‘පාරං ‘ යනු පර තෙරය. සසරින් එගොඩ ය හෙවත් නිවන ය. එයට පැමිණීමට උපකාර වන ගුණධර්මපාරමී, පාරමිතා යී පාලි භාෂායෙන් ද පැරුම් යැ යි සිංහලෙන් ද බැවහර යි. ලොවුතුරු බුදු වීමට ද, පසේ බුදු වීමට ද, බුදු සවු රහතකු වීමට ද, ඉවහල් වන මොහු බෝධිකාරක ධර්ම, බෝධිසාධක ධර්මබුද්ධකාරක ධර්මආදි නම් වලින් ද ප්‍රකටය. එකී පාරමී ධර්මදශයෙකි, දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීරිය, ඛන්නි, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා යන මොහු යි. ‘සමහරු මතු දෙව් මිනිස් සැප ලබනු සඳහා හෝ මෙ අත්බව්හි ම ලාභ කීර්ති ආදියක් සඳහා හෝ, අනුන් යට පත් කොට තමන් උස් කොට රටට පෙන්වනු පිණිස හෝ දීම් ආදිය කරත්. ඒ වා තෘෂ්ණා මාණ දෘෂ්ටි යන අකුශලවලින් කිලිටි වූ හෙයින්න දුව¢ල ‘ පින් කම්’ ය. එ බඳු පහන් ගතිවලින් වෙන් වැ හැම සතුන් කෙරෙහි කරුණායෙන් ද අන්ධ භක්තියෙන් තොර වැ නිසි මඟ දක්නා නුවණින් ද යුක්ත වැ ඒ කරුණා ඥාන දෙකින් හැම අතින් ම ආරක්‍ෂිත වැ පුරුදු කරන දීම් ආදි ගුණ දම් ම පාරමිතාවෝ යි.
දාන පාරමිතා
කරුණා ඥාන දෙකින් හැම අතින් ම වැඩුණා වූ සිතින් තමන් සතු දෑ දීමේ දී ඇති වන වේතනා දාන පාරමිතා, නම්, එය ත්‍රිවිධ ය. දානපාරමිතා, දානඋපපාරමිතා, දානපරමාර්ථ පාරමිතා වශයෙනි. තමා සතු ආහාර පාන වතු පිටි ආදි පිටන් දෑ පිනට දීම දාන පාරමිතා යි. අනුනට ප්‍රයෝජනයක් ඇති කල්හි තමන් ගේ ඇස් ඉස් ආදි ශරීරාවයව දීම දාන උපාරමිතා යි. අනුන් වෙනුවෙන් සිය මුළු ජීවිතය ම පිදීම දාන පරමාර්ථ පාරමිතා නම්,
ශීල පාරමිතා
කයින් වචනයෙන් කැරෙන දුසිරිතෙනුන් අයුතු ජීවිතයෙනුත් වැළැක්ම ශීල ( හීලෑ ගුණය) නම්. එය කරුණා ඥාන දෙකින් වැඩී, තෘෂ්ණාදියෙන් නො කිලිටි වී පිරෙනුයේ ශීල පාරමිතා යි. ශීලය චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙ වැදෑරුම්. මා පිය ගුරුවරුන් ආදීනට කටයුතු වත්පිළිවෙත් පිරීම චාරිත්‍ර ශීල යි. ප්‍රාණහිංසාදියෙන් වැළැකීම චාරිත්‍ර ශීලය යි.
මේ ශීල පාරමිතාව ද ශීල පාරමිතා ශීල උපපාරමිතා ශීල පරමාර්ථ පාරමිතා යි ත්‍රිවිධ වේ.
1. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤාවිරියෙන පංචමං
ඛන්තිසච්චමට්ට්ඨානං මෙත්තුපෙක්ඛා. නිමා දස බුද්ධ භක්තිය
වතු පිටි ආදි දෑ ද අඹුදරු ආදීන් ද යන බාහිර වස්තු නිසා ශීලය බිඳ නො ගෙන රැක්ම ශීල පාරමිතා යි. ස්වකීය ශරීරයේ අවයව නැසී යතන් එය නො තකා, සිල් බිඳ නො ගෙන රැක්ම ශීල උපපාරමිතා යි. සිය ජීවිතය නැසී යතත් සිල් නො බිඳ රැක්ම ශීල පරමාර්ථ පාරමිතායි.
නෛෂ්කාම්‍ය පාරමිතා
නෙක්ඛම්ම ( නෛෂ්කාම්‍ය ) නම් නිෂ්කාමභාවය යි හෙවත් කාමයන්ගෙන් නික්මුණු, වෙන් වුණු බව යි. තෘෂ්ණාදියෙන් කිලිටු විය නො දී, කරුණා ඥාන දෙකින් රැක ගෙන වඩනා ලද ඒ නිෂ්කාම භාවය නෙක්ඛම්ම පාරමිතා ( නෛෂ්කාම්‍ය පාරමිතා ) නම්, කාම දෙ වගෙකි. වස්තු කාම ක්ලේශ කාම වශයෙනි. රූප ශබ්දාදි වස්තු පස වස්තු කාම යි. ඒ රූපාදියට ඇලීම ක්ලේශ කාම යි. මේ දෙකින් ම වෙන් වීමට බෝසත්හු වැර වඩනුවෝ කම් සැප දුරැලා පැවිදි වෙති. ධ්‍යාන වඩති. විමසුන් වඩති. සියලු කුසල් වඩනුවෝ කාම පක්‍ෂය ගත් අකුසල් දුරැලති. මෙ සේ හැම කාමයෙන් වෙන් වන්නට යත්න වඩති.
මෙය ද පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා වයෙන් ත්‍රිවිධ වේ. කාමයෙහි දොස් දැක තමා සතු වතු පිටි ආදි බාහිර වස්තු කෙරෙහි ඇල්ම හැරපැවිදි වීම නෙක්ඛම්ම පාරම්තා නම්, ස්වකීය ශරීරාවයව ද නො තකා නෙක්ඛම්ම ගුණය බිඳි යැ නො දී රැකීම නෙක්ඛම්ම උපපාරමිතා නම්, සිය දිවි වුව ද නො බලා නෙක්ඛම්ම ගුණය බිඳෙනු නො දී රැක ගැන්ම නෙක්ඛම්ම පරමත්ථ පාරම්තා නමි.
කරුණාවෙනුත් දෙ ලෝ වැඩ දක්නා නුවණිනුන් තදින් රැක ගන්නා ලද ලෝක තත්ත්වය දක්නා නුවණ ප්‍රඥා පාරමිතා යි.
එ ද ප්‍රඥා පාරමිතා, ප්‍රඥා උපපාරමිතා, ප්‍රඥා පරමාර්ථ පාරමිතා යැ යි ත්‍රිවිධ යි. බාහිර වස්තු නො තකා වඩන නුවණ ප්‍රඥා පාරමිතා යි. සිය ජීවිතය ද නො තකා වඩන නුවණ ප්‍රඥා පරමාර්ථ පාරමිතා යි.
මෙ සේ තුන් පරිද්දෙකින් වඩන මේ ප්‍රඥාව චින්තාමය ප්‍රඥා, ශ්‍රැතමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා යි ත්‍රිවිධ යි. උත්පත්තියෙන් ම ඇති වන නුවණ ප්‍රතිසන්ධි ප්‍රඥා ( සහජ නුවණ ) නම්. එය ඇත්තේ කල්‍යාණමිත්‍ර සේවන, නිවැරදි සිප් සතර ඉගැන් ම, ප්‍රශ්න විතෑරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම යන ආදියෙන් උඩ කී චින්තාමය ප්‍රඥාව වැඩීමේ සමත් වෙයි.
එහි චින්තාමය ප්‍රඥා නම් තර්‍කානුකූල වැ කරුණු විමසා බැලීමෙන් ලබන නුවණ යි. නොයෙක් ධර්ම ශාස්ත්‍ර ඉගැන්මෙන් ලබන නුවණ ශ්‍රැතමය ප්‍රඥා යි. භාවනා වැඩිමෙන් ලබන් නුවණ භාවනාමය ප්‍රඥා යි.
කරුණා ප්‍රඥා දෙකින් පරිපෝෂිත , තෘෂ්ණාදියෙන් කිලිටු නො වූ, කුසල් වැඩීමෙහි උත්සාහය වීර්ය පාරමිතා යි. එහි ද බාහිර වස්තු ගැන නො තකා වැර වැඩීම වීර්ය පාරමිතා යි. සිය සිරුරැ අවයව ගැන නො තකා වැර වැඩීම වීර්ය උප පාරමිතා යි. සිය දිවි යතන් එය නොතකා හොඳ දෑ කිරීමෙහි වැඩ වැඩීම වීර්ය පරමාර්ථ පාරමිතා යි.
ක්ෂාන්ති නම් ඉවැසීම යි. තෘෂ්ණ ආදියෙන් කිලිටි නො වූ, කරුණා ප්‍රඥාා දෙකින් පිරිවැරුණු ඉවැසී ම ක්‍ෂාන්ති පාරමිතා නම්. තමා සතු අඹු දරුවනට වතු පිටි ආදියට අලාභ හානි කරන්නවුනට නො කිපී ඉවැසීම ක්‍ෂාන්ති පාරමිතා යි. තම අත් පා ආදි අවයව පෙළද්දී නසද්දී නො කිපී ඉවැසීම ක්‍ෂාන්ති උපපාරමිතා යි. සිය දිවි නසද්දී ද නො කිපී ඉවැසීම ක්‍ෂාන්ති පරමාර්ථ පාරමිතා යි.
තෘෂ්ණාදියෙන් කිලිටි නො වූ, කරුණා ප්‍රඥා දෙකින් පිරිවැරුණු සත්‍යවාදී බව සත්‍ය පාරමිතා නම්. ඒ ද පළමු සේ ම ත්‍රිවිධ යි. එහි තමා සතු වතු පිටි අඹු දරු ආදීන් නිසා බොරු නො කීම සත්‍ය පාරමිතා යි. තම අත් පා ආදී ශරීරාවයව නිසා බොරු නො කීම සත්‍ය උපපාරමිතා යි. සිය ජීවිතය විනාශ වතත් බොරු නො කීම සත්‍ය පරමාර්ථ පාරමිතා නමි.
මෙ නම් යහපත් දෑ කරමි යි සිතාගත් කාරණයෙහි නො සැලී තරයේ පිහිටා සිටීම අධිෂ්ඨාන නම්. තෘෂ්ණාදියෙන් කිලිටි නො වී, කරුණා ප්‍රඥා දෙකින් පෝෂිත වැ පිරෙනුයේ අධිෂ්ඨාන පාරමිතා නමි. එ ද ත්‍රිවිධ යි. බාහිර වස්තු අතින් පාඩු අලාබ වතත් එයින් නො සැලී, ඉටා ගත් සද්කාර්යයෙහි තදින් පිහිටා සිටීම අධිෂ්ඨාන පාරමිතා යි. ස්වකීය ශරීරාවයව වැනැසෙද්දී වුව ද, නො සැලී පවත්වන අධිෂ්ඨානය අධිෂ්ඨාන උපපාරමිතා යි. සිය දිවි නැසෙද්දී වුව ද ඉටා ගත් සද්ක්‍රියායෙහි නො සැලී යෙදී සිටීම අධිෂ්ඨාන පරමාර්ථ පාරමිතා නමි.
මෛත්‍රී පාරමිතා
කරුණා ප්‍රඥා දෙකින් පරිපෝෂිත, හිතචිත්තතාව මෛත්‍රී පාරමිතා යි. බාහිර වස්තු පෙළන අය කෙරෙහි පවත්වන. අවෛරී බව මෛත්‍රී පාරමිතා නම්, තමා ගේ ඇස් ආදි ශරීරාවයව පෙලන නසන අයට ද තමාට සෙයින් ම සෙත් කැමැති වීම මෛත්‍රී උපපාරමිතා නමි. තම ජීවිතය නසන්නවුන් කෙරෙහි ද තමාට සේ ම හිත සුව කැමති වීම මෛත්‍රී පරමාර්ථ පාරමිතා නමි.
බුද්ධ භක්තිය
උපේක්‍ෂා පාරමිතා
පි‍්‍රය අපි‍්‍රය හැම දෙනා කෙරෙහිත් හැම දැය කෙරෙහිත් සිතින් සම වැ පැවැත්ම උපේක්‍ෂා නමි. බුදු බව සඳහා වඩන ඒ ගුණය තෘෂ්ණාදියෙන් නොකිලිටි වැ කරුණා ප්‍රඥා දෙකින් සුරක්‍ෂිත වැ පවන්නේ උපේක්‍ෂා පාරමිතා යි. මේ ද අනිත් පාරමිතා සේ ම ත්‍රිවිධ යි. එහි ද තමා ගේ බාහිර වස්තු කෙරෙහි, අඹු දරු ආදීන් කෙරෙහි උපකාරී වැ ද අනුපකාරී ව ද පවත්නා හැමට සම වැ මධ්‍යස්ථ වැ පැවැත්ම උපේක්‍ෂා පාරමිතා යි. තම සිරුරු අවයවවලට හිත වැ අහිත වැ පවත්නා හැමට මධ්‍යස්ථ වීම උපේක්‍ෂා උපපාරමිතා යි. තම ජීවිතයට ම විනාශකාරී වූ හෝ උපකාරී වූ හැම දෙනාට එක සේ සම වැ පැවැත් ම උපේක්‍ෂා පරමාර්ථ පාරමිතා නමි.
දස පැරුම්
අකත්ති ( අගස්ත්‍ය ) ජාතකය සිවි ජාතකය ව්‍යාඝී‍්‍ර ජාතකාදිය 1 දාන පාරමිතාව පිරීමට ද, සීලව ජාතකය, ඡද්දන්ත ජාතක, රූරු මීග ජාතකාදිය ශීල පාරමිතා පිරීමට ද, සය්හජාතක, චුල්ලබෝධි ජාතක, මඛාදේව ජාතක ආදිය නෙක්ඛම්ම පාරමිතාව පිරීමට ද, රාජෝවාද ජාතක, සරභංග ජාතක, උම්මග්ග ජාතක, මහා බෝධි ජාතාකාදිය ප්‍රඥා පාරමිතා පිරීමට ද, චණ්ණුපථ ජාතක, පංචායුධ ජාතක, මහාකපි ජාතකාදිය වීර්ය පාරමිතාව පිරීමට ද, ක්‍ෂාන්තිවාද ජාතක, චුල්ලධම්මපාල ජාතක, හා කපි ජාතකාදිය ක්‍ෂාන්ති පාරමිතාව පිරීමටද, කණහදිපායණ ජාතක, දසරථ ජාතක, ජයද්දිස ජාතකාදිය සත්‍ය පාරමිතාව පිරීමට ද, තේමිය ජාතක, නලපන ජාතක, මහාසුව ජාතකාදිය අධිෂ්ඨාන පාරමිතාවට ද, ඒකරාජ ජාතක, නිග්‍රොධමිග ජාතක, සාම ජාතකාදිය මෛත්‍රී පාරමිතාව පිරීමට ද, අනනුසෝචිය ජාතක, උරග ජාතක, ලෝමහං ජාතකාදිය උපේක්ෂා පාරමිතාව පිරීමට ද නිදශ¡න වශයෙන් උගත යුතු.
පැරුම් පුරන කාලය
රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්‍ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්‍ෂයක් ද, පැරුම් පිරිය යුතු.
ලොව්තුරා බුදු බව ලබන්නට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්‍ෂයක් පැරුම් පිරිය යුතු ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්‍ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්‍ෂයක් ද පැරුම් පිරිය යුතු.
ව්‍යාඝී‍්‍ර ජාතකය ජාතක පොතේ නැත. ශ්‍රී සද්ධර්‍මාවාද සංග්‍රහයෙන් බලා දත යුතු මේ කීයේ පළමු නියත විචරණ ලත් අවස්ථාව පටන් කොට පැරුම් පිරියැ යුතු කාල ප්‍රමාණය යි. අපි බෝසතාණෝ ප්‍රඥාධිකයෝය. ඒ බැවින් පළමු නියත විවරණ ලත් සුමේධ තාපස කාලයේ සිට බුදු වීම තෙක් සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ම පැරුම් පිරීමෙන් ප්‍රඥාදී සියලු ගුණ අවසනට මුහුකුරුවා බුදු වියැ හැකි වූහ.
පැරුම් පිරීමේ අනුහස්
නියත විවරණ ලත් බෝසත්හු, සසරැ සරන කල්හි, අවීචියෙහි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙහි නො උපදින්, ප්‍රේත වැ නො උපදින්. පරෝපකාර පිණිස සිය කැමැත්තෙන් දී තිරිසන් වැ උපදිත හැකි වතත් ඇතකුට වඩා ලොකු හෝ වටුවකුට වඩා කුඩා සකේ වැ නො උපදී. මිනිස් වැ උපදනා කලැ ස්ත්‍රී වැ, පණ්ඩක වැ, නපුංසක වැ, උභතෝඛ්‍යංජනක වැ, නො උපදිත්, උත්පත්තියෙන් ම අන්ධවැ, ගොළු වැ, බිහිරි ව, පණ්ඩක වැ නො උපදිත්.
ආනන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්. අසංඥතලයෙහි හෝ ශුද්ධාවාසයෙහි නො උපදිත්, අන්තිම අත්බව්හි තුසිත දෙව් ලොවින් සැව මව කුසැ පිළිසිඳ ගනුවෝ සිහි නුවණින් යුතු වැ ම පිළිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුසැ වසන් බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී මැ බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම පාරමී ධර්ම පිරීමෙන් ඇති වන දෑ ය.
පාරමිතා ඵල. පැරුම් පිරීමේ ඵලය නම් බුදුබව ලැබීම යි.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ
“බුද්ධ භක්තිය” පොතෙන් උපුටා ගැනිණි.