වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ශ්‍රාවකයකුගේ අභිමානය සීලානුස්සති භාවනාවයි ...


පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු

සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු උදාර ගුණාංගයක් වන්නේ සීලානුස්සතියයි. සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ වචනයත්, කයත් සංවර කර ගැනීම තුළ තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමයි.

තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමේ දී තමන්ගේ වචනයෙන් සිදුවුණ අඩුපාඩු, කයින් සිදුවූ අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනේ.

ඉන්පසු තමන් කය හසුරුවන ආකාරය ගැන සිහියෙන් ඉඳල, උදෑසන ම අවදිවෙලා අධිෂ්ඨාන කරන්නට ඕනෙ මම මගේ ශරීරය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ. මම මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නෙ නෑ කියලා.

තමන්ගේ කයත්, වචනයත් පිළිබඳ ශාන්ත බවක්, සංවරබවක් ඇති කර ගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන කොට තමන් නොදැනීම උදාර ගුණාංගවලට තමන් හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඒ තුළින් තමන්ට පුළුවන් වෙනවා සියලු දෙනා කෙරෙහි තමන් ගැන විශ්වසනීයත්වයක් ගොඩනඟන්න.

මම අද මගේ කය මුල්කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නෑ. සොරකමක් කළේ නෑ. වැරැදි ජීවිතයක් ගෙවුවේ නෑ. යහපත් ජීවිතයක් ගෙවුවා. මත්පැන් පානයට යොමු වුණේ නෑ. කිසි කෙනෙක් බොරුවෙන් රැවටුවේ නෑ. කේළමක් කිවුවෙ නෑ. පරුෂ වචනයක් කිවුවෙ නෑ. හිස් වචන කියමින් කාලය කා දැම්මෙ නෑ.

මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේ දී, පිරිසුදු වස්ත්‍රයක් දෙස බැලීමේ දී ඒ පිරිසුදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ, තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට පේන නිසා තමන්ගේ සිල්වත් බව භාවනාවක් හැටියට දියුණු කර ගන්නවා.

මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිරතුරුව ම සිදු කරන භාවනාවක්. සීලානුස්සති භාවනාව සිහි කරන්න සිහිකරන්න සිත ශාන්ත වෙනවා. හිතේ තියෙන පසුතැවිල්ල, විපිළිසරබව කලබලකාරී බව නැතිවෙලා යනවා.

මේ සංසිඳීමත් එක්ක සිත සමාධිගත වෙනවා. තම තමන්ගේ ගුණාත්මක ජීවිතය යළි යළි සිහිකරන්න පුළුවන්කම කෙනකුට ලැබෙන උතුම්ම ලාභයක්. ඔබ තුළ ඇති උතුම් ගුණාංග නිරන්තරයෙන් ම මනසිකාරයේ යෙදෙමින් භාවනාමය වශයෙන් දියුණුවක් කරා යන්න පුළුවන් වෙනවා.

සීලානුස්සති භාවනාව

මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිල්වත් වන සේක. බුදුරජාණන් වහන්සේ කය සංවර කළ සේක. වචනය සංවර කළ සේක. පිරිසුදු ජීවිතයක් ගත කළ සේක. කයින් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුව ම ප්‍රහාණය කළ සේක. වචනයෙන් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුව ම ප්‍රහාණය කළ සේක. මිථ්‍යා ආජීවය බැහැර කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළ සේක. සීලය පරිපූර්ණ කළ සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ සීලයෙන් යුතුව සියලු දෙව් මිනිසුන් හට මහා කරුණාවෙන් සීලය පිළිබඳ දේශනා කොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සීලය නිරතුරුව ම මම ආරක්ෂා කරමි. සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන් යුතුව ම සිල් පද ආරක්ෂා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි.

මම සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරවමි. ලොකු කුඩා කිසිම සතකුට දැන දැන කිසිම හිංසා පීඩාවක් නොකරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා මා තුළ භය, තැතිගැනීමක් නැත. අන් සියලු සත්වයෝ ද බියෙන් හා තැතිගැනීමෙන් වළකින්නේ ය. සුව සේ ජීවත් වන්නේ ය.

මම සතුන් මැරීමෙන් වැළකී අන් සියලු දෙනා ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවමි. එහි ගුණ කියමි. මම සතුන් මැරීමෙන් වැළකීම නිසා ද, අන් අය සමාදන් කරවීමෙන් ද, ගුණ ප්‍රකාශ කිරීමෙන් ද අප්‍රමාණ සතුටක් ලබමි. ඒ සතුට මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාර වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසිම තැනක දී, කිසිම අයුරකින් අනුන් සතු දෙයක් සොර සිතින් නොගනිමි. ඉතා කුඩා වූ දෙයක් පවා සොර සිතින් ගැනීමෙන් වළකිමි. මා මෙන් ම අන් සියලු දෙනා ද තම තමන්ගේ ධනයට හා වස්තුවට ආශා කරති. මම කිසිවකුගේ කිසිම දෙයක් සොර සිතින් හෝ වංචාවෙන් රවටා පැහැර නොගනිමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම වැරැදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මෙම සිල් පද ආරක්ෂා කරමි. මම මාගේ බිරිඳ කෙරෙහි, (ස්වාමියා කෙරෙහි) ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. මාගේ දරුවන් කෙරෙහි ද ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. පිරිසුදු චරිතයක් ඇත්තෙක් වෙමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසි තැනකදී. කිසිම අයුරකින් බොරුවෙන් අන් අය රැවටීම නොකරමි. බොරු කීමෙන් පීඩාවට පත් නොකරමි. සත්‍ය වූ වචනම කතා කරමි. සත්‍යයෙහි පිහිටා කතා කරමි. සියලු දෙනාට ඇසීමට ප්‍රිය වූ, මිහිරි වචනම කතා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිස ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි.

බලවත් වීරියෙන් හා සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් මා ආරක්ෂා කරන මේ සීලය සිහි නුවණ දියුණුවීම පිණිසම උපකාර වන්නේ ය. වීරිය පිණිසම උපකාර වන්නේ ය. සමාධිය දියුණුවීම පිණිසම උපකාර වන්නේ ය. චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම උපකාර වන්නේ ය.

මාගේ මේ සීලය නිරතුරුව ම ආරක්ෂා කර ගනිමි. මේ සීලානුස්සති භාවනාව සතුට පිණිස ම, ප්‍රමෝදය පිණිස ම, සමාධිය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාර වේවා!


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X