වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බෝධි පූජාවේ නිවැරැදි පිළිවෙත්

 

හෝමාගම, පිටිපන දකුණ මෙත්සිත් අරණ විවේක සෙනසුනේ විහාරාධිපති,

බෞද්ධ ජනතාව, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිරතුරු පුදපූජා පවත්වන පූජාර්හ වස්තූන් අතර දළදා වහන්සේටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ‘බෝධි’ යන වචනයේ තේරුම නිවැරැදි, පැහැදිලි, සම්පූර්ණ වූ දැනුමයි. අවබෝධයයි. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු රුක පාමුලදී සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අර්ථවත් වන්නේ ලෝක සත්‍යය පිළිබඳ නිවැරැදි, පරිපූර්ණ වූ දැනුම සහ අවබෝධය ලබා ගැනීමයි.

ශාසන ඉතිහාසයට අනුව සැවැත් නුවර ජේතවනාරාම විහාර භූමියේ සිදු කළ ආනන්ද බෝධි රෝපණයත් සමග ආරම්භ වූ බෝධි වන්දනාව, කාලයත් සමඟ වෙනස්කම් රැසකට භාජනය වී ඇත. ඇතැම් වෙනස්කම් සාධනීය වනවා සේ ම ඇතැම් වෙනස්කම් මිථ්‍යාදෘෂ්ටිය වෙත යොමු කරවන බවක් දක්නට ලැබෙයි. එබැවින් බෝධි පූජාවේ සැබෑ අරුත කුමක් විය යුතු ද? බෝධි පූජාවක් ඵලදායක ලෙස සිදුකර ගැනීමට අනුගමනය කළ යුතු දෑ මොනවාද ? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

බෝසතාණන් වහන්සේ ඇසතු බෝධිය පාමුල ලබා ගත්තේ නිවැරැදි දැක්මයි. ප්‍රඥාවයි. ලෞකික ආශාවන්, බලාපොරොත්තු, බැඳීම් සියල්ල නිරර්ථක බව වටහාගෙන ඒ සියල්ල අත්හළ ස්ථානය බෝධියයි.

එසේනම් ඔබ, බෝධීන් වහන්සේ පාමුල සිට ලෞකික බලාපොරොත්තු ඉටු කරවා ගැනීමට පිහිට පතන්නේ නම්, එය බෝධි පූජාවේ සැබෑ අරුත නොසලකා හැරීමක් බව තේරුම් ගත යුතුය.

මෙයින් අදහස් වන්නේ බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීම, පුදපූජාවන් පැවැත්වීම නිරර්ථකය යන වැරදි අදහස නොවේ. ලෞකික ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවා ගැනීමට බෝධියට පුදපූජාවන් කරමින් ආයාචනා කිරීම නිෂ්ඵල බවයි.

බෝධි පූජාව යොදාගත යුත්තේ නිරන්තරයෙන් කෙලෙස්වලින් කිලිටි වන සිත්, කුසල් සිතිවිලිවලින් පිරිසුදු කරගැනීමටයි. ඒ පිරිසිදු සිතින් යම් අයෙකුට යහපතක් වේවා, නිරෝගි වේවා, යැයි ආශීර්වාද කරන විට ඔබටත් අන් අයටත් බෝධි පූජාව ඵලදායක වනු ඇත. එසේ නොමැතිව ඊර්ෂ්‍යාව, මානය, අහංකාරකම, ආත්මාර්ථකාමීකම යනාදී අකුසල් සිතිවිලි හිතේ පුරවාගෙන කරන ප්‍රාර්ථනාවන් කිසිසේත් සඵල නොවේ.

උදාහරණ ලෙස විභාගවලින් අනිත් අයට වඩා වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට, නඩුහබවලින් තමන්ට වාසි ලැබීමට බෝධි පූජා සිදු කරන්නේ නම්, අරමුණ අපිරිසුදු නිසා ප්‍රතිඵලයක් නොලැබෙයි. එහෙත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට පිරිසිදු සිතින්

වත්පිළිවෙත් කර ආශීර්වාද කිරීම වරදක් නොවේ. එය පින්කමකි. අන් අයගේ යහපත ප්‍රාර්ථනා කිරීමකි.

බෝධි පූජාවක් සිදු කිරීමේ දී ඒ සඳහා පෙර සූදානම ඉතා වැදගත්ය. විශේෂයෙන් තුණුරුවන්ට, ත්‍රිවිධ චෛත්‍යයන්ට පූජා කරන දේවල් ඉතා පිරිසුදුව, පිළිවෙලට සකස් කර ගත යුතුය.

පූජා ද්‍රව්‍යයන් වෙළඳසැල්වලින් මිලදී ගැනීමට වඩා තමන්ටම සකස් කරගත හැකිනම් එය වඩාත් ආනිශංසදායක ය. පොල්තෙල් තමන්ට සකසා ගැනීම අපහසු නම් මිලදී ගන්නා විට වෙනත් තෙල් වර්ග මිශ්‍ර නොකළ, විශ්වාසවන්ත තැනකින් ලබාගන්න. හොඳ සුවඳවත් හඳුන්කූරු සපයා ගන්න. ගෙවත්තේ නොමැතිනම් තිබෙන තැනකින් වට්ටියකට මල් නෙළාගන්න. ගිලන්පස සැකසීමේදී ඉතාමත් පිරිසුදු සහ උසස්ම තත්ත්වයෙන් පිළියෙල කර ගන්න.

පූජා ද්‍රව්‍යයන් සකසාගෙන බෝධි පූජාවට යන ඔබ සම්පූර්ණ සුදු ඇඳුමකින් සැරසෙන්න. අප බොහෝ විට දැක ඇත්තේ, ඇතැම් අය සිතාගෙන සිටින්නේ ඇඳුමේ කොතැනක හෝ සුදු පාට ඇති නම් එය සුදු ඇඳුමක්ය යනුවෙනි. එහෙත් සම්පූර්ණ සුදු ඇඳුම යනු වෙනත් පාට කිසිවක් නැති, සංවර ඇඳුමටය. දුටුවන් නෙත්සිත් පහදවන, විලාසිතාවලින් තොරවූ ඇඳුමටය.

සිද්ධස්ථානවලට යන විට වටිනා ආභරණයන් පැළඳීම ඔබේ අරමුණට නොගැලපෙනවා පමණක් නොව ඇතැම් විට අනතුරුදායක ද විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වීම සුදුසු ය.

බෝධි පූජාව සිදු කිරීමට පෙර චෛත්‍යය, බෝධිය, විහාර මන්දිරය තුළ ඇති මල් ආසන පිරිසුදු කිරීම, ඇමදීම ආදී වතාවත් සිදු කිරීම අත්‍යවශ්‍යය.

ඇතැම් අය මල් ආසන මත පරමල් ගොඩ ගැසී ඇතත් ඒවා පැත්තකට තල්ලු කර තමන් ගෙනා මල් පූජා කරති. එබඳු ක්‍රියාවලින් සංකේතවත් වන්නේ සිත අපිරිසුදු බවයි. සිත අපිරිසුදු නම් කරන, කියන දේවල්වලින් පිනක් සිදු නොවේ.

විහාර භූමිය පිරිසුදු කිරීමේ වතාවත් සිදු කිරීමෙන් බෝධි පූජාව, බුද්ධ පූජාව හා සමාන ආනිශංස ලැබෙන බව පැරණි බණකථාවලින් පෙන්වා දී ඇත. පිරිසුදු කිරීමේ වතාවත් නොකර, පවත්වන බෝධි පූජාව අසම්පූර්ණ ය.

වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඔබ සකස් කරගෙන ආ ගිලන්පස සහ අනෙකුත් පූජා ද්‍රව්‍යයන් ඒ සඳහා වෙන්කර ඇති භාජන පිරිසිදු කර ඒවායෙහි පිළියෙල කරගන්න. පහන්, හඳුන්කූරු ඒවාට නියමිත ස්ථානවල දල්වන්න.

මෙහිදී මතක තබා ගතයුතු කරුණක් නම් හඳුන්කූරු විශාල ප්‍රමාණයක්, පන්දමක් මෙන් දල්වාගෙන හෝ ගිනි කබලකට සුවඳ දුම් ද්‍රව්‍යයන් ඉසිමින් බෝධීන් වහන්සේ වටා යමින් දුම් ඇල්ලීම අවශ්‍ය නැත. එය මිථ්‍යාදෘෂ්ටියකි. වැරදි පිළිවෙතකි. එසේම බෝධීන් වහන්සේ පාමුල පහන්, හඳුන්කූරු දැල්වීමෙන් බෝධියට හානි සිදුවේ. එබැවින් පහන්,හඳුන්කූරු දැල්වීමට වෙන්කර ඇති ස්ථානවල පමණක් එය සිදු කරන්න.

භාජනවල ක්‍රමානුකූල ව සකසා ගත් ගිලන්පස බෝධීන් වහන්සේගේ මල් අසුන් මත තැන්පත් කරන්න. දාගැබට සහ විහාර මන්දිරයට ද ගිලන්පස තැන්පත් කරන්න.

මේ මූලික වතාවත්වලින් පසු තමන්ට පහසු තැනක බෝධීන් වහන්සේ අභියස පහසු ඉරියව්වකින් අසුන් ගන්න. තිසරණ පන්සිල් සමාදන් වී පිළිවෙලින් තෙරුවන් වඳීන ගාථා, බෝධි වන්දනා ගාථා කියා මල්,පහන්, සුවඳදුම්, ගිලන්පස බුදුරජාණන් වහන්සේටත්, බෝධීන් වහන්සේටත් පූජා කරන ගාථාවන් කියවන්න.

ගාථා කීමේදී ශ්‍රද්ධා පෙරදැරිව, සන්සුන්ව කියවිය යුතුය. බොහෝ දෙනා බෝධි පූජා ගාථා,කවි අඩංගු මුද්‍රිත පොත් කීපයක් ගෙනැවිත් හැම පොතක්ම මුල සිට අග දක්වාම හඬ නගා කියවීමට පුරුදු වී සිටිති. එසේ කිරීම අවශ්‍ය නැත. අවශ්‍යම ගාථා සහ බෝධි වන්දනා කවි කිහිපයක් කියවීම ප්‍රමාණවත් ය.

ගාථාවන් කියා පූජාව සිදු කිරීමෙන් පසු සිත එකඟ කරගෙන අවම වශයෙන් මිනිත්තු 10ක්වත් බුද්ධානුස්සති සහ මෙත්තානුස්සති භාවනාවන් වඩන්න. රැස්කර ගත් පින් සිහිපත් කරමින් යහපත් ප්‍රාර්ථනාවන් සමඟ ආශීර්වාද කළ යුතු අයට ආශීර්වාද කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය ඒ තුළින් ඔබට ලැබෙනු ඇත. බෝධි පූජාව අවසානයේ භාවනාවක් ලෙස සලකා, සිත සන්සුන් කරගෙන මෙසේ ප්‍රාර්ථනා කරන්න.

සිඳෙන බිඳෙන ලොව ඇති තතු වටහාගෙන ලැබුව නුවණ
ලොව්තුරු බුදුසමිඳුන් වැඩ සිටි හැටි අප සිතෙහි මවන
පින් සිතුවිලි ඇති කර කර දුක් දුරු කර සුවය දෙවන
මගෙ ගත සිත සැනසේවා ලැබගෙන බෝරජුගෙ සෙවණ

ඉරිසියාව වෛරය මානය ඉවතට දමන්නෙමී
මගේ සැපත වගේ අනුන්ගේ සැපතත් සිතන්නෙමී
සතුරාටත් මිතුරාටත් එක සේ මෙත් වඩන්නෙමී
ගතින් කොහේ ගියත් සිතින් බෝ සෙවණෙ ම සිටින්නෙමී

බෝ සෙවණෙදි සන්සුන්කම හැම තැනදිම රකින්නෙමී
බෝසෙවණෙදි පින් සිතුවිලි හැම මොහොතෙම සිතන්නෙමී
බෝසෙවණෙදි ලැබුව නුවණ නිරතුරුවම වඩන්නෙමී
බෝසෙවණෙදි ලැබුව සුවය මුලු දිවියෙම ලබන්නෙමී


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X