වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

කෙලෙස්‌ වසඟයේ ආදීනව සංකප්ප ජාතකය


ඝන අඳුර දියකර හරිමින් හෝරා ගණනාවක පටන් පායා තිබූ සඳමඬල බැස ගියේය. ඒයින් ඉක්‌බිති නිල්මිණි තලාවක්‌ බඳුවූ ඈත අහසේ පායා තිබුණු ළහිරු මඬලින් මුළු මහත් බරණැස්‌ පුරවරයම ස්‌වර්ණ වර්ණ වෙන්නට පටන් ගත්තේය. තුරු වියන් වසා හෙවුණු මල් ගොමු අස්‌සේ සැඟව සිටි කුරුල්ලන්ගේ කූජනයේ මිහිරි ස්‌වරය උස්‌ පහත්ව ඇසේ. දෙව් පුරක සිරි අසිරි සිහි ගැන්වූ බරණැස පුරවරයේ ඉදිව තිබූ මැදුරු මාළිගාවන් කොතෙක්‌ නම් සුන්දර වීද? එහි සඳලුතලාවලට වී කාලය ගත කළ වුන්ගේ ජීවිතවලට නම් දුප්පත්කම නිසා උපන් ජීවන දුකක වේදනාව නොදැනුණු තරම්ය.

බරණැස්‌ පුරයෙහිම ජීවිතය ගත කරමින් සිටි මහ බෝසතාණන් වහන්සේටද තිබුණේ මෙබඳුම වූ ජීවන පසුබිමකි. සැබැවින්ම උන් වහන්සේ තුරුණුවී ඒ තුරුණු බවටම තුඩු දුන් සුන්දර රූප ශෝභාව නිසාම බෝසත් ගුණයෙන් සපිරි මේ තරුණයාගේ දැකුම තිරිසන් සතුනට පවා ප්‍රියවී එමෙන්ම ඔහුට කිසිදු ලෞකික සුව සහනයක අඩුවක්‌ද නොවීය. එහෙත් ඒ ගෙවන ජීවිතය කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ඔහුට ප්‍රිය නොවීය. අත්විඳින සෑම ලෞකික සංතුෂ්ටිකටම යටින් කිසියම් වූ සියුම් දුකක්‌ සංතාපයක්‌ දිව යනු ඔහු දුටුවේය. ජීවිතය තුළදී ලබන මේ හැම දෙයක්‌ම නැතිවී යනවා නොවේද? එනම් ලෝකය තුළදී ලබන සෑම දෙයකම අවසානයක්‌ තිබේ. ඉවර වීමක්‌ තිබේ. ලස්‌සන දේවල් ජීවන ගමනෙහිදී කොතරම් හමු වෙනවාද? එතෙකුදු වුවත් ඒ හැම දෙයක්‌ම මොහොතක්‌ මොහොතක්‌ පාසා ළඟා වන්නේ අමුතුම විකෘතියකට නොවේද? අද දකින රූපය තුළ ඇති සුන්දර තැනැත්තා හෝ තැනැත්තිය තවත් වසර ගණනාවකින් හමුවන්නේ බොහෝ සෙයින් දිරා ගියකු හැටියටය. මේ අයුරු දිගින් දිගටම කල්පනා කළ බෝසත් තරුණයාගේ සිතට කිසිවක්‌ රුචි නොවීය. අන්තිමේදී ඔහු සියල්ල අතහැර දමා තවුස්‌ වෙස්‌ගෙන මහ හිමාල වනයට පියමන් කළේය. තවුස්‌ වෙස්‌ ගෙන මහ හිමවතට පිය නොගන්නැයි ඔහුගේ සොඳුරු බිරිය නිලුපුල් දෙනෙතින් හැලූ කඳුළු නම් කොතෙක්‌ද? ඔහුගේ මව්පියෝ මෙන්ම අනෙකුත් නෑදැයෝද එම පමණටම කඳුළු සලා ඉකිබිඳ හැඬුවෝය. එනමුදු ඒ කිසිවකිනුත් ඔහුගේ ගමන වළක්‌වන්නට නොහැකි වීය.

කාලය හෙමි හෙමින් ගලන්නට පටන් ගති. ගිහි ගෙයින් නික්‌මී අභිනික්‌මන් කළ තුරුණු තවුසා දැන් සීලයෙන් මහත්සේ ශෝබා සම්පන්නව සිටිති. පංච අභිඤ්Æ, අෂ්ට සමාපප්ති ආදී භාවනාවේ ගැඹුරු ඵල තුළිනුත් දැන් හේ බෙහෙවින්ම සමෘද්ධ වී සිටින්නේය.

හිමාලය නම් මහ වනය කොතරම් ගැඹුරු වනයක්‌ වීද? එහි එක දිගට පැතිර තිබුණේ තොර තෝංචියක්‌ නැති ගස්‌ කොළන්ය. ඒවායේ අඳුරු සෙවණැලි විසින් හිරුඑළිය වන ගැබ තුළට කාන්දු වීම ඉඳුරා වළක්‌වනු ලැබීය. එහෙයින්ම ඒ ඇතුළත වූයේ තද සීතලකි. ඒ සීතලය උරා ගත් ලඳු කැළෑ මේ මහ වන බිම අවුරා ගනිමින් ඝන සැරේට වැඩුණේය. හිමාල වනය මේ අයුරු අතුරු සිදුරු නැති ගහෙන් හා කොළෙන්ම පිරුණෙන් තවත් එහි මිනිස්‌ පුළුටක්‌වද නොවුණේය. දරුණු වන සතුන්ට හිමවන තෝතැන්නක්‌ වෙන්නට මේ කාරණයද තවත් රුකුල් සැපයීය. එහෙයින්ම තුරුණු බෝසත් තාපසයාට වනයේ ගෙවන ජීවිතය බොහෝ දුෂ්කර වී ඔක්‌කොටෝමත් වඩා අමාරු වූයේ තවුසාගේ පිණ්‌ඩපාතය සොයා ගන්නා එකය. එම දුෂ්කර බවින් පහර ලත් තවුසා දිනෙක පාත්‍රයද ගෙන පිඬු සිඟාලනු පිණිස බරණැස්‌ නුවරට පැමිණියේය.

බරණැසට පැමිණි තවුසාගේ ශෝබමාන රුව දුටු පමණින්ම බඹදත් රජතුමා තවුසා කෙරෙහි බෙහෙවින්ම පැහැදුණේය. අමාත්‍යයකු ලවා තවුසාණන් වහන්සේගේ පාත්‍රය ගෙන්වා ගත් රජතුමා එය නොයෙක්‌ රස අහරින් පුරවා යෑවීය. එමෙන්ම රජතුමාගේ අසීමිත ආදර ගෞරවය නිසාම තාපසයාණන් වහන්සේට රාජ උද්‍යානයෙහි විවේකී සුවයෙන් කාලය ගත කරන්නටද ඉඩ ලැබුණේය. රාජ උද්‍යානය තවුස්‌ ජීවිතයකට ගැළපෙන සියලු සිරියන්ගෙන් අඩු නොවීය. බොහෝ නිහඬ, නිසසල බවෙකින් යුතු වූ එයට අවැසි සියලු දේ පිළිබඳව බඹදත් රජතුමා නිරන්තරයෙන් සොයා බැලීමටද කටයුතු සැලැස්‌ වූයේය. නමුදු බෝසත් තාපසයාණන් වහන්සේට නම් රාජ උද්‍යානයෙහි ගත කරන මේ ජීවිතය ප්‍රිය නොවීය. උයනෙහි තවත් උන් වහන්සේ වැඩ සිටියේ තමන් යන්නට ගියහොත් රජතුමාගේ සිත රිදේවි යෑයි නැඟුණු කල්පනාවන් නිසාමය.

මේ ආදී වශයෙන් බෝසත් තාපසයාණන් වහන්සේ රාජ උයනට පැමිණ මේ වන විට දොළොස්‌වාරයක්‌ ගතවී තිබිණ. කවරෙකුගේ වුව ජීවිතයකට එක සැටියෙන්ම පවතින්නට කවරදාකවත් ඉඩ ලැබෙන්නේ නැත. මල් හට ගන්නා සොඳුරු වසන්තය ලොවක හැමදාමත් ර¹ නොපවතින්නාක්‌ මෙන් බරණැස්‌ රජතුමාගේ ජීවිතයටද දැඩි භයක්‌ පැමිණ තිබිණ. ඒ තම රාජ්‍යයේම කොටසක ජීවත් වූ සතුරන් පිරිසකගෙනි. සියල්ල පසෙක තබා දැන් එය සංසිඳුවාලනු පිණිස නික්‌මෙන්නට රජුට සිදුවී තිබේ.

තමා රාජ මාළිගාවෙන් පිටවී ගියහොත් සිල්වත් තාපසයාණන් වහන්සේගේ කටයුතු සොයා බලන්නේ කවුරුන්ද? රජතුමාට ඒ ගැන සිතන විට දැනුණේ නම් ලොකු දුකකි. කොහොම වුණත් මේ සියල්ලක්‌ම පවතින්නේ රාජ්‍යය නිරුපද්‍රිතව පැවතුණහොත්ය. ඒ සඳහා නම් සතුරන් පරාජය කොට එළවා දැමිය යුතුව තිබේ. අන්තිමේදී බඹදත් රජතුමා තීරණයකට පැමිණියේය. එනම් සිල්වත් තවුසාට උපස්‌ථාන කිරීමේ කටයුතු සියල්ල තම අග මෙහෙසියට භාර කළේය. චතුරංගනී සේනාවද රැගත් රජතුමා රාජ මාළිගාවෙන් පිටවී ගියේ මෙයින් පසුවය. වෙනදා පරිද්දෙන්ම තාපසයාණන් වහන්සේ ආකාශයට නැඟී සිය ධ්‍යාන බලයෙන්ම දන් වළඳනු පිණිස රජ මැඳුරේ මතු මහල් තලයට වැඩමවන සේක. දැන් වළ¹ අවසානයෙහි එලෙසින්ම අහස්‌ කුසට නැගී ආපසු රාජ උද්‍යානයට නික්‌ම යන සේක.

අනෙක්‌ දිනවල මෙන්ම මෙදිනද බරණැස්‌ පුරවරයෙහි දක්‌නට ලැබුණේ සොඳුරු පැහැබර බවකි. ගස්‌වල මල් පිපී පිරී තිබිණ. තාපසයාණන් වහන්සේට පූජා කරනු පිණිස දැන් රාජමාළිගාවෙහි දන් සකස්‌ වී අවසන්ය. අග මෙහෙසියගේ සිතට වෙනදාටත් වඩා ඉමහත් සොම්නසක්‌ දැනිණ. පින්වත් තාපසයාණන් වහන්සේ දැන් පිඬු සිඟා වඩිතැයි ඇයගේ නෙත් නොඉවසිල්ලෙන් පෙර මග බලා සිටියේය. ගත වූයේ මොහොතකි. නැඟුණේ ඉමහත් ආසිරියකි. සුදොa සුදු වළාකුළු අතරින් මෑත් වී එන සඳ මඬලක්‌ මෙන් තාපසයාණන් වහන්සේ පිඬු පිණිස රජ මැඳුරට වඩිමින් සිටි සේක. බෝසත් තවුස්‌ තෙම දැන් දැන් දනට වඩිතැයි බලා සිට බොහෝ වේලාවක්‌ විඩාවට පත්වී සිටි ඇයගේ ඇස්‌වල නිදිමත මුල්බැසගෙන තිබුණේය. එහෙයින්ම තවත් මොහොතක්‌ ගතවී යන්නටත් පෙර ඈ දන්හල අසලම වූ සිරියහනෙක නිදා වැටුණේය. අහසින් වැඩමවමින් සිටි සෘධිමත් තාපසයන් වහන්සේ මතු මහල් තලාවේ වූ දාන ශාලාව වෙත ළං වූහ. ඒ බව සිහිනයකින් මෙන් අග්‍ර මහේෂිකාවට දැනිණ. එක්‌වරම නින්දෙන් අවදිවූ ඈ බොහෝ සේ කලබලයට පත් වූවාය. ඒ කලබලකාරී බව නිසාවෙන්ම උඩුකය වසාගෙන සිටි ඇයගේ සිනිඳු දුහුල් සළුව ලෙහී බිම වැටිණි. තාපසයාණන් වහන්සේට එය දකින්නට ලැබිණ. එයින් උන්වහන්සේගේ සිත මහත් වූ අවුල් සහගත තත්ත්වයකට පත්විය. උන් වහන්සේට එහි අසුබත්වය මෙනෙහි කිරීම පවා අමතක වූවේය. රාගය නමැති මහ කෙලෙස්‌ සතුරා එක්‌වරම පැන තාපසයාගේ නිකෙලෙස්‌ සිත සුනු විසුනු කර දැම්මේය. මේනම් කොතරම් වූ සොඳුරු රූපයක්‌ද? නාරි ලක්‍ෂණවලින් කවර අඩුවක්‌වත් නොවූ එහි පුන් පියයුරු කොතෙක්‌ නම් සොඳුරු සැටියෙකින් පිහිටා තිබේද? මටත් මෙබඳු රූපයක්‌ ලබාගෙන ජීවත් වන්නට නොහැකිද? බොහෝ සෙයින් අන්ත අසරණ බවකට පත්වූ තාපසයා අගමෙහෙසි රුව පිළිබඳව නොයෙක්‌ ආකාරයෙන් සුබ නිමිති පහළකර ගත්තේය.

"පින්වත් තවුසාණන් වහන්ස" මා හට අනුකම්පා කොට මෙහි අසුන් ගන්න"යි මේ කිසිවක්‌ නොදත් අග්‍ර මහේෂිකාව තවුසාට දන් පිළිගන්වනු පිණිස ඇරයුම් කළාය. අමාත්‍යයෝද ඒ අසල බලා සිටියෝය. එහෙත් තවුසාණෝ අසුන් නොගත්හ. එතරමින්ම ඔහුට කිසිවක්‌ සිතා ගැනීමට නොහැකිවී තිබිණ. අග්‍ර මහේෂිකාවන්ට තාපසයාණන් වහන්සේට සිදුවී ඇති විපත තේරුම් ගියේය. "අනේ මේ පින්වත් තවුසාණන් වහන්සේ මා නිසා මෙලෙසින් ශෝකවී සිටින්නේ යෑයි සිතා මහත්සේ දුක්‌ වූ ඈද දන්ගෙන උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවාය. මේ වන විට ක්‌ලේෂ වසඟයට පත් වීමෙන් බෝසත් තවුසාගේ සියලුම ධ්‍යානයන්ද බිඳ වැටී තිබිණ. එහෙයින්ම උන්වහන්සේට පෙර මෙන් ආකාශයට නැඟී යන්නටද නොහැකි වීය. බත් පාත්‍රය ගත් උන්වහන්සේ ඒ අනුව පා ගමනින්ම රාජ උයනෙහි වූ පන්සලට වැඩි සේක. බත් පාත්‍රයද නොවළ¹ සත් දිනක්‌ම නිරාහාරව ඇඳ මත වැද හොත්තේය.

සතුරන් පරාජය කර ඉක්‌බිති බඹදත් රජු බරණැස්‌ නුවරට පැමිණියේය. එසේ පැමිණි රජතුමා මුලින්ම ගියේ තවුසාණන් වහන්සේ දකින්නටය. එහිදී තාපසයාණන් වහන්සේ තමන් වහන්සේට මුහුණ පෑමට සිදුවූ විපත පිළිබඳ වූ සියලු තතු රජතුමාට පැවැසූහ. පින්වත් රජතුමනි මා හට මේ විපත ඇති කළෝ නම් අන් කවරෙකුවත් නොවෙයි. මාගේ සිතමය. එයින් මා බොහෝ සෙයින් අසරණ බවට පත් වූවා. ඒත් එක්‌කම යළිදු තමාට නැතිවී ගිය පංච අභිඤ්Æ උපදවාගත් බෝසත් තාපසයාණන් වහන්සේ අහසට පැන නැඟී පලක්‌ බැඳ හිඳ බඹදත් රජතුමාට ක්‌ලේෂ වසඟයට පත්වීමේ ආදීනව පිළිබඳව දහම් දේශනා කළහ. එය කෙළවර මිනිස්‌ වාසයෙහි සිටීම බොහෝ අන්තරාදායක යෑයි පවසා යළිත් අහසින්ම හිමාල වනයටද වැඩම කළහ.

කෙලෙස්‌ නම් කොතරම් දරුණු ප්‍රපංචයක්‌ද? එය මිනිසාගේම සිතෙහි හට ගෙන ඔහුව දවා නවා නසා වනසා දමන හැටි. කොතෙක්‌ නම් බියකරුද? මේ සදාතනික ධර්මතාවය පුහුදුන් සත්වයා අප්‍රමාණ වශයෙන් දුකට පත්කරන අයුරු මේ සංකප්ප ජාතකයෙන් විනිවිද පෙන්වා තිබේ.
සුගත් වීරසූරිය
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආසිවිසෝපම සූත්‍රය

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමවාසී, 
ශාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සි හිමි


ආසිවිසෝපම සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ ආස විස වග්ගයේ පළමුවන සූත්‍රයයි. උපමා එකොළහකින් සසරේ පවතින බිය සහිත බව සහ නිවනෙහි පවතින බිය රහිත බව ආසවිසෝපම සූත්‍ර දේශනාවේ සඳහන් වෙයි.
මහණෙනි, මහාතේජස් ඇති විසඝෝර සර්පයෝ සතරක් සිටිති. මේ සතර දෙනාට නිබඳව කවා ,පොවා, නාවා, නිදි කරවා සියලු සාත්තු සප්පායම් කළ යුතුයි. නමුත්, කුමන වේලාවක හෝ මේ එක සර්පයෙක් හෝ කිපුණොත් දුකක් හෝ මරණය සිදුවෙයි. ඒ නිසා නොපමාව කටයුතු කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ වදාළා.
එක්තරා පුද්ගලයෙක් සර්පයන්ට බියෙන් පළා යද්දී ඔබ පසුපස වදකයෝ පස් දෙනෙක් පැමිණෙන බවත්, ඔවුන් දුටු තැන විනාශ කළ යුතු බවත් වදාළා. එයට බිය වූ මේ පුද්ගලයා එතනින් ද පළා යන්නට උත්සාහ කළා. එහිදී ද ඇතුළතින් කඩුවක් රැගෙන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටින වධකයෙක් සිටින බව අඟවනවා. මේ වධකයා ඔබ කුමන මොහොතක හෝ ඝාතනය කරන්නට වෑයම් කරන බව අනතුරු අඟවනවා. මෙයටද බිය වූ මේ පුද්ගලයා හුදෙකලා පාළු ගමකට පැමිණියා. එහි සෑම දෙසම තිබෙන භාජන පිරී ඇති බවත් එය අතට ගත් විට කිසිවක් නැති බවත් පැහැදිලි වෙනවා. එහිදී ද මේ පුද්ගලයාට මං පහරන හොරු පිරිසක් සිටින බවට අනතුරු ඇඟවීමේදී මෙයින් ද ආරක්ෂා වීමට සිතූ මොහු මහා ජලාශයක් දැක එතෙර බිය නැති බවත් මෙතෙර බිය ජනක, සැක සහිත බවත් දකිනවා. නමුත් මොහුට එතෙර වන්නට නැවක් හෝ ඒදණ්ඩක් නැහැ. මේ නිසා ලී දඬු , කොළ අතු භාවිතයෙන් පහුරක් තනා ඒ මතින් අතින් පයින් උත්සාහ කර මේ ජලාශයෙන් එතෙරවී සැක බිය නැතිව බොහොම නිදහසේ වාසය කරනවා.
බුදුරජාණන් වහන්සේ විෂඝෝර සර්පයන්ට උපමා කළේ පඨවි, ආපෝ. තේජෝ, වායෝ සතර මහා භූතයන්ගෙන් සැකසුණු කයයි. එය කවා, පොවා, නෑවිය යුතු බවත් කොපමණ සත්කාර කළත් එක සර්පයෙක් හෝ කිපුණොත් දුකට හෝ මරණයට පත්වන බවත් වදාළා.
මේ සතර මහා භූතයෝ විකෘති ලෙස කිපුණොත් මේ පුද්ගලයා බලවත් පීඩාවකට පත් වෙයි. උදාහරණයක් ලෙස කෙනෙකුට වාපිත්, සෙම් කෝපවීමෙන් දුකක් හෝ මරණයට පත්ව වන හානිය අපමණ බව බුදු පියාණන් වහන්සේ විෂඝෝර සර්පයන්ගෙන් කිපී ගිය මහා භූතයන්ගෙන් සැකසුණු ශරීරය උපමා කළා.
දෙවන උපමාව ලෙස මේ පුද්ගලයා විෂඝෝර සර්පයන්ට බියෙන් තැති ගෙන පළා යද්දී වධකයෝ පස්දෙනෙක් ලුහු බඳිනවා. එය පංච උපාධානස්ඛන්ධයට බුදුරදුන් උපමා කළා. රූප, වේදනා,සංඥා,සංඛාර, විඤ්ඤාණ උපාදානයෙන් පංච උපාධානස්ඛන්ධය වධකයන් ලෙස බුදුරදුන් පෙන්වා දුන්නා. රූපය උපාදානය කළ විට ඇති කරගන්නා දැඩි බැඳීමෙන් පුද්ගලයාට සියලු දුක හටගන්නා බවත් මේ නිසා භවය, ජාති,ජරා, ව්‍යාධි, මරණ, ශෝක, අපි‍්‍රය සම්පයෝග දුක්ඛ, පි‍්‍රය විප්පයෝග දුක් හටගන්නේ යැ’යි වදාළා. මෙතැන වධකයෝ පස්දෙනා වන්නේ පංච උපාධානස්ඛන්ධයයි.
මේ පුද්ගලයා මේ සියලු බාධක මඟ හැර ගියද ඇතුළතින් පැතිරෙන වධකයෙක් ලෙස “නන්දිරාගය” (අරමුණු ඇතුළතින් නැවත නැවත විඳිමින් ඇලෙන ස්වභාවය) හැඳින්වූවා. පෘතග්ජනයාටත් , රහතන් වහන්සේටත් පංචස්ඛන්ධය තිබුණත් එය උපාධානස්ඛන්ධයක් ලෙස ඇතුළතින් මතුවන නන්දි රාගය ඉස්මතු වෙන්නේ පෘතග්ජනයාට පමණයි. බාහිර වධකයන්ගෙන් මොහු ගැලවුණද සසරේ නැවත නැවත උපත ලබමින් ඇතුළත වදදෙන වධකයාට උපමා කළේ නන්දි රාගයයි.
මේ පුද්ගලයා හුදෙකලා ගමකට පැමිණීම උපමා කරන්නේ අධ්‍යාත්මික ආයතන හයටයි. (චක්ඛු,සෝත, ඝාන, ජිව්හා, කාය, මන) ගමේ පිරී තිබෙන බඩු භාණ්ඩ අතට ගත් විට හිස්ව තිබීම නුවණින් පිරික්සීමේදී ආයතන හයේ කිසිම හරයක් නොමැති බව පෙන්නුම් කරයි. මේ දෙස ගැඹුරින් විමසා බැලීමෙදී හුදෙක් සංඥා මාත්‍ර, සිතිවිලි මාත්‍ර පමණක් බව පැහැදිලි වෙයි.
මේ පුද්ගලයාට මං පහරන හොරු වශයෙන් හැඳින්වූයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම වන අධ්‍යාත්මික ආයතනයන් පැහැර ගන්නා බාහිර ආයතනයි. (උදා, රූපය ඇස ග්‍රහණය කරයි.)මේ නිසා තෘෂ්ණාව, මාන, දිට්ඨි, ගොඩ නැඟෙයි. අධ්‍යාත්මික ආයතන හය හිස් ගමක් ලෙස සලකා එය විනාශ කරන හොරු ලෙස බාහිර ආයතන හඳුන්වයි.
මෙම පුද්ගලයා එතනින් ද පළා ගොස් මහා ජලාශයක් දැකීම සතර ඕඝ ලෙස බුදුරදුන් පෙන්වා දෙයි. කාම ඕඝ (විඳීමට ඇති කැමැත්ත), භව ඕඝ( භවයට ඇති කැමැත්ත), දිට්ඨි ඕඝ(ජීවත්වීමට ඇති කැමැත්ත) , අවිද්‍යා ඕඝ( චතුරාර්ය සත්‍ය නොදැනීම) යන සතර ඕඝ බුදුන් වහන්සේ සැඩ පහරක් ලෙස සඳහන් කළා.
මේ පුද්ගලයාට එතෙර බිය රහිත බවත් තමන් වාසය කරන පෙදෙස විෂඝෝර සර්පයන්, වධකයන්, මං පහරන්නන් නිසා එය බිය සහිත බවත් වැටහෙයි. එනම් සක්කාය දිට්ඨියයි. මේ ස්කන්ධය, සත්වයෙක්ය, පුද්ගලයෙක්ය , ආත්මයක් බව ග්‍රහණය කරනතුරා පුද්ගලයාට නිරන්තරයෙන් දුක, වේදනාව උරුම බව වැටහෙයි. මේ නිසා ස්කන්ධ පංචකයෙන් එතෙර වීම සැඩ පහරින් මිදීමයි. එතෙර බිය රහිත වන්නේ සතර ඕඝයන්ගේ එතෙර වූ තැනැත්තා නිවන් දැකීම නිසයි. පහුරට උපමා කළේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය මේ පුද්ගලයා පහුරක් ලෙස තනාගෙන සැඩ පහර (සතර ඕඝ) තරණය කරයි. අතින් පයින් වෑයම් කිරීම උපමා කළේ අරමුණ මැද වීර්යයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීමයි. එසේ වෑයමෙන් පරතෙරට යන උත්තමයා සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ බව සම්මා සම්බුදුරදුන් ආසිවිසෝපම සූත්‍රයෙන් උපමා කර වදාළා.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X