වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සෝතාපත්ති ඵලය

ත්ත්වයාට සදාකාලික සුවයක් ඇතිකර දීම සඳහා මැනවින් මඟ විවරණය කරදීම බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් හා මහා ප‍්‍රඥාවෙන් යුක්තව සිදුකර දී තිබේ. නිවන පසක් කර ගැනීමෙනුයි, ඒ සදාකාලික සුවය ජනනය කර ගත හැක්කේ. නිවන පසක් කිරීම යනු විද්‍යාවෙහි සහ චරණයෙහි ප‍්‍රතිඵලයකි. ආරම්භයේදී ම නිවන සාක්‍ෂාත් කරණය සිදු නොවේ. ඒ සඳහා අනුපූර්ව ශික්‍ෂණයක, අනුපූර්ව කි‍්‍රයා පිළිවෙතක අනුපූර්ව ප‍්‍රතිපදාවක නිරත විය යුතු ම ය.
නිවන් මඟට පිවිසීමේ ප‍්‍රාථමික අවස්ථාව ලෙස සැලකෙන්නේ සප්පුරිස භූමියයි. හෙවත් නිවන් මඟෙහි ළාබාල ම අවධිය සප්පුරිස භූමියයි. පුථුජ්ජන භූමියත් ආර්ය ශ‍්‍රාවක භූමියත් දෙක අතර වූයේ සප්පුරිස භූමියයි. බෞද්ධ ශ‍්‍රාවකත්වයේ මූලාරම්භය ද එයයි. දස සංයෝජන ධර්මයන්ගෙන් කිසිවක් නිෂ්ඨාවට ප‍්‍රහීණ කොට නොමැති නිසා ආර්ය ශ‍්‍රාවකත්වයට මේ භූමියෙහි වූවෝ පත්ව නැත. සිදුවී ඇත්තේ පුථුජ්ජන භූමිය ඉක්මවා සප්පුරිස භූමියට පත්වීමයි. මෙම භූමියෙහි ප‍්‍රභේද දෙකකි.
1. සද්ධානුසාරී
2. ධම්මානුසාරී යනුවෙනි.
බෞද්ධ ශ‍්‍රාවකත්වයේ ආරම්භක අවස්ථාව වන සප්පුරිස භුමියෙහිත් ප‍්‍රාථමික ම අවස්ථාව සද්ධානුසාරී අවස්ථාවයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව මාත‍්‍ර වශයෙන් පිහිටන අවස්ථාව සද්ධානුසාරී අවස්ථාවයි. (තථාගතෙචස්ස සද්ධා මත්තං හොති පේමමත්තං) සද්ධා යන්නෙහි සරල අදහස ඇදහීමයි. විශ්වාසයි. එහෙත් එය අන්ධ භක්තියක් නොවන බව වටහා ගත යුතු ය. අන්ධ භක්තිය හඳුන්වන්නේ අමූලිකා සද්ධා ලෙස ය. එය බුදුදහම අප‍්‍රයෝජනවත් දෙයක් ලෙස බැහැර කරයි. ප‍්‍රතික්‍ෂේප කරයි.

අවශ්‍ය යැයි පෙන්වා දෙන්නේ කරුණු කාරණා මැනවින් විමසා ප‍්‍රඥාවෙන් දැක දැන ඇතිකර ගන්නා නිර්වාණය සාධණය කර ගැනීමේ ඉලක්කයෙන් යුත් ආකාරවතී සද්ධාවයි. නිර්වාණාධිගමනය පිළිබඳව අවශ්‍යතාව ඇත්තා ඒ නිවන් මඟ හෙළිකර දෙන නිවැරැදි ශාස්තෘත්වයක් පිළිබඳව විශ්වාසය ඇතිකර ගත යුතු ය. ඒ විශ්වාසය තුළිනුයි, ඒ නිවැරැදි ශාස්තෘත්වය වෙත එළඹෙන්නේ. එළඹීමෙනුයි ආශ‍්‍රය ඇතිවන්නේ. ආශ‍්‍රයෙනුයි, කන් යොමු කරන්නේ. කන් යොමුකිරීමෙනුයි, ධර්මය අසන්නේ. ධර්මය ඇසීමෙනුයි, ධර්මය දරන්නේ. ධර්මය දැරීමෙනුයි, ධර්මයෙහි අර්ථ පරීක්‍ෂා කරන්නේ. ධර්මයෙහි අර්ථ පරීක්‍ෂා කිරීමෙනුයි, ධර්මය වැටහෙන්නට පටන් ගන්නේ. ධර්මය වැටහෙන්නට පටන් ගන්නා විටයි, එහි යෙදීමට කැමැත්ත පහළ වන්නේ. කැමැත්ත පහළ වූ විටයි,
උත්සාහ කරන්නේ, උත්සාහ කිරීමෙනුයි, වීර්ය සමතාව ඇතිවන්නේ. වීර්ය සමතාව එනම් දැඩි වීර්යත් අඩු වීර්යත් නොමැතිව මධ්‍යම වීර්යයෙන් යුක්ත වීම තුළිනුයි බවුන් වඩන්නට හැකි වන්නේ. බවුන් වැඩීමෙනුයි පරම සත්‍ය සාක්ෂාත්කරණය කළ හැකි වන්නේ. එබැවින් නිර්වාණධිගමනයට අවශ්‍ය පිළිවෙතෙහි ආදිය හෙවත් මුල වන්නේ ශ‍්‍රද්ධාවයි.
බුදුරජාණන් වහන්සේ ගැන පමණක් නොව උන්වහන්සේ දේශිත ධර්මය පිළිබඳවද විශ්වාසය ඇතිකර ගැනීම සද්ධානුසාරි පුද්ගලයාගේ ලක්‍ෂණයයි. චක්ඛු, සෝත, ඝාණ, ජිවිහා, කාය, මන, රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම, චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිවිහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ, චක්ඛු, සොත, ඝාණ, ජිවිහා, කාය, මන යන ඉන්ද්‍රියන්ගෙන් හටගන්නා ස්පර්ශය හා වේදනාව අනිත්‍ය විපරිණාම අන්‍යතාත්ත්ව බව විශ්වාස කිරීම ද සද්ධානුසාරි පුද්ගලයාගේ ලක්‍ෂණයකි. මීට අමතරව විරිය, සති, සමාධි, ප‍්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන්ගේ කි‍්‍රයාකාරීත්වයෙහි ආරම්භය ද ඇතිවන්නේ සද්ධානුසාරි පුද්ගලයාගෙනි. සද්ධානුසාරී වූවෝ අපාය ඉක්මවූවෝ ය. සෝතාපත්ති ඵලය සාක්‍ෂාත් කරන තෙක් කලුරිය කරන්නට ද අයෝග්‍ය ය. ඔවුහු සම්බෝධිපරායණව සිටිති.
සද්ධානුසාරී අවස්ථාවෙන් මඳක් ඉදිරියට ගිය අවස්ථාව සැලකෙන්නේ ධම්මානුසාරී අවස්ථාව ලෙසයි. බුද්ධ භාෂිතය පිළිබඳ මාත‍්‍ර වූ වැටහීමක් ධම්මානුසාරී පුද්ගලයාට ඇත. (තථාගතප්පවේදිතස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානක්ඛමන්ති) සද්ධානුසාරී හා ධම්මානුසාරි පුද්ගලයන් දෙදෙනාගේ වෙනස නම් සද්ධානුසාරි පුද්ගලයාගේ සද්ධා, විරිය, සති, සමාධි, ප‍්‍රඥා ඉන්ද්‍රියන් මාත‍්‍ර වශයෙන් වැඩෙන්නට ආරම්භ වී තිබීමත් ධම්මානුසාරී පුද්ගලයා තුළ ප‍්‍රඥා ඉන්ද්‍රිය මාත‍්‍ර වශයෙන් මුහුකුරා තිබීමත් ය.
ධම්මානුසාරී පුද්ගලයා තුළ ද තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව නිෂ්ට ප‍්‍රාප්තව නොමැත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යමකු තුළ ශ‍්‍රද්ධා මාත‍්‍රයක් ඇත්නම් ඔහු ස්වර්ග පරායණ වෙයි. (සෙසං මයි සද්ධාමත්තං පෙම මත්තං සබ්බෙ තෙ සග්ගපරායණා) එහෙත් සද්ධානුසාරී හා ධම්මානුසාරි දෙදෙනා ස්වර්ගය පිහිට කොට ඇත්තන් ලෙස නොව සම්බෝධිය පිහිට කොට සිටින ඇත්තන් ලෙසයි, දක්වා තිබෙන්නේ. එහෙත් ඔවුහු නියත සම්බෝධිපරායණයෝ නොවෙති.
විසුද්ධි මග්ගය දක්වන්නේ යමෙක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නම් බහුලව සද්ධින්ද්‍රිය ලබයි ද හෙතෙම සෝතාපත්ති මාර්ග ක්‍ෂණයෙහි සද්ධානුසාරී ලෙසත් යමෙක් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ සතුටු බහුලව පඤ්ඤ˜න්ද්‍රිය ලබයි ද සෝවන් මාර්ග ක්‍ෂණයෙහි ධම්මානුසාරී ලෙසත් ය. පුථුජ්ජන බව ඉක්ම වූ සප්පුරිස භූමියෙහි වූ සද්ධානුසාරී හා ධම්මානුසාරී බවට පත්වීමට පදනම් වී ඇත්තේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සමන්විත වීම බව මේ අනුව පෙනේ.
මෙහි සද්ධා යන්න කුමක්දැයි අපි දැන් වටහාගෙන ඇත්තෙමු. අනෙක් ඉන්ද්‍රිය ධර්ම හතර පිළිබඳව ද කෙටියෙන් හෝ දැනගැනීම අවශ්‍යය. එහි සති යනු සිහියයි. එනම් යෝනිසෝ මනසිකාරයයි. කුසලාකුසල සිතිවිලිවල ප‍්‍රභවස්ථානය මෙනෙහි කිරීමේ හැකියාවයි. චිත්තේකාග‍්‍රතාව හඳුන්වනු ලබන්නේ සමාධිය ලෙසයි. පඤ්චෙන්ද්‍රියනුත්, පඤ්චෙන්ද්‍රියන්ගෙන් ලබන අරමුණුත් ඒවායින් ලබන ස්පර්ශයත්, එයින් ඇතිවන වේදනාවත් පඤ්චස්කන්ධයෙහි අනිත්‍ය, වෙනස්වීම හා අන්‍යතාත්වයත් වටහා ගැනීම ප‍්‍රඥාවයි. විරිය යනු උපන් අකුසල් දුරුකිරීමටත් නූපන් අකුසල් නූපදවීමටත් උපන් කුසල් වැඩිදියුණු කිරීමටත් නූපන් කුසල් උපදවා ගැනීමටත් දරන වෑයමයි. උත්සාහයයි.
සද්ධානුසාරී හා ධම්මානුසාරී නම් වූ සප්පුරිස භූමියට පත්වීමෙන් අපාය ගමන වළකියි. ඒ ජීවිතය තුළින් බරපතළ පාප කර්ම සිදු නොවේ. නිවන් මඟට බැස ගනී. සම්බෝධිය පිහිට කොට සිටියි. සෝවන් වන තෙක් ඇතැම් විට මිය යන්නට ද සුදුසු නැත.
බෞද්ධ ශ‍්‍රාවකත්වයේ ළාබාලම අවස්ථා දෙකක් වන සද්ධානුසාරි හා ධම්මානුසාරී අවස්ථාද්වය සම්බෝධි පරායණව එනම් සම්බෝධිය පිහිට කොට සිටින බව විස්තර කෙරෙන කදිම අවස්ථාවක් මජ්ජිම නිකායේ චූළගෝපාල සූත‍්‍රයේ හමුවේ.
”ගව රැළක් පාලනය කරන දක්‍ෂ ගව පාලකයෙක් ස්වකීය ගව රැළ සමඟ ගඟක් සමීපයට යයි. ඔහු ගව රැළ ගඟින් එතෙර කිරීමට සිතයි. සිතා මනාව පරීක්‍ෂා කර බලා ගඟෙහි සැඩ දිය පහර රහිත අවස්ථාවක යෝග්‍ය තොටුපොළකින් සිය ගව රංචුව ගඟට බස්සවයි. එදින ම උපන්නා වූ ද ගව පැටවු ද මෙම රංචුවේ වෙති. ඔවුහු ද මවු දෙනුන්ගේ හඩින් පෙළඹවීම් ලැබ පහසුවෙන් ගඟ තරණය කරති. එසේ ම නිර්වාණගාමී ප‍්‍රතිපදාවට පළමු පියවර තැබූ සද්ධානුසාරී හා ධම්මානුසාරී දෙදෙනා ද රහත් උතුමන්ගේ ආදර්ශය පදනම් කොට ගෙන ඒ උණුසුම ලබා ශ‍්‍රද්ධාවෙන් පෙළඹවීම් ලැබ සංසාරය නමැති මහ දිය පහර සිඳ නිර්වාණය නමැති ක්‍ෂේම භූමියට ප‍්‍රවිෂ්ට වන්නෝ වෙති” යනුවෙන් එම සූත‍්‍රයෙහි දේශනා කොට ඇත.
මේ අනුව සප්පුරිස භූමියෙහි වූ සද්ධානුසාරී හා ධම්මානුසාරී වූවෝ නියත සම්බෝධි පරායණ නොවූවත් සම්බෝධි පරායණ වූවෝ වෙති. අපායගාමී වූවෝ නොවෙති.

ආර්ය ශ‍්‍රාවකයාගේ ස්වභාවය


ප්පුරිස භූමිය ඉක්මවීමෙන් අනුප‍්‍රාප්ත වන්නේ ආර්ය ශ‍්‍රාවක භූමියටයි. ආර්ය භූමියට වන් ශ‍්‍රාවකයෝ ආර්ය ශ‍්‍රාවකයෝ වෙති. ඔවුහු ධුත වශයෙන් සිවු වැදෑරුම් වෙති.
1. සෝවාන් මාර්ගස්ථ හා ඵලස්ථ
2. සකෘදාගාමී මාර්ගස්ථ හා ඵලස්ථ
3. අනාගාමී මාර්ගස්ථ හා ඵලස්ථ
4. අරහත් මාර්ගස්ථ හා ඵලස්ථ
මෙයින් මාර්ගස්ථයෝ ජීවතුන් අතර නැත්තෝය. සිටින්නෝ ඵලස්ථයෝ පමණි. ඊට හේතුව මාර්ග සිත එක් අවස්ථාවක පමණක් පහළ වන හෙයිනි. දෙවරක් පහළ නොවන හෙයිනි. මේ ආර්ය ශ‍්‍රාවකයෝ කොටස් දෙකකට ප‍්‍රභේද වෙති. එනම්
1. සේඛ
2. අසේඛ වශයෙනි
ස්ඛාර්යයෝ හත් දෙනෙකි. සෝවන් මාර්ගයේ සිට අරහත් මාර්ගය තෙක් වූවෝය. අධිශීල අධිචිත්ත, අධි ප‍්‍රඥාාවෙහි ශීක්ෂණය ලබන්නෝ යන අර්ථයෙන් සේඛ නම් වෙති. අරි අටැඟි මග නමැති ශ්‍රෝතසයෙන් සමන්වාගතයෝය යන අර්ථයෙන් ද සේඛයෝ වෙති. අසේඛයෝ නම් ආර්ය මාර්ගයට බැස නිර්වාණධිගමය කළ උතුමෝ ය. එනම් රහත් උතුමෝ ය.
සෝතාපන්න ආර්ය ශ‍්‍රාවකයා
ආර්ය මාර්ය නමැති ශ්‍රෝතසව (සොත) පැමිණි (ආපන්න) පුද්ගලයා සෝතාපන්න හෙවත් සෝවන් පුද්ගලයා ලෙස හැඳින්වේ. මෙහි සොත හෙවත් ශ්‍රෝතය යනුවෙන් හැඳින්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කල්‍යාණ පුථුජ්ජනය ලෞකික මාර්ගාංගයන්ගෙන් වරක් ප‍්‍රහාණය කළ කෙලෙස් නැවත ඇති කර ගනී. වරෙක සිල්වත්ව තව වරෙක දුසිල් වේ. එහෙත් ආර්ය මාර්ග සංඛ්‍යාත ශ්‍රෝතයට වන් සෝවන් පුද්ගලයා ඒ මාර්ගයෙන් ප‍්‍රහාණය කළ කෙලෙස් යළි උත්පාදනය නොකරයි. මෙය අනෙක් මාර්ග ඵලයන්ට ද එසේ ම සාධාරණය. සෝවන් වීමෙන් සම්පූර්ණයෙන් ප‍්‍රහීණ වන කෙලෙස් තුනක් ඇත. එනම්
1. සක්කාය දිට්ඨි
2. විචිකිච්ඡා
3. සීලබ්බත පරාමාස යනුයි
සක්කාය දිට්ඨි යනු කුමක්ද ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාාණ යන පඤ්ච උපාදානස්කන්ධයෝය. හෙවත් ස්කන්ධ පඤ්චකය උපාදාන කර ගැනීමයි. මෙහිදී පඤ්චස්කන්ධයත් පඤ්ච උපාදානස්කන්ධයත් යන දෙක අතර වෙනස ද වටහාගත යුතුය.
පුද්ගලයා පිළිබඳ සමස්ත නාම රූප කි‍්‍රයාවලිය හඳුන්වන්නේ පඤ්චස්කන්ධය ලෙසයි. නොයෙක් හේතූන් නිසා බිඳී වෙනස් වී යාම රූපයේ ලක්ෂණයයි. සුඛ, දුක්ඛ, අනුක්ඛමසුඛ වශයෙන් වූ වින්දන ක්‍ෂෙත‍්‍රය වේදනාවයි. සංජානනය හෙවත් හැඳිනීම සංඥා නම් සංස්කාර යනු සංඛත සියලු දේ පුද්ගලයා තම ඡන්දරාගාදී ස්වභාවයන්ට අනුව සංස්කරණය කිරීමයි. ඉන්ද්‍රියානුසාරීව ලබන දැනීම් කි‍්‍රයාවලිය විඤ්ඤාණයයි.
මෙම ස්කන්ධ පඤ්චකය ස්කන්ධ වශයෙන් පවත්නාතාක් කල් උපාදාන ස්කන්ධ වන්නේ නැත. ඒ තාක් කල් ආධ්‍යාත්මික ගැටලුවක් ඉස්මතු ද නොවේ. මෙම ස්කන්ධ පඤ්චකය පුද්ගල මානසික කි‍්‍රයාකාරිත්වයට සම්බන්ධ වන තැන්පටන් පඤ්චස්කන්ධය පඤ්ච උපාදානස්කන්ධයක් බවට පත් වේ. අශ‍්‍රැතවත් පුථුජ්ජනයා පඤ්චස්කන්ධය තණ්හා, මාන, දිට්ඨි (මගේය, මම වෙමි, මගේ ආත්මයයි) වශයෙන් උපාදාන කර ගනී. එය හඳුන්වන්නේ පපංචකරණය ලෙසයි. ඒ අනුව පඤ්චස්කන්ධය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ප‍්‍රපංච නොකරන තාක් එය උපාදාන ස්කන්ධයක් වන්නේ නැත. සෝවාන් බවට පත්වීමෙන් ප‍්‍රපංච කරණයෙන් පුද්ගලයා බැහැර වන නිසා ඔහු තුළ සක්කාය දිට්ඨියක් හට ගන්නේ නැත.
විචිකිච්ඡා යනු සැකයයි. මෙය සාමාන්‍ය වශයෙන් ඇති වන සැකයයක් නොවේ. සත්ත්වයාගේ ආධ්‍යාත්මික තත්ත්වය මෙහිදී ගැනේ. විචිකිච්ඡාව අට වැදෑරුම්ව දක්වා තිබේ.
1. බුදුරදුන් කෙරෙහි සැකය
2. ධර්මය කෙරෙහි සැකය
3. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සැකය
4. ශික්‍ෂා කෙරෙහි සැකය
5. පෙර භව පිළිබඳ සැකය
6. මතු භව පිළිබඳ සැකය
7. පෙර හා මතු භව දෙක ම පිළිබඳ සැකය
8. පටිච්ච සමුප්පාදය පිළිබඳ සැකය
සීලබ්බත පරාමාස යනු නොයෙක් ආගම් වලට අයත් මිථ්‍යා ව‍්‍රතයන්හි එල්බ සිටීමයි. සොවාන් නොවූවකු විචිකිච්ඡාවෙන් යුක්ත වන නිසා නොයෙක් නොයෙක් මිථ්‍යාදෘෂ්ටික ශාස්තෘන් වෙත එළබ විමුක්තියට හේතු නොවන වැරැදි සීල ව‍්‍රතයන්හි නිරත විය හැකි ය. එහෙත් සෝවාන් වූවෝ ආර්ය කාන්ත ශීලයෙන් ම යුක්ත වූවෝ ය. සිලබ්බත අනුගමනය නොකරන්නෝ ය.
සද්ධානුසාරී හා ධම්මානුසාරී අවස්ථාවෙහි පැවති මාත‍්‍ර වූ ශ‍්‍රද්ධාව නොසැලෙන මුල් බැසගත් තත්ත්වයට පත් වන්නේ ද සෝවන් වීමෙනි. අවෙච්චප්පසාද, සද්ධාවිමුක්ත යන නම් වලින් හැඳින්වෙන්නේ ද ඒ මුල්බැසගත් ශ‍්‍රද්ධාවයි. සෝතාපන්න පුද්ගලයා අංග හතරකින් යුක්තය.
1. බුදුරදුන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවන්තයෙකි
2. ධර්මය කෙරෙහි අචල ශ‍්‍රද්ධාවන්තයෙකි
3. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල ශ‍්‍රද්ධාවන්තයෙකි
4. ආර්ය කාන්ත ශීලයෙන් සමන්විත වූවෙකි
සෝතාපන්න ආර්ය ශ‍්‍රාවකයා නියත සම්බෝධි විරායණව සිටින නිසා නිවන් මගට බැස ගෙන සිටින නිසා ඔහු ලබා ඇති ආත්ම භාවයේදීම නිවන සාක්‍ෂාත් කරණයට සුදුසුය. එහෙත් යම් හෙයකින් ඉන් එහා ඇති සකෘදාගාමී ආදි තත්ත්වයන්ට පත්වීමට නොහැකි වුවහොත් ආත්මභාව හතක් ඇතුළත නිවන්අවබෝධයට සුදුසු ය. ඒ අනුව සෝතාපන්න පුද්ගලයෝ කොටස් තුනකින් යුක්ත වුවෝ ය. එනම්,
1. සත්තක්ඛත්තු පරම
2. කෝලං කෝල
3. ඒක බීජී යනුවෙනි
සෝවන් වී ආත්ම භාව හත්වැන්නෙහි නිවන් සාක්ෂාත් කරන්නා සත්තක්ඛත්තු පරම නම් වේ. භව දෙක තුනක් ලොව සැරිසරා නිවන් අවබෝධ කර ගන්නේ කෝලංකෝල සෝතාපන්නයා ය. ඒක බීජී යනු මතු එක් මනුෂ්‍ය ආත්මයක පමණක් ඉපිද ඒ භවයෙහි නිවන් අවබෝධ කරගන්නා ය. සෝතාපන්නයෝ කවර හේතුවකින් වත්නිරයගාමීහු නොවෙති. ඔවුහු නියත සම්බෝධි පරායණයෝ ය.
සකෘදාගාමී ආර්ය ශ‍්‍රාවකයා
එක් වරක් පමණක් මෙලොව ඉපදීම් වශයෙන් පැමිණ දුක් කෙළවර කරන්නේ සකෘදාගාමී ආර්ය ශ‍්‍රාවකයාය. (සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කාරිස්සති) සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන සංයෝජන තුන ක්‍ෂය වීමෙන් රාග ද්වේෂ මෝහ තුනී වීමෙන් ඇති වන තත්ත්වය සකෘදාගාමී නම් වේ.
සකෘදාගාමී වීමෙන් නිරවශේෂයෙන් නැතිවන ක්ලේශයක් නැත. කාමරාග හා පටිඝ යන සංයෝජන දෙක තුනී වීම පමණි සිදු වන්නේ. කාම රාග යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්හි ඇති ඇල්මයි. පටිඝ යනු ව්‍යාපාදයයි. සකෘදාගාමී වීමෙන් මේවා තුනී වේ.
අනාගාමී ආර්ය ශ‍්‍රාවකයා
පඤ්ච ඕරම්භාගීය සංයෝජන ක්‍ෂය කිරීමෙන් කාම ලෝකයට නැවත නොපැමිණෙන බවත් බඹ ලොවෙහි ම පිරිනිවන්පාන බවත් අනාගාමී ආර්ය ශ‍්‍රාවකයා පිළිබඳව ඉගැන්වීමයි. (පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පිරිනිබ්බාති අනාවත්ති ධම්මො) සකෘදාගාමී වීමෙන් තුනී වූ කාමරාග හා පටිඝ දෙක අනාගාමී වීමෙන් නිරවශේෂයෙන් ප‍්‍රහීණ වෙයි.
පඤ්ච ඕරම්භාගිය සංයෝජන යන්නෙන් අදහස් කරන්නේ පහත් පෙදෙස් කරා පුද්ගලයාව රැගෙන එන සංයෝජන ධර්මයි. පහත් පදෙස් නම් කාම භූමියි. එහෙයින් අනාගාමී උතුමෝ කාම භූමින්හි නූපදිති. අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන පඤ්ච සුද්ධාවාසයන්හි ඉපිද එහිදීම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිණිවෙති.
අනාගාමී ප‍්‍රභේද
අනාගාමී උතුමන්ගේ ප‍්‍රභේද පහක් දැක්වේ
1. අන්තරා පරිනිබ්බායි
2. උපහච්ච පරිනිබ්බායි
3. අසංඛාර පරිනිබ්බායි
4. සසංඛාර පරිනිබ්බායි
5. උද්ධංසොත අකනිට්ඨගාමී
පඤ්ච සුද්ධාවාස අතරින් එකක ඉපිද එහි නියමිත ආයු ගෙවන්නට කලින් ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නාහු අන්තරා පරිනිබ්බායි අනාගාමීහු ය.
අන්තරා පරිනිබ්බායි අනාගාමියාට වඩා උපාදාන ශක්තිය උපහච්ච පරිනිබ්බායි පුද්ගලයාට තිබෙන නිසා උපන් බඹලොව නියමිත ආයු විද රහත් බව ලබා පිරිනිවීම උපහච්න පරිනිබ්බායි අනාගාමියාගේ ලක්‍ෂණයයි. උත්සාහ නොකර නිවන් ලබන්නේ අසංඛාර පරිනිබ්බායි යැයි ද උත්සුකව නිවන් ලබන්නේ සසංඛාර පරිනිබ්බායි යැයි ද අටුවාවේ දැක්වේ. උද්ධංසොත අකනිට්ඨගාමී පුද්ගලයා යනු අනුක‍්‍රමයෙන් අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන සුද්ධාවාසයන්ට පිළිවෙළින් පැමිණ නියමිත අයු ඇති තෙක් හිඳ ආයුෂ අවසානයෙහි පිරිනිවෙන්නා ය.
අරහත් ආර්ය ශ‍්‍රවකයා
සකල ක්ලේශයන් ප‍්‍රහීණ කිරීමෙන් ලබන ලොකුත්තරිය තත්ත්වය වන නිවනට පත් උතුමා හඳුන්වන්නේ අරහත් නාමයෙනි. පඤ්ච ඕරම්භාගිය සංයෝජන නිරවශේෂ ප‍්‍රහාණයෙන් අනාගාමී වන පුද්ගලයා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා යන සංයෝජන පහ සිඳලීමෙන් අරහත් වන බව අටුවාව දක්වයි.
එහෙත් උද්ධම්භාගිය සංයෝජන ධර්ම සිඳීම පිළිබඳ විශේෂ සඳහනක් සූත‍්‍ර දේශනා තුළ නොමැත. සෝවන්, සකෘදාගාමී, අනාගාමී තත්ත්වයට පත්වීමේදී ක‍්‍රමයෙන් දස සංයෝජනයන්හි එන ඕරම්භාගිය සංයෝජන දුරුලන අයුරු සූත‍්‍ර දේශනාවල එයි.
එහෙත් උද්ධම්භාගිය සංයෝජන සිඳීමක් ගැන නොව සියලු ආශ‍්‍රව සිඳීමක් පිළිබඳ පෙළෙහි සඳහන් වේ.
‘ආසවානං ඛයා අනාසවං චෙතො විමුක්තිං
පඤ්ඤා විමුක්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා
සච්ජිකත්වා උප සම්පජ්ජ විහරෙය්‍යන්ති’
යන සඳහනෙන් එය පෙනේ. එහෙත් පඤ්ච ඕරම්භාගිය හා උද්ධම්භාගිය සංයෝජන පිළිබඳ ද්විධ වර්ගීකරණයක් සූත‍්‍ර වල දැක්වේ.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X