වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අචල සිතක උපදින කුසල සිත

බිබිල, යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය
රාජකීය පණ්ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි

මෙලොව උපදින, මිනිසත් බව ලැබූ බෞද්ධ අනුගාමිකයින් වෙසෙසින් ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියනැගීමට වෙහෙසෙති. ඔවුන්ට බුදුරදුන් විසින් දේශනා කර ඇති අවවාදයක් වන්නේ පව්කම්වලින් වැළකී පින්දහම් කරන ලෙසයි. එයට හේතුව නම් කුසල් යනු දෙලොව යහපතට හේතුවන යහපත් වැඩ නිසාවෙනි. උන්වහන්සේගේ එකී දේශනාව නම්,
සියලු පාපයන්ගෙන් මිදෙන්න, කුසල් දහම් වැඩිදියුණු කරන්න. සිත මනාව දමනය කරගන්න, මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි යන්නය. මෙහි දී කුසල සිතක් උපදවා ගන්නේ කෙසේද කුසල සිතක ඇති විශේෂත්වය පිළිබඳ කරුණු ගොනුකෙරේ. අප පෘථග්ජනයින් ය. කාමාශාවෙන් වෙළී ඇත. ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්මයන් නිරන්තරයෙන් අප සිතට කා වදී. තදංග වශයෙන් ඒවා ප්‍රහාණය කිරීමට වෙහෙසවෙතත් නැවත නැවත උපදී. මෙලෙස උපදින අනේකවිධ අකුසල සිතිවිලි අපගේ මානසික දියුණුව පිරිහෙළයි. වැරදි වැඩ කෙරෙහි සිත යොමු කරවන අතර හොඳ සිතිවිලි සිතට පැමිණීම අඩපණ කරයි. අප සමාජයේ ජීවත් වන විට අපේ හොඳ ගතිගුණ අසන්නට ලැබෙනවා නම් අප එයට බොහෝ සෙයින්ම කැමතිය. අප කෙරෙහි අවලාද නඟන්නන්ට අප කොහෙත්ම කැමති නැත. මෙය නිසි පරිදි වටහා නොගත් පිරිස් තමන් ඒ අයුරින් සිතන ගමන් අනුන්ගේ වැරදි සොයයි. අනුන් පහත් ලෙස සැලකීමට මහන්සි ගනී. පෘථග්ජන සමාජයේ ස්වභාවය එයයි.
ඉහතින් පෙන්වා දුන් ගාථාව මඟින්ද ප්‍රකට කෙරෙන්නේ පව්කම්වලින් වළකින ලෙසයි. පව්කිරීමෙන් වැළකීම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. මන්ද අප නිරන්තරයෙන් යොමුවන්නේ වැරදි සහිත ක්‍රියාවන් සිදුකිරීමටය. බුදුන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරමින්
සුකරානි අසාධුනී අත්තනෝ අහිතානි ච 
යංචේ හිතං ච සාධුං ච තං චේ පරම දුක්කරං

යනුවෙන් වදාරා ඇත. එයින් පැනෙන්නේ තමන්ට හිත වැඩදායී දේ කිරීමට යමෙකුට අපහසු වන අතර අහිත පිණිස හේතුවන අවැඩදායී ක්‍රියාවන් කිරීම පහසු වන බවයි. තමන්ගේ ජීවිතය පරිහානියට පත් කර ගනිමින් අනුන්ගේ වැරදි සොයමින් ඔවුන්ගේ ජීවිත වනසමින් කටයුතු කරන පිරිස් ඕනෑ තරම් සමාජයේ සිටී. බුද්ධිමත් නුවණැති පිරිසක් හැටියට අප කළ යුතු වන්නේ අපගේ කුසල පක්ෂය වැඩිදියුණු කර ගැනීමය. අකුසල්වලට හිමිකරුවෙකු නොවී කුසල් දහම්වලට හිමිකරුවෙක් වීමට අප සැම දෙන අදිටන් කර ගත යුත්තේ කුසල් අපගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට සැබැවින්ම හේතුදායක වන බැවිනි.
අප එදිනෙදා ජීවිතයේ දී කුසල් දහම් රැස් කළ හැකි ක්‍රමවේද කිහිපයක් ඇත. සිතින් කයින් වචනයෙන් යන තිදොරින්ම අපට කුසල් රැස් කරගත හැකිය. කායික වශයෙන් කළ හැකි කුසල කර්ම ලෙස පෙන්වා දෙන්නේ පරපණ නැසීමෙන් වැළකීම, අනුන්ගේ දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම හා කාමය වරදවා හැසිරීමෙන් වැළකීම ය. මේවායෙහි යෙදීම අකුසල් ලෙස එහිදී පෙන්වා දී ඇත. යමෙක් සත්ත්ව ඝාතනය කෙරේ නම් අනුන්ගේ දෑ සොරකම් කෙරේ නම් කාමමිථ්‍යාචාරයේ යෙදේනම් ඔහු එහි විපාකවලින් පිරිහීමට පත්වේ. මෙලෝ පරලෝ වශයෙන් දුක් විඳීමට එය හේතුසාධක වේ.
කයින් පමණක් නොව වචනයෙන් සිදුවන අකුසල්වලින් මිදී කුසල පක්ෂය වැඩිදියුණු කිරීමට, පෝෂණය කිරීමට අප වෙහෙසිය යුතුය. එහිදී වචනයෙන් වන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදියයි. මෙලෙස වචන භාවිත කරමින් අනිසි ලෙස කාලය අපතේ යැවීමෙන් අකුසල් රැස් කර ගනී. මෙවැනි ක්‍රියාවලින් වැළකී යහපත් වචන අනුන්ට පි‍්‍රය උපදවන සත්‍යය වචනය ප්‍රකාශ කිරීමට නුවණැත්තා පෙලඹිය යුතුය. එවිට ඔහුගේ කුසල් වර්ධනය වේ. මේ සියල්ලටම වඩා සිතින් සිදුවන අකුසල් දුරලීමට කටයුතු කළයුතුය. මන්ද මේ සියලු දේ සිදු කරන්නේ සිත මූලික කරගෙන බැවිනි. එහි දී සිතින් සිදුකරන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ අභිද්‍යාව, ව්‍යාපාදය, මිසදිටු බව යන ක්‍රියාවන් ය. අභිද්‍යාවෙන් පිරුණු හදවතකින් සිදුවන අනර්ථය භයංකර විය හැකිය. දැඩි ආශාවෙන් පෙළීම නිසා බොහෝ විට මානව පවුලේ ආරවුල් ඇති වීමට ඉඩකඩ වැඩිය. දේපල ප්‍රශ්න ආදිය ඇතිවන්නේ මේවට ඇති මහත් ආශාව නිසා ය. අනුන්ට වඩා තමන්ට ඕනෑ යන අර්ථයෙන් උපදින දැඩි ආශාව අකුසල ධර්මතාවයකි. මෙකී ආශාව දුරලාගෙන අප මැරෙන පුද්ගලයින් බව සිතේ තබාගෙන එවැනි භෞතික දේපල රැස් කිරීම හැර දමා අභෞතික වස්තුව රැස් කිරීමට වෙහෙස ගත යුතු ය. අභෞතික වස්තුව යනු කුසල කර්ම රැස් කිරීමයි. ඒ නිසා ලෝභයෙන් වැළකී එහි විරුද්ධ අංශය වන අලෝභය ඇති කර ගැනීමට වෙහෙසිය යුතු වේ.
ඉන් පසු ඇත්තේ ව්‍යාපාදයයි. අනුන්ගෙන් පළිගැනීමේ මානසික අසහනය මේ නමින් හැඳින්විය හැකිය. යම් යම් හේතු නිසා අනුන්ගෙන් පළිගැනීමට හේතුවක් විය හැකි ය. ධනය බලය ආදියෙන් තමන්ට වඩා යමෙක් ඉහළින් සිටී නම් ඔහු කෙරෙහි ඉරිසියාවෙන් බලයි. ඔහු විනාශ කිරීමට ඔහුගේ දේපල ධනය විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරයි. මෙවැනි අකුසල ක්‍රියාවන්ගෙන් වැළකී මෙත් සිතින් කටයුතු කිරීමට මහන්සි ගැනීම නුවණැත්තාගේ ලක්ෂණයයි. තමාගේ හිත තමාටම පාලනය කරගත නොහැකි ආවේගවලින් පිරීම අකුසලයකි. මෙය අනිවාර්යයෙන්ම පාලනය කරගත යුත්තකි. එසේ නොවුණහොත් මිනිස් ජීවිතයේ වටිනාකම විනාශ වන්නේ ය. මෙත් සහගත කාය කර්මයෙන් වචී කර්මයෙන් හා මනෝ කර්මයෙන් යුතුව ක්‍රියා කිරීම මඟින් පුද්ගලයාගේ මානසික කායික දියුණුව සැලසේ. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ අනුන්ගේ අප්‍රසාදයට හේතුවන කිසිම ක්‍රියාවක් නොකළ යුතු බවයි. සියලු සත්වයින් සතුටින් සොම්නසින් ජීවත් වේවා යන ප්‍රාර්ථනාවෙන් හා සිතිවිල්ලෙන් ජීවත්වීම වඩා වැදගත් බව උන්වහන්සේ පෙන්වා දුන් සේක.
අප යම් විටෙක කර්ම විපාක පිළිබඳ නිසි අවබෝධය නොමැති වීමෙන් අකුසල ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹෙනවා විය හැකි ය. එනමුදු තමන් කරන්නේ අකුසලයක් බව හෝ අයහපතක් බව මනාව තේරුම් ගත්තේ නම් හා ඉන් වැළකී යහපතෙහි සිත මෙහෙයවීමට කටයුතු කරන්නේ නම් වළාකුලින් මිදුණු සඳක් සේ බැබලීමට පත් වන බව විටෙක බුදුහිමියෝ දේශනා කළහ.
යම් විටෙක අප කරන සැහැල්ලු අකුසල කර්ම ප්‍රබල කුසල කර්මයක් කිරීමෙන් අහෝසි තත්ත්වයට පත්විය හැකිය. අප නිරන්තරයෙන් කුසල ක්‍රියාවන්ම කිරීමට පෙලඹිය යුතු වන්නේ අපගේ ජීවිතයෙහි අස්ථිරත්වය මැනවින් වටහා ගැනීමෙනි. උපන් සත්ත්වයා හැකි උපරිමයෙන් පින් දහම් රැස් කළ යුතු බවයි බුදුහිමියන්ගේ අවවාදය වන්නේ. එසේම නුවණැති පිරිස් කුසල කර්ම කිරීමට කැමැත්ත උපදවා ගත යුතු බව ද පෙළ දහමේ සඳහන් වේ.
පින් කිරීමට සිත යොමු කළ තැනැත්තා නිරන්තරයෙන්ම පින් දහම් කළ යුතු ය. නැවත නැවත පින් කිරීමට සිත පොලඹවා ගත යුතු ය. මන්ද පින යනු සැපයට තවත් නමෙකි. මේ අනුව පැහැදිලි වන්නේ පින් දහම් කිරීම මඟින් අපට සතුට සැනසුම උදාකර ගැනීමට හැකියාව ඇති වන බවයි. තවත් තැනෙක බුදුහිමියෝ පෙන්වා දෙන කරුණක් නම් පුළුවන් හැකි හැම අවස්ථාවක දීම පින් දහම් රැස් කිරීම නුවණැත්තාගේ ලක්ෂණය වන බවයි.
පින් කිරීමට වෙහෙසිය යුතු බවත් දිය බින්දු එකතුවීමෙන් කළයක් පිරෙන අයුරින් තමන්ගේ පින නැමැති කළය පුරවා ගැනීමට නුවණැත්තා ක්‍රියා කළ යුතු බවයි මෙහිදී පෙන්වා දී ඇත්තේ. පින් කිරීමට කිසිවෙක්ගේ බලපෑම් කිරීමක් අවශ්‍ය නැත. තමන්ට කැමති ඕනෑම අවස්ථාවක පිනක් කර ගැනීමේ හැකියාව පවතී. අනුන්ගේ පැසසුම් ලැබීමට පින් කිරීම මුලාවට පත්වීමකි. බොහෝ අවස්ථාවන්හි සිදු වන්නේ මේ දෙයමය. අනුන්ගෙන් ගැරහුම් ලැබීමට ඇති අකැමැත්ත නිසා සමහරෙක් පින් කරන්නේ, දන් පැන් ආදිය දෙන්නේ සිතේ චකිතයකින් හා අකැමැත්තකින් යුතුව ය. එසේ කළ කල්හි එයින් නියම පින ලබා ගැනීමට නොහැකිය. පිනට වඩා බොහෝ විට එයින් පව් සිදුවීමක් නම් සිදුවනු ඇත. මන්ද එවැනි අවස්ථාවල ක්‍රියා කරන්නේ ද්වේශ සහගත සිතිවිල්ලෙන් බැවිනි.
තෙරුවන් කෙරෙහි පැහැදුණු අචල ශ්‍රද්ධාවෙන් යුක්ත තැනැත්තාගේ කුසල සිතිවිලි කිසි දිනෙක වෙනස් වන්නේ නැත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තිදොර සංවරයෙන් සසරේ සැනසුම ලද ඛුජ්ජුත්තරාව

දොළොස් වසරක් තිස්සේ දුර්භික්ෂය පවතිනවා යැයි කීවද “ සංධාන “ ගෘහපතියා, සිය නිවසේ පසේ බුදුවරුන් දහස් නමකට දුන් දන් වැට නතර නොකර එළෙසම පවත්වාගෙන ගියේය. බරණැස් නුවර ඇති වු මහා දුර්භික්‍ෂ දොළොස් වසරක් පුරා පවතින බවත් එම කාලයට සෑහෙන තරම් ආහාර පාන නොමැති අය වෙනත් නගරයකට යා යුතු බවටත් බරණැස් රජු විසින් අණබෙර පතුරුවා හැරියද “ සංධාන “ ගෘහපතියා සහ පිිරිවර ජනයාට දොළොස් වසරකට සෑහෙන තරම් භාවබෝග සම්පත් තිබූ නිසා නගරය හැර දමා නොයන්නට තීරණය කළ අතරම දිනපතා පසේ බුදුවරුන් දහස් නමකට නොවරදවාම දන් දුන්නේය.

මෙසේ දානය සඳහා ගෘහපති නිවසට වැඩි පසේ බුදුවරුන් අතර එක් රෝගී පසේ බුදුවරයෙක්ද වූහ. දිනක් උන් වහන්සේ දානය සඳහා නොවැඩි සේක. දන් පිළිගන්වන අතරේ සංධාන ගෘහපතියාගේ දියණිය ඒ බව දුටුවාය. “ පියාණනි.. අද දානය සඳහා එක් පසේ බුදුවරයෙක් වැඩම කර නැත. “

“ ඒ කවර පසේ බුදුවරයාණන් වහන්සේද ? දියණිය ..” “ පියාණෙනි ! පිට කුදු ගසාගෙන මේ අයුරින් ගමන් කරන පසේ බුදුරදුන් දානයට පැමිණ නැත...යි කියමිනක් ගෘහපති දියණිය හාස්‍යය පහළ වන අයුරින් එකී රෝගී පසේ බුදුවරයාණන් වහන්සේගේ ගමන් විලාශය රඟ දක්වමින් රැස්ව හුන් පිරිසට පෙන්වූවාය. එම සිද්ධිය එතැනින් අවසන් විය. පසේ බුදුවරයාණන් සරදමට ලක් කළද, ගෘහපති දියණිය ඉතා ශ්‍රද්ධාවෙන් එදින දන් වැටෙහි කටයුතු කළාය. එදා දානයට වැඩම කළ පසේ බුදුවරුන් අතර වාත රෝගයකින් පෙළෙන පසේ බුදුවරයෙක්ද සිටි සේක. උන් වහන්සේ දන් වළඳන පාත්‍රය අතින් ගත් විට වාත රෝගය හේතුවෙන් අත වෙවුලන නිසා පාත්‍රයද සැලී දානය බිමටද වැටේ. එනිසාම දන් වැළදීම උන් වහන්සේට අසීරු බව දුටු ගෘහපති දියණිය, උන් වහන්සේ ඉදිරිපිට පැදුරක් එළා පාත්‍රය එහි තබා වළදන ලෙස උන් වහන්සේට කියා සිටියාය. ඉන් පසු උන් වහන්සේ අපහසුවකින් තොරව දන් වළඳන බව දුටු ඇයගේ සිතෙහි දැඩි සතුටක් ඇති වූවාය. ඒ සතුටු සිතින්ම පසේ බුදුවරයාණන් නැමදූ ඇය මෙසේ ප්‍රාර්ථනා කළාය.

“ මවිසින් කරන ලද මේ කුසල කර්මයේ මහිමයෙන් මා දැන උගන්නා සෑම දෙයම අමතක නොවී මගේ මතකයේ රැඳේවා උතුම් ස්මරණ ශක්තිය මට ලැබේවා..”

මේ ප්‍රාර්ථනයෙන් පසු බොහෝ කලක් නොයෙක් භවයන්හි උපත ලබා සසර මඟගෙවූ ඒ සංධාන ගෘහපති දියණිය , අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි “ භද්‍රාවතී නුවර “ භද්‍රවතී සිටු නිවසේ දාසියක කුසින් මෙලොව එළිය දුටුවාය. නමුත් පෙර කරන ලද කර්ම විපාක නිරන්තරයෙන්ම පසු පස හඹා එන්නේ පෙර බවයකදී . සංධානක ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ , රෝගී පසේ බුදුවරයාණන්ගේ ශරීරයේ හැඩය කුදු යැයි හාස්‍යයට ලක් කිරීමේ හේතුවෙන් ඇය උපතින්ම කුදු බවට පත් වූයේ .. එනිසාම ඛුජ්ජුත්තරා නමින් හැඳින්වූවාය. “ භද්‍රාවතී “ සිටු නිවසේ ඛුජ්ජුත්තරා වැඩෙන අතරේ භද්‍රවතී නගරයෙහි අභිවාතක නම් රෝගය බෝ විය. මේ රෝගයෙන් බේරෙන්නට මැදුරේ බිත්ති සිදුරු කර පැන යන භද්‍රාවති සිටුතුමාත්, දේවියත්, “ සාමාවතී” නම් දියණියත් නුවරින් පැන යන්නේ ඔවුන්ගේ යහළු “ ඝෝෂක” නම් සිටුවරයා සොයා යන්නට තීරණය කළෝය. නමුත් මහත් වෙහෙසට පත් සිටුවරයා හා දේවිය කුසගින්න අධික හෙයින් පමණයට වැඩි ආහාර ගැනීමෙන් මිය ගියේය. පසුව අසරණව සිටි සාමාවතී ඝෝෂක සිටුවරයා විසින් හඳුනාගෙන දු තනතුරෙහි තබා ඇති දැඩි කළේය. වැඩිවියට පත් සාමාවතී දිනක් උදේන රජු විසින් දකිනු ලැබ, ඔහුගේ අග මෙහෙසිය බවට පත් කර ගන්නා ලදින් කුඩා කල සිට සිටු ගෙදර සිටි ඛුජ්ජුත්තරා ද සාමාවතී බිසව සමගින්ම උදේන රජ මාලිගයට පැමිණ සාමාවතීගේ හිතවත්ම උපස්ථායිකාව බවට පත් වූවා.

එතැන් සිට සාමාවතී බිසවට අවශ්‍ය මල් මිලදී ගැනීමට “ සුමන “ නම් මාලාකරු ළඟට දිනපතා යන්නේ ඛුජ්ජුත්තරාය. දිනක් මෙසේ මල් ගෙන යාමට පැමිණි ඛුජ්ජුත්තරාට මල් නොලැබුණි. එදා සුමන මල්කරුගේ ගෙදර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දානයකි. එනිසා මල් නොවිකුණන බවත් දානය අවසානයේ මල් ඉතිරි වී ඇත්නම් ඒවා රැගෙන යා හැකි බවත් මල්කරු පැවසීය. කෙසේ හෝ මල් ටිකක් රැගෙන යන්නට සිතූ ඇය දානය අවසන් වන තුරු රැඳී සිටින්නට තීරණය කළාය. මහා කරුණා නිධාන වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුමන මල් කරුගේ නිවසට වැඩම කොට දන් වළඳා අනුමෙවෙනී බණ වදාරන්නේ අසා සංධාන ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ පසේ බුදුවරයාණන් හට දන් වැළඳීමට උදව් කොට කරන ලද ප්‍රාර්ථනාව නිසා ලද ස්මෘති ඤාණයෙන් යුත් ඛුජ්ජුත්තරා , බුදු හිමි දෙසූ සියලු ධර්මයන් මතක යේ රඳවාගෙන අවබෝධ කොට ගත්තී .සෝවාන් ඵලයට පැමිණියාය. දිනපතා මල් ගෙන යාම සඳහා සාමාවතී බිසව ඇයට අට මස්සක මුදල් දුන්නද ඉන් සතර මස්සක මල් ගෙන ඉතිරි මුදල් සඟවා තබා ගන්නට වෙනදා ඇය පුරුදුව සිටියාය. එහෙත් උතුම් වූ සෝවාන් පලයෙහි පිහිටි බැවින් එදින වංචාවකින් තොරව සියලුම මුදලින් මල් ගෙන ගියාය. එදින මල් වැඩිවෙන්නට හේතුව විමසූ සාමාවතී බිසවට ඛුජ්ජුත්තරාවන් විසින් සියලු පුවත් කියන ලදින් බුදු බණ අසන්නට ඇයටද දැඩි ආශාවක් උපන්නාය. ඇය ඛුජ්ජුත්තරාව නහවා, අලුත් වස්ත්‍ර අන්දවා, ධර්මාසනයක හිඳුවා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය අපටත් කියා දෙන්නැයි කීවාය.

කරන ලද කුසල කර්මයේ මහිමයෙන් උතුම් වූ ස්මරණ ශක්තිය ඇති ඛුජ්ජුත්තරාවෝද බුදුන් වහන්සේගෙන් උගත් ඒ ධර්මය මිහිරි ලෙස ප්‍රකාශ කළෙන් සාමාවතී ඇතුළු පන්සියයක් කාන්තාවෝ සෝවාන් පලයට පත් වූවාය. ඉන් පසු ඛුජ්ජුත්තරා මෙහෙකාරකමෙන් මුදවා මව් තනතුරෙහිලා සැළකීමට සාමාවතී බිසව කටයුතු කළාය.

මේ අතර උදේන රජුගේ අනෙක් ප්‍රධාන බිසවක වු මාගන්දියා නම් බිසව සාමාවතිය කෙරේ ඊර්ෂ්‍යාවෙන් පසු වුවාය. මාගන්දියා බුදුන් වහන්සේ කෙරෙහි ක්‍රෝධයෙන් පසු වූයෙන් , බුදුන් සරණ ගිය සාමාවතිය කෙරෙහි මහත් වූ වෛර සිතකින් පසු වූවාය. කෙසේ හෝ සාමාවතිය මැරවීමට කිහිපවරක්ම උත්සාහ කළද සාමාවතිය ගේ මෛත්‍රී සිතෙහි බල මහිමයෙන් ඒවා අසාර්ථක වූ අතර , එහෙත් අවසානයේ සිය සුළු පියාගේ මාර්ගයෙන් සාමාවතී බිසවගේ මාලිගයට ගිනි තැබීමට මාගන්දියට හැකි විය. ඒ ගින්නෙන් සාමාවතී බිසව සහ පන්සියයක් කාන්තාවෝ දැවී අළු බවට පත් වුවද කෙසේ හෝ දිවි ගලවා ගැනීමට ඛුජ්ජුත්තරා සමත් වූවාය. ඇය එසේ ගින්නෙන් දිවි බේරා ගත්තේ පෙර කරන ලද කුසල කර්මයක විපාක ලෙසිණැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙසේය.

එක් අබුද්ධෝත්පාද කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රජ කරන සමයෙකි. දිනක් රජු තම බිසෝවරුන්ද සමඟ උයන්කෙළි සඳහා උයනට පැමිණියහ. ඒ අතරේ එක් පසේ බුදුවරයෙන් එම උයනට වැඩ එහි තිබූ පිදුරු කුටියක නවාතැන් ගෙන සිටි සේක. උයන් කෙළියේ යෙදුණු බිසෝවරු පොකුණෙන් දිය නෑමෙන් පසු දැඩි සීතලයෙන් පෙළෙන්නට වූවාය. රජුගේ අග මෙහෙසිය සිය දාසියකට මෙසේ කීවාය.

“මේ සීතල ඉසිලිය නොහැකියි .. අර පිදුරු කුටියට ගිනි තබාපන් . එවිට උණුසුම ලැබේවි. “

ගිනි අවුලන්නට ගිය දාසිය එහි වැඩ සිටි පසේ බුදුන් වහන්සේ දැක, ආපසු විත් එහි හාමුදුරුනමක් වැඩ සිටින බවත් ඒ නිසා ගිනි තැබිය නොහැකි බවත් කීවාය..

“ කවුරු වුණත් ඔහෙ හිටපුදෙන් .. නුඹ ගොස් ගිනි තබාපන් .”

බිසව යළිත් අණ කළ නමුත්, දාසිය ගිනි තැබීමට අකමැති වූයෙන් බිසවම ඊට ගිනි තැබුවාය. කුටිය ගිනිගන්නවා දුටු පසේ බුදුන් වහන්සේ සෘධියෙන් පිටතට පැමිණ පෙළ හර පෑවාය. තමන් ගිනි තැබුවේ පසේ බුදු කෙනෙකුන් වැඩ සිටි කුටියට බව දැනගත් බිසව සහ පිරිස සමාව ගත්තද කුටියට ගිනි තැබීමේ අකුසල කර්මය එළෙසම පැවතිණි. ඉන් බොහෝ කලකට පසු සසර මඟ ගෙවා උදේන රජුගේ අග මෙහෙසිය වී, ගින්නට හසු වි මිය ගිය සාමාවතියව උපන්නේ පසේ බුදුන් වැඩ සිටි කුටියට ගිනි තැබූ බිසවය. රජ බිසවගේ අණින්වත් කුටියට ගිනි තැබීමට අකමැති වූ කුසලයෙන් ඛුජ්ජුත්තරාව උපන් මේ භවයේදී ගින්නෙන් බේරී පලා යාමට දාසියට හැකිවිණි. එසේ පෙර කරන ලද යහපත් හා අයහපත් කර්මයන්හි විපාක විඳිමින් සසර මඟ ගෙවු ඛුජ්ජුත්තරාවෝ ගෞතම සම්බුදුරජාණන් අබියස සැදැහැවත් උපාසිකාවක් බවට පත් වී බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලද්දීය. බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලබන්නට තරම් පින් කළ ඛුජ්ජුත්තරුා දාසියකව උපදින්නට හේතු කවරේදැයි දම් සභා මණ්ඩපය ට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා අතර කුකුසක් ඇති වූහ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

“ මහණෙනි! මේ ඛුජ්ජුත්තරාවෝ සසර ගමනේ එක් ආත්ම භාවයක, ධනයෙන්, බලයෙන්, රූපයෙන්, උසස්ව උපන්නේ ඓශ්චර්යයෙන් මත්ව තමන් අබියසට එන සියලු දෙනාට දාස වාදයෙන් අමතන්නට පුරුදුව සිටියාය. ඒ අකුසලයෙන් ඇය මෙසේ දාසියකව උපත ලද්දීය. එසේ හෙයින් සිත, කය, වචනය හික්මවා කටයුතු කිරීමෙන් සසර ගමනේ සැනසුම් ලද හැකි වේ යැයි වදාරා ගෞතම බුදු සසුනේ බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් ඛුජ්ජුත්තරාවන් පිළිබඳ ගෙනහර පා කතා පුවත අවසන් කළ සේක.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X