වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අචල සිතක උපදින කුසල සිත

බිබිල, යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය
රාජකීය පණ්ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි

මෙලොව උපදින, මිනිසත් බව ලැබූ බෞද්ධ අනුගාමිකයින් වෙසෙසින් ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියනැගීමට වෙහෙසෙති. ඔවුන්ට බුදුරදුන් විසින් දේශනා කර ඇති අවවාදයක් වන්නේ පව්කම්වලින් වැළකී පින්දහම් කරන ලෙසයි. එයට හේතුව නම් කුසල් යනු දෙලොව යහපතට හේතුවන යහපත් වැඩ නිසාවෙනි. උන්වහන්සේගේ එකී දේශනාව නම්,
සියලු පාපයන්ගෙන් මිදෙන්න, කුසල් දහම් වැඩිදියුණු කරන්න. සිත මනාව දමනය කරගන්න, මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි යන්නය. මෙහි දී කුසල සිතක් උපදවා ගන්නේ කෙසේද කුසල සිතක ඇති විශේෂත්වය පිළිබඳ කරුණු ගොනුකෙරේ. අප පෘථග්ජනයින් ය. කාමාශාවෙන් වෙළී ඇත. ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්මයන් නිරන්තරයෙන් අප සිතට කා වදී. තදංග වශයෙන් ඒවා ප්‍රහාණය කිරීමට වෙහෙසවෙතත් නැවත නැවත උපදී. මෙලෙස උපදින අනේකවිධ අකුසල සිතිවිලි අපගේ මානසික දියුණුව පිරිහෙළයි. වැරදි වැඩ කෙරෙහි සිත යොමු කරවන අතර හොඳ සිතිවිලි සිතට පැමිණීම අඩපණ කරයි. අප සමාජයේ ජීවත් වන විට අපේ හොඳ ගතිගුණ අසන්නට ලැබෙනවා නම් අප එයට බොහෝ සෙයින්ම කැමතිය. අප කෙරෙහි අවලාද නඟන්නන්ට අප කොහෙත්ම කැමති නැත. මෙය නිසි පරිදි වටහා නොගත් පිරිස් තමන් ඒ අයුරින් සිතන ගමන් අනුන්ගේ වැරදි සොයයි. අනුන් පහත් ලෙස සැලකීමට මහන්සි ගනී. පෘථග්ජන සමාජයේ ස්වභාවය එයයි.
ඉහතින් පෙන්වා දුන් ගාථාව මඟින්ද ප්‍රකට කෙරෙන්නේ පව්කම්වලින් වළකින ලෙසයි. පව්කිරීමෙන් වැළකීම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. මන්ද අප නිරන්තරයෙන් යොමුවන්නේ වැරදි සහිත ක්‍රියාවන් සිදුකිරීමටය. බුදුන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරමින්
සුකරානි අසාධුනී අත්තනෝ අහිතානි ච 
යංචේ හිතං ච සාධුං ච තං චේ පරම දුක්කරං

යනුවෙන් වදාරා ඇත. එයින් පැනෙන්නේ තමන්ට හිත වැඩදායී දේ කිරීමට යමෙකුට අපහසු වන අතර අහිත පිණිස හේතුවන අවැඩදායී ක්‍රියාවන් කිරීම පහසු වන බවයි. තමන්ගේ ජීවිතය පරිහානියට පත් කර ගනිමින් අනුන්ගේ වැරදි සොයමින් ඔවුන්ගේ ජීවිත වනසමින් කටයුතු කරන පිරිස් ඕනෑ තරම් සමාජයේ සිටී. බුද්ධිමත් නුවණැති පිරිසක් හැටියට අප කළ යුතු වන්නේ අපගේ කුසල පක්ෂය වැඩිදියුණු කර ගැනීමය. අකුසල්වලට හිමිකරුවෙකු නොවී කුසල් දහම්වලට හිමිකරුවෙක් වීමට අප සැම දෙන අදිටන් කර ගත යුත්තේ කුසල් අපගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට සැබැවින්ම හේතුදායක වන බැවිනි.
අප එදිනෙදා ජීවිතයේ දී කුසල් දහම් රැස් කළ හැකි ක්‍රමවේද කිහිපයක් ඇත. සිතින් කයින් වචනයෙන් යන තිදොරින්ම අපට කුසල් රැස් කරගත හැකිය. කායික වශයෙන් කළ හැකි කුසල කර්ම ලෙස පෙන්වා දෙන්නේ පරපණ නැසීමෙන් වැළකීම, අනුන්ගේ දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම හා කාමය වරදවා හැසිරීමෙන් වැළකීම ය. මේවායෙහි යෙදීම අකුසල් ලෙස එහිදී පෙන්වා දී ඇත. යමෙක් සත්ත්ව ඝාතනය කෙරේ නම් අනුන්ගේ දෑ සොරකම් කෙරේ නම් කාමමිථ්‍යාචාරයේ යෙදේනම් ඔහු එහි විපාකවලින් පිරිහීමට පත්වේ. මෙලෝ පරලෝ වශයෙන් දුක් විඳීමට එය හේතුසාධක වේ.
කයින් පමණක් නොව වචනයෙන් සිදුවන අකුසල්වලින් මිදී කුසල පක්ෂය වැඩිදියුණු කිරීමට, පෝෂණය කිරීමට අප වෙහෙසිය යුතුය. එහිදී වචනයෙන් වන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදියයි. මෙලෙස වචන භාවිත කරමින් අනිසි ලෙස කාලය අපතේ යැවීමෙන් අකුසල් රැස් කර ගනී. මෙවැනි ක්‍රියාවලින් වැළකී යහපත් වචන අනුන්ට පි‍්‍රය උපදවන සත්‍යය වචනය ප්‍රකාශ කිරීමට නුවණැත්තා පෙලඹිය යුතුය. එවිට ඔහුගේ කුසල් වර්ධනය වේ. මේ සියල්ලටම වඩා සිතින් සිදුවන අකුසල් දුරලීමට කටයුතු කළයුතුය. මන්ද මේ සියලු දේ සිදු කරන්නේ සිත මූලික කරගෙන බැවිනි. එහි දී සිතින් සිදුකරන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ අභිද්‍යාව, ව්‍යාපාදය, මිසදිටු බව යන ක්‍රියාවන් ය. අභිද්‍යාවෙන් පිරුණු හදවතකින් සිදුවන අනර්ථය භයංකර විය හැකිය. දැඩි ආශාවෙන් පෙළීම නිසා බොහෝ විට මානව පවුලේ ආරවුල් ඇති වීමට ඉඩකඩ වැඩිය. දේපල ප්‍රශ්න ආදිය ඇතිවන්නේ මේවට ඇති මහත් ආශාව නිසා ය. අනුන්ට වඩා තමන්ට ඕනෑ යන අර්ථයෙන් උපදින දැඩි ආශාව අකුසල ධර්මතාවයකි. මෙකී ආශාව දුරලාගෙන අප මැරෙන පුද්ගලයින් බව සිතේ තබාගෙන එවැනි භෞතික දේපල රැස් කිරීම හැර දමා අභෞතික වස්තුව රැස් කිරීමට වෙහෙස ගත යුතු ය. අභෞතික වස්තුව යනු කුසල කර්ම රැස් කිරීමයි. ඒ නිසා ලෝභයෙන් වැළකී එහි විරුද්ධ අංශය වන අලෝභය ඇති කර ගැනීමට වෙහෙසිය යුතු වේ.
ඉන් පසු ඇත්තේ ව්‍යාපාදයයි. අනුන්ගෙන් පළිගැනීමේ මානසික අසහනය මේ නමින් හැඳින්විය හැකිය. යම් යම් හේතු නිසා අනුන්ගෙන් පළිගැනීමට හේතුවක් විය හැකි ය. ධනය බලය ආදියෙන් තමන්ට වඩා යමෙක් ඉහළින් සිටී නම් ඔහු කෙරෙහි ඉරිසියාවෙන් බලයි. ඔහු විනාශ කිරීමට ඔහුගේ දේපල ධනය විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරයි. මෙවැනි අකුසල ක්‍රියාවන්ගෙන් වැළකී මෙත් සිතින් කටයුතු කිරීමට මහන්සි ගැනීම නුවණැත්තාගේ ලක්ෂණයයි. තමාගේ හිත තමාටම පාලනය කරගත නොහැකි ආවේගවලින් පිරීම අකුසලයකි. මෙය අනිවාර්යයෙන්ම පාලනය කරගත යුත්තකි. එසේ නොවුණහොත් මිනිස් ජීවිතයේ වටිනාකම විනාශ වන්නේ ය. මෙත් සහගත කාය කර්මයෙන් වචී කර්මයෙන් හා මනෝ කර්මයෙන් යුතුව ක්‍රියා කිරීම මඟින් පුද්ගලයාගේ මානසික කායික දියුණුව සැලසේ. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ අනුන්ගේ අප්‍රසාදයට හේතුවන කිසිම ක්‍රියාවක් නොකළ යුතු බවයි. සියලු සත්වයින් සතුටින් සොම්නසින් ජීවත් වේවා යන ප්‍රාර්ථනාවෙන් හා සිතිවිල්ලෙන් ජීවත්වීම වඩා වැදගත් බව උන්වහන්සේ පෙන්වා දුන් සේක.
අප යම් විටෙක කර්ම විපාක පිළිබඳ නිසි අවබෝධය නොමැති වීමෙන් අකුසල ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹෙනවා විය හැකි ය. එනමුදු තමන් කරන්නේ අකුසලයක් බව හෝ අයහපතක් බව මනාව තේරුම් ගත්තේ නම් හා ඉන් වැළකී යහපතෙහි සිත මෙහෙයවීමට කටයුතු කරන්නේ නම් වළාකුලින් මිදුණු සඳක් සේ බැබලීමට පත් වන බව විටෙක බුදුහිමියෝ දේශනා කළහ.
යම් විටෙක අප කරන සැහැල්ලු අකුසල කර්ම ප්‍රබල කුසල කර්මයක් කිරීමෙන් අහෝසි තත්ත්වයට පත්විය හැකිය. අප නිරන්තරයෙන් කුසල ක්‍රියාවන්ම කිරීමට පෙලඹිය යුතු වන්නේ අපගේ ජීවිතයෙහි අස්ථිරත්වය මැනවින් වටහා ගැනීමෙනි. උපන් සත්ත්වයා හැකි උපරිමයෙන් පින් දහම් රැස් කළ යුතු බවයි බුදුහිමියන්ගේ අවවාදය වන්නේ. එසේම නුවණැති පිරිස් කුසල කර්ම කිරීමට කැමැත්ත උපදවා ගත යුතු බව ද පෙළ දහමේ සඳහන් වේ.
පින් කිරීමට සිත යොමු කළ තැනැත්තා නිරන්තරයෙන්ම පින් දහම් කළ යුතු ය. නැවත නැවත පින් කිරීමට සිත පොලඹවා ගත යුතු ය. මන්ද පින යනු සැපයට තවත් නමෙකි. මේ අනුව පැහැදිලි වන්නේ පින් දහම් කිරීම මඟින් අපට සතුට සැනසුම උදාකර ගැනීමට හැකියාව ඇති වන බවයි. තවත් තැනෙක බුදුහිමියෝ පෙන්වා දෙන කරුණක් නම් පුළුවන් හැකි හැම අවස්ථාවක දීම පින් දහම් රැස් කිරීම නුවණැත්තාගේ ලක්ෂණය වන බවයි.
පින් කිරීමට වෙහෙසිය යුතු බවත් දිය බින්දු එකතුවීමෙන් කළයක් පිරෙන අයුරින් තමන්ගේ පින නැමැති කළය පුරවා ගැනීමට නුවණැත්තා ක්‍රියා කළ යුතු බවයි මෙහිදී පෙන්වා දී ඇත්තේ. පින් කිරීමට කිසිවෙක්ගේ බලපෑම් කිරීමක් අවශ්‍ය නැත. තමන්ට කැමති ඕනෑම අවස්ථාවක පිනක් කර ගැනීමේ හැකියාව පවතී. අනුන්ගේ පැසසුම් ලැබීමට පින් කිරීම මුලාවට පත්වීමකි. බොහෝ අවස්ථාවන්හි සිදු වන්නේ මේ දෙයමය. අනුන්ගෙන් ගැරහුම් ලැබීමට ඇති අකැමැත්ත නිසා සමහරෙක් පින් කරන්නේ, දන් පැන් ආදිය දෙන්නේ සිතේ චකිතයකින් හා අකැමැත්තකින් යුතුව ය. එසේ කළ කල්හි එයින් නියම පින ලබා ගැනීමට නොහැකිය. පිනට වඩා බොහෝ විට එයින් පව් සිදුවීමක් නම් සිදුවනු ඇත. මන්ද එවැනි අවස්ථාවල ක්‍රියා කරන්නේ ද්වේශ සහගත සිතිවිල්ලෙන් බැවිනි.
තෙරුවන් කෙරෙහි පැහැදුණු අචල ශ්‍රද්ධාවෙන් යුක්ත තැනැත්තාගේ කුසල සිතිවිලි කිසි දිනෙක වෙනස් වන්නේ නැත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X