිතේ ඇතිවන, පී‍්‍රතිය තුළින් සමාධිය වර්ධනය කරගත හැක. සමාධිය වර්ධනය වීම තුළ ප්‍රඥාව දියුණු කරගත හැක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අට, අනුව කටයුතු කිරීම තුළින් සීල, සමාධි, ප්‍රඥා දියුණුකොට නිවන් මඟට පිවිසීමට පුළුවන. පෝය දිනයට පෙහෙවස් සමාදන්වීම තුළ අපිරිසුදු වූ සිත පිරිසුදු භාවයට පත් කරගත හැක. තම දෛනික ජීවිතයේ මාසයක් තිස්සේ, නොයෙක් අයුරින් කිළිටි වූ සිත, එක් දිනකින් පිරිසුදු කිරීමට පුළුවන් වේද? ඒ සඳහා බුදුරදුන් විශාඛාවට දේශනා කළේ විශාඛාවනි, කිලිටු වූ සිත පිරිසුදු වන්නේ උපක්‍රමයකින්මය. පොහෝ දින සිත පිරිසුදු කිරීමේ උපක්‍රම පහ ‘බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සති’ වශයෙන් දක්වා ඇත.
පෙහෙවස් සමාදන් වූ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා විසින් බුද්ධානුස්සතිය වැඩිය යුතු ය. නව අරහාදී බුදුගුණවලින් එක් බුදුගුණයක් මෙනෙහි කරන විට සිතේ ප්‍රමෝදය ඇති වේ. සිතේ අපවිත්‍රවීම පහව යයි. මේ අනුව බුදුගුණ මෙනෙහි කිරීම සිත පිරිසුදු කිරීමේ උපක්‍රමයකි. එය බ්‍රහ්ම උපෝසථය වේ.
සිත පිරිසුදු කිරීමේ දෙවන උපක්‍රමය වන්නේ ‘ස්වාක්ඛාතෝ’ ආදී ධර්ම රත්නයේ ගුණ මෙනෙහි කිරීමේ දී සිතේ කිලිටු පහවගොස් සිත පිරිසුදු කරනු ලබයි. ධර්මය ගැන මෙනෙහි කරමින් රකින පෙහෙවස ‘ධම්මුපෝසථ’ යනුවෙන් හැඳින්වේ. සිත පිරිසුදු කිරීමේ තෙවන උපක්‍රමය සුපටිපන්න ආදි සංඝරත්නයේ ගුණ මෙනෙහි කරමින් සංඝානුස්සතිය වැඩීමයි. මේතුළින් කිලුටු වූ සිත පිරිසුදු වේ. එම උපෝසථය ‘සංඝුපෝසථ’ සංඝයා වහන්සේ සමඟ වාසය කිරීමක්වේ.
සිත පිරිසුදු කිරීමේ සිව්වන ක්‍රමය පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන් දහවල දානයෙන් පසු තමා සමාදන් වූ සීලය පිළිබඳව මෙනෙහි කළ යුතු වේ. තමා සමාදන් වූ සීලය මෙතෙක් යහපත්ව ආරක්ෂා කර බව සිතට දැනෙන විට ‘සීලානුස්සතිය’ සීලය රැකීමේ බලය තුළ කිලිටු වූ සිත පහව ගොස් සිත පිරිසුදු වෙති. උපෝසථ දිනයේ සිත පිරිසුදු කිරීමේ පස්වන ආකාරය වන්නේ දේවතානුස්සතියයි. දෙවියන් හා අප අතරේ, ගුණ ධර්මයන් සමානව මෙනෙහි කිරීමේ දී, කිලුටු වූ සිත පිරිසුදු කිරීමට ‘දේවතානුස්සතිය’ උපක්‍රමයක් වේ. පොහෝ දිනයෙහි පෙහෙවස් සමාදන් වූ සැදැහැවතුන් අනුස්සති පහ අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
පෙහෙවස් සමාදන් වූ දිනයේ, දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, දහම් ඇසීම, සම්‍යක් දෘෂ්ටියක පිහිටා සිටීම යත් දස පුණ්‍ය ක්‍රියාවන්, සම්පූර්ණ කරන දිනයක් වීමද විශේෂ පුණ්‍යකර්මයන් අත්පත් කර ගැනීමට සමත් වේ. උපෝසථයේ තවත් වැදගත් කරුණක් වන්නේ දාන, සීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් නිතර දෙවේලේ සිදුකළ යුතු වේ. සුගතිගාමි වන්නට සීලමය ආනිශංස අත්‍යවශ්‍ය වේ. බෞද්ධයා දන් දී දිව්‍ය මානුෂික සැප සම්පත් අපේක්ෂා කරයි. එම ප්‍රාර්ථනා සඵල වන්නේ දන්දෙන අවස්ථාවේ සිල්වත්ව කල් ගත කළහොත් පමණි. මේ අනුව මනුෂ්‍යයාගේ උපත තීරණය වන්නේ දානය අනුව නොව සීලය අනුවයි. මහත් වූ භෝග සම්පත් ලැබීම, කීර්තියට පත්වීම, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති හා ශ්‍රස පිරිස අතරට කිසිදු බියක් සැකයක් නො මැතිව ලක්වීමට හැකිවීම, සිහිමුලා නොවී කළුරිය කිරීම, මරණින් පසු සුගතියෙහි උපත ලැබීම ආදී මෙලොව පරලොව උභයාර්ථයම සාධනය වේ. ආශ්‍රවයන් ක්ෂය කිරීම තුළ නිර්වාණාධිපතිමය සඳහාද උපනිශ්‍රය වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

හම්බකළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවයි

හබරකඩ ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධස්ථාන නිර්මාතෘ 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි
ගෞතම බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන ආලවක යක්ෂයා උන්වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබූ බව බෞද්ධ සාහිත්‍ය තුළ ආලවක සූත්‍රයේ සදහන් වෙයි. ආලවක යනු යක්ෂයෙක්ද? නැතහොත් යක්ෂ ගෝත්‍රය නියෝජනය කරනු ලැබූ ඉතාමත්ම බුද්ධිමත් පුද්ගලයෙක්ද? යන්න ආලවක විචාරනු ලැබූ ප්‍රශ්න දෙස බැලීමේදී ප්‍රශ්නාර්ථයක් ද මතු නොවනවාම නොවේ. යම්කිසි ආකාරයක දාමරික ජීවිතයක් ඔහු ගෙව්වා විය හැකි වුවද, බුද්ධ්මත් අයෙකු නොවූූවා නම්, එවැනි ආකාරයේ ප්‍රශ්න විචාරීමක් කළ නොහැකියි. කිං සුධ විද්ධං පුරිසස්ස සෙටිඨං පුද්ගලයකුට හම්බ කළහැකි වටිනාම ධනය කුමක්ද? යන ප්‍රශ්නය ඇසීමට ආලවක යක්ෂයා කෙතරම් බුද්ධිමත් විය යුතුද?
ද්වේෂ චරිත , බුද්ධි චරිත බවට පත්වෙන බවත්, රාග චරිත ශ්‍රද්ධා චරිත බවට පත්වන බවත්. මෝහ චරිත විතර්ක චරිත බවට පත්වන බවත් විසුද්ධි මාර්ගයෙහි සඳහන් වෙයි. රාග චරිතයාගේ ස්වභාවය ඇලීම වැඩි වීමයි. ඇලීම වැඩි පුද්ගලයා තුණුරුවන් වෙත ඇලෙන විට එය ශ්‍රද්ධාව මිස රාගය නොවේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මය පිළිබඳව, උතුම් මහා සංඝයා පිළිබඳව ඇතිවන ඇලීම ශ්‍රද්ධාව වෙයි. රාගය නොමැති පුද්ගලයන් තුළ ශ්‍රද්ධාව නොවැඩේ. රාගය අඩු ද්වේෂය බහුල චරිත තුළ ශ්‍රද්ධාව අඩුවේ. කාන්තාව සාපේක්ෂව ශ්‍රද්ධාව වැඩි චරිත වන අතර, පිරිමි ශ්‍රද්ධාව අඩු චරිත බව සාපේක්ෂව සිතිය හැකියි. පිරිමියාගේ මනස රළු නිසාම තර්ක කරමින් එම කාරණාව පිළිබදව සිතමින් ගැටීම පිරිමින්ගේ ස්වභාවය වුවද, පිරිම්න්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මනස මෘදු ස්වභාවයක් ගනී. එම නිසාම කාන්තාව ශ්‍රද්ධා චරිත වීම සාපේක්ෂව ආසන්න 
වශයෙන් පිරිමින්ට වඩා වැඩි වෙයි. රාගය බහුල ඇලීම් වැඩි කාන්තාව පමණක් බව ඒ තුළින් අදහස්් නොකරයි. පිරිමියාට වඩා සාපේක්ෂව ගැහැනිය එකිනෙකාට ඇලීම වැඩි වේ. දරුවන් කෙරෙහි දැඩි ඇලීමක් ඇතිවන්නේත් කාන්තාව තුªළයි. ගෙදරක යම්කිසි භාණ්ඩයක් කැඩී බිඳී ගිය විට එය පිරිමියාට වඩා සාපේක්ෂව වැඩියෙන් ගැහැනියට දැනෙන අතරම සාපේක්ෂව පිරිමියාට වඩා ගැහැනිය ඥාති සබඳතා පවත්වනු ලබයි. ඇලීම යමිකිසි ආකාරයක මානසික ස්වභාවයක් වේ. ඇලීම වැඩි වීම තුළින් උපදින ශ්‍රද්ධාව නිසා නිවන් මඟට පිවිසීමේ දොරටුව විවර වේ. ඇලීම අයහපත් පැත්තට ගමන් කළහොත් ඒ තුළ අභිජඣාව හට ගනී. අභිජඣාව යනු විෂම ලෝභය වන අතර ඇලීම වැඩි පුද්ගලයා හෝ තැනැත්තිය අන්සතු දේ සඳහා ඇලීමක් ඇතිකර ගතහොත් කාම මිත්‍යාචාරය, හොරකම, බොරුකීම, ප්‍රාණඝාතය සිදුකරනු ලබයි. එම ඇලීම අයහපත් කාරණාවක් නොවන අතර, එය යහපත්ද, අයහපත්ද යන්න තීරණය වනු ලබන්නේ ඇලීම සිදුවන්නේ කුමක් සඳහාද? යන්න තෝරා ගැනීම තුළය.
නරක දේට ඇලීමක් ඇති වූවිට ඔහු හෝ ඇය අපායගාමී වේ. එම ඇලීමම බුදුරජාණන් වහන්සේ වෙත ,ශ්‍රී සද්ධර්මය වෙත මහ සඟරුවන වෙත ඇලීමෙන් ඔහු තුළ ශ්‍රද්ධාව වර්ධනය වීමෙන් බුද්ධිය අවධි වී ඥානය වර්ධනය වී කෙලෙස් අඩුවෙන ක්‍රමයක් වේ.
රාගය හොඳ යහපත් වගේම රාගයේ අයහපත් පැතිද ඇති බව අප තේරුම් ගත යුතුයි. රාගය අන්තිමටම භයානක අයහපත් තත්වයක් බව ඇතැමුන් සැලකුවද, රාගය ඇතැම් විට යහපත් දෙයක් වන අතරම ඇතැම් අවස්ථාවල එය අයහපත් කාරණාවක් ද වේ. රාගය යහපත් නිසා ශ්‍රද්ධාව උපදින අතර, රාගය අයහපත් නිසාම අභිජඣාව හෙවත් විෂම ලෝභය උපදියි. සෑම චෛතසිකයකම යහපත් හා අයහපත් ස්වභාවයන් දෙකම පවතින නිසා එය මුලින්ම උදුරා දැමිය යුතු බවත් ඒ සඳහා කෙලෙස් ප්‍රහීණ කළ යුතු බවත් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.
රාගය නිසා පින් කරන්නා සේම, රාගය නිසා පව්ද කිරීමට පෙළඹේ. පුඤ්ඤ පාප පහීණස්ස පිනයි,පවයි දෙකම දුරු කළ තැනැත්තා රාගය ඉක්මවනු ලැබුවාව,ූ රහතන් වහන්සේ වේ. රහතන් වහන්සේ ක්‍රියා සිත් මිස පින් සිතිවිලි ඇති නොවේ. රහතන් වහන්සේ හොඳ හා නරක ඉක්මවා ඇති බැවින් ,උන්වහන්සේ පින් නොකරන අතරම පව්ද කරනු නොලබයි.
දරුවන්ට ආදරය දැක්වීම රාගයේ යහපත් පැත්තක් නිසාම දරුවන්ට හොඳට උගන්වමින් දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට පෙළඹේ. දරුවන්ට ආහාර පාන සපයා දෙමින් දරුවන් රෝගී වුවිට බේත් හේත් පොවමින් දරුවන් ආරක්ෂා කිරීම රාගය තුළ පවතින යහපත් පැතිවේ.
දරුවන්ට තිබෙන ඇලීම නිිසාම දරුවන් ජනප්‍රිය යැයි සැළකෙන උසස් පාසලකට ඇතුළත් කර ගැනීමේ චේතනාවෙන් අසත්‍ය ආකාරයෙන් ව්‍යාජ උප්පැන්න හැදීම රාගය තුළ පවතින අයහපත් බවයි. රාගය යහපත් වගේම රාගය අයහපත් බව අප අවබෝධ කොට ගත යුතුයි. මෙම චෛතසිකයන් තුළ යහපත වගේම අයහපතත් පවතින නිසාම එම චෛතසිකයන් ප්‍රහීණ කළ යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.
ද්වේෂ චරිතවල ස්වභාවය සාපේක්ෂව ගැටීම බහුල වීමයි. පිරිමි මනස සාපේක්ෂව ගැටුම වැඩියි. ද්වේෂ චරිත සහිත කාන්තාවන් නැති බව එයින් ප්‍රකාශ නොවේ. ද්වේෂ චරිත සිහිත කාන්තාවන් අඩු වුවද සාපේක්ෂව පිරිමින් වැඩි වේ. ගැටෙන සුළු ද්වේෂ චරිත බහුල වශයෙන් පිරිමියා සතුවේ. ආලවක යක්ෂයාත් පිරිමියෙක් වූ නිසාම ද්වේෂ සහගත චරිත ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි. ද්වේෂ සහගත චරිත ස්වභාවයක් ඇති පුද්ගලයන් කායිකව ගැටීමක් ඇතිකර ගනු ලබන්නේ මානසික ගැටීමක් තිබෙන නිසයි. පිරිමින් තුළ මානසික ගැටීම වැඩියෙන් දක්නට ලැබේ. ගැටි ගැටී ගොස් එම කාරණාව කුමක්ද? වශයෙන් නිවැරැදිව දැනගන්නා තුරු පිරිමියා තුළ ඉස්පාසුවක් නැතිවේ. සාමාන්‍ය ජීවිතය තුළ පිරිමින් ප්‍රශ්න හමුවේ ගැටි ගැටී යන ස්වභාවයක් පෙන්නුම් කළ ද, කාන්තාව ඒ සදහා කාලය මරම්න් කල්ගතකරමින් ඉන්නා ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.ආලවක යනු එවැනිි ද්වේෂ සහගත චරිත ස්වභාවයක් සහිත වූ අයෙකි. ද්වේෂ චරිත සහිත පුදුගලයන් බුද්ධිමත් චරිත ස්වභාවයක් පෙන්නුම් කරයි. යමි දෙයක් කියූ ආකාරයටම පිළිනොගෙන ඒ පිළිබඳව සිතමින් ඒ හා ගැටි ගැටී ප්‍රශ්න අසමින් තර්ක කරමින් සත්‍යය සොයා යාම ද්වේෂ සහගත චරිතවල ස්වභාවය වේ. ආලවක ද්වේෂ චරිතයක් නිසාම බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන විගසම උන්වහන්සේ සමඟ ගැටීමේන් ජයගත නොහැකි බව වටහාගත් ආලවක බුද්ධියෙන් තම සටන මෙහෙයවනු ලැබීය. තමාගේ ජයග්‍රහණය ලැබීමට ගත්ත තීරණයේදී ආලවක පළමුවෙන්ම කිං සුධ ච්ත්තපුරිසස්ස සෙටිඨං යනුවෙන් බුදුපියාණන් වහන්සේගේන් විමසා සිටියහ. එවිට සද්දීධ ච්ත්තං පුරිසස්ස සෙටිඨං යනුවෙන් බුදුපියාණන් වහන්සේ පිළිතුරු දෙනු ලැබුවේ ශ්‍රද්ධාව පුද්ගලයකු සතු වූ වටිනාම ශ්‍රේෂ්ඨ ධනය ලෙසයි . ද්වේෂ චරිතයක් වූ ආලවකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ඔබට පූර්ණ අවබෝධය අවශ්‍ය නම්, ,ඔබ තුළ ශ්‍රද්ධාව ගොඩනගා ගත යුතු බවයි. ද්වේශ චරිත කිසිවක් පිළිගැනීමට හෝ පුහුණුවීමට අකැමැත්තක් දක්වන අතර ඔහු ගැටී ගැටී ඒ පිළිබදව නිවැරදි තොරතුරු සොයා යයි. ඇතැමි කාරණා වටහාගැනීම සඳහා තිබෙන එකම ක්‍රමය ශ්‍රද්ධාවයි. උදාහරණ වශයෙන් සතර අපායෙන් තිරිසන් අපාය හැර අනෙකුත් අපායවල් වටහා ගැනීමට නම්, ශ්‍රද්ධාව තිබිය යුතුයි. නිරි සතුන් පිළිබදව ප්‍රකාශ කළාට බුදුපියාණන් වහන්සේ පිළිබදව පවතින විශ්වාසය නිසා එම කාරණා මනසට ගොඩ නැගුණද බුදුපියාණන් වහන්සේ පිළිබදව අප තුළ සැකයක් පවතී නම් එය පිළිනොගනී. ප්‍රේතයෝ පිළිබදව, අසුරයන් පිළිබදව කරුණු සදහන් කරනු ලැබුවද ශ්‍රද්ධාව නොමැති අයෙකුට ප්‍රේත ලෝක, අසුර ලෝක, නිරය පිළිබඳව අවබෝධයක් ඇති නොවේ.
බුදු දහමේ තිබෙන කාරණා අනුව දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සතර අපාය අවබෝධ වෙන්න නම්, කරන කර්මවල විපාක එනවා කියන එක අවබෝධ වෙන්න නමි. ශ්‍රද්ධාව තිබිය යුතුමයි. අප අයහපත් ක්‍රියාවක් කරල ටික කලක් ගත වන විට අප කරා අයහපත් විපාකයක් ලැබුණ හොත් අප පෙර කරනු ලැබුවාවූ අයහපත් ක්‍රියාව ඉතා ඉක්මනින් අපගේ මනසට නැගෙයි. එම විශ්වාසය අපගේ මනස තුළ ගොඩ නැගෙන්නෙම බුදුපියාණන් වහන්සේ පිළිබඳව තිබෙන්නාවූ විශ්වාසය නිසාමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට නොතිබුණා නම්, තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අප තුළ නොතිබුණා නමි, තමන් පෙර කරනු ලැබුවා වූ අයහපත් ක්‍රියාවක ප්‍රතිපලයත් තමන් කරා පැමිණ ඇති බවට කිසි ලෙසකින් වත් පිළිනොගනී. ඒ තුළ විශ්වාසය ගොඩනැගෙන්නේම ශ්‍රද්ධාව තිබේ නමි පමණයි. ශ්‍රද්ධාව නොමැතිව නිවන් මාර්ගයට පිවිසීමට අපහසු බව ඔබ වටහා ගත යුතුයි. නිවන් මඟට පැමිණීමට නම්, එම අරිය පර්යේෂණ මාර්ගයේ ගමන් කිරීමට නමි, බුදුපියාණන් වහන්සේගේ උතුම් ලොවිතුරා බුද්ධත්වය පිළිබදව අල්පමාත්‍ර හෝ සැකයක් හටගනු ලැබුව හොත් ඒ මොහොතේ පටන් අප නිවන් මගින් බැහැර වුවන් වෙයි. එම ශ්‍රද්ධාව නමැති ධනය ඔබ තුළ උපදවා ගත යුතු බවට බුදුපියාණන් වහන්සේ පළමුවෙන්ම ආලවකට දේශනා කරනු ලැබීය.සද්ධා ධනං යනුවෙන් සෘජුව දේශනා කරනු ලැබුවේ ඒ නිසයි.
සාමාන්‍ය ගෘහ ජීවිතයකට වුවත්, විශ්වාසය නමැති ධනය තිබිය යුතුයි. විශ්වාසය නැති වූ විට ගෙදරක සැමියාට බිරිද පිළිබඳව, බිරිඳට සැමියා පිළිබඳව, අම්මාට, තාත්තාට දරුවන් පිළිබඳව, දරුවන්ට අම්මා, තාත්තා පිළිබඳව, නැන්දම්මාට ලේලිය පිළිබඳව , ලේලියට නැන්දම්මා පිළිබඳව විශ්වාසය නොමැති වූ විට එම ගෙදර ඉදිරිය කරා ගමන් කිරීම නවතී. චෝදනා කරගැනීම්, හා ගැටුමි නිර්මාණය වීම ඒ ගෙදර තුළ ගොඩනැගෙයි. ශ්‍රද්ධාව නොමැති තැන සමඟිය නිර්මාණය වන්නේ නැත. එකමුතු කම නොමැති නිසාම තීන්ුදු තීරණ ගනිද්දී ඉතාම දුෂ්කර තත්වයක් නිර්මාණය වේ. ගෙදරක සාර්ථකත්වයටත් තිබිය යුතු ප්‍රධානම දේ ශ්‍රද්ධාවයි. ආවාහ විවාහ කටයුතු කිරීමේදත් සම ශ්‍රද්ධා තිබෙනවාද? යන්න බැලිය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබ්වේ ද ඒ හේතුව නිසාම වේ. දෙපාර්ශ්වය තුළම විශ්වාසය එක සමාන විය යුතු බව ප්‍රකාශ වනුයේ තුණුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති පුද්ගලයා තුළ හැඳියාව සදාචාරය සංවරකම ගොඩනැගෙන අතර වංචාව කපටිකම තෘෂ්ණාව මසුරුකම මර්ධනය වේ. බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබූ ශ්‍රද්ධාව වෙනුවට වර්තමාන විවාහ කටයුතු තුළ සොයා බලනු ලබන්නේ වෙනත් කරුණු කාරණාය. ගෙදරකට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව මිස මුදල් නොවේ. මුදල යනු දෙවන කාරණාවකි. මානසික කාරණාව හෙවත් අධ්‍යාත්මික කාරණාව ශ්‍රද්ධාව මිස මිල මුදල් නොවේ. 1815 ට පෙර සිංහල ජාතිය, සඳහා විවාහ සහතික නොතිබු අතර එම විවාහය පැවතුනේ ශ්‍රද්ධාව මත පමණයි. විශ්වාසය පදනම් කරගෙන විවාහ වූ දෙදෙනා විශ්වාසයෙන් ජීවත් වුණා. මේ කුල කුමාරිකාවන් මේ කුල කුමාරවරුන් විවාහ වන තෙක් බ්‍රහ්මචාරීව ජීවත් වන බවත්,විවාහ වූවාට පසු පරදාර සේවනයට හෝ පරපුරුෂ සේවනයට යන්නේ නැති බවට ධර්මය තුළින් ගොඩනැගෙන විශ්වාසය මතයි. දරුවන් පිරිසුදුව හදා වඩා ගැනීමේ කාර්යයේදී උභය පාර්ශ්වයම ඒ සඳහා වගකීම ගනු ලැබීය. එවැනි ආකාරයෙන් හැදුනු වැඩුණුු කුල සමඟ විවාහ වීමට කිසිම බියක් පැවතුනේ නැහැ. ශ්‍රද්ධාවෙන් ජීවත් වනවා නම්. විවාහ සහතික අවශ්‍ය වන්නේ නැහැ. එම නීතිමය ලියැවිල්ල දික්කසාද වීමේදී තමාට හිමි විය යුතු නීතිමය ප්‍රතිපාදන ලබාගැනීම සදහා මිස ජීවත් වීමට අවශ්‍ය වටිනා ලියවිල්ලක් නොවේ. වර්තමාන විවාහ ජීවිත තුළ ප්‍රශ්න ගැටළු බහුල වීමත් සමඟ විවාහ සහතිකය ඉදිරියට ඇදෙන වාර ප්‍රමාණය වැඩි වෙමින් පවතී. කාන්තාව හා පුරුෂයා ඔහු හෝ ඇය සමඟ මැරෙන තුරා එකම වහලක් යට ජීවත් වන බව විශ්වාසය අතීතය තුළ ගොඩ නැගී පැවතුනේ බුදු දහමෙන් වර්්ධනය වී තිබු ශ්‍රද්ධාව නිසයි. බුදු දහමෙන් උපදවන ලැබූ ශ්‍රද්ධාව නිසා ගොඩ නැගණු ගිහිකම අපට නීති තුළින් රැකගැනීමටවත් නොහැකි තත්වයට පත්වෙලා තිබෙනවා. එම ශ්‍රද්ධාව මත පදනමට විවාහ ජීවිත ගෙවූ කාලය තුළ දරුවන් කෙතරම් ප්‍රමාණයක් එම පවුල් සංස්ථාව තුළ ගොඩනැගුණද වර්තමානය වන විට දික්කසාද ප්‍රමාණය වැඩි නිසාම විවාහ සහතිකයට ලොකු බලයක් ලැබී තිබුණද පවුල් සංස්ථාව තුළ දරුවන් දෙදෙනෙකුට සීමා වී පවතී. ශ්‍රද්ධාවට බලය පැවරී තිබුණ පවුල් සංස්ථාව තුළ ළමා ලපටීන් අවම වශයෙන් දහය ඉක්මවා යන පරිසරයක් නිර්මාණය වී පැවතුණි.
මිනිසුන් තුළ තුණුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවට වඩා සැකය පවතින නිසාම වර්තමානය තුළ මිනිසුන් නිවන් දකින්නේත් මාර්ගඵල ලබන්නේත් නැත. බහුතරයක් මිනිසුන් කල්පනා කරමින් ඉන්නේ සම්මා ආජ,ීව, සම්මා වාචා, සම්මා කම්මන්ත සමඟ දියුණු වීමට නොහැකි බව ට මිනිසුන් තුළ විශ්වාසයක් ගොඩ නැගී පවතී. කුමන හෝ පුදුගලයකු යම් මටිටමක තත්වයකට දියුණු වී සිටින විට එය දකින අනෙකුත් පුද්ගලයන් ඒ පිළිබඳව කරනු ලබන විවේචන දෙස බලන විට එය පැහැදිළි වේ. හොද නිවසක් ගොඩ නගාගෙන, වටිනා වාහනයක් පාවිච්ච් කරනවා දකින විට ඒ දකින ඇතැම් පිරිස් ප්‍රකාශ කරනු ලබන්නේ එය සාධාරණ ආකාරයෙන් උපයන ලද ඒවා නොවන බවටය. සම්මා ආජීවයෙන් කිසිලෙසකින්වත් දියුණු වීමට බැරි බවට වර්තමානය තුළ අදහසක් ගොඩ නැගෙමින් පවතී. ඔහු හෝ ඇය යහපත් නම්, දියුණු නැත. දියුණු නම් යහපත් නැත. වර්තමාන සමරජය තුළ පවතින ශ්‍රද්ධාව එයයි. මෙම රට තුළ උදාවෙමින් පවතින්නේ ඉතාම භයානක තත්වයක්. අප එක එක පුද්ගලයන් පිලිබඳව විෙවිචන කරන විට ඊළඟ පරම්පරාව අපගේ කටින්ම ඒ අයගේ කනට එම තොරතුරු ලබාගනී. අවුරුදු පහළොව දහසය වන විටම ඊළඟ පරම්පරාව කල්පනා කරනු ලබන්නේ, අපට ඔය නීත්‍යානුකූල ක්‍රමය හරියන්නේ නැති බවයි. අසවල් මාමලා ගංජා විකුණලා දියුණු වු බවත් , අසවල් නැන්දා කුඩු විකුණා ජීවත් වූ බවත් ගෙදර තුළ දි අම්මා ප්‍රකාශ කරන අවස්ථා දරුවන්ගේ කනට ඇසී ඇත්තේ එවැනි ආකාරයෙනි. බහුතරයක් සුඛෝපභෝගී ජීවිත ගතකරන්නේම යහපත් වැඩ කරල නොවන බව දරුවා තුළ අදහසක් ගොඩ නැගෙනු ඇත. එවැනි පරිසරයක් පිළිබඳව කතා කරන අම්මලම දරුවන් ඉගෙන ගත යතු බවට ප්‍රකාශ කරනු ලබයි. දෙමාපියන් විසින් දරුවන් උභතෝකෝටිකයක් මැද තනිකර ඇත. දියුණුවෙන මාර්ගය වෙන මඟක් බව ප්‍රකාශ කරන අම්මා දරුවන්ට ඉගෙන ගත යුතු බවටද ප්‍රකාශ කරනු ලබයි. අපගේ ජාතිය දියුණු වීම සදහා කෙටි මාර්ග සොයා යාමට පුරුදු වී සිටී. සම්මා ආජීවයෙන් අඛන්ඩව වීර්ය කරලා අඛන්ඩව නිවැරදිව ජීවත් වීමෙන් ලබන ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය හා එම ක්‍රමවේදය පිළිබඳව විශ්වාසයක් නැත. අවුරුදු විසිපහ වන විට ගෙවල් දොරවල් ගොඩනගා අවසන් කළ යුතු බවත්, වාහනයක් ගත යුතු බවත් යන සංකල්ප අපගේ මනසට ගොඩ නැගී ඇත. ගෙවල් දොරවල් ගොඩනගා යාන වාහන මිලදී ගෙන ලීසිං ඉවර වුණාට පසුව සිදුකළ යුතු විවාහයක් පිළිබදව අප තුළ අතීතයේදී පැවතුනේ නැත. විශ්වාසයෙන් විවාහ වන දෙදෙනා ක්‍රමයෙන් ටිකෙන් ටික දියුණුව කරා ගමන් කිරීමේ ක්‍රමවේදයක් පැවතුණි. වර්තමානය තුළ එය ප්‍රතික්ෂේප කිරීම මෙම විනාශයට මූලික හේතුවක් වේ අප හම්බකරනවා නම්,අපට අවශ්‍ය වන්නේත් ආලවකට දේශනා කරනු ලැබූ ශ්‍රද්ධාවමයි. ශ්‍රද්ධාවන්තයා කෝටි ගණන් මුදල් හම්බකරනු ලැබුවත් බිය විය යුතු නැත. ශ්‍රද්ධාවන්තයා මුදල් හම්බ කිරිම සදහා යොදාගනු ලබන්නේ සම්මා ආජීවයයි. මුදල් රැකගැනීම සඳහා යොදාගනු ලබන්නේ සම්මා වාචා මිස මිච්ජා වාචා නොවේ . සම්මා කම්මන්ත මිස මිච්ජා කම්මන්ත පාවිච්ච් කරන්නේ නැත. ශ්‍රද්ධාව ධනය බවට පත් වූ ගමන් ඔහු එම ධර්මානුකූල පදනමේ පිහිටල දියුණුවේ. ගිහිකමට අදාල වන දියුණුව සොයාගැනීමට නම් ශ්‍රද්ධා ධනය තිබිය යුතුයි. නිවන් දැකීමට අවශ්‍ය නමි එතනදීත් ශ්‍රද්ධා ධනය තිබිය යුතුයි. ශ්‍රද්ධාව හමිබකරගත යුතු ශ්‍රේෂ්ඨම ධනය බව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ආලවකට දේශනා කරනු ලැබුවේ ද ඒ හේතු නිසාම බව ඔබ මුලිකවම අවබෝධ කරගත යුතුයි.
කසීභාරද්වාජ සුත්‍රයේදී බුදුපියාණන් වහන්සේ වදාරනු ලබන්නේ නිර්වාණය අස්වැන්න නම්, ඉන්දවිය යුතු බීජ ශ්‍රද්ධාව බවයි. සද්ධා බීජං ශ්‍රද්ධාව නමැති බීජ වැපිරිය යුතු බව . ශ්‍රද්ධාව නමැති බීජ වපුරන්නේ නැතිව නිර්වාණය නමැති අස්වැන්න ලබාගත නොහැකි වේ. ඔබ තුළ නිවැරැදි ශ්‍රද්ධාව ඇති කර ගත යුතුයි.බුදුපියාණන් වහන්සේ පිළිබඳව , ධර්මය පිළිබදව , මහ සඟරුවන පිළිබඳව කර්මය පිළිබදව කර්ම ඵලය පිළිබඳව ඔබ තුළ සැකයක් ඉපදීමට ඉඩ තබන්න එපා. ඒ පිළිබඳව සැකයක් උපදිනවාය යනු ඔබගේ ජීවන ක්‍රªමය සම්පූර්ණයෙන්ම වෙනස් වීමකට භාජනය ෙවි. ලොවිතුරා බුදුරජාණන් වහන්ස් රහසින්වත් පව් නොකළ සේක. යන්න පිළිබදව අප තුළ විශ්වාසයක් නැතිනමි, අප රහසින්වත් පවිනොකර ඉඳීමට කිසිදු උනන්දුවක් ඇතිකර ගන්න එකක් නැහැ. බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නැත. උන්වහන්සේ සැනසිල්ලේ ජීවිතය ගත කරනු ලැබුවේ රහසින් වත් පවි නොකළ නිසා බවට ඔබ විශ්වාස කරන හැම මොහොතකම ඔබගේ ජීවිතයේ රහස් වැඩ ක්‍රමයෙන් අඩුවේ. බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බවට සැක හැර විශ්වාසයක් ගොඩනැගීමෙන් පමණයි එම සැනසිල්ල ඔබට ලඟාකර ගත හැකි බවට ඔබ තුළ විශ්වාසයක් ගොඩ නැගෙන්නේ. එනිසා ශ්‍රද්ධාව ඔබේ ධනය වගේම ඔබේ පදනම ද විය යුත්තේ ශ්‍රද්ධාවයි. ඔබ හම්බකළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවමයි.

අභය දානය හා එහි ආනිසංස දැන ගන්න

දක්ඛිණවිභංග සූත‍්‍රයේ දී පුද්ගලික ව දිය හැකි දානවර්ග දාහතරක් පිළිබඳව දක්වා තිබේ. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය යැ යි දානය ත්‍රිවිධාකාර වේ
විපතට පත් වූ පුද්ගලයෙකුට හෝ වේවා සත්ත්වයෙකුට හෝ වේවා, නිර්භයත්වය ප‍්‍රදානය කරනු ලබයි නම්, එකී විපතින් ඔවුන්ගේ දිවි ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි. ස්වාභාවික උපද්‍රව, සතුරු උපද්‍රව තුළින් පුද්ගලයාට විපතක්, අනතුරක් සිදු වී බියෙන් යුක්ත ව කාලය ගත කරන මොහොතක දී එවැන්නකුගේ බිය දුරු කොට සැපත ශාන්තිය උදා කරලිය හැකි නම්, මරණයෙන් ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි.
අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.
“අභයදානං දත්වාන
ජත්තුනො භයතජ්ජිතෝ
දයානිසංසේ අනුහොමි
කම්මානුචිජකෙ “
මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,
01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම.
02. නිරෝගී සම්පත්තිය ලැබීම.
03. දීර්ඝායු සම්පත්තිය ලැබීම.
04. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම.
05. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.
06. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම.
07. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම.
08. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
09. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති, 
මාස්පොත, ශ්‍රී ගංගාරාම වාසී 
ගලගෙදර රතනවංශ හිමි

සිල්වත් වීම ජීවිතයක් බැබලීමටත් ගරු බුහුමන් ලැබීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් හේතු වනු ඇත. සීලය සම්බන්ධව විමසීමේ දී එය සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම මුල්කොට පවතින්නකි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම, දස පාරමිතා යනාදී සෑම තැනකදීම සීලය දෙවෙනි තැනට යොදමින් එහි ඇති ආධ්‍යාත්මික හා ප්‍රායෝගික වටිනාකම පහදාදීමට බුදුහිමි වෙහෙස දරා ඇත. ත්‍රිශික්ෂාව අතර සීලය ප්‍රමුඛස්ථානයෙහි තබා ඇත. එහිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව ආදී කොටස් ශීලය පදනම් කොට පවතී. ඒ අනුව බැලීමේ දී ප්‍රඥා, සීල, සමාධි වශයෙන් බෙදෙනු ඇත.
අප සිල්වත් විය යුත්තේ තමන්, අනුන් හා මෙලොව, පරලොව උදෙසාය. එහිදී, කය, වචනය තුළ හික්මීම ප්‍රධාන බලවේගය වේ. එය හික්මවා ගැනීමට බුදු දහමේ පංච ශීලය, ආජීව අෂ්ඨමක ශීලය, අෂ්ටාංග ශීලය, දස ශීලය ආදී ප්‍රතිපදා අනුගමනය කිරීම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේගේ සීලය මුළු තුන්ලෝකයේම පැතිරුණු ආකාරය ඉතා පැහැදිලිය.
ප්පමත්තෝ අයං ගන්ධෝ 
යායං තගර චන්දනී 
යෝච සීලවතං ගන්ධෝ 
වාති දෙවේසු උත්තමෝ - ධම්මපදය පුෂ්ප වග්ග

යම් තුවරලා සඳුන් සුවඳෙන් වේද එය ඉතා අල්පය. සිල්වතාගේ යම් උතුම් සුවඳක් වේද? එය දෙවියන් අතරද, හමා යේ,
බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ සිල් සුවඳ මුළු විශ්වය පුරාම හමා ගියහ. ඊට අමතරව පෘතග්ජන සත්වයා තුළද අඩු වැඩි වශයෙන් සිල් සුවඳ පවතී. ඔවුනට දෙවියන්ගේද නමස්කාරය හිමිවන ආකාරය පැහැදිලි වේ. ස නි සත්තසංයුත්ත සක්කනමස්සන සූත්‍රය තුළ සක්‍රදේවේන්ද්‍රයාගේ නමස්කාරය ඉතා ප්‍රකටය. එනම්,
මං නමස්සන්ති තෙවිජ්ජා සබ්බේ භූම්මාච ඛත්තියා 
චත්තාරෝච මහාරාජා නිදසාච යසස්සිනෝ 
අහඤ්ච සීල සම්පන්නේ චීරරත්ත සමාහිතෙ 
සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචරිය පරායනෙ 
යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා 
ධම්මේ දාරං පෝසෙන්ති තෙ නමස්සාමි මාතලි 
සෙට්ඨාහි කිර ලෝකස්මිං යෙත්වං සක්ක නමස්සසි 
අහම්පි තෙ නමස්සාමි යෙ නමස්සසි වාසවාති 
ඉදං වත්තවාන මඝවා දෙවරාජ සුජම්පතී 
පුථුදදිසා නමස්සිත්වා පමුඛො රථමාරුහීති

වේදත්‍රය හදාරන සියලු භූලෝකවාසීහුද, ක්ෂත්‍රියෝද, සතර වරම් දෙව්මහරජහුද, යශස් ඇති දෙවියෝද, නුඹ වඳීත්. නමුදු සක් දෙවිදුනි, නුඹ යමෙකු වදින්නාහු නම් හේ කිනම් සත්වයෙක්ද?
ත්‍රිවේදය හදාරණ පොළෝතල වැසි සියල්ලෝද, ක්ෂත්‍රියෝද සිව්වරම් දෙව්මහරජහුද, යසස් ඇති දෙවියෝද මම නමදිත්.
මමද ශීලයෙන් සමන්විත වූ බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බඹසර විසුම්හි තත්පර වූ පැවිද්දන් මැනවින් වඳිමි.
පින් කරන සිල්වත් වූ ගෘහස්ථ යම් උවසු කෙනෙක් දැහැමින් අඹුදරුවන් පෝෂණය කරද්ද, මාතලී මම ඔවුන් වඳිමි.
සක්දෙවිඳුනි, නුඹ යම් කෙනෙකුන් වඳිනාහුද ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝමය. සක්දෙව්රදුනි, නුඹ යම් කෙනෙකුන් වඳනාහුද? මමද ඔවුන් නමදිමි.
දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ මඝවන්තු නම් වූ සක්දෙවිරජතෙමේ මෙය කියා හැම දිගුන් නැමද රියට නැංගේය.
එම දේශනාවෙන් පැහැදිලි වන්නේ සිල්වන්තව ඉඳ අඹුදරුවන් පෝෂණය කරමින් පින් දහම් කරන ධාර්මික ජීවිත ගත කරන මිනිසුන්ට දෙවියන්ගේ පවා නමස්කාරය හිමි වන බවයි. නමුදු අද එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ක්‍රියාත්මක වීම පිළිබඳ සිතන කල්හි කනගාටුවක් ජනිත වේ. දෙවියන්ගෙන් පවා මිනිසාට වැඳුම් පිදුම් ලබාගත හැකි බව බෞද්ධයන් විසින් සපුරා අමතක කොට ඇත. දැහැමින් ජීවත් වන අයට දෙවියන්ගේත් නායකයා වන ශක්‍රයාගෙන් වැඳුම් පිදුම් ලැබේ.
බුද්ධ චරිතය තුළ පැහැදිලි වන ආකාරයට විවිධ ආත්මවල ජීවිත පරිත්‍යාගයෙන් සීලය ආරක්ෂා කළ ආකාරය ඉතා විස්මිතය. එය බුද්ධ චරිතය තුළ දැකිය හැකි ශ්‍රේෂ්ඨ ලක්ෂණයකි. උන්වහන්සේ පුරන ලද පාරමිතා දෙස අවධානය යොමු කිරීමෙන් එය මනාව ප්‍රත්‍යක්ෂ වේ. සංඛපාල, කුරු ධර්ම, ලෝමහංස ඡද්දන්ත ආදී ජාතක කතා පරිශීලනය කිරීමෙන් බුදු හිමි ඒ ඒ ආත්මවල පුරන ලද ශීල පාරමිතාව කොතරම් ගැඹුරු ද, ගාම්භීරද යන්න ප්‍රත්‍යක්ෂ වේ.
ශීලය ප්‍රධාන කොටස් දෙකකින් අනූනය. චාරිත්‍ර ශීලය එකකි. එනම් ගුණවතුන්ට සිල්වතුන්ට, වැඩි හිටියන්ට අභිවාදනය කිරීම, වතාවත් කිරීම, ලෙඩුන්ට සාත්තු කිරීම ආදියයි. චාරිත්‍ර ශීලය දෙවැන්නයි. එනම් පස් පව් දස අකුසල් ආදියෙන් වෙන් වීමයි. බෝසත්වරුන් මෙම දෙඅංශයම ප්‍රගුණ කරන අතර ඔවුන්ගේ ශීලය සුවිශේෂී වන්නේ ඔවුන් ආර්ථික ලාභ ප්‍රයෝජන මත හෝ අඹුදරුවන් නිසා හෝ තම ශරීරය රැක ගැනීමට සිතා හෝ ශීලය කඩ කිරීමක් නැත්නම් ශීලය බිඳ ගැනීමක් සිදු නොකරන බැවිනි. දන් දීමෙන් වුවද වැඩි අනුසස් ලැබෙන්නේ සිල්වතුන්ට, ගුණවතුන්ට දීමෙන් බව බුදුහිමි දේශනා කොට ඇත. ‘යො සීලවා සීලවනෙතසු දදාති දානං’ ම.නි. එම දහම් පාඨය තුළින් එය පැහැදිලි වේ.
සීලය, ධනයක් වශයෙන් සප්තාර්ය ධන අතර බුදුහිමි පෙන්වා දී ඇත. කිරලෙකු බිජු රකින්නා සේ සිල් රැකීමේ දී ලෞකික ජීවිතය තුළ ද බොහෝ ආනිශංස ලැබෙන අයුරු පැහැදිලි වේ. නීරෝගි සම්පත්තිය ලැබීමට, දීර්ඝායුෂ ලැබීමට, කීර්ති ප්‍රසංශා ලැබීමට, ඕනෑම සභාවකට නොබියව ඉදිරිපත්වීමට සිල්වතුන්ට සීලය රැකීමේ ආනිශංස වශයෙන් ලැබෙනු ඇත.
සිත, කය, වචනය තුළ ඇති නිවැරදිතාව පිරිසුදුභාවය කරණකොට ගෙන හික්මීම සංවරය, ලැජ්ජා, බය ඇතිව ජීවත්වීම ආදී කාරණයන් සමඟ තමනට ලැබෙන ආත්ම තෘප්තිය ඉතා ඉහළය. එය සැපයක්ම වන්නේ ය. බුදුහිමි දේශනා කළ සුඛ අතර අනවජ්ජ සුඛය ලැබීමට එය සෘජුවම බලපානු ඇත.
ඉහත කරුණු සිතටගෙන උසස් මනසක් ලැබූ සෑම සත්වයෙක්ම සීලවත් වීමට උත්සාහවත් විය යුතු ය. දෙවියන්ගෙන් පවා වන්දනාමානයට ලක්වීමට එය හේතුවන අතර, තමන්ටත් අනුනටත් මෙලොවටත්, පරලොවටත් එය සැප පිණිස පවතී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පූජාව හා දානය

පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් මංගල සූත්‍ර දේශනයේදී “පූජාච පූජනීයනං” යනාදී ගයෙන් පූජාව එක් මංගල්‍යයක් ලෙසත් “දානඤ්ච ධම්මචරියා ච” වදාරා ඇත්තේ පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇති බැවිනි. ඒ දෙක්හි ඇත්තේ මඳ වෙනසකි. දාන ශීල භාවනා වශයෙන් කුශලය තුනට බෙදන තැන්වලදී පූජාව දානය යන මේ දෙකම දානමය කුශලයට ම අයත් වේ.
උසස් පුද්ගලයනට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්වීම් වශයෙන් පුෂ්පාදී යම්කිසි වස්තුවක් පිරිනැමීම පූජා නම් වේ. තමාට උසස් වූ හෝ පහත් වූ හෝ සම වූ හෝ කවරෙකුට වුව ද අනුග්‍රහයක් වශයෙන් යම්කිසිවක් ප්‍රදානය කිරීම දාන නම් වේ. ගුණවත් පුද්ගලයනට අනුග්‍රහ වශ්යෙන් ගෞරවයෙන් ආහාරපාන වස්ත්‍රාදිය පිරිනැමීමට පූජාවය යි ද කිය හැකිය. දානයයි ද කිය හැකිය.
දානය විශේෂයෙන් අනුග්‍රහ කිරීම ප්‍රදාන කොට ඇතියකි. ප්‍රතිග්‍රාහකයාට උවමනා නැති දෑ දීම උසස් දානයක් නොවේ. උසස් දානයක් වන්නට ප්‍රතිග්‍රාහකයාගේ උවමනා සළකා බලා ප්‍රතිග්‍රාහකයාගේ උවමනා පිරිමැසෙන දෙයක් දිය යුතුය. අනුග්‍රහ පූර්වක පූජා කරන්නවුන් විසින් ද ප්‍රතිග්‍රාහකයන්ගේ උවමනා සලකා බලා ප්‍රයෝජනවත් දේවල් පිදිය යුතුය.
අනුන්ගෙන් යම්කිසිවක් උවමනා නැති උසස් පුද්ගලයන්ට ගෞරවය පිණිස හා ප්‍රසාදය දැක්වීම පිණිස පූජා කිරීමේදී තමා උසස් කොට සලකන ඒ පුද්ගලයාට නුසුදුසු නොවන කුමක් හෝ පිරිනැමීම සුදුසු ය. ප්‍රතිග්‍රාහකයාට තමා පිරිනමන දෙයින් ප්‍රයෝජනයක් වීම හෝ නො වීම එහිදී සැලකිය යුත්තක් නොවේ.
උසස් පුද්ගලයන් දක්නට යන විට ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීම් වශයෙන් මල් පොකුරක් ගෙන ගොස් පිළිගැන්වීම දඹදිව සිරිතකි. මල් සැමදෙන කැමති වස්තුවකි. එය ශුද්ධ වස්තුවක් ලෙස ද සලකති. එබැවින් දෙවිවරුන්ට ද මල් පුදති. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පසු උත්තම පුද්ගලයෙකු වන බැවින් උන්වහන්සේ දක්නට යන්නෝ ද මල් ගෙන ගොස් උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද ගෙනැවිත් පිරිනමන්නවුන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ද ඒවා පිළිගත්හ. තථාගතයන් වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද උන්වහන්සේ ට ගරු කිරීමක් වශයෙන්, ප්‍රසාදය දැක්වීමක් වශයෙන් කරන්නා වු ඒ පූජාව මහත්ඵල මහානිසංස වන පින් කමක් වේ. බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේ පිරිනිවීමෙන් පසු ද අද දක්වාම බෞද්ධයෝ උන්වහන්සේට මල් පුදන්නාහ. පිරිනිවියා වූ තථාගතයන් වහන්සේට ගරු කිරීම් වශයෙන් බෙහෙවින් පූජා කරන්නේ මල්ය. සුවඳ, සුවඳ දුම්, පහන්, කොඩි, පැන්, ගිලන්පස, දැහැත්, ආහාර, අටපිරිකර ආදී තවත් නොයෙක් දේ ද සැදැහැවත්හු පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පුදති. අතීතයේ නොයෙක් පින්කම් කොට ඒවායින් නානා ප්‍රකාර ඵල ලැබු අය ගේ ප්‍රවෘත්ති දක්වා ඇති, අපදාන විමානවත්ථු ආදී බෞද්ධ ග්‍රන්ථවල එන කථා අතර ද දක්නට ඇත්තේ පිරිනිවියා වූ බුදුවරයන් උදෙසා දාගැබ්, මහබෝවලට මල්, පහන්, සුවඳ, කොඩි, ගී, නැටුම් වැයුම් පුද කළ අයගේ කථා පමණකි. දැහැත්, ගිලන්පස, ආහාර හා චීවරාදී පරිෂ්කාර ආදී පූජා කළ අය පිළිබඳ කතා ඒ ග්‍රන්ථවල දක්නට නැත. සිද්ධාර්ථ බුදුරදුන්ගේ චෛත්‍යයට කප්රුකක් පූජා කළ කතාවක් අපදානයෙහි දක්නා ලැබේ. දැනුදු ඇතැමුන් චෛත්‍යයනට කප්රුක් පුදන්නේ ඒ කථාව අනුව යයි සිතමි. ඒ ග්‍රන්ථවල ආහාරපාන වස්ත්‍ර පූජා කිරීම පිළිබඳ කථා ඇත්තේ ජීවමාන බුදුවරුන්ට පූජා කළ අය පිළිබඳව ය. පූජා කළ අය පිළිබඳ කථා නැති පමණින් අජීවමාන බුදුවරුන් උදෙසා ආහාර පාන වස්ත්‍රාදිය පිදීම නිෂඵලය යි නො ගත යුතු ය.
== නො පිළිගන්නා පූජාව ==
අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේ ලා නො පිළිගන්නාහ. පරිභෝග නොකරන්නාහ. නොපිළිගන්නා වූ, පරිභෝග නොකරන්නා වූ නැති බුදුවරුන්ට, නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද? ඵලයක් ලැබේද? යනු මේ පූජාවන් පිළිබඳව ඇතැමුන් නඟන ප්‍රශ්නයකි. ඔවුන් ඒ ප්‍රශ්නය නඟන්නේ පින් පව් නො හැඳිනීම නිසාය. ජීවමාන බුදුරජාණන් වහන්සේට යම්කිසිවක් පූජා කරන කල්හි පින වන්නේ තථාගතයන් වහන්සේගේ පිළිගැනීම හෝ පරිභෝග කිරීම නොව පූජා කරන තැනැත්තා තුළ ඇතිවන ඒ වස්තුව තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් යුක්ත සිත ය. පූජා කලහුට අනාගතයේ ඉෂ්ට විපාක ඇතිකර දෙන්නේ ද තථාගතයන් වහන්සේ විසින් නො ව පූජකයා තුළ ඇති වූ කුශල චිත්තයෙන්ම ය. යම්කිසි පූජාවක් කරන තැනැත්තකුට කුශලය ඇතිවන්නේ ඒ පූජාව පිළිගැනීමට ප්‍රථමයෙනි. ප්‍රතිග්‍රාහකයා විසින් පූජාව පිළිගන්නේ කුශල චිත්තය ඇති වූවාට පසුවය. පරිභෝග කරන්නේ ඊටත් පසුවය. පිළිගැනීම්, පරිභෝග කිරීම් දෙක සිදු නො වීමෙන් කලින් ඇති වූ කුශල චිත්තයට හෝ එයින් ලැබෙන විපාකයට හෝ වන හානියක් නැත. බාල කාලයේ තථාගතයන් වහන්සේ ඇති දැඩි කළ උන්වහන්සේ ගේ කුඩා මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමී තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති මහත් භක්තිය නිසා උන්වහන්සේට සිවුරු පිණිස සළු සඟලක් පුදනු කැමැත්තී, රජගෙදර ගබඩාවල,බොහෝ අගනා වස්තු ඇතද ඒවා නොගෙන පුළුන් ගෙන්වා සියතින් ම නූල් තනා සියතින් ම සළු සඟලක් වියා කරඬුවක බහා හිස මත තබාගෙන දාශිගණයා හා තථාගතයන් වහන්සේ වෙත පැමිණ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් නුඹ වහන්සේ උදෙසා සියතින්ම නූල අඹරා සියතින් ම වියා පිළියෙල කළ මේ සළු සඟල මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා” යි සැල කළාය. එකල්හි තථාගතයන් වහන්සේ “සංඝෙ දෙහි ගොතමී, සංඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පුජිති භවිස්සාමි සංඝො ච” යනුවෙන් ‘ගෞතමිය; සංඝයාට දෙව; ඒවා සංඝයාට දුන් කල්හි මම පූජා කරන ලද්දේ වෙමි. සංඝයා ද පූජා කරන ලද්දේ ය’ යි වදාරා ගෞතමිය ගේ පූජාව ප්‍රතික්ෂේප කළ සේක. තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රදක්ෂිණෙය්‍ය වන සේක. සංඝයාට පිදීමෙන් බුදුනට පිදීමෙන් වන කුශලය තරම් මහත් කුශලයක් නො වේ. සළු සඟල ප්‍රතික්ෂේප කිරීමෙන් තථාගතයන් වහන්සේට එය පිදීමේ කුශලය නැති වී යතහොත් බොහෝ වෙහෙසී ලබාගන්නට තැත්කළ ඒ කුශලය ලබාගන්නට නොදී එයට කුඩා කුශලයක් ලබා ගන්නට සැලැස්සීම තථාගතයන් වහන්සේ විසින් සිය මැණියන්ට කරන ලද ඉමහත් අපරාධයකි. බුදුවරයෝ මාපියන්ට ගරු කරන්නාහ. කිසි කලෙක අපරාධයක් නො කරන්නාහ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට කළ පූජාව ප්‍රතික්ෂේප කොට එය සංඝයාට පුදන්නට නියම කරන ලද්දේ මහා ප්‍රජාපතී ගෝතමියට අතිරේක වශයෙන් තවත් කුශලයක් ලබා දීම පිණිස ය. මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වා යි කියා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ වස්ත්‍ර තැබූ පසු ඇගේ පින සිදුවී අවසානය. ඇයට බුදුරදුන් පිළිබඳව පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන කුශල චේතනාත්‍රය ඇති වී අවසාන ය. තථාගතයන් වහන්සේ විසින් පිළිගැනීමෙන් හෝ නො පිළිගැනීමෙන් හෝ ඒ ඇති වූ කුශල චේතනාවලට වන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේගේ නියෝගයෙන් පිරිකර නැවත සංඝයාට පිදූ කල්හි ඇයට සංඝයා සම්බන්ධයෙන් ද පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන චේතනාත්‍රය ඇතිවීමෙන් කුශල චේතනා සයක් වන්නේ ය. එයින් ඇයට වස්ත්‍ර පූජාව අධිකතර මහත්ඵල මහානිසංස වන්නේ ය. “තථාගතයන් වහන්සේ ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඒ කරුණ නිසා ය. නැත්තා වූ අජීවමාන බුදුවරුන්ට ආහාර පාන වස්ත්‍රාදිය පිදූ කල්හි ප්‍රතිග්‍රාහකයන් නැති කමින් පූජා කරන්නහුගේ පිනට හානියක් නැති බව ජීවමාන බුදු කෙනෙකුන්ට පූජා කිරීමෙන් වන කුශලයට සමාන කුශලයක් අජීවමාන බුදුවරුන්ට පිදීමෙනුත් ලැබිය හැකි බව කියන ලද කරුණු අනුව තේරුම් ගත හැකිය. පූජා කිරීමට බුදු කෙනෙකුන් නැතය කියා සංඝයා නැතය කියා පසුබට නොවී පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට හැකි පමණින් පුදා බුද්ධ පූජාමය කුශලය අත්පත් කරගෙන සඟමොක් සැප ලබත්වා!
== බුදුරදුන්ට වත් කිරීම ==
මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නොව උන්වහන්සේට වත් කිරීමෙන් ද සැදැහැතියන්ට පින්සිදුකරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසු ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන්වහන්සේට කළ ගඳකිළිය හැමදීම, අසුන් පැනවීම, පැන වූ අසුන් තැන්පත් කිරීම, පහන් දැල්වීම, නාන පැන් මුව දෝනා පැන් පිළියෙල කිරීම, දැන් නෑමට වේලාව ය, දැන් දහම් දෙසීමට වේලාව ය, දැන් භික්ෂූන්ට අවවාද දීමට වේලාව ය යනාදීන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවීමෙන් පසු ද කළ බව සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි හා සුමංගල විලාසිනි නම් වූ දික්සඟ අටුවාවෙහි ද කියා ඇත්තේ ය. ඒ අනුව ප්‍රතිමා මන්දිරයක හෝ දාගැබක බෝධියක හෝ තථාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත් කිරීම්, මලසුන් සේදීම්, හැමදීම්, කසළ බැහැර කිරීම්, පැන් එළවා තැබීම්, තණ ආදිය උදුරා ඉවත් කිරීම් යනාදී වත් කිරීමෙන් පින් කැමතියන්ට බොහෝ පින් සිදු කර ගත හැකිය. බුරුම බෞද්ධයෝ බුදුරදුනට වත් කිරීම් වශයෙන් සුවඳ පැන් පිළියෙල කොට බුදු රූ නහවති.
== බුද්ධ පූජාවට කළ යුත්ත ==
පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ උදෙසා සැදැහැතියන් පුදන ආහාර පානයන්ට හා චීවරාදී පරිෂ්කාරයන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද? යන වග ජීවමාන කාලයේදී තථාගතයන් වහන්සේ නො වදාළ සේක. එබැවින් දැන් ඒවාට කුමක් කළ යුතුද? යනු ගැටළු ප්‍රශ්නයක් වී තිබේ.
ප්‍රථම සාංඝික දානය වන බුද්ධප්‍රමුඛ උභතෝ සංඝයාට දෙන දානය බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු භික්ෂු භික්ෂුනී දෙසඟ මැද සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරියෙහි පාත්‍රය තබා සංඝයාට දෙන සියල්ලෙන් ම අග්‍ර කොට්ඨාශය බුදුරදුන් උදෙසා ඒ පාත්‍රයට බෙදමින් දානය දිය හැකි බව දක්ෂිණාවිභංග සූත්‍ර අටුවාවෙහි කියා තිබේ.

අනතුරුව-
“යං සත්ථු දින්නං තං යො සත්ථාරං ජග්ගති වත්තසම්පන්නො භික්ඛු තස්ස වා භික්ඛුස්ස සංඝස්ස වා දාතබ්බං, සප්පිතෙලානි පන ගහෙත්වා දීපා ජාලෙතබ්බා, සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බා.”
යනුවෙන් “ඒ දානයේදී තථාගතයන් වහන්සේට දෙන ලද දෙය උන්වහන්සේට උපස්ථාන කරන වතින් සම්පූර්ණ භික්ෂුවක් ඇති නම් ඒ භික්ෂුවට හෝ සංඝයාට දිය යුතුය. ගිතෙල් හා තෙල් ගෙන පහන් දැල්විය යුතුය. වස්ත්‍ර ගෙන කොඩි එසවිය යුතුය” යි දක්වා ඇත්තේ ය. මෙහි බුදුනට උපස්ථාන කරන භික්ෂුවය යි කියා තිබෙන්නේ දාගැබ් බෝධි ප්‍රතිමා ගෘහ යන මේවායේ වත කරන භික්ෂුවටය. පහන් දැල්වීම කොඩි එසවීම කළ යුත්තේද ඒ තැන්වල ය.
“ධම්මදායාදා මෙ භික්ඛවේ භවථ මා ආමිසදායාදා” යනුවෙන් “මහණෙනි, තෙපි මාගේ ධර්මය උරුම කොට ගන්නෝ වව්. ආමිසය ගන්නෝ නො වව්” යයි තථාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රයෙහි වදාරා තිබේ. තවද බුදුරජාණන් වහන්සේ වළඳා අවසන් වීමෙන් පසු තවත් ආහාර ඉතිරි වී ඇති අවස්ථාවක ආහාර නො ලැබ උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් දෙනමකට “මහණෙනි, මම දන් වළඳා අවසන් කොට සිටිමි. මේ ආහාර රාශියක් ඉතිරිව ඇත්තේ ය. කැමති නම් මේවා වළඳව්. තෙපි මේවා නො වළඳන්නහු නම් මම මේවා සතුන් නැති ජලයකට හෝ තණ නැති බිමකට දමන්නෙමැ”යි වදාළ විටෙක ඔවුන්ගෙන් එක් නමක් “මහණෙනි තෙපි මාගේ ධර්මය ගන්නෝ වව්. ආමිෂය ගන්නෝ නොවව්” යයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. “මේ ආහාරයත් එක්තරා ආමිෂයකි. එබැවින් මම මෙය නො වළඳමි” යි ඒ දවස සාගින්නෙන් ගෙවයි නම් අනිත් භික්ෂුව ඒ ආහාරය ගෙන වළඳා සාගින්න සන්සිඳවා ගෙන ඒ දිනය ගත කරයි නම් ඒ දෙදෙනාගෙන් නො වැළඳූ පළමු භික්ෂුව ම පූජ්‍යතර වන්නේ ය. අතිශයින් ප්‍රශංසාවට සුදුසු වන්නේය” යි ධම්ම දායාද සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. එය අනුව බලතහොත් බුදුනට පිදු වස්තූන් තමන්ගේ ප්‍රයෝජනයට නො ගෙන සිටීම ම භික්ෂූන්ට යෝග්‍ය බව කිය යුතුය. තථාගතයන් වහන්සේගේ භුක්තාවශේෂය ගෙන වළඳන්නා වූ භික්ෂුවට ඉන් කිසියම් පාපයක් වන බව ද එහි වදාරා නැත. එබැවින් යම් කිසි භික්ෂුවක් බුදුරදුන්ට පිදු ආහාර ගෙන පරිභෝග කරනවා නම් එයින් එම භික්ෂුවට වන පාපයක් නැති බව කිය යුතුය. ප්‍රතිමාගෘහාදියෙහී බුදුරදුන්ට පුදා ඇති ආහාර පාන ඒ තැන්වලින් ඉවත් කොට ඒ තැන් පිරිසිදු කළ යුතුය. ඒවායින් කිසි ප්‍රයෝජනයක් බුදුනට හෝ විහාර දාගැබ් වලට හෝ නැත. අහක දමන්නට ඇති ඒ ද්‍රව්‍ය ගෙන තමන් ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමෙන් කා හට වුව ද පාපයක් වන බවක් නො කිය හැකිය.
සැදැහැවතකු යම් කිසි වස්තුවක් විහාරයකට දාගැබකට බෝධියකට ගොස් බුදුරදුනට පුදන්නේ ඒ වස්තුව කෙරෙහි ඔහුගේ ආලයත් අයිතියත් අතහැර ය. පූජා කිරීමෙන් පසු ඒ වස්තුව ඔහුට අයිති නැත. පූජා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ ද නැත. එබැවින් ඒ වස්තුව අස්වාමික වස්තුවකි. අහක දමන ලද්දක් වැනියෙකි. පාපයක් වන්නේ හිමියා විසින් නො දෙන ලදුව හිමියෙකු ඇති වස්තුවක් ඒ බව දැන දැන ගැනීමෙනි. හිමියෙකු නැති වස්තුවක් ගැනීම අදින්නදානය නො වේ. ඒ කරුණු අනුව සළකත හොත් බුදුරදුන්ට පුදා ඇති වස්තූන් පාංසුකූල සංඥාවෙන් ගැනීමෙන් කාට වුවත් වරදක් නො වන බව කිව යුතුය. එහෙත් බුදුනට පුදා ඇති වස්තූන් ගැනීමට තැත් නො කළ යුතුය. අපේ බණ පොතවල එන පතාකා ප්‍රේත වස්තුවේ හැටියට එය භයානකය.
== පතාක ප්‍රේත වස්තුව ==
පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ඝායු නම් චෛත්‍යයක් විය. එහි ඔසවා තිබූ කොඩියක් සුළඟින් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිණ. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ එය දැක අතට ගෙන බලන්නේ එහි සටහන් කර තිබූ අකුරු දැක චෛත්‍යයට පුදන ලද්දක් බව දැන ඒ වස්ත්‍රයට ලෝභ කොට අකුරු තිබූ කොටස ඉරා දමා පොරවාගෙන ගෙදර ගියේය. කලකට පසු ඔහු කළුරිය කොට ගිනියම් වූ දහසක් යපට ඇඟේ වෙළුණු ප්‍රේතයෙක් විය. ඔහුට වාඩි වන්නට හෝ නිදන්නට හෝ නො පිළිවන. කෑම බීම කරන්නට නො පිළිවන. ඔහු මහබර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදී. දිනක් ඒ ප්‍රේතයා මධ්‍යම රාත්‍රියේ එක්තරා ස්ථවිර නමක් ඉදිරියේ පෙනී සිට ඔහුට පැමිණි දුක කියා සිටියේ ය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ “නුඹට මේ දුකින් මිදීමට මා කරන්නේ කුමක්දැ” යි ඇසූහ. “හිමියනි, දීර්ඝායු චෛත්‍යයට කොඩි දහසක් පුදා මට පින් දුන හොත් මිදිය හැකි වන්නේ ය” යි කියා ප්‍රේතයා අතුරුදහන් විය. ප්‍රේතයා ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදින තෙරුන් වහන්සේ කොඩි සොයන්නාහු පනසක් ලැබ ඒවා චෛත්‍යයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටඟුලක් විවෘත විය. එදින රාත්‍රියේ ප්‍රේතයා නැවත ද තෙරුන් වහන්සේට පෙනී සිට හිස අටඟුලක් විවෘත වූ බව කීය. තෙරුන් වහන්සේ නැවත කොඩි පනසක් සොයා චෛත්‍යයට පුදා පින් දුන් කල්හි තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය විවෘත විය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණ කළ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය.
එදින මධ්‍යම රාත්‍රියේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාභරණයෙන් සැරසී තෙරුන් වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන් වහන්සේ “නුඹ කවරෙක්දැ” යි ඇසූ කල්හි “හිමියනි, මම පෙර ගිණියම් වූ දහසක් යපටින් වෙලී කෑමක් බීමක් නැතිව මැරෙන්නේ ද නැතිව මහ දුක් වින්දෙමි. ඒ මම දැන් නුඹ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස මා හට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුඹ වහන්සේ විසින් කරන ලද්දේ ය. ඒ මම නුඹ වහන්සේ දැක වැඳීමට මෙහි පැමිණියෙමි. නුඹ වහන්සේ ගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේට ද අග්‍ර වූ ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සුඛයට පැමිණෙන්නට ලැබේවා.” යි ප්‍රේතයා කීය.
ඉක්බිති හෙතෙමේ “හිමියනි, බුද්ධ ධර්ම සංඝ යන මේ තුන් තන්හි කළ ස්වල්ප වූ ද පාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේ ය. එසේම ඒ තුන් තන්හි කරන ස්වල්ප වූද පූජාව අනන්ත ඵල දායක වන්නේ ය” යි කියා තෙරුන් වහන්සේ සාදරයෙන් ප්‍රදක්ෂිණා කොට වැඳ අතුරුදහන් විය.

මේ කථාව ලෝකප්පදීපකසාර නම් ග්‍රන්ථයෙන් ගන්නා ලදි. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයෙහි අනන්ත දුක් ලැබෙන බරපතල පවක් බව මේ කථාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නො දත් ඇතැම්හු කිසි සැලකිල්ලක් නැතිව විහාරවල දාගැබ්වල බෝධිවල පුදා ඇති පහන් තමන්ගේ උවමනා වලට තැනින්තැන ගෙන යති. පහන් වල තෙල් ගනිති. ඉදල් මුසුන් හා භාජන තමන් ගේ උවමනා වලට ගෙන යති. කොඩි මල් ආදිය ගෙන යති. නපුරු විපාක ඇති විය හැකි බැවින් ඒවායින් වළකිත්වා.Path to Nirvana
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X