වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සක්‌විති පදවි අභිබවන සෝවාන් ඵලය

ලෞකිකවාදී දෘෂ්ටි සංඛ්‍යාත කෝණයෙන් බලන්නා වූ කලී චක්‍රවර්තී රාජ සම්පත්තිය මිහිපිට ඇති අග්‍රතම සැපයයි. එහෙත්, තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන්ට අනුව සෝවාන් ඵලය ඉන් ඉහළට උතික්‌ෂිප්ත වී ඇත. සියල්ල දැන වදාළ වූ උන්වහන්සේ දිනක්‌ නිය පිටට පස්‌ ස්‌වයල්පයක්‌ ගෙන, ''මහණෙනි, මාගේ නිය මත්තෙහි ඇති පස්‌ ස්‌වල්පය හා මේ මහපොළව සන්තකයෙහි පවත්නා පස්‌ ප්‍රමාණය යන ද්විත්වයෙන් කවරක්‌ වඩා වැඩිදැ' යි '' විචාළ කෙණෙහි, ''ස්‌වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මහ පොළොව සන්තකයෙහි පවත්නා පස්‌ ප්‍රමාණය වඩා වැඩියෑයි'' ශ්‍රාවක උතුමෝ පිළිවදන් දුන්හ. එකල් හී භාග්‍යවතුන් වහන්සේ, ''මහණෙනි, ඒ තතු සැබෑ වන්නේ යම් සේද, එපරිද්දෙන්ම සෝවාන් ඵලයට පත් අරිය සම්මා විසින් ඉවත ලු සසර දුක මේ මහපොළොවේ පස්‌ මෙන් අති විශාලය. තවදුරටත් ඔවුනට විඳින්නට ඇති සසර දුක මාගේ නියමත්තෙහි ඇති පස්‌ මෙන් ඉතා ස්‌වල්පය.'' යනුවෙන් වදාළ සේක.

බුද්ධ කාලීන භාරතයෙහි විසු විශාඛා සිටු දේවිය, අනාථ පිණ්‌ඩික සිටුතුමා, කාල සිටු පුත්‍රයා, සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා යන අය ධර්ම ශ්‍රවණය හේතුවෙන් සෝවාන් ඵල ලාභය අත්කැර ගත්හ. දීඝනච පරිබ්‍රාජකයා සෝවාන් ඵලයට පත් වූයේ බුදු සස්‌නෙහි ප්‍රවෘජාවට පත්ව සමථ, විදර්ශනා කමටහන් වැඩීමෙනි, විදර්ශනාවද සෝවාන් ඵලය අත්කැර ගැන්මට කදිම මඟකි. විදර්ශනා කර්මස්‌ථානයක්‌ වන අනිත්‍ය සංඥව වැඩීමෙන් මාර්ග ඵල නොලද්දන් සෝවාන් ඵලයට පත්වන බවත්, සෝවාන් ඵල ලාභීන් ඊටත් ඉහළ මාර්ග ඵලවලට පත්වන බවත්, අනිත්‍ය සංඥ සුත්‍රයෙහි දැක්‌වේ.

සෝවාන් ඵලය අත්කැර ගනු වස්‌ සෝවාන් මාර්ගයට පැමිණ ගත යුතු වෙයි. සෝවාන් මාර්ගය නම් සෝවාන් ඵලය පිණිස පිරිය යුතු ප්‍රතිපදාවයි. සෝවාන් මාර්ග ලාභීSS උතුමාට දෙනු ලබන දානයෙහි ආනිශංස ද, දක්‌ෂිණා විභංග සුත්‍රයෙහි දැක්‌වේ. තවද දැක මුණ ගැසී කථා කළ යුතු පිරිස්‌ අතරට ද සෝවාන් මාර්ග ලාභී උතුමා ඇතුළත් කොට ඇත. සෝවාන් මාර්ගලාභියා යනු පෘථග්ජනයකු නොවේ. හෙතෙම අෂ්ඨ පුද්ගල අර්යයන්ට අයත් වූවෙකි.

සෝවාන් මාර්ගය අනුයාත අංග හතරකින් සමන්විත වෙයි. සත්පුරුස සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යනුවෙනි. එනම්, සත්පුරුසයකුගේ පෙළඹවීම මත ධර්මය ශ්‍රවණය කරන අයෙකු එම දහම් කරුණු සියුම්ම විමසුමට ලක්‌ කරයි. අනතුරුව හෙතෙම ඒ කෙරෙහි පැහැදී ධර්මයට අනුවමට හැසිරෙයි. මෙය බුද්ධභාෂිතය ප්‍රකාර වූ නියම සෝවාන් මාර්ගයයි.

සෝවාන් මාර්ගයට පිළිපන් උතුමෝ සද්ධානුසාරී හා ධම්මානුසාරී යනුවෙන් දෙයාකාර ය. සද්ධානුසාරියා යනු තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම පෙරටු කරනෙ ආර්යය මාර්ගයට පිළිපන් උතුමා ය. ධම්මානුසාරියා යනු දහම හා සබැඳි මැනවින් විමර්ශනයට ලක්‌කොට දහමෙහි යථාව දැක ආර්ය මාර්ගයට පිළිපන් උතුමා ය. සද්ධානුසාරියා ''ශ්‍රද්ධා විමුක්‌ත'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත්වෙයි. ධම්මානුසාරියා ''දිට්‌ඨිපත්ථ'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත් වෙයි. වීර්යය අත් නොහැර එක දිගටම මාර්ගය වැඩුවහොත් මරණයට පෙරාතුව ඵල ලාභය අත්කැර ගන්නා බව ධර්මයෙහි කියෑවේ. ඒ කරුණ කෙතරම් නිශ්චිතද යත් සෝවාන් මාර්ග ලාභී උතුමෙකු ඵල ලාභයට නියතව සිටියදී කල්ප විනාශය එළැඹ තිබුණහොත් ඔහු/ඇය සෝවාන් වන තුරු කල්ප විනාශය කල් යයි. එබැවින් ඔහු / ඇය ''ඨිත කප්ප'' යනුවෙන් පුද්ගලපඤ්ඤත්තිප්ප්‍රකරණයෙහි සඳහන් වේ. සෝවාන් මාර්ග ලාභියා යනු එතරම් ම බලවතෙකි.

සත්ත්වයා සසරට බැඳ තබන බැමි දහයෙකි. සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ජා, ශීලබ්බත පරාමාශ, කාමරාග, පටිඝ, රූපාරාග, අරූපරාග, මාන, උද්ධච්ජ, අවි-ජා යන මේවා දස සංයෝජන නම් වෙයි. සෝවාන් වීමෙන් මින් පළමු බැමි තුන සදහටම ගිලිහී යයි. ''සක්‌කාය දිට්‌ඨිය'' යනු ස්‌කන්ධ පංචකය ආත්ම කොට දැකීමයි. සතර මහා භූතයන්ගෙන් හටගත් හුදු චිත්‍ර සටහනක්‌ බඳු උපාදාය රූපය මෙය මාගේය යනුවෙන් දැඩිව උපාදානය කර ගැන්මයි. ''විචිකිච්ඡාව'' යනු බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, පූර්වෘත්තය, අපරාන්තය, පූවාර්න්ත අපරාන්තය, ශික්‌ෂා, පටිච්චසමුප්පාදය යන අට තැන් පිළිබඳ සැකයයි. ''ශිලබ්බත පරාමාශය'' යනු අජ ව්‍රත, ගෝ ව්‍රත, කුක්‌කුර ව්‍රත ආදී කොටගත් ලෝභ - ද්වේශ - මෝහ යන අකුශල මූලයන් පදනම් කොටගත් හර විරහිත සිල් රැක්‌මයි.

සෝවාන් උතුමනට අටවැනි අත්බවෙක්‌ ඇත්තේ ම නැත. (නතේ භවං අට්‌ඨමං ආදියන්ති) ඔවුහු නිරය, තිරච්ඡාන යෝනිය, ප්‍රේත නිකාය, දුර්ගති විනිර්පාත අසුර නිකාය යන අපාය භූමි සතරෙන් සදහටම නිදහස්‌ වූවෝ වෙත්. එනමුදු සුගති විනිර්පාන අසුර නිකාය ඔවුනට තවදුරටත් සාධාරණය.

සෝවාන් උතුමෙකු බාහිර පෙනුමෙන් හෝ ක්‍රියා විලාශයෙන් හඳුනාගැන්ම අසීරුය. (you can not judge a person by external appearance යන ඉංගී්‍රසි කියමන ද මෙයට මනාව ගැළපේ.) හෙතෙම බයාදු හෙමි-ජෙකු යෑයි සැලකීමද උචිත නොවේ. ශරකානි ශාක්‍යයාගේ කථාව මෙයට කදිම නිදසුනකි. උග්‍ර මත් ලෝලියෙකු වූ ශාක්‍ය වංශික ශරකානි මතට සමුදුන්නේ දිවියෙහි සැඳෑ සමයේ දී ය. ඔහු මියගිය පසු ඔහුගේ ඥතිවරුන්ගේ විමසුමකට පිළිවදන් දුන් තථාගතයන් වහන්සේ ශරකානි සෝවාන් ව දෙව්ලොව උපන් බව වදාළහ. මෙයින් ශාක්‍ය වංශය කැළඹිණි. ''අර මත්ලෝලී ශරකානියා සෝවාන්ව සිට දෙව්ලොව උපන් මග බුදුරජාණන් වහන්සේ වදාරති. උන්වහන්සේ යළි මෙවැනි ප්‍රකාශයක්‌ නොකරන තැනට වැඩ සලසමු.'' යනුවෙන කථිකා කරගත් ශාක්‍යයෝ බුදුහු බැහැ දැක්‌මට ආහ. එයට පිළිවදන් දෙමින් උන්වහන්සේ ''සෝතාපන්නයා යනු සිවු විධි වූ සෝතාපන්න අංගයන්ගෙන් යුක්‌ත වූවකි. ඒ හැර අන් වෙසෙසක්‌ නැත. අර පෙනෙන අජීවී සල්ගස්‌ වෙත නෙත් යොමු වේ. ඒ අජීවී ශාකයන්ට ද සෝතාපන්න අංග වී නම් ඒවාද සෝවාන් යෑයි කීමට මම නොපැකිළෙමි'' යනුවෙන් වදාළහ.

අනවරාග්‍ර සසර අතිශයින් බිය ජනක ය. ඒ කරුණ සාධාරණිකෘත කිරීමට අවැසි තතුද අප වටා නිතොර සැරි සරති. එකී යථාව අභිමුව සෝවාන් ඵලය අමිල වූ ලාභයකි. බොදුනුවන් වන අප එකී ලාභය පසුපස විදුලි වේගයෙන් ලුහු බැඳ යා යුත්තෝ වෙමු.
යසස්‌ නිවන්තක සිල්වා 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X