වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බලතල සහිතව සසර ගමනට උපකාරවත් වන කඨින පින්කම

වස්සාන කාලය නිමවූ පසු මේ අදහස තබා නොගත යුතු යයි වදාරා තිබේ. එවිට ඒ භික්ෂූන් වහන්සේ තුළ ආරාමය ගැන, පන්සල ගැන අසීමිත තෘෂ්ණාවක්, ආශාවක් ඇතිවිය හැකි බැවිනි. එය ක්ලේෂයකි. නිවන් මඟට බාධාවකි.

සත්තාහ කරණය

'සත්තාහ කරණය' යනු යම්කිසි අසනීපයකට බෙහෙත් ගැනීමට හෝ සංඝයා වහන්සේගේ පොදු කැඳවීමකට මව්පිය දෙපළගේ හෝ ප්‍රධානම දායක දායිකාවකගේ රෝගාතුරවීමකට හෝ මරණයකට නැත්නම් තම ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාගේ ඉහත කී අවශ්‍යතාවයකට යා යුතුවම ඇත්නම් එදිනම එදිනට ඒමට නොහැක්කේ නම්, විහාරස්ථානයේ වෙනත් භික්ෂු නමකට දන්වා පන්සලෙන් පිටවී යාමට පෙර සුදුසු තැනක වාඩිවී මෙසේ අධිෂ්ඨාන කරගත යුතු ය. සචේ මේ ජීවිතන්තරායෝ න භවිස්ස පුන සත්තාහබ්භන්තරේ ආගමිස්සාමි” ඉඳින් මාගේ ජීවිතයට අනතුරක් නොවුණි නම් දින හතක් ඉක්මවීමට පෙර නැවත මම මේ වස් විසූ විහාරස්ථානයට නොවරදවාම පැමිනෙන්නෙමි” යනු එහි තේරුමයි. තවත් වචනයකින් කියතහොත් මම නොමළොත් දින හතකට කලින් ආපසු එන්නෙමි.”යනුයි. මෙයින් පැහැදිලි වන්නේ වස් කාලය පිළිබඳව කෙතරම් වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු ද? යන්න ගැන බුදුරදුන් වදාරා ඇති ආකාරයයි.
දින හතක් අධිෂ්ඨාන කොට ගිය ද ඊට කලින් පැමිණීමට බාධාවක් නැත. දින හතකට කලින් එන බව හිතාගෙන ගිය නිසා හත්වැනි දින අලුයම අරුණ නැගෙන මොහොත දක්වා ම පිට සිටිය යුතු යයි නම නියමයක් නැත. දින හත ගෙවෙන්නට කලින් දවසකින් හමාරකින් වුවද ආපසු පැමිණිය හැකි ය. කෙසේ හෝ වේවා තමා වස්විසූ ආරාමයෙන් සත්තාහ කරණයෙන් පිටතට ගිය භික්ෂූන් වහන්සේ හත් වැනි දින අරුණ නැගෙන්නට පෙර වස් විසූ තැනට යා යුතු ය. එසේ නොගිය භික්ෂූන් වහන්සේගේ වස කැඩේ. එම භික්ෂූන් වහන්සේට එම වසරෙහි කඨින සිවුරක් පිළිගැනීම අකැපය, ඇවතක් ද සිදුවේ.

වස් පවාරණය

වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා තෙමසක් ගෙවීමත් සමඟ ම වප් පුර පසළොස්වක් පොහෝ දා සෘතු නිමවෙන පරිදි එදින ම හෝ පෝය යෙදෙන ඊට පසු දින වස් පවාරණය කිරීමට සීමාමාලකයකට ගොස් ආපත්ති දේශනා කොට ගෙන අත්පස උත්කුටිකව (ඇනතියා) වාඩි වී වැඳගෙන මෙසේ විනය වාක්‍යයකින් පවාරණය කළ යුතු ය.
“සංඝං ආවුසෝ පවාරේමි, දිට්ඨෙන වා සුතේන වා පරිසංකාය වා වදන්තුං මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි” මේ වාක්‍යය තෙවරක් කියා පවාරණය කරති. මෙහි 'පවාරණය' යනු දැකීමෙන් හෝ අනුන් කියනු ඇසීමෙන් හෝ සැකකිරීමෙන් හෝ තමාගේ වරදක් දැනගැනීමට ලැබුණි නම්, එය නිවැරැදි කරගැනීම සඳහා තමාට අවවාද කරන ලෙස ඉල්ලා සිටීමයි. එය සංඝ සාමාගි‍්‍රයට අතිශයින් ම උපකාරී වන්නකි.

කඨින සිවුර

පාවෙය්‍යක භික්ෂූන් තිස් නම අරභයා බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං” යනුවෙන් පෙරවස් පවාරණය කරන ලද භික්ෂූන්ට තුන් සිවුරට අමතරව කඨින චීවරයක් ලබා ගැනීමට අනුමත කළ සේක. කඨින චීවරය ලැබූ භික්ෂුවට ද අනුමෝදන් වූ භික්ෂූන්ට ද “අනාමන්තචාරී” ආදී ආනිශංස පහක් ලැබෙන බව දේශනා කළහ.
එසේම කඨින චීවරයක් පිදීමේ පින අත්පත් කරගත් ගිහි පිනැතියන්ට ද පංචානන්තරිය කර්ම හැර අනෙක් පාපකර්ම යටපත් කොට විපාක ලබාදීමේ ශක්තියක් ලැබෙනු ඇත. අට මහ කුසල් අතර ප්‍රමුඛස්ථානයට ගැනෙන කඨින චීවර පූජාවේ මහා අනුසස් නාගිත ථේරාපදානයෙන් මනාව පැහැදිලි කොට ඇත.
මෙහි සඳහන් කොට ඇත්තේ කඨිනය පිළිබඳව කෙටි විස්තරයකි. කලින් සඳහන් කළාක් මෙන් අංග සම්පූර්ණ වන අයුරින් තෙමස පුරා මෙම උත්කෘෂ්ට පුණ්‍ය ක්‍රියාව සිදුකර ගතහොත් ඒතරම් වටිනා පින්කමක් තවත් නොදැක්විය හැකි තරම් ය. මව් මැරීම, පියා මැරීම, ආදී ආනන්තර්ය පාප කර්මත්, මරණින් පසු උපතක් නැත. කුසල් අකුසල්වල විපාක නැත. ආදී වශයෙන් පවතින නියත මිථ්‍යාදෘෂ්ටිය නිසා පව්කම් කරගත් අයට ඒවායින් එන අකුසල විපාක කඨින පූජාවේ ආනිශංසවලින් වළක්වා ගැනීම අසීරු වන්නේ ය. ඒ හැර අපෙන් සිදුවන අකුසල්වල විපාක වළක්වා ගැනීමට කඨින පින්කමෙන් ලැබෙන ආනිශංස බෙහෙවින් ම බලපාන බව සැලකිය යුතු ය.
මේ ලෝකයේ වෙසෙන අප කිසිවකුටවත් ඒ ඒ ආත්මවල උපත ලබා කරගත් අකුසල කර්මයන්ගේ විපාක විඳ නිම කොට නිවන් දැකිය නොහැකි ය. අප විසින් කරගනු ලබන්නා වූ බලගතු පින්කම්වල බලයෙන් අපගෙන් සිදුවුණ සාංසාරික අකුසල කර්ම ඉවතට තල්ලු කර දමා දාන, සීල, භාවනා දී වශයෙන් සසුන් ගත කිරීමට තම සෙනෙහෙබර දරුවන් දරු සෙනෙහස කඩාගෙන පූජා කිරීමෙන් සහ නියමාකාරයෙන් කඨින පින්කම් කිරීමෙන් බොහෝ සාංසාරික පාප කර්ම අපට වළක්වාගත හැකි ය.
බුදුන් දවස විසූ අංගුලිමාල, ආලවක, පටාචාරා, කිසාගෝතමී ආදීහු බුදුරදුන් දැක මගඵල ලබා නිවන් අවබෝධ කළෝ ඔවුන් සසර දී කරගත් සියලු පාප කර්මයන්ගේ විපාක විඳ නිමකොට නොවේ. ඒ ඒ ආත්මභාවයන්හි දී සිදුකරගත් බලවත් කුසල කර්මයන් ඉදිරිපත් වීමෙන්, විපාක දීමට ඇති පාපකර්ම වළක්වා නිවනට පත්වීමේ අවස්ථාව ලැබුවෝ ය. අංගුලිමාල කතාවෙන් ම ඒ බව මනාව වැටහේ. එබැවින් කඨින පින්කමකට සහාය දීම මැදහත් වීමට ඉදිරිපත්ව ප්‍රමුඛව ක්‍රියා කිරීම සසර දුක නැතිකර ගැනීමට, නිවන ලබාගැනීමට, උපනුපන් ආත්මවල දී කොතැනක උපත ලැබුවද ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාව යන පංච විධ සම්පත් ඇතුව එමගින් වඩ වඩාත් තව තවත් පින් දහම් සිදු කරගෙන තමා පතන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට හැකිවන්නේ ය. බුදු, පසේ බුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් නිවන් ලබන සියල්ලෝම කවර ආත්මභාවයක දී හෝ මෙවන් කඨින පින්කමකට ගෑවී ඇති පුද්ගලයෝම බව සැලකිය යුතු ය.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X