වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

දීල බණින එක හොඳයි ද

මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ද 
මහා පිරිවෙන් විහාරාධිකාරි ආචාර්ය 
ඔලගන්වත්තේ චන්දසිරි හිමි

මේ සසර කතරින් එතෙර වීම සඳහා පුද්ගලයා පුරුදු පුහුණු කළ යුතු ප්‍රධාන ධර්ම කාරණා අතර දානය නොහොත් දීම සුවිශේෂි වේ. පිළිවෙල කතාවේ දී දාන කථා, ශීල කථා සහ සග්ග කථා යනාදී වශයෙන් දක්වා තිබෙන අතරම එයින් මුලින්ම දක්වා ඇත්තේ දානය පිළිබඳව වේ. අපේ රටේ බොහෝ දෙනෙක් දන් දීමට කැමතිය. දීම පිළිබදව ත්‍රිපිටක සාහිත්‍යයෙහි විවිධ ස්ථානවල විවිධාකාරයෙන් විග්‍රහයන් දැක්වෙන අතරම යමක් දිය යුතු වන්නේ අවබෝධයකින්ම වේ. එවිට ලැබෙන ආනිශංස ප්‍රමාණය වැඩිවේ. අභිධර්මයෙහි දැක්වෙන සිත් පිළිබඳව විග්‍රහයේදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හා සසංකාරික වශයෙන් දැක්වෙන ස්ථානවල දී සතුටු සිතින් අවබෝධයෙන් යුතුව කෙනෙකුගේ පෙළඹවීමක් නොමැතිව තමා විසින්ම යමක් දෙන්නේ නම් එයින් අත්වන ප්‍රතිඵලය මහානිශංස වන බව දැක්වෙනවා. අප බොහෝ අවස්ථාවල දී යමක් දීමේදී තවත් කෙනෙකුගෙන් අසා හෝ උපදෙස් ලබා ගන්නට යෑමෙන් අපගේ දාන චේතනාවට හානිවන අවස්ථා දැක ගත හැකියි. දානය යන්න විග්‍රහ කිරීමේදී පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් යමක් දිය හැකිවේ. කර්මය ඵලය විශ්වාස කරගෙන තමන්ට වඩා උසස් ගුණයෙන් යුතු උත්තමයන්ට යමක් පිදීමෙන් විශාල ආනිශංස ප්‍රමාණයක් අත්කර ගත හැකිවේ. මේ කාරණා පිළිබඳව තේරුම් ගැනීමේදී අංගුත්තර නිකායේ තෘතිය භාගයේ පඤ්චක නිපාතයේ දැක්වෙන අවජානාති සූත්‍රයේ තොරතුරු අතිශයින්ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා දේශනා කළේ මහණෙනි, මේ ලෝකයේ මිනිසුන් කොට්ඨාස පහක් දැක ගත හැකි බවයි. එයින් එක් කෙනෙක් වන්නේ දත්වා අවජානාති යනුවෙන් පෙන්නුම් කරනුයේ යමක් දී අවමන් කිරීම හෙවත් බැනීම කරන පුද්ගලයා වේ. මෙය තවදුරටත් විග්‍රහ කරනුයේ මේ ලෝකය තුළදී පුද්ගලයෙක් දී අවමන් කරන්නේ යැයි පවසනුයේ කවර ද යත්.
මහණෙනි, මේ ලෝකය තුළ පුද්ගලයෙක් සිවුරු පිරිකර, සේනාසන ගිලන් පස, බෙහෙත් පිරිකර යනාදිය දී ඕහට මෙසේ සිතිවිල්ලක් ඇතිවේ. එනම් මම දෙනවා. මෙයා පිළිගන්නවා එසේ නැත්නම් මෙයා පිළිගන්නට නම් දනී යනුවෙන් පවසයි. මෙසේ දී අවමන් කරන්නේය. මෙවැනි සිතිවිලි ඔබට කෙතරම් ඇති වී තිබේද එය තමන්ගේ සාංසාරික ගමනට කෙතරම් බාධාකාරි වන්නේද යන්න තේරුම් ගත හැකි වන්නේ සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ ඇති අපුත්තක කථා වස්තුව විමසීමෙන් වේ. අපුත්තක යනු පුත්තු නැති කෙනෙක් වේ. අසූ කෝටියක් ධනය තිබුණු කෙනෙක් වේ. මුලු ජීවිත කාලයේ ම කෑම වශයෙන් ගත්තේ කාඩි හොදියි බතුයි පමණයි .වැරහැලි ඇඳ ගත්ත ඔහු තමන්ගේ ගමන් යෑම සඳහා භාවිත කළේ ද කැඩුණු කරත්තයක් වේ. මරණයෙන් පසුව සියලු ධනය රාජසන්තක වූ අතර තවත් කොටසක් ජනයා රැගෙන ගියහ. මේ පුදුමාකාර ජීවිතය දෙස බැලු කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය විමසූ මොහොතේ, බුදුපියාණන් වහන්සේ දේශනා කළේ පෙර සිඛී බුදුරජාණන් වහන්සේට මෙම අපුත්තක යමක් දී පසුව පසු තැවී ඇති බවයි. එහි පල විපාකයක් වශයෙන් මේ ආත්මයේදී දුන්න නිසා ලැබුණු අතරම දීලා පසු තැවීම නිසා ලැබුණත් භුක්ති විදීමේ වාසනාව ඔහුට නැති විය. ඇතැම් පුද්ගලයන් තවත් බොහෝ දෙනෙක් දෙන නිසා තමා ද ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන්ම දිය යුතු යැයි කල්පනා කරයි. එතැන ඇත්තේ වංචනික ධර්මයක්ම වේ. එහෙත් එයින් පසුව පසුතැවීම අති කර ගනී. අප යමක් දීම මගින් තමන්ගේ සිත් තුළ උපදින ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල චෛතසික ධර්මයන් යටපත් කර ගැනීමට වෙර දරයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී සිදුවනුයේ නොදැනුවත්ම මේ නරක සිතිවිලි තුන වඩාත් බලවත් ලෙස වර්ධනය වීම වේ. මෙයට ප්‍රායෝගික උදාහරණයක් ගෙන හැර දැක්වීමේදී යම් කෙනෙක් යම් පූජනීය ස්ථානයකට හෝ වෙනත් ස්ථානයකට යමක් පූජා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ සිතින් ඉවත් කර ගත යුතුවේ. එසේ නොවී එම වස්තුව සිතින් අල්ලා ගන්නේ නම් එහි කාමච්ඡන්දය උපදී. ඒ නිසාම තමන්ගේ සිත තුළ ආශාව ඉපදවීමෙන් පසුව එම වස්තුව බලන්නට යෑමටද සිත් ඇතිවේ.

එයින් නොනැවතී එම වස්තුව නිසි ආකාරයෙන් නොපැවතියේ නම් ඇතැම් විට ද්වේෂය හා මෝහය සිතිවිලි ඉපදිය හැකි වේ. මෙයින් තේරුම් ගත යුතු වන්නේ පින්කම් කරන්නට ගොස් නොමනාකම් කර ගන්නා බවයි. මෙයින් පෙනෙන්නේ තමන්ගේ සිත් තුළ තද මසුරුකම් පවතින බවකි. මසුරාගේ ස්වරූපය පිළිබදව විග්‍රහ කිරීමේදී
තද මසුරෝ ඒකාන්තයෙන්ම දෙව්ලොවට නොයත්, මෝඩයෝ දන් දීම නොපසසත්, නුවණැත්තේ දන්පින් අනුමෝදන් වන්නේ ඒ හේතුවෙන් ම හෙතෙම පරලොව සැප ඇත්තේ වේ. මෙය අටුවා විස්තරාදියේ දී කදරිය යන්න පැහැදිලි කරනුයේ.
න චේ කදරියා දෙවලොකං වජන්ති – කිසි සැපතක් අන් හට නොවේවා. හැම සැපතක් ම මට ම වේවා යන නපුරු අදහසින් කරුණා මෛත්‍රියක් හිත නොතිබුණු එලොව මෙලොව නොදත් අනුන්ගේ විපතෙහි සතුටුවන තැනැත්තා කදරිය නම් වේ.
කුච්ඡිතො අරියො අත්ථපති කදරියො :– නොදෙන බැවින්, නොකන බැවින්, සඟවන බැවින් අනුන්ගේ විපතෙහි දී සතුටුවන බැවින්, අසාධාරණ ලෙස ධනය උපයන බැවින් නිරය තිරිසන් යෝනිය යන පහත් තැනට දුක් ඇති තැනට යන්නේය. කදරිය නම් වේ. කදරිය යන්න යොදා ඇත්තේ තද මසුරුකම පෙන්වීම සඳහාය.
කදරියන්ති ථද්ධමච්ඡරියස්සේතං නාමං :– යනුවෙන් අටුවා දක්වන්නේද තද මසුරුකමින් යුත් තැනැත්තා තමන්ගේ ගෙට පිඬු සිඟා වැඩියහොත් භික්ෂූන් වහන්සේ නමක් සිටින තැනින් නැගිටින්නේ නැත. ගල් කණු ලී කණු සේ නොසැළී සිටී. කිසිම සැලකිල්ලකුත් නොදක්වයි. මසුරු තැනැත්තේ කිසියම් කෙනෙක් යමක් දෙන්නේද එය එයින් වළක්වන්නේය.
වෙච්චඡ මසුරුකම – නොතද වූ මසුරුකම නොදැඩි වූ මසුරුකම වේ.
මෙයින් පැහැදිලි කරන්නේ තමන්ගේ නිවසට කිසියම් මහණ කෙනෙක් පැමිණි කල්හි දෙඅත් එක්කාසු කොට නැමදීමක් නොකරයි. එහෙත් පන්සලට ගිය කල්හි අපේ හාමුදුරුවනේ , ඉතින් අපි ඉන්නා පැත්තේ වඩින්නෙත් නැහැ නේ. ඇති තරම් දන් දීමට පුළුවන් නමුත් පිණ්ඩපාතය වැඩම කළ කල්හි මග හැර යන්නේය.
කටුකඤචුකතා :– යනුවෙන් දැක්වෙන්නේ තද මසුරුකම ඇත්තෙකුගේ සිත යමක් ඉල්ලා සිටි කල්හි නපුරු විලසින් හැසිරෙන්නේය. ඉල්ලන්නෙකු දුටු කල්හි ද නපුරු විලසින් හැසිරෙන්නේය. මෙවැනි ගති ගුණ ඇති කෙනෙකු බත් පිරුණු බත් සැලියෙන් යමක් ලබා ගන්නේ නම් බත් මුට්ටුයේ යටින් නොව මුලින්ම ගන්නේ ය. හැන්ද පුරවා නොගන්නේය. ඇඟිලිතුඩින් ගෙන කන්නේය. දිවතුඩින් ගෙන කන්නේය. රසවත් යමක් නොකන්නේය. මොවුන්ගේ ස්වභාවය වන්නේ .
යෙධ මච්ඡරිනො ලොකෙ – කදරියා පරිභාසකා 
අඤෙඤසං දදමානානං – අන්තරායකරා නරා

මසුරාගේ ස්වභාවය වන්නේ නිරන්තරයෙන්ම මහණ බමුණන්ට නිග්‍රහ කිරීම වේ. එසේම දන් දෙන පුද්ගලයන්ට නිග්‍රහ කරයි. මෙයින් තමන්ගේ මෙන්ම අනුන්ගේ දියුණුව නසාලන නිසා වඩාත් ප්‍රබල ලෙස හානිදායි තත්ත්වයක් ඇති කරගනී. යමක් තමන් දෙන්නේ නම් එය යම් භික්ෂුවකට ප්‍රයෝජනවත් යමක් ම දිය යුතුවේ. ගිහියකුට පාත්‍රයක් දීමෙන් ප්‍රයෝජනයක් නොලැබෙන සේ භික්ෂූන් වහන්සේ නමකට ද, ප්‍රයෝජනවත් යමක් දිය යුතුවේ. දිය යුතු වස්තු පිළිබඳව සූත්‍ර පිටකයේ දැක්වෙන්නේ මේ ආකාරයට වේ.
අන්න පානං වත්ථං යානං – මාලාගන්ධවිලෙපනං 
සෙය්‍යාවසථදීපෙය්‍යං –දානවත්ථු ඉමේ දස

අන්න: බත්, මාළු, කැවුම් අග්ගලා , තලප දියමස්,ගොඩමස්, අල, බතල ආදි කඩා විකා කන හැම ආහාර
පාන :– අඹ, දඹ, කෙහෙල්, ඇට කෙහෙල් , මීවද, මිදිපල, ඕලු, උගුරැස්ස, කොසඹ, ඩෙබර ආදී පෙරා ගත් පැන් හා ගිතෙල් තලතෙල් කිරි කැඳ රස මත්පැන් ගණයට අයත් නොවන දෑ
වත්ථ : කොමුපිළි, කපුපිළි, දුහුල්පිළි, කිරිහිලා, හණපිළි ආදි
යාන :– කරත්ත, අත්කරත්ත, දෝලා, පල්ලැක්කි වහන් ආදි දෑ
මාලා : ගොප්පිම ,විධුතික ආදි ගෙතු හා නොගෙතු මල්
ගන්ධ :– ඇඹරු නො ඇඹරු සුවඳ ගල්වන උපකරණ
විලෙපන: – රත්සඳුන් , සුදුහඳුන්, සබන් බාම්
සෙය්‍යා : ඇඳ, පුටු, සොපා, කවිච්චි , ඇතිරිලි, කොට්ට, මෙට්ට කුසිම්ආදිය වේ.
ආවස්ථ: මන්දර, ප්‍රාසාදිය ආදි වූ කුඩා මහත් සේ අතුපැල
අභිධර්ම පිටකයෙහි දාන වස්තු ලෙස දක්වා ඇත්තේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ධර්ම කාරණා පස වේ. මෙහිදී
ශබ්දායතන නම් :– මිහිගු බෙර, ගැටබෙර, යක්බෙර, දවුල් ආදිය වේ
ගන්ධායතන නම් : මල්, කොළ පතුරු මුල් ආදි වූ
රසායතනය නම් – මල් මුල්,කොළ ගෙඩි පතුරු, බත් මාළු
ස්පර්ශායතන නම් – ඇඳ, පුටු, කොට්ට, මෙට්ට
මෙයින් කවර හෝ වස්තුවක් ශ්‍රද්ධා චේතනාවෙන් ම පිදිය යුතු වේ. සත්පුරුෂ දානය පිළිබඳව දැක්වෙන මජ්ජිම නිකායේ චූල පුණ්නම සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ සිය අතින්ම දන් දීම, සකසා දන් දීම, කැප සරුප් දෙයක් දීම, ගරු බුහුමන් සහිතව දීම යන කාරණා වලින් පුද්ගලයාගේ දාන ආනිශංස ප්‍රමාණය වැඩි වෙන බව දැක්වේ. එක්තරා අවස්ථාවකදී තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩඉන්න අවස්ථාවේදී එක්තරා දේවතාවෙක් තථාගතයන් වහන්සේ සමීපයට පැමිණ මෙලෙස සාකච්ඡාවක් ඇති විය. ඒ දේවතා සඳහන් කළේ, මසුරුකමින්ද ප්‍රමාදයෙන් දන්දීමට නොහැකි බවයි. පින්කැමැත්තන් විසින්ම දන් දීම සිදුකළ යුතු බවයි. එසේම මසුරුකම මැඩගෙන දන් දෙන තැනැත්තා පරලෝකයේදී සතුටට පත් වෙනවා. ඒ නිසා සත්පුරුෂයාගේ හා අසත්පුරුෂයාගේ පරලොව යෑම එකිනෙකට වෙනස් වේ. අසත්පුරුෂයා නිරයට යනවා. සත්පුරුෂයා ස්වර්ගයට යනවා.මේ නිසා සත්පුරුෂයන් විසින් ඉතාම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් යමක් ඇත්නම් එය ඉතාම ප්‍රසන්න සිතින් දන් දී තමන්ගේ ජීවිතයට යහපතක් සිදු කර ගන්නවා. බුදුරජණන් වහන්සේ සාධු නම් වූ සූත්‍ර දේශනාවේදී දේශනා කළේ දානයත් යුද්ධයත් සමාන බවයි. ස්වල්පයක් නමුත් වීර පුරුෂයන් දන් දෙනවා.සැදැහැවත් පුද්ගලයන් ස්වල්පයක් නමුත් දන් දී එයින් පරලෝකයේදී සුවපත්වෙනව. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ජය ගන්නවා. ඒ සේම තථාගතයන් වහන්සේ දේශනා කළේ තෝරගෙන දීම වඩාත් ඵලදායි වන බවයි. සිල්වතුන්, ගුණවතුන් විෂයෙහි දෙන දානය සරු කෙතක වපුරන ලද බීජ මෙන් මහත්ඵල ආනිසංස ගෙන දෙයි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පුටු පිදීමේ කුසල විපාක සහ පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ

බුදුවරුන්ට හා මහා සංඝ රත්නයට හිඳ ගැනීමට අසුන් සපයා දීම යනු මහත් ආනිසංශ දායී කුසල කර්මයක් බව කරුණාවෙන් මතක් කර සිටිමු.
අසුනක් සැපයීම සරලව ගතහොත් හිඳ ගැනීමට අවශ්‍ය වෙලාවට ඊට ආධාරකයක් ලබාදීම ලෙස සැලකිය හැකිය. ආනිසංශ දායී
මෙම කුසල කර්මය සිදු කර ගන්නේ කෙසේ දැයි විමසා බලමු , අද කාලයේ බොහෝ නිවෙස් වල සාංඝික දානයන් පූජා කෙරෙන අතර තුර මෙන්ම

තම පන්සලේ සිදුකෙරෙන විවිධ පින් කම් කටයුතු වලදීද ,ධර්ම දේශනා සංවිධානය කරන අවස්ථා වලදි මෙම උතුම් කුසල කර්මය අපහසුවකිත් තොරව සිදුකර ගත හැක.

ඔබ එම වෙලාවන් හි ඉතා පිරිසිදු සැදැහැ සිතින් ආසන පිළියෙල කොට මෙම ආසන පිලියෙල කිරීමෙන් ලද උතුම් කුසලය මා හටත් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියා පතන්න එම කුසල් බලය ඔබට නිවන පිණිසම වෙයි.. 

අප දැන් මම පුටු පිදීමේ කුසල කර්ම කිරීමෙන් ලත් ආනිසංශ විමසා බලමු.

හේමක හිමි පියදස්සී බුදුරජාණන් වහන්සේට සෘදිබලයෙන් රන් පුටුවක් මවා දුන් පිනෙන් හැත්තෑපස් වතාවක් සක්විති රජ විය.
දෙතිස්වතාවක් දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු විය.
ඒකාසනාදායක් හිමි පියුමතුරා බුදුරජුන්ට දඬුමැස්ස මත ආසනයක් පනවා දුන් පිනෙන් පනස් වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර සම්පත් ලැබුවේය.
අසූවතාවක් සක්විති රජ විය. (අපදාන පාලි 423 -අපදානය)
පුරුශයන් පමණක් නොව ස්ත්‍රීන් ද මෙවැනි උතුම් ක්‍රියාවල නිරතවී ලැබු ආනිසශ ථෙරී අපදානයේ දැකගත හැක .
ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින් තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන් 
පිනෙන් අසූවතාවක් සක්දෙව්ඳුගේ බිරිඳ වී උපන්නාය.මනුලොවදී ද පහත අනුසස් ලැබුනේය.
1.හිඳ ගැනීමට රන් රිදී අසුන් පහලවේ.
2. චිත්ත පීඩා ඇතිනොවේ.
3.මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.
4.බොහෝ භෝග සම්පත් ලැබේ.
5.උසස් කුල සම්පත් ලැබේ.
6.චෛතසික වේදනාවන්ට පත් නොවේ.
7.ලස්සන වී උපදියි.
8.තමා නාවන්න ,කවන්න ,පොවන්න ,සතුටු කරන්න,සුවඳ ගල්වන්න 
බොහෝ පිරිවර ලැබේ.
මීට අමතරව පිළින්දිවච්ච අපදානයේ තවත් කුසල විපාක දක්වා ඇත.
9.සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවේ.
10.බොහෝ කීර්ති ඇත්තෙක් වේ.
11.දීමෙන් ඇලුණු සිත් ඇත්තෙක් වේ.
12.බොහෝ පුටු සසරේදී ලැබේ.
මෙවන් බොහෝ අනුසස් ලැබෙන පුටු පිදීමේ කුසලය ඔබත් සැදැහැ සිතින් සිදුකර ගෙන සසර ගමන සුවපහ් කරගෙන අමා මහ නිවන් දැකීමට ඔබත් අධිෂ්ඨාන කර ගන්න..


පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ


බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කරන පූජාවන් හි ආනිසංශ කියා නිම කිරීම අපහසු කාරණාවකි.නමුත් මහා රහතන් වහන්සේලා නිවන් අවබෝද කිරීමෙන් අනතුරුව තමන් මෙම අති දීර්ඝ භයංකර සංසාර ගමනේදී බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කල පූජාවලිත් තමන්ට ලැබුණ ආනිසංශ දේශනා කර ඇත. 
අද අප පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ සලකා බලමු. පාලමක් හෝ ඒ දන්ඬක් අවශ්‍ය වෙන්නේ තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමටය. එබදු තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමට පහසුකම් සැපයීමෙන් එම පූජාවන් කරන තැනැත්තන්ටද අපහසුවකින් තොරව සසර සයුර තරණය කිරීමට අවකාශ සැලසෙන්නේය. ධෝතක හිමි පියුම තුරා බුදු රජානණ් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පාලමක් ඉදිකර පූජා කල පිනෙන් පහත සදහන් විපාක ලැබුන බව තෙර අපදානයෙ දැක්වේ.

1.පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගි‍යේද පිහිට ලබයි.
2. සතුරන්ට මැඩලිය නොහැක්කේ වේ.
3. ලැබෙන වස්තුව හොරු පැහැර නොගනිත්
4. අන් අය අවමන් නොකරත්
5. සතුරු බලවේග ජයගත හැකිවේ
6. එළිමහනේ ගියේද දැඩි අවුවෙන් තැවුනේ ද දුක් වේදනා නොදැනේ
7. දෙවිමිනිස් දෙගතියෙ කැමතිපරිදි ඇත් වාහන පහළවේ
8. අවසන නිවන් දැකීමටද මේ පින උපකාර වන්නේය.

එබැවින් ඔබත් මෙවැනි උතුම් කුසල කර්ම සිදුකර ගැනීමට අදිටන් කර ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.

The Buddhist

පැන් පිදීමේ අනුසස්
මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.
එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං
මේ ඒ ස්ථවිරියගේ ප්‍රකාශනයෙකි.
මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය ය යනු එහි තේරුම යි.
(ආපදාන පාළියෙන්)
*** පැන් පූජා කළ දාසියක් ***
එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.
පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහ. ඔවුන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී “ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳ පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා “මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වා. මම මේ පුණ්‍යක්ෂේත්‍රයෙහි පානීය දානයක් දෙමි” ය යි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වත්දී ම ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.
එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම ද කළ සේක. කළයෙහි පැන් මඳකුදු අඩු නො වීය. ඕ තොමෝ ඒ ප්‍රාතිහාර්යය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකට ද පැන් පිළිගැන්වූවාය. ඒ භික්ෂුව ද පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය ද කළේය. කළයේ පැන් තිබූ පරිදි ම පිරී තිබිණ. ඈ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවාය. පැන් කළය පළමු සේම පිරී තිබිණ. ඕ තොමෝ අතිශය ප්‍රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණයා “මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණ. බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක් ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුවාය.
තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේක. “ස්වාමිනි, මෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහ. දෙවනුව ද තුන්වෙනුව ද තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට විය. ළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය. ඒ ප්‍රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ ම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හ. එකෙණෙහි ජලය අතුරුදහන් විය. ඔවූහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.
එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී ඒ පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ “දැන් ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි. මනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්‍රකාශ ද කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දාය. තථාගතයන් වහන්සේ ඇගෙන් ම ප්‍රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසට ද ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදී. එහි නාවාවිමාන නමින් මෙය දැක්වේ)
== ගිලන්පස පූජාවේ අනුසස් ==
අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.
අම්බපාන - ජම්බුපාන - චෝචපාන - මෝචපාන - මධුපාන - මුද්දිකපාන - සාලුකපාන - ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, අටිකෙසෙල්, ඇටනැතිකෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියලි මුද්‍රප්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.
පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ය.
භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුහොමි කම්මානුච්ඡවිකෙ මම,
ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,
අනුපද්දවො අනීති ච හොමි අපචිතො සදා
න මෙ පියවියොගො'ත්ථි තස්ස නිස්සන්දතො මම
(අපදාන පාළි)
ආනිසංස දශය නම් ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර, සැපය, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළු වීම් ආදී ව්‍යසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නො වීම යන මේවා ය.
*** බුද්ධවර්ම මුදලාලි ***
දඹදිව පාටලීපුත්‍ර නගරයෙහි බුද්ධවර්ම නමැති වෙළෙන්දෙක් විය. ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරෙක භික්ෂු සංඝයා පිරිවරා සත්ත්වයනට සඟමොක් මඟ පහදා දෙමින් සත්ත්වයන් සසර කතරින් එතෙර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වූහ. ඔහු දිලිසෙන රන් පහන් ගසක් සේ බබළමින් බික්සඟන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නො දන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය. “බුදුවරයෝ විකාලයෙහි ආහාර නො වළඳන්නාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳ තෙමේ “හිමියනි! තථාගතයන් වහන්සේ විකාලයෙහි කුමක් වළඳන සේක්දැ” යි ඇසීය. ඔහුගේ පිළිවිසීම නිසා “අම්බපානය - ජම්බුපානය - චෝචපානය - මෝචපානය - ඵාරුසකපානය - මධුපානය - මුද්දිකපානය - සාළුකපානය යන මේවා විකාලයෙහි කැපවන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාල සේක. වෙළඳ තෙමේ සකුරුවලින් යුක්ත කොට මුද්‍රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහසඟනට පිළිගැන්වීය. එය පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක.
වෙළඳ තෙමේ අන් වෙළඳුන් හා ඒ ඒ ජනපදයන්හි වෙළඳාමෙහි ඇවිදින්නේ මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියේ ය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන් විය. පැන් ලැබිය හැකි තැනක් කාන්තාරයෙහි නො විණ. මිනිසුන්ට හා ගවයන්ට පිපාසාව සන්සිඳවා ගැනීමට ක්‍රමයක් නැති විය. ගිලන්පස දානය දුන් වෙළෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා “මේ සැළියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරව” යි කීහ. ඔහු එයින් ගෙන පැන් පීය. ඔහුට එහි රසය මුද්‍රික පානයේ රසය මෙන් දැනිණ. ඔහු එදා මා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මුද්‍රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීය. සැළිය මුද්‍රික පානයෙන් පිරී තිබිණ. ඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදි පැන් බඩ පුරා බී පැන් බීමට එන ලෙස සෙස්සන්ට ද හඬ නගා කීය. සැම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ ය. වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස් ද වර්ණනා කළේය. ගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ ද මිදි පැන් සැළිය හිස් නො විණ. ඒ ප්‍රාතිහාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැක ම සිය නිවසට යෙමි යි රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දානයෙන් ලද අනුසසත් සිදුවූ ප්‍රාතිහාර්යයත් තථාගතයන් වහන්සේට සැළ කළේය. තථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහාදානයක් දී සිය නිවෙස බලා පිටත් විය. ඉන්පසු ද දානාදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ ය. ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රික පානයෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේ ය.
(රසවාහිනියෙන්)

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රතිපත්ති පූජාවද ? ආමිස පූජාවද ?

සම්බුදු සමිඳාණන් දවස අත්‍යුදාර චරිත බැබළුණෙ පැවිදි උතුමන් අතරම නොවෙයි. ගිිහි පිනැතියන් අතරත් කැපී පෙනෙන චරිත ගැන කියැවෙනවා. තමනුත් දහම දැනගෙන අනුන්වත් දහමින් පෝෂණය කළ අය මොනතරම් හිටියද. හත්ථක අලාවකයෙ විසූ උග්ග ගහපති වගේම චිත්ත ගහපති මොනතරම් තථාගත ඇගැයීමට ලක් වුණාද නකුලමාතා නකුල පිතා වගේම සාමාවතියගෙ මල් අම්මා ඛුජ්ජුත්තරාව, වේළුකණ්ඨකී නන්ද මාතාව වැනි අය පිළිවෙත් ගුණ සපිරි උතුමන්, මේ ඇත්තන්ගෙ සුවිශේෂ චරිත ලක්ෂණ තුළින් උතුම් දහමක ලක්ෂණ ප්‍රායෝගිකව ලොවට හෙළිකළා.
සම්බුදු දහම අනුගමනය කිරීමේ මූලික අරමුණ නිවනයි. නිවන යන වචනය තරම් සිත නිවන වචනයක් බොදු සැදැහැතියනට නැහැ. පූජාව ආමිස ප්‍රතිපත්ති යනුවෙන් දෙපරිදියි. දානමානාදී පින්කම්, වන්දනාමානාදී පූජා දාගැබ්, මහාබෝ තැනීම් ආදිය ආමිස ගණයට වැටෙනවා, ප්‍රතිපත්තිය නැතිනම් පිළිවෙත සිල්ගුණ පිරීමත් විදර්ශනා පුහුණුවත් තුළින් සම්පූර්ණ වෙනවා. මේ නිසා ආමිසයට වඩා ප්‍රතිපත්තිය හොඳයි යන මතයෙහි සමහර අය සිටිනවා.
වරෙක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි දෙවිකෙනෙකු අනියත ලොව තුළ මිනිසා මරණය වෙත යන බවත් එහෙයින් සැප ගෙන දෙන පින් කළ යුතු බවත් පැවසුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිවීම බලාපොරොත්තුවෙන් සැපයට වින්දනයට හේතුවන දේ අත්හරින ලෙසයි.සැබෑ බෞද්ධ ශ්‍රාවකයා අනුගමනය කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේ විවිධාකාර පූජාවෙන් පුදන්න යැයි වදාහළ තැනක් නැත. එහෙත් හැම සූත්‍රයක්ම අවසන් වනුයේ අප්‍රමාදය හෙවත් සිහිනුවණ දියුණු කරගෙන කෙලෙසුන්ගෙන් මිදී නිවන සාක්සාත් කරගැනීමේ වටිනාකම පහදා දෙමිනි.
දන් පුද පූජාවනට වඩා සිල් පේවීම සියදහස් ගුණයකින් ආනිසංස දායකයි. සීලගුණෝපිත ජීවිතයට වඩා භාවනා වැඩිම උසස් ප්‍රතිඵල ලැබීමට උපකාරි වෙයි. භික්ෂුවකට සැදැහැතියන් පිරිනමන ප්‍රත්‍යවලයෙන් නිදහස්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් යම් භික්ෂුවක් ඇසි පිය හෙළන පමණ සුළු මොහොතකට මෙත් සිත පහළ කර ගනියිනම් ගිහි පිනැතියනට වන ණයෙන් නිදහස් වන බවයි සඳහන් වන්නෙ. මෛත්‍රියට වඩා මහත් ඵල ලබන කුසලය වන්නේ විදර්ශනා වැඩීම් වශයෙන් අනිත්‍යය සිහි කිරීමයි.
ආමිසය අවශ්‍ය නැහැ කියන වැරදි අදහසේ සිටින්න එපා. නිවන සමීපවනතුරු කවුරුත් සසර උපත ලැබිය යුතුයි. ඒ උපත ලබන ආත්මභාවය කරදරයකින් තොරව සැනසිල්ලෙ කුසල් දහම් වඩන්නට තරම් සුදුසු ජීවිත සම්පත්තියක් ලබන්න දානාදි පින්කම්වල නිරත විය යුතුයි. පූජා පින්කම්වල නිරතවීම එකම පරමාර්ථය හැටියට හිතුවොත් බොදු පරමාර්ථයෙන් බැහැර වෙනවා.
බොදු සැදැහැතියන්ගෙ කැපී පෙනෙන ලක්ෂණය තම තමන්ට පහසු පැතිවලින් බුදුදහම අල්ල ගැනීමයි. මොන අන්දමකටත් හිතන්න එපා අපහසු දෙයින් මිදිල පහසු දෙය කිරීම කුසල් පිරීමක් හැටියට. සසර අරගෙන එන ඇතැම් පුරුදු ඇබ්බැහිකම්වල බරපතළකම නිසාදෝ දන්නෙ නැහැ ඇතැම් අය තුළ තිබෙන සමහර දුර්වලතා දුරු කරගන්න හිතන්නේ නැහැ. හොඳ විවෘත මනසින් තමන්ගෙ හිත දිහා බලනව නම් තමන් තුළ තිබෙන අගුණ දුර්වලකම් තේරුම් ගන්න පුළුවන්. ඒත් දුබලකම් තේරුම් අරගෙන ඒවා හදා ගන්න හිතන පිරිස අඩු බවයි පෙනෙන්නෙ. එහෙම දකින්න බැරිව නිවැරැදිව හිතන්න බැරිවී වරදෙ බැඳුන සමහර ඇත්තන් හිතනව අට පිරිකරට අත ගැහුව, කඨිනයට අත ගැහුව, සාංඝික දානයක් දුන්න ඉතින් තව මොනවද කියල. එහෙම හරි පිනට කුසලයට යොමුවීම හොඳයි. එයිට වඩා අර අත්හරින්න බැරිව සසර පුරාවට අරගෙන එන වැරදි අඩුපාඩුකම් දුරු කරගන්න බලනව නම් මොනතරම් වටිනවද
බෞද්ධ කථාවස්තුවල ආමිසයෙන් පිදූ ඇත්තන් ගැන මෙන්ම පිළිවෙතින් පිදු අය ගැනත් සඳහන් වෙනවා. දෙව්රම්වෙහෙර පිදූ අනාථපිණ්ඩිත සිටුතුමා මිගාරමාතු පාසාදය තැනවු විශාඛා මහෝපාසිකාව, වේළුවනය සසුන් සතු කළ බිම්සර මහ රජතුමා. වගේම අසදෘශ මහාදානය දුන්නු කෝසල මල්ලිකාව, ආමිසයෙන් පිදූ අය අතර නිතර කියැවෙනවා. ඒ ඇත්තන් ආමිසයෙන් පිදුවත් වෙනසක් තිබෙනව කෝසල මල්ලිකාව හැරුණුවිට සෙසු තිදෙනාම නිවන් මඟට පිවිසි නියත ගතික අය සෝවාන්ඵලයට පත් උතුමෝයි.
චක්ඛුපාල හාමුදුරුවො, සෝන හාමුදුරුවො, මහාසිව හාමුදුුරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සම්බුදුන් පිළිවෙතින් පිදූ උතුමන් වහන්සේලායි. මහා රාජ්‍යය අතහැරදාල යොදුන් ගණන් පා ගමනින් ගැල් පිටුපසින් සැවැත්නුවර භාග්‍යවතුන් වහන්සෙ දකිනු රිසින් පැමිණි පුක්කුසාති රජු වගේම සුප්පාරක පටුනෙන් පටන් අරගෙන දිවා රූ වෙහෙස නොබලා භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන පැමිණි භාහිය දාරුචිරියත් රාජකීය ඇඳුමින් සැරසී සිටි මහඇමති සන්තතිතුමාත් සුදුවත් හැඳි ගිහියන් වුවත් පිළිවෙත් සඵල කරගත් ආර්ය මාර්ගයට පිළිපන් උතුමෝයි. සැරියුත් මුගලන් පිළිවෙළ නොසිඳී එන ආර්ය මහා සංඝරත්නයට මේ ගිහිවත් දැරූ අනාථ පිණ්ඩික, විශාඛා , බිම්බිසාර, භාගිය, පුක්කුසාති, සන්තති අමාත්‍ය යන ආර්ය උතුමන් ද ඇතුලත් වෙනවා. එහෙමනම් සඟ සතු දන් පුදද්දි තුන්කල් මහ සඟරුවනට පුදන බව කියනවිට මේ උතුමන් වහන්සේලාත් ගැනෙනවා.
ආමිසයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුවත් සමහර උසස් දානපතියන් ගැන බෞද්ධ කථා සාහිත්‍යයේ සඳහන් වන්නේ ඒ ඇත්තන්ගෙ අනතුරු අත්භවය යහපත් එකක් නොවූ බවයි. එහෙම දෙයක් වෙලා තිබෙන්නේ ආමිස පූජාවෙ මදි පුංචි කමක් නිසා නම් නොවෙයි. පිළිවෙත් පූජාවෙන් බුදුන් පිදූ උතුමන් ගැන එහෙමවත් කියන්න බැහැ. පිළිවෙත් මග සපිරීමේ මුල් ආනිසංස ලෙස සෝවාන් ඵලයට පත්වීම නිසා කෙනෙකු නියත ගතිකත්වයට සම්බෝධි පරායනයෙකු බවට පත් වෙනව. මොනම ක්‍රමයකින්වත් ඒ ඇත්තන් දුගතියට පත් වෙන්නේ නැහැ. ඒ නිසයි සක්විති රජසැපතට වඩා සෝතාපත්තිඵලය උතුම් වන්නේ. ගසක් යට කඩමලු පොරව ගත්තු කබලක් අතින් අරගෙන සිඟමනෙන් යන ඇත්තා වුනත් සෝවාන්ඵලයට පත්වෙලා නම් ලෞකික සැප අතර අගතැන් ගත් සක්විති සැප භුක්ති විනඳ කෙනෙකුට වඩා වාසනාවන්තයි. පින්වන්තයි. සක්විති සැප වින්දත් දුගතියට යන අකුසල් සිදුවුනොත් ඔහු දෙවන භවයෙ කල්ප ගණනක් දුක් විඳිනවා. ඒත් කඩ කබල අතින් ගෙන සිඟමන් යැද්දත් සෝවාන් උත්තමයා නියතවශයෙන් සුගතිගාමි වෙනවා. දුගතියකට කිසි ලෙසකින්වත් යන්නේ නැහැ.
බෞද්ධ සාහිත්‍යයේ කැපී පෙනෙන චරිත කිහිපයක් දිහා විමසීමෙන් බැලුවොත් අපට නිවැරදිව යමක් තේරුම් ගන්න පුළුවන්. අටුවා කථා ලියපු හිමිවරුන් වගේම ඉතිහාස පුවත් ඉදිරිපත් කළ හිමිවරුනුත් සඳහන් කළ කරුණුවලින් උසස් ලෙස ආමිසයෙන් පිදු අයත් සුළු වරදින් දුගතිගාමී වූ බව පෙනෙනවා.
සම්බුදු සසුනෙ මහ සඟරුවන වෙත දන්පිදූ අය අතර අසමාන දානමය පින්කම කළේ කෝසල මල්ලිකාවයි. ඇය අනතුරු ආත්ම භවයෙ අපාගත වෙනවා. හේතුව හැටියට ඇයගෙන් සිදුවන වරදක් ගැනයි සඳහන් වෙන්නෙ.අසදෘශ මහාදානය ,නැනිනම් ආමිස පූජාව සුළුවරදට යට වුණා.
තම සහලේ ඤාතියෙකු සසුන් ගත වීමෙන් සතර වරිගයම නිවන් දකින කතාව ගමේ ගොඩේ පැතිර ගිය කථාවකි. තම දුවත් පුතාත් සසුන්ගත කරල ලොව පුරා සත හට බුදුදහම හඳුන්වා දෙමින් ධර්මදානය ඉහළ මට්ටමින් සිදු කරල සුවාසු දහසක් දම්කඳට පුද පෙළහර පිණිස අසුහාර දහසක් වෙහෙර විහාර කරවල අවසානයට මොකද වුණේ. මේ තරම් පින් කළ ධර්මාශෝක නිරිඳු ගැන කොහොමද සඳහන් වන්නෙ. සුගතියක උපත ලද බවක් නොවෙයිනෙ. අජාසත් රජතුමාගේ සැදැහැ සිත වගේම සම්බුදු සසුනෙ චිර පැවැත්මට කළ කී දෑ බලනවිට ඒ සා සේවාවක් සිදු කළ නරපතියෙකු භාග්‍යවතුන් වහන්සේ දරමාන කාලයේවත් සිටියද එහෙත් තෙරුවන ගැන නොසෙල්වන පැහැදීම නො තිබූ (සෝවාන් නොවීම) නිසා මොකද වුණේ. කොසොල් රජතුමා තරම් දහමට සවන් යොමු කළ අයෙකු බෞද්ධ සාහිත්‍යයෙන් හමුවෙනවද එතුමන් තුළ ඒ හැටි දාන චේතනාවක් නොතිබුණත් හොඳට බණ අහපු ශ්‍රාවකයෙකු නොවෙද කූඨදන්ත බමුණූ ආදින්ට ගම්වර දුන්නත් භාග්‍යවතුන් වහන්සේට පිදු වෙහෙරක් තබා පුද දනක් ගැනවත් (අසදෘශ මහා දානය පිදුවේ) මල්ලිකා දේවියයි) බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සඟරුවනටත් හිරිහැර වන විදිහට ජේතවනයට යාබදව නිගණ්ඨයිනට නම් ආරාමයක් හදල දුන්නා.
ඒත් ශාස්ත්‍රීය පිපාසාවෙන් පෙළුණ කෙනෙකු හැටියට නම් එතුමාට මහා පුදුම ඕන කමක් තිබුණා දහමට සවන් යොමු කරවන්න. දිනක් ආනන්ද හාමුදුරුවන් මහමග වඩනවිට උන්වහන්සේ වෙතට පණිවිඩ කරුවෙකු යවල නතර කරගෙන අචිරවතිය ගංඉවුරට වැඩමවාගෙන ගිහින් බණ අහල සඳහන් කළේ මොනවද අපේ ආනන්ද හාමුදුරුවො හරිම දක්ෂයිනෙ. මට හරි පැහැදීමක් ඇතිවුණා. දැන්නම් දෙන්න තියෙන්නේ මේ ඇතා පිට හිදගැනීමට ගන්න පුටුව පමණයි. ආනන්ද හාමුදුරුවන්ට එයින් වැඩක් නැහැනෙ...මෙහෙමයි කොසොල් රජුගේ දාන පූජාව. මොනතරම් ආසාවකින් බණඇහුවත් බණ ඇසීමේ ආනිසංස ගැන අප දන්නා හැටියට රජුට නොවරදින විපාක ආනිසංස ලැබෙන්න එපාද. ඒත් පරලොව ගතිය ගැන සඳහන් නොවුනත් අවසාන මොහොත ඒ තරම් සතුටුදායක නැහැ. නේද මහා රාජයෙකු වෙලත් අම්බලමක අසරණයෙකු වෙලා කාත් කවුරුවත් නැතිව අවසන් හුස්ම හෙළුවේ.
සම්බුදු සමිඳාණන් දවස අත්‍යුදාර චරිත බැබළුණෙ පැවිදි උතුමන් අතරම නොවෙයි. ගිිහි පිනැතියන් අතරත් කැපී පෙනෙන චරිත ගැන කියැවෙනවා. තමනුත් දහම දැනගෙන අනුන්වත් දහමින් පෝෂණය කළ අය මොනතරම් හිටියද. හත්ථක අලාවකයෙ විසූ උග්ග ගහපති වගේම චිත්ත ගහපති මොනතරම් තථාගත ඇගැයීමට ලක් වුණාද නකුලමාතා නකුල පිතා වගේම සාමාවතියගෙ මල් අම්මා ඛුජ්ජුත්තරාව, වේළුකණ්ඨකී නන්ද මාතාව වැනි අය පිළිවෙත් ගුණ සපිරි උතුමන්, මේ ඇත්තන්ගෙ සුවිශේෂ චරිත ලක්ෂණ තුළින් උතුම් දහමක ලක්ෂණ ප්‍රායෝගිකව ලොවට හෙළිකළා.
නුවණැති සැදැහැතියෙකු නිතර සිතිය යුත්තේ පුද පිණිස ධන පරිත්‍යාගය වටිනවා. මතු සසර මහේශාක්‍ය කුලවල ඉපිද රජ සැප සිටුසැප කාම සැප යන සැප සම්පතින් ආඪ්‍ය ජීවිත ගත කරන්න ලැබෙනවා. තථාගතයන් වහන්සේගේ නම සිහිකර මලක් පිදුවත් සියලු පිදුම් අභිබවා මහත් ඵල ගෙනදෙනවා. එදා පිරිනිවනෙ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට දෙවියන් පරසතු මදාරා මලින් පුදද්දි රාජ රාජ මහා අමාත්‍යාදීන් පසඟතුරු නදින්ද රාජකීය උපහාරයෙන්ද පුද පෙළහර පැවැත්වූවා. මහරහතන් වහන්සේ සංවේග වෙමින්ද පුහුදුන් සඟරුවන ශෝක කරමින්ද සමිඳු අබියසම සිටියා. ඒත් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය මතකද මේ ගඳ මලින් සුගන්ධයෙන් ද තුතිගෝසාවෙන් පුදන හැමට වඩා පසෙකට වී මා වදහළ දහම අනුගමනය කරන ධම්මාරාම භික්ෂුව ශ්‍රේෂ්ඨයි. මහා කාරුණිකයාණෝ සියල් සතුනගෙ හිත වැඩ පිණිසම මෙලොව දිනූහ. වැඳුම් පිදුම් හෝ තුති වැනුම් ලැබුමට නොවන වගද අප හොඳින් සිත තබාගත යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඊර්ෂ්‍යාව දුරු කර මෙත් වඩමු

පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, යල්කුඹුරබිල. 

මඳක්‌ සිතන්න. ඔබගේ ළ`ගම ඥාතියෙකු හෝ අසල්වැසියෙකු හෝ එසේත් නැත්නම් හිතවතෙකු උත්සාහයෙන් වෙරවීර්යයෙන් තමන්ට වඩා දියුණු වී සිටී ද තමන්ට වඩා හොඳින් සැප සම්පත් භුක්‌ති විඳී ද තමන්ට වඩා පරිවාර ජනයාගෙන් සමන්විත වූයේ වේද එවන් අවස්‌ථාවන්හි දී ඔබට ඇති වන්නේ කුමනාකාර හැඟීමක්‌ ද? සැබැවින්ම අවංකවම ඔබ ඒ ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන්ණී දියුණුව වෙනුවෙන් සතුටින් පසුවන්නේ ද? එසේත් නොමැතිනම් ඔබගේ සිත තුළ අසහනයණී කෝපයණී නො ඉවසීම වැනි අන් කිසි හැඟීමක්‌ පහළ වන්නේ ද? මෙසේ අන් අය අපට වඩා සතුටින් සොම්නසින් පසු වන අවස්‌ථාවන්හි අපේ සිතට ඇතුළුවන එක්‌තරා අකුසල හැඟීමක්‌ නම් ඉරිසියාවයි. (ඉස්‌සා/ඊර්ෂ්‍යාව) සැබැවින්ම අපට වඩා අන් අයෙකු සැපයක්‌ විඳින්නේ නම් පෘථග්ජන අප තුළ ඔවුන් කෙරෙහි ඇති වන්නේ අසහනකාරී හැඟීමකි. ලොවෙහි බොහෝ දුරට ජාති අතර හෝ ආගම් අතර සමාජ අතර හොඳ හිත පළුදු වීම කෙරෙහි බෙහෙවින්ම බලපාන්නේ ද ඉරිසියාවයි. තමන්ට වඩා හොඳින් සුවෙන් සැපෙන් අනෙකෙකු ජීවත්වීම ඉවසුම් නොදෙන පිරිස්‌ මේ සමාජයෙහි ද ඕනෑ තරම් සිටිති.
අපගේ සිතෙහි නිරන්තරයෙන් විවිධ ෙච්තනාවන් උපදී. මේ ෙච්තනාවන් කුසල හෝ අකුසල විය හැකිය. කර්ම විපාක පිළිබඳ මනා දැනුමක්‌ ඇති අයගේ සිත්වල, සත්පුරුෂ සිත්වල උපදින්නේ කුසල සිතිවිලි ය. එනමුදු පාපී අදහස්‌ ඇති අසත්පුරුෂ සිත්වල උපදින්නේ අකුසල සිතිවිලි ය. ඊර්ෂ්‍යාව යනු ද මහත් අකුසල කර්මයකි. එය අකුසල කර්මයක්‌ වන්නේ එවන් වූ හැඟීමක්‌ ඇති අයෙකුට කළ නොහැක්‌කක්‌ නොමැති වීමයි. ඉරිසියාවෙන් පෙළෙන්නෙකුට අනෙක්‌ අයෙකුට අයහපතක්‌ කිරීම එතරම් අපහසු ක්‍රියාවක්‌ නොවේ. අන් අයගේ සම්පත්වලට, සතුටට, දියුණුවට යමෙක්‌ ඊර්ෂ්‍යා කිරීමට පෙළඹේ නම් එය පහත්, අමනෝඥ ක්‍රියාවකි. අනුන්ගේ පමණක්‌ නොව තමාගේ පවුලේ ඥාතීන් සුවෙන් සැපෙන් පසුවන විට ඔවුන්ගේ සුඛවිහරණය කෙරෙහි ඊර්ෂ්‍යා නොකරන්නේ යෑයි කිව හැකිද? ඔබගේ ඥාතීන් දිනෙන් දින දියුණුවට පත් වන විට, සමාජයේ ඉහළ තනතුරු ඔවුන්ට ලැබෙන විට, සමාජයේ මිනිසුන් ඔවුන් ගැන නිතර කතා වන විට ඔබගේ සිතට නැඟෙන හැඟීම කුමනාකාර එකක්‌ වේ ද? ඒවා නො ඉවසනා සුළු හැඟීමක්‌ ද? එසේ නම් ඔබගේ සිතෙහි ද ඉරිසියාව නො අඩුව ඇති බව සිහි තබා ගන්න.
අප සමාජයේ සිටින අමනෝඥ ක්‍රියාවන් සිදු කරන පිරිස්‌ පිළිබඳව අපි පිළිකුළින් යුතුව කථා කරන්නෙමු. එනමුදු අපේ සිතේ නිරන්තරයෙන් පැළපදියම්ව තිබෙන ඉරිසියාකාරී හැඟීම පිළිබඳ කිසිවෙකු හෝ කතා කරන්නේ නැත. එයට හේතුව නම් ඉරිසියාව ඇත්තේ අපට පෙනෙන මානයේ නොවීමයි. එය අතින් ඇල්ලිය නොහැකිය. අනුන්ගේ සැපත දැක දැක ඔබ කෙතරම් නම් සුසුම් හෙළන්නට ඇද්ද? ඔවුන් විඳින සතුට දෙස බලා කෙතරම් අවස්‌ථා ඔවුන්ට අකුල් හෙළා පහතට ඇද දැමීමට ඔබ කෙතරම් මහන්සි ගන්න ඇද්ද? ඔබගේ එකී උපක්‍රම සාර්ථක නොවුණු විට ඔබ සැබැවින්ම දුක්‌ වින්දා නේද? ඉරිසියාවේ සැබෑ තතු මෙයයි. අනුන්ගේ සැපත දැක ඒ වෙනුවෙන් දුක්‌ වන්නා ඉරිසියාකාරී හැඟීමෙන් පසුවන්නා කිසි කලෙක සතුටින් ජීවත් වන්නේ නැත. අනුන්ගේ සතුට දැක ඉරිසියාවෙන් තම සතුටම පිරිහෙළා ගනී. මෝඩ, අඥාන සිතක ඇතිවන මේ අමනෝඥ සංකල්පය නිසා එකදු දවසක්‌වත් සතුටින් සොම්නසින් ජීවත් විය නොහැකිය. 
තමා සමග සිටින සියලු දෙනාම තමන්ට වඩා පහළින් සිටිය යුතු බව හැඟීම ඊර්ෂ්‍යාවේ මූලික පදනමයි. මෙම හැඟීම ලොව ඇති සියලු මිනිසුන්ගේ සිත්හි අඩු වැඩි වශයෙන් පවතී. ලෝකයේ සැපෙන් සුවෙන් ජීවත් විය යුතු වන්නේ තමන් පමණක්‌මය, සෑම සැප සම්පතක්‌ම හිමි විය යුත්තේ තමන්ට පමණකි, එකී සැප සම්පත් ලැබිය යුතු වන්නේ තමන්ට පමණකි යන හැඟීම, සිතිවිල්ල සියලු දෙනා තුළ පවතී. තමන් හොඳින් ජීවත් වන අතරම අනුන් එලෙස සතුටින් ජීවත් වීමට උත්සාහ කරන විට එයට වළ කපා ඔවුන්ව අපහසුතාවට පත්කිරීමට පෙළඹී සිටින පිරිස්‌ අප අතර අනේකවත් ය. සමාජයෙන් ලැබිය යුතු සියගු ප්‍රශංසා වරප්‍රසාද ප්‍රතිලාභ ආදි සියලු දෑ හිමි විය යුතු වන්නේ තමන්ට පමණකි. ඒවා අන් අයට හිමි වූ විට තමන්ට ඇති වන්නේ නොරිස්‌සුම් සහගත සිතිවිල්ලකි. තමන් එයින් පිරිහීමට පත් වුණේ යෑයි හැඟීමක්‌ ඔහු තුළ උපදී. ඔබගේ සිත තුළට අන් අයගේ සැපත දුටු විට ඇති වන්නේ මෙබඳු හැඟීමක්‌දැයි ඔබම විමසුම්ශීලී සිතින් යුතුව පරික්‌ෂා කර බලන්න. ඔබත් එවැනි අකුසල සිතිවිල්ලෙන් වල්මත් වූවෙකු බව ඔබට නිසැකවම අවබෝධ වනු නො අනුමානය. 
ඉරිසියාවේ ස්‌වභාවය නම් තමන් සතුටින් සිටින අතර අනුන්ගේ සැපයට අකුල් හෙළීමයි. එනමුදු තමන්ටත් හොරා තමන් ද ඒබඳු හැඟීමෙන් පරිහානියට, විනාශයට පත්වන බව අවබෝධ කර ගැනීමට තරම් නුවණක්‌ නැත. ගිනි ගොඩකට හසු වූ කලෙක මෙන් දුක්‌ ගිනිවලින් තමන්ගේ සිත පීඩාවට පත් කරයි. තමන්ගේ ඊර්ෂ්‍යාකාරී ෙච්තනාවෙන් අනුන් පීඩාවට පත් කරන්නේ යෑයි සිතුව ද සැබැවින්ම සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේමය. එනම් අනුන්ට වෛර කිරීම නිසා ඔවුන්ට කිසිදු විපතක්‌ සිදු නොවන අතර තමාම දැඩි වේදනාවට අපහසුතාවට පත් වේ. 
තමන්ගේ සිත තුළ ඉරිසියාකාරී හැඟීම ඇති වූ විට සිත නොසන්සුන් වේ. කරන කියන දේ ගැන මනා වැටහීමක්‌ හෝ අවබෝධයක්‌ හෝ නැත. හරි දේ වැරදි දේ නිසි පරිදි වටහා ගැනීමට ශක්‌තියක්‌ ද නොමැතිය. ඉරිසියාවට ලක්‌ වූ අයගෙන් පලි ගැනීමට ඔවුන්ව විනාශ කිරීමට වෛරී ෙච්තනාවෙන් යුතුව ද්වේශයෙන් යුතුව ක්‍රියා කරයි. ඒ සඳහා පිඹුරු පත් සකසයි. විටෙක හදි හූනියම් වැනි විනාශකාරී දෑ පවා සිදු කිරීමට ඉඩ ඇත. අන් අය සමග ඔවුන්ව විවේචනය කිරීම, ඔවුන්ව පහත් කර කතා කිරීම, නැති අගුණ කීම, කුමන්ත්‍රණය කිරීම ආදි මේ සියල්ලක්‌ම සිදු කරන්නේ ඉරිසියාවෙන් දවාලු මිනිසුන්ම ය. නමුත් එයින් සිදුවන්නේ තමනුත් අනුනුත් යන සියලු දෙනාම විනාශයට පත් වීමයි. අනුන් නසා තමන් සැපෙන් ජීවත් වීමට එවැනි දෑ කළ ද තමන් ද එයින් විනාශයට පත්වන බව අවබෝධ කර ගත්තේ නම් එවැනි සිදුවිම් අඩුවනු ඇත. 
මම ආශා කරන යමක්‌ මට නොලැබී ඔබට ලැබෙන්නේ නම් මට කළ නොහැකි වූ දෙයක්‌ ඉතා හොඳින් ඔබට කළ හැකි නම් මම ඔබට වැඩි වැඩියෙන් ඉරිසියා කිරීමට පෙළඹේ. මමත් සමඟ විඳිය යුතු සැපත මා සමඟ නොවිඳ වෙනත් අයෙකු සමඟ විඳී නම් මම ඔබ දෙදෙනාටම ඉරිසියා කරමි. මට වඩා ඔහු හොඳ යෑයි සිතා මා ඉවත දමා ඔහු කරා ගියේ නම් මගේ නොහැකියාවට අවනත නොවන මම ඔබගේ හැකියාව දක්‌ෂතාව ඉවසා දරා නොසිට ඔබට කරදරයක්‌ වේදනාවක්‌ අපහසුතාවක්‌ ඇති වේවා යෑයි සිතින් දෙස්‌ දෙමි. යම් සේ ඔබ මා ඉක්‌මවා නොයන්නේ නම් මම කිසි දින ඔබට ඉරිසියා නොකරමි. මන්ද සැම විටම මම පළමුවැන්නා වන බැවිනි. එනමුදු මා පසු කර යැමට සූදානම් වන්නේ ද එයින්ම මම ඔබට ඉරිසියා කරමි. බලන්න ඉරිසියාවේ තිබෙන යථා තත්ත්වය මෙයයි. 
තමන් සන්තකයේ අනුන් පිළිබඳ කිසිම ආකාරයේ ඉරිසියාවක්‌ නැතැයි පැවසුවත් සැබැවින්ම ඔවුන් සමහර විටෙක තම පවුලේ සැමියට, බිරිඳට, දූදරුවන්ට, මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට ඉරිසියා කරනු ඇත. එවන් අයුරින් ඉරිසියා කර මහත් ව්‍යසන ඇති කළ අය පිළිබඳ මෑත කාලීනව සමාජයේ නොයෙකුත් පෙදෙස්‌වලින් අසන්නට දකින්නට ලැබේ. කෙසේ වුවත් තමා පිළිබඳ හොඳින් දන්නා හඳුනන අය යම් සේ ඉරිසියාවට බඳුන් වේ ද එය ඒ පුද්ගලයාගේ විනාශය පිණිසම හේතුවේ. මන්ද යහළුවාගේ සියලු තතු තමා හොඳින් දන්නා හඳුනන බැවිනි. මේ නිසාය මිතුරන් අතරේ වැඩි වශයෙන් එවන් ව්‍යසන ඇති වන්නේ. තම සිතේ කෙමෙන් හටගන්නා ඉරිසියාව ශරීරය පුරා පැතිරීමෙන් බද්ධ වෛරය දක්‌වා වැඩි වී තමන්ටත් අනුන්ටත් මහත් වේදනා ගෙන දීමේ ක්‍රියා සිදුවීමේ ප්‍රවණතාව වැඩිය. 
ඉරිසියාව ඇති අයෙකුගේ සිත බෙහෙවින්ම දූෂිත ය. ඔහුගේ සිත පමණක්‌ ම නොව ලේ ධාතුව ද නරක්‌ වෙයි. ලේධාතුව එසේ දූෂණය වීමෙන් ඔහුගේ සිත මෙන්ම ගතත් රෝගාතුර වෙයි. මෙවැනි වූ රෝග උපදවන ඉරිසියාව නැති කර ගැනීමයි බෞද්ධ පින්වත් නුවණැති අප කළ යුතු වන්නේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශිත නිවැරදි මඟ නම් අනුන්ට මෙත් වැඩීමයි. මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කළ විට එයින් තමන්ටත් අනුන්ටත් යහපතක්‌ම සිදුවේ. 

අපාදකේහි මේ මෙත්තං

මෙත්තං චතුප්පදේහි මේ

චතුප්පදේහි මේ

මෙත්තංමෙත්තං බහුප්පදේහි මේ

මෙයින් පෙන්වා දෙන්නේ අපා දෙපා සිවුපා යන මේ සියලු සත්වයින් කෙරෙහි මෙත් සිත පැතිර විය යුතු බවයි. එසේ කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි අයුරු මෛත්‍රී සූත්‍ර දේශනාවේ දී බුදුන් වහන්සේ පෙන්වා වඳාළ සේක. අනුන්ට බොරුවට තමා මෛත්‍රී විහරණයෙන් පසුවන බව ප්‍රකාශ කළත් එවැන්නක්‌ තම සිත තුළ නොමැති නම් තමා කරගන්නේ තමාටම බොරුවකි. එයින් මුළාවට පත් වන්නේ අනිකකු නොව තමන් ම ය. 

න වාක්‌කරණමත්තේන

වණ්‌ණපොක්‌ඛරතාය වා

සාධු රූපෝ නරෝ හෝති

ඉස්‌සුකී මච්ඡරී සඨෝ

අනුන්ට ඉරිසියා කරනී මසුරුකම් කරන කපටි පුද්ගලයා මිහිරි වචන කථා කළ පමණින්වත් ශරීර ශෝභාව ඇති පමණින්වත් හොඳ යහපත් මිනිසකු නො වන්නේ ය යනුවෙන් පෙන්වා දෙන්නේ මෙකී අර්ථයයි. මෛත්‍රී භාවනාව වැඩීමෙන් මෙලෝ වශයෙන් මෙන් ම පරලෝක වශයෙන් ඇති වන ප්‍රතිඵල දෙස බැලීමේ දී එය අපේ ජීවිතයට වැදගත් සාධකයක්‌ බව අවබෝධ වනු නො අනුමාන ය.
එයින් ලැබෙන ප්‍රතිඵල කෙටියෙන් දක්‌වන්නේ නම් සුවසේ නිදාගැනීමට හැකිවේ. සුවසේ පිබිදීමට හැකිවේ. නපුරු සිහින දැකීමක්‌ නැත. මිනිසුන් ප්‍රිය කරයි. අමනුෂ්‍යයින් ද ප්‍රියකරයි. දෙවියන් ආරක්‌ෂා කරයි. ගින්නෙන් වසවිසෙන් ආයුධවලින් අනතුරක්‌ නැත. සිත සමාධිගත වෙයි. මුහුණ පියකරු වෙයි. නොමුලාව කලුරිය වෙයි මරණිsන් මතු බඹ ලොව උපදී. ඉහතින් පෙන්වා දුන් ප්‍රතිඵල ළÍd කර ගත හැකි වන්නේ සැබෑ ලෙසම මෙත් වැඩීමෙන් පමණකි. මේ සමාජයේ මිනිසුන්ගේ ප්‍රශංසාවට ලක්‌ වන එක්‌ කරුණක්‌ නම් මෙත් සහගත සිතිවිලි ඇති බවයි. වත්මන් සමාජ රටාවේ දී වුව මේ ගුණ ධර්ම නො අඩුව පූරණය කිරීමේ හැකියාව නුවණැති පුද්ගලයින්ට ඇත. අපත් ඉරිසියාව දුරු කොට මෙත් සිත් උපදවා අපගේ ජීවිතය ආලෝකවත් කර ගැනීමට වෙහෙසෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X