වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ඔබ කරන පුජාවන් හි ආනිසංස

පදුම හිමි පදුමුත්තර බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පුජා කළ පිනෙන් මල් පෙති ගණනට සක්විති රජ ව ඉපදුණ හ. හත්සිය වතාවක් පෘථිවි රාජ්‍ය කළ අතර අවසානයේ නිවන් සුව ලැබීමට ද ඒ පින හේතු වු බව දක්වා ඇත.
තවද තිඋප්පල මාලිය හිමි විපස්සී බුදුරජුට උපුලු මල් තුනක් පුදා කල්ප 91 ක් දුගතියට නොයන ලදි. මේ පිනෙන් තුන්සිය වතාවක් සක්දෙව් රජ වී ඉපදිනා හ. පන්සිය වතාවක් සක්විති රජ වුණ අතර එම පිනම අවසානයේ නිවන් සුව ලැබීමට හේතු විය.
සත්තුප්පලමාලක තෙරුණිය පෙර ජිවිතයක සිඛී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ සිතින් සිහි නුවණින් පිදූ පිනෙන් වාර හැත්තෑ හතක් දෙව්ලොවට අධිපති සක්දෙවිදුගේ බිරිඳ ව උපන්නාහ. එම මලෙහි පාට සුවඳ දෙකම ඇයට හැම දිවියකදීම හිමි වු අතර අවසානයේ නිර්වාණ අවබෝධය පිනිස ද ඒ පිනම හේතු වු බව දක්වා ඇත.
ඊට අමතරව මල් පිදීමේ ආනිසංස ලෙස
1. මහත් බෝග සම්පත් ඇත්තෙකු වීම
2. පහත් කුල වල නොඉපදි උසස් කුල වලම ඉපදීම
3. කැමති කැමති යාන වාහන ලැබිම
4. බෝහෝ අගනා වස්ත්රවභරණයන්ට ලාභි වීම
5. සෑම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්ර වීම
6. උසස් කීර්තියක් ඇත්තෙකු වීම
7. සෑම කල්හිම බෝහෝ පිරිවර ජනයා ඇත්තෙකු වීම
8. තම පිරිස කිසිවෙකුට භේද කර විය නොහැකි වීම
9. ඥාතීන් අතර උසස් ශ්රේ්ෂ්ඨ අයෙකු වීම
10. ශීත උෂ්ණ දේශගුණ වලින් පීඩාවට පත් නොවීම ආදී ය සදහන්ව ඇත.

මල් පුදන්නේ කුමට ද?
එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?
මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල පි‍්‍රය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි.
මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහෝ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ.
උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදි උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්කම් දෙකකි. වැඳුම් පිදුම් මෝඩ වැඩ සැටියට පෙනෙන්නේ ආගම නො දත්, පරලොවක් ඇති බව නො දත් පින් පව් නො හඳුනන අයට ය.
මල් පිදීමෙන් බොහෝ කල් දෙවි මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙළවර කර ගත් අය ගේ තොරතුරු දැක්වෙන කථා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේ ය. රජගහ නුවර එක් උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් සතරක් ගෙන යද්දී පැටවකු ඇති දෙනක විසින් ඇණ මරාදමනු ලැබ, මල් ගෙනයාමේ පිනෙන් ම තව්තිසා දෙව්ලොව උපන් බව විමානවත්ථූ පාලියෙහි ඇත්තේ ය. බුදුනට මල් පිදීමේ අනුසස් කොතරම් මහත් ද යන බව එයින් සලකා ගත හැකි ය.
***පහන් කීපයකින් ආලෝකවත් කළ හැකි චෛත්‍යමලු බෝමලු විහාරගෙවල සියගණන් පහන් දල්වා තෙල් නාස්ති කරන්නේ කුමට ද?
සෑමලු ආදියෙහි පහන් දල්වන්නේ ඒ ස්ථාන ආලෝක කිරීම පරමාර්ථය කරගෙන නොව බුදුන් වහන්සේට පහන් පිදීමක් වශයෙනි. බුදුන් වහන්සේට එක පහනක් පුදන්නා හට එක පහනක් පිදීමේ කුශලය ලැබේ. දෙක තුනක් පුදන්නාට දෙක තුනක් පිදීමේ කුශලය ලැබේ. සැදැහැවත්හු බොහෝ පින් සිදුකර ගැනීම සඳහා සිය ගණන් දහස් ගණන් පහන් පුදති.
පින් පව් හඳුනන්නා වූ බුදුගුණ දන්නා වූ පින්වත්හු මෙබඳු පින්කම් දැක සිත සතුටු කර ගෙන පින් අනුමෝදන් වී අනුන් කරන පිනෙන් ද ප්‍රයෝජන ලබති. බාලයෝ ‘නිකම් පහන් දල්වා රටේ ඇති තෙල් විනාශ කරති’යි අනුන් කරන පින්කම්වලට සිත නරක් කර ගෙන මරණින් මතු අපා ගත වෙති. මල්ල රජුන් ගේ ධාතු පූජාව ගැන සිත් නරක් කර ගත්තා වූ අසූසය දහසක් මිථ්‍යාදෘෂ්ටිකයන් ඒ පවින් අපාගතවූ බව “ මිච්ඡාදිට්ඨිකා සමණස්ස ගොතමස්ස පරිනිබ්බුත කාලතො පට්ඨාස බලක්කාරෙන සාධු කිළිතාය උපද්දුතම්භ, සබ්බේ නො කම්මන්තා නට්ඨාති උජ්ඣායන්නා මනං පදොසෙත්වා ජලාසීති සහස්සමත්තා අපායෙ නිබ්බුත්තා” යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කොසොල් රජතුමා ගේ අසදෘශ දානය ගැන සිත දුෂණය කර ගත් කාල ඇමති එපවින් මෙලොවදී ම තනතුරෙන් පහවූ බව දම්පියාටුවාවෙහි දක්වා තිබේ. තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා භවෙ නප්පසංසන්ති දානං
ධිරො ව දානං අනුමොදමානො
තෙතෙව සො හොති සුඛී පරත්ථ
අනුන් ගේ දීම්වලට ද කැමති නො වන තද මසුරෝ දෙව්ලොවට නො යන්නාහ. බාලයෝ දානයට ප්‍රශංසා නො කරන්නාහ. නුවණැත්තේ දානය අනුමෝදන් වෙමින් එයින් මරණින් මතු සැපවත් වන්නේ ය.
***බෞද්ධයන් විසින් සරණ සමාදානය සඳහා භාවිත කරන, ‘ බුද්ධං සරණං ගච්ජාමි’ යනාදි වාක්‍ය තුන ‘ මම බුදුවෙමි. මම ධර්‍මය වෙමි. මම සඟ වෙමි’යි තේරුම් කරති. එසේ තේරුම් කිරීම හරි ද?
‘ මම බුදුවෙමි’ යි වර්තමානය ගැන සලකා කියනවා නම් ඒ තැනැත්තා බුදු වී නැති බැවින් එය මුසාවකි. අනාගතාර්ථය සලකා කියනවා නම් එය ප්‍රාර්ථනයක් වේ. සරණ සමාදානයක් එයින් නො වේ. ධර්මය යි කියනුයේ සතර මාර්ග සතර ඵල නිර්වාණ යන මේ නවයට හා ත්‍රිපිටකයට ය. කිසි කලෙක පුද්ගලයකුට ධර්මය විය නො හැකි ය. පුද්ගලයකුට ධර්මය නො විය හැකි බැවින් “ මම ධර්මය වෙමි” යි කීම කිසි තේරුමක් නැති උමතු කථාවකි. සංඝයාය කියනුයේ බුදුන් වහන්සේ ගේ පැවිදි පිරිසට ය. එක් එක් පුද්ගලයෙක් සංඝයා නො වේ. කවර ආකාරයකින්වත් එක් පුද්ගලයකුට පුද්ගල සමූහයක් නො විය හැකි ය. එබැවින් “ මම සඟ වෙමි” යි කීමත් කිසි ම තේරුමක් නැති උමතු කථාවෙකි. බුදුන් වහන්සේ අනුශාසකයාය, සංඝයා උන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ ය. “ බුදුවන්නේත් මම ය. සඟ වන්නේත් මම ය” යි කීම පියා වන්නේත් මම ය. මගේ පුතා වන්නේත් මම ය” යි කීම වැනි විහිළු කථාවෙකි.
මම බුදු වෙමි. මම ධර්මය වෙමි. මම සඟ වෙමි. මේ වගන්ති පාලි භාෂාවෙන් කියනවා නම් කියයුත්තේ “ අහං බුද්ධෙධා හොමි, අහං ධම්මො හොමි, අහං සංඝො හොමි” කියාය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” කියා පාලියට නො පෙරළිය හැකි ය. මේ කාරණයෙන් ද ඉහත කී තේරුම් කිරීමේ ක්‍රමය කිසි තේරුමක් නැතියක් බව කාහට වුවත් තේරුම් ගත හැකි ය.
මේවා මෙසේ වරදවා තේරුම් කරන්නවුන් විසින් එය කරන්නේ ඔවුන් ගේ නො දැනීමක් නිසා නොව කෛරාටිකකම නිසා ය. මෙසේ තේරුම් කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ නූගත් බෞද්ධයන් මුළාකොට ඔවුන් පන්සල්වලින් ඈත්කොට, භික්ෂූන් වහන්සේලාගෙන් ඈත් කොට තමන් ගේ ශ්‍රාවකයන් කරගෙන ඔවුන්ගෙන් ගරු බුහුමන් ලාභ සත්කාර ලැබීමට ය.
***‘ බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි පාඨවල නියම තේරුම කවරේද?
එක් එක් වචනයකින් කියැවෙන්නේ එක් අර්ථයක් ම නො වේ. සමහර වචනවලින් අර්ථ දෙක තුන කියැවේ. සමහර වචනවලින් හත අට දහය දොළහ කියැවේ. වචනයකින් කියැවෙන අර්ථය සලකා ගත යුත්තේ ඒ වචනය යෙදී ඇති තැනේ සැටියට තැනට ගැලපෙන පරිද්දෙනි. ගච්ඡාමි යන වචනය බෙහෙවින් යෙදෙන්නේ තැනකින් තැනකට යාම නමැති අර්ථය දැක්වීමට ය. සරණ සමාදානය එබඳු යාමක් නොවන බැවින් තැනකින් තැනකට යාම නමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි නො ලැබේ.
බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයෙහි ‘ ගච්ඡාමි’ යන වචනයෙන් කියැවෙන්නේ දැනගැනීමය. පිළිගැනීමය. සේවනය කිරීමය. භජනය කිරීමය යන අර්ථයෝ ය. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිළිසරණක්ය කියා දැන ගනිමිය. සලකා ගනිමිය, සේවනය කරමිය යනුයි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි දෙක්හි තේරුමත් එසේ ම සලකා ගත යුතු ය. බුදුන් සරණ යෙමිය කියන කල්හිද අර්ථය එසේම සලකා ගත යුතු ය. සරණ යාමය කියන්නේ කොහාටවත් යාමක් නොව පිහිටක්ය කියා දැන ගැනීම ය. පිහිටක්ය කියා සලකා ගැනීම ය. පිළිගැනීම ය.
බුද්ධං සරණං ගච්ඡාමි යනු මම බුදුවෙමිය කියා වරදවා තේරුම් කරන අය බුදුන් සරණ යෙමිය කියා යන්නේ කොහි ද? ඉහළ යනවා ද? පහළ යනවා ද? හරහට යනවා ද? යනාදි ප්‍රශ්න අසා නූගතුන් මුළා කෙරෙහි “ නූගත් අසරණයෝ මූළාවී ඔවුන් ගේ ශ්‍රාවකයෝ වෙති.
බුද්ධ රත්නය ධර්‍ම රත්නය සංඝ රත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් සැටියට සලකා ගැනීම පිළිගැනීම සරණ ශීිලය ය. බුද්ධං සරණං ගච්ඡාමි යානාදි පාඨ තුන කියන්නේ සරණ ශීලය සමාදන් වීමට ය. සරණ ශිලයෙහි පිහිටි තැනැත්තා උපාසක නම් වේ. බෞද්ධයා ය කියන්නේ ද ඔහුට ය. බුද්ධාදි රත්නත්‍රය තමා ගේ පිහිට ලෙස නො පිළිගන්නා අයට උපාසකත්වය නැත. ඒ නිසා ඔවුහු බෞද්ධයෝ නො වෙති.
බුදු නො වන ධර්‍මය නො වන සංඝයා නො වන තැනැත්තකු මම බුදු වෙමිය මම ධර්‍මය වෙමිය මම සඟ වෙමිය යි කීම නිකම් ම මෝඩ කථාවකි. මෙම බුදු වෙමිය ධර්මය වෙමිය සඟ වෙමිය යි කොතෙක් කීවත් එයින් ඒ තැනැත්තා බුදුවන්නේත් නැත. ධර්මය වන්නේත් නැත. සංඝයා වන්නේත් නැත. එයින් ඔහුට වන්නේ තිසරණයක් නැති වී අබෞද්ධයකු වීම පමණෙකි. කෛරාටිකයන් ගේ කියුම්වලට රැවටී එබඳු මෝඩකම් නො කෙරෙත්වා!
මහාචාර්ය රේරුකානේ චන්දවිමල
මහ නාහිමි
සුවද පූජාවේ අනුසස් -
ගන්ධ සම්භාර යුත්තේන – ධූපෙනාහං සුගන්ධිනා
පූජයේ පූජනීයං තං – පූජා භාජන මුත්තමං
සුගන්ධිකාය වදනං – අනන්ත ගුණ ගන්ධිනං
සුගන්ධිනා හං ගන්ධේන – පූජයාමී තථාගතං
උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
වහා චිත්ත සමාධිය ඇතිවේ
සුවදවත් සිරුරක් ලැබේනවන සදහා හේතු වීම
පහන් පුජාවේ ආනිශංස
01. ප්‍රඥාව ලැබීමට හේතු වීම

02. හො‍ද ඇස් ලැබීමට හේතු වීම

03. දිවැස් ලැබීමට හේතු වීම

04. පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම

05. ඍධිමය හැකියා පහළ වීම

06. ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම

07. ඇස් රෝග නොවැලදීම

08. දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති

09. ඥානයන් ලැබීමට හේතු වීම

10. ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

"දීපදෝ හෝති චක්ඛුදෝ" යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.
අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. "උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය"යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.
ඇමදීමේ ආනිශංස -
තමාගේ සිත ප්‍රසාදයට පත්වේ
අනුන්ගේ සිත ප්‍රසාදයට පත්වේ
දෙවියන් සතුටු වෙති
රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි
මරණින් මතු ස්වර්ගයේ උපදී
අට මහා කුසල්
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
"කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” 
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති. 
එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.
බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ.
අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්‍යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්‍රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත.
බෝධි පූජාවෙන් නියම අනුසස් ලැබිමට නම් ඒ තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතු ය.
ඒ කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය.
* ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම.
* පිරිසුදු ව ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම.
* බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම.
* යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම.
* අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම.
* ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම.
* බෝධි වන්දනා ගාථා හා කවි ගායනය.
* තෙරුවන් ක්ෂමා කරවා ගැනීම.
* දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීම.
* මෛත්‍රී භාවනාව
* පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)
අප විසින් මේ සියලු පූජාවන් සිදු කරනුයේ බුදුරදුන්ට ගෞරවය දැක්වීමේ මාධ්‍යයන් ලෙසය. එබැවින් බෝධි පූජාව වැනි ආගමික වතාවත්වලදී බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.

පුටු පිදීමේ කුසල විපාක
බුදුවරුන්ට හා මහා සංඝ රත්නයට හිඳ ගැනීමට අසුන් සපයා දීම යනු මහත් ආනිසංශ දායී කුසල කර්මයක් බව කරුණාවෙන් මතක් කර සිටිමු.

අසුනක් සැපයීම සරලව ගතහොත් හිඳ ගැනීමට අවශ්‍ය වෙලාවට ඊට ආධාරකයක් ලබාදීම ලෙස සැලකිය හැකිය. ආනිසංශ දායී

මෙම කුසල කර්මය සිදු කර ගන්නේ කෙසේ දැයි විමසා බලමු , අද කාලයේ බොහෝ නිවෙස් වල සාංඝික දානයන් පූජා කෙරෙන අතර තුර මෙන්ම

තම පන්සලේ සිදුකෙරෙන විවිධ පින් කම් කටයුතු වලදීද ,ධර්ම දේශනා සංවිධානය කරන අවස්ථා වලදි මෙම උතුම් කුසල කර්මය අපහසුවකිත් තොරව සිදුකර ගත හැක.

ඔබ එම වෙලාවන් හි ඉතා පිරිසිදු සැදැහැ සිතින් ආසන පිළියෙල කොට මෙම ආසන පිලියෙල කිරීමෙන් ලද උතුම් කුසලය මා හටත් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියා පතන්න එම කුසල් බලය ඔබට නිවන පිණිසම වෙයි.. 

අප දැන් මම පුටු පිදීමේ කුසල කර්ම කිරීමෙන් ලත් ආනිසංශ විමසා බලමු.
හේමක හිමි පියදස්සී බුදුරජාණන් වහන්සේට සෘදිබලයෙන් රන් පුටුවක් මවා දුන් පිනෙන් 
හැත්තෑපස් වතාවක් සක්විති රජ විය.
දෙතිස්වතාවක් දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු විය.
ඒකාසනාදායක් හිමි පියුමතුරා බුදුරජුන්ට දඬුමැස්ස මත ආසනයක් පනවා දුන් පිනෙන් 
පනස් වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර සම්පත් ලැබුවේය.
අසූවතාවක් සක්විති රජ විය. (අපදාන පාලි 423 -අපදානය)
පුරුශයන් පමණක් නොව ස්ත්‍රීන් ද මෙවැනි උතුම් ක්‍රියාවල නිරතවී ලැබු ආනිසශ ථෙරී අපදානයේ දැකගත හැක .
ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින් තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන් පිනෙන් අසූවතාවක් සක්දෙව්ඳුගේ බිරිඳ වී උපන්නාය.මනුලොවදී ද පහත අනුසස් ලැබුනේය.
1. හිඳ ගැනීමට රන් රිදී අසුන් පහලවේ.
2. චිත්ත පීඩා ඇතිනොවේ.
3. මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.
4. බොහෝ භෝග සම්පත් ලැබේ.
5. උසස් කුල සම්පත් ලැබේ.
6. චෛතසික වේදනාවන්ට පත් නොවේ.
7. ලස්සන වී උපදියි.
8. තමා නාවන්න ,කවන්න ,පොවන්න ,සතුටු කරන්න,සුවඳ ගල්වන්න 
බොහෝ පිරිවර ලැබේ.
මීට අමතරව පිළින්දිවච්ච අපදානයේ තවත් කුසල විපාක දක්වා ඇත.
9. සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවේ.
10. බොහෝ කීර්ති ඇත්තෙක් වේ.
11. දීමෙන් ඇලුණු සිත් ඇත්තෙක් වේ.
12. බොහෝ පුටු සසරේ දී ලැබේ.
මෙවන් බොහෝ අනුසස් ලැබෙන පුටු පිදීමේ කුසලය ඔබත් සැදැහැ සිතින් සිදුකර ගෙන සසර ගමන සුවපහ් කරගෙන අමා මහ නිවන් දැකීමට ඔබත් අධිෂ්ඨාන කර ගන්න..


කොඩි පූජාවේ අනුසස්...

බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති. කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවෙකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනුපන් තැන උසස් පුද්ගලයන් වීමටත්, ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිව යුතුය.

* උපවාන තෙරුන් වහන්සේ...

මෙයින් කල්ප ලක්ෂයකින් පූර්වයෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ ශාරීරික ධාතුහු අප බුදුරදුන්ගේ ධාතුන් මෙන් විසිරී නොසිට ඒකඝනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට මහා දාගැබක් කළහ. මහජනයා ඉතා බැතියෙන් අනේකාකාරායෙන් ඒ චෛත්‍යය පුදනු දුටු හංසවතී නගරයෙහි කුලී වැඩ කරමින් ජීවත් වූ එක් දුගියෙක් සෝදා පිරිසිදු කොට තිබූ තමාගේ උතුරු සළුව (කරේ දමන රෙද්ද) උණ ලීයක අග එල්වා කොඩියක් කොට චෛත්‍යය සමීපයෙහි පිහිට වූයේ ය. එය සුලඟින් සැළෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය. ඔහු මහත් ප්‍රීතියන් එක්තරා තෙර නමක් වෙත ගොස් තමාගේ ධ්වජ පූජාවේ අනුසස් විචාළේ ය. තෙරුන් වහන්සේ එහි අනුසස් මෙසේ පැවසූහ.

“හත්ථි අස්ස රථාපත්ති සේනාච චතුරංගනී,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානිස්සිදං ඵලං.”

හස්ති සේනාව, අශ්ව සේනාව, රථ සේනාව, පාබල සේනාව යන සිව්රඟ සෙනග නිරතුරුව පිරිවරන්නාහ. මෙය ධවජ දානයේ ඵලය ය.

“සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලංකතා,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”

සැටදහසක් තූර්ය භාණඩද මැනැවින් අලංකාර කළ බෙරද තා නිරතුරු පිරිවරන්නාහ. මෙය ධ්වජ දානයේ ඵලය ය.

“ඡලාසීතිසහස්සානි නාරියෝ සමලංකතා,
විචිත්තවත්ථාභරණා ආමුත්ත මණිකුණ්ඩලා.

ආළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”

විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් හා මිණි කොඬොලින් අලංකෘත වූ නිල්වන් ලැම ඇත්තා වූ මඳ සිනා ඇත්තා වූ මනා හික්මීම ඇත්තාවූ ඉතා උස් ද ඉතා මිටි ද ඉතා ස්ථූල ද ඉතා කෘශ ද නොවූ මධ්‍යම ශරීර ඇත්තා වූ අසූසය දහසක් ස්ත්‍රීහු තා පිරිවරන්නාහ. මේ ධ්වජ දානයේ ඵලය ය.

“තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සසි,
අසීතික්ඛන්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි.”

කල්ප තිස්දහසක් සැපවිඳින්නෙහි ය. අසූවරක් දේවෙන්ද්‍රව දේවරාජ්‍යය කරන්නේ ය.

“සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්ති භවිස්සසි,
පදේසරජ්ජං විපුලං ගණනාතො අසංඛීයං.”

දහස් වරෙක චක්‍රවර්තී රජ වන්නෙහි ය. ගණන් නැති වාරවල ප්‍රදේශ රජ වන්නෙහි ය.

“කප්පසතසහස්සම්හි ඔක්කාක කුලසම්භවො,
ගොතමො නාමගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.

දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො,
පුඤ්ඤකම්මේන සංයුත්තො බ්‍රහ්මබන්ධු භවිස්සති.

අසිතිකෝටිං ඡඩ්ඩෙත්වා දාසෙ කම්මකරෙ බහුං,
ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.

ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්‍යපුංගවං,
උපවානොති නාමෙන හෙස්සසි සත්ථු සාවකො.”

කල්ප ලක්ෂයකින් ඔබ ඔක්කාක කුලයෙහි උපන් ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නා හ. එකල දෙව්ලොවින් චුතව පිනැති බ්‍රාහ්මණයෙක් වන්නේ ය. බොහෝ දාශකර්මකාරයන් හා අසූ කෙළක් ධනය ද හැර ගෞතම බුදුන් වහන්සේගේ සස්නෙහි පැවිදි වන්නේ ය. ශාක්‍යපුංග වූ ගෞතම බුදුන් වහන්සේ ආරාධනය කොට උපවාන නමින් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය.

“සතසහස්සිතෝ කප්පෙ යං කම්මකරිං තදා,
දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.”

මේ උපවාන තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයකි.
(අපදාන පාළියෙන් ගන්නා ලදී)

ශබ්ද පූජාවේ අනුසස් 

බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සළකති. ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පෙනේ. ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. එහෙත් මේ ශබ්ද පූජාව තථාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස් ද තථාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජ වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා ඇත්තේ ය. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභ ය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබේ. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථාය.

අත්ථදස්සී බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියළු තූර්ය භාණඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටුමෙන් ගැයුමෙන් ද බෝධි පූජාවක් කළ බවත් එතැන් පටන් සසර දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුසසුනෙහි පැවිදිව රහත් වූ බවත් එකාසනියත්ථෙර අපදානයෙහි දැක්වේ.

“නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සී නරුත්තමො,
තුරියං සබ්බමාදාය අගමං බෝධිමුත්තමං.

වාදිතෙනෙ ච නච්චේන සම්මතාලසමාහිතො,
සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨිං බෝධිමුත්තමං.

සතකම්මාභිරුද්ධොහං පසන්නො බෝධිමුත්තමං,
තෙන චිත්තප්පසාදෙන නිම්මානං උප්පජ්ජහං.

තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ ස්මූහතා,
ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධ සාසනෙ.”
(එකාසනියත්ථෙර අපදානයෙන්)

විපස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කළ පිනින් බොහෝ සම්පත ලද බව ඒකසංඛීයත්ථෙර අපදානයෙහි දක්වා තිබේ. තවද විපස්සි බුදුරදුන්ට සක් පිඹීමෙන් දිනපතා උපස්ථාන කිරීමෙන් බොහෝ සම්පත් ලද බව බුද්ධුපට්ඨාකථෙර අපදානයෙහි දක්වා තිබේ. ඒ සක් පිඹීම කෙසේ කරන ලද ද යන බව එහි පැහැදිලි ලෙස විස්තර වශයෙන් දක්වා නැත.

කප්රුක් පූජාවෙහි අනුසස් 

මෙකපට සිවනූවන කපෙහි ලොව පහළ වී වදාළ සිද්ධාර්ථ නම් බුදුරදුන්ගේ චෛත්‍යය සමීපයෙහි එක් සැදැහැවතෙක් විචිත්‍ර වස්ත්‍රයක් එල්වා කප් රුකක් සාදා තැබීය. එය චෛත්‍යස්ථානයට සැරසිල්ලක් වශයෙන් කරන ලද්දක් විය හැකිය. ඒ පිනෙන් ඔහු උපන් තැන්වලදී ඔහුගේ වාසස්ථානය අලංකාර කෙරෙමින් කප් රුක් පිහිටියේය. ඔහු හා ඔහුගේ පිරිස ඒ කප් රුක්වලින් වස්ත්‍ර ගෙන සැමකල්හි රිසිසේ පරිභෝග කළහ. මෙසේ ඒ පිනෙන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සිවු අනූ කපක් දෙව් මිනිස් සැප විඳ අප බුදු සසුනෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් වී නිවන් දුටුවේය. කප්පරුක්ඛීය තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය.

“චතුන්නවුතිතො කප්පෙ යං රුක්ඛං ඨපයිං අහං,
දුග්ගතිං නාභිජානාමි කප්පරුක්ඛස්සිදං ඵලං.”
තෙරුවන් සරණයි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X