වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ලෝකයේ සියල්ල කර්මයට අනුව ම සිදුවන්නේ ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

සාමාන්‍යයෙන් සමාජයක ජීවත්වන විට පුද්ගලයා, පුද්ගලයාට සාපේක්ෂ ලෝකය වශයෙන් කාරණා දෙකක් පවතී. ලෝකය තුළ යම්, යම් සිදුවීම් සිදුවන අතර එම සිදුවීම්වල ස්වභාවය පුද්ගලයාගේ ජීවිතයට බලපායි. ඇතැම් අවස්ථාවල පුද්ගල ජීවිතයේ සිදුවන යම් යම් සිද්ධි ලෝකයට බලපාන සහ බලනොපාන සිදුවීම් වශයෙන් හඳුනාගත හැකි ය. ලෝකයේ සිදුවන සියල්ල කර්මයෙන් සිදුවන්නේ ද? වශයෙන් පුද්ගල සංකල්ප හා පුද්ගල සංසිද්ධි පිළිබඳවත්, ලෝක සංසිද්ධි පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් කල්පනා කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව, උන්වහන්සේ දේශනා කළ දේශනා පාඨවලට අනුව පුද්ගලයා ආශ්‍රිත සංසිද්ධි සියල්ල කර්මයෙන් සිදුවෙනවාය යන කාරණාව චුල්ලකම්ම විභංග සූත්‍රය වැනි සූත්‍රවල දක්වා ඇත. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨය එම සූත්‍රයෙහි සඳහන් වේ. කර්මය සත්ත්වයා උසස්, පහත් ලෙස වෙනස් කරන බව එහි අර්ථය වේ. කර්මයට අනුව සත්ත්වයා වෙනස් වනවාය යන අදහස බුදුදහමේ අන්තර්ගත කාරණාවක් වේ. කම්ම යන වචනයෙහි විවිධ අර්ථ පවතී. කම්ම යන පාලි වචනය සිංහලයෙහි කර්මය වශයෙන් ද, සිංහල කට වහරට අනුව කරුමය වශයෙන් ද ව්‍යාවහාර වේ.

පාලියෙහි සඳහන් කම්ම යන වචනයට වඩා, වෙනස් අර්ථයක් ජනවහරෙහි ව්‍යාවහාර වන කරුමය යන වචනය ට අර්ථ දිය හැකි ය. සියල්ල කර්මයෙන් සිදුවනවා ද? යන ගැටලුවක දී කම්ම,කර්ම, කරුම යන වචන වෙන් වෙන් වශයෙන් තේරුම් කර ගත යුතු ය. පාලියෙහි කම්ම යන වචනය ක්‍රියාව යන අදහසින් ද යොදා ගැනේ. එසේම තමන් කළ ක්‍රියාවන් කම්ම වශයෙන් ද බෙදේ. මනස සම්බන්ධ ක්‍රියා මනෝ කම්ම වශයෙන් ද, කය සම්බන්ධ ක්‍රියා කාය කම්ම වශයෙන් ද, වචනය සම්බන්ධ ක්‍රියා වචී කම්ම වශයෙන් තවත් එක් අර්ථයක් ලෙස සඳහන් කළ හැකි ය. ඒ වගේම පෙර සංසාරයෙහි මේ භවයෙහි ඉපදීමට පෙර මිනිසා විසින් කරන ලද යහපත් , අයහපත් ක්‍රියාවලට ද කම්ම යන වචනය භාවිත වේ.
මේ අනුව එහි සඳහන් අර්ථ නිවැරැදිව නිශ්චය කරගැනීමකින් තොරව, සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණය පැහැදිලි කරගැනීම අපහසු වේ. මූලික සූත්‍ර ධර්මවල කර්මය ප්‍රබල බලවේගයක්ය යන කාරණාව පැහැදිලි වේ. කර්මය මිනිසා පසුපස ලුහුබැඳ එනවාය යන අදහස බුදු දහමේ අන්තර්ගත වේ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ යනුවෙන් වසල සූත්‍රයෙහි සඳහන් කරුණු අනුව මිනිසාගේ උසස් පහත් බව තීරණය වීමට ඔහු විසින් කරනු ලබන වර්තමාන ක්‍රියා කලාපය බලපානු ලබන බව ය. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨයෙහි අර්ථයට අනුව පෙර සංසාරයේ මිනිසාගේ පින් පව් අනුව මෙලොව ජීවිතයේ යම් යම් තීන්දු තීරණ ලැබෙන බව ය. ඒ අනුව මිනිසා අඩු ආයුෂ භුක්ති විඳින්නේත් , වැඩි ආයුෂ භුක්ති විඳින්නේත්,මිනිසා පැහැපත් වන්නේත්, දුර්වර්ණ වන්නේත්, මිනිසා රෝගී පුද්ගලයකු වන්නේත් ,මිනිසා නිරෝගී පුද්ගලයකු වන්නේත්, කර්මය නිසා ය. මිනිසා උසස් කුලවල උප්පත්තිය ලබන්නේත්, පහත් කුලවල උප්පත්තිය ලබන්නේත් කර්මය නිසා ය. පෙර සංසාරයේ කරන ලද පින් පව් මෙහි කර්මය වශයෙන් හඳුන්වා ඇත.
පෙර සංසාරයේ කළ අකුසල ක්‍රියා පිළිබඳ පමණක් කට වහරේ භාවිත වන කරුමය යන වචනයෙහි අර්ථ ගැන්වී ඇත. පුණ්‍ය ක්‍රියා පිළිබඳ හැඳින්වීමට කරුමය යන වචනය භාවිත නොවේ. ඒ සඳහා වාසනාව යන වචනය භාවිත වේ. කම්ම පලෝපජීවී සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උත්සාහය සහ කර්ම ශක්තිය අනුව, මිනිසාගේ ජීවිතය තීරණය වන ආකාරය පැහැදිලි කර ඇත. ඔහු හෝ ඇය පෙර සංසාරයේ පුණ්‍ය මහිමය නිසා හෝ පාප තත්ත්වය නිසා හෝ ලබන කිසියම් ශක්ති විශේෂයක් මෙහිදී කර්මය වශයෙන් දක්වා ඇත. ඇතැම් පුද්ගලයකු කර්මය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු උත්සාහය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු කර්මයත් , උත්සාහයත් දෙකම බලපෑමෙන් දියුණු වේ. ඇතැම් පුද්ගලයකුට කර්ම ශක්තිය හා උත්සාහයේ ශක්තියක් ද නැත. මේ ආකාරයට බෙදා දක්වා ඇත. මුල් බුදුසමයේ සඳහන් සූත්‍ර ධර්මවලට අනුව සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණාව පැහැදිලි වේ.
මේ කාරණය වඩාත් පැහැදිලිව තේරුම් ගැනීම සඳහා අටුවා පොත්වල නියාම ධර්ම වශයෙන් ධර්ම කොටසක් විග්‍රහ කර ඇත. බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම , සෘතු නියාම, කම්ම නියාම වශයෙන් සඳහන් වේ. මෙම තත්ත්වය විග්‍රහ කිරීෙමි දී කර්මය නිසා නොව බීජයට අනුව එම තත්ත්වය සිදුවන බව විග්‍රහ කරනු ලබයි.
දොඩම් ඇටයක් පැළ කළ විට දොඩම් ගහක් හැදෙන්නේ කර්මය නිසා නොව බීජයට අනුව බව ඇතැමුන් ප්‍රකාශ කර යි. වැහි කාලයට නාය යන්නේ කර්මයට අනුව නොව සෘතු විපර්යාසය අනුව වන බව ය. මිනිසුන්ගේ සිතිවිලිවලට අනුව ක්‍රියා කළ විට උසස් පහත් වන්නේ චිත්ත නියාමය අනුව බවය.
මේ ආකාරයෙන් අටුවා පොත්වල විග්‍රහ කර ඇත. මේ අනුව සියල්ල කර්මයට අනුව සිදු නොවන බව මේ විග්‍රහයෙන් කිසි විට විග්‍රහ වන්නේ නැත. එය විමසා බැලිය යුතු ය. බුදු දහමේ කම්ම යන වචනය විග්‍රහ කරනු ලබන්නේ සිදුවීමක් සිදුවුවාට පසුව ය. කිසියම් සිදුවීමක් සිදුවූවාට පසු එය වෙනස් කළ නොහැකිවන්නේ එම කාරණාව සිදු වී අවසන් බැවිණි. සිදූ වී අවසන් වූ අතීත ක්‍රියාවක් සම්බන්ධව එය ඔහුගේ කර්මය අනුව සිදුවූ බවට භාවිත වේ.
කර්මය මිනිසා පසු පස එනවාය යන බුදුදහමේ සඳහන් කාරණාව මේ අනුව විමසා බලන විට පැහැදිලි වේ. යහපත් ක්‍රියාවත් , අයහපත් ක්‍රියාවත් කර්මය වේ. එම කර්මයම උත්සාහය වේ. ඇතැමුන්ට උත්සාහ කීරීමට නො සිතෙන්නේ ද, කර්මය නිසා ය. එනිසා මිනිසා ඉදිරියට ගෙන යන මිනිසාගේ ජීවිතය වෙනස් කරන උදාර ශක්ති විශේෂය කර්මය ලෙස බණ පොතේ සඳහන් වේ.
ලෝකයේ පුද්ගලයාට බලපාන සියල්ල සිදුවන එකම හේතුව කර්මය ලෙසට නිශ්චය කර තේරුම් ගැනීමේ වැදගත්කම පවතින්නේ එම හේතුව නිසා ය.

අවබෝධයෙන් පින්කම් කළ යුත්තේ කෙසේද

ත්‍රිපිටකාචාර්ය, 
අභිධර්ම විශාරද, 
ධර්මකීර්ති ශ්‍රී 
දිගන සුගතවංස හිමි

" යමෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ මල්, පලතුරු, භෝජන වැනි පූජාවන් සිදුකරන්නේ නම්, මල් ආදියෙහි නෙළීමේ පටන්, පූජාසනය දක්වා පියවරෙන් පියවරට සිහි නුවණින් එම කුසලය සිදු කළ යුතුයි. කුඩා මල් බඳුනක් පූජා කළත් ඒ වෙනුවෙන් යෙදූ සිත බලවත් බැවින් කල්ප ගණන් ලෞකික සුගති සම්පත් ලැබේ."
තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ අරිහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට කොට වෙසක් මංගල්‍යය අරමුණු කොට ගෙන ඔබ කළ යුතු වෙසක් සැරසිල්ල කෙසේ විය යුතු ද? බුදුදහම සංකේතවත් කරමින් සිදුකරන ආමිස පූජාවන් අභිභවා ප්‍රතිපත්ති පූජාවෙන් ඔබගේ වෙසක් සැරසිල්ල අවබෝධයෙන් කළ යුතු නොවේ ද? අහේතුක, ද්විහේතුක උප්පත්තීන්ට වඩා ත්‍රිහේතුක ප්‍රතිසන්ධිලාභි ඔබ ජාතප්‍රඥාවෙන් යුතු ය. එහෙයින් කළ යුතු කුසල් අවබෝධයෙන් කළ හැකි ය. ඔබගේ පින්කමෙහි පූර්වචේතනාවත් - මුඤ්චන චේතනාවත්, අපරචේතනාවත් යන චිත්තසම්පත්තිය අකුසලයන්ට ග්‍රහණය වීමට ඉඩ නොදෙන්න. ත්‍රිවිධ කුසල මූලයන්ගෙන් ස්වයංපෝෂිත වන්න. එසේ වූයේ නම්, එය මහත්ඵල මහත්ආනිසංස ලැබෙන වටිනා කුසලයකි.

මේවෙසක් සමයේ බාල, මහලු තරාතිරම් භේදයක් නොමැතිව ඕනෑම අයෙකුගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පිනවන්නේ ය. අති ඉෂ්ටාරම්මණ සහිත අරමුණු මේ වෙසක් සමයේ අසන්ට දකින්ට ලැබේ. එහෙත් ඒ හේතුවෙන් උපදින සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත කුසල් නොපිරිහෙලා අඛණ්ඩව පවත්වා ගැනීමට නම් ඔබ කරන පින්කමෙහි ආනිසංස හොඳින් දැනගෙන සිටිය යුතු යි. යමෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ මල්, පලතුරු, භෝජන වැනි පූජාවන් සිදුකරන්නේ නම්, මල් ආදියෙහි නෙළීමේ පටන්, පූජාසනය දක්වා පියවරෙන් පියවරට සිහිනුවණින් එම කුසලය සිදු කළ යුතුයි. කුඩා මල් බඳුනක් පූජා කළත් ඒ වෙනුවෙන් යෙදූ සිත බලවත් බැවින් කල්ප ගණන් ලෞකික සුගති සම්පත් ලැබේ. එමෙන් ම එම කුසල් සිත් විදර්ශනා කරමින් ඇති කරගන්නා අවබෝධය ලෝකෝත්තර සැපය පිණිස ම ය. ලෞකික ආනිසංස සේ ම ලෝකෝත්තර මගඵල පිණිස වඩන කුසලය ඒකාන්තයෙන් පාරමිතාවක් වේ. එ බැවින් නුවණ වැඩෙන කුසලයක් සේ අවබෝධයෙන් ම කළ යුතු යි. කෙසේ නම් පාරමිතාවක් වන්නේ ද යත්, තමන්ට වඩා උසස් ගුණ ඇති උත්තමයන් උදෙසා කරන පූජාව පූජාබුද්ධියෙන් යුක්තව සිදු කිරීම දාන පාරමිතාවයි. තමන් සීලයක පිහිටා එම පූජාව සිදු කරන කල්හි සීල පාරමිතාවයි. ලෝභාදී අකුසල් යටපත් කරමින් පින්කමෙහි යෙදීම නෙක්ඛම්ම පාරමිතාවයි. කම්ඵල අදහා සිදුකිරීම ප්‍රඥා පාරමිතාවයි. උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් කුසල්සිත රැකගනිමින් පින්කමෙහි යෙදීම වීරිය පාරමිතාවයි. අවු, වැසි, මැසි මදුරු රෝගාබාධ ඉවසා දරාගෙන පින්කමෙහි යෙදීම ඛන්ති පාරමිතාවයි. තමන් කරන පින්කමෙන් ලැබෙන ආනිසංස හොඳින් විශ්වාස ඇතිව කිරීම සත්‍ය පාරමිතාවයි. කෙසේ හෝ මම පින්කම කළයුතු යැයි අධිෂ්ඨාන පූර්වාංගම සිත අධිෂ්ඨාන පාරමිතාවයි. පූජාව ලබන පක්ෂය කෙරෙහිත්, පූජාව දැක අනුමෝදන් වන්නවුන් කෙරෙහිත් පිහිටුවාගත් අසීමිත මෛත්‍රිය මෙත්තා පාරමිතාවයි. තමන් කළ කුසලය කෙරෙහි ඇලීමක්, ගැටීමක් නොමැතිව තත්‍රමජ්ඣත්තතා ගුණය වැඩෙන ආකාරයෙන් මධ්‍යස්ථාකාර සිතක් පවත්වාගැනීම උපේක්ඛා පාරමිතාවයි.
තව ද, පින්කමක් කිරීමේ දී උපදින ශ්‍රද්ධා ආදී පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන් සමබරව පවත්වාගත යුතු ය. කෙසේද යත්, යමෙක් බුදුරජාණන් වහන්සේට ආහාර පූජාවක් සිදු කරන්නේ නම්, පළමුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, එම පූජාවෙන් ජනිත වන ආනිසංස කෙරෙහිත් ඔබ තුළ ඇති විශ්වාසය ශ්‍රද්ධාවයි. එම කුසලය සමග නූපන් අකුසල් නූපදවා ගැනීමෙහිත්, උපන් අකුසල් ප්‍රහාණය කිරීමෙහිත් ලා වූ උත්සාහය හා නූපන් කුසල් උපදවා ගැනීමෙහිත්, උපන් කුසල් බලවත් කරගැනීමෙහිත් ලා වූ උත්සාහය වීර්යයයි. පූජාවේ මුල පටන් අග දක්වා පියවරෙන් පියවර බලපවත්නා අවධානය සතියයි. පින්කම සිදුකරන කාලය පුරාවට උපදින කාය, වාග්, මනෝ කර්ම සියල්ලක් ම අකුසල් ශක්තීන් තදංග වශයෙන් යටපත් කරමින් සන්තානයෙහි ඇතිවන ඒකාග්‍රතාවය සමාධියයි. කර්මඵල අදහාගෙන අවබෝධයෙන් යුක්තව පින්කමෙහි යෙදීම ප්‍රඥාවයි.
යමෙක් සිදු කරන ආමිස පූජාවක දී එය සකසුරුවම් ව කිරීම,තවත් කෙනෙකුට එහි හිඩැසක්, අඩුවක් පිරවීමට නො වන සේ කිරීම සක්කච්චකාරී ගුණයයි. කැප – අකැප යනාදීන් නුවණින් සලකා බලා පින්කමෙහි නිරතවීම ගුණය සාතච්ඡා කාරී ගුණයයි. සිදුකරන කුසල් පිළිබඳ සෑහීමකට පත් නොවී මට මදිය යන හැඟීමෙන් යුක්තව නැවත නැවත කුසල් රැස් කිරීම අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසු ගුණයයි. කෙලෙස් තවන වීර්යය ඇතිව පටන්ගත් විර්යයෙන් ම නිමාව දක්වා කුසල් සිදුකිරීමේ ප්‍රයත්නය අප්පටිවානිතා ච පධානස්මිං ගුණයයි. පින්කමෙහි ඇති වටිනාකම හොඳින් අවබෝධ කරගෙන තමන් ම සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත කුසල් වැඩෙන ආකාරයෙන් ම යෙදීම සයංකාර ගුණයයි. අන් අය කරන කුසල් දැක නුවණින් සිත පහදාගෙන අනුමෝදන් වීම පරංකාර ගුණයයි. සියතින් ම තම පින්කම කිරීම සාහත්ථික ගුණයයි. තවත් කෙනෙකු ලවා කරවීමේ කුසලය ආණත්තික නම් වේ. නුවණ වැඩෙන ආකාරයෙන් පින්කමෙහි යෙදීම සම්පජ්ඤ්ඤ ගුණයයි. යමෙක් නුවණින් තොරව සිදුකරයි නම් එය අසම්පජ්ඤ්ඤයි. ආණත්තික – අසම්පජඤ්ඤ වශයෙන් මුක්තව සිදුකරන්නා වූ කුසලය මහත්ඵල මහානිසංස ගෙන දේ.
සෘතු, භෝජන, පුද්ගල යන ත්‍රිවිධ සප්පාය සහිත, කල්‍යාණමිත්‍රයන් වාසය කරන පතිරූපදේසවාසී ගුණයත්, අතීතයේ කළ පින් ඇති පුබ්බේ ච කතපුඤ්ඤතා ගුණයත් සහිත ඤාණවන්ත තෙමේ ආත්ම සන්තානය දමනය කරගනු වස් සුදුසු කල්හි සිදු කරන තම පින්කම සියතින් චිත්තප්‍රසාදය ඇතිව, තම ගුණ උසස් කිරීම් – අන් අය ද හෙළා දැකීම් ආදියෙන් තොරව සියතින් සිදුකරන කුසලය නම් තම ආත්මය ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන නිවන් අවබෝධය පිණිස ම හේතු උපනිශ්‍රය වන්නේ ය.
“ආනන්දයනි මේ සාසනයෙහි යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ආමිසා දී කිසිවකින් සිදු කරන පූජාව මෙන් නොව, ධම්මානුධම්මපටිපන්නව ගරුකටයුතු මාර්ගයට පිළිපන් ව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදේ නම්, එම ප්‍රතිපත්ති තථාගතයන් වහන්සේට දක්වන්නා වූ, නියමාකාර වූ පරම වූ ගරුබුහුමන් දැක්වූවා වන්නේ ය. මෙසේ ලෞකික ප්‍රාර්ථනා ඇතිව සිදු කරන කුසලයන්ට වඩා කම්මක්ඛයගාමී වූ සොතාපත්ති අංගයන් පිරිවරාගත් ප්‍රතිපත්ති මාර්ගය පුරණය සියලු බුදුන් වහන්සේලාගේ දහම් අනුසාසනාවයි. ඇගයීමයි. එනම් ඒකායන නිර්වාණ මාර්ගය පෙන්වාදෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, මාර්ගය වැඩීමට හේතු වන පූර්වභාග පටිපදා විදර්ශනා ප්‍රතිසංයුක්ත ධර්මශ්‍රවණය, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් ප්‍රගුණ කරන යෝනිසො මනසිකාරය, නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අධිගමනය පිණිස වැඩිය යුතු සමථ – විදර්ශනා පිළිවෙත හෙවත්ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යන සෝතාපත්ත්‍යංග වැඩෙන ආකාරයට ඔබ වෙසක් සමයෙහි දී ආමිස පූජා අභිභවා ප්‍රතිපත්තියෙහි යෙදේ නම් එය ජීවමාන බුදුන් වහන්සේ සිටියා නම් සාදුකාර නංවමින් අනුමෝදන් වන අග්‍රගණ්‍ය පූජාව වනු ඒකාන්ත ය. මෙසේ අබෝධයෙන් පින් කරන්නට වෙර වඩත්වා!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X