වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බෞද්ධ උපෝසථය

බිබිල, යල්කුඹුර, 
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ, 

පදියතලාවේ ඤාණවිමල හිමි

“උපෝසථ” යන වචනයෙහි අර්ථ රාශියක් ඇත. ඒ අනුව සමීපයෙහි වසයි, සමඟින් ජීවත් වෙයි, සෝම යාඥය පිළියෙළ කරන කාලය, උපවසථ දිනය, ග්‍රාමය, යාගයට පූර්ව වූ දිනය, පෝය දවස, අටසිල් හා පාමොක් උදෙසන (භික්ෂූන්) දිනය, උපවාසය යන අරුත් ද ජනිත කරයි. මෙහි අරුත් අනුව අපට වටහාගත හැකිවන්නේ උපෝසථය වූ කලී අභිචාර විධි මුල් කොටගත් යම්කිසි ආගමික දිනයක් වන බවය. වෛදික ඇදහීම්වලට අනුව දෙවියෝ විශේෂ දිනවල දී ශුද්ධ ස්ථානවලට රැස්වෙති. මනුෂ්‍යයෝ ද දෙවියන් හා සහවාස වනු වස් එදිනට ශුද්ධ පිළිවෙත් පුරමින් ශුද්ධ ස්ථානවල වාසය කරති. බුදුරජාණන් වහන්සේ ද මෙය යම්තාක් දුරට අනුමත කළ අවස්ථාවක් අංගුත්තර නිකායේ සඳහන් වේ.
මෙහි විස්තර වන අන්දමට අටවක්, තුදුස්වක්, පසළොස්වක් පෝ දිනවලට දේව කොට්ඨාස මනුෂ්‍යයාගේ හොඳ පිළිවෙත් පරීක්ෂා කරති. යම් යම් වෙනස්කම් තැබූ මුත් ප්‍රධාන අර්ථය අතින් මෙහි පවත්නා සාම්‍ය බව අපට වටහා ගත හැකිය. මුලින් සඳහන් ඇදහිලි හා විශ්වාස පදනම් කරගෙන සමකාලීන භාරතීය ආගමික සියලු සංස්ථාවෝ උපෝසථ දිනට,
ආහාරයෙන් තොර වීම 
බ්‍රහ්ම චර්යාවෙන් යුතු වීම. 
ආභරණ සුවඳ විලවුන් ගැල්වීම ආදී ශරීර සත්කාරයෙන් වෙන් වීම. 
රැකියාවන්ගෙන් වෙන්වීම.
වැනි ව්‍රතයෝ සමාදන්ව විසූහ. විශේෂයෙන්ම පසළොස්වක දින සෝම යාගය පැවැත්වීමට කටයුතු කරන ඔවුහු ඊට පෙර දින (චාතුද්දසී දින) දෙවියන්ට ආරාධනා කොට එදින දෙවියන් වෙනුවෙන් උපවාස කරති. මෙසේ එකල භාරතයේ උපෝසථ දිනය සම්භාවිත වුව ද සම්බුද්ධ ශාසනයේ සංඝ සමාජය තුළ එබඳු චාරිත්‍ර විධි අනුගමනයක් දක්නට නොතිබුණි. සමාජගත මේ පොදු පිළිගැනීම සංඝ සමාජයෙහි දක්නට නොලැබුණු නිසා මහජනයාගේ දැඩි දෝෂාරෝපණ පමණක් නොව උද්ඝෝෂණ ද ඇති වන්නට විය. මේ දුටු බිම්බිසාර රජු බුදු රදුන් වෙත පැමිණ, බෞද්ධයෝ අන්‍ය තීර්ථකයන් අනුගමනය කිරීම වළකනු සඳහා පාරම්පරික උපෝසථ දිනය වෙනුවට බෞද්ධ උපෝසථ ක්‍රමයක් පනවන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට තුදුස්වක්, පසළොස්වක් දින රැස්වීමට අනුදැන වදාළහ. මෙසේ බෞද්ධ සමාජය තුළ උපෝසථය ඇරඹීමට බලපෑ ප්‍රධාන සාධක තුනක් අපට පෙන්වා දිය හැකිය.
මහජන උද්ඝෝෂණ 
සමකාලීන උපෝසථ ව්‍රත – වැඩි වශයෙන් ජෛන සමයේ පැවති ‘පෝසධ’ දින සමාදානය 
බිම්බිසාර රජුගේ ඉල්ලීම.

සැබවින්ම මේ කරුණු සලකා බුදුරදුන් උපෝසථ දිනය අනුදැන වදාළ ද එය අන්‍ය තීර්ථකයන් අනුගමනය කිරීමක් නොවන බව මෙහිලා දැක්විය යුතු ය. එහෙත් බුදුරදුන් උපෝසථය අනුදැන වදාළ කල්හි එම දිනවලට භික්ෂූන් රැස්ව තුෂ්ණිම්භූතව වැඩ සිටියහ. ඒ එදින කළයුතු දෙයක් බුදු රදුන් නොවදාළ බැවිනි. උපෝසථ දින දහම් ශ්‍රවණය කරනු පිණිස භික්ෂූන් කරා එළැඹි ජනයා උන්වහන්සේලාගේ තුෂ්ණිම්භූත බවට නින්දා පරිභව කළහ. මේ බව සලකා බුදුරදුන් උපෝසථ දිනයන්හි රැස්ව උවසි උවසුවන්ට ධර්ම දේශනා කරන මෙන් අනුදැන වදාළහ. පසුව බුදුරදුන් බෞද්ධ භික්ෂුවගේ උපෝසථය වඩාත් අර්ථවත් කරනු සඳහාත් බෞද්ධ උපෝසථයේ අනන්‍යතාව තහවුරු කරලනු සඳහාත් ‘මා විසින් භික්ෂූන්ට යම් ශික්ෂාපද සමූහයක් පනවන ලද ද ඒ ශික්ෂාපද ඔවුන්ට ප්‍රාතිමෝක්ෂය උදෙසීම් වශයෙන් අනුදන්නේ නම් යෙහෙකි. ඒ පාමොක් උදෙසීම ඔවුන්ට උපෝසථ කර්ම වන්නේ යැයි’ අදහස් කොට ප්‍රාතිමෝක්ෂය උදෙසීම අනුදැන වදාළහ. එය භික්ෂුවගේ ශික්ෂාකාමී බව වැඩීම පිණිසත් ශික්ෂාපද පිළිබඳ වූ දැනුම දියුණුව පිණිසත් විශේෂයෙන්ම සංඝ සාමග්‍රිය ඇතිවීම පිණිසත් හේතු වූ බව මහාවග්ග පාලියේ තොරතුරුවලින් ප්‍රකට වේ. අනුක්‍රමයෙන් සංවර්ධනය වූ භික්ෂු උපෝසථය පිළිබඳ නීති රීති රාශියක් දක්නට ලැබේ. ඒවා නම්,
1. පක්ෂයකට වරක් චාතුද්දසී හෝ පණ්ණරසී දිනයන්හි උපෝසථ කර්මය කළ යුතු ය. 
2. උපෝසථය සඳහා විනයානුකූල සීමාවක් සකස් කර ගත යුතු ය. 
3. මහා සීමාවක් තුළ නම් උපෝසථාගාරයක් සම්මත කර ගත යුතු ය. 
4. සඟ මැද සම්මත භික්ෂුවක් විසින් විනය විචාරීමත් එබඳු භික්ෂුවක් විසින් විනය විසඳීමත් කිරීමෙන් පසු පාමොක් උදෙසිය යුතු ය. 
5. සම්මත භික්ෂුවක් වුවත් විනය විචාළ යුත්තේ එම පුද්ගලයාගේ තරාතිරම සලකාගෙනය. 
6. චෝදනා නැගීමේ දී චෝද්‍යයාගේ අනුමැතිය ලබාගත යුතු ය. 
7. අනුපසම්පන්න පිරිස් මැද දී උපෝසථය නොකළ යුතු ය. 
8. ආරාධනා කිරීමක් නැතිව පාමොක් නොදෙසිය යුතු ය. 
9. ගිලන් භික්ෂුවකට උපෝසථය සඳහා පැමිණිය නොහැකි නම් ඔහු එයට ඡන්දය දිය යුතු ය. 
10. යම් ශික්ෂාවක් දෙසීමේ දී ආපත්තියකට පත් භික්ෂුවක් වේ නම් එය දැනුම් දිය යුතු ය. 
11. වර්ග සංඝයා විසින් උපෝසථය නොකළ යුතු ය. 
12. රාජභය ආදී උවදුරක් තිබේ නම් කෙටියෙන් පාමොක් දෙසිය හැකිය. නොඑසේ වුව සංක්ෂේපයෙන් පාමොක් දෙසිය නොහැක.

ඉහත නීතිරීති සමඟින් සකස් වූ භික්ෂු උපෝසථය සර්වකාලීනවම අර්ථ සම්පන්න විය. එම උපෝසථය දින, කාරක, කර්තව්‍යකාර ලෙස ප්‍රභේද නවයකට සකස් විය.
නව විධ උපෝසථයන්
ආදී බෞද්ධ ඇදහිලි අනුව තුදුස්වක් – පසළොස්වක් හා අටවක් යන දින තුන අමාවකත් උපෝසථ දින ලෙස පිළිගෙන තිබුණු නමුත් බුදු සමයට එය පැමිණෙන විට යම් යම් සංස්කරණ ඇති විය. එනම් දින වශයෙන්,
1. චාතුද්දසී 
2. පණ්ණරසී 
3. සාමග්ගී

යනුවෙන් පෝය තුනක් විය.
1. චාතුද්දසී – පක්ෂයේ දින දාහතරක් (තුදුසක්) ගතවුණු පසු චන්ද්‍රයාගේ කලා පිරීම නිමිති කොට ගනු ලබන පොහොයයි. සෘතු තුනෙහි තුන්වැනි හා හත්වැනි පෝය චාතුද්දසී නම් වේ.මේ අනුව වර්ෂයකට චාතුද්දසී පෝය හයක් (06) වේ.
2. පණ්ණරසී – දින පහළොවකට පසු චන්ද්‍රයාගේ කලා පිරීම නිමිත්තෙන් ගනු ලබන පෝයයි. සෘතුවේ තුන් වැනි හා සත්වැනි පෝය හැර අනෙක් පෝය මීට අදාළ වන අතර වසරකට පණ්ණරසී පෝය 18 කි.
3. සාමග්ගී - මේ සඳහා දින නියමයක් නැත. සමගි සංඝයාගේ යම් අසමගියක්, මතවාද ගැටුමක් ඇතිවන අවස්ථාවල ඒකමතිකත්වය ගොඩනගාගෙන සාමග්ගී පෝය යොදා ගනී.
කාරක වශයෙන්
1. සංඝ – උපසම්පන්න භික්ෂූන් සිව් නමකට වඩා රැස් වූ විට එය සංඝ උපෝසථයයි. එහිදී විනයානුකූල සීමාවකට රැස්ව පාමොක් දෙසිය යුතු ය.
2. ගණ – උපසම්පන්න භික්ෂූන් තුන් නමක් රැස් වූ අවස්ථාවයි. සෘතු පෝය ආදිය සිහිපත් කොට පාරිශුද්ධිය ප්‍රකාශ කිරීමෙන් උපෝසථය අවසන් වේ.
3. පුද්ගල – භික්ෂූන් එක් නමක් හෝ දෙනමක් රැස් වූ විට අධිෂ්ඨාන උපෝසථය කරයි.
කර්තව්‍යකාර වශයෙන්
1. සුත්තුද්දෙස - මේ විභජනය කරනු ලබන උපෝසථ කර්මය අනුව කරන්නකි. සුත්තුද්දේසය, සංඝ උපෝසථයක දී ප්‍රාතිමෝක්ෂය උදෙසීම මත ගොඩනැඟී ඇත. එහිදී ප්‍රාතිමෝක්ෂය උදෙසිය හැකි ක්‍රම කිහිපයක් වන අතර කිසියම් පළිබෝධයක් නොවේ නම් සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂය උදෙසිය යුතු ය.
2. පාරිශුද්ධි – පාමොක් උදෙසීමක් නොමැතිව පිරිසුදු බව ප්‍රකාශ කිරීමෙන් පාරිශුද්ධි උපෝසථය කරයි. එය ගණ උපෝසථයට අදාළය.
3. අධිට්ඨාන – හුදකලාව සිටින අවස්ථාවක දී උපෝසථය
අධිෂ්ඨාන කිරීම අයත් ය. පුද්ගල උපෝසථයේ දී මේ කාර්යය කරයි.
මේ අයුරින් ප්‍රාග් බෞද්ධ පිළිවෙතකින් ගොඩනඟා ගනු ලැබූ භික්ෂූන් විසින් වෙසෙසින්ම සමගි සංඝයා විසින් කළ යුතු ප්‍රාතිමෝක්ෂ උද්දේසනය නම් වූ උපෝසථය, බෞද්ධ ආරාමික සංස්ථාවේ අතිශය සුවිශේෂ සංස්ථාවක් ලෙසත් සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථායීභාවයත් භික්ෂු පාරිශුද්ධිය හා සංඝ සාමගි‍්‍රයත් ගොඩනඟන ඓතිහාසික පිළිවෙත් මඟක් ලෙසත් ඇගයිය හැකිය.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X