වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

‘කඨින චීවරය’ යනු කුමක්ද?

 

මේ චීවර මාසයේ ඔබත් සිත් පහදවා ගෙන චීවර පූජා කරත්වා!

විනයානුකූලව කරන ලද කඨින චීවර පූජාව, ආමිස පූජාවන්ගෙන් ප්රථම ස්ථානයට ගැනේ.
එනිසාම අටමහකුසල ක්රියාවන්ගේ මුල්ම පින්කම කඨින චීවර පූජාවයි.
කඨින චීවරය හෙවත් කඨිනය’ යනුවෙන් හැඳින්වෙන්නේ විනය නීතිවලට අනුකූලව සම්මත කරන ලද දෙපොට සිවුරක් හෝ තනිපොට සිවුරක් හෝ අඳනයක්ය.
එය සම්මුති වශයෙන් චීවරයක් වුවත් කඨින යන්නෙහි අර්ථ කීපයක්ම ඇති බව පැරණි ආචාර්යවරු දක්වති.
’ ථිරට්ඨේන කඨිනං’ යන විග්රහයට අනුව අනාමන්තාවාර ආදී පඤ්ච ආනිසංස ස්ථිරව ලබාදෙන නිසාත් කඨින චීවර පූජාවෙන් ලැබෙන කුසල ශක්තිය, මහපොළොව මෙන් අකමප්ය වන නිසාත් මහාමේරු පර්වතය සුළඟින් නොසෙල් වෙන්නාක් මෙන් චලනය නොවන නිසාත් වජ්ර (දියමන්ති) පර්වතය මෙන් නොබිඳෙන නිසාත්, අකුසල කර්මවලින් යටපත් කළ නොහැකි බලයකි.
විනයත්ථ මඤ්ජුසාවේ දැක්වෙන ‘කථ සංගහට්ඨේන’ යන විග්රහයට අනුව ‘සංග්රහ අර්ථයෙහි’ යෙදෙන කඨින යන වචනයෙන් ගැනෙන්නේ අනාමන්තචාර ආදී පඤ්ච ආනිසංස, වෙනස්නොවී එකවිට ම ලැබෙන බවයි.
‘කඨිනවත්ථං නාම, බුද්ධප්පසත්ථං’ යන සමන්තාපාසාදිකා විනයට්ඨ කථාවේ සඳහන් විස්තරයට අනුව ‘බුදුරජාණන් වහන්සේ ද ප්රශංසා කරන ලද ‘කඨිනය, වනාහී, සියලු දෙවි මිනිසුන්ගෙන් ම ප්රශංසා ලබන චීවරයකි.
මෙසේ විශේෂ අර්ථ ඇති කඨින චීවර පූජාව, වඩාත් උසස් කුසල ක්රියාවක් බවට පත්කර ගැනීමට නම් , එයට සම්බන්ධ වූ විනය කර්ම රාශියක් සම්පූර්ණ විය යුතුය.
විනයානුකූලවූ කඨින චීවර පූජාවකට සම්පූර්ණ විය යුතු කරුණු රාශියක් ඇත. ඒවා සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.
අ.උපසපන් භික්ෂුවක් හෝ භික්ෂු පිරිසක් ඇසළ පුරපසළොස්වක දින උපෝසථ විනය කර්මය කර පසුදා (ඇසළ මස අවපෑළවිය) සුදුසු ආරාමයක පෙරවස් සමාදන්වීම,
ආ. පෙරවස් සමාදන් වූ භික්ෂුව, වස්විසූ ස්ථානයෙන් බැහැර ගොස් එක් රාත්රියක්වත් සිටින්නේ නම් සත්තාහකරණයෙන් හෙවත් ‘මගේ ජීවිතයට අනතුරක් නොවුවහොත් දින හතකට පෙර මම ආපසු වස් විසූ තැනට පැමිණෙමි’ යන සතිකරණයෙන් පිටත් විය යුතුය.
එය අමතක වීමෙන් වස් විසූ ස්ථානයෙන් පිටතට ගොස් රාත්රියක් ගත කිරීමෙන් ද ‘ආපුස එමි’ යි සිතා සතිකරණයෙන් පිටතට ගොස් දින හතක් ඇතුළත වස් වැසු තැනට පැමිණීමට නොහැකි වූයේ නම් ‘වස්සච්ඡේදනය’ (වස් කැඩීම) වෙයි. එනිසා ඇසළ මස අවපෑළවිය සිට වප් පසළොස්වක දක්වා සතිකරණයෙන් වස ආරක්ෂා කළ යුතුය.
ඇ. වප් මස පුරපසළොස්වක දින පවාරණය විනය කර්මය කිරීම.
ඈ. වප් මස පුරපසළොස්වක දින සිට ඉල්මස පුරපසළොස්වක දින දක්වා වූ චීවර මාසය තුළ දී විනයානුකූල වූ වස්ත්රයක් හෝ තුන් සිවුරෙන් එකක් දායකයන්ගෙන් සංඝයාට ලැබී, එය මහා සංඝයා විසින් එදිනම පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තරණය සඳහා පැවරීම.
ඉ. කඨිනාස්තාරක භික්ෂුව විසින් තමාට ලැබුණු කඨින වස්ත්රය හෝ චීවරය හා සම්බන්ධ සියලු ම විනයානුකූල කටයුතු එම දිනයේ දීම සම්පූර්ණ කර අධිට්ඨාන, පච්චුද්ධරණ, ආස්තරණය, කප්බින්දු තැබීම ආදි විනය කර්ම කිරීම.
ඊ. කඨිනයක් නොවීමට හේතු වන්නා වු කරුණු 24 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ.
මෙම කරුණු සියල්ලම කඨිනාස්තාරක භික්ෂුවගේ අධික්ෂණයෙන් විනයානුකූලව සිවුර සකස් කිරීම.
කඨිනාස්තරණයක් නොවීමට හේතු වන කරුණු මහාවග්ගපාළියේ සඳහන්වේ.
සිවුරට අවශ්ය දිග ,පළල, ලකුණු කිරීමෙන් පමණක් කඨිනය අතුරණ ලද්දේ නොවේ. එසේම වස්ත්රය සේදූ පමණින් හෝ සිවුරෙහි කඩ නියම කිරීම පමණකින් හෝ කඩ කැපූ පමණකින් හෝ නූල් ගැසූ පමණකින් හෝ මැසීම, අතු එකට මූට්ටු කිරීම,ඇතුළ පිටත නුවා ඇල්ලීම, අතු ඇල්ලී, පඬු ගැසීම ආදිය කළ පමණකින් කඨිනාස්ථරණයක් නොවේ.
මේ සියල්ලම විනයානුකූලව ම සම්පූර්ණ කළ යුතුය. කඨිනත්ථාරක භික්ෂුවගේ කටයුතුවලට පැය 24 ක් ඉක්ම වීමෙන්ද කප්බින්දු නොතැබීම, අධිට්ඨාය නොකිරීම, විකප්පනය නොකිරීම, ආස්තරණය කරන ලද සිවුර, එදිනම විහාරස්ථානයෙන් පිටතට ගෙන පැය 24 ක් ඉක්මවීම ආදි කරුණු නිසා කඨිනයේ බලය නැතිවේ.
උ. කඨිනයක් වීමට හේතු වන්නා වූ කරුණු 17 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ. කඨිනත්ථාරක භික්ෂුව විසින් කඨිනය ඇතිරීමේදී අලුත් වස්ත්රයකින් හෝ ඊට සමාන සුදුසු වූ (කැප) වස්ත්රයකින් ඇතිරීම, රෙදි කැබැලිවලින් කළ සිවුරකින් ඇතිරීම, පාංශුකූල වස්ත්රයකින් ඇතිරීම, ඉල්ලීමකින් තොරව විනයානුකූලව ලැබුණු වස්ත්රයකින් ඇතිරීම, තාවකාලිකව ඉල්ලාගත් වස්ත්රයක් නොවීම, තුන් සිවුරෙන් එකක් වීම, එදිනම කඩ කපා මසා නිම කිරීම, එම විහාරයේම පෙරවස් වසා පවාරණය කළ භික්ෂුවකට පැවරීම ආදිය සම්පූර්ණ විය යුතුය.
ඌ.කඨිනය ලැබූ භික්ෂුව විසින් සංඝයා ඉදිරියේ පරණ චීවරය පච්චුද්ධරණය කර අලුතින් ලැබුණු කඨින සිවුර අධිට්ඨානය කිරීම, කප්බින්දුව තැබීම, කඨිනානිසංස අනුමෝදන් කිරීම සහ අනුමෝදන් වීම, එදිනම සිදු කළ යුතුය. මේ කරුණු එකක් හෝ අඩු වුවහොත් කඨිනයේ බලය නැති වෙයි.
කඨිනාස්තරණය
කඨින ආස්තරණය නම් කඨිනය ඇතිරීමයි. කඨිනය නම්, පෙරවස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලාට දායකයන් විසින් කැපසරුප් ලෙස පූජා කෙරෙන තුන් සිවුරෙන් එකක් හෝ වස්ත්රයකි.
කඨිනයක් වශයෙන් සංඝයාට ලැබුණූ ඒ සිවුර හෝ වස්ත්රය, එදිනම විනයානුකූල වූ චීවරයක් වශයෙන් සකස් කළ යුතුය. එනිසා පස්දෙනෙක් හෝ ඊට වැඩි වූ සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තාරය සඳහා පවරනු ලැබේ.
දායකයන් විසින් පූජා කරන ලද කඨිනයේ වැඩ (රෙදි නම් කඩකැපීම, මැසීම, පඬුගැසීම ආදිය) සංඝයා විසින් ම කර කඨිනත්ථාරකයාට පැවරිය හැකිය. එය නිට්ඨිත පරිකම්ම වූ කඨිනත්ථාරයකි. එසේ පරිකම්ම සම්පූර්ණ නොකරන ලද කඨිනයක් පවරන්නේ නම් එය අනිට්ඨිත පරිකම්ම කඨිනත්ථාරයකි. එම කඨිනාස්තාරක භික්ෂුවට, කඨිනය සඳහා ලැබුණේ මසන ලස සිවුරක් (කත කඨින චීවරයක්) නම් එය පරීක්ෂා කර විනායානුකූල වීමට පුබ්බකරණ, පුබ්බකිච්ච, කප්බින්දු තැබීම ආදිය කළ යුතුය. මසා නිම කරන ලද සිවුරුම ලැබෙන්නේ නම් යහපත්මය. එවිට සංඝයා විසින් කඨිනුද්ධාරක භික්ෂුවට කඨිනය පැවැරූ කල්හි ඔහුට කරන්න ඉතිරිව ඇත්තේ කප්බින්දුව තබා පච්චුද්ධරණ, අධිට්ඨාන කිරීමේ ආදිය පමණකි. එනිසා මසන ලද සිවුරු මිලට ගෙන කඨින සිවුරු වශයෙන් පූජා කිරීම සුදුසුය. එය කතචීවර හෙවත් මසා නිමකරන ලද නිට්ඨිත චීවරයක් වශයෙන්ද හැඳින්වේ. දායකයන් විසින් සංඝයාට කඨිනයක් සඳහා පූජා කෙරෙන සිවුර සම්පූර්ණ වූ කඨිනයක් වන්නේ, සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට පැවරී සහ ඒ භික්ෂුව විසින් කඨිනයට සම්බන්ධ විනයානුකූල කටයුතු අවසන් කිරීමෙන් පසුවය.
දායකයන් විසින් සංඝයාට පූජා කරන ලද්දේ නූල්, රෙදි නම් සංඝයා විසින් ඒවා සිවුරු මැසීමට කුසලතා හා සුදුසුකම් ඇති භික්ෂුවකට කඨිනාස්තරණයට පැවරේ.
ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් භික්ෂූන් වහන්සේලාගේත් සහාය ලබාගෙන, නූල් නම් රෙදි වියා ඉතිරි සියල්ල ම එදිනම කළ යුතුය. කඨානාස්තාරකයාට ලැබුණේ රෙදි නම් සේදීම,කඩ කපා අතු බෙදා සැකසීම, මැසීම, පඬුගසා විනයානුකූල වූ සිවුරක් සේ සකස් කර, කප්බින්දුව තැබීම, පච්චුද්ධරණයව, අධිට්ඨානය ආදිය කර කඨනාස්තාරය කළ යුතුය. සිවුරේ සියලුම වැඩ එදිනම නිම කිරීමට නොහැකි වූයේ නම් අකත (නිම නොකරන ලද සිවුර) හෝ විප්පකත ( සිවුර මැසීම, පඬු ගැසීම ආදිය අඩාල වූ සිවුර) වශයෙන් හැඳින්වේ. පැය 24 ක් ඇතුළතදී මසා නිම කළ නොහැකි වූ අකත, විප්පකත වූ කඨින චීවරයක්, කඨිනත්ථාරය කළ නොහැකිය. එනිසා කඨිනානිසංසද නොලැබේ.

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X