වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පින් කරන්න බය ඇයි?

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

"බොහෝ අය සිතා සිටින්නේ පින් කිරීමෙන් සසර දිගුවන බවයි. එනිසා ඔවුන්ට පින ගැන තිබෙන්නේ අනිසි බියක්, නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ පිනට බිය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන නමක් කියලයි."
අප කවුරුත් පින ගැන අසා තිබෙනවා. බොහෝ දෙනෙක් පින් කරනවා. “පින” ගැන අපට හරියට කියා දුන්නේ ඒ උත්තම මුනිවරයා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ තරම් පිනෙහි වටිනාකම දැන සිටියා වූ වෙනත් අයෙක් මේ ලෝකයේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ පිඟාන සේදූ ඉඳුල් වතුර ටික පවා කුඩා සතෙකුට හෝ ආහාරයක් වේවා යන මෛත්‍රි සිතින් වීසි කරයි නම් එයිනුත් පිනක් රැස්වෙන බවයි.
නමුත් අවාසනාවකට මෙන් ජීවිතයට සියලු යහපත සැපය සලසන පින පිළිබඳව බොහෝ දෙනාට තිබෙන්නේ අනවබෝධයක්මයි. ඇතැමුන් සිතා සිටින්නේ පින් කිරීමෙන් සසර දිගුවන බවයි. එනිසා ඔවුන්ට පින ගැන තිබෙන්නේ අනිසි බියක්. එනමුත් සියල්ල දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ වදාළේ පිනට භය වෙන්න එපා. පින කියන්නේ ඉතා යහපත්, සිත්කළු වූ පි‍්‍රය මනාප වූ සැපයට කියන නමක් ලෙසයි. ඒ අනුව අපට පෙනී යනවා සසර දුකින් එතෙරවීම පිණිසම තමන් වහන්සේ ළඟ පැවිදි වූ භික්ෂුන් වහන්සේට පවා භාග්‍යවතුන් වහන්සේ විසින් පිනෙහි වටිනාකම පෙන්වා වදාළ බව. එසේනම් අප කිසිසේත්ම පිනට බිය විය යුතු නැහැ. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් සසරේ රැස් කරන ලද පුණ්‍ය ධර්මයන් සහ එහි අනුසස් මෙසේ පෙන්වා වදාරනු ලැබුවා.

පින්වත් මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කළ පින් නිසා මෙලෙස ඉතා යහපත්, සිත්කළු පි‍්‍රයමනාප වූ ආනිශංස ලැබූ බව මා දන්නවා. අවුරුදු දහයක් මෛත්‍රී සිත වඩනා ලද පිනෙන් සංවට්ටකල්ප හතක් මේ ලෝකයට ආවේ නැහැ. පින්වත් මහණෙනි, කල්ප විනාශ වෙනකොට ආභස්සර බ්‍රහ්ම ලෝකයට යනවා. නැවත කල්පය ආරම්භ වෙනකොට බ්‍රහ්ම විමානයක ඉපදෙනවා.
පින්වත් මහණෙනි, මම තමයි එහේ මහා බ්‍රහ්මයා. මම හැම දෙයම මැඬ පැවැත්වූවා. අනභිබවනීය වුණා. සියලු දෙයම තේරුම්ගත් කෙනෙක් වුණා. සියලු දෙයම තම වසඟයට පමුණුවා ගත්තා. පින්වත් මහණෙනි, මම තිස්හත් වතාවක් දෙවියන්ට අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා වී ඉපදුණා. නොයෙක් වාර සිය ගණන් ධාර්මික, ධර්මරාජ වූ සතර මහා දිවයින් දිනූ සියලු සතුරන් දිනූ, සෑම ජනපදයක්ම දැරු ආශ්චර්යවත් වස්තු හතක් ලබා සක්විති රජු බවට පත්වුණා. ඉතින් එසේනම් ප්‍රදේශ රජකම් කරපු වාර ගණන ගැන කියන්න දෙයක්ද? පින්වත් මහණෙනි, මට මෙසේ සිතුණා. මොන ආකාරයේ පිනක විපාකයක් නිසාද දැන් මම මෙතරම් සෘද්ධිමත් බවක් සහ මහානුභාවසම්පන්න බවක් ලැබී තිබෙන්නේ කියා. පින්වත් මහණෙනි, මට මේ ආකාරයට අවබෝධ වුණා. මා විසින් කරපු මේ පුණ්‍ය කර්ම තුනක යහපත් ඵල විපාක නිසායි මෙතරම් සෘද්ධිමත්ව වැඩ සිටින්නේ. මහානුභාව සම්පන්නව සිටින්නේ කියලා. ඒවානම් දානයත්, ඉන්ද්‍රිය දමනයත්, සිත කය වචනය සංවර කර ගැනීමත්ය.
පින ගැන තවත් විස්තර කරන විටදී මේ උදාහරණයෙන් එය තවත් සනාථ වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ දානයෙන් රැස්වෙන පින ගැන ලස්සන දහම් කාරණාවක් සුමනා නම් රාජ කුමාරිකාවට වදාළා. ඇය එවිට භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවා.
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, දෙන්නෙක් සිටිනවා. මේ දෙන්නාම ශ්‍රද්ධාවෙන්, සීලයෙන් ප්‍රඥාවෙන් සමානයි. නමුත් එක් අයෙක් දන් දෙනවා. අනෙක් කෙනා දන් දෙන්නේ නැහැ. මේ දෙදෙනාම මරණින් මත්තේ දිව්‍ය ලෝකයෙහි ඉපදුනේනම්, දන් දීම සහ දන් නොදීම යන කාරණය මුල්කරගෙන මේ දෙන්නාගේ වෙනසක් දකින්නට ලැබෙනවාද?
ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා, සුමනාවෙනි, ඒ දෙදෙනා අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. දන් දුන් පුද්ගලයා දන් නොදුන් කෙනාට වඩා දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන් සැපයෙන්, යසසින් අධිපතිභාවයෙන් බලවත් වෙනවා.
ස්වාමිනි, මේ දෙදෙනා දිව්‍ය ලෝකයෙන් චුතවී මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. එවිට වෙනසක් නොතිබේද?එහිදීත් වෙනසක් තිබෙනවා. මනුෂ්‍ය ලෝකයේදීත් දන් දුන් කෙනා දන් නුදුන් කෙනාට වඩා මනුෂ්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, යසසින් අධිපතිභාවයෙන් බලවත් වෙනවා.
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මේ දෙදෙනා පැවිදි වූයේ නම් පැවිදි ජීවිතයෙහි වෙනසක් දකින්නට තිබෙනවා ද?
වෙනසක් තිබෙනවා. පැවිදි වූ පසුවත් දන් දුන් කෙනාට වීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, යන සිව්පසය ඉතා යහපත්ව ලැබෙනවා. දන් නොදුන් කෙනාට සිව්පස ලාභය අල්පයි.
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා නිවන් අවබෝධ කළේනම්, එවිට ඔවුන් අත්දකින නිවනෙහි වෙනසක් තිබෙනවාද?
සුමනා කුමරිය, මේ සියලු දෙයෙහි වෙනස්කම් තිබුණාට ඔවුන් අත්දකින විමුක්තියෙහි වෙනස්කමක් නම් මා දකින්නේ නැහැ.
තමන් විසින් අසන ලද ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණු පිළිතුරු වලින් උද්දාමයට පත් සුමනා කුමරිය මෙලෙස පවසා සිටියා.
ස්වාමිනි, ආශ්චර්යයි, ස්වාමිනි අද්භූතයි. ස්වාමිනි දන් දීම කළයුතු දෙයක් මයි. පින් කිරීම කළයුතු දෙයක්මයි. දෙව්ලොව උපදින්නට උපකාරවන දෙය පිනමයි. මනුලොව උපදින්නට උපකාර වන දෙය පිනමයි. පැවිද්දන්ට ද උපකාර වන දෙය පිනමයි.
භාග්‍යවතුන් වහන්සේද එය අනුමත කරමින් මෙසේ වදාළා.
සුමනාවෙනි, එය එසේමයි. දන්දීම කළයුතු දෙයක්මයි. පින් කිරීම කළයුතු දෙයක්මයි. දෙව් ලොව උපන් අයට උපකාර වන දෙය පිනමයි. මනුලොව උපන් අයටද උපකාරය වන දෙය පිනමයි. පැවිද්දන්ටද උපකාර වන දෙය පිනමයි.
මින් පැහැදිලි වන්නේ සසර සැරිසරන සත්ත්වයාට නිවන් අවබෝධ කොට සසර දුකෙන් නිදහස් වන තෙක්ම යහපත පිණිස, සැපය පිණිස පවතින්නේ ඔහු සිතින් රැස් කරන ලද පින බවයි. මේ නිසා බුද්ධිමත් තැනැත්තා කළ යුත්තේ පිනට අවමන් නොකර හැකි සෑම අවස්ථාවකම සුළුවෙන් හෝ පින් රැස් කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ මෙම අර්ථයට අදාළ සුන්දර ගාථා රත්නයක් මෙසේ වදාළා.
මා’ප මඤ්ඥේථ පුඤ්ඤස්ස 
න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන 
උදකුම්භෝ පි පුරතී
පූරති ධීරෝ පුඤ්ඤස්ස
ථෝකථෝකම්පිආචිනං

මේ පොඩි පිනක්නේ කියා හෝ 'එය තමන්ට විපාක දෙන්නේ නැහැ තමා කරා එන්නේ නැහැ' කියා හෝ ගණන් නොගෙන ඉන්න එපා. වතුර බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නේ. බුද්ධිමත් පුද්ගලයා ටිකෙන් ටික වුවත් පින් කරන කොට ඒ පින එකතු වෙලා අන්තිමේදී ජීවිතයම පිනෙන් පිරී යනවා.

සීලය අනවශ්‍යද?


පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි

අහසින් කඩා වැටුණා සේ පැමිණ සීලය අවැසි නැත, සීලයෙන් තොරව නිවන් ලැබේය, එය කරන්නේ මෙසේය කියා අලුත් බණ කියන ශ්‍රමණ වේශධාරී පිරිසක්‌ අද සමාජයේ අන්ධ භක්‌තියෙන් හෙබි නාමික බෞද්ධයින් අසරණ කරනු පෙනෙයි. ඔවුනට අනුව සීලය යනු නිඝන්ට වතකි. බුද්ධ දේශනාවෙහි සීලය නොමැත. සිල් රැකීම අනවශ්‍ය දුක්‌ විඳීමකි. එසේම සීලයෙන් තොරව ක්‌ෂණික නිවන් මාර්ග පනවන ඔවුන් කා බී විනෝද වන ලෙස අවවාද අනුශාසනා සිදු කරනු ද පෙනෙයි.

එකී පුද්ගලයෝ බුද්ධ දේශනාවෙන් සුත්‍ර පාඨයක්‌ පමණක්‌ උපුටා එහි සෙසු හරය හැර දමා එකී සුත්‍ර පාඨය ස්‌වකීය විකෘති අරුතට අනුව පද පෙරලමින් අනුගාමිකයින් මිත්‍යාවෙන් අන්ධ කරයි. අනුගාමිකයෝද උන් හිටි තැන් අමතක වී මාර්ගඵලාධිගමය කර අරී සවුවෝ වූ බව දිවුරයි.

මහා සුපින ජාතකය සිහි වන්නේ මෙවිටය.

කවරක්‌ නමුත් මෙකී අඳ බාලයෝ පවසන සීලය අවැසි නැත යන ප්‍රකාශයට පිළිතුරු සැපයිය යුතුය. මේ එකී ප්‍රකාශයන්ට පිළිතුරය. විමසත්වා.

සීලය. 

සැබැවින්ම සීලය යනු කවරක්‌ද? 

''සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඤාණං'' අසා සංවර වීමෙහි ප්‍රඥාව සීලමය ඤාණයයි. (පටිසම්භිදාමග්ග, ඤාණ කථා)

එහි අටුවා අර්ථ මෙසේයි.

''සීලමයේ ඤාණන්ති එත්ථ සීලන්ති සීලනට්‌ඨේන සීලං. කිමිදං සීලනං නාම. සමාධානං වා කායකම්මාදීනං සුසීල්‍යවසේන අවිප්පකිණ්‌ණාති අත්ථෝ. උපධාරණං වා කුසලානං ධම්මානං පතිට්‌ඨාවසේන ආධාරභාවෝති අත්ථෝ''

සීලමයේ ඤාණය යන එහි සීලය යනු සීලන අර්ථයෙන් සීල නම් වේ. මේ සීලනය නම් කිම? සුසීල්‍ය වශයෙන් නොවිසිරීම් ලෙස කායකර්මාදීන්ගේ සමාධානය හෝ ප්‍රතිෂ්ඨාභාවයෙන් ආධාර ලෙස කුසලධර්මයන්ගේ උපධාරණය හෝ යන අර්ථයි.

එනම් සීලය යනු කාය කර්මයන්ගේ සිල්වත් බව හෙවත් කායික අනාචාර ආදියෙන් වෙන් වීම ලෙස සමාධානය හෝ කුසල කර්මයන්ට උපකාර ආධාර වශයෙන් දරා ගැනීම හෝ වෙයි. සරලව පවසනවා නම් කය වචනය දෙකේ සංවරය හෝ කුසල කර්මයන්ගේ දරාගැනීම හෝ වේ.

ඒ අනුව සීලය යනු අකුසලයෙන් මුදවා කුසලය දරාගැනීමට උපකාර ධර්මයකි.

සීලයේ ආනිසංස කවරේද?

''අවිප්පටිසාරත්ථානි ඛෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසානි.'' 

(අ.නි, ද නි, ආනිසංස වග්ග, කිමත්ථිය සුත්ත)

ආනන්දය කුසල සීලයෝ අවිපිලිසර බව අර්ථ කොට අවිපිලිසර බව ආනිසංස කොට පවතී. 

එනම් ඉහත සේ සමාධාන හා උපධානාර්ථය සිදු කරන සීලයෝ ඒ හේතුවෙන්ම අවිපිලිසර බව අර්ථ කොට පවතියි. කෙසේද යත්,

කාය කර්මයන්ගේ වාග් කර්මයන්ගේ සංවරය පවතී නම් එතුළින් අකුසල් සිදුව නොමැත. අකුසල් සිදුව නොමැත්තේ නම් කුක්‌කුච්චය නොහොත් කළ පවුකම් පිළිබඳ හා නොකළ පිංකම් පිළිබඳ පසුතැවිල්ල ඇතිවීමට ඉඩ නොමැත. කුක්‌කුච්චය නොමැති තැන සිත විසිරෙන්නේ නැත. එලෙසින් කය වචන දෙකේ සංවරය සිතේ නොවිසිරීම අර්ථ කොට පවතී.

එසේම කුසල කර්මයන් දරා ගනී නම් එකී කුසල ධර්මයන්ගේ ස්‌වභාවය වූ අවිපිලිසර බව ස්‌වභාවයෙන්ම ලැබෙන බැවින් සීලය අවිපිලිසර බව අර්ථ කොට පවතී.

එසේම තවද සීලානිසංස මෙසේ පවතී.

''පඤ්චිමේ ගහපතයෝ ආනිසංසා සීලවතෝ සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අප්පමාදාධිකරණං මහන්තං භෝගක්‌ඛන්ධං අධිගච්චති. -පෙ- කල්‍යාණෝ කිත්ති සද්දෝ අබ්භුග්ගච්ඡති. -පෙ- විසාරදෝ උපසංකමති -පෙ- අසම්මූල්හෝ කාලං කරෝති -පෙ- සුගතිං සග්ගං ලෝකං උප්පඡ්ජති.'' 

(දී.නි, මහාපරිනිබ්බාන සුත්‍රය)

ගෘහපතිවරුනි, සිල්වතාගේ සීල සම්පත්තිය නිසා මේ ආනිසංස පස ඇත්තේය. කවර පසක්‌ද? ගෘහපතියනි සිල්වත් වූ සීලසම්පන්නයා අප්‍රමාදය හේතුවෙන් මහත් භෝගස්‌කන්ධයක්‌ රැස්‌කර ගනී. 

කල්‍යාණ කීර්ති ශබ්ධයක්‌ නැගෙන්නේය. ක්‌ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ පිරිස්‌ වෙත විශාරදව එළබෙන්නේය. නොමුලාව කලුරිය කරන්නේය. මරණින් මතු සුගතියෙහි උපදින්නේය.

මෙසේ සීලය යනු මේ ආදී මෙලොව පරලොව දෙකෙහිම ආනිසංස සහිත වුවකි. 

එය නිවනට උපනිශ්‍රය වන්නේද? නොවන්නේද?

සීලය නිවනට නියතවම උපනිශ්‍රය වන්නේමය. කෙසේද යත්,

''සීලේ පතිට්‌ඨාය නරෝ සපඤ්ඤොa - චිත්තං පඤ්ඤඤ්ච භාවයං

ආතාපි නිපකො භික්‌ඛු - සෝ ඉමං විජටයේ ජටං'' 

(සං. නි, සගාථ වර්ගය, ජටා සුත්‍රය)

චතුපාරිශුද්ධි සීලයෙහි පිහිටියා වූ කර්මජ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාවෙන් යුතු වූ සමාධිය හා විදර්ශනාව වඩන කෙලෙස්‌ තවන විරියෙන් යුතු පාරිහාරිය ප්‍රඥාවෙන් යුතු පුද්ගලයා මෙකී සසර නමැති ගැටය ලිහණු ලැබෙයි, 

යනු හෙයින් සීලය තුල පිහිටියාවූ ම තැනැත්තා නිවන දක්‌නා බැවින් සීලය නිවනට නියතවම උපනිශ්‍රය වේ.

එය සිදු වන්නේ කෙසේද?

මෙසේය.

සීලය යනු කය වචනයන් සංවර කර ගැනීම මෙන්ම කුසල් දහම් දරා ගැනීම බව ඉහත දක්‌වන ලද අතර එහි ආනිසංස ලෙස අවිපිලිසර බවද ලැබෙන බව දක්‌වන ලදී. ඒ ඔස්‌සේ නිවන ශාක්‌ෂාත් වන අකාරය විමසා බලමු.

''කිමත්ථියානි, භන්තෙ'' කුසලානි සීලානි කිමානිසංසානී''ති? 

ස්‌වාමීනි, කුසල සීලයන් කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''අවිප්පටිසාරත්ථානි ඛො'' ආනන්ද ''කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසානී''ති. 

ආනන්දය, කුසල සීලයෝ වනාහි අවිපිලිසරබව අර්ථ කොට අවිපිලිසරබව ආනිසංස කොට පවතී.

පාතිමොක්‌ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය යන චතු පාරිශුද්ධි සීලය පුරණු ලබන්නා වූ පුද්ගලයා හට එකී සීලය මගින් ඕලාරික අකුසල් බැහැර කරවන බැවින් සිතෙහි විසිරීමක්‌ නොපවතී. කෙසේද යත් සිත යම් අකුසල අරමුණක්‌ කරා දුවන්නේ නම් උද්ධච්ච කුක්‌කුච්චයට බර වේ. උද්දච්ච කුක්‌කුච්චයට බර සිත ස්‌වභාවයෙන් විසිරුණු සිතකි. 

එනමුත් සිතට අරමුණු වන අකුසලයක්‌ නොමැති නම්, සීලය මගින් කායික වාචසික අනාචාර දුරු කරවා තිබේ නම් එකී සිත අකුසලයෙන් බැහැර අන් අරමුණක්‌ ගනී. අකුසලයක්‌ නොමැති නම් හා සීලය තිබේ නම් සිත බර වන්නේ කුසලයටයි. සිත කුසලයට නැඹුරු වන කල ස්‌වභාවයෙන්ම තැන්පත් වේ. 

එය සීලයෙහි මූලික ආනිසංසය වේ.

''අවිප්පටිසාරො පන, භන්තෙ, කිමත්ථියො කිමානිසංසො''ති? 

ස්‌වාමීනි, අවිපිලිසරබව කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''අවිප්පටිසාරො ඛො, ආනන්ද,පාමොඡ්ජත්ථො පාමොඡ්ජානිසංසො''ති 

ආනන්දය, අවිපිලිසරබව වනාහි ප්‍රමෝදය අර්ථ කොට පවතී. ප්‍රමෝදය ආනිසංස කොට පවතී.

අකුසල් බැහැර වූ හා කුසලයට නැඹුරු වීම හේතුවෙන් නොවිසුරුණු සිත අනවඡ්ජ කර්ම ඇති බව හේතුවෙන් හා ඒවා සිහිපත් වීම හේතුවෙන් ප්‍රමෝදයට නැඹුරු වේ. 

''පාමොඡ්ජං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංස්‌'න්ති? 

ස්‌වාමීනි, ප්‍රමෝදය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''පාමොඡ්ජං ඛො, ආනන්ද, පීතත්ථං පීතානිසංස්‌'න්ති.

ආනන්දය, ප්‍රමෝදය වනාහි ප්‍රීතිය අර්ථ කොට පවතී. ප්‍රීතිය ආනිසංස කොට පවතී.

ප්‍රමෝදමත් සිත නිතර කුසලයෝ අරමුණු කරන බැවින් ප්‍රීතියට නැඹුරු වේ.

''පීති පන, භන්තෙ, කිමත්îයා කිමානිසංසා''ති? 

ස්‌වාමීනි, ප්‍රීතිය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''පීති ඛො, ආනන්ද, පස්‌සද්ධත්ථා පස්‌සද්ධානිසංසා''ති.

ආනන්දය, ප්‍රීතිය වනාහි පස්‌සද්ධිය අර්ථ කොට පවතී. පස්‌සද්ධිය ආනිසංස කොට පවතී.

කුසල සිතේ ඇති ප්‍රීතිය මගින් ව්‍යාපාද නීවරණය දුරු කරනු ලැබේ. එය ප්‍රථම ධ්‍යාන අංගයක්‌ බැවිනි. එසේ ව්‍යාපාදය දුරු වූ සිත සැහැල්ලු සිතකි. එය කායික මානසික දෙපසට ලැබෙන සැහැල්ලුවකි.

''පස්‌සද්ධි පන, භන්තෙ, කිමත්ථියා කිමානිසංසා''ති? 

ස්‌වාමීනි, පස්‌සද්ධිය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''පස්‌සද්ධි ඛො, ආනන්ද, සුඛත්ථා සුඛානිසංසා''ති.

ආනන්දය, පස්‌සද්ධිය වනාහි සුඛය අර්ථ කොට පවතී. සුඛය ආනිසංස කොට පවතී.

කායික මානසික සැහැල්ලු බව සැපය පිජිස පවතී. කුසල් සිතේ ඇතිවන සුඛ වේදනාව පහල කරවීමට එකී කායික මානසික සැහැල්ලුව ප්‍රත්‍ය වේ.

''සුඛං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංස්‌'න්ති? 

ස්‌වාමීනි, සුඛය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''සුඛං ඛො, ආනන්ද, සමාධත්ථං සමාධානිසංස්‌'න්ති.

ආනන්දය, සුඛය වනාහි සමාධිය අර්ථ කොට පවතී. සමාධිය ආනිසංස කොට පවතී.

තවද ප්‍රථම ධ්‍යාන අංගයක්‌ වන සුඛය මගින් උද්ධච්ච නීවරණය දුරු කරන්නේ වෙයි. එසේම එකී සීලය මෙනෙහි කිරීම යන විතර්ක විචාර නිසා ථීනමිද්ධ, විචිකිච්චා නීවරණයන් ද දුරු වේ. එකල සිතේ පවතින එකග්ගතාවය නිසා එනම් සීලය නමැති කුසල අරමුණෙහි එකඟ බව නිසා කාමච්ඡන්ද නීවරණයද දුරු වේ. 

මෙසේ පංච නීවරණයන් ම දුරු වන කල සිත ස්‌වභාවයෙන්ම සමාධිය භජනය කරන්නේ වෙයි.

''සමාධි පන, භන්තෙ, කිමත්ජියො කිමානිසංසො''ති?

ස්‌වාමීනි, සමාධිය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

සමාධි ඛො, ආනන්ද, යථාභූතඤාණදස්‌සනත්ථො යථාභූත ඤාණදස්‌සනානිසංසො''ති.

ආනන්දය, සමාධිය වනාහි යථාභූතඤාණදස්‌සනය අර්ථ කොට පවතී. යථාභූතඤාණදස්‌සනය ආනිසංස කොට පවතී.

සමාධිමත් සිතේ නීවරණාදී උපක්‌ලෙශයෝ නොමැති බව හේතුවෙන් යථාර්ථය මුවා වීමක්‌ සිදු නොවේ. එබැවින් යථා ස්‌වභාවය ප්‍රකට කිරීම සමාධියේ අර්ථය වන්නේ වෙයි. ආනිසංසය වන්නේ වෙයි.

''යථාභූතඤාණදස්‌සනං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංස්‌'න්ති? 

ස්‌වාමීනි, යථාභූතඤාණදස්‌සනය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''යථාභූතඤාණදස්‌සනං ඛො, 

ආනන්ද, නිබ්බිදාවිරාගත්ථං නිබ්බිදාවිරාගානිසංස්‌'න්ති.

ආනන්දය, යථාභූතඤාණදස්‌සනය වනාහි නිබ්බිදාවිරාගය අර්ථ කොට පවතී. නිබ්බිදාවිරාගය ආනිසංස කොට පවතී.

සර්ව ලෝකය අනිත්‍ය දුක්‌ඛ අනත්ත යන යථාර්තය දුටු පුද්ගලයා හට එකී ලෝකය පිලිබඳ ඇල්මක්‌ හට නොගනී. එකී නොඇලෙන ස්‌වභාවය නිබ්බිදාවයි.

''නිබ්බිදාවිරාගො පන, භන්තෙ කිමත්ථියො කිමානිසංසො''ති?

ස්‌වාමීනි, නිබ්බිදාවිරාගය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''නිබ්බිදාවිරාගො ඛො, ආනන්ද, විමුත්තිඤාණදස්‌සනත්ථො මුක්‌තිඤාණදස්‌සනානිසංසො''

ආනන්දය, නිබ්බිදා විරාගය වනාහි විමුත්තිඤාණදස්‌සනය අර්ථ කොට පවතී. විමුක්‌තිඤාණදස්‌සනය ආනිසංස කොට පවතී. නොඇලෙන තැනැත්තා දුකින් නිදහස්‌ වෙයි. එකල විමුක්‌තියත් විමුක්‌තිය ලැබුවේ යන ඤාණ දර්ශනයත් පහළ වේ. මෙසේ සීලය අනුපිළිවෙලින් නිවන ළඟා කර දෙන්නේ වෙයි. ඉදින් සීලය අනවශ්‍ය යෑයි කියනා පුද්ගලයෝ මෝඝ පුරුෂයෝ හැර අන් කවරහුද?

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සක්‌විති පදවි අභිබවන සෝවාන් ඵලය

ලෞකිකවාදී දෘෂ්ටි සංඛ්‍යාත කෝණයෙන් බලන්නා වූ කලී චක්‍රවර්තී රාජ සම්පත්තිය මිහිපිට ඇති අග්‍රතම සැපයයි. එහෙත්, තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන්ට අනුව සෝවාන් ඵලය ඉන් ඉහළට උතික්‌ෂිප්ත වී ඇත. සියල්ල දැන වදාළ වූ උන්වහන්සේ දිනක්‌ නිය පිටට පස්‌ ස්‌වයල්පයක්‌ ගෙන, ''මහණෙනි, මාගේ නිය මත්තෙහි ඇති පස්‌ ස්‌වල්පය හා මේ මහපොළව සන්තකයෙහි පවත්නා පස්‌ ප්‍රමාණය යන ද්විත්වයෙන් කවරක්‌ වඩා වැඩිදැ' යි '' විචාළ කෙණෙහි, ''ස්‌වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මහ පොළොව සන්තකයෙහි පවත්නා පස්‌ ප්‍රමාණය වඩා වැඩියෑයි'' ශ්‍රාවක උතුමෝ පිළිවදන් දුන්හ. එකල් හී භාග්‍යවතුන් වහන්සේ, ''මහණෙනි, ඒ තතු සැබෑ වන්නේ යම් සේද, එපරිද්දෙන්ම සෝවාන් ඵලයට පත් අරිය සම්මා විසින් ඉවත ලු සසර දුක මේ මහපොළොවේ පස්‌ මෙන් අති විශාලය. තවදුරටත් ඔවුනට විඳින්නට ඇති සසර දුක මාගේ නියමත්තෙහි ඇති පස්‌ මෙන් ඉතා ස්‌වල්පය.'' යනුවෙන් වදාළ සේක.

බුද්ධ කාලීන භාරතයෙහි විසු විශාඛා සිටු දේවිය, අනාථ පිණ්‌ඩික සිටුතුමා, කාල සිටු පුත්‍රයා, සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා යන අය ධර්ම ශ්‍රවණය හේතුවෙන් සෝවාන් ඵල ලාභය අත්කැර ගත්හ. දීඝනච පරිබ්‍රාජකයා සෝවාන් ඵලයට පත් වූයේ බුදු සස්‌නෙහි ප්‍රවෘජාවට පත්ව සමථ, විදර්ශනා කමටහන් වැඩීමෙනි, විදර්ශනාවද සෝවාන් ඵලය අත්කැර ගැන්මට කදිම මඟකි. විදර්ශනා කර්මස්‌ථානයක්‌ වන අනිත්‍ය සංඥව වැඩීමෙන් මාර්ග ඵල නොලද්දන් සෝවාන් ඵලයට පත්වන බවත්, සෝවාන් ඵල ලාභීන් ඊටත් ඉහළ මාර්ග ඵලවලට පත්වන බවත්, අනිත්‍ය සංඥ සුත්‍රයෙහි දැක්‌වේ.

සෝවාන් ඵලය අත්කැර ගනු වස්‌ සෝවාන් මාර්ගයට පැමිණ ගත යුතු වෙයි. සෝවාන් මාර්ගය නම් සෝවාන් ඵලය පිණිස පිරිය යුතු ප්‍රතිපදාවයි. සෝවාන් මාර්ග ලාභීSS උතුමාට දෙනු ලබන දානයෙහි ආනිශංස ද, දක්‌ෂිණා විභංග සුත්‍රයෙහි දැක්‌වේ. තවද දැක මුණ ගැසී කථා කළ යුතු පිරිස්‌ අතරට ද සෝවාන් මාර්ග ලාභී උතුමා ඇතුළත් කොට ඇත. සෝවාන් මාර්ගලාභියා යනු පෘථග්ජනයකු නොවේ. හෙතෙම අෂ්ඨ පුද්ගල අර්යයන්ට අයත් වූවෙකි.

සෝවාන් මාර්ගය අනුයාත අංග හතරකින් සමන්විත වෙයි. සත්පුරුස සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යනුවෙනි. එනම්, සත්පුරුසයකුගේ පෙළඹවීම මත ධර්මය ශ්‍රවණය කරන අයෙකු එම දහම් කරුණු සියුම්ම විමසුමට ලක්‌ කරයි. අනතුරුව හෙතෙම ඒ කෙරෙහි පැහැදී ධර්මයට අනුවමට හැසිරෙයි. මෙය බුද්ධභාෂිතය ප්‍රකාර වූ නියම සෝවාන් මාර්ගයයි.

සෝවාන් මාර්ගයට පිළිපන් උතුමෝ සද්ධානුසාරී හා ධම්මානුසාරී යනුවෙන් දෙයාකාර ය. සද්ධානුසාරියා යනු තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම පෙරටු කරනෙ ආර්යය මාර්ගයට පිළිපන් උතුමා ය. ධම්මානුසාරියා යනු දහම හා සබැඳි මැනවින් විමර්ශනයට ලක්‌කොට දහමෙහි යථාව දැක ආර්ය මාර්ගයට පිළිපන් උතුමා ය. සද්ධානුසාරියා ''ශ්‍රද්ධා විමුක්‌ත'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත්වෙයි. ධම්මානුසාරියා ''දිට්‌ඨිපත්ථ'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත් වෙයි. වීර්යය අත් නොහැර එක දිගටම මාර්ගය වැඩුවහොත් මරණයට පෙරාතුව ඵල ලාභය අත්කැර ගන්නා බව ධර්මයෙහි කියෑවේ. ඒ කරුණ කෙතරම් නිශ්චිතද යත් සෝවාන් මාර්ග ලාභී උතුමෙකු ඵල ලාභයට නියතව සිටියදී කල්ප විනාශය එළැඹ තිබුණහොත් ඔහු/ඇය සෝවාන් වන තුරු කල්ප විනාශය කල් යයි. එබැවින් ඔහු / ඇය ''ඨිත කප්ප'' යනුවෙන් පුද්ගලපඤ්ඤත්තිප්ප්‍රකරණයෙහි සඳහන් වේ. සෝවාන් මාර්ග ලාභියා යනු එතරම් ම බලවතෙකි.

සත්ත්වයා සසරට බැඳ තබන බැමි දහයෙකි. සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ජා, ශීලබ්බත පරාමාශ, කාමරාග, පටිඝ, රූපාරාග, අරූපරාග, මාන, උද්ධච්ජ, අවි-ජා යන මේවා දස සංයෝජන නම් වෙයි. සෝවාන් වීමෙන් මින් පළමු බැමි තුන සදහටම ගිලිහී යයි. ''සක්‌කාය දිට්‌ඨිය'' යනු ස්‌කන්ධ පංචකය ආත්ම කොට දැකීමයි. සතර මහා භූතයන්ගෙන් හටගත් හුදු චිත්‍ර සටහනක්‌ බඳු උපාදාය රූපය මෙය මාගේය යනුවෙන් දැඩිව උපාදානය කර ගැන්මයි. ''විචිකිච්ඡාව'' යනු බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, පූර්වෘත්තය, අපරාන්තය, පූවාර්න්ත අපරාන්තය, ශික්‌ෂා, පටිච්චසමුප්පාදය යන අට තැන් පිළිබඳ සැකයයි. ''ශිලබ්බත පරාමාශය'' යනු අජ ව්‍රත, ගෝ ව්‍රත, කුක්‌කුර ව්‍රත ආදී කොටගත් ලෝභ - ද්වේශ - මෝහ යන අකුශල මූලයන් පදනම් කොටගත් හර විරහිත සිල් රැක්‌මයි.

සෝවාන් උතුමනට අටවැනි අත්බවෙක්‌ ඇත්තේ ම නැත. (නතේ භවං අට්‌ඨමං ආදියන්ති) ඔවුහු නිරය, තිරච්ඡාන යෝනිය, ප්‍රේත නිකාය, දුර්ගති විනිර්පාත අසුර නිකාය යන අපාය භූමි සතරෙන් සදහටම නිදහස්‌ වූවෝ වෙත්. එනමුදු සුගති විනිර්පාන අසුර නිකාය ඔවුනට තවදුරටත් සාධාරණය.

සෝවාන් උතුමෙකු බාහිර පෙනුමෙන් හෝ ක්‍රියා විලාශයෙන් හඳුනාගැන්ම අසීරුය. (you can not judge a person by external appearance යන ඉංගී්‍රසි කියමන ද මෙයට මනාව ගැළපේ.) හෙතෙම බයාදු හෙමි-ජෙකු යෑයි සැලකීමද උචිත නොවේ. ශරකානි ශාක්‍යයාගේ කථාව මෙයට කදිම නිදසුනකි. උග්‍ර මත් ලෝලියෙකු වූ ශාක්‍ය වංශික ශරකානි මතට සමුදුන්නේ දිවියෙහි සැඳෑ සමයේ දී ය. ඔහු මියගිය පසු ඔහුගේ ඥතිවරුන්ගේ විමසුමකට පිළිවදන් දුන් තථාගතයන් වහන්සේ ශරකානි සෝවාන් ව දෙව්ලොව උපන් බව වදාළහ. මෙයින් ශාක්‍ය වංශය කැළඹිණි. ''අර මත්ලෝලී ශරකානියා සෝවාන්ව සිට දෙව්ලොව උපන් මග බුදුරජාණන් වහන්සේ වදාරති. උන්වහන්සේ යළි මෙවැනි ප්‍රකාශයක්‌ නොකරන තැනට වැඩ සලසමු.'' යනුවෙන කථිකා කරගත් ශාක්‍යයෝ බුදුහු බැහැ දැක්‌මට ආහ. එයට පිළිවදන් දෙමින් උන්වහන්සේ ''සෝතාපන්නයා යනු සිවු විධි වූ සෝතාපන්න අංගයන්ගෙන් යුක්‌ත වූවකි. ඒ හැර අන් වෙසෙසක්‌ නැත. අර පෙනෙන අජීවී සල්ගස්‌ වෙත නෙත් යොමු වේ. ඒ අජීවී ශාකයන්ට ද සෝතාපන්න අංග වී නම් ඒවාද සෝවාන් යෑයි කීමට මම නොපැකිළෙමි'' යනුවෙන් වදාළහ.

අනවරාග්‍ර සසර අතිශයින් බිය ජනක ය. ඒ කරුණ සාධාරණිකෘත කිරීමට අවැසි තතුද අප වටා නිතොර සැරි සරති. එකී යථාව අභිමුව සෝවාන් ඵලය අමිල වූ ලාභයකි. බොදුනුවන් වන අප එකී ලාභය පසුපස විදුලි වේගයෙන් ලුහු බැඳ යා යුත්තෝ වෙමු.
යසස්‌ නිවන්තක සිල්වා 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පන්සිල් රකින්නන් සඳහා පමණයි


පූජ්‍ය අකුරැස්‌සේ 
සද්ධම්මානන්ද හිමි

පංච සීලය රැකීමෙන් පමණක්‌ නිවන් දැකිය නොහැකි බව ඔබ දන්නවාද? පංචසීලය යනු ගිහි පිංවතාගේ නිත්‍ය උතුම් සීලයයි. පංචසීලය බිඳෙනවා යන්නෙන් අදහස්‌ වන්නේ අනුන්ටත්, තමන්ටත් තමන් අතින් වරදක්‌ සිදුවෙනවා යන්නයි. ප්‍රාණඝාතයෙන් ප්‍රාණිකයාටත්, සොරකම් කිරීමෙන් හිමිකරුටත්, කාමයවරදවා හැසිරීමෙන් අනියම් සහකරුටත්, බොරු කීමෙන් අසන්නාටත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් සකල සමාජයටත් ඔහු නිසා හානි සිදුවේ. එයින් ඔහුට වන හානිය කුමක්‌ද? ඉහත ක්‍රියා හේතුවෙන් ඔහුගේ හිත තුළ වර්ධනය වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නම් වූ අකුසල ධර්මයන් බැවින් හෙතෙම යනුයේ නිවනට ප්‍රතිවිරුද්ධ ගමනකි. එබැවින් එය ඔහුට එක එල්ලේම අහිතකරයි. හානිකරයි.

යමෙක්‌ පන්සිල් දිවි හිමියෙන් රකී යෑයි අපි සිතමු. 'මම පන්සිල් හොඳට රකිනවා. මගෙන් කාටවත් වරදක්‌ නෑ. ඉතින් මං පන්සල් යන්න, භාවනා කරන්න ඕන නෑ''. මේ පුද්ගලයා සීලවන්ත, පුණ්‍යවන්ත නමුත් ප්‍රඥවන්ත නොවෙයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ සීල, සමාධි, ප්‍රඥ යන ක්‍රමවත් ගමන් මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින් මේ තෙමංසල අටකට වෙන්කර උන්වන්සේ මනාව ලෝක සත්ත්වයාට පෙන්වා වදාළ සේක. ඔබ සිල්වතෙක්‌ නම්, ඔබේ කය වචනය මනාව සංවරව පවතිනවා නොඅනුමානයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සහ සම්මා ආජීව යන ආර්ය මාර්ග ඔබ යම් පමණකට හෝ සම්පූර්ණ කර ඇති. එසේ නම් කෝ ඔබේ සමාධිය? ප්‍රඥව? මේ කොටස්‌ දෙක කරා ඔබට ගමන් කළ හැක්‌කේ සමථ, විපස්‌සනා භාවනාවෙනි. බුදුරජුන් ජීවමාන කල උපතිස්‌ස, කෝලිත ආදී උතුමන් බණ පදය දෙක අසා වඩවා ගත් භාවනාවෙන් ධර්මාවබෝධය කළ බව සැබෑය. නමුත් එවන් තීව්‍ර, සීග්‍රගාමී සමාධියක්‌ ප්‍රඥවක්‌ ඔබටවත්, මටවත් හිමි නොවූයේ වත්මන් මිනිසා තුළ කෙලෙස්‌ මළ බහුල නිසාය.

සීලය යනු කරණම්කරුවකුට වේදිකාවකි. වේදිකාව ශක්‌තිමත් නම් සමබර නම්, සුමට නම් කරණම් ගැසීම පහසුය. සීලය ගොයමට කුඹුරකි. කොටා මඩකර පෝරා ගා ඇත්නම්, වැපිරීමට අස්‌වැද්දීමට පහසුය. සීලය නිවසකට අත්තිවාරමකි. ශක්‌තිමත් අත්තිවාරම මත නිවස ගොඩනැඟීම පහසුය. වේදිකාව තැනුවද කරනම් නොගසයි නම්, බිම සැකසුවද, වී නොවපුරයි නම්, අත්තිවාරම මත කණු, බිත්ති, වහළය නොතැනේ නම්, ප්‍රතිඵලය හිමි නොවේ. සිල්වතාට සිල්වත් වීමෙන් පමණක්‌ නිවන් මඟ හෙළිපෙහෙළි නොවේ. සිල්වත් වීම සැබවින්ම උතුම්ය. දුස්‌සීල සමාජයක සිල්වතකු සොයා ගැනීම අති දුෂ්කර බැවින් සැබැවින්ම සිල් රකින ඔබ වැන්නවුන් පූජනීය වස්‌තූන්ය. සිල්වත් වූ ඔබ මහ පොළොවේ බොරළු අතරේ සැඟවුණු මැණිකක්‌ වැනිය. දැන් ඒ මැණික ගැඹුරු පොළොවෙන් ඉවතට ගෙන පිරිසිදු කර ඔපමට්‌ටම් කිරීම ආරම්භ කළ යුතුයි නේද? සීලය රැක මිය යැමෙන් ඔබ සුගතිගාමී වේවි. නමුත් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ද ඇත්තේ සංඛත, විපරිණාම ආදී දුක්‌ම ව ඔබ තේරුම්ගත යුතුයි. ජරා මරණ හිමිවන ඉපදීමට වඩා අජරඅමර නිවන මොනතරම් උතුම්ද?

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මෙම තුන් ආකාරවූ ආර්ය මාර්ගයෙන් ඔබ තුළ සම්පූර්ණ වන්නේ සමාධියයි. සමථ භාවනාව ඔස්‌සේ, කුළු මීහරකකු තරම් නොහික්‌මුණු ඔබේ සිත ඔබට හික්‌මවා සමාධිගත කරගත හැකිය. මෙතෙක්‌ කලක්‌ හිතට වුවමනා දේ කළ ඔබ සමාධිය උපයෝගී කරගෙන හිත ලවා ඔබට වුවමනා කර දේ කර ගැනීමට සමතකු විය යුතුයි. පිටවන ඇතුළුවන හුස්‌ම පිළිබඳව විමසිලිමත් වන ඔබටම වැටහේවි හිත මොනතරම් අසීලාචාරද කියා. හුස්‌ම පහක්‌ දක්‌වාත් සිත එක තැනක තබා ගැනීමට භාවනාවට ආධුනික වූ ඔබට නොහැකි බව ඔබ අවබෝධ කරගනීවි. නොසැලෙන්න. සිතේ ස්‌වභාවය එයයි. උපේක්‌ෂාවෙන් අරමුණු දෙස බලමින් සතිය වඩන ඔබ, ක්‍රමයෙන් සමාධියට සිත හුරුපුරුදු කර ගනීවි.මෙය සිදුවිය යුත්තේ ප්‍රායෝගික අත්දැකීම් ලත් භාවනා ගුරුවරයකු හෝ ක්‍රමවත් පොතපතක කල්‍යාණ මිත්‍රත්වය පෙරටුකොට ගෙනයි. සමාධිය යනු මුවහත් වූ සැතකි. ඉතා සූක්‍ෂම ලෙස කෙලෙස්‌ කැලය කපාකොටා විනාශ කිරීමට ඔබට සමාධිය උපයෝගී කරගත හැක. ඒ මුවහත ඔබටම හානි කළ හැකි නිසයි ඔබට ගුරුවරයකු අවශ්‍ය.

සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, ආර්ය මාර්ගය යුග්මය ඔබ රැගෙන යනුයේ ප්‍රඥව දෙසටයි. ලෝභය, ද්වේෂය හොඳින් හඳුනාගන්න. බඹයක්‌ තරම් වූ ඔබේම යෑයි ඔබ උපාදානය කොටගත් මේ ගඳගහන ශරීරය දෙස විමසිලිමත්ව බලා සිතේත්, කයේත් සබැඳියාව තේරුම් ගැනීමට ඔබට ප්‍රඥව උපකාරී වනු ඇත. මුවහත් වූ සමාධියකින් ගවේෂණාත්මක ප්‍රඥ සැත්කම කරන ඔබට නාම රූප සබැඳියාව මනාකොට වැටහෙන දිනයක්‌ මේ භවයේ හෝ මතු භවයකදී උදාවනු ඇත. 

එදින ඔබ සක්‌කාය දිට්‌ඨිය යනු කුමක්‌දැයි මනාකොට හඳුනාගනු ඇත. උපේක්‌ෂා ඔරුවට නැඟී අනිත්‍ය නම් වූ හබල හසුරුවා ඔබ මේ පැද යන්නේ නිවන් දූපත දෙසටයි.

මේ ගමන කියන තරම් හෝ ලියන තරම් පහසු නැති බව සැබෑවකි. නමුත් ඔබ අද අදම ගමන ඇරඹුවොත්, පියවරෙන් පියවර හෝ ඔබ ගමනාන්තයට ළඟා වනු ඇත. පෙර භවවල පුරුදු උපනිශ්‍රයන් ඔබට රුකුලක්‌ වී ඇති බව නොඅනුමානය. ඔබ සීලය රකිනුයේ එහෙයිනි. එසේ නම් සමාධි, ප්‍රඥ ගමන් මාර්ගයට එළඹීමට ඔබ උනන්දු විය යුතුයි නේද? එවිට පෙර භවයන්හි ඔබ වැඩූ සමාධි, ප්‍රඥ ගමන් මඟද ඔබට හමුවනු ඇත.

ධාන්‍ය කොපමණ අතැති වුවද එහි සංඛ්‍යාව වැඩි නොවේ. පොළොව කෙටා ධාන්‍ය පැළකර කරල් ලබාගන්නාට වැඩි ප්‍රතිඵල හිමිවේ. මනුෂ්‍ය ජීවිතයක්‌ ලද ඔබට නිවන සොයනවා විනා, ඒ දෙසට ගමන් කරනවා විනා, වෙන කුමක්‌ නම් වැදගත්ද? අද කළ යුතු දේ අද කරන්න. නිවන, නිවන යෑයි කියමින් පොත් ගොඩවල් දෙස බලාගෙන හූල්ලපු ඔබ සියල්ල අමතක කර ඔබ දෙස, වර්තමානය දෙස බලන්න උත්සාහ කරන්න. අතීතයේ කළ නොහැකි වූ දේ පිළිබඳ පසුතැවීමත්, අනාගත පියවරවල නව සැලැස්‌මත් ඔබ රැගෙන යන්නේ යායුතු ධාවන පථයෙන් ඉවතටයි. නිවන් මඟට වැදගත් වන්නේ මේ මොහොත පමණි. අනාගතය ඔබ වෙතට මේ ගමොහොත ලෙස ළංවනු ඇත. ගතවන කාලය මොහොතින් මොහොත අතීතයට ගලා යනු ඇත. නමුත් ඔබ ගත කළ යුත්තේ මේ මොහොත තුළම ය. ගලන දිය මත රූටන දිය මකුණා එකම ස්‌ථානයක රැඳෙන්නට උත්සාහ දරන්නාක්‌ මෙන් සිත වර්තමානය තුළ මෙහෙයවන්න. කොපමණ පොත්පත් පරිශීලනය කළද, ප්‍රායෝගික ධර්මයේ සරණ විනා ඔබට අන් සරණක්‌ නැත. එය ලබාගත හැක්‌කේ යාඥාවෙන්  ෙහා් සඡ්ජාධායනාවෙන් නොව භාවනාමය ඥානයෙනි. සිල්වත් වූ ඔබ සමාධි, ප්‍රඥ වඩා ප්‍රායෝගික වූ නිවන් මඟ මත පියවර තබත්වා!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X