වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බුදු ගුණ වර්ණනා කළ විපාක

සුවඳ වෙන්න හැමෝම කැමති යි.. එහෙම නේ ද..? ඒත් මේ කය ගඳයි.. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා අමුතුම (දු)ගන්ධයක් හමන්න ගන්නවා..
කොහොම වුණත්, ඔබ දන්නව ද, ඇත්තට ම මේ ශරීරයෙන් සුවඳ හමන අය මේ ලෝකෙ හිටියා. විස්වාස කළත් නැතත් මේ කියන්නේ ඒ වගේ උත්තමයෙක් ගැන.සුවඳවත් සිරුරක් ඇති ව ඉපදුනු නිසා ම මේ පින්වන්තයාට නම තිබ්බේ සුගන්ධ කියල. පසුකාලෙක පැවිදි ජීවිතට පත් වුණ උන්වහන්සේ තමන් ගේ සිරුරෙන් හමා ගිය සුගන්ධය ගැන කියන මේ විස්තරය අහන්න..මාගේ පිටතට හෙළන වාතය ද මුඛගන්ධය ද ශරීර ගන්ධය ද එසේ ම මාගේ දහදිය ගන්ධය ද සෑම විට ම අනෙක් සියලු සුවඳ ඉක්මවා පවතියි.සෑම විට ම මාගේ මුව සුවඳ, නෙලුම් මානෙල් සපුමල් සුවඳ මේ වැනි යැයි පෙන්වමින් හමා යයි. මාගේ සිරුරේ සුවඳ ද එසේ ම යි.පුදුම යි නේ ද..? සමහර විට අල්ප ශ්‍රද්ධාව ඇති කෙනෙකුට නම් පිළිගන්නට පවා අපහසු වෙන්න ඉඩ තියෙනවා. නමුත් සත්‍ය කියන දේ පිළිගැනීම හෝ නො පිළිගැනීම මත රදා පවතින්නෙ නැහැ.කොහොම නමුත් මේ වගේ සුගන්ධවත් සිරුරක් ඇතිව උපදින්න හේතු වුණේ මොන වගේ පිනක් නිසා ද කියල දැන ගන්න එක අපි හැමෝට ම ප්‍රයෝජනවත් වේවි..!!!
කාශ්‍යප කියන මහාඉසිවර බුදු සමිඳුන් මේ ලෝකය බබුළුවපු කාලෙ, එක් තරුණයෙක් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයට සිත පහදවාගෙන පැවිදි බිමට පත් වුණා. ඒ විදියට පැවිදි වෙලා ටික කාලෙකින් ම බහුශ්‍රැත භාවයට පත්වෙලා, විචිත්‍ර වැටහීම් ශක්තියකින් යුතු වුණා.ඉතින් උන්වහන්සේ මහා පිරිස් මැද, ඉතා සතුටු සිතින් යුතු ව ඒ ස්වර්ණවර්ණ වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ නැවත නැවත වර්ණනා කළා. ඒ විදියට වර්ණනා කරමින් පිරිස මැද ධර්ම කථාවක් කළා. ඉන් පසු ඒ ජීවිතය ගත වෙලා මරණයට පත් වුණාට පස්සේ, ඒ ස්වාමීන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා අපමණ සැප වින්දා..එතනින් චුත වෙලා අපේ බුදු රජාණන් වහන්සේ ගේ කාලෙ තමයි සුගන්ධ කියන නමින් මේ මිනිස් ලෝකෙ ඉපදුනේ.තමන් වහන්සේ කලින් ජීවිතයේ දී සිදු කර ගත්ත පින සිහි කරමින් උන් වහන්සේ අපිට ගොඩක් දේවල් කියා දෙනවා..උන්වහන්සේ කියා දෙනවා, බුදු රජාණන් වහන්සේ ගැන භක්තිය ඇති කෙනාට, ආයුෂ ගෙවිල ගියාට පස්සෙ නිවන පහසුවෙන් ලැබෙනවා කියල. බලන්න කලින් ජීවිතයේ දී කාශ්‍ය බුදු රජාණන් වහන්සේ ගැන භක්තියෙන් ඉඳල මිය පරලොව ගියාට පස්සෙ, අපේ බුදු රජාණන් වහන්සේ ගෙ කාලෙ උන්වහන්සේට නිවන් සුව ලැබුණා..ඒ වගේ ම උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාන්ත වූ යසසට ඉතා හොඳින් වන්දනා කළා, ගරු කළා, ඒ නිසා යම් යම් තැනක ඉපදුනා ද ඒ හැම තැනක දි ම උන්වහන්සේ යසස් ඇති කෙනෙක් වුණා..භාග්‍යවතුන් වහන්සේවත් ඒ අසංඛත ධර්මයත් වර්ණනා කරල අනෙක් සත්වයින්ට සැප ගෙන දෙන කෙනෙක් වුණ නිසා උන්වහන්සේ සැප ඇති කෙනෙක් වුණා.ඉතා ම ප්‍රීතියෙන් බුදු රජාණන් වහන්සේ ගේ ගුණ කියල, තමන් වහන්සේ ගෙ සිතේ ත්, අනිත් අය ගෙ සිත්වලත් බුදු සමිඳුන් ගැන කැමැත්ත ඇති කරවපු නිසා, සිත් අලවන සුලු කෙනෙක් වුණා.මිත්‍යා දෘෂ්ටික ජනසමූහයා මැද්දේ, භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ කියමින්, බුදු රජාණන් වහන්සේ ව බැබළවූ නිසා ඉතා පැහැපත් කෙනෙක් වුණා..සම්මා සම්බුදු මුනිඳුන් ගේ ගුණ කියපු නිසා ම, සරා සද වගේ බොහෝ මිනිසුන්ට ප්‍රියංකර දර්ශනයකින් යුතු කෙනෙක් වුණා..තමන්ට හැකි පමණින් සියලු වචනයන් ගෙන් භාග්‍යවතුන් වහන්සේට ස්තුති කළා. ඒ නිසා වාගීශ්වර වුණා. විසිතුරු වූ වැටහෙන නුවණින් යුතු වුණා..සැකයෙන් යුතු ව යම් කිසි බාල මනුස්සයෙක් භාග්‍යවතුන් වහන්සේට නින්දා අපහාස කළා ද, ඒ අයට කරුණු සහිත ව නිග්‍රහ කළා. ඒ නිසා නිග්‍රහ නො ලබන කෙනෙක් වුණා.බුදු ගුණ වර්ණනා කරලා සත්වයන් ගේ කෙලෙස් දුරු කළා. ඒ නිසා ම නිකෙලෙස් සිත් ඇති කෙනෙක් බවට පත් වුණා.බුදු ගුණ සිහි කරමින් ධර්මය දේශනා කරලා, අන් අයට නුවණ ඉපදෙව්වා. ඒ නිසා ප්‍රඥා ඇති කෙනෙක් බවට පත් වෙලා, සියුම් වූ අර්ථ දැන ගන්නා කෙනෙක් බවට පත් වුණා. හැම ආශ්‍රවයක් ම ක්ෂය කරලා දර රහිත ගින්නක් නිවී යනවා වගේ පිරිනිවනට පත් වුණා.ඒ කල්පයේ බුදු ගුණ වර්ණනා කළ නිසා එහි විපාක වශයෙන් නිවන් දකිනා ජීවිතය දක්වා ම දුගතිය ඉපදුනේ නැහැ…
ඉතින් යාලුවනේ, බලන්න බුදු ගුණ වර්ණනා කිරීමේ විපාක අනන්ත යි අප්‍රමාණ යි..එහෙම වෙන්නෙ බුදු ගුණ අනන්ත නිසා, අප්‍රමාණ නිසා.ඉතින් ඒ සම්බුදු සමිඳුන් ගේ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන මේ යුගයේ ඔබත් හැකිතරම් බුදු ගුණ සිහි කරන්න. බුදු ගුණ කථා කරන්න. බුදු ගුණ වර්ණනා කරන්න. ඔබට මහා සැපතක් අත් වේවි…හැබැයි තව පුංචි කරුණක් කියන්න ඕන. මේ දේ ඉතා ම වැදගත්. ඒ තමයි, ගොඩක් වෙලාවට, යම් කිසි කෙනෙක් පිනක් කරල ඒකට විපාක විඳිනවා අහන්ට ලැබෙන කොට, එහෙමත් නැත්නම් දකින්ට ලැබෙනකොට, බොහෝ දෙනෙක් තුළ ඇති වෙන්නේ ඒ සැපතට කැමැත්තක් විතර යි. ඒ කෙනා ඒ සැප ලබා ගන්න අනුගමනය කරපු ක්‍රමය අනුගමනය කරන්න බොහෝ අයට සිහියක්, කැමැත්තක් උපදින්නෙ නැහැ..නමුත් සුගන්ධ ස්වාමීන් වහන්සේ ඒ විදියට බුදු ගුණ වර්ණනා කළේ, ශරීරයෙන් සුවඳ හමවා ගැනීමේ අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ නිසා ම උන්වහන්සේ ගේ සිතේ තිබුණේ බුද්ධාලම්බන ප්‍රීතිය පමණ යි. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි, ඒ සා මහා සැපතක් ලැබුවේ..දැන් මේ පින ගැන අහල අපිත් බුදු ගුණ කියන්න හදන කොට, අපේ හිතේ බුද්ධාලම්බන ප්‍රීතිය මැඩගෙන, එයින් ලැබෙන විපාකයට කැමැත්තක් ඇති වුණොත්, අපේ හිත කෙලෙසෙනවා. ප්‍රීතිය වෙනුවට, කාමයන්ට තිබෙන කැමැත්ත ඉස්මතු වෙනවා. ඒ වගේ සිතකින් බුදු ගුණ වර්ණනා කළත් යම් විපාකයක් ලැබෙනවා ම තමයි. නමුත් ඒක මහත්ඵල මහානිසංස නැහැ. ඒක හොදින් සිතේ තබා ගන්න.ඇත්තෙන් ම ඔබට බුදු ගුණ වැනීමේ විපාක ගැන ගොඩක් ම කිව්වේ, ඒ ගැන හිතල හෝ යම් කෙනෙක් බුදු ගුණ ගැන සිත පහදවා ගත්තොත්, හිස් වචන කථා කර කර ඉන්න කටවල් වලින්, එක ම එක බුදු ගුණයක් හරි කිව්වොත්, ඒ කෙනාට ඒ දේ දීර්ඝ කාලයක් සැපත පිණිස පවතින නිස යි. එහෙම නැතිව සැප සම්පත්වලට ළාමක ආශාවක් ඇති කරවන්න නොවෙයි..ඒ නිසා ඔබත් බුදු ගුණ කියන කොට, කථා වෙනකොට, බුදු සමිඳුන් ගැන ම සිත පිහිටුවා ගන්න උත්සාහ කරන්න. මේ බුදු ගුණ අහල එක්කෙනෙක් ගෙ හෝ හිත නිවේවා, බුදු සමිඳුන් ගැන පැහැදීම ඇති කර ගනිත්වා, සැප ලබත්වා,නුවණ ලබත්වා, කියන කරුණාව මෛත්‍රිය ම ඇති කරගන්න..එතකොට ඔබ කැමති වුණත් නැතත්, ඔබේ ජීවිතය සුවඳවත් වේවි.. නිවී සැනසෙන්නට ඒ පින ඒකාන්තයෙන් ම උපකාර වේවි..එය එසේ ම වේවා..!!!සුගන්ධ මහරතන් වහන්සේ පෙර ජීවිතයක දී මහඉසිවර කාශ්‍යප බුදු සමිඳුන් ගේ ගුණ වර්ණනා කළ ආකාරය දළ වශයෙන් මේ විදියට ලියන්නම්.. ඔබේ සිත පහදවා ගන්නටත්, බුදු ගුණ දරාගෙන අන් අයවත් බුදු ගුණ කෙරෙහි ම පහදවන්නට ත් මෙය උපකාර වේවා..!!!
ඒ බුදු රජාණන් වහන්සේ, සොඳුරු සඳු මෙන් අස්වැසිලි ඇති කරන සේක. හිරු මෙන් අඳුරු ලොව එළිය කරන සේක. වැහිවලාවක් මෙන් කෙලෙස් ගිම් නිවලන සේක. මහසයුර මෙන් ගුණ මැණික් ආකරයක් වන සේක.මහමුනිරජාණෝ සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමවත් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් කිසි තැනෙක නො ඇලෙන සේක.මහමුනිරජාණෝ සසර සයුරින් ජයනා ගොඩලමින් සිවුසස් දහම් දෙසන සේක. දේවාතිදේව වනසේක. ස්වර්ණවර්ණ වන සේක.දුරුකළ කෙලෙස් ඇති සේක. උවදුරු රහිත සේක. දුරු කළ සැක ඇති සේක. සියලු කර්ම ක්ෂය කළ සේක. සියලු දුකින් මිදී ගිය සේක.මේ ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ය. මේ අනුත්තර වූ සිංහරාජයාණන් ය. දෙවියන් සහිත ලෝකයාට බ්‍රහ්මචක්‍රය පවත්වන සේක.මහා ඉසි වන සේක. තමන් වහන්සේ දමනය වී මිනිසුන් දමනය කරන සේක. ශාන්ත වී ජනයා ශාන්ත කරන සේක. තමන් නිවීමට පත් වී අන් අයද නිවන සේක. තමන් අස්වැසුමට පත් වී ලෝකය අස්වසන සේක.ඒ බුදුරජුන් වීර ය. ශූර ය. නැණවත් ය. පැණවත් ය. කාරුණික ය. ලෝකය වසඟ කළ සේක. දිනූ කෙලෙස් ඇති සේක. සොඳුරු ජීවිත පැවතුම් ඇති සේක. ආලය රහිත සේක.සර්වඥයන් වහන්සේ තණ්හාව දුරු කළ සේක. නිශ්චල ය. නුවණැති සේක. මෝහය නැති සේක. අසමය. පරම වගකීම උසුලන්නේ ය. නාගය. සිංහය. ගුරුවරුන් අතරේ ශක්‍රයා වැනිය.රාගය නැත්තේ ය. නිර්මල ය. ශ්‍රේෂ්ඨ ය. වාදින් අතරෙහි ශූර ය. පව් දුරු කළේ ය. රාගා දී හුල් නැති සේක. කෙළෙස් කිළිටු නැති සේක. අසමය. සන්සුන් ය. පිරිසිදු ය.පව් බැහැර කළ සේක. කෙළස් සංවර කළ සේක. කෙලෙස් ලෙඩට වෙදැදුරාණෝ ය. මාර යුද්ධයෙහි යෝධයාණෝ ය. බුද්ධ ය. ලොවෙහි ප්‍රකට ය. සාරථී ය. නිශ්චලය. මුදිතාවෙන් යුතු වන සේක. ප්‍රමුදිත වූ සේක..තෘප්තිමත් ය. මහාකරුණා ආදී ගුණ දන්නේ ය. කෙලෙස් නැසූ සේක. ශාන්තිය ඇති කරන්නේ ය. නිවන් මගට පමුණුවන්නේ ය. අමාදම් දෙසන්නේ ය. ශ්‍රාවකයන් සතුටට පත් කරන්නේ ය. සංසාර චක්‍රයේ අර බිඳලන්නේ ය. කෙලෙස් බන්ධන සිඳින්නේ ය. හික්මෙණු කැමති සත්වයන් ගේ හඬ, භවාග්‍රයෙහි සිට නමුත් අසන්නේ ය. යහපත් ගුණයට පසසන්නේ ය.උවදුරු රහිත ය. සැක රහිත ය. තණ්හා විරහිත ය. කෙලෙස් දූවිලි රහිත ය. ඉවසන සේක. නිවන් මග වැඩි සේක. මග නො මග දෙසන සේක. හිත අහිත පවසන සේක.සසරින් එතෙර කරවන සේක. යහපත සළසන සේක. නිවන සිදු කරන්නේ ය. කෙලෙස් ගල් කුළු පලා දමන සේක. නිවනට පමුණුවන සේක. දුටු දුටුවන් සිත් ගන්නේ ය. වීර්ය ඇති සේක. තපෝ ගුණ ඇති සේක....සම සිත් ඇති සේක. අසමසම වන සේක. අසහාය වන සේක. දයා ගුණයට වාසස්ථානයක් වැනි ය. පරම ආශ්චර්යවත් ය. සියල්ල දන්නා සේක. නිවන පිණිස සියල්ල සිදු කළ සේක. වචනයෙන් විස්තර කළ නො හැකි තරම් අසිරිමත් වන සේක. මහා ඉසිවන සේක.දුරු කළ සැක ඇති සේක. මාන රහිත ය. පමණ කළ නො හැකි ගුණ ඇති සේක. උපමා විශය ඉක්මවා ගිය සේක. වර්ණනා විෂය ඉක්මවා ගිය සේක. සියලු ධර්මයන් ගේ පරතෙරට වැඩි සේක. මරු පැරදවූ සේක..

මිනිසත් බව අර්ථවත් කරවන දානය


ආචාර්ය පූජ්‍ය ගලගෙදර රතනවංස හිමි

දානය කියන වචනයෙන් පැහැදිලි වන්නේ තමන් සතු ධනය අනුන් සමග බෙදා හදාගෙන ජීවත් වීමේ ක්‍රමයයි. ආගමික සාමාජික වශයෙන් පමණක්‌ නොව පෞද්ගලික වශයෙන් බැලුවද මෙතුළින් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. ආත්මාර්ථකාමීකම අඩුකර ගන්නට දන්දීම උදව් වෙනවා සේම පරාර්ථකාමී හැඟêම් දියුණු කර ගන්නටද එතුළින් මග පෑදෙනු ඇත.

බුද්ධ ධර්මයේ හැටියට පැවිදි පක්‍ෂය ශ්‍රද්ධාවන්තයන්ගේ දානයෙන් ජීවත් වෙමින් ජාතික, ආගමික සේවාවන්හි යෙදෙමින්ම ශ්‍රමණ පිළිවෙත් රකිනු ඇත. වැඩිහිටි නිවාසවල, අංගවිකල වූවන්ගෙ නිවාසවල, අනාථ නිවාසවල දසදහස්‌ ගණනින් සැනසුම් සුසුම් හෙළන්නෙ දානපතින්ගෙ කාරුණික අනුග්‍රහයෙන් බව කීවොත් ඉතා නිවැරදිය. සුබසාධන ව්‍යාපාර මගින් පිහිට පිළිසරණ අවශ්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවන්නට දානශීලින්ගෙන් ලැබෙන උදව් උපකාර බොහෝ විශාලය. සපයන ධනයට වහල් වී කවුරුත් මසුරු සිටුවරුන් වන්නේ නම් සමාජයේ සිටින අනුන්ගෙ පිළිසරණක්‌ නැතිව ජීවත් වීමේ ශක්‌තිය නැති අයගෙ ජීවිතවලට බලගතු ප්‍රශ්නයක්‌ මතු වෙනවාට කිසිදු සැකයක්‌ නැත.

මිනිසත් බවේ වටිනාකම හඳුනා ගත් සැදැහැති බෞද්ධයෝ දන් දෙන්නේ බොහොම ශ්‍රද්ධාවකින්ය. ඔවුන් සමාජ සුබසිද්ධිය වගේම කෙනකුට යහපතක්‌ සලසා සසරටත් තමන් පිහිටක්‌ සලසා ගන්නවා නිරනුමානය. සසර වසන තුරු, නිවන් දකින තුරු සැප සම්පත් ඇතිව ජීවත්වීමට මග පාදා ගන්නේද දානයේ වටිනාකම දන්නවුන්ය. ආහාර දානයෙන් ලෞකික වශයෙන් සසරට ලැබෙන සම්පත් සතරක්‌ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා රාජකුමාරිකාවට කළ දේශනයකින් පැහැදිලි වේ. ඒ අනුව ආහාර දානයත් සමග පිළිගෙන වළඳන භික්‌ෂූන් ඇතුළු ඕනෑම කෙනෙකුට ආයුෂ, සැපය, බලය යන සතර වැදැරුම් සම්පත්තීන් ලබාදෙන බවත් ඒ දීමනාවේ ආනිශංසයෙන් තමන්ටත් විපාක පෙරලා ලැබෙන බවත් වැඩි දුරටත් සඳහන් වේ.

"ආයුං ඛො පන දත්වා ආයුස්‌ස භාගිනි හොති දිබ්බස්‌ස වා මානුසස්‌ස වා" කෙනෙකුට ආයුෂ පිරිනැමූ කල තමන්ටත් දිව්‍යමය ආයු සම්පත් ලැබෙනු ඇත. කෙනකුට ලක්‍ෂණ වීමේ ශක්‌තිය පරිත්‍යාග කළාම ඒකට විපාක වශයෙන් තමන්ටත් ලක්‍ෂණ වෙලා ඉපදීමේ වාසනාව ලැබ දෙන්නේය. මේ මිනිස්‌ ලොව තුළ අනුන් වෙනුවෙන් සැප සම්පත් ලබා දුන්නාම දිව්‍යමය හා මනුෂ්‍යමය සැප ලබා ගැනීමට පුළුවන්කමක්‌ ඇත. දීම තුළින් සසර පුරා ශක්‌ති සම්න්න අය වශයෙන් ඉපදීමේ භාග්‍යද හිමි වේ.

මනුස්‌ස ආත්මභාවයක්‌ ලබන ඕනෑම පුද්ගලයෙකුට ප්‍රධාන අවශ්‍යතා සතරක්‌ ඇත. එම කරුණු දන්දීමෙන් ලැබෙන බව බුදු රජාණන් වහන්සේ විසින් සුප්පාවාසා රාජ කුමාරිකාවට දේශනා කොට ඇත. එනම්

දීර්ඝආයුෂ

ශාරීරික ලක්‍ෂණ

ශාරීරික සැපය සහ

ශාරීරික බලය ආදී වශයෙනි

මේ කරුණු ලබා ගැනීම සඳහා දන් දීම ප්‍රධාන බලවේගයක්‌ වනවා සේම දන් දීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් එහි ආනිසංස තමන් වෙත පෙරලා විපාක දෙන බව අවබෝධ කොටගෙන තිබීමද ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වේ.

බුදු රජාණන් වහන්සේ මෙම දානය කියන වචනයට දී ඇති ස්‌ථානය පිළිබඳ පරීක්‍ෂා කර බැලීමේදී ඒ සඳහා සෑම ස්‌ථානයකදීම ප්‍රමුඛස්‌ථානයක්‌ ලැබී තිබෙන යුරු දැක ගත හැකිය.

දානං ශීලංච නෙක්‌ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං

ඛන්ති සච්ච මදිට්‌ඨානං - මෙත්තු පෙක්‌ඛා ඉමේ දස

බෝ සතාණන් වහන්සේ ලොව්තුරා බුදු බව පතාගෙන දස පෙරුම්දම් පුරන ලදී. එහිදී පළමු වැන්න වශයෙන් ගණන් ගැනෙන්නේ මෙම දානයයි. උන්වහන්සේ සසර සැරිසරන ආත්ම භාවවල මෙම දානය නොහොත් දීම උසස්‌ම ආකාරයෙන් සිදු කරන ලදී.

සෝ සාගරේ ජලදිකං රුධිරං අදාසි

භූමිං පරාජිය සමං ස මදාසි දානං

මේරුප්පමාන මදිකංච සමෝලි සීසං

කේතාරකා දිකතරං නයනං අදාසි

උන්වහන්සේ තුළ දීමේ ෙච්තනාව මොනතරම් උසස්‌ අයුරින් තිබුණිද කියතොත් මහා සාගරයේ ජලය පරදවා රුධිරය දන් දී ඇත. මහ පොළොවෙ පස්‌ පරදවා මස්‌ දන් දී ඇත. අහසෙ තරු පරදවා ඇස්‌ දන් දී ඇත. මහාමේරු පර්වතය පරදවා හිස්‌ දන් දී ඇත. මෙම පරිත්‍යාගය සිදුහත් බෝසතාණෝ එක්‌ එක්‌ ආත්ම භාවවල බුදු බව පතා සම්පූර්ණ කරන ලදී. එය දාන පාරමිතාව වශයෙන් හැඳින් වේ.

දානං සීලං පරිච්චාගං - අඡ්ජවං මඡ්ජවං තපං

අක්‌කෝධො අවිහිංසෝ - ච - ඛන්තී ච අවිරෝධතා

ගිහියෙකු වශයෙන් ලබන්නට පුළුවන් ඉහළම සම්පත්තිය වන්නේ චක්‍රවර්ති රාජ සම්පත්තියයි. ඒ තත්ත්වයට පත්වන රඡ්ජුරුවෝ රට පාලනය කරනු ලබන්නේ දස රාජ ධර්ම තුළිනි. එම රාජ ධර්ම තුළින් රට පාලනය කිරීමේදී රටක සමෘද්ධිය සෞභාග්‍ය නිතැතින්ම ඇති වේ. එම රාජ්‍ය ධර්මවලත් පළමු අංකයට ගැනෙන්නේ දානයයි. එයිනුත් දානය නැමති වචනයට ලබා දී ඇති ස්‌ථානය මනාව පැහැදිලි වේ.

දානං සීලංච භවනා - පත්ති පත්තානු මෝදනා

වෙයHd වච්චා පචායඤ්ච - දේසනා සුති දිට්‌ඨිජූ

සෑම බෞද්ධයෙකු විසින්ම කර ගත යුතුම පින්කම් දහයක්‌ පිsළිබඳ බෞද්ධාගම තුළ උගන්වා ඇත. ඒවා සිදු කර ගැනීමෙන් පින් සිතුවිලි වැඩි දියුණු වේ. ඒවා හඳුන්වා ඇත්තේ දස පුණ්‍යක්‍රියා වශයෙනි. සතර සංග්‍රහ වස්‌තුවලත්, ත්‍රිපුණ්‍යක්‌ක්‍රියා වලත් මේ ආකාරයෙන්ම දානය නමැති වචනයට ප්‍රමුඛස්‌ථානය ලබා දී ඇත.

දානය නොහොත් දීම පෞද්ගලික වශයෙන් මෙන්ම සාමූහික වශයෙන්ද කළ හැකි උතුම් ක්‍රියා දාමයකි. කෙනෙකුට පෞද්ගලික වශයෙන් ප්‍රයෝජනය ලැබීම සඳහා ගැනීමට යමක්‌ දීමත් පින්කමකි. පිරිසකට සාමූහික වශයෙන් ප්‍රයෝජන ලැබීම සඳහා යමක්‌ පූජා කිරීම ඊටත් වඩා මහඟු පින්කමකි. කිසියම් දානමය පින්කමක්‌ මහානිසංස වීමට කරුණු කීපයක්‌ සම්පූර්ණ විය යුතු බව වැඩි දුරටත් පෙන්වා දී ඇත. "තිණ්‌ණං සම්මුකී භාවා සද්ධෝ කුලපුත්තෝ බහුං පුඤ්ඤං පසවති."

දන් දීමේදී කරුණු තුනක්‌ සම්පූර්ණ විය යුතු අතර, එසේ සම්පූර්ණ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාට ලොකු පිනක්‌ අත්පත් වේ. එම කරුණු තුන නම්

තමන්ගෙ සිතේ පිරිසිදු බව

දෙන දාන වස්‌තුවේ පිරිසිදු බව

දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහකයන්ගේ පිරිසිදු බව එය වැඩි දුරටත් පැහැදිලි කළොත් පිරිසිදු සිතින්, ධාර්මිකව සපයා ගන්නා ලද දාන වස්‌තුවක්‌ සිල්වත් පිරිසකට පරිත්‍යාග කළාම උසස්‌ පිනක්‌ ලැබෙන බවයි.

සමස්‌තයක්‌ හැටියට ගත් කල හැම කෙනකුම ආහාර දානයෙන් සංග්‍රහ ලබන්න කැමති නොවනු ඇත. එයට හේතුව පුද්ගල අවශ්‍යතා විවිධ වීමය. එවැනි අවස්‌ථාවලදී ධර්ම දානයෙන් සංග්‍රහ කිරීම උතුම් දානය හැටියට බුද්ධ දේශනාවේ සඳහන් වේ. "බාලසංගහව සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කොට ඇත." ඒතදග්ගං භික්‌ඛ වේ දානානං යදිදං ධම්ම දානං" මහණෙනි දානයන් අතුරෙන් ධර්ම දානයම අග්‍ර වේ. ධර්මයෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ලෞකික වශයෙන් කෙනකුට සැපතක්‌ ලබා දෙනවාට වඩා ලෝකෝත්තර වශයෙන් ලැබිය හැකි සදාකාලීක සැපත වන නිවන් සුවය ලබා ගැනීමේ භාග්‍ය හිමි කර දීමය. බුදු දහමට අනුව කුමන දානයක්‌ පිරිනැමුවද සිතේ ශ්‍රද්ධාව හා පිරිසිදු බව ඇති කර ගැනීම එහි මූලික පරමාර්ථය වේ. එතුළින් ලෝභාදී කෙලෙස්‌ ධර්ම දුරු කර සසරින් නිදහස්‌ වීමේ භාග්‍ය උදා කර ගැනීමට ශක්‌තියක්‌ ලැබේ.

බලතල සහිතව සසර ගමනට උපකාරවත් වන කඨින පින්කම

වස්සාන කාලය නිමවූ පසු මේ අදහස තබා නොගත යුතු යයි වදාරා තිබේ. එවිට ඒ භික්ෂූන් වහන්සේ තුළ ආරාමය ගැන, පන්සල ගැන අසීමිත තෘෂ්ණාවක්, ආශාවක් ඇතිවිය හැකි බැවිනි. එය ක්ලේෂයකි. නිවන් මඟට බාධාවකි.

සත්තාහ කරණය

'සත්තාහ කරණය' යනු යම්කිසි අසනීපයකට බෙහෙත් ගැනීමට හෝ සංඝයා වහන්සේගේ පොදු කැඳවීමකට මව්පිය දෙපළගේ හෝ ප්‍රධානම දායක දායිකාවකගේ රෝගාතුරවීමකට හෝ මරණයකට නැත්නම් තම ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාගේ ඉහත කී අවශ්‍යතාවයකට යා යුතුවම ඇත්නම් එදිනම එදිනට ඒමට නොහැක්කේ නම්, විහාරස්ථානයේ වෙනත් භික්ෂු නමකට දන්වා පන්සලෙන් පිටවී යාමට පෙර සුදුසු තැනක වාඩිවී මෙසේ අධිෂ්ඨාන කරගත යුතු ය. සචේ මේ ජීවිතන්තරායෝ න භවිස්ස පුන සත්තාහබ්භන්තරේ ආගමිස්සාමි” ඉඳින් මාගේ ජීවිතයට අනතුරක් නොවුණි නම් දින හතක් ඉක්මවීමට පෙර නැවත මම මේ වස් විසූ විහාරස්ථානයට නොවරදවාම පැමිනෙන්නෙමි” යනු එහි තේරුමයි. තවත් වචනයකින් කියතහොත් මම නොමළොත් දින හතකට කලින් ආපසු එන්නෙමි.”යනුයි. මෙයින් පැහැදිලි වන්නේ වස් කාලය පිළිබඳව කෙතරම් වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු ද? යන්න ගැන බුදුරදුන් වදාරා ඇති ආකාරයයි.
දින හතක් අධිෂ්ඨාන කොට ගිය ද ඊට කලින් පැමිණීමට බාධාවක් නැත. දින හතකට කලින් එන බව හිතාගෙන ගිය නිසා හත්වැනි දින අලුයම අරුණ නැගෙන මොහොත දක්වා ම පිට සිටිය යුතු යයි නම නියමයක් නැත. දින හත ගෙවෙන්නට කලින් දවසකින් හමාරකින් වුවද ආපසු පැමිණිය හැකි ය. කෙසේ හෝ වේවා තමා වස්විසූ ආරාමයෙන් සත්තාහ කරණයෙන් පිටතට ගිය භික්ෂූන් වහන්සේ හත් වැනි දින අරුණ නැගෙන්නට පෙර වස් විසූ තැනට යා යුතු ය. එසේ නොගිය භික්ෂූන් වහන්සේගේ වස කැඩේ. එම භික්ෂූන් වහන්සේට එම වසරෙහි කඨින සිවුරක් පිළිගැනීම අකැපය, ඇවතක් ද සිදුවේ.

වස් පවාරණය

වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා තෙමසක් ගෙවීමත් සමඟ ම වප් පුර පසළොස්වක් පොහෝ දා සෘතු නිමවෙන පරිදි එදින ම හෝ පෝය යෙදෙන ඊට පසු දින වස් පවාරණය කිරීමට සීමාමාලකයකට ගොස් ආපත්ති දේශනා කොට ගෙන අත්පස උත්කුටිකව (ඇනතියා) වාඩි වී වැඳගෙන මෙසේ විනය වාක්‍යයකින් පවාරණය කළ යුතු ය.
“සංඝං ආවුසෝ පවාරේමි, දිට්ඨෙන වා සුතේන වා පරිසංකාය වා වදන්තුං මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි” මේ වාක්‍යය තෙවරක් කියා පවාරණය කරති. මෙහි 'පවාරණය' යනු දැකීමෙන් හෝ අනුන් කියනු ඇසීමෙන් හෝ සැකකිරීමෙන් හෝ තමාගේ වරදක් දැනගැනීමට ලැබුණි නම්, එය නිවැරැදි කරගැනීම සඳහා තමාට අවවාද කරන ලෙස ඉල්ලා සිටීමයි. එය සංඝ සාමාගි‍්‍රයට අතිශයින් ම උපකාරී වන්නකි.

කඨින සිවුර

පාවෙය්‍යක භික්ෂූන් තිස් නම අරභයා බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං” යනුවෙන් පෙරවස් පවාරණය කරන ලද භික්ෂූන්ට තුන් සිවුරට අමතරව කඨින චීවරයක් ලබා ගැනීමට අනුමත කළ සේක. කඨින චීවරය ලැබූ භික්ෂුවට ද අනුමෝදන් වූ භික්ෂූන්ට ද “අනාමන්තචාරී” ආදී ආනිශංස පහක් ලැබෙන බව දේශනා කළහ.
එසේම කඨින චීවරයක් පිදීමේ පින අත්පත් කරගත් ගිහි පිනැතියන්ට ද පංචානන්තරිය කර්ම හැර අනෙක් පාපකර්ම යටපත් කොට විපාක ලබාදීමේ ශක්තියක් ලැබෙනු ඇත. අට මහ කුසල් අතර ප්‍රමුඛස්ථානයට ගැනෙන කඨින චීවර පූජාවේ මහා අනුසස් නාගිත ථේරාපදානයෙන් මනාව පැහැදිලි කොට ඇත.
මෙහි සඳහන් කොට ඇත්තේ කඨිනය පිළිබඳව කෙටි විස්තරයකි. කලින් සඳහන් කළාක් මෙන් අංග සම්පූර්ණ වන අයුරින් තෙමස පුරා මෙම උත්කෘෂ්ට පුණ්‍ය ක්‍රියාව සිදුකර ගතහොත් ඒතරම් වටිනා පින්කමක් තවත් නොදැක්විය හැකි තරම් ය. මව් මැරීම, පියා මැරීම, ආදී ආනන්තර්ය පාප කර්මත්, මරණින් පසු උපතක් නැත. කුසල් අකුසල්වල විපාක නැත. ආදී වශයෙන් පවතින නියත මිථ්‍යාදෘෂ්ටිය නිසා පව්කම් කරගත් අයට ඒවායින් එන අකුසල විපාක කඨින පූජාවේ ආනිශංසවලින් වළක්වා ගැනීම අසීරු වන්නේ ය. ඒ හැර අපෙන් සිදුවන අකුසල්වල විපාක වළක්වා ගැනීමට කඨින පින්කමෙන් ලැබෙන ආනිශංස බෙහෙවින් ම බලපාන බව සැලකිය යුතු ය.
මේ ලෝකයේ වෙසෙන අප කිසිවකුටවත් ඒ ඒ ආත්මවල උපත ලබා කරගත් අකුසල කර්මයන්ගේ විපාක විඳ නිම කොට නිවන් දැකිය නොහැකි ය. අප විසින් කරගනු ලබන්නා වූ බලගතු පින්කම්වල බලයෙන් අපගෙන් සිදුවුණ සාංසාරික අකුසල කර්ම ඉවතට තල්ලු කර දමා දාන, සීල, භාවනා දී වශයෙන් සසුන් ගත කිරීමට තම සෙනෙහෙබර දරුවන් දරු සෙනෙහස කඩාගෙන පූජා කිරීමෙන් සහ නියමාකාරයෙන් කඨින පින්කම් කිරීමෙන් බොහෝ සාංසාරික පාප කර්ම අපට වළක්වාගත හැකි ය.
බුදුන් දවස විසූ අංගුලිමාල, ආලවක, පටාචාරා, කිසාගෝතමී ආදීහු බුදුරදුන් දැක මගඵල ලබා නිවන් අවබෝධ කළෝ ඔවුන් සසර දී කරගත් සියලු පාප කර්මයන්ගේ විපාක විඳ නිමකොට නොවේ. ඒ ඒ ආත්මභාවයන්හි දී සිදුකරගත් බලවත් කුසල කර්මයන් ඉදිරිපත් වීමෙන්, විපාක දීමට ඇති පාපකර්ම වළක්වා නිවනට පත්වීමේ අවස්ථාව ලැබුවෝ ය. අංගුලිමාල කතාවෙන් ම ඒ බව මනාව වැටහේ. එබැවින් කඨින පින්කමකට සහාය දීම මැදහත් වීමට ඉදිරිපත්ව ප්‍රමුඛව ක්‍රියා කිරීම සසර දුක නැතිකර ගැනීමට, නිවන ලබාගැනීමට, උපනුපන් ආත්මවල දී කොතැනක උපත ලැබුවද ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාව යන පංච විධ සම්පත් ඇතුව එමගින් වඩ වඩාත් තව තවත් පින් දහම් සිදු කරගෙන තමා පතන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට හැකිවන්නේ ය. බුදු, පසේ බුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් නිවන් ලබන සියල්ලෝම කවර ආත්මභාවයක දී හෝ මෙවන් කඨින පින්කමකට ගෑවී ඇති පුද්ගලයෝම බව සැලකිය යුතු ය.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X