වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මී පැණි පූජාවේ අනුසස්.

 මධුපිණ්ඩික ස්ථවිරාවදානය....

◾
අල්ප ශබ්ද ඇති, නිරාකූල වූ මහවනයෙහි දී ඍෂීන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් වැනි වූ නිවී ගිය ආත්මභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උත්තම ආජානීයයකු වැනි ඕසධී තරුව මෙන් බබලන්නා වූ දිව්‍යයසමූහයා විසින් නමස්කාර කරන ලද සිද්ධාර්‍ථ බුදුරජානන් වහන්සේ දැක මට මහත් ප්‍රීතියක් වීය. එකෙණෙහි නුවණ ද උපන්නේ ය.
◾
සමාධියෙන් නැගී සිටි ඒ බුදුරජානන් වහන්සේට මී පැණි දානයක් දී ඒ බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාද යුග්මය ද වැඳ නැගෙනහිර දෙසට මුහුණ ලා ගියෙමි.
◾
සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභව කරන) භෝජනයෙහි ද නෙළුඹුපැනි වැගිරේ. මී වැසි ද වැස්සේ ය. පූර්ව කර්මයාගේ මේ විපාකය යි.
◾
මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් මීපැණි දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාකයයි.
◾
මෙයින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිවු සක්විති රජකෙනෙන් වූහ.
◾
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
*************************************
මී පැණි පූජාව ඉහළ අග්‍රගන්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළ ව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරා උතුමෙක් (ගෞතම බුද්ධ ශාසනයේ මෝඝ රාජ රහතන් වහන්සේ) අත්ථදස්සී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අසිරිමත් ස්තූති පූජාවක් සිදු කළා. චිත්ත ප්‍රසාදයෙන් සිදු කළ මෙම පූජාව ‘සංසාර ගමන සුවපත් ව ගමන් කරන්නට ලැබේවා’ පැතුමෙන් ගොටුවක් සකසා එයට මී පැණි යොදා පූජා කරනු ලැබුවා.
මී පැණි පූජාව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ අහසේ ම වැඩ සිට දේශනාවක් සිදු කළා. තථාගතයන් වහන්සේට, මහා සංඝයාට චිත්ත ප්‍රසාදයෙන් ස්තූති පූජාව ද, මී පැණි පූජාව ද සිදු කිරීමෙන් මේ තැනැත්තා කිසිම දවසක දුර්ගතියකට පත් වුණේ නැහැ. දුගී දුප්පත් අසරණ වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක්, මන්ද බුද්ධිකයෙක් වුණේ නැහැ. මේ තැනැත්තා මී පැණි පූජා කිරීමේ පිනෙන් වාර දාහතරක් දෙව් ලොව සක්‍ර භවනේ ද, වාර අටසියයක් පොළොවට රජකම ද, වාර පන්සියයක් සක්විති රජකම ද, ප්‍රදේශයේ කුඩා රාජ්‍ය ගම්වල නායකත්වය ද ලැබුවා. මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, විඳ අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි, මෝඝ රාජ නම් රහතන් වහන්සේ නමක් වන බව ද, ත්‍රිවිද්යාවෙන් අග තැන්පත් ව ශාන්ත ලක්ෂණ නිවනට පත් වන බව ද එදා අත්ථදස්සී බුදුන් වහන්සේ වදාළා. එසේනම්, මී පැණි පූජාව කෙතරම් ඉහළ පූජාවක් ද යනු සිතන්න.
🌼
..පිරිසුදු සිත ඉතා වැදගත්..
🌼
පරිනිර්වාණයට පත් වුණු ලොව්තුරා බුදුන් වහන්සේ නමකට හෝ ජීවමාන බුදුන් වහන්සේ නමකට මී පැණි පූජාව සිදු කිරීමෙන් සංසාර ගමන කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ.
සෑම දෙනාම උක් පැණි පූජාවක්, මී පැණි පූජාවක්, කිතුල් පැණි පූජාවක් වැනි මිහිරි දෙයක් පූජා කළ යුතු යි. එය සිත, ගත නිවා සනසන පූජාවක් වෙනවා. ඒ පූජාව ම සංසාර ගමන සුවපත් වීමට හේතු වනවා. කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ. එලෙස කල්පනාවෙන් මේ ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවක් යනුවෙන් සිතාගෙන ගෞරවයෙන්, ප්‍රණීතයෙන් පූජා කළ යුතු යි.

‘අධිවාසේ තුනොභන්තෙ මධුපාණිතං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං’

යනුවෙන් පූජාකළ යුතු යි. මී පැණි ‘මධුපාණිතං’ යනුවෙන් හඳුන්වනවා. එය බොහොම වාසනාවන්ත, ප්‍රණීතම පූජාවක්.
තමන්ගේ ජීවිතයට මිහිරි දෙය ලබන්න, ප්‍රණීත දෙයක් ලබන්න, හේතු භූත වන්නේ ප්‍රණීත දෙයක් පූජා කිරීමයි. එය මී පැණි පූජාවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුද්ධාදී උතුමන්ට මෙවැනි පූජාවක් සිදු කිරීම කෙතරම් අගේ ඇති වටිනා පූජාවක් වෙනවා ද? ගෞතම බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ සිටි වඳුරෙකුත් මී පැණි පූජාවක් සිදු කළා. එය ඒ සතාට වුව ද කෙතරම් සැප විපාක වන්නට ඇති ද? ඒ නිසා මී පැණි පූජා කිරීම තිරිසන් ගත සතාට වුව ද තමාගේ සිත අනුව විපාක වැඩි වෙයි. සිත පිරිසුදු නම් එහි ආනිසංස වැඩි වෙයි. මේ ගැන කල්පනාවෙන් කවුරු වුණත් පිනක් මහත්ඵල මහානිසංස දායක වීමෙන් හේතු සාධක කල්පනා කර බැලිය යුතු යි.
🌼
..පූජාවේ පින මහත්ඵල වීමට..
🌼
අලෝභ (තණ්හාව නැහැ) ද්වේෂ (තරහ, වෛර, ක්රෝධ නැති මෛත්රීය) අමෝහ චේතනා (මෝඩකම නොහොත් මෝහය නැති බව) පූජාවක දී හෝ වන්දනාවක දී පහළ වූවා නම්, පින බොහොම මහත්ඵල වෙයි. එහෙම නම්, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේට මී පැණි පූජාව කළේ අලෝභ, අද්වේෂ අමෝහ චේතනාවන් මුල් කරගෙනයි. මේ චේතනා ඉතාම පිරිසුදුව තම සිතෙහි පහළ වුණොත්, ඒ අනුසාරයෙන් චෛතසික ධර්ම රාශියක් පහළ ව සිත ප්‍රබෝධමත් ව චෛතසිකයත් පිරිසුදු වෙයි.
පිනට නිග්‍රහ කරන්න එපා, අනුන් කරන පින්කම් හෙළා දකින්න එපා. පින්කම්වල සිත පහදවා ගෙන අතහිත යොමු කරන්න. සාධු නාද නඟන්න පුරුදු වන්න. තමන් ද ඒ පින්වල යෙදිය යුතු යි. ලොව්තුරා බුදුවරු ලොවේ සැමදා නැහැ. බුද්ධ ශාසනයත් අපට ලැබුණේ අපේ පිනට යි. ඒ තමාගේ ගුණ ධර්ම දියුණුවෙන් කරන පින්කම්වල විපාක අනේක ජාතික සංසාරයේ සත සහශ්‍රයන් හි ලැබෙනවා. කවදාකවත් දුකක්, පීඩාවක් නැහැ. ආයු වර්ණ, සැප, බල, ඥාන, භෝග සම්පත්, පරිවාර සම්පත්, සුගති සම්පත් ආදී සියලුම සම්පත් ගෙන දීමට සමත් වෙනවා. පූජාවෝ, වන්දනාවෝ සාර්ථක වන්නේ පූජාව නිසා නොවෙයි. සිතේ පැහැදීම නිස යි. එය අග්‍ර ගණ්‍යය පූජාවක්, වන්දනාවක් බවට පත් වෙනවා.
🌸
..දුප්පත්කම දුරලීමට - සම්පත් උදා කර ගැනීමට..
🌸
මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන්, සීල, සමාධි ප්‍රඥාවෙන් අපේ පින මහත්ඵල මහත් ආනිසංස කර ගන්න. කිසිම දෙයකින් අඩු පාඩුවක් කරදරයක් වන්නේ ම නැහැ. සිත දියුණු කළ විට කෙතරම් වටිනවා ද? ලොවේ කවර තැනක උපන්නත් එවැනි සැනසුමක් ලබන්නට බැහැ. ලංකාවේ උපන් අයට ඕන වේලාවක, ඕනෑ තරම් පින් දහම් කළ හැකි යි. ලොවේ අන් අය එලෙස නැහැ. කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීමට, කරුණා, මෛත්‍රීය උපදවා ගැනීමට පුළුවන්. නමුත් පන්සිල් රැකීමක්, පොහොය අටසිල් රැකීමක්, බණ ඇසීමක්, භාවනාවක් නැහැ. ඒ අනුව අප කෙතරම් ම වාසනාවන්ත ද? දුගී දුප්පත්කම තුරන් කරන්නට, සියලු සැප සම්පත් උදාපත් කරගන්න, දුක් කරදර කම්කටොළු යටපත් කරගන්නට හේතු වන්නේ පින යි. ජීවිතය වාසනාවන්ත වන්න, ජීවිතය ආලෝකවත් වන්න හේතු වන්නේ පිනයි. ,
එබැවින් හැමදෙනාම උතුම් බුද්ධ ශාසනය පවතින මේ මොහොතේ අප්‍රමාදීව පින් දහම් කරමින් දෙලොව හිත සුව පිණිස කටයුතු සම්පාදනය කර ගනිත්වා !

උපුටා ගතිමි.තෙරුවන් සරණයි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X