වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බෝධි පූජාවේ නිවැරැදි පිළිවෙත්

 

හෝමාගම, පිටිපන දකුණ මෙත්සිත් අරණ විවේක සෙනසුනේ විහාරාධිපති,

බෞද්ධ ජනතාව, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිරතුරු පුදපූජා පවත්වන පූජාර්හ වස්තූන් අතර දළදා වහන්සේටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ‘බෝධි’ යන වචනයේ තේරුම නිවැරැදි, පැහැදිලි, සම්පූර්ණ වූ දැනුමයි. අවබෝධයයි. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු රුක පාමුලදී සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අර්ථවත් වන්නේ ලෝක සත්‍යය පිළිබඳ නිවැරැදි, පරිපූර්ණ වූ දැනුම සහ අවබෝධය ලබා ගැනීමයි.

ශාසන ඉතිහාසයට අනුව සැවැත් නුවර ජේතවනාරාම විහාර භූමියේ සිදු කළ ආනන්ද බෝධි රෝපණයත් සමග ආරම්භ වූ බෝධි වන්දනාව, කාලයත් සමඟ වෙනස්කම් රැසකට භාජනය වී ඇත. ඇතැම් වෙනස්කම් සාධනීය වනවා සේ ම ඇතැම් වෙනස්කම් මිථ්‍යාදෘෂ්ටිය වෙත යොමු කරවන බවක් දක්නට ලැබෙයි. එබැවින් බෝධි පූජාවේ සැබෑ අරුත කුමක් විය යුතු ද? බෝධි පූජාවක් ඵලදායක ලෙස සිදුකර ගැනීමට අනුගමනය කළ යුතු දෑ මොනවාද ? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

බෝසතාණන් වහන්සේ ඇසතු බෝධිය පාමුල ලබා ගත්තේ නිවැරැදි දැක්මයි. ප්‍රඥාවයි. ලෞකික ආශාවන්, බලාපොරොත්තු, බැඳීම් සියල්ල නිරර්ථක බව වටහාගෙන ඒ සියල්ල අත්හළ ස්ථානය බෝධියයි.

එසේනම් ඔබ, බෝධීන් වහන්සේ පාමුල සිට ලෞකික බලාපොරොත්තු ඉටු කරවා ගැනීමට පිහිට පතන්නේ නම්, එය බෝධි පූජාවේ සැබෑ අරුත නොසලකා හැරීමක් බව තේරුම් ගත යුතුය.

මෙයින් අදහස් වන්නේ බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීම, පුදපූජාවන් පැවැත්වීම නිරර්ථකය යන වැරදි අදහස නොවේ. ලෞකික ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවා ගැනීමට බෝධියට පුදපූජාවන් කරමින් ආයාචනා කිරීම නිෂ්ඵල බවයි.

බෝධි පූජාව යොදාගත යුත්තේ නිරන්තරයෙන් කෙලෙස්වලින් කිලිටි වන සිත්, කුසල් සිතිවිලිවලින් පිරිසුදු කරගැනීමටයි. ඒ පිරිසිදු සිතින් යම් අයෙකුට යහපතක් වේවා, නිරෝගි වේවා, යැයි ආශීර්වාද කරන විට ඔබටත් අන් අයටත් බෝධි පූජාව ඵලදායක වනු ඇත. එසේ නොමැතිව ඊර්ෂ්‍යාව, මානය, අහංකාරකම, ආත්මාර්ථකාමීකම යනාදී අකුසල් සිතිවිලි හිතේ පුරවාගෙන කරන ප්‍රාර්ථනාවන් කිසිසේත් සඵල නොවේ.

උදාහරණ ලෙස විභාගවලින් අනිත් අයට වඩා වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට, නඩුහබවලින් තමන්ට වාසි ලැබීමට බෝධි පූජා සිදු කරන්නේ නම්, අරමුණ අපිරිසුදු නිසා ප්‍රතිඵලයක් නොලැබෙයි. එහෙත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට පිරිසිදු සිතින්

වත්පිළිවෙත් කර ආශීර්වාද කිරීම වරදක් නොවේ. එය පින්කමකි. අන් අයගේ යහපත ප්‍රාර්ථනා කිරීමකි.

බෝධි පූජාවක් සිදු කිරීමේ දී ඒ සඳහා පෙර සූදානම ඉතා වැදගත්ය. විශේෂයෙන් තුණුරුවන්ට, ත්‍රිවිධ චෛත්‍යයන්ට පූජා කරන දේවල් ඉතා පිරිසුදුව, පිළිවෙලට සකස් කර ගත යුතුය.

පූජා ද්‍රව්‍යයන් වෙළඳසැල්වලින් මිලදී ගැනීමට වඩා තමන්ටම සකස් කරගත හැකිනම් එය වඩාත් ආනිශංසදායක ය. පොල්තෙල් තමන්ට සකසා ගැනීම අපහසු නම් මිලදී ගන්නා විට වෙනත් තෙල් වර්ග මිශ්‍ර නොකළ, විශ්වාසවන්ත තැනකින් ලබාගන්න. හොඳ සුවඳවත් හඳුන්කූරු සපයා ගන්න. ගෙවත්තේ නොමැතිනම් තිබෙන තැනකින් වට්ටියකට මල් නෙළාගන්න. ගිලන්පස සැකසීමේදී ඉතාමත් පිරිසුදු සහ උසස්ම තත්ත්වයෙන් පිළියෙල කර ගන්න.

පූජා ද්‍රව්‍යයන් සකසාගෙන බෝධි පූජාවට යන ඔබ සම්පූර්ණ සුදු ඇඳුමකින් සැරසෙන්න. අප බොහෝ විට දැක ඇත්තේ, ඇතැම් අය සිතාගෙන සිටින්නේ ඇඳුමේ කොතැනක හෝ සුදු පාට ඇති නම් එය සුදු ඇඳුමක්ය යනුවෙනි. එහෙත් සම්පූර්ණ සුදු ඇඳුම යනු වෙනත් පාට කිසිවක් නැති, සංවර ඇඳුමටය. දුටුවන් නෙත්සිත් පහදවන, විලාසිතාවලින් තොරවූ ඇඳුමටය.

සිද්ධස්ථානවලට යන විට වටිනා ආභරණයන් පැළඳීම ඔබේ අරමුණට නොගැලපෙනවා පමණක් නොව ඇතැම් විට අනතුරුදායක ද විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වීම සුදුසු ය.

බෝධි පූජාව සිදු කිරීමට පෙර චෛත්‍යය, බෝධිය, විහාර මන්දිරය තුළ ඇති මල් ආසන පිරිසුදු කිරීම, ඇමදීම ආදී වතාවත් සිදු කිරීම අත්‍යවශ්‍යය.

ඇතැම් අය මල් ආසන මත පරමල් ගොඩ ගැසී ඇතත් ඒවා පැත්තකට තල්ලු කර තමන් ගෙනා මල් පූජා කරති. එබඳු ක්‍රියාවලින් සංකේතවත් වන්නේ සිත අපිරිසුදු බවයි. සිත අපිරිසුදු නම් කරන, කියන දේවල්වලින් පිනක් සිදු නොවේ.

විහාර භූමිය පිරිසුදු කිරීමේ වතාවත් සිදු කිරීමෙන් බෝධි පූජාව, බුද්ධ පූජාව හා සමාන ආනිශංස ලැබෙන බව පැරණි බණකථාවලින් පෙන්වා දී ඇත. පිරිසුදු කිරීමේ වතාවත් නොකර, පවත්වන බෝධි පූජාව අසම්පූර්ණ ය.

වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඔබ සකස් කරගෙන ආ ගිලන්පස සහ අනෙකුත් පූජා ද්‍රව්‍යයන් ඒ සඳහා වෙන්කර ඇති භාජන පිරිසිදු කර ඒවායෙහි පිළියෙල කරගන්න. පහන්, හඳුන්කූරු ඒවාට නියමිත ස්ථානවල දල්වන්න.

මෙහිදී මතක තබා ගතයුතු කරුණක් නම් හඳුන්කූරු විශාල ප්‍රමාණයක්, පන්දමක් මෙන් දල්වාගෙන හෝ ගිනි කබලකට සුවඳ දුම් ද්‍රව්‍යයන් ඉසිමින් බෝධීන් වහන්සේ වටා යමින් දුම් ඇල්ලීම අවශ්‍ය නැත. එය මිථ්‍යාදෘෂ්ටියකි. වැරදි පිළිවෙතකි. එසේම බෝධීන් වහන්සේ පාමුල පහන්, හඳුන්කූරු දැල්වීමෙන් බෝධියට හානි සිදුවේ. එබැවින් පහන්,හඳුන්කූරු දැල්වීමට වෙන්කර ඇති ස්ථානවල පමණක් එය සිදු කරන්න.

භාජනවල ක්‍රමානුකූල ව සකසා ගත් ගිලන්පස බෝධීන් වහන්සේගේ මල් අසුන් මත තැන්පත් කරන්න. දාගැබට සහ විහාර මන්දිරයට ද ගිලන්පස තැන්පත් කරන්න.

මේ මූලික වතාවත්වලින් පසු තමන්ට පහසු තැනක බෝධීන් වහන්සේ අභියස පහසු ඉරියව්වකින් අසුන් ගන්න. තිසරණ පන්සිල් සමාදන් වී පිළිවෙලින් තෙරුවන් වඳීන ගාථා, බෝධි වන්දනා ගාථා කියා මල්,පහන්, සුවඳදුම්, ගිලන්පස බුදුරජාණන් වහන්සේටත්, බෝධීන් වහන්සේටත් පූජා කරන ගාථාවන් කියවන්න.

ගාථා කීමේදී ශ්‍රද්ධා පෙරදැරිව, සන්සුන්ව කියවිය යුතුය. බොහෝ දෙනා බෝධි පූජා ගාථා,කවි අඩංගු මුද්‍රිත පොත් කීපයක් ගෙනැවිත් හැම පොතක්ම මුල සිට අග දක්වාම හඬ නගා කියවීමට පුරුදු වී සිටිති. එසේ කිරීම අවශ්‍ය නැත. අවශ්‍යම ගාථා සහ බෝධි වන්දනා කවි කිහිපයක් කියවීම ප්‍රමාණවත් ය.

ගාථාවන් කියා පූජාව සිදු කිරීමෙන් පසු සිත එකඟ කරගෙන අවම වශයෙන් මිනිත්තු 10ක්වත් බුද්ධානුස්සති සහ මෙත්තානුස්සති භාවනාවන් වඩන්න. රැස්කර ගත් පින් සිහිපත් කරමින් යහපත් ප්‍රාර්ථනාවන් සමඟ ආශීර්වාද කළ යුතු අයට ආශීර්වාද කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය ඒ තුළින් ඔබට ලැබෙනු ඇත. බෝධි පූජාව අවසානයේ භාවනාවක් ලෙස සලකා, සිත සන්සුන් කරගෙන මෙසේ ප්‍රාර්ථනා කරන්න.

සිඳෙන බිඳෙන ලොව ඇති තතු වටහාගෙන ලැබුව නුවණ
ලොව්තුරු බුදුසමිඳුන් වැඩ සිටි හැටි අප සිතෙහි මවන
පින් සිතුවිලි ඇති කර කර දුක් දුරු කර සුවය දෙවන
මගෙ ගත සිත සැනසේවා ලැබගෙන බෝරජුගෙ සෙවණ

ඉරිසියාව වෛරය මානය ඉවතට දමන්නෙමී
මගේ සැපත වගේ අනුන්ගේ සැපතත් සිතන්නෙමී
සතුරාටත් මිතුරාටත් එක සේ මෙත් වඩන්නෙමී
ගතින් කොහේ ගියත් සිතින් බෝ සෙවණෙ ම සිටින්නෙමී

බෝ සෙවණෙදි සන්සුන්කම හැම තැනදිම රකින්නෙමී
බෝසෙවණෙදි පින් සිතුවිලි හැම මොහොතෙම සිතන්නෙමී
බෝසෙවණෙදි ලැබුව නුවණ නිරතුරුවම වඩන්නෙමී
බෝසෙවණෙදි ලැබුව සුවය මුලු දිවියෙම ලබන්නෙමී


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින මතුවෙන හැටි හරි පුදුමයි


 මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

පින්වත් දරුවනේ, අපට මොන විදිහේ පිනක් තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. බැලූ බැල්මට කෙනෙකුගේ පින සොයාගන්න බැහැ. නමුත් සත්පුරුෂයන්ගේ උදව්ව නිසා සමහරුන්ගේ පින මතුවෙනවා.

සත්පුරුෂ තාත්තා කෙනෙක් නිසා නොමග ගිය දරුවෙක් මාර්ගඵල ලැබූ අයුරු කියැවෙන අපූරු කථාවක් දැන් ඔබ දැනගන්නේ. අනේපිඬු සිටාණන් ගැන අපි හැමෝම දන්නවා. එතුමාගේ ශ්‍රද්ධාව ඉතා බලවත්. එම මාළිගයේ හිටපු දෙව්දුවක් පවා එතුමා නොමඟ යවන්නට ගොස් පැරදී ගියා. සිටුතුමාගෙන් සමාව ගන්න සිදුවුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයකින් යුතුවයි එතුමා හැම දෙයක්ම කළේ.

ඒ අනේපිඬු සිටුතුමාට පුතෙක් හිටියා. ඔහුගේ නම කාල. මේ දරුවාට හොඳට සල්ලි තිබුණු නිසා විනෝදෙන් කල් ගෙව්වා. ඊට ගැලපෙන යාළුවොත් හිටියා. බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට අනේපිඬු සිටුතුමා ගියේ මහත් ශ්‍රද්ධාවකින්. පුතාට අඬගැහුවට එන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩිය වෙලාවටත් මඟහරිනවා. බණ අහන්න යමු කිව්වත් මඟහරිනවා. සංඝෝපස්ථාන කරන්න යමු කිව්වත් මඟහරිනවා.

“අනේ පුතේ.... ඔහොම කරන්න එපා... ඒක හරි නෑ... මා වැනි සැදැහැවත් පියෙක් සිටිද්දී පුතා සිටින්න ඕනත් සැදැහැබරව නේද?”

මෙවැනි උපදෙස් කොයිතරම් දුන්නත් මේ ළමයා ඇහුම්කන් දෙන්නේ නෑ. අනේපිඬු සිටුතුමාට තම පුතා පිළිබඳව මහත් අනුකම්පාවක් හටගත්තා.

‘අනේ මේ කොලුවා යාළුවන්ට අහුවෙලා ජීවිතයේ වටිනාකම නැති කර ගන්නවා. පින් රැස් කිරීම ගැන කිසි තැකීමක් නෑ. මෙහෙම ගියොත් නිරයේ තමයි උපදින්න වෙන්නේ. මොනතරම් අවාසනාවක්ද? මගේ දෑස් ඉදිරියේම මගේ දරුවෙක් නිරයේ උපන්නොත් මොනතරම් අවාසනාවක්ද?....

ම්... ම්.... දැන් කරන්න තියෙන්නේ මේකයි. ධනය දුන්නොත් වෙනස් නොකළ හැකි සත්වයෙක් නෑ නෙව. ඒ නිසා මාත් මේ ළමයාට සල්ලි ටිකක්වත් දීලා බලන්න ඕනෑ.’ මෙහෙම හිතපු අනේපිඬු සිටුතුමා තම පුතා කැඳෙව්වා.

“පුතේ.... මෙහෙ එන්න. අද උපෝසථ දවසයි. අද පුතා අනිවාර්යයෙන් ම භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න යන්න ඕන. බණ අහන්නත් ඕන. මගේ වචනයට ඇහුම්කන් දුන්නොත් මං කහවණු සීයක් පුතාට දෙනවා.”

“ෂා...! තාත්තේ ඇත්තටම මට කහවණු සීයක් දෙනවද?”

“ඔව් පුතේ... හැබැයි භාග්‍යවතුන් වහන්සේ දැකලා, බණ අහලා ආවොත් විතරයි.”

ඉතින් මේ කාල සිටු පුත්‍රයා කහවණු සීයක් ලබා ගැනීමට තුන් වතාවක්ම තම පියා ගිවිස ගත්තා. දෙව්රම් වෙහෙරට පිටත් වුණා. හැබැයි බණ අහන්න හිටියේ නෑ. වටේ ඇවිද ඇවිද හිටියා. කාලය ගත වුණා. යළි සිටු මාළිගයට ගියා. අනේපිඬු සිටුතුමා නිවැසියන් ඇමතුවා.

“දරුවනි, අද අපගේ පුත්‍රයා උපෝසථ සිල් අරන් නෙව. ඉක්මනින් කැඳ බත් ආදිය ලෑස්ති කරන්න.”

“බෑ.... එහෙම බෑ... මට ඉස්සෙල්ලාම කහවණු සීය ඕන. බත් කන්නෙ පස්සේ.”

අනේපිඬු සිටුතුමා දරුවා පෙළීමට ඇති අකමැත්ත නිසා කහවණු දුන්නා. සල්ලි ගත්තට පස්සෙයි ඔහු කෑම කෑවේ.

ඊළඟ දවසේ සිටුතුමා මෙහෙම කිව්වා.

“පුතේ... මං තීරණය කළා අද පුතාට කහවණු දාහක් දෙන්න ඕන කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගිහින් වාඩි වෙලා ඉන්න ඕන. එක බණ පදයක් ඉගෙන ගෙන එන්න ඕන.”

මෙය ඇසූ පමණින් ඔහු සතුටු වුණා. දෙව්රම වෙහෙරට ගියා. ශාස්තෘන් වහන්සේ ඉදිරියේ වාඩිවුණා. අදහස තිබුණේ එක දහම් පදයක් ඉගෙන ගෙන ඉක්මනින් පැනලා යන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ධර්මය මතක තබා ගැනීමේ හැකියාව දුර්වල කොට අවබෝධ කිරීමට පමණක් සැලැස්සුවා. ඒ නිසා මේ දරුවා මතක තබාගැනීමට දුර්වල වූ නිසා මතක තබාගැනීමේ අදහසින්ම වැඩි වැඩියෙන් අවධානය යොමු කළා. වැඩි වැඩියෙන් සවන් යොමු කළා. බලවත් ව යොමු කළා. තමන්ගේ පින මතු වුණා. ඒ වාඩි වී සිටි ආසනයේ ම සෝවාන් ඵලයට පත්වුණා. ඔහු ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඉතා සතුටින් පිටත් වුණා. එදා සිටු මාළිගයට ගිය ඔහු මුදල් මතක් කළේ නෑ.

පසුවදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. සිටුතුමාට මෙහෙම හිතුණා. ‘අද මාගේ පුතාගේ වෙනසක් දකින්න ලැබෙනවා. බොහොම පැහැදීමෙන් ඉන්නවා වගෙයි.’

කාල සිටු පුත්‍රයාත් මෙහෙම හිතුවා. ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අපගේ පියාණන් මට සල්ලි දුන්නොත් වස ලජ්ජාව... එතකොට මං මේ සිල් රකින්න ගියේ සල්ලි වලට ආසාවෙන් කියලා හිතනවා නෙව. ඒ නිසා පියාණන් සල්ලි නොදෙන එකයි හොඳ..’

අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට කැඳ පූජා කළා. පුතාටත් කැඳ දුන්නා. ඔහු නිශ්ශබ්දව කැඳ බී බත් අනුභව කළා. දානය අවසානයේ දී මහ සිටුතුමා කහවණු දහසක පොදියක් රැගෙන ඇවිත් මෙහෙම කිව්වා.

“ඔන්න පුතේ ඔයාගේ කහවණු දහස. ඔයා උපෝසථ සිල් අරගෙන පැමිණීමේ පොරොන්දුවටනේ මං මේ සල්ලි ගෙවන්නේ.... ආ..... මෙන්න... ඔයාගේ සල්ලි...”

බුදුරජාණන් වහන්සේ ඒ දෙස බලා සිටියා. දරුවා මහත් ලජ්ජාවෙන් හැකිළී ගියා.

“අනේ පියාණෙනි, මට කහවණු වලින් වැඩක් නෑ.”

“ඒකට මක්වෙනවද පුතේ.... ගන්න....”

ඒත් ගන්නෙ නෑ. එතකොට අනේපිඬු සිටුතුමා මෙහෙම කියනවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද මේ දරුවා හරි අමුතුයි. හරී පැහැදීමකින් ඉන්නවා. ඇවතුම් පැවතුම් හරි ප්‍රසන්නයි.”

“ඇයි සිටුතුමනි, කුමක් වුණාද?”

“ස්වාමීනී, මං කලින් දවසේ කහවණු සීයක් දෙන්නම් කියලයි විහාරයට යැව්වේ. එදා ගිහින් ඇවිදින් සල්ලි ගන්න තුරු බත් කෑවෙත් නෑ. අද කහවණු දහසක් බලෙන් දෙන්න හදද්දිත් කැමති නෑ.”

“පින්වත් සිටුතුමනි. ඒක හරි. අද ඔබගේ පුත්‍රයා චක්‍රවර්තී රාජ සම්පත්තියටත් වඩා උතුම් වූ, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්පත්තියටත් වඩා උතුම් වූ සෝවාන් ඵලයට පත්වෙලා නෙව ඉන්නේ.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මෙම මධුර වූ ගාථා රත්නය වදාළා.

පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං

එක පියවරකින් දෙව් ලොව ගියත් උතුම් නොවේ. සියලු ලොවට රජෙක් වුණත් එයත් උතුම් නැත්තේ ඒ හැමටම වඩා උතුම් සෝවාන් ඵලයයි. නිවන් මගට බැසගන්නා දහමයි මොහු දැක්කේ පින්වත් දරුවනේ, දැක්කා නේද මව්පියන් ඉතා ඤාණවන්ත අයුරින් දරුවන්ට ධර්ම දායාදය ලබා දෙන අයුරු. මෙකල පවා ශ්‍රද්ධා සම්පන්න මව්පියන් තම දරුවන් කුඩා අවදියේ පටන් ධර්මයෙහි හික්මවනවා. එයට අකමැති වුණොත් ආදරණීය මව් පියවරුන්ගේ හිත් රිදෙනවා.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

හදිසි අනතුරුවලින් මිදීමට දහම පිහිට කරගනිමු


පයාගල නන්ද හිමි

ගැඹුරු බණ ඇසීමට වඩා සරල බණ කතා ඇසීමට බොහෝ දෙනා කැමැති ය. සරල බණ කතාව වුව ද විචාර පූර්වක ව සිතීමෙන්, විමසීමෙන් ගැඹුරු දහමක් දැන ගැනීමට හැකියාවක් ලැබේ. විචාරයෙන්, විමසීමෙන් ප්‍රයෝජන ලැබිය හැකි කතා පුවතකි, මෝර පිරිතේ නිදාන කතාව.

හිමාලය පර්වතය අසල හිරණ්‍යක නම් පව්වේ විසු එක්තරා සුවිශේෂී මොණරෙක් විය. ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවියන් නමදින මොනරා අනතුරුව සියලු සත් බුදුවරයන්ට වඳියි.

මෙසේ සොබා දහමට හිත මනාප ව උතුම් බුදුවරයන් වහන්සේලා ගැන සිහිපත් කොට තැන්පත් සිතින් පිටත්ව යන හෙයින් කිසිදු දඩයක්කාරයකුට හසු නො වී ආරක්ෂිතව ගොදුරු සොයා බැහැරට ගොස් යළි නවාතැනට පැමිණීමට මොනරාට බාධාවක් නො වී ය.

මෙසේ අනතුරට ලක් නොවී වෙසෙන මොනරා ගැන ඇසූ රටේ රජුගෙ අග බිසවට මොනරා අල්ලාගෙන අවුත් දැක ගැනීමට රිසි උපන. රාජකීය හේවායෝ මේ සුවිශේෂ මොනරා අල්ලා ගැනීමට කොතෙක් වෙහෙසුණත් ඒ හැම වෑයමක් ම සඵල නො වීය.

උපන් ආශාව නො සන්සිඳුණේ ම රජ බිසව ශෝකයෙන් මළා ය. මෙයින් කෝපයට පත් රජු මොනරාගෙන් පළි ගැනීමට සිතා අසවල් පර්වතයේ වෙසෙන සුවිශේෂී වූ මොනරා මරා දැමීම පහසු නො වන බවත්, යමෙකුට එසේ කළ හැකි නම් ඔහු අජරාමර වන බවත් තල් පතක ලියා තැබී ය. ඒ රජුගෙන් පසුව රජ වූ කිහිප දෙනකුම රජවරු මොනරා මරා දැමීමට උපා යෙදූ මුත් ඒ හැම අසාර්ථක විය. එක් රජෙක් මේ මොනරා ඝාතනයට විශේෂ උපායක් යෙදී ය.

එක්තරා දක්ෂ දඩයක්කාරයකු කැඳවා “නුඹ මොනරාගෙ ගැහැනු සතකු, සෙබඩක සොයාගෙන වුත් හිරණ්‍යයක පව්වේ වෙසෙන මොනරා ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවිඳුටත්, සත් බුදුන්ටත් වඳින විට මොනරාට ඇහෙන ලෙස සෙබඩව කෑ ගස්වන්නට සලස්වන්න. එවිට සෙබඩගේ කෑ ගැසීමෙන් සිත කලබලයට පත් කරගනු ලබන මොනරා ක්‍රමයෙන් වන්දනා කිරීම නවතා අවුල් සිතින් ගොදුරු සොයා වනයට යනු ඇත. ඔබට ලෙහෙසියෙන් ම මොනරා ග්‍රහණයට ගත හැකි වෙතැයි” උපදෙස් දී දඩයක්කරුවකු පිටත් කර හැරියේ ය.

රජු කී ලෙසින් ම දඩයක්කරු ද සෙබඩ ලවා කෑ ගැස් වූ නමුදු මොනරා වන්දනා සිදුකොට වනයට නික්මිණ. නිරතුරුවම ගැහැනු සතාගෙ කට හඬ ඇසෙන විට මොනරාට එය නො අසා සිටීමට නො හැකි විය. දිනපතාම උදෑසන ඇහෙන ස්ත්‍රී කටහඬට රාගික ව බැඳුණු මොනරාට බුද්ධ වන්දනාව, හිරු වන්දනාව නිසි පරිදි කළ නොහැකි වූයේ කෙමෙන් වන්දනාව නැවැත්වීය. දැන් හේ මහත් ආසාවෙන් සෙබඩගෙ කටහඬ අසයි. රාගයෙන් බැඳුණු අවුල් සිතින් ගොදුරු සොයා වනගත වෙයි.

රාග සිත කිලිටිය. අවුල් ය. විපත් ඇති කරවන සුළුය. එහෙයින් කිලිටි සිතින් වනගත වූ මොනරා පහසුවෙන් ම දඩයම්කරුගේ ග්‍රහණයට හසු විය.

මේ කතාවෙන් ගත හැකි පාඩම ඉගෙන ගන්න. හිත කිලිටි වූ විට බාහිර බලවේගවලට, අඳුරු සෙවනැලිවලට ළංවීමට පුළුවන. යම් විටෙක හිත පිරිසුදු වේ ද, එවිට මාර්ග අනතුරුවලින් මිදී ගමන නිම කළ හැක. පටන් ගනු ලබන ව්‍යාපාර සාර්ථක වනු ඇත. මුල්ගල් තබා අරඹන ඉදිකිරීම් සිතූ ලෙසින් නිමවනු ඇත.

මේ කතාවෙන් කී උපදේශනය දැන හෝ නො දැන පැරැන්නෝ මෙවැනි සත් පිළිවෙත් අනුගමනයෙන් උවදුරුවලින් මිදුණාහ. ජීවිත සාර්ථක කර ගත්හ. ගමනක් පිටත්වීමට පෙර සුබ දසුනක් හමුවන තුරු මදක් රැඳෙන සිරිත එදා පැවතිණ. රියැදුරු එක්වරම රිය පණ නො ගන්වා හඳුන්කූරක් දල්වා දෑත් එකතු කොට සුක්කානමට වැඳ මොහොතක නිහැඬියාවෙන් අනතුරුව රිය පණ ගන්වා ගමන පිටත් විය.

මුල් ගලක් තබයි නම් මුල් ගල අතේ තබාගෙන නියම කර ගත් වෙලාව උදාවනතුරු නිහඬව සිටීමේ හැකියාව තිබිණ. කුමන දෙයක් කිරීමට ඇරඹුවත් මොහොතක නිහඬව සිටීමේ පුරුද්ද පැරැන්නන් තුළ තිබිණ. සංකීර්ණ සමාජ රටාව තුළ කාර්ය බහුල බැවින් සිහි නුවණින් තොරව කටයුතු , ගමන් බිමන් ඇරඹීමේ අමිහිරි ප්‍රතිඵල අපි දිනපතාම අසමු. පිරිසුදු සිත දවස පුරාම රඳවා ගත නො හැකි නම්, ආරම්භයේදීවත් පිරිසුදු සිතින් ශක්තිමත් විය යුතුයි. මේ අවස්ථාවටම ගැළපෙන කතාවක් මහා භාරතයෙ එයි.

නල දමයන්ති ප්‍රේම කතාවේ දී දමයන්තිය සරණ පතා වූ ස්වයංවර විවාහයේ දී සුර අසුර මිනිසුන් මැඳ දමයන්තිය නල කුමරු තෝරා ගත්තා ය. ස්වයංවරයට පමා වී පැමිණි ද්වාපර අසුරයා සුර අසුරයන් අමතක කොට නල කුමරුන් තෝරා ගැනීම ගැන වෛරයෙන් නල දමයන්ති දෙදෙනාගෙන් පළිගැනීමට වසර දොළහක් ම පසු පසින් සිටියේ ය. වරදක් ද්වාපරට නො පෙනිණ.

දිනක් නල කුමරු වැඩ අධික වේලාවක කැසිකිළියට ගොස් පිරිසුදු නොවී දෙවොලට පිවිසියේ ය. ඒ වරද අවුල් සිතින් සිදු වූ විටම ද්වාපර ආරූඪවී නල කුමරුන් විරූප ගන්වා දමයන්තියගෙන් නල කුමරු වෙන් කළේ ය.

මෝර පිරිතේ මොනරා ද විපතට පත් වූයේ වන්දනාව නවතා රාගයෙන් සිත කිලිටි වූ විටයි. නල කුමරුට ද්වාපර ආරූඪ වී විපත් පැමිණෙව්වේ ද, අවුල් සිතින් ද, අපිරිසුදු කයින්ද, දෙවොලට ඇතුළු වූ විට ය. එහෙයින් බුදු දහමින් ලැබිය හැකි පිළිසරණ තේරුම් ගන්න. සිහි නුවණින් තොරව, අවුල් මනසින්, කිලිටි සිතින් අරඹන ගමන බිමන මෙන්ම අනෙකුත් කටයුතු ද අතර මඟ නැවතී ජීවිතයේ අඳුරු සෙවණැලි වැටීම නො වැළැක්විය හැකි බව සිතන්න.

යන එන ගමන් බිමන් , කරන කියන කටයුතු අරඹන්න පෙර මොහොතක් නිහඬවන්න අපිරිසුදු සිතිවිලි බැහැර කරන්න. සුබවාදීවත් අසුබවාදීවත් නො සිතා සැබෑ ලෙසින් අරඹන දෙය ගැන සිතන්න. ඔබ අරඹන හැම දෙයින්ම ශුභඵල ලැබෙනු ඇත. සැබෑ ලෙසින් සිතීම නම් විදර්ශනාවයි. විදර්ශනාව බුදු දහමේ ඉගැන්වෙන මූලිකම පාඩම බව අමතක කරන්න එපා.

උදේ – සවස වශයෙන් සඡ්ජායනා කිරීමට පිරිත් ඛණ්‌ඩ දෙකක්‌ ඇති මෝර පිරිත තේරුම අවබෝධ කොට ගෙන දිනපතා භාවිතයෙන් අපටද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබවෙත දන්වමු.
මෙහි 1 ගාථාව උදේට ද     2 ගාථාව සවසට ද කියන්න.
උදේතයං චක්‌ඛුමා ඒක රාජා
හරිස්‌ස වණ්‌ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌ස වණ්‌ණං පඨවිප්පභා සං
තයඡ්ජගුත්තා විහරේමු දිවසං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බධම්මේ
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒ සනා
අපේ තයං චඛු මා ඒකරාජ
හරිස්‌සවණ්‌ණෝ පඨවිප්ප භාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌සවණ්‌ණං පඨවිප්පභාසං
තයඡ්ජගුත්තා විහරේමු රත්තිං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේච මංපාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ වාසමකප්පයිති

මෙහි තේරුම
ලොව අඳුර දුරුකොට ලෝ වැස්‌සන්ට ඇස්‌ පාදාදෙන හෙයින් ඇස්‌ ඇති ලොවට එළිය දෙන්නාවුන් අතරින් රජෙක්‌ වූ රන්වන් සිරුරක්‌ ඇති මහ පොළොව බබළවන්නා වූ මේ සූර්යයා නැඟෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්‍ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්‌තව සැපසේ වෙසෙමු.
ස්‌වාසනා සකල ක්‌ලේෂයන් දුරු කළ යම් බුදු කෙනෙක්‌ සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළාහුද උන්වහන්සේලාට මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්‌ෂා කරන සේක්‌වා. අතීත බුදුවරයාණන් වහන්සේලාටද මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලාද මා ආරක්‌ෂා කරන සේක්‌වා.
උන්වහන්සේලාගේ නව ලොව්තුරු බෝධි ගුණයට ද මාගේ නමස්‌කාරය වේවා.
ඒ මයුර තෙම පිරිත කියා ගොදුර සෙවීමෙහි හැසිරෙයි.
දෙවැනි මෝර පිරිතෙහිද පෙරසේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්‌ෂාව ලත් අපි (මුළු රැයේම) සුවසේ වෙසෙමු. අනෙක්‌වා මුල් ගාථාව සේමය.

පිරිතේ ශාන්තිය
Õ මෙය ආරක්‍ෂාව සඳහා භාවිත කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදේ සවස කීමෙන් තමන් අල්ලා ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්‍ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකී රක්‍ෂා වෙලහෙළ¹ම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්‍ෂාව සලසා ගත හැකිය.
Õ උදේ අවදි වූ විගස නිදි යහනේ සිට පළමු ගාථාව තෙවරක්‌ කියවන්න. එසේම රෑ නින්දට යන විට දෙවැනි ගාථාව තෙවරක්‌ කියන්න. එසේ නොහැකි නම් උදේ සවස ආගම සිහි කරන විට වුවද කීමට හැකිය.
Õ පාබල, නාවික, ගුවන්, පොලිස්‌ ආදී ආරක්‌ෂක අංශයන්හි නිරත අය මෙය උදේ සවස භාවිත කළහොත් සතුරු උවදුරුවලින් ආරක්‌ෂාව සැලසෙයි. දුරාචාරවලින් වැළකී පන්සිල් රකිමින් මෙය භාවිත කළහොත් නිසි ප්‍රතිඵල අත්වනු ඇත.
Õ රාහුගේ අපල සඳහා ද මෙම ගාථා දෙක උදේ සවස කීම හොඳයි.
Õ මෙහි පළමු ගාථාව “උදේතයං…” යන්ත්‍රයක්‌ මෙන් ලියා ඉනේ බැඳීම රක්‌තවාතයට ගුණ දෙන්නකි. (108 වරක්‌ මතුරා ගන්න) මෙහි “අපේතයං” යන දෙවැනි ගාථාවෙන් 108 වරක්‌ තෙල් මතුරා ගෑමෙන් ඇවිලිල්ල සුව වේ.
ජ්‍යෙතිෂවේදී – රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X