වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සියලු දේට වඩා අග්‍ර වන්නේ තිසරණය සරණ යාම යි

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩ හිටියේ බරණැස. උන්වහන්සේ බැලුවා උදේ පාන්දර කාටද? මම පිහිට වෙන්නේ. එදා උන්වහන්සේ දුටුවා තව ටික වෙලාවකින් තරුණයෙක් ගුරු පඬුරුත් අරගෙන උක්කට්ඨා නුවරට යන පාරේ ගමන් කරනවා. ඔහුගේ ආයුෂ අද ඉවරයි. ඔහු මේ ලෙසම මියගියොත් යන්නේ නිරයේ.
එයින් බේරෙන්න නම්, ඔහුගේ සිතේ පැහැදීම ඇති කළ යුතුයි සිතා බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් වැඩ ඔහු එන පාරේ රුක් සෙවනක වැඩ සිටියා. ඒ පාරේ එන තරුණයාට තථාගතයන් වහන්සේ “ඡත්ත, මෙහි එන්න”යි වදාළා. ඊටපස්සේ අසනවා “ඡත්ත ඔබ කොහෙද යන්නේ”? ‘ස්වාමිනි, මම මේ ගුරු පුඬුරුත් අරගෙන තක්ෂිලාවට යනවා’. “ඔබ පන්සිල් රකිනවාද?” ‘ස්වාමිනි මොනවද පන්සිල් කියන්නේ’? “ඡත්ත සතුන් මැරීමෙන් වැළකිලා ඉන්න එක සීලයක්. නොදුන් දෙයක් නොගන්නා එකත් සීලයක්. වැරැදි කාම සේවනයේ හැසිරෙන්නේ නැති එක සීලයක්. බොරු නොකියන එක සීලයක්. මත්පැන් මත් ද්‍රව්‍ය පාවිච්චි නො කරන එක සීලයක්” කියා සිල්පද පහ විස්තර කර ‘ඡත්ත ඔබ මේ සිල්පද පහ පුරුදු කරන්න’යි කිව්වා.මේ තරුණයා සිල්පද පහ සමාදන් වුණා. ඔහු දන්නේ නැහැ තව ටිකකින් ඔහු මැරෙනවා කියා. ඊට පස්සේ අහනවා “ඡත්ත ඔබ දන්නවාද? බුදුගුණ මෙනෙහි කරන්න”. ‘නැහැ ස්වාමිනි’ කිව්වා. එහෙනම් මම ඔබට ගාථා තුනක් උගන්වන්නම්. ඒක මෙනෙහි කරන්න කියා ගාථා තුන ඉගැන්වූවා. පළමුවෙනි එක යෝවදතං පවරෝ මනුජේසු මනුජේසු කියන්නේ මිනිසුන් අතර පවර කියා කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම්, වදතං කියන්නේ කතාබස් කරන අය, මනුෂ්‍යයන් අතර කතාබස් කරන යම් උතුම් කෙනෙක් ඇද්ද ඒ සක්‍යමුනී. සක්‍යමුනි කිව්වේ ශාක්‍යයන්ගේ මුනිවරයා. කතකිච්චෝ කියා කියන්නේ කළයුතු දේ කරන ලද්දේය. මොකක්ද? කළයුතු දේ. සත්‍යාවබෝධය. පාරගතෝ කියන්නේ අප මේ ජීවත් වෙන පැත්තට කියන්නේ අපාර කියා. අපාර කියන්නේ මෙගොඩ. පාර කියන්නේ එගොඩ. පාරගතෝ එගොඩ ගියේ. එතකොට එගොඩ යන්න නම්, අප මෙගොඩ ඉන්න නම් ඒක මැද්දේ මොකක් හරි තිබෙන්න ඕන. ඒක මැද්දේ තිබෙනවා විශාල සැඬ පහරක්. ඒ සැඬ පහර කෙලෙස් වලින් හැදුන එකක්. එක්කෝ දෘෂ්ඨි වලින් හෝ විපාක පිණිස කර්ම සකස් වීමෙන් හෝ අවිද්‍යාවෙන් හැදී තිබෙන්නේ. මෙගොඩ නම් අප ඉන්නේ එගොඩ මොකක්ද තිබෙන්නේ? නිවන. පාරගතෝ බල වීරිය සමංගී බලයෙන් වීරියෙන් යුක්තව එතෙර වූ තං සුගතං සරණත්ථමුපේමි ඒ සුගතයන් වහන්සේ ආදරයෙන් සරණ යමි. මේක ඉගෙන ගන්න කියා ඡත්ත මානවකයාට කිව්වා.
යෝ වදතං පවරෝ මනුජේසු 
සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බලවීරිය සමංගී
තං සුගතං සරණත්ථමුපේමි
ඉතින් අප හැමෝම රට මේ ශාක්‍යමුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ලැබුණා. ඒ ඔබ පොඩි කාලයේ සිට "බුද්ධං සරණං ගච්ඡාමි" කියන දේ ඇසුන නිසා. මේක අසාමාන්‍ය දෙයක්. මේක ආශ්චර්ය දෙයක්. මෙය ඉතාමත් ම කලාතුරකින් කෙනෙකුට ලැබෙන එකක්. අද්භූත එකක්. බුදුරජාණන් වහන්සේ සරණ යෑම මේ ලෝකයේ තිබෙන සියලු ලෞකික දෙයට වඩා අග්‍රයි. එවිට බුදුරජාණන් වහන්සේ යමෙක් ආදරයෙන් සරණ ගියා නම් ඔහු මම සරණ ගිය මාගේ ශාස්තෘන් වහන්සේ කෙබඳු කෙනෙක්ද? මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණ කෙසේද? කෙබඳුු වූ අසිරියකින් යුක්ත ද? කියා තමන් ආදරය කළ දෙය නැවත නැවත බලනවා. ඒකට තමා සාදරයෙන් මම සරණ යමි කියන්නේ. ලෞකික දෙයට ආස කළවිට ඒක අපටත් නොදැනීම අපෙන් ඈත් වෙලා යනවා. ලොව්තුරු දෙයකට ආදරය කළවිට එය ළං වෙනවා. එය හරි අසිරිමත් දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ඡත්ත මානවකයාට කියනවා ඡත්ත ඔබ ධර්මයත් සරණ යන්න.
රාගවිරාග මනේජ ම සෝකං
ධම්මමසංඛත මප්පටිකූලං
මධුරම්මං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි
රාග, විරාග කරනවා. මේ ලෝකයේ වෙන කිසිම දෙයකට බැරි එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය පුරුදු කර ඒ පුරුදු කරන ධර්මය තුළින් හිතේ කෙලෙසුන් සංසිඳවනවා. නීවරණ යටපත් කරනවා. සමාධිය දියුණු කරනවා. ධ්‍යාන උපද්දවනවා. ඒ චිත්ත සමාධිය තුළ තිබෙන්නේ විරාගය. යම් රාගයක් තිබ්බද එය දුරු වූ සමාධිියක්. ඒක රාග විරාග. නමුත් මේ ලෞකික දෙයට කියනවා විරාගධම්මං කියා. විරාග ධම්මං කියන්නේ ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුක්තයි කියන දේ. ඇල්ම දුරු කළයුතු ස්වභාවයෙන් යුක්ත දේට ඇලුම් කර කර සිටියොත් විඳවන්න ඕන. ඒ කියන්නේ ආස කළ දෙයකට හිත ඇදී යන එක. ඒකට අප තෘෂ්ණාව කියනවා. යමකට ආස කළා නම් ඒ ආස කළ දේ පසුපස්සේ හිත යනවා තෘෂ්ණාව ලෙස.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ සෝකය නැහැ. ඒ සෝක නැති දේ කරා යන්න නම් එය සෝක නැති වෙන ධර්මයක් ම විය යුතුයි. ධර්මයෙන් ශෝකය නැති කරනවා. ඒ ශෝකය නැති බවේ අග්‍ර බව තමා නිවන. අපට දකින්න ලැබෙන අපේ ලෝකයට අයිති, පර ලොවට අයිති, බඹලොවට අයිති, දෙව්ලොවට අයිති සෑම දෙයක්ම සංඛතයි. සංඛත කියා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේ. සංඛත දේක ලක්ෂණ තුනක් තිබෙනවා. උප්පාදෝ පඤ්ඤායති ඉපදීම පෙනේ. වායෝ පඤ්ඤායති- නැසීම පෙනේ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති- පවතින දේ තුළ වෙනස්වීම පෙනේ. මේ ලක්ෂණය පෙනෙන්නේ නැත්තේ නිවනේ පමණයි. ඒ නිසා නිවනට කියනවා අසංඛත කියා. ඡත්ත ඔබ මේ ධර්මය සාදරයෙන් සරණ යන්න. ඒ සාදරයෙන් සරණ ගිය ධර්මය නැවත නැවත ඉගෙන ගන්නයැයි වදාළා.ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා “ඡත්ත ඔබ සංඝයා ගැන දන්නවා ද?” කියා. “නැහැ” කියනවා. ශ්‍රාවක සංඝයාව විස්තර කර දෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ කියන ත්‍රිවිධ ගුණයෙන් යුක්තයි. පර්යාප්ති කියා කියන්නේ බුද්ධ වචනය යි. එහි විස්තර වෙන්නේ මේවා කුසල්ය. මේ අකුසල්ය. මේ ධර්මය යි. මේ අධර්මය යි. මේ පුරුදු කළ යුතු දේ, මේ පුරුදු නොකළ යුතු දේ, මේ ගතයුතු දේ, මේ අත්හළ යුතු දේ, මේ අවබෝධ කළයුතු දේ, මේ බැහැර කළ යුතු දේයි. එහෙනම් යම්කිසි ශ්‍රාවක කෙනෙක් ඒ පර්යාප්තිය දරාගෙන ඉන්නවා නම් ඒකට කියන්නේ පර්යාප්තිධර. පර්යාප්තිය දරාගත්තු ශ්‍රාවකයා ඒ පර්යාප්තිය අනුව ජීවත් වෙනවා. ඒකට කියන්නේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියේ ජීවත්වෙන කෙනා යම් අකුසලයක් ඇද්ද ඒවා අකුසල් කියා හඳුනාගෙන බැහැර කරනවා. යම් කුසලයක් ඇද්ද කුසලය කියා හඳුනාගෙන උපදවා ගන්නවා. දුරු කළ යුතු දෙයක් ඇද්ද, දුරු කළයුතු දේ හඳුනාගෙන දුරු කරනවා. පුරුදු කළ යුතු දෙයක් ඇද්ද පුරුදු කළ යුතු දේ හඳුනාගෙන පුරුදු කරනවා. අවබෝධ කළ යුතු දෙයක් ඇද්ද ඒක අවබෝධ කරනවා. ඒ සියල්ලම ප්‍රතිපත්ති. එහෙනම් යම්කිසි කෙනෙක් පර්යාප්තියෙන් ලත් දේ ප්‍රායෝගිකව කරනවා නම් ඔහු ප්‍රතිපත්තියෙන් යුක්තයි. ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය තමා ප්‍රතිවේධය. ප්‍රතිවේධය කියන්නේ ප්‍රතිපත්තිය තුළින් ලැබෙන ඵක. මොකක්ද ප්‍රතිපත්තිය තුළින් ලැබෙන ඵලය? සෝවාන් වීම, සකදාගාමි වීම, අනාගාමි වීම හා අරහත් වීමයි. සෝවාන් වීම කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනහම චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමේ පළවෙනි පියවර. සකදාගාමි කියන්නේ එකවරක් කාම ලෝකයට එනවා. ඉන්පස්සේ පිරිනිවන් පානවා. අනාගාමි කියන්නේ කාම ලෝකයට නො ආ බඹලොව ඉපදී පිරිනිවන් පානවා. රහත් කියා කියන්නේ මේ ජිවිතයේදීම පිරිනිවන් පානවා. එතකොට මේ වගේ ගුණයන්ගෙන් යුක්ත වූ ශ්‍රාවක පිරිස තමා බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක පිරිස. ඒ ශ්‍රාවක සංඝ රත්නය පුද්ගල වශයෙන් ගත්තොත් අට දෙනයි යුගල වශයෙන් ගත්තොත් හතරයි. ඒ ශ්‍රාවක සංඝයා උදෙසා දුන් දානය මහත්ඵල වෙනවා. ඉතින් මේ ජීවිතයේදී ඔබට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. රත්නය මුණ ගැසී තිබෙනවා.
යත්ථ ච දින්න මහප්ඵලමාහු 
චතුසු සුවිසු පුරිස යුගේසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ 
සංඝම්මං සරණත්ථමුපේමි
ඇත්තෙන්ම අප පුංචි සන්ධියේ බුදුරජුන් සරණ යද්දී අප මෙතරම් විස්තර දන්නේ නැහැ. ධර්මය සරණ යද්දී මේ ධර්මය කියන්නේ කුමක්ද ?කියා අප දන්නේ නැහැ. ශ්‍රාවක සංඝයා කිව්වහම ශ්‍රාවක සංඝයා කවුද? කියා අප දන්නේ නැහැ. උන්හන්සේ වදාළා මහණෙනි, පා නැති, දෙපා ඇති, සිවුපා ඇති බොහෝ පා ඇති යම්තාක් සත්වයෝ වෙත්ද, සංඥා ඇති, සංඥා ඇත්තෙන් නැති නැත්තෙන් නැති සත්වයෝ වෙත්ද, ඒ සියලු සත්ත්වයෙන් අතර තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් අග්‍රයයි. යමෙක් අග්‍ර වූ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ගනියි ද, විපාකය ද අග්‍ර වෙයි. ඊළඟට මේ ලෝකයේ හික්මෙන්නා වූ යම් ධර්ම ඇත්ද පුරුදු කරන්නා වූ ධර්ම ඇත්ද ඒ සියල්ල අතර තථාගතයන් වහන්සේ ගේ ධර්මය අග්‍ර වේ. යමෙක් අග්‍ර වූ ධර්මයට සිත පහදවා ගනියි ද එහි විපාකත් අග්‍ර වේ. මහණෙනි යම්තාක් මේ ලෝකයේ පිරිස් ඇත්ද, යම්තාක් සමූහයන් ඇත්ද යම්තාක් මිනිසුන්ගේ එකතු වීම් ඇත්ද ඒ සියල්ල අතර බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක පිරිස අග්‍රයි. ඒ අග්‍ර වූ ශ්‍රාවක සඟ පිරිස ගැන සිත පහදවා ගැනීමෙන් අග්‍ර වූ විපාක ලැබේවි. ඒ දුර්ලභ ලාභයට හිමිකම් කියන්නට ඔබ සියලු දෙනාට ම වාසනාව ලැබේවා.
සටහන
නයනා නිල්මිණි
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X