වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මහත්ඵල මහානිසංශ දානයක් වීමට............ හා අභය දානයෙහි අනුසස්

ඔබව දන්දීමෙන් වළක්‌වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක්‌ වේවා ඔහු ඔබගේ ඥාතියෙක්‌ හෝ හිතවතෙක්‌ නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න. එවැනි අයගෙන් දුරස්‌වන්න. යමෙක්‌ තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන,දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ළඟම ඥාතියා කරගන්න. සිදුකරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික සම්මා දිට්‌ටියට අනුව සිදුකරගන්න. ඔබ නිරතුරුවම තැන්පත් කළ දෙය නොව පරිත්‍යාග කළ දෙය ගැන මෙනෙහි කරන්න. විශාඛා උපාසිකාව වරක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් වර අටක්‌ ඉල්ලා සිටිනවා. ඒ අනුව දිවි ඇති තුරා සංඝයා හට වැසි සළුදෙන්නට, ආගන්තුක බත් දෙන්නට, ගමික බත් දෙන්නට, ගිලන් භික්‍ෂුවට බත් දෙන්නට, ගිලානෝපස්‌ථායක බත් දෙන්නට, ගිලන් බෙහෙත් දෙන්නට, නිති කැඳ දෙන්නට, මෙහෙණ සඟනට දියසළු දෙන්නට කැමත්තෙමියි විශාඛාව එම වර අට ඉල්ලා සිටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් විශාඛා උපසිකාවගේ මේ ඉල්ලීමට කැමත්ත දෙනවා. බලන්න විශාඛා උපාසිකාව උතුම් සෝවාන් ඵලයට පත් උපාසිකාවක්‌. පිංවත් ඔබත් එම අවබෝධයට පැමිණීමට නම් ඔබ කාවද අනුගමනය කළ යුත්තේ? ආදර්ශයට ගත යුත්තේ? විශාඛා උපාසිකාව ගැන අනේපිඬු සිටුතුමා ගැන නකුලමතා, නකුල පිතා ගැන නිරතුරුවම ඔබ සිතන්න, මනසින් දකින්න. එම උතුමන් දානයට ලබාදුන් වටිනාකම් කොතෙක්‌ද කියලා.
විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක්‌ සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක්‌ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්‌වත්... අවුරුද්දට වතාවක්‌..... ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්‌ද? වැසිසළුවක්‌ පූජාකරන කෙනෙක්‌ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්‌ථානයන් සිදුකරන කෙනෙක්‌ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්‌ටුකරල අහන්න. පිළිතුර 'ඔව්' වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ඔබ තවමත් ප්‍රමාද බව දකින්න. අප්‍රමාදී වීමට ඔබ උත්සාහ ගන්න. බැංකුපොතේ ඔබ රැස්‌කොට තබන දෙය අනුන්ගේ කෙටි ලාමක කෙටි සැපයන් උදෙසා බවත්, රැස්‌ නොකොට දන්දෙන දෙය ඔබට ආශ්චර්යමත් සැපයක්‌ උදෙසාම බවත් දකින්න. සශ්‍රික දේවානුස්‌සතිය වඩන්න. ඉහත පිංකම් නිතිපතා, සතිපතා, මාස්‌පතා ඔබගේ ආදායමට ගැළපෙන ආකාරයට කිරීමට උත්සාහ ගන්න. ලැබෙන සෑම අවස්‌ථාවක්‌ම අපතේ නොහරින්න. අනුන්ගේ ශීලය, සමාධිය ගැන නොසොයන්න. සෑම විටම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිස වශයෙන්ම දකින්න. මේවා පිං උල්පත් බව දකින්න. උල්පතේ ගැඹුර නොගැඹුර උස්‌පහත් බව නොසොයා ඔබගේ සංසාරික දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය ජලය ගැන පමණක්‌ සිතන්න. ඔබගේ දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට ජලය ලැබෙනවා නම් උල්පත ගැන සෙවීම මෝහය නිසාම සිදුවන්නකි. දෘෂ්ටීන්ගෙන් මිදී හේතුඵල ධර්මයන්ට විවෘත වන්න. අතීතයේ වැඩ සිටියා වු අනන්ත වූ ගුණයෙන් ඥානයෙන් යුත් භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සමූහයම අරමුණු කරගන්න.
මසකට එක වතාවක්‌ එළඹෙන පසළොස්‌වක පෝය දිනය ඔබ ඔබගේත්, ඔබගේ පවුලේත් පිංකම් දිනය බවට පත්කරගන්න. පන්සල වේවා, ඔබගේ නිවස වේවා, එදින සතර අපායෙන් එතෙරවීමම අරමුණුකොට දාන, ශීල, භාවනා කටයුතු සිදුකරගන්න. දරුවන් බිරිඳ දැසි දස්‌සන්වත් හවුල්කරගන්න. ඒ අය අකමැති නම් ඔබ තනිවම මේ ව්‍යායාමයේ නිරතවන්න. සතර අපාය යනු කුමක්‌ද? එහි සත්වයා විඳින දුක කුමක්‌ද? එහි ආයුෂ මොනතරම් දීර්ඝද? සතර අපායට වැටුණ කෙනාට එයින් මිදීම මොනතරම් අපහසුද.......? මේවා සකච්ඡා කරන්න. ඔබ ලැ-ජාවෙන්න එපා. මාන්නයට පත්වෙන්නත් එපා 'අනේ අපි ආයෙත් තිරිසනෙක්‌, ප්‍රේතයෙක්‌, නිරිසතෙක්‌ වෙන්නේ නැහැ' කියලා. එහෙම කියන සිතමයි ඔබව සතර අපායට ඇදදමන්න අවශ්‍ය පාර කපන්නේ. අනේ මම තවම සතර අපායෙන් මිදිල නැතැයි කියලා දකින්න නිහතමානී වෙන්න. සැබවින්ම ඔබ සතර අපායෙන් මිදිලා නොමැතිනම් සක්‌කාය දිට්‌ටිය ඉහ වහා ගිය, සතියෙන් නැතිනම් මාසයෙන් මාර්ගඵල ලාභීන් බවට පත්කරන ක්‍රමවේදයන් සිහිබුද්ධියෙන් හඳුනාගනිමින් මඟහරින්න. හේතුඵල ධර්මයන් ගළපමින් ඔබ, ඔබ ගැනම විමසා බලන්න. මෝහයෙන් මිදෙන්න. අවබෝධය යනු අනුන් දෙන දෙයක්‌ නොව තමා තමා තුළින්ම දැනුවත්භාවයෙන් ලබන්නක්‌ බව හොඳින් සිහිතබා ගන්න. පසළොස්‌වක පොහොය දවසේ ඔබ පවුලේ සියලුදෙනාම, එසේත් නැතිනම් පන්සලේ සිල්සමාදන් වෙන සියලුදෙනාම සතර අපායේ බියකරුභාවයත් එයින් මිදීමේ මාර්ගයත් සාකච්ජා කළොත්, ඒ ගැන අවධානය යොමුකළොත් ඔබට පුළුවන් මාසේ ඉතිරි දවස්‌ විසිනවයේම එම ශක්‌තිය තුළ, මාර්ගය තුළ ජීවත්වෙන්න.
මේ සටහන පුරාවට සතර අපායෙන් මිදීම සඳහා ඔබට ත්‍යාගානුස්‌සතිය වැඩීම ගැනයි සඳහන් කරන්නේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා හෝ දුගී මගී යාචක, බලූ කපුටු එසේත් නැතිනම් දෙවියන්, අමනුෂ්‍යයින් මේ කවුරුන් විෂයෙහි වේවා ලෝභකම අතහැරීම උදෙසාම දන්දෙන්න. තෘෂ්ණාව ක්‌ෂය කිරීම උදෙසාම දන්දෙන්න. දන්දීමට කාලසටහන් සාදා නොගන්න. පාරේ ගමනක්‌ යන විට පිණ්‌ඩපාතේ වඩින භික්‍ෂුවක්‌ දැක්‌කොත් සද්ධාවෙන් යමක්‌ පූජාකරන්න. දුර ගමනක්‌ ඔබ යන විට බසයේදී මඟ තොටේදී හමුවන භික්‍ෂුවකට අවශ්‍ය බිස්‌කට්‌ එකක්‌, ගිලන්පස එකක්‌ ගැන විමසීමට සිතක්‌ ඇතිකරගන්න. අනුන් කරනවාද නොකරනවාද යන්න ඔබ නොසිතන්න. ලැබෙන පුංචි අවස්‌ථාවකින් පවා උපරිම ත්‍යාගානුස්‌සතිය වැඩීමේ අවස්‌ථාව ලබාගැනීමට දක්‍ෂවෙන්න. දන්දෙන්නේ අනුන් සඳහා නොව, අනුන්ගේ කුස පිරවීම සඳහා නොව, තමාගේම සැපය සඳහාය යන්න සිතන්න. ඔබ ප්‍රාර්ථනා කරන්න, වීර්යයෙන් අවස්‌ථාව උදාකරගන්න. කළ පිංකම්, දුන් දානයන් නැවත නැවත දෙන්න, නැවත නැවත මෙනෙහි කරන්න. මට දානය පූජාකර ගැනීම සඳහා තව තව ස්‌වාමීන් වහන්සේලා මුණ ගැසේවා. උපාසක උපාසිකාවන් මුණ ගැසේවා. තව තව පන්සල් ආරණ්‍ය විහාරාංග ඉදිවේවා. තව තව පිංකම් සිදුවේවා. කියා ප්‍රාර්ථනා කරන්න. කුමක්‌ සඳහාද? ඒවා උදෙසා පරිත්‍යාගයන් සිදුකර ත්‍යාගානුස්‌සතිය වැඩීම පිණිස. මේ සැම ඔබ ඔබේ සතුට කරගන්න. මේ සැම යනු දේවානුස්‌සතිය හැර වෙන කුමක්‌ද? දන් දීම තුළින් ඔබ ඇතිකරගන්නා අතහැරීමේ ශක්‌තිය සක්‌කායදිට්‌ටිය ක්‍ෂය කිරීමේ මාර්ගයම මිස වෙන කුමක්‌ද? බිරිඳගෙන්, සැමියාගෙන්, දූ පුතුන්ගෙන්, වස්‌තුව දේපලවලින් ඔබ ලබන බැඳීම, සක්‌කායදිට්‌ටිය තව තව ඝනභාවයට පත්කිරීම සඳහාම බව ඔබම දකින්න.
සතර අපායෙන් මිදීම උදෙසා ගිහි බැඳීම්වලට යටත්ව ජීවත්වන ගිහි පිංවතුන් උදෙසා දානයේ ඇති වටිනාකම සටහන් කිරීමයි මේ ලිපියේ අරමුණ වුණේ. ගිහි ජීවිතය තුළදී හොඳින් දන් දුන්නත් එම දානමය පිංකම් ලොව්තුරා සම්මාසම්බුද්ධ දේශනාවන්ට අනුකූලව ගළපා ගැනීමට අදක්‍ෂ නම් පරලොව දුකට පත්වීම වැළැක්‌විය නොහැක.
ඒ ගැන උදාහරණයක්‌ වශයෙන් වැදගත් මහත්මයෙකුගේ කථාවක්‌ දැන් මෙහි සටහන් තබනවා. මෙම කථා ප්‍රවෘත්තිය ඔබට වැදගත් වේවි. පහත කථාවෙන් කියවෙන්නේ ඔබ අදක්‍ෂනම් දන් දුන්නා, පිංකම් සිදුකරගත්තාය කියලා ඊළඟ ප්‍රතිසන්ධිය සුගතියක්‌ වෙනවාමයෑයි ඔබට සහතිකයක්‌ ලැබෙන්නෙ නැතිය කියන කාරණයයි .
එක මහත්තයෙක්‌ සිටියා. ඔහු දක්‍ෂ ව්‍යාපාරිකයෙක්‌. බොහෝම පුංචි තැනකින් පටන් ගත්තේ. අවසානයේදී කෝටිපතියෙක්‌ වුණා. ඉඩකඩම්, ව්‍යපාර ඔහු සතුවුණා. බොහෝම හොඳ බිරිඳක්‌ දරු මුණුපුරන් සිටියා. කවදාකවත් සිල් සමාදන් වෙන්න පන්සලකට ගියේ නැහැ. නමුත් හොඳින් සිල් පද ආරාක්‍ෂා කරගෙන ජීවත් වුණා. තමා විසින් සදාගත්තාවූ කාලසටහනකට අනුව හොඳින් වියදම් කර භික්‍ෂුන්වහන්සේලාට, උපාසක උපාසිකාවන්ට දන් දුන්නා. එම කාලසටහනෙන් පිට දන් දෙන්න ගියේ නැහැ. කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය බොහෝම අඩුවෙනුයි ඔහුට ලැබුණේ. එහෙම අඩු වුණත් හොඳින් දන් දුන්නා. පන්සල් ආරණ්‍ය සඳහා මුදල් පරිත්‍යාග කළා. අවශ්‍ය විහාරාංග ඉදිකළා. මොහු තමන්ගේ ව්‍යපාරයට ඉඩකඩම්වලට ගොඩාක්‌ බැඳිලයි සිටියේ. මොකද මේ හැම දෙයක්‌ම අසාධාරණයෙන් නොව තමන්ගේම දහදිය මහන්සියෙන්මයි හම්බකරගත්තේ. මේ පිංවත් මහත්මයා හැමෝටම ප්‍රිය කාටවත් කරදරයක්‌ නැති හුදකලා වැදගත් ජීවිතයක්‌ ගත කරලා වයස අවුරුදු හැත්තෑවේ සීමාවට පැමිණීමට පෙර මිය ගියා. දුක්‌විඳලා, රෝග පිඩාදියට ලක්‌වෙලා නොවේ. ඔහුට හිමිවුණේ ක්‍ෂණික මරණයක්‌. මේ මරණය ගැන ඔහුගේ බිරිඳට, දරුවන්ට, ඥාතීන්ට, හිතමිතුරන්ට කිසිම විදිහක බියක්‌ තිබුණෙ නැහැ. කුහුඹියෙකුටවත් වරදක්‌ නොකළ මොහුට සුගතියේ දොර හැර, වෙන දොරක්‌ නොඇරෙන බව පාංශකූලයට පැමිණි ගෞවරණීය සංඝරත්නය අනුශාසනා කළා. ඉහත සියලුදෙනාම තමන් ධර්මය දන්නා ආකාරයට හේතුඵල ගළපමින් මියගිය පිංවත් මහත්මයාව සුගතියටම නම් කළා. මියගිය පිංවතාට පිං පිණිස හත් දවසේ, තුන්මාසේ අවුරුද්දේ සාංඝික දානමය පිංකම් බොහෝම සශ්‍රික ආකාරයට පුජාකළා. තව තව පිංකම් සිදුකරනු ලැබුවා. අපේ මිය ගිය ඥාතියා දෙවියෙක්‌ය කියන සංඥාව හැර වෙන සංඥාවක්‌ කිසිවෙකුට තිබුණේ නැහැ.
මෙහෙම කාලයක්‌ ගියාට පස්‌සේ දිනක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට මේ මියගිය පිංවත් මහත්මයාව අරමුණුවෙනවා. ඒ අරමුණු වෙන්නේ ප්‍රේත ලෝකයෙදි. මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටියදී තිබූ ශරීර ප්‍රමාණය සහිතවමයි. මනුෂ්‍ය ජීවිතයේ සිටියදී ඔහු ප්‍රිය කළ ඇඳුමක්‌ තිබුණා. විශේෂ ගමනකදී පළඳින එම ඇඳුම් කට්‌ටලය සහිතවයි මොහු හිටියේ. මෙම මියගිය මහත්තයාට අයිතිව තිබුණා කෝටි පහක පමණ ඉඩමක්‌. මේ ඉඩමේ මොහු එහාට මෙහාට ඇවිදිනවා. මොහු ඇවිදින්නේ බොහොම දුක්‌මුසු විලාසයකින්. ටිකක්‌ කුදු ගැහිලා, හිස පහතට හෙලාගෙන, අත් දෙක පහළට දමාගෙන 'අනේ මේවට මොකද වුණෙ' කියන්න වගේ හැඟීමක්‌, ඉරියව්වක්‌ සහිතව තමයි ඇවිදින්නේ.
ශරීරය දුර්වල නැහැ. ඇඳුම බොහොම පිරිසිදුයි. නමුත් සිත දුකට පත්වෙලා. තෘෂ්ණාව නිසාම. මොහු ඉන්න ඉරියව්වෙන් පෙනෙන්නේ, මොහු තුළ බියක්‌ තියෙනවා මේ දේපළ නැතිවෙයි, විනාශවෙයි, වෙන කාටහරි අයිතිවෙයි කියලා. බලන්න පෙර ආත්මයේදි කොච්චර දන් දුන්න, මොන තරම් පිං කරගත්ත මනුෂ්‍යයෙක්‌ද, මොනතරම් සිල්වත් ජීවිතයක්‌ ගතකරපු මනුෂ්‍යයෙක්‌ද. ඒත් ඒවායින් ඔහු ප්‍රයෝජනයක්‌ ගත්තද?
මියයන වෙලාවේ මේ පිංවත් මනුෂ්‍යයා තමා දුන්න දානයක්‌, තමාගේ සිල්වත් ජීවිතය, ඒ ජීවිතය තුළින් කළ පිංකම් සිහියට නගාගත්තා නම්, ඒ පිංකම් අරමුණු කරගත්තා නම්, ඒ පිංකම් සිදුකරගැනීමට මාර්ගය දේශනා කර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ ගුණයන් සිහියට ගත්තා නම්, එසේ කිරීමට දක්‍ෂභාවය ඔහු තුළ තිබුණා නම්, ඇතිකරගත් කැමත්තට අනුව. මොහු සශ්‍රීක දිව්‍ය තලයක, මහේශාඛ්‍ය දෙවියෙක්‌ වශයෙන්මයි, එසේත් නැතිනම් සශ්‍රීක මනුෂ්‍ය ජීවිතයක්‌මයි නැවතත් ලබන්නේ. නමුත් මේ අවාසනාවන්ත මනුෂ්‍යයා සද්ධර්ම ශ්‍රවණය අඩුවෙන් කළ නිසාත්, කල්‍යාණ මිත්‍ර සේවනය හිඟ වු නිසාත් මියයන මොහොතේ තමන් කළ පිංකම්, ගත කළ සිල්වත් ජීවිතය යටපත්වී මතකයට පැමිණියේ ඉඩකඩම් දේපල. දේපල කෙරෙහි තිsබූ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා සැනසීමට හේතුවන දේවල් නොව වැනසීමට හේතුවෙන ධර්මතාවයත් තමයි මතුවෙලා පැමිණියේ. ඒ නිසාම මොහු ප්‍රේත ජීවිතයකට වැටුණා. නමුත් බලන්න දේපල කෙරෙහි ඇතිකරගත් දැඩි ජන්ද රාගය නිසා ප්‍රේත ජීවිතයකට වැටුණත් මොහු මනුෂ්‍ය ජීවිතයේදී දුන්න දානයන්ගේ ආනිසංස එම ප්‍රේත ජීවිතයේදීත් මොහුට සැප විපාකයන් ලබාදුන්නා. ප්‍රේත ජීවිතයේදීත් මොහුට හොඳ පිරිසිදු වස්‌ත්‍ර ලැබිලා තිබෙනවා. හොඳ නිරෝගි ස්‌වභාවයේ ශරීරයක්‌ ලැබිලා තිබෙනවා. ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාව නිසා ඔහුගේ සිතට නම් දැනෙන්නේ දැඩි පීඩාවක්‌, දුකක්‌. ඒ නිසා මොහුගේ ඉරියව්වල තිබෙන්නේ දැඩි අතෘප්තිමත් ස්‌වභාවයක්‌. එම පිංවත් ව්‍යාපාරික මහත්මයා මනුෂ්‍යයෙක්‌ වශයෙන් ජීවත්ව සිටියදී සමාජය ඔහුව හැඳින්වූයේ සිල්වත් මනුෂ්‍යයෙක්‌ හැටියටයි. දානපතියෙක්‌ හැටියටයි. වෙහෙස මහන්සි වී ධනය ඉපයු ව්‍යපාරිකයෙක්‌ හැටියටයි. නමුත් ඔහුගේ බාහිර ස්‌වරූපය, ඇවතුම් පැවතුම් තුළින් ලෝකයා ඔහුව එසේ හඳුනාගත්තත් ඔහුගේ සිත වැඩී තිබුණේ ඉන් ඔබ්බට ගිය දිශාවකට. ඒ තමයි දේපල කෙරෙහි තිබූ අසීමිත ජන්ද රාගය. එයට අදාලව ප්‍රතිසන්ධිය සකස්‌ වුණා. සුගතියක සැප විඳීමට අවශ්‍ය පරිසරය ඔහු ජීවිතය තුළින් ගොඩනගාගෙන තිබුණත්, සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර සේවනය, බහුශ්‍රැතභාවය නොමැති වීම හේතුවෙන්ම සැපක්‌ ලෙස අල්ලා ගත්තේ දුකක්‌මයි.
දැන් මේ අමනුෂ්‍ය ලෝකයේ ප්‍රේතයෙක්‌ ලෙස ජීවත්වන මොහු පරදත්තරුප ජීවි ස්‌වභාවයට අයත් ප්‍රේතයෙක්‌. ඔහුට අවශ්‍ය නම් පුළුවන් පිං ලබාගන්න. නමුත් මොහු පිං ගන්නේ නැහැ. මොකද උපාදානය කරගත් දෙය කෙරෙහි තිබෙන දැඩි තෘෂ්ණාව නිසා. මෙවැනි අයෙක්‌ අරමුණු කර ඔබ මෝනතරම් සශ්‍රික ආකාරයට සාංඝිකදානමය පිංකම් සිදුකළත් මේ ප්‍රේත සත්වයා පිං ගන්නේ නැහැ. ඔබ අනුමොදන් කරන පින සුදුසු වෙනත් අමනුෂ්‍යයෙක්‌ වෙතොත් ඔවුන් එය අනුමෝදන්වේවි. එසේ නොවුන හොත් ඔබලාට සැප පිණිස එම පිං හේතුවේවි.
මෙවැනි උපාදානය බලවත්කොට ගත් පරදත්තරූප ජීවි සත්ව කොටස්‌ වලටද එම උපාදානය බිඳ පින් අනුමෝදන් කිරීමට ඔබට හැකියාව තිබෙනවා ඔබද දක්‍ෂ නම්. මොකද ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු වඩපු ගුණධර්ම තිබෙනවා ඒ අය තුළ යටපත් වෙලා. ඔබ දක්‍ෂ වෙන්න ඕනෙ ඒවා මතුකර ගන්න පුළුවන් ආකාරයට පිංකම් සිදුකරන්න. ඒ අයට අනිත්‍ය සංඥාවක්‌ වැටහෙන ආකාරයට පිංකම් සිදුකරන්න. භික්‍ෂුව මේ ටික සඳහන් කළේ මියගිය අයගේ ස්‌වභාවයන් අපි අපේ කරගත යුතුනිසා නොවේ. මියගිය අයකු= ගැන සිත සිතා ජීවත්විය යුතු නිසාද නොවේ. එවැනි විෂයන් ඔබ අදාළ කරගත යුතු නැහැ. නමුත් ඔබ මේ ධර්ම මාර්ගයේ නිවරැදිව ගමන් නොකළොත් ඔබට මුණ ගැසෙන අනතුරු ගැන අවබෝධය ලබාදීමටයි මෙම කරුණු සටහන් තැබුවේ. ඒ වගේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබලාට දේශනාකරනවා මියගිය ඥාතීන් උදෙසා ජීවත්ව සිටින ඔබ පිංපෙත් අනුමෝදන් කිරීම යුතුකමක්‌ය කියලා. මේ කථාව ඔබ කියවන විට ඔබට වැටහෙන්න ඇති ඔබ දන්දිය යුත්තේ තන්හාව, මාන්නය, දිට්‌ටිය නොවැඩෙන ආකාරයට, ඒවා ක්‍ෂයවෙන ආකාරයට බව. දන්දීම තුළින් ඉහත අකුසල ධර්මයන් වැඩෙනවා නම් එම දානය අර්ථවත් වෙන්නෙ නැහැ. නමුත් එය අපතේ නොයන බව ඔබ ඉහත කථාව අනුසාරයෙන් ඔබ හොඳින් තේරුම් ගත යුතුයි.
ගිහි ජීවිත ගතකරන පිංවත් ඔබලා මූලිකත්වය දෙන්නේ තමාගේ ව්‍යාපාරයට, ගේදොර වතුපිටිවලට, දරුවන්ට, බිරිඳට. ඒවාට නිසි තැන දෙන්න. නමුත් ඔබ ප්‍රධානත්වය දෙන්න අවශ්‍ය සතර අපායෙන් මිදෙමි කියන අරමුණට. තිරිසන් ප්‍රේත ජීවිතයක්‌ ලැබුණත් ඔබට දරුවෙක්‌ බිරිඳක්‌ ලැබෙයි. එහෙත් ධර්මය දැකීමේ අයිතිය ඔබට එහිදී අහිමිවෙනවා. ධර්මය දැකීමේ වරම ඔබට ලැබෙන්නේ මේ ජීවිතයේදීමයි. ධර්මය දැකීම යනු සතර අපායෙන් එතෙර වීමයි.

අභය දානයෙහි අනුසස්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ

බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය 
ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි
තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි.
බුදුදහමින් අනුමත ප්‍රමුඛ ආගමික සංස්කාර විධියක් ලෙස දානය අර්ථ ගැන්විය හැකිය. දානය පාරමිතාවක් ලෙස ද දස රාජ ධර්මයේ එක් රාජධර්මයක් ලෙසද සිව් සඟරාවතෙහි එක් අංගයක් ලෙස ද දැක්වේ. දස පින් කිරියවත්වල එක් අංගයක් වශයෙන්ද සැලකේ. දානය පිළිබඳ වර්ගීකරණ රාශියක් පෙළ දහමෙහි සඳහන් වෙයි. අංගුත්තර නිකායේ දානය දෙයාකාර වර්ගීකරණයකට ලක්කොට තිබේ’. ආමිස දානය, ධර්ම දානය යනුවෙන් දානය දෙයාකාර වන බවත් මේ අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වන බවත් එහි සඳහන් වෙයි. (ද්වෙමානි භික්ඛවෙ දානානි කතමානි දේවෙ, ආමිස දානංච ධම්ම දානංච ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ දානානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානන්ති ) එහෙත් තවත් තැනෙක ආමිස දාන, ධර්ම දාන හා අභයදාන වශයෙන් දානයෙහි ත්‍රිවිධාකාර වර්ගීකරණයක් ද දක්වා ඇත.
හින්දු ආගමික සාහිත්‍යයෙහි ද දානය සම්බන්ධයෙන් විවිධාවස්ථාවන්හි කරුණූු සඳහන් වේ. භගවත් ගීතාව වැනි මූලික හින්දු ආගමික සාහිත්‍යයෙහි යාගය ප්‍රධාන සංස්කාර විධිය ලෙස සඳහන් වුව ද පසුකාලීන හින්දු සාහිත්‍යාගත ග්‍රන්ථයන් හි දානය සම්බන්ධයෙන් ද දානානිශංස සම්බන්ධයෙන්ද කරුණුූ සඳහන් වෙයි. ඒ අතරින් අභය දානය පිළිබඳවද විශේෂ අවධානයක් යොමුකොට තිබේ. ව්‍යාසකාරයෙහි අභය දානයෙහි ආනිශංස දක්වා ඇත්තේ මෙසේය.’ ආහාර අඩු කාලයෙහි ආහාර දෙයි නම් ආහාර පාන සුලභ කළ රන් රිදී දෙයි නම් බියක් , තැති ගැන්මක් අත් වු විට අභය දෙයි නම් ඔවුහු දිව්‍ය ලෝකයෙහිදි ත් පිදීමට හා බහුමානයට පත් වෙති” . යනුවෙන් සඳහන් වේ.
අභය දානය සම්බන්ධයෙන් විවිධාර්ථයන් මෙන්ම විවිධ අර්ථ විග්‍රහයන්ද විද්‍යමාන වෙයි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි අභය යන වචනයට නොබිය, බිය නැති, සැවැන්න යනාර්ථද අභයදාන යන්නට අභය දීම, දඬුවම් හෝ මරණය වැළැක්වීම යනාර්ථ ද ලබා දී තිබේ. සිංහල ශබ්දකෝෂයෙහි නිර්භය , සුරක්ෂිත, ක්ෂේම, පූජා, භය රහිත බව, ආරක්ෂාව, ක්ෂේම යනාර්ථ විද්‍යමානය. අභය දානය යන්නේ ආරක්ෂාව නොහොත් රක්ෂාවරණය සලසා දීම, ක්ෂමාව දීම, මරණයට නො පමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ ගම්‍යමාන වෙයි. නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂයෙහි අභය යන්නට ආරක්ෂා සහිත, නිර්භය , භය නැති, අභීත යනාර්ථද අභය දානය යන්නට ක්ෂමාව දීම, දඬුවම් ඉවත් කර සමාව දීම, මරණයට පත් නොකර ජීවිත දානය දීම, රැකවරණය සලසා දීම, ආරක්ෂාව ලබා දීම යනාර්ථද විද්‍යමාන ය. ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයෙහි භය රහිත, සුරක්ෂිත, නිර්භීත අභීත , භය නැති, භය රහිත, ආරක්ෂාව, රැකවරණය, රක්ෂා ස්ථානය, ක්ෂමාව, පණ බේරා ගැනීම, සැවැන්දන, සැවැන්දරා ආදී අර්ථ අභය යන්නටද ආරක්ෂාව සලසා දීම, මරණයට නොපමුණුවා දිවි මුදා හැරීම යනාර්ථ අභය දානය යන්නට ද යෙදේ. ශබ්ද කෝෂයන්ට අමතරව විශ්ව කෝෂයන්හි ද අභය දාන යන්නට අර්ථ විවරණ දක්වා තිබේ. බෞද්ධ විශ්වකෝෂයෙහි සඳහන් වන පරිදි සංස්කෘත භාෂාවෙහි මෙම වචනයට the gift of fearlessness යනාර්ථය දක්වා තිබේ.
යථෝක්ත නිර්වචනයෙන් සමස්තයක් ලෙස ගැනීමෙන් පැහැදිලි වන්නේ අභය දානය යනු ජීවිතය දීමයි. ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේත් නැතහොත් ජීව දානයයි. බුදුසමය තරම් සත්ත්වයාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන වෙනත් ආගමක් හෝ දර්ශනයක් ලොව නැත. දණ්ඩනයෙන්, මරණයෙන් අන්‍ය සත්ත්වයන් මුදවා අභයදානය දිය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ සහේතුක පදනමක් මත පිහිටාය. ධම්ම පදයේ දණ්ඩ වග්ගයෙහි අන්‍යයන්ට ජීවිත දානය දිය යුත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලිව ම දක්වා තිබේ. සියලු සත්ත්වයෝම කායික හා මානසික දණ්ඩනයට තැති ගන්නා බවත්, අකමැති බවත් සියලු සත්ත්වයෝම මරණයට බිය වන බවත් අවධාරණය කරන බුදුසමය තවදුරටත් දක්වන්නේ “මම යම් සේ දණ්ඩනයට බිය වේද එසේම සියලු සත්ත්වයෝද දණ්ඩනයට බිය වෙති. මාගේ ජීවිතයට මම යම් සේ පි‍්‍රය ද එපරිද්දෙන්ම සියලු සත්ත්වයෝද තමාගේ ජීවිතයට පි‍්‍රයය.” එබැවින් තමා උපමාකොට කිසිඳු සත්ත්වයෙකුට අතින්, පයින්, දඬු , මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හිංසාකොට අන්‍ය කිසිඳු සත්ත්වයකු නොමැරිය යුතුය. අනුන් ලවා හෝ නොමැරවිය යුතුය යන්න බුදුදහමෙහි ස්ථාවරයයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස 
සබ්බේ භායන්ති මච්චුනො 
අත්තානං උපමං කත්වා 
න හනෙය්‍ය න ඝාතයෙ

මෙබඳු අත්තුපනායික ධර්ම පර්යාය දේශනාවක් මත පදනම් වූ ප්‍රවේශයක් අභය දානය සම්බන්ධයෙන් බුදුදහම ඉදිරිපත් කරයි.
අභය දානයෙහි අනුසස්
මජ්ක්‍ධිම නිකායේ චූළ කම්මවිභංග සූත්‍රයේ ප්‍රාණඝාතයෙහි යෙදිමේ ආදීනව දක්වමින් අභය දානයෙහි අනුසස් විස්තර කර තිබේ. තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි. තවද මෙම සූත්‍රයේදී සත්ත්ව හිංසනයෙහි ආදීනව මෙසේ දක්වා තිබේ.
මෙලොව ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇතිව සතුන් වැනසීමෙහි යෙදුනේ සියලු සත්ත්වයන් කෙරෙහි අකාරුණික බවට පැමිණි හේ ප්‍රාණවධ කරන සුලු වූයේද හේ එම කර්මය හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ලත් වූ විවසවැ පතිත වන නිරයෙහි උපදී. යම් හෙයකින් නිරයට නොපැමිණ මිනිස් ලොව උපත ලැබුයේ නම් අල්පායුෂ්කව උපදී. තවද මානවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ප්‍රාණඝාතය අත්හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහා තැබු දඬු ඇත්තේ වෙයි. බහා තැබු අවි ආයුධ ඇත්තේ වෙයි. අකුසල් කෙරෙහි ලජ්ජාවක් ඇති දයාවන්ත වූ සත්ත්වයන්ට හිතානුකම්පි වූ ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපත ලබයි. ඉඳින් මිනිස් බවෙහි උපන්නේ වී නම් දීර්ඝායුෂ්කව උපදී.
තවද මානවකය,මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් හෝ කැට කැබලිත්තෙන් හෝ, දඬු මුගුරුවලින් හෝ අවි ආයුධවලින් හෝ අන්‍යයන්ට හිංසා පීඩා පමුණුවයිද එම අකුසල විපාකය නිසා මරණින් මතු නිරයෙහි උපදියි. යම් හෙයකින් මිනිස් ලොව උපත ලැබූයේ නම් බොහෝ ආබාධ ඇතියේ වෙයි. එසේ නොකරන්නා මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපත ලබන අතර මිනිස් ලොව ඉපදුණේ වී නම් අල්පාබාධ ඇත්තේ වෙයි.
ප්‍රාණඝාතයෙන් තොර වී අභය දානය ප්‍රගුණ කළ පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකවල උපදින බව මහාකම්මවිභංග සූත්‍රයේද සඳහන් වෙයි. එසේම විමානවත්ථූ පාලියෙහි ප්‍රාණඝාතයෙන් මිදුණු අය දිව්‍ය විමානවල උපත ලැබ සැප සම්පත් අත්විඳින ආකාරය විමානවත්ථූවෙහි හා උත්තරවිමානවත්ථුවෙහි දැක්වේ. එබඳුම පුවතක් ලබු මා විමානවත්ථුවෙහිද දැක්වේ. ප්‍රාණවධ කිරීමෙහි ආදීනව තව දුරටත් දක්වන බුදුසමය එයින් මිදි අභය දීමේ අගය පැහැදිලි කරයි. යම් සේ ගොපලු තෙම දඬු මුගුරුවලින් පහර දෙමින් ගවයන් ගොදුරු බිමට හෙවත් තණ බිම් කරා පමුණුවන්නේද එපරිද්දෙන් ම ජරා මරණ දෙක ප්‍රාණීන් පෙළෙමින් ඔවුන්ගේ ජීවිතය ක්ෂය කරන බවත් දක්වයි. ප්‍රාණවධ ආදී පව්කම් කරන අඥානයා තමා කරන ලද පාප කර්මයාගේ විපාක නිසා ගින්නෙන් දැවෙන නිරයෙහි උපත ලැබ දැඩි සේ තැවීමට පත් වන බවත් සඳහන් වේ.
අභය නොදි කාය දණ්ඩ, වචී දණ්ඩ හා මනෝ දණ්ඩ ආදියෙන් අන්‍යයන් පෙළෙමින් කටයුතු කරන පුද්ගලයාට විපාක වශයෙන් දසවිධ දුක්ඛයන්ට පත්වීමට සිදුවන බවද සඳහන් වේ. කර්කෂ වූ අත් පා බිඳීම් ආදියෙන් හෝ ඇස් ආශි‍්‍රත රෝග කන් ආශි‍්‍රත රෝග හෝ වෙනත් බලවත් කායික වේදනාවන්ටද මහා පරිමාණව සම්පත් හානියකට හෝ අත පා සිඳීම් , බිදීම් , හිස පැළීම් ආදි වූ කායික හානියකට හෝ කාස රෝග, ස්වසනය හා සම්බන්ධ රෝග, පීනස් රෝග, අතීසාර රෝග, උදර රෝග, දද, කුෂ්ඨ, ගෙඩි ආදි බොහෝ රෝගයන්ට පත්වේ. එබඳු බලවත් රෝග දුකකට පත්වනවා පමණක් නොව බිහිරි , කොර, කුදු ආදි කායික අඩු පාඩුකම් සහිත බවට හෝ යක්ෂෝන්මාදය, පිත්තෝන්මාදය වැනි බොහෝ විපත්තීන්ට පැමිණෙන බවද දැක්වේ. ඊට අමතරව රජුන්ගෙන්, සොරුන්ගෙන් , මං පහරනන්ගෙන්, පේත, පිසාච, වන මෘගාදීන්ගෙන් උවදුරු පැමිණීම මෙන්ම ඥාති හිත මිත්‍රාදීන්ට පීඩා පැමිණීම වැනි විපත්තීන්ට මුහුණ දීමට සිදුවේ. රත්රන් අඟුරුවීම, මුතු කපු ඇට වීම, කහවනු කැට කැබිලිති වීම, යනාදි වූ භෝග විනාශයකටද පත්වන්නේය. එසේම ගින්න, ජලය හෝ සුලඟ වැනි ස්වාභාවික දෙයින් ලෞකික වශයෙන් විපත් පැමිණෙන බවද පාරලෞකික වශයෙන් මරණින් මතු නිරයට පැමිණෙන බවද දැක්වේ. අභය දානය නොදීමෙහි ආදීනව සම්බන්ධයෙන් තවදුරටත් දක්වන්නේ නම් පුද්ගලයෙක් තමාහට කායික මානසික සුව කැමතිව අනුන් තළා පෙළා මරණයට පත් කරයි ද පීඩාවට පත් කරයිද අන්‍යයන් කාය, වාග් දණ්ඩනයෙන් පෙළන ඔහු පරලොව දෙව් මිනිස් සුව නොලැබ නිරාගත වන බවද දැක්වෙයි.
දණ්ඩනයෙන් මිදී අන්‍යයන්ට අභය දීම් වශයෙන් මෛත්‍රිය වැඩිය යුතු ආකාරය ඛුද්දක පාඨ පාලියෙහි මෙත්ත සූත්‍රයෙහි සඳහන් වෙයි. මව යම් සේ තමාගෙන් ජාත වූ එකම ඖරස පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් රක්නේද එපරිද්දෙන් ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රි සහගත සිත් වැඩිය යුතු බව මෙත්ත සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයෙහි තවදුරටත් විස්තර වන්නේ පියවි ඇසට පෙනෙන සත්ත්වයන්ටද නොපෙනෙන සත්ත්වයන්ටද දුර වසන සත්ත්වයන්ටද ළඟ වසන සත්ත්වයන්යටද මතු උපතක් සොයන සත්ත්වයන්ටද යන සියල්ලන්ටම එක සේ මෛත්‍රිය වැඩිය යුතුය. නාගාදි දිග් ශරීර ඇත්තෝද, මත්ස්‍ය, හස්ති, අසුරාදි මහත් ශරීර ඇත්තෝ ද අශ්ව, ගව, මහිස ආදි මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද වාමන ආදි මිටි ශරීර ඇත්තෝද, පියවි ඇසට නොපෙණෙන ඉතා සියුම් සත්ත්වයෝද යන සියල්ලන්ටම එකසේ මෙත් වැඩිය යුතු බව මෙම සූත්‍රයෙහි තවදුරටත් දැක්වේ. තවද ඛන්ධ පරිත්තයෙහි දැක්වෙන්නේ අපා, දෙපා, සිව්පා, බහුපා ආදි සියලු සත්ත්වයන්ට හිංසා කිරීමෙන් වැළකිය යුතු බවයි.
ඛුද්දක පාඨ පාලියෙහි දණ්ඩ සූත්‍රයෙහි දණ්ඩනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැරූ ආකල්පය මැනවින් පැහැදිලි වේ. සැවැත් නුවරටත් ජේතවනයටත් අතර බුදුරජාණන් වහන්සේ වැඩම කරන විට බොහෝ කුඩා දරුවන් දණ්ඩකින් නයකු පෙළන ආකාරය දිටීය. එකල්හි බුදුරජාණන් වහන්සේ යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමති සතුන් දඬුවමින් පෙළා ද හේ පරලොව සුව නොලබන බව පවසමින් ඔවුන්ට ධර්මය දේශනා කළහ. සුත්ත නිපාතයේ සූත්‍රයෙහි වසල දැක්වෙන්නේ යමෙක් ඒකජ හෝ ද්විජ ඕනෑම සත්ත්වයෙකු දිවියෙන් තොර කරයිද යම්’ ප්‍රාණියකු හට දයාවෙන් තොර ද එබඳු පුද්ගලයා වසලයකු ලෙසද දක්වයි.
අංගුත්තර නිකායේ දසක නිපාතයේ භය සූත්‍රයෙහිද අභය නොදෙන්නාට අත්විඳීමට සිදුවන බිය පහක් සඳහන් වේ. “ගෘහපතිය ප්‍රාණඝාතයෙහි නිරත වන්නාට දිට්ඨධම්මික බියද, සම්පරායික බියද ලබේ. මානසික දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදුවේ. ප්‍රාණඝාතයෙන් මිදුනා වූ පුද්ගලයාට දිට්ඨධම්මික සම්පරායික යන ද්විවිධ බියත් මානසික දුක්ඛ දෝමනස්සයනුත් නොමැති අතර ඔහුගේ බිය හා වෛරය සංසිඳුනේ වෙයි යනුවෙන් සඳහන් වෙයි.
ගහ කොළ ආදි අජීවි වස්තුන්ගේ පටන් මිනිසා දක්වා සෑම වස්තුවකටම මෙන්ම සතත්වයකුටම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බුද්ධ දේශනාවේ සඳහන් මූලික ඉගැන්වීමකි. ගස් වැල් කඩා බිඳ දැමීම, අතු ඉති සිඳීම ආදි දෑ උපසම්පදා භික්ෂූන්ට ඇවතක් සිදුවීමට හේතුවක් බව දේශනා කළ උන්වහන්සේ කුඩා ප්‍රාණීන් විනාශ වන බැවින් ජලයට කෙළ ගැසීම, මළ මුත්‍රා කිරීම, වනයෙහි ගිනිදැල්වීම වැනි දෑ ද තහනම් කර ඇත. දස සක්විති වත් වල දී සතා සිව්පාවුන්ට අභය දීම රජුගේ ප්‍රමුඛ වගකීමක් බව දැක්වීම තුළින්ද උන්වහන්සේ අභය දානය සම්බන්ධයෙන් කෙබඳු ආකල්පයක් දැරූයේද යන්න මැනවින් පැහැදිලි වෙයි.
අප කළ යුතුව ඇත්තේ අභය දානය දානයක් ලෙසින්ම සිදු කිරීමයි. සමස්ත සත්ත්වයාගේම මානව අයිතිවාසිකම් සුරැකෙන දහමක් වන බුදුදහම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමෙහි ලා කෙබඳු ආකල්පයක් දැරුවේ ද යන්න යථෝක්ත කරුණූ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මැනවින් ප්‍රතීයමාන වේ.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X