වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සඟ සතු දානය

සඟ සතු දානයක් යනු බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් දන් පූජා කිරීමයි. වර්තමානයේ දන් පිළිගන්වන විටකදී ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙස සධාතුක ධාතු කරඩුව වඩමවා සඟ සතුකොට දන් පිළිගන්වති. මෙහිදී වඩමවන සංඝයා වහන්සේලා වැඩමවීමේ දී අවශ්‍ය සංඝයා වහන්සේලා ප්‍රමාණයක් සඳහන් නොවේ. එදිනම මහණ වූ එක් සාමණේර සංඝයා වහන්සේ නමකට වුව මහා සංඝයා නියෝජනය කරමින් සඟ සතු දානයක් දන් දිය හැක. එසේ ම යම් සංඝයා වහන්සේ නමක් අරමුණු කරගෙන කවර හෝ දෙයක් හෝ දානයක් පිළිගන්වන්නේ නම් එය පුද්ගලික දානයක් වේ. එය සඟ සතු දානයක් නොවේ. මහත් ඵල මහත් ආනිසංස ඇතිවන්නේ මහා සංඝයා අරමුණු කරගෙන සඟ සතු දානය පිළිගැන්වීමෙනි.

එසේ පිළිගන්වන දානය මහත් ඵල මහත් ආනිසංස ඇතිවන්නේ ධාර්මිකව ඉපයූ ධනය වැය කර දන් දීමෙනි. මේනිසා සෑම විටම යමක් මහා සංඝයා උදෙසා යම් දාන වස්තුවක් පිළිගන්වන විට ඒ සඳහා ධාර්මිකව ඉපයූ ධනය භාවිතයට ගන්න. සෑමවිටම එසේ දන් දීමේදී තුන්සිත පහදවාගෙන (දන් පිළිගැන්වීමට පෙරත් පිළිගන්වන අවස්ථාවෙත් ඉන් පසුවත් සංවර සිතින්) සීල්වත්ව දන් දීමෙන් දාන ආනිසංසය මහත්ඵල මහත් ආනිසංස ඇති වේ.

සංඝයා සඳහා සඟ සතු කර පිළිනොගැන්විය යුතු දෑ
සත්වයන් සඟ සතු නොකරයි.
ස්ත්‍රීන් සඟ සතු නොකරයි.
දාසියන් සඟ සතු නොකරයි.
ධාර්මික නොවන දෑ සඟ සතු නොකරයි.

සංඝ රත්නය භික්ෂු සහ භික්ෂූණී යනුවෙන් කොටස් දෙකකි. බුදුන් වහන්සේ දවස පටන් අද දක්වා නොකොටවා පැවැත එන්නේ භික්ෂු සාසනය පමණකි. අතීතයේ උපසම්පදා භික්ෂූණීන්ගේ නොකඩවා වර්තමානය දක්වා පැවැත ඒම නතරවීම හේතුකොට වර්තමානයේ භික්ෂුණී සාසනයක් නොමැත. නැවත භික්ෂුණී සාසනයක් ඇතිවීමට ඇති ඉඩ කඩ වන්නේ ලිංග විපර්යාසයක් වූ උපසම්පදා භික්ෂුන් වහන්සේ සතර නමකින් පමණකි. වර්තමානයේ කාන්තාවන් දස සිල් මාතාවන් ලෙස බුදු සසුන තුළ දක්නට ලැබේ. සාමණේර භික්ෂුණීන් වහන්සේලා හෝ නොමැති වර්තමානයේ සඟ සතු දානයක් එම සිල් මාතාවන්ට පිළිගත නොහැක.

බෙහෙත් ද්‍රව්‍යය පිදීමේ ආනිශංස


භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ 

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්‍ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් ලැබිය හැක.

01. දීර්ඝායු සම්පත් ලැබීම.
02. ශරීර ශක්තිය ලැබීම.
03. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
04. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
05. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
06. ශරීර සැපය ලැබීම.
07. කවර උපද්‍රවයකට වත් හසු නොවන්නෙකු වීම.
08. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
09. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි ප්‍රිය විප්‍රයෝග දුකකට පත් නොවීම.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X