වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

චෛත්‍ය හදන්න කියලා කව්ද කිව්වේ?

දැන් චෛත්‍ය හදන්න කියලා කව්ද කිව්වේ? බුදුහාමුදුරුවෝ කිව්වද එහෙම?

නෑ නේ?? අපිත් බෞද්ධ තමා ඒත් අපි නං අහලා නෑ එහෙම එකක්...

🟢
උපතින් බෞද්ධ වෙලත්, ඔයාලා නොදන්නවා වුනාට, චෛත්‍ය හදන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා.. පරිනිබ්බාණ සූත්‍රයේත්, ථූපාරහ කියන සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා චෛත්‍ය, එහෙම නැත්නම් ස්ථූප හදන්න කියලා..
🔴
මොනවද දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ එකේ???
--------------------------------------------------------
🟢
ආනන්දයෙනි, ස්ථූප තනවා පිදීමට සුදුසු මේ සිව් දෙනෙකි. ඒ කවර සිව් දෙනෙක් ද යත්;
(1). තථාගත අරහත් සම්මා සම්බුදුහු ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
(2). පසේ බුදු රජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.
(3). තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
(4). සක්විති රජු ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
------------------------------------------------------------------------
🔴
හදන්න සුදුසුයි කියලනේ තියෙන්නේ.. හදන්න කියලා නෑ නේ..
🟢
හදන්න කියලත් ඒ සූත්රයේම තියෙනවා.. මේ බලන්න..
---------------------------------------------------------------------
ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. ""සිව්මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේ ය.
යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.
---------------------------------------------------------------------
🔴
එහෙමද?? .. ඒත් ඉතින් මොකක් නිසාද චෛත්‍ය හදන්නේ? ඕවා හැදුවා කියලා දිව්‍යලෝකේ යන්න පුලුවන් ද? නිවන් දකින්න පුලුවන් ද?? ඕක නිකන් ගඩොල් ගොඩක් නේ..? බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියලා නෑ නේ??
🟢
ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා..
ඔව්.. දිව්‍ය ලෝකේ යන්නත් පුලුවන්, නිවන් දකින්නත් පුලුවන්.. පරිනිබ්බාණ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කලා..
---------------------------------------------------------------------
ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙත් ද?
මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මේ කරුණ නිසාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති...
---------------------------------------------------------------------
🔴
හරි ඉතින් චෛත්‍ය හදලා දිව්‍යලෝකේ යන්න පුලුවන් උනාට නිවන් දකින්න පුලුවන් ද? චෛත්‍ය හදලා නිවන් දැකපු අය ඉන්නවාද?
🟢
ස්ථූපයක් හදපු පිනෙන් නිවන් දකින්න පුලුවන්.. එහෙම රහතන් වහන්සේලා හුගාක් හිටියා.. ඛුද්දක නිකායේ, අපදාන පාළිය කියන කොටසේ ඒ විස්තර තියෙනවා.. "පුලින ථූපිය" කියන මහ රහතන් වහන්සේ නාරද කියලා තරුණයෙක්ව ඉන්න කාලේ වැලි වලින් ස්ථූපයක් හදලා ඒ පිනෙන් තමයි නිවන් දකින්නේ... ඊලගට පිළින්දවච්ච මහරහතන් වහන්සේත් පෙර ජිවිතයක චෛත්තියක් හදලා ඒ පිනෙන් තමයි නිවන් දකින්නේ.. එතකොට නාගසමාල,පභංකර, සුධා පිණ්ඩිය, සපරිවාරිය, උපවාන,කච්චායන කියන රහතන් වහන්සේලා අරහත්වයට පත්වෙන්න කර ගත්ත පින තමයි ස්ථූප හදන එක, ඒ ස්ථූප වලට පුද සත්කාර කරන එක..
🔴
එහෙමද? දැන් ඔය සූත්‍රයේම කියනවා නේ රහතන් වහන්සේලාගේ ස්ථූප හදන්න කියලා..
ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ රහතන් වහන්සේගේ චෛත්‍ය හදන්න එපැයි.. එහෙම හදලා නැ නේ??
🟢
ඇයි නැත්තේ.. බුදුරජාණන් වහන්සේගේ කාලෙම රහතන් වහන්සේලාගේ ස්ථූප හදලා තියෙනවා..
"භාහිය දාරුචීරිය" කියන රහතන් වහන්සේගේ දේහය ආදාහනය කරලා ස්ථූපයක් හදන්න කියලා බුදුරජාණන් වහන්සේම වදාලා.. ඛුද්දක නිකායේ "බාහිය සූත්‍රයේ" මේ විස්තරේ තියෙනවා..
🔴
එහෙමද..අපි ඕවා දැනන් හිටියේ නෑ නේ..
හරි.. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා චෛත්‍ය හදන්න කියලා.. ෙචෙත්‍ය හැදුවම දිව්‍යලෝකේ යන්නත් පුලුවන්, නිවන් දකින්නත් පුලුවන්.. ඒ ඔක්කොම හරි.. ඒත් ඇයි මේ හැම තැනම චෛත්‍ය හදන්නේ.???
එකක් හැදුවනං ඉවරයි නේ.. බුදුහාමුදුරුවෝ කියලා නෑ නේ චෛත්‍ය ගොඩක් හදන්න කියලා??
🟢
ඇත්තටම එක ස්ථූපයක් විතරක් හදපු බුද්ධ සාසනයත් තිබ්බා.. ඒත් අපේ බුදුරජාණන් වහන්සේ අනුසාසනා කලා, දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ ස්ථූප හදන්න කියලා..
ඒකට හේතුවක් තියෙනවා..
අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ ඉතා කෙටියි.. අවුරුදු 80යි..
හැබැයි මීට පෙර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ඉතා දිගයි..
කාශ්‍රප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වෙනවා..
වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ කලේ ආයුෂ 60,000 ක්..
ඉතින් ඒ කාල වල බුද්ධ සාසනය බොහෝ ප්රදේශවල පැතිරෙනවා..බොහෝ පිරිස් ධර්මය අවබෝධ කරනවා..
ඒ අවුරුදු දීර්ඝ කාලය ඇතුලේ ධර්මයෙන් ප්රයෝජනය ලබා ගන්න අය ප්රයෝජනය ගෙන අවසන් වෙනවා...
ඒ නිසාම හැමතැනම බුදුරජාණන් වහන්සේගේ ස්ථූප තනවන්නේ නෑ.. තනවන්නේ එකම එක ස්ථූපයක් විතරයි.
කාෂ්යප බුදුරජාණන් වහන්සේගේ ශ්රී දේහය ඒකඝන බවට පත්වෙලා ඒ ශ්‍රී දේහය තැන්පත් කරලා, එකම එක රත්තරං සෑයක් හදනවා.. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ "ඝටිකාර" සුත්‍රයේ වදාලා..
හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ ඉතා කෙටියි..ඒ කාලේ පරම ආයුෂ 120යි.
ඒක නිසා බොහෝ ප්‍රදේශවල ධර්මය ව්‍යාප්ත වුනේ නෑ.. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් තව බොහෝ පිරිසක් හිටියා ධර්මය අවබෝධ කරන්න පුලුවන් අය.. අන්න ඒ හේතුව නිසාම අපේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවම ශ්‍රී දේහය කාෂ්යප බුදුරජාණන් වහන්සේගේ වගේ තනි දේහයක් බවට පත් වෙන්නේ නෑ.. දාතූන් වහන්සේලා තැන්පත් කරලා එක ස්ථූපයක් විතරක් හදන්නේ නෑ..
අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම ඉර්ධියක් කරනවා තමන්ගේ දේහයේ සියලු අස්ථි, කුඩා ධාතුන් වහන්සේලා බවට විසිරෙන්න කියලා.. එහෙම කරන්නේ.. ගමක් ගමක් ගානේ ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා ස්ථූප හදලා අහිංසක මිනිස්සුන්ට පින් රැස් කරගැනීමේ අදහසින්.. පිං කරගෙන සසර දුකින් නිදහස් වීමේ අදහසින්..
අන්න ඒකයි අදටත් ලංකාව පුරා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්ථූප ඉදිකරන්නේ..
අශෝක රජතුමා ස්ථූප 840000 ක් හදනවා ඉන්දියාවේ.. ලංකාවේ රජවරු පවා ගමක් ගමක් ගානේ ස්ථූප ඉදිකලා.. අපේ අවාසනාවට අද ඒවගේ සලකුණක් වත් නෑ..
දැන් බලන්න රුවන්වැලි සෑය, ජේතවනාරාමය,මිරිසසැටිය, ථූපාරාමය හදලා තියෙන්නේ එකකට එකක් පේන දුරින්.. ඒ කලේ රජවරුවත්, මිනිස්සුවත් බැන බැන හිටියේ නැ. හැම තැනම චෛත්‍ය හදනවා කියලා.. ශ්‍රද්ධාවෙන් ඒවා හැදුවා.. වන්දනා කලා.. ඒක නිසාම ඒ කාලේ අපේ රට හුගාක් දියුණු රටක් වුනා..
🔴
ඉතින් ඔය හැම චෛත්‍යයකටම ඔච්චර ධාතුන් වහන්සේලා කොහෙන්ද?
🟢
බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කලානේ ධාතුන් වහ්න්සේලා විසිරෙන්න කියලා.. එතකොට ලලාඨ ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ ලා දෙනම, ග්‍රීවා ධාතුන් වහන්සේ, සතර දන්ත ධාතුන් වහන්සේලා හැරෙන්න්ට අනෙක් සියලු අස්ථි කොටස් කුඩා ධාතූන් වහන්සේලා විදියට වෙන් වුනා..
මුං පියලි ප්‍රමාණයේ නැලි 5ක්,
කඩ සහල් ප්‍රමාණයේ නැලි 5ක්
සහ අබ ඇට ප්‍රමාණයේ න් නැළි 6ක්
විදියටයි මේ ධාතුන් වහන්සේලා වෙන් වුනේ..
ඔය නැළි 16න් නැළි 2 ක ප්‍රමාණයක් රුවන්වැලි සෑයේ වැඩ ඉන්නවා.. එතකොට ඉතුරු නැලි 14 ධාතුන් වහන්සේලා කොච්චර ඇත්ද?
අපි නිකමට හිතමු නැළියක් කියන්නේ හාල් මනින හුණ්ඩු හතරක් කියලා.. ඒ හතරකට අබ ඇට දැම්මොත් අබ ඇට කොච්චර තියෙයි ද කියලා හිතන්නවත් පුලුවන් ද?

හුණ්ඩු 4ක අබ ඇට 1000ක් තිබ්බත් 6 ක තියෙනවා 6000ක්.. එතකොට කඩසහල් ප්‍රමාණයේ සහ මුං පියලි ප්‍රමාණයේ ඒවත් කොයි තරම් ඇත්ද? ඔබට ඒ ගාන හිතා ගන්නවත් බෑ..
ඇත්තටම දැන් ස්ථූපවල තියෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය බැලුවොත් ඊට වඩා සිය ගුණයක විතර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් කොහේ හරි සැගවිලා ඇති..
🔴
බලන් ගියාම, උපතින් බෞද්ධ උනත් අපි බුද්ධ සාසනේ ගැන මෙලෝ දෙයක් දැනන් ඉදලා නෑ නේ..
ඇත්තටම ඔය විස්තර අපි කලින් අහලා තිබ්බේ නෑ.. පුදුම හිතෙනවා අහනකොට.. මිනිස්සු කාගේ හරි බොරුවක් අහලා කොයිතරම් නං පව් පුරව ගන්නවද?
🟢
ඔව්.. මිනිස්සු නොදන්නා කම නිසාම පව් පුරව ගන්නවා.. හැබැයි එහෙම කියලා විපාක වල අඩුවක් නෑ... නොදැන කරන පවේ විපාක වැඩියි.. කවුරුත් කියන ඒවා අහන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මොකක් ද කියලා හොයලා බලන්න..
🔴
ඔව්.. ඔබ හරි.. නමට විතරක් බෞද්ධ කියලා කියන අය කියන ඒවා අහලා මං ආයේත් පව් කර ගන්නේ නෑ.. උපතින් බෞද්ධයෙක් හැටියට මං බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක් ද කියලා හොයලා බලනවා.. රටේ කොහේ හරි හැදෙන ස්ථූපයකට මං උපස්ථාන කරනවා.. ඒ පිනෙන් මං දවසක සසර දුකින් නිදහස් වෙනවා..


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X