නිවැරදි ගාථා සජ්ඣායනා හා උච්චාරණ ක්‍රමය
කැලණිය දළුගම්ගොඩ ත්‍රිපිටක
අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ,
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ
අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය, මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
බුදුදහම මූලික කොටගත් ථේරවාදී බෞද්ධ රටවල නොයෙක් ආගමික වතාවත් සහ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවලදී පාලි භාෂාවෙන් පබැඳුණු ගාථා සහ පාඨ යොදා ගනු ලබන බව අපි දනිමු. ශ්‍රී ලංකාවෙහි ද බෞද්ධ ජනයා අලුයම අවදි වූ තැන් සිට නින්දට යන තෙක්ම පන්සිල් සමාදන්වීම්, තුනුරුවන් නැමදීම, මව්පිය වැඩිහිටි ආදීන් වැඳීම ආදී සද් ක්‍රියාවන්හි දී මෙන්ම වන්දන මාන හා පුද පූජා විධීන් පැවැත්විම් ආදී ආගමික කටයුතුවලදී මෙකී ගාථා හා පාඨ සජ්ඣායනා කරති. මේ හැරුණු විට රැස්වීම්, උත්සව, විවිධ ශුභ කටයුතු හා රාජකාරී කටයුතු යනාදිය ආරම්භ කෙරෙන අවස්ථාවල දී ද ආගම මෙනෙහි කිරීමට පුරුදු වී සිටීම පුරාතනයෙහි සිට ශ්‍රී ලාංකිකයන් තුළ පැවති යහපත් ගුණයකි. ආගම මූලික කොට කෙරෙන මෙබඳු සියලු කර්තව්‍යයන්හිදී පාලි මාධ්‍යයෙන් රචිත ගද්‍ය පද්‍ය පාඨ පෞද්ගලිකව හෝ සාමූහිකව සජ්ඣායනා කිරීමට ඔවුහු පි‍්‍රය කරති. මේවා පාලියෙන් ම කීම වඩාත් ඵලදායක බව ඔවුන් විසින් තීරණය කරනුයේ ඒවා අර්ථ පූර්ණව මෙන්ම ගණ පිහිටුවා අක්ෂර ශක්ති ගන්වා පබැඳ ඇති බව මැනවින් දැන සිටි හෙයිනි. අප විසින් භාවිත කරනු ලබන පාලි ගද්‍ය පද්‍ය පාඨ නිවැරදිව ලිවීම මෙන්ම උච්චාරණය කිරීම අතශ්‍යවශ්‍ය කරුණක් වේ. ඊට හේතුව පාලියේ තනි එක අක්ෂරයකින් පවා කිසියම් අර්ථයක් බිහිවීමේ ශක්තියක් ඇති හෙයිනි. එනිසාම වැරදි ලෙස ලියනු ලබන අක්රෂයෙන් මෙන්ම වැරදි උච්චාරණයෙන් ද වැරදි අර්ථ බිහි වේ. තුනුරුවන් වැඳීම, මව්පිය වැඩිහිටි ආදීන්ට වැඳීම, බෝධිය චෛත්‍යය ආදී පූජනීය ස්ථාන වන්දන මාන කිරීම, බෝධි පූජා, පිරිත් දේශනා ආදියේ දී අක්ෂර නිසි පරිදි උච්චාරණය කිරීම එයින් ලැබෙන ආනිසංශ ද නිසි පරිදි මෙන්ම උසස් අයුරින් ලබා ගැනීමට උපකාර වේ.
වැරදි උච්චාරණය
පාලි භාෂාවේ තනි අක්ෂරයක් වුවද අර්ථයක් ජනනය වේ. ක (ජලය, ඛ (අහස), ච (ද) මා (එපා, න ( නොවේ), දු, (දෙක) ති (තුන), තෙ (ඔවුහු) යනාදි අනේකවිධ නිදසුන් මේ සඳහා දැක්විය හැකිය. භාෂාවක පදයක් සෑදෙනුයේ අකුරු කීපයක් එකතුවීමෙනි. එබැවින් පදයක එක අකුරක් වෙනස් වුවහොත් එයින් අර්ථය වෙනස් වේ. නිදසුනක් ලෙස සුඛං (නිබ්බාණං පරමං සුඛං) පාලි වචනයෙහි අර්ථය වන්නේ සැප යන්නයි. මෙහි මහප්‍රාණාක්ෂරය වෙනුවට අල්පප්‍රාණාක්ෂරය යොදා "සුකං" යැයි උච්චාරණය කළහොත් එයින් ගිරවා යන අර්ථය ලැබේ. එසේම මුල් අක්ෂරය වන "සු" යන්න දීර්ඝ ලෙස යොදා සූකං යැයි උච්චාරණය කළහොත් එයින් වී පොතු යන අරුත ලැබේ. මේ නිසා උච්චාරණය පද බෙදීම් ආදිය කෙරෙහි නිවැරදි වීම අවශ්‍යය. එකී නිවැරදි බව ආරක්ෂා වන්නේ එම පාලි පාඨවල අර්ථය දන්නේ නම් පමණකි. මේ නිසා වන්දනා ගාථා, පිරිත් සජ්ඣායනා ආදියෙහි මෙන්ම පාලි වැකි සහිත දැන්වීම් පුවරු, පත්‍රිකා ආදියෙහි නිවැරදි පාලි පාඨ යෙදීම හා උච්චාරණය ද සැලකිල්ලෙන් සිදු කළ යුත්තක් වේ.
පඤ්චශීල ශික්ෂාපදවල හමුවන කාමෙසු මිච්ඡාචාරා වෙරමණී යැයි කිවයුත්ත කාමෙ සුමිච්ඡාචාරා වෙරමණී හෝ කාමෙසු මිච්චාචාරා වෙරමණී යැයි හෝ භාවිත කිරීමෙන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යන තේරුම නො ලැබේ. මෙසේම සුරාමෙරය, මජ්ජපමාදට්ඨානා යන්න සුරාමෙරය මජ්ඣපමාදට්ඨානා යනුවෙන් අක්ෂර දෝෂ සහිතව යෙදීමෙන් ද අර්ථය වැනසේ. තවද නව අරහාදී බුදුගුණ දැක්වෙන පාඨයෙහි ඉතිපි සො යන්න ඉතිබිසො යනුවෙන් ද පුරිසදම්මසාරථි (දමනය කළයුතු පුරුෂයන්) දමනය කිරීමෙහි රියදුරෙකු වූ) යන්න පුරිසධම්මසාරථි යනුවෙන්ද සත්ථා දෙවමනුස්සානං (දෙව් මිනිසුන්ට ශාස්තෘවරයෙකු වූ) යන්න සත්තා දෙවමනුස්සානං (දෙව් මිනිසුන්ට සත්වයෝ වූ) ලෙසත් වැරදියට උච්චාරණය කෙරෙන අවස්ථා අපි දකිමු. කුසුමසන්තතිං යැයි කිවයුත්ත කුසුමසන්තොසිං යනුවෙන් ද කායෙ ජිගුච්ඡො යන්න කායෙ චිගුච්චො යනුවෙන් ද කීමත් එබඳු ය. මෙබඳු තැන්වල දක්නට ලැබෙනුයේ අක්ෂර වැරදි ලෙස භාවිත කිරීමයි. මෙබඳු පාලි පාඨ විශේෂයෙන්ම යොදා ගනු ලබනුයේ නමස්කාරයක්, ආශීර්වාදයක් හෝ ප්‍රාර්ථනාවක් හෝ කිරීම සඳහා ය. මෙම පාඨ උච්චාරණය කරන්නා තුළ ශක්තිමත් මානසික ප්‍රාර්ථනාවක් ඇත්තේ වී නමුත් වාචසික ප්‍රාර්ථනාවද එපමණටම නිවැරදි හා ශක්තිමත් වීම මහත්ඵල උදාකරන්නේ වේ.
සොත්ථි තෙ හොතු සබ්බදා යන්නෙහි තේරුම ඔබට සැමදා යහපතක් වේවා යන්නයි. මෙහි යහපත යන අදහස දීමට යෙදූ පාලි වචනය වන්නේ සොත්ථි යන්නයි. මෙය සොත්ති යනුවෙන් වැරදියට ලියන සහ කියන අවස්ථා ද අප දැක ඇත. සොත්ති යන්නෙහි තේරුම ඇඟ උලන කොස්ස යන්නයි. එබැවින් වැරදි අක්ෂර භාවිතයම විෂම අදහසක් උපදවයි. අරුත් නොදැන යොදනු ලබන වැරදි පද භාවිතය ද එමෙන්ම බලවත් වරදකි. පහත දැක්වෙන ගාථාව බලන්න.
නක්ඛත්තයක්ඛභූතානං - පාපග්ගහනිවාරණා
පරිත්තස්සානුභාවෙන – හන්තු තෙසං උපද්දවෙ
පරිත්තස්ස ආනුභාවෙන – පිරිතෙහි ආනුභාවයෙන්, නක්ඛත්තයක්ඛභූතානං - නක්ෂත්‍ර (තාරකා) යක්ෂ, භුතයන්ගේ ද, පාපග්ගහනිවාරණා - පාප ග්‍රහයන්ගේ වැළැක්වීමෙන් ද, තෙසං - ඔවුන්ගේ, උපද්දවෙ උවදුරු, හන්තු – නැසේවා යනු එහි පදගතාර්ථයයි.
මෙම ගාථාව සජ්ඣායනයේ දී "හන්තු" යන පදය වෙනුවට "හොන්තු" යන්න යොදා හොන්තු තෙසං උපද්දවෙ යනුවෙන් සදොස් ලෙස උච්චාරණය කෙරෙන අවස්ථා ඔබ අසා ඇත. එවිට එයින් වන්නේ ඔවුන්ට උවදුරු වේවා යන නපුරු ප්‍රාර්ථනයයි.
වැරදි පද බෙදීම්
සිංහල භාෂාවේ වැරදි ලෙස පද බෙදා උච්චාරණය කිරීමෙන් වැරදි අදහස් සන්නිවේදනය වන ආකාරය ගැන ඔබ අසා ඇත. බෙනේක නයෙක් යන්න වැරදියට පද බෙදා උච්චාරණය කළහොත් බෙනේ කනයෙක් වන බවත් ලෙඩාගේ දකුණු කකුල යන්න ලෙඩාගේ ද කුණු කකුල විය හැකි බවත් ඔබ අසා ඇත. එමෙන් පාලි පාඨ සජ්ඣායනා කිරීමේ දී ද නිසි තැන්හි යතිය, විරාමය හෙවත් නැවතීම සිදු නො කිරීමෙන් වැරදි පද බෙදීම් ද ඇතිවේ. එනිසා ද අර්ථයට හානි සිදු වේ. පහත දැක්වෙනුයේ එබඳු සදොස් වූ පද බෙදීම් සහිත යෙදුම් කීපයකි. වරහන් තුළ ඇත්තේ නිවැරදි භාවිතයයි.
කාමෙ සුමිච්ඡාචාරා (කාමෙසු මිච්ඡාචාරා)
අධිවාසෙ තුනො භන්තෙ ( අධිවාසෙතු නො භන්තෙ )
සබ්බඨානෙ සුපතිට්ඨිතං (සබ්බඨානෙසු පතිට්ඨිතං)
පුඤ්ඤෙන මෙතෙ නච හොතු මොක්ඛං ( පුඤ්ඤෙන මෙතෙන ච හොතු මොක්ඛං)
දෙවානා ගාමහිද්ධිකා (දෙවා නාගා මහිද්ධිකා)
යො වද තං පව රොමනු ජෙසු (යො වදතං පවරො මනුජෙසු)
එදිනෙදා ජීවිතයේ දී යොදාගනු ලබන මෙබඳු පාලි ගද්‍ය පද්‍ය පාඨ කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආ ඒවා ය. භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැතිව ඒවා වෙනස් කිරීමට උත්සාහ නොදැරිය යුතු ය. නිදසුනක් ලෙස මවට වැඳීම සඳහා භාවිත කරනු ලබන ගාථාව ගත හැකි ය. එහි දසමාසෙ උරෙ කත්වා යන්නෙහි තේරුම දසමසක් කුසෙහි දරා යන්නයි. උර යන්නෙහි තේරුම කුස නොව උර හිස හෝ ළය බව සිතන ඇතැම්හු මෙම ගාථා පාදයේ උර යන්න වෙනුවට උදර යන පදය යොදා දසමාසමුදරෙ කත්වා යනුවෙන් වෙනස් කරති. එහෙත් උර යන පදය පාලි සංස්කෘත භාෂාවල කුස හෙවත් උදරය යන අරුතින් ද භාවිත වේ. තමාගෙන්ම උපන් පුතා හැඳින්වීමට පාලියෙහි යෙදෙන ඔරස (ඖරස) යන පදය සලකා බැලීමෙන් මෙය පැහැදිලි කරගත හැකිය. උරසා ජාතො ඔරසො යනුවෙන් එය නිර්වචනය වේ. මවකගේ කුසෙහි දරුවෙකු වැඩෙනුයේ ආහාර පැසවන්නාක් මෙන් කුස පමණක් ආධාරකොටගෙන නොවේ. කුස මෙන්ම ළය හෙවත් හදවතත් ආධාර කොටගෙනය. එබැවින් එහිලා දරුවෙකු පිළිසිඳ ගන්නා මවගේ කුසෙහි යන්න හැඳින්වීමට වඩාත් යෝග්‍ය වචනය වන්නේ උරෙ කත්වා යන්නයි. එය පැරණි යතිවරුන් විසින් ගැඹුරු නුවණින් සලකා පාලියට අනුරූපී ලෙස යෙදූ ප්‍රයෝගයකි. දෛනික ජීවිතයේ දී භාවිතයට ගැනෙන මෙබඳු ඇතැම් ගද්‍ය පද්‍ය පාඨ වෙනස් නොකොට භාවිත කිරීම සුදුසු වන්නේ වරදක් නොමැති නිසා මෙන්ම කාලාන්තරයක් සමාජගතවී තහවුරු වී ඇති නිසාත් අර්ථමය ගැඹුරක් ඊට ආරූඪ වී ඇති නිසාත් ය. වරක් මුහුදු ගිය නැවක් දියෙහි ගිලීමෙන් බොහෝ ජනයා මියගිය බවත් එක් උපාසිකාවක් සතිපට්ඨානය කීමට පටන් ගත් බවත් බණ කතාවක දැක්වේ. එය ඇසූ දේවතාවෙක් බොහෝ කලකින් නිවැරදි ලෙස සජ්ඣායනා කරනු ලබන සතිපට්ඨාන සූත්‍රය අසා ඈ කෙරෙහි ප්‍රසන්නව ඇයව මරණින් බේරාගත් බව එහි සඳහන් වේ. එබැවින් අප ද උසස් අරමුණු සහිතව කෙරෙන වන්දනා ගාථා ආදියෙහි දී නිවැරදිව ඒවා සජ්ඣායනා කිරීමට පුරුදු විය යුතු ය.
ගාථාවල අරුත නොදැනීමෙන් පින අඩු නොවේ
බෞද්ධයෝ තම නිවෙස්වල වෙන් කර ගත් යම් ස්ථානයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කොට දින පතා මල් පහන් ආදිය පූජා කරමින් බුදුන් වඳිති. ඇතැමෙක් උදේ දහවල ආහාර සහිත බුද්ධ පූජාව ද සන්ධ්‍යා කාලයේ ගිලන්පස සහිත බුද්ධ පූජාව ද සිදු කරති.
කෙනෙක් පසළොස්වක පොහෝ දින හෝ වෙන යම් දිනක දී හෝ පන්සලකට ගොස් බුද්ධ වන්දනාව කරති. කෙසේ වුවත් සෑම බෞද්ධයෙකු ම බුද්ධ වන්දනාව සිදු කළ යුත්තේ ය. මක් නිසා ද යත් අධ්‍යාත්මික පාරිශුද්ධිය පිණිස ඉවහල් වන ශීලයේ අංගයක් වශයෙන් පුරාණයේ සිට බුද්ධ වන්දනාව පවත්නා බැවිනි. එම නිසා බුදුන් වැඳීම මහත් පිනකි. කුශලයකි, දරුණු සිත් මෘදු කරන සුළුය. සෑම දෙනාගේ මෙත්සිත් වඩවන සුළුය. ගාථා, කවි, ගද්‍ය පාඨ ලයාන්විතව හඬ නඟා කියමින් අසීමිත ශ්‍රද්ධාවකින් බුදුන් වඳිති. එහෙත් වන්දනා කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙල හෝ කියයුතු ගාථා පිළිබඳ යම් යම් මත භේද බෞද්ධයා අතර පවතියි. ඒවා දුරුකරමින් සිත් පහන් වන සේ, පින් අත්පත් වන සේ බුද්ධ වන්දනා කිරීම පිණිස අදාළ වන පරිදි මෙම ලිපිය සැපයේ.
සාමාන්‍යයෙන් ගෙදර දොරේ දී බුද්ධ වන්දනාවට පෙර සියලු දෙනා මුහුණ සේදීම් ආදී වශයෙන් පිරිසිදු වී, ප්‍රතිමා වහන්සේ තැන්පත් කොට ඇති ස්ථානය ද පිරිසිදු කොට පූජා ද්‍රව්‍ය තැන්පත් කොට සාමූහිකව සුදුසු ගාථා කියමින් බුදුන් වැඳීමට හැකිය.
වැඳීම ක්‍රම සතරකි. දණින් ඉඳ හිසනමා දොහොත් මුදුන් දී වැඳීම, මෙය “උක්කුටුක” නම් වේ. හිටගෙන හිස නමා වැඳීම “අංජලී නමස්කාරය” නම් වේ. බිම මුනින් දිගාවී වැඳීම “දණ්ඩ නමස්කාරය” යි. අත් දෙක, දණ දෙක, හිස යන අවයව පහ බිම පිහිටුවා නමස්කාර කිරීම “පසඟ පිහිටුවා වැඳීමයි”. මේවා පුරාණයේ සිට පවත්නා වන්දනා කිරීමේ ක්‍රමයි. කෙසේ වුවත් කායික වශයෙන් ඉතා සංවරව දොහොත් මුදුන් (දෑත ඔසවා, අත්ල බොකුටු කොට නළලේ තබා) ඔබට පහසු ඉරියව්වකින් සිටිමින් වන්ඳනා කිරීම වරදක් නොවේ. එසේ කිරීම පිනට බාධාවක් නොවන බව සැලකුව මනාය. කෙනෙකුට කායික දුර්වලතා නිසා දොහොත් මුදුන් දී වන්දනා කිරීමට නොහැකි නම් පහසු ක්‍රමයකින් ගාථා සඡාඣායනා කිරීම මැනවි.
පාලි ගාථාවල හෝ පාඨවල අර්ථ නොදැනීම පින අඩුවීමට හේතුවක් ද නොවේ. මක් නිසාද යත් අපි ඒ ඒ පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමේ ගාථාවල අරුත් නොදන්නවා වුවත් අසවල් දේ පූජා කිරීමේ ගාථාව මෙයැයි දන්නා බැවිනි. නිදසුනක් වශයෙන් මල් පූජා කිරීමේ ගාථාව “පූජේමි බුද්ධං කුසුමේන නේන…” යනා දී වශයෙන් දැන ගන්නාක් මෙනි. එකම පූජා ද්‍රව්ය පූජා කිරීමට විවිධ ගාථා තිබේ. එබැවින් ඔබටම කටපාඩම් ගාථාවක් කීමෙන් පූජා කළ හැකියි. එසේ නොදන්නේ නම් කටට හුරු වෙන තුරු පොතක් බලමින් ගාථා කියමින් වන්දනා කළ හැකි ය.
නිවසේ දී දිනපතා ඔබ බුදුන් වැඳීමේ දී පෙරවරු කාලයේ ආහාර පූජා කිරීම හෝ සිදු නොකිරීම අඩුවක් හෝ වරදක් හෝ පවක් හෝ නොවේ. යමෙක් එසේ කරන්නේ නම් යහපත්ය. කෙසේ වුවත් දිනපතා අවම වශයෙන් දිනකට පෙරවරු කාලයේ හෝ සන්ධ්‍යා කාලයේ හෝ මල් ටිකක්, පැන් ටිකක් පූජා කොට හෝ බුද්ධ වන්දනාවට පුරුදු වන්නේ නම් ඔබේ දිවි මඟට මහත් ආශිර්වාදයක් මෙන් ම කුශලයක් ද ඉන් අත්පත් වන්නේය.
විහාරස්ථානයකදී බුදුන් වඳින විට පිළිවලින් ත්‍රිවිධ චෛත්‍යයයන් වන්දනා කළ යුතුයි. ශාරීරික, පාරිභෝගික, උද්දේසික යනු ත්‍රිවිධ වෛත්‍යයෝ ය. ශාරීරික චෛත්‍යය යනු චෛත්‍යය (වෙහෙර ) රාජයාණන් ය. බෝධීන් වහන්සේ පාරිභෝගික චෛත්‍යයයි. උද්දේසික චෛත්‍යය යනු ප්‍රතිමා වහන්සේලා ය.
(අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ)
චෛත්‍ය තුන
ශාරීරික - ධාතූන් වහන්සේලා
පාරිභෝගික - බෝධීන් වහන්සේ
උද්දේශික - බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදි කරන ලද බුද්ධ ප්‍රතිමා
නමස්කාරය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ( මෙය තුන් වරක් කියන්න )
තෙරුවන් සරණ යාම
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පන්සිල් සමාදන් වීම
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
බුදුගුණ සිහි කිරීම
ඉතිපි සෝ භගවා අරහං – සම්මාසම්බුද්ධෝ – විජ්ජාචරණසම්පන්නෝ – සුගතෝ – ලෝකවිදූ – අනුත්තරෝ පුරිසදම්මසාරථී – සත්ථා – දේව – මනුස්සානං – බුද්ධෝ භගවාති.
දහම්ගුණ සිහි කීරීම
ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ – සන්දිට්ඨිකෝ – අකාලිකෝ – ඒහි පස්සිකෝ – ඕපනයිකෝ – පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි
සඟගුණ සිහි කිරීම
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ – උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ – ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ – සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ – යදිදං චත්තාරි පුරිසයුගානි – අට්ඨපුරිස පුග්ගලා – ඒස භගවතෝ සාවකසංඝෝ – ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො – දක්ඛිණෙය්‍යො – අඤ්ජලිකරණීයෝ – අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස
චෛත්‍ය වන්දනාව
වන්දාමි චෙතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධීං
බුද්ධරූපං සකලං සදා
බෝධි වන්දනාව
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකාඅ
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධි පාදං
ඉමේ ඒතේ මහාබෝධී – ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි – බෝධි රාජා නමත්ථුතේ
ඉන්ද්‍රනීල වණනපත්ත සේත ඛන්ධ භාසුරං
සත්ථු නෙත්ත පංකජා හි පූජිතග්ග සාතදං
අග්ගබෝධි නාම වාම දේව රුක්ඛ සන්නිභං
තං විසාල බෝධි පදපං නමාමි සබ්බදා
පහන් පූජාව
ඝනසාරප්ප දිත්තේන – දීපෙන තම ධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං – පූජයාමි තමෝනුදං
පහන් පූජාවේ අනුසස්
“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.
අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.
පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ ...
කල්ප ලක්ෂ්‍යයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමය වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේ පෝය දිනයක එක් බෝධි වෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝ රුකට වැඳගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක් නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්යයක් දක්වන සේක්වා. මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතුවාය. එකෙණෙහි බෝ රුක දිලිසිණ. සියලු බෝ රුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණ. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මිල විසුවාය. සත්වන දින රාත්‍රියෙහි පූජාසනය මත පහන් දහසක් දැල්වූවා ය. ඒ පහන් පසු දින ඉර උදාවන තෙක්ම දැල්විණ.
පසු කාලයේ ඕ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුනක් උස තිස් යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගණනක් නැති පහන් දැල්වෙන්නේ ය. ඇයට දක්නට කැමති උඩ යට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්නේ ය. ගස්වලින් පර්වතවලින් ඇයට ආවරණයක් නොවන්නේ ය. ඒ පිනෙන් ම ඕ අසූවරක දෙව්‍රදුන්ගේ බිසව වූවාය. සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑමතැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විඳ අන්තිම ජාතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් අවුරුදු වියෙහිම ඕ උපසම්පදාව ද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.
සතසහස්සිතො කප්පෙ යං දීපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.
මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම් ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියකට නො පැමිණියෙමි. මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තේරුම ය.
සුවඳ දුම් පූජාව
ගන්ධ සම්භාර යුත්තේන – ධූපෙනාහං සුගන්ධිනා
පූජයේ පූජනීයං තං – පූජා භාජන මුත්තමං
සුගන්ධිකාය වදනං – අනන්ත ගුණ ගන්ධිනං
සුගන්ධිනා හං ගන්ධේන – පූජයාමී තථාගතං
සුවද පූජාවේ අනුසස්.
දුමක් වශයෙන්ද, වතුරක්, තෙලක්, කල්කයක්, චූර්ණයක් වශයෙන්ද සුවද පූජාකළ හැකිය. සදුන්, කපුරු, මල් ආදී සුවද ඇති දවයන්ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවද පූජාවේ විශේෂ ආනිසංසයක් වශයෙන් කිව යුත්තේ උපනුපන් ජාතියේ අනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.
සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවද දුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතෙයෙහි බොහෝ සැප ලබා අප බුදුරජානන් වහන්සේ වැඩවිසූ කාලයෙහි මිනිස්ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිවුපිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණියේ උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.
"යං යං යෝනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං
සබ්බේසම්පි පියො හෝමි ධූපදානස්සිදං ඵලං
චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා
දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵ්ලං.
මේ ධූපදායක රහතන් වහන්සේගේ ප්‍රකාශනයකි.
මම යම් යම් ජාතියක උපන්නෙම්ද දෙවිවූ ද මිනිස්වූ ද සෑම ජාතියේම සැමටම ප්‍රිය වූවෙමි, එය ධූපදානයේ ඵලයය. මේ කපෙන් සිවුඅනූවන කපෙහි යම් ධූපදානයක් කෙලෙම්ද එතැන් පටන් මේ වනතෙක් දුර්ගතියට නොගියෙමි. මේ ධූපදානයේ ඵලයය යනු එහි තේරුමය.
(ආපදානපාළියෙන්)
අළු දුහුවිලි ආදී පරිසරය අපවිත්‍ර වන ද්‍රව්‍ය වලින් තොරව සුවඳ ඇති කළ හැකිනම් එය වඩා යෝග්‍යය.
සුවඳ දුම් පූජා කිරීමේ වන්දනා ගාථා
සුගන්ධිකාය වදනං – අනන්ත ගුණ ගන්ධිනං
සුගන්ධිනා හං ගන්ධේන – පූජයාමී තථාගතං
ගන්ධ සම්භාර යුත්තේන ධූපේනාහං සුගන්ධිනා
පූජයේ පූජනෙය්‍යන්තං පූජාභාජන මුත්තමං
සුවඳ රැසකින් යුතු මේ දුමෙන්, පූජනීය වූ, පරම පූජ්‍ය වූ බුදුරජාණන් වහන්සේ පුදමි.
මල් පූජාව
වණ්ණ ගන්ධ ගුණේපේතං
ඒතං කුසුම සන්තතිං
පූජයාමී මුනින්දස්ස
සිරීපද සරෝරුහේ
පූජේමි බුද්ධං කුසුමේනනේන
පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං
කායෝ ත්ථා යාත් විනාසභාවං
පැන් පූජාව
අධිවාසේතු නෝ භන්තේ – පානීයං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පත්ගණහාතුමුත්තම
ආහාර පූජාව
අධිවාසේතු නෝ භන්තේ – භෝජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතුමුත්තම
ගිලන්පස පූජාව
අධිවාසේතු නෝ භන්තේ – ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතුමුත්තම
දැහැත් පූජාව
නාගවල්ලී දලූපේතං – චුණ්ණ පූග සමායුතං
තාම්බූලං පත්ගණ්හාතු – සතං පූජේමිදං ජිනො
ක්ෂමා කරවා ගැනීම
කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ භන්තේ
භූරිපඤ්ඤ තථාගත
කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ ධම්ම
සන්දිට්ධික අකාලික
කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ සංඝ
සුපටිපන්න අනුත්තර
ඥාතීන්ට පින්දීම
ඉදං මේ ඥාතීනං හෝතූ
සුඛිතා හෝන්තු ඥාතයෝ ///
දෙවියන් ඇතුළු සියලු සතුන්ට
එත්තාවතා ච
අම්හේ හී
සම්භතං පුඤ්ඤ
සම්පදං
සබ්බේ දේවා
අනුමෝදන්තූ
සබ්බසම්පත්ති
සිද්ධියා ///
එත්තාවතා ච
අම්හේ හී
සම්භතං පුඤ්ඤ
සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තූ
සබ්බසම්පත්ති
සිද්ධියා ///
එත්තාවතා ච අම්හේ හී
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තූ
සබ්බසම්පත්ති සිද්ධියා///
ආකාසට්ඨා ච භුම්මට්ඨා – දෙවා නාගා මහිධිකා
පුඤ්ඤං තං අනුමොදිත්වා – චිරං රක්ඛන්තු සාසනං
ආකාසට්ඨා ච භුම්මට්ඨා – දෙවා නාගා මහිධිකා
පුඤ්ඤං තං අනුමොදිත්වා – චිරං රක්ඛන්තු දෙසනං
ආකාසට්ඨා ච භුම්මට්ඨා – දෙවා නාගා මහිධිකා
පුඤ්ඤං තං අනුමොදිත්වා – චිරං රක්ඛන්තු මංපරං
ප්‍රාර්ථනා
දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හේතු ව
වීතෝ භවතු ලෝකෝ ච
රාජා භවතු ධම්මිකෝ
ඉමිනා පුඤ්ඤකම්මෙන – මා මෙ බාලසමාගමෝ
සතං සමාගමො හොතු – යාව නිබ්බාණ පිත්තියා
ඉදං මෙ පුඤ්ඤං – ආසවක්ඛයා වහං හොතු
සබ්බ දුක්ඛා පමුච්චතු ///
මෙත් වැඩීම
මම වෛර නැත්තේ වෙම්වා! දොම්නස් නැත්තේ වෙම්වා! නිදුක් වෙම්වා! සුවහස් වෙම්වා!
මාගේ හිතවත්හු වෛර නැත්තෝ වෙත්වා! දොම්නස් නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!
මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා! දොම්නස් නැත්තෝ වෙත්වා! මා හට මධ්‍යස්ථ සත්වයෝ වෛර නැත්තෝ…
සියලු සත්වයෝ වෛර…
දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා
භයප්පත්තා ච නිබ්භයා
සෝකප්පත්තා ච නිස්සෝකා
භොන්තු සබ්බේපි පාණිනෝ
දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා
බියෙන් වෙසෙන සත් බියෙන් මිදෙත්වා
සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා
නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා
මවට වැඳීම
දසමාසේ උරේ කත්වා
පෝසේසි වුද්ධි කාරණං
ආයු දීඝං වස්ස සතං
මාතු පාදං නමාමහං
පියාට වැඳීම
වුද්දිකාරෝ අලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජ මජ්ජං සුපටිත්තං
පීතු පාදං නමාමහං
මුනි සිරිපා නමදිමු
යං නං ම දාය නදියා
පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ
සුමනාච ලග්ගේ
යං තද්ද යොනක පුරේ
මුනිනොච පාදං
තං පාද ලාංචන මහං
සිරසා නමාමි.
දඹදිව වන්දනා ගාථා
දඹදිව වන්දනාවේ ගිය උවසුවකුගේ අත්දැකීම් හා ඒ ඒ ස්ථානවලදී ඔහු භාවිත කළ වන්දනා ගාථා මෙහි දැක්වේ.
ලුම්බිනිය
මායා සුතෝ සුගත සාකිය සීහ නාථෝ
ජාතක්ඛ නේ සපදසා අභිසංකමිත්වා
යස්මිං උදීරහි ගිරං වරලුම්බිනම්හි
තං ජාත චේතිය මහං සිරසා නමාමි!
බුද්ධගයා වජ්‍රාසනය
යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වා සවාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධි චේතිය මහං සිරසා නමාමි!
කිඹුල්වත් පුර ඤාතීන්ගේ චෛත්‍යය
ධාතුං නිධාය නිමලං දිපදුත්තමස්ස
සම්බුද්ධ ඤාතිවර සක්ක ගණා පසන්නා
ථූප අකංසු පවරං කපිලව්හ නාමා
තං සාධු චේතිය වරං සිරසා නමාමි!
අනිමිසලෝචන චෛත්‍යය
සත්තා සුදං පරිත්තතය කප්පකෝටි
සම්පතිතිතං විජය බෝධි මහෝපකාරං
සත්තාහ මච්ඡ නිමි සඛිකි සුගේන යස්මිං
වන්දාමි තං නිමස චේතිය මච්චුලාර!
රත්නචංක්‍රමණ චෛත්‍යය
පල්ලකතෝ නිමිස චේතිය තෝච සත්තා
මජ්ජේහි නිම්මිත සවිම්භය වංක මස්මිං
ස්මිං දිනානි වසි චංකම මේව සත්ත
වන්දෝ මුදා රතන චංකමනං සුහං තං!
රුවන් ගෙය
සෝ පච්ච මුත්තර දිඝාය දුමින්ද මූලා
දේවාහි නිම්මිත සුතේ රතනාලයම්හි
සත්තාභිධම්ම මකුලං වසි සම්ම සන්තෝ
වන්දේ මුදානව රතනාලය චේතියං තං!
අජපල් නුගරුක මුල
ධම්මං විනං වර විමුක්ති රසං පවින්දං
කාඛා ජටාටයං සුර සුන්දරීනං
යස්මිං මහේසි විහරිත්ථ ජපාල මූලේ
වන්දා මහං තමජපාල මනග්ස චේත්‍යං!
මුචලින්ද නා දරණ යට
සත්තාහ වද්දලිත දුක්ඛ නිවාරණතේරි
භෝගින්දනා රචිත භෝග කුටීර මජ්ජේ
යස්මිං විමුක්ති අතුලං විහරී පචින්දං
වන්දේ කම්භ භූත වහං මුචලින්ද වාසං!
කිරිපලු රුක් සෙවණ
සජ්ජන්ත චේතිය තරූ රචිනානි සද්ධා
සංවේග තාහි චලිතේ සුවිසාල මූලේ
යත්‍රා වසිත්ත සුගතෝ දිවසානි සත්ත
රාජා දිකායතන ඨාන විමං නමාමි!
බරණැස ඉසිපතනාරාමය
සංකප්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසියත්ථ භගවා වර ධම්ම චක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
සද්ධම්ම චේතිය මහං සිරසා නමාමි!
ජේතවනයේ ගඳකුටිය
තිලෝක නාමෝ සම්බුද්ධෝ
වස්සං ඒ ඤාන වීසතී
යස්මිං වසන්නෝ ජනනං
ධම්මං දේසේසිතංවරං
සාවත්ථයං ජේතවනේ
රම්මං ගන්ධ කුටිං සුඛං
භවනින්තරනන්ථාය
නමාමි සිරසා අහං!
ආනන්ද බෝධිය
සුරෝපිතං සුදත්තේන
සම්බුද්ධේන පූජිතං
ආනන්ද බෝධි නාමෝයං
දුමින්දං සිරසා නමේ!
සංකස්සපුර චෛත්‍යය
සබ්බඤ්ඤු ඤාත පවරෝ වරදේව ලෝකා
සංකස්ස නාම නගරං අවරෝහයිත්වා
දේසේසි ධම්ම මතදායි විදං පණීතං
තං බුද්ධ චේතිය මහං සිරසා නමාමි!
කුසිනාරා නුවර නිර්වාණ චෛත්‍යය
කත්වාන ලෝක හිත මත්ත හිතංච නාථෝ
ආසීති කෝව උපවත්තන කානනම්හි
යස්මිං නිසජ්ජ භගවා නිරුපාදිසේසං
නිබ්බාණ චේතිය මහං සිරසා නමාමි!
බුදුගුණ වන්දනා කවි මාලය ගෙතුවෙමු.
හඬන වැලපෙන සැලෙන - හිතේ දුක නැති වුණා
හදන සසරක ගමන - කෙලෙස් මුල් වැනසුණා
නිවන සැනසුම රැඳුන - ලොවක යලි නොම රැඳුන
අරහංය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
අසා නැති අමා සුව - සිතා ගත හැකි වුණා
පතා ගෙන ආ විලස - ලොවේ තතු වැටහුණා
ලබා සම්බුදු නුවණ - අමා සදහම් දෙසන
සම්බුදුය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
සිතන විට සැනසිලා - නිවන තුළ නැවතිලා
වඬින විට හිඳින විට - සිත සමාහිත වෙලා
හිරු මඬල සේ දිලෙන චරණ විජ්ජා නුවණ
නැණවත්ය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
සොඳුරු ගමණක් වඬින - සුපිපි සියපත් මැවෙන
දකින විට සිත නිවෙන - ලොවට සිලිලස සදන
ඒ නිවන් මඟ වඬින - සුගත බුදු ගුණ දරණ
සුන්දරයි මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
නොදැන තම තම ලෝක - විඳින කරදර නේක
සිඳිනු බැරි දුක සෝක - ලෝ සතුන් දුටු සේක
ලෝක දුක හඳුන ගෙන - ලෝකයෙන් එතෙර වුණ
ලෝක විදු මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
අකීකරු දෙව් මිනිස් - හා නොයෙක් සැඩ පිරිස්
සමිඳු සෙවනට පැමිණ - සදා දමනය වුණා
අනුත්තර පුරිස දම් - සාරථී ගුණෙන් යුතු
තෙදවත් ය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
ලොවේ භව දුක නිවෙන - විවේකය ඇති කරන
දෙව් මිනිස් සතුන් හට - අමා සුව පතුරුවන
නමින් සත්ථා දේව - මනුස්සානං සේක
කාරුණික මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
රකින්නට ගුණ දහම් - කරන්නට සිත පහන්
නිවන්නට භව ගිමන් - දෙසූ සදහම් නිවන්
බුද්ධ යන ගුනෙන් යුතු - මහා නුවණකින් යුතු
නැණවත්ය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
කාරුණික හදින් යුතු - සීල ගුණ කඳින් යුතු
සමාහිත සිතින් යුතු - මහා නුවණකින් යුතු
සියළු බුදුගුණ දරණ - නිවන් සුවයම සදන
භගවත්ය මගේ බුදු - පියාණන් වහන්සේ
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ...........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ...........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ...........
වන්දනා ගාථා 2
වන්දනා ගාථා 3
පුණේයොපදේශය -
බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්‍රතීඑල ලැබෙන අයුරින් කරන අයුරැත්, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.
නමස්කාරයේ අරුත හා එහි පසුබිම
නමෝ තස්ස පාඨය බෞද්ධ ජනතාව ගේ මන්ත්‍රයක් මෙන් එදිනෙදා භාවිතා වේ. එහෙත් එහි පුරාවෘතය හා එහි ඇති ආනුභාව දන්නේ අතළොස්සක් පමණි. එසේ හෙයින් ඒ පිළිබඳ අවබෝදයක් ලබාගැනීම ඉතා වැදගත් වේ.
ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ප්‍රථම දම්සක් දෙසුම පවත්වන දිනයෙහි මිගදාය අවට පරිසරයෙහි දේව, බ්‍රහ්ම, මිනිස්, සිවුපා ආදී සකලවිධ සත්වයන්ගේ සියලු සිත් සතන් තුළ නිරන්තරයෙන්ම බලවත් වී සෙත ශාන්තිය සලසා දෙන්නේම ය.
මෙම නමෝ තස්ස පාඨය ප්‍රථමයෙන් කියා බුදුන් වහන්සේට ප්‍රණාමය දැක්වූ උතුමන් අටදෙනාගේ තොරතුරු දැන් අපි අවබෝධ කර ගනිමු. “නමෝ” පාඨය මුලින්ම සාතා ගිරි යක්ෂ සේනාධිපතියා විසින් ද “තස්ස” පාඨය දෙවනුව රාහු අසුරෙන්ද්‍රයා විසින් ද උතුම් මංගල දම්සක් දෙසුමට සහභාගි වූ බැව් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
එවන් උතුම් අවස්ථාවක බුදුන් වහන්සේ ගේ බුද්ධානුභාවය හේතුකොටගෙන සක්වල කම්පාවීමෙන් සුරබඹ නර වර්ගයා විසින් ප්‍රථමයෙන් උන්වහන්සේට වන්දනා කරන ලද නමස්කාර පාඨය විශ්ව දෝංකාරයෙන් නැන්වූ බැව් සඳහන් වේ.
කෙල ලක්ෂයක් ආඥා චක්‍රය පුබුදුවාලමින් සකල ලෝකවාසීන්ට මෙම වන්දනා පාඨය වන්දනා කිරීම තුළින් විශ්ව ශක්තිය බුද්ධ පුණ්‍ය ශක්තිය භගවතෝ පාඨය තුන්වෙනුව ධෘතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන හතර වරම් දෙවිවරු විසින් ද අරහතෝ පාඨය හතරවෙනුව ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ද සම්මා සම්බුද්ධස්ස පාඨය පස්වෙනුව සහම්පතී මහා බ්‍රහ්මයාණෝ විසින් ද ශබ්ද නඟමින් වැඳ නමස්කාර කළහ.
මහ හඬින් ගුවන නින්නාද කරමින් සජ්ඣායනා කොට බුදුන් වහන්සේට ප්‍රණාමය දැක්වූ මෙම නමස්කාර පාඨය අද දක්වා මුළුමහත් ජනී ජනයා ගේ හඬින් ද සිද්ධි වී විශ්වයෙහි මහඟු බලවේගයක්ව පවතින බැව් සඳහන් වේ.
එබැවින් තෙරුවන් වඳින විට ගාථා පැය ගණන් නොකිව්වත් මෙම නමස්කාර පාඨය නිසි අවබෝධයෙන් සිහි නුවණින් දැඩි භක්තියෙන් සජ්ඣායනා කරන ඕනෑම කෙනකුට ග්‍රහ අපල පමණක් නොව මුළු ජීවිතය ම යහමඟට යොමු කරගෙන චින්ත සන්තානයට සැනසීම උදාකර ගැනීමට ප්‍රබල ශක්තියක් වන්නේය.
උත්තමංගේන වන්දේහං උතුම් අංගයන් මුල්කරගෙන වැඳිය යුතු ය. අත් දෙක වෙහෙරක හැඩයෙන් හිස් මුදුනට ගත යුතු ය. පසඟ පිහිටුවා නළල දෙඅත් වැලමිට දෙදන නිසියුරු තබා බිම පතිත වී නමස්කාර කළ යුතු ය. දෙඇස් පියා ගැනීම වඩාත් පහසු වේ.
අවට දසුන්වලට සිත නොයවා මනසෙහි බුදුන් වහන්සේ වැඩම කරවාගත යුතුයි. කියන ගාථා පාඨයන්හි අර්ථය සිහිපත් කරමින් ශ්‍රද්ධා භක්තියෙන්ම නමස්කාර කළ යුතුය. මේ මුල් අදියර සාර්ථක කරගත් පසු භාවනාව ද ඉතාමත්ම පහසු වේ.
මීගහවෙල සුමනශාන්ත හිමි
බෝධි පූජාවෙන් නියම අනුසස් ලැබිමට නම් ඒ තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතු ය.
ඒ කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය.
* ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම.
* පිරිසුදු ව ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම.
* බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම.
* යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම.
* අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම.
* ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම.
* බෝධි වන්දනා ගාථා හා කවි ගායනය.
* තෙරුවන් ක්ෂමා කරවා ගැනීම.
* දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීම.
* මෛත්‍රී භාවනාව
* පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)
අප විසින් මේ සියලු පූජාවන් සිදු කරනුයේ බුදුරදුන්ට ගෞරවය දැක්වීමේ මාධ්‍යයන් ලෙසය. එබැවින් බෝධි පූජාව වැනි ආගමික වතාවත්වලදී බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.
පුටු පිදීමේ කුසල විපාක සහ පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ
බුදුවරුන්ට හා මහා සංඝ රත්නයට හිඳ ගැනීමට අසුන් සපයා දීම යනු මහත් ආනිසංශ දායී කුසල කර්මයක් බව කරුණාවෙන් මතක් කර සිටිමු.
අසුනක් සැපයීම සරලව ගතහොත් හිඳ ගැනීමට අවශ්‍ය වෙලාවට ඊට ආධාරකයක් ලබාදීම ලෙස සැලකිය හැකිය. ආනිසංශ දායී
මෙම කුසල කර්මය සිදු කර ගන්නේ කෙසේ දැයි විමසා බලමු , අද කාලයේ බොහෝ නිවෙස් වල සාංඝික දානයන් පූජා කෙරෙන අතර තුර මෙන්ම
තම පන්සලේ සිදුකෙරෙන විවිධ පින් කම් කටයුතු වලදීද ,ධර්ම දේශනා සංවිධානය කරන අවස්ථා වලදි මෙම උතුම් කුසල කර්මය අපහසුවකිත් තොරව සිදුකර ගත හැක.
ඔබ එම වෙලාවන් හි ඉතා පිරිසිදු සැදැහැ සිතින් ආසන පිළියෙල කොට මෙම ආසන පිලියෙල කිරීමෙන් ලද උතුම් කුසලය මා හටත් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියා පතන්න එම කුසල් බලය ඔබට නිවන පිණිසම වෙයි..
අප දැන් මම පුටු පිදීමේ කුසල කර්ම කිරීමෙන් ලත් ආනිසංශ විමසා බලමු.
හේමක හිමි පියදස්සී බුදුරජාණන් වහන්සේට සෘදිබලයෙන් රන් පුටුවක් මවා දුන් පිනෙන් හැත්තෑපස් වතාවක් සක්විති රජ විය.
දෙතිස්වතාවක් දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු විය.
ඒකාසනාදායක් හිමි පියුමතුරා බුදුරජුන්ට දඬුමැස්ස මත ආසනයක් පනවා දුන් පිනෙන් පනස් වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර සම්පත් ලැබුවේය.
අසූවතාවක් සක්විති රජ විය. (අපදාන පාලි 423 -අපදානය)
පුරුශයන් පමණක් නොව ස්ත්‍රීන් ද මෙවැනි උතුම් ක්‍රියාවල නිරතවී ලැබු ආනිසශ ථෙරී අපදානයේ දැකගත හැක .
ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින් තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන්
පිනෙන් අසූවතාවක් සක්දෙව්ඳුගේ බිරිඳ වී උපන්නාය.මනුලොවදී ද පහත අනුසස් ලැබුනේය.
1.හිඳ ගැනීමට රන් රිදී අසුන් පහලවේ.
2. චිත්ත පීඩා ඇතිනොවේ.
3.මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.
4.බොහෝ භෝග සම්පත් ලැබේ.
5.උසස් කුල සම්පත් ලැබේ.
6.චෛතසික වේදනාවන්ට පත් නොවේ.
7.ලස්සන වී උපදියි.
8.තමා නාවන්න ,කවන්න ,පොවන්න ,සතුටු කරන්න,සුවඳ ගල්වන්න
බොහෝ පිරිවර ලැබේ.
මීට අමතරව පිළින්දිවච්ච අපදානයේ තවත් කුසල විපාක දක්වා ඇත.
9.සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවේ.
10.බොහෝ කීර්ති ඇත්තෙක් වේ.
11.දීමෙන් ඇලුණු සිත් ඇත්තෙක් වේ.
12.බොහෝ පුටු සසරේදී ලැබේ.
මෙවන් බොහෝ අනුසස් ලැබෙන පුටු පිදීමේ කුසලය ඔබත් සැදැහැ සිතින් සිදුකර ගෙන සසර ගමන සුවපහ් කරගෙන අමා මහ නිවන් දැකීමට ඔබත් අධිෂ්ඨාන කර ගන්න..
පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ
බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කරන පූජාවන් හි ආනිසංශ කියා නිම කිරීම අපහසු කාරණාවකි.නමුත් මහා රහතන් වහන්සේලා නිවන් අවබෝද කිරීමෙන් අනතුරුව තමන් මෙම අති දීර්ඝ භයංකර සංසාර ගමනේදී බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කල පූජාවලිත් තමන්ට ලැබුණ ආනිසංශ දේශනා කර ඇත.
අද අප පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ සලකා බලමු. පාලමක් හෝ ඒ දන්ඬක් අවශ්‍ය වෙන්නේ තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමටය. එබදු තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමට පහසුකම් සැපයීමෙන් එම පූජාවන් කරන තැනැත්තන්ටද අපහසුවකින් තොරව සසර සයුර තරණය කිරීමට අවකාශ සැලසෙන්නේය. ධෝතක හිමි පියුම තුරා බුදු රජානණ් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පාලමක් ඉදිකර පූජා කල පිනෙන් පහත සදහන් විපාක ලැබුන බව තෙර අපදානයෙ දැක්වේ.
1.පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගියේද පිහිට ලබයි.
2. සතුරන්ට මැඩලිය නොහැක්කේ වේ.
3. ලැබෙන වස්තුව හොරු පැහැර නොගනිත්
4. අන් අය අවමන් නොකරත්
5. සතුරු බලවේග ජයගත හැකිවේ
6. එළිමහනේ ගියේද දැඩි අවුවෙන් තැවුනේ ද දුක් වේදනා නොදැනේ
7. දෙවිමිනිස් දෙගතියෙ කැමතිපරිදි ඇත් වාහන පහළවේ
8. අවසන නිවන් දැකීමටද මේ පින උපකාර වන්නේය.
එබැවින් ඔබත් මෙවැනි උතුම් කුසල කර්ම සිදුකර ගැනීමට අදිටන් කර ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.
The Buddhist
මහත් අනුසස් ලැබෙන කඨින චීවර පූජාව
1. දුගතිගාමි නොවිම
2. සක් දෙවි පදවි ලැබීම
3. ඒප්රදේශයන් හි රාජ සම්පත් සමග මිනිසුන්ට ප්රධානියෙක් වීම
4. දිව්ය හා මනුෂ්ය ලෝක වල පමණක් ඉපදීම
5. සසර උසස් කුල වල පමණක් ඉපදීම
6. නිවනට පැමිණවීමට තරම් ව්පාක ඇතිවීම
7. සක්විති රජ සම්පත් ලැබීම
8. සෑම ආත්මයකදීම සියළුම සැප ලැබීම
9. පුරුෂයින් අතර උතුම් පුරුෂයෙකු වීම
10. ඉතා ධනවත් වීම
11. දෙවියන් අතර ජනප්රිය දෙවියෙකු වීම
Dhamma Ashoka
මල් පුදන්නේ කුමට ද?
එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?
මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල පි‍්‍රය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි.
මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහෝ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ.
උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදි උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්කම් දෙකකි. වැඳුම් පිදුම් මෝඩ වැඩ සැටියට පෙනෙන්නේ ආගම නො දත්, පරලොවක් ඇති බව නො දත් පින් පව් නො හඳුනන අයට ය.
මල් පිදීමෙන් බොහෝ කල් දෙවි මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙළවර කර ගත් අය ගේ තොරතුරු දැක්වෙන කථා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේ ය. රජගහ නුවර එක් උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් සතරක් ගෙන යද්දී පැටවකු ඇති දෙනක විසින් ඇණ මරාදමනු ලැබ, මල් ගෙනයාමේ පිනෙන් ම තව්තිසා දෙව්ලොව උපන් බව විමානවත්ථූ පාලියෙහි ඇත්තේ ය. බුදුනට මල් පිදීමේ අනුසස් කොතරම් මහත් ද යන බව එයින් සලකා ගත හැකි ය.
***පහන් කීපයකින් ආලෝකවත් කළ හැකි චෛත්‍යමලු බෝමලු විහාරගෙවල සියගණන් පහන් දල්වා තෙල් නාස්ති කරන්නේ කුමට ද?
සෑමලු ආදියෙහි පහන් දල්වන්නේ ඒ ස්ථාන ආලෝක කිරීම පරමාර්ථය කරගෙන නොව බුදුන් වහන්සේට පහන් පිදීමක් වශයෙනි. බුදුන් වහන්සේට එක පහනක් පුදන්නා හට එක පහනක් පිදීමේ කුශලය ලැබේ. දෙක තුනක් පුදන්නාට දෙක තුනක් පිදීමේ කුශලය ලැබේ. සැදැහැවත්හු බොහෝ පින් සිදුකර ගැනීම සඳහා සිය ගණන් දහස් ගණන් පහන් පුදති.
පින් පව් හඳුනන්නා වූ බුදුගුණ දන්නා වූ පින්වත්හු මෙබඳු පින්කම් දැක සිත සතුටු කර ගෙන පින් අනුමෝදන් වී අනුන් කරන පිනෙන් ද ප්‍රයෝජන ලබති. බාලයෝ ‘නිකම් පහන් දල්වා රටේ ඇති තෙල් විනාශ කරති’යි අනුන් කරන පින්කම්වලට සිත නරක් කර ගෙන මරණින් මතු අපා ගත වෙති. මල්ල රජුන් ගේ ධාතු පූජාව ගැන සිත් නරක් කර ගත්තා වූ අසූසය දහසක් මිථ්‍යාදෘෂ්ටිකයන් ඒ පවින් අපාගතවූ බව “ මිච්ඡාදිට්ඨිකා සමණස්ස ගොතමස්ස පරිනිබ්බුත කාලතො පට්ඨාස බලක්කාරෙන සාධු කිළිතාය උපද්දුතම්භ, සබ්බේ නො කම්මන්තා නට්ඨාති උජ්ඣායන්නා මනං පදොසෙත්වා ජලාසීති සහස්සමත්තා අපායෙ නිබ්බුත්තා” යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කොසොල් රජතුමා ගේ අසදෘශ දානය ගැන සිත දුෂණය කර ගත් කාල ඇමති එපවින් මෙලොවදී ම තනතුරෙන් පහවූ බව දම්පියාටුවාවෙහි දක්වා තිබේ. තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා භවෙ නප්පසංසන්ති දානං
ධිරො ව දානං අනුමොදමානො
තෙතෙව සො හොති සුඛී පරත්ථ
අනුන් ගේ දීම්වලට ද කැමති නො වන තද මසුරෝ දෙව්ලොවට නො යන්නාහ. බාලයෝ දානයට ප්‍රශංසා නො කරන්නාහ. නුවණැත්තේ දානය අනුමෝදන් වෙමින් එයින් මරණින් මතු සැපවත් වන්නේ ය.
***බෞද්ධයන් විසින් සරණ සමාදානය සඳහා භාවිත කරන, ‘ බුද්ධං සරණං ගච්ජාමි’ යනාදි වාක්‍ය තුන ‘ මම බුදුවෙමි. මම ධර්මය වෙමි. මම සඟ වෙමි’යි තේරුම් කරති. එසේ තේරුම් කිරීම හරි ද?
‘ මම බුදුවෙමි’ යි වර්තමානය ගැන සලකා කියනවා නම් ඒ තැනැත්තා බුදු වී නැති බැවින් එය මුසාවකි. අනාගතාර්ථය සලකා කියනවා නම් එය ප්‍රාර්ථනයක් වේ. සරණ සමාදානයක් එයින් නො වේ. ධර්මය යි කියනුයේ සතර මාර්ග සතර ඵල නිර්වාණ යන මේ නවයට හා ත්‍රිපිටකයට ය. කිසි කලෙක පුද්ගලයකුට ධර්මය විය නො හැකි ය. පුද්ගලයකුට ධර්මය නො විය හැකි බැවින් “ මම ධර්මය වෙමි” යි කීම කිසි තේරුමක් නැති උමතු කථාවකි. සංඝයාය කියනුයේ බුදුන් වහන්සේ ගේ පැවිදි පිරිසට ය. එක් එක් පුද්ගලයෙක් සංඝයා නො වේ. කවර ආකාරයකින්වත් එක් පුද්ගලයකුට පුද්ගල සමූහයක් නො විය හැකි ය. එබැවින් “ මම සඟ වෙමි” යි කීමත් කිසි ම තේරුමක් නැති උමතු කථාවෙකි. බුදුන් වහන්සේ අනුශාසකයාය, සංඝයා උන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ ය. “ බුදුවන්නේත් මම ය. සඟ වන්නේත් මම ය” යි කීම පියා වන්නේත් මම ය. මගේ පුතා වන්නේත් මම ය” යි කීම වැනි විහිළු කථාවෙකි.
මම බුදු වෙමි. මම ධර්මය වෙමි. මම සඟ වෙමි. මේ වගන්ති පාලි භාෂාවෙන් කියනවා නම් කියයුත්තේ “ අහං බුද්ධෙධා හොමි, අහං ධම්මො හොමි, අහං සංඝො හොමි” කියාය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” කියා පාලියට නො පෙරළිය හැකි ය. මේ කාරණයෙන් ද ඉහත කී තේරුම් කිරීමේ ක්‍රමය කිසි තේරුමක් නැතියක් බව කාහට වුවත් තේරුම් ගත හැකි ය.
මේවා මෙසේ වරදවා තේරුම් කරන්නවුන් විසින් එය කරන්නේ ඔවුන් ගේ නො දැනීමක් නිසා නොව කෛරාටිකකම නිසා ය. මෙසේ තේරුම් කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ නූගත් බෞද්ධයන් මුළාකොට ඔවුන් පන්සල්වලින් ඈත්කොට, භික්ෂූන් වහන්සේලාගෙන් ඈත් කොට තමන් ගේ ශ්‍රාවකයන් කරගෙන ඔවුන්ගෙන් ගරු බුහුමන් ලාභ සත්කාර ලැබීමට ය.
***‘ බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි පාඨවල නියම තේරුම කවරේද?
එක් එක් වචනයකින් කියැවෙන්නේ එක් අර්ථයක් ම නො වේ. සමහර වචනවලින් අර්ථ දෙක තුන කියැවේ. සමහර වචනවලින් හත අට දහය දොළහ කියැවේ. වචනයකින් කියැවෙන අර්ථය සලකා ගත යුත්තේ ඒ වචනය යෙදී ඇති තැනේ සැටියට තැනට ගැලපෙන පරිද්දෙනි. ගච්ඡාමි යන වචනය බෙහෙවින් යෙදෙන්නේ තැනකින් තැනකට යාම නමැති අර්ථය දැක්වීමට ය. සරණ සමාදානය එබඳු යාමක් නොවන බැවින් තැනකින් තැනකට යාම නමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි නො ලැබේ.
බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයෙහි ‘ ගච්ඡාමි’ යන වචනයෙන් කියැවෙන්නේ දැනගැනීමය. පිළිගැනීමය. සේවනය කිරීමය. භජනය කිරීමය යන අර්ථයෝ ය. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිළිසරණක්ය කියා දැන ගනිමිය. සලකා ගනිමිය, සේවනය කරමිය යනුයි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි දෙක්හි තේරුමත් එසේ ම සලකා ගත යුතු ය. බුදුන් සරණ යෙමිය කියන කල්හිද අර්ථය එසේම සලකා ගත යුතු ය. සරණ යාමය කියන්නේ කොහාටවත් යාමක් නොව පිහිටක්ය කියා දැන ගැනීම ය. පිහිටක්ය කියා සලකා ගැනීම ය. පිළිගැනීම ය.
බුද්ධං සරණං ගච්ඡාමි යනු මම බුදුවෙමිය කියා වරදවා තේරුම් කරන අය බුදුන් සරණ යෙමිය කියා යන්නේ කොහි ද? ඉහළ යනවා ද? පහළ යනවා ද? හරහට යනවා ද? යනාදි ප්‍රශ්න අසා නූගතුන් මුළා කෙරෙහි “ නූගත් අසරණයෝ මූළාවී ඔවුන් ගේ ශ්‍රාවකයෝ වෙති.
බුද්ධ රත්නය ධර්‍ම රත්නය සංඝ රත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් සැටියට සලකා ගැනීම පිළිගැනීම සරණ ශීිලය ය. බුද්ධං සරණං ගච්ඡාමි යානාදි පාඨ තුන කියන්නේ සරණ ශීලය සමාදන් වීමට ය. සරණ ශිලයෙහි පිහිටි තැනැත්තා උපාසක නම් වේ. බෞද්ධයා ය කියන්නේ ද ඔහුට ය. බුද්ධාදි රත්නත්‍රය තමා ගේ පිහිට ලෙස නො පිළිගන්නා අයට උපාසකත්වය නැත. ඒ නිසා ඔවුහු බෞද්ධයෝ නො වෙති.
බුදු නො වන ධර්‍මය නො වන සංඝයා නො වන තැනැත්තකු මම බුදු වෙමිය මම ධර්‍මය වෙමිය මම සඟ වෙමිය යි කීම නිකම් ම මෝඩ කථාවකි. මෙම බුදු වෙමිය ධර්මය වෙමිය සඟ වෙමිය යි කොතෙක් කීවත් එයින් ඒ තැනැත්තා බුදුවන්නේත් නැත. ධර්මය වන්නේත් නැත. සංඝයා වන්නේත් නැත. එයින් ඔහුට වන්නේ තිසරණයක් නැති වී අබෞද්ධයකු වීම පමණෙකි. කෛරාටිකයන් ගේ කියුම්වලට රැවටී එබඳු මෝඩකම් නො කෙරෙත්වා!
.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල
මහ නාහිමි
Path to Nirvana
පැන් පිදීමේ අනුසස්
මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.
එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං
මේ ඒ ස්ථවිරියගේ ප්‍රකාශනයෙකි.
මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය ය යනු එහි තේරුම යි.
(ආපදාන පාළියෙන්)
*** පැන් පූජා කළ දාසියක් ***
එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.
පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහ. ඔවුන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී “ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳ පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා “මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වා. මම මේ පුණ්‍යක්ෂේත්‍රයෙහි පානීය දානයක් දෙමි” ය යි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වත්දී ම ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.
එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම ද කළ සේක. කළයෙහි පැන් මඳකුදු අඩු නො වීය. ඕ තොමෝ ඒ ප්‍රාතිහාර්යය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකට ද පැන් පිළිගැන්වූවාය. ඒ භික්ෂුව ද පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය ද කළේය. කළයේ පැන් තිබූ පරිදි ම පිරී තිබිණ. ඈ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවාය. පැන් කළය පළමු සේම පිරී තිබිණ. ඕ තොමෝ අතිශය ප්‍රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණයා “මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණ. බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක් ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුවාය.
තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේක. “ස්වාමිනි, මෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහ. දෙවනුව ද තුන්වෙනුව ද තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට විය. ළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය. ඒ ප්‍රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ ම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හ. එකෙණෙහි ජලය අතුරුදහන් විය. ඔවූහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.
එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී ඒ පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ “දැන් ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි. මනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්‍රකාශ ද කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දාය. තථාගතයන් වහන්සේ ඇගෙන් ම ප්‍රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසට ද ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදී. එහි නාවාවිමාන නමින් මෙය දැක්වේ)
== ගිලන්පස පූජාවේ අනුසස් ==
අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.
අම්බපාන - ජම්බුපාන - චෝචපාන - මෝචපාන - මධුපාන - මුද්දිකපාන - සාලුකපාන - ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, අටිකෙසෙල්, ඇටනැතිකෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියලි මුද්‍රප්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.
පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ය.
භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුහොමි කම්මානුච්ඡවිකෙ මම,
ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,
අනුපද්දවො අනීති ච හොමි අපචිතො සදා
න මෙ පියවියොගො'ත්ථි තස්ස නිස්සන්දතො මම
(අපදාන පාළි)
ආනිසංස දශය නම් ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර, සැපය, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළු වීම් ආදී ව්‍යසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නො වීම යන මේවා ය.
*** බුද්ධවර්ම මුදලාලි ***
දඹදිව පාටලීපුත්‍ර නගරයෙහි බුද්ධවර්ම නමැති වෙළෙන්දෙක් විය. ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරෙක භික්ෂු සංඝයා පිරිවරා සත්ත්වයනට සඟමොක් මඟ පහදා දෙමින් සත්ත්වයන් සසර කතරින් එතෙර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වූහ. ඔහු දිලිසෙන රන් පහන් ගසක් සේ බබළමින් බික්සඟන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නො දන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය. “බුදුවරයෝ විකාලයෙහි ආහාර නො වළඳන්නාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳ තෙමේ “හිමියනි! තථාගතයන් වහන්සේ විකාලයෙහි කුමක් වළඳන සේක්දැ” යි ඇසීය. ඔහුගේ පිළිවිසීම නිසා “අම්බපානය - ජම්බුපානය - චෝචපානය - මෝචපානය - ඵාරුසකපානය - මධුපානය - මුද්දිකපානය - සාළුකපානය යන මේවා විකාලයෙහි කැපවන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාල සේක. වෙළඳ තෙමේ සකුරුවලින් යුක්ත කොට මුද්‍රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහසඟනට පිළිගැන්වීය. එය පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක.
වෙළඳ තෙමේ අන් වෙළඳුන් හා ඒ ඒ ජනපදයන්හි වෙළඳාමෙහි ඇවිදින්නේ මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියේ ය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන් විය. පැන් ලැබිය හැකි තැනක් කාන්තාරයෙහි නො විණ. මිනිසුන්ට හා ගවයන්ට පිපාසාව සන්සිඳවා ගැනීමට ක්‍රමයක් නැති විය. ගිලන්පස දානය දුන් වෙළෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා “මේ සැළියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරව” යි කීහ. ඔහු එයින් ගෙන පැන් පීය. ඔහුට එහි රසය මුද්‍රික පානයේ රසය මෙන් දැනිණ. ඔහු එදා මා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මුද්‍රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීය. සැළිය මුද්‍රික පානයෙන් පිරී තිබිණ. ඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදි පැන් බඩ පුරා බී පැන් බීමට එන ලෙස සෙස්සන්ට ද හඬ නගා කීය. සැම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ ය. වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස් ද වර්ණනා කළේය. ගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ ද මිදි පැන් සැළිය හිස් නො විණ. ඒ ප්‍රාතිහාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැක ම සිය නිවසට යෙමි යි රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දානයෙන් ලද අනුසසත් සිදුවූ ප්‍රාතිහාර්යයත් තථාගතයන් වහන්සේට සැළ කළේය. තථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහාදානයක් දී සිය නිවෙස බලා පිටත් විය. ඉන්පසු ද දානාදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ ය. ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රික පානයෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේ ය.
(රසවාහිනියෙන්)
ස්ථූප කරවීමේ ආනිශංස..
1. ශරීරයේ විවිධ රෝග හට නොගනී.
2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී.
3. දිව්‍යය මනුෂ්‍යය දෙගතියෙහි උත්පත්තිය ලබයි.
4. රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි.
5. අප්‍රියයන් එක්වීමක් සිදු නොවේ.
6. ප්‍රියයන් හා එක්වේ.
7. මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ.
8. සක්විති රජ පදවිය හිමි වේ.
9. සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ.
10. ප්‍රඥාවන්ත වේ.
11. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ.
12. අරහත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ.
13. නිර්වාණය අවබෝධ වේ.
14. එතෙක් කිසිදු දුගතියක නූපදී.
ස්තූප පිරිසුදු කිරීමේ කුසල විපාක
කැලෑවේ ඇවිදිමින් යන මිනිසෙකු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපයක් දුටු අතර, එය ගරා වැටී තණ, ගස් ආදිය වැවී තිබෙන අයුරු දුටුවේය. ජරාවාස වී කටුඅකුල් වැවී ඒ ගරා වැටී තිබුණු සෑය දුටු මොහුට බුද්ධ ගෞරවය ඇතිවුණි. අර කටු කොහොල සුද්ධ පවිත්‍ර කොට, සෑය පවිත්‍ර කෙරිණ. සෑයට අටවතාවක් වන්දනාමාන කොට පිටු නොපා ගෞරවයෙන් එතැනින් පිටත් විය. ඔහු මියගොස් තව්තිසාවේ තිස් යොදුන් විමානයක ඉපදුණි. තනි රත්තරං මාළිගාවකි. බොහෝ වාරවල සක් පදවියත්, සක්විති රාජ්‍යයත් හිමි විය. ඉපදෙන ඉපදෙන ජීවිතවල මහාභෝග ලැබුණි. ඒවා අඩු වූයේ නැත. මෙය ස්තූප පිරිසුදු කිරීමේ විපාකයි. කිසිදින කැලයක අතරමං වූයේ නැත. යන යන තැන පිහිටට යමක් ලැබුණි. කිසිදිනක කුෂ්ඨ, ගඩු, දද, කැසිලි, අපස්මාර ආදී ලෙඩ නොවූ බව සඳහන්. මේ සියල්ල චෛත්‍යය පිරිසුදු කිරීමේ විපාකය. ඔහු අපගේ බුදු සසුනේ ඉපදුණි. ධර්මය ගැන පැහැදුනි. භාවනා කිරීම පිණිස සිත යොමු කෙරිණි. එක අසුනේම අරහත්වයට පත්වුණි. මේ ස්තූප පිළිසකර කිරීම, පිරිසුදු කිරීමේ විපාකය. “පභංකර” කියන රහතන් වහන්සේයි මේ විස්තරය වදාළේ.
ධාතු ස්තූපවලට ආලෝක පූජා කිරීමේ කුසල විපාක
දිවැස් ලැබූ භික්ෂූන් අතර, අග්‍ර වූ “අනුරුද්ධ” මහරහතන් වහන්සේත්, භික්ෂුණින් අතර අග්‍ර “සකුලා” නම් රහත් භික්ෂුණියත් ඒ හැකියාව උපදවා ගත්තේ අතීතයේ පහනක් අතට ගෙන රැය පහන්වනතුරු ධාතු ස්තූපයක් ප්‍රදක්ෂිණා කිරීමේ විපාක නිසයි. අනික පහන් පූජාවෙන් තියුණු ඇස් තිබේ. ප්‍රඥාවටත් උපනිශ්‍රය කාරණා සකස් වේ. පුදුම සහගත විපාක පහන් පූජාවෙන් රැස්වෙන විස්තර රහතන් වහන්සේගේ ජීවිත කතාවල සඳහන්.
පාවහන් පිදීමේ කුසල විපාක
උපාහනදායක හිමි
චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනින් කල්ප අනු එකක් දුගතියකට නො ගියේ ය. (අපදාන පාලි 256 අපදානය)
පනාධිදායක හිමි
අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පයේ දා සිටි පාවහන් යුවල පුදා පනස් පස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුව උපන්නේය. දහස් වරක් සක්විති රජවිය. ඒ පිනින් සසර ගමනේ දී
1)වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා.
2) ප්‍රසාද, රන් සිවිකා, වටිනා ඇතුන් අසුන් ද ලැබුනා හ.
3) අග්‍ර ගණයේ පාවහන් ද ලැබී ඇත.