වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ප්‍රසන්න සිත පිරිසිදු ජලාශයකි


පූජ්‍ය ගම්පහ සිරිසීවලී හිමි

පැහැදිලි සිත පිරිසිදු ජලාශයක්‌ වගේ. පිරිසිදු ජලාශය විනිවිද දැකිය හැක. චංචල බවෙන් තොරවිය යුතුය. කුණු දූවිලිවලින් තොරවීමය sපිරිසිදු බවේ සංකේතය. නීවරණ ධර්ම සිත තුළ හටගත්තාම පිරිසිදු සිත අපිරිසිදු වන බව යෝගාවචරයා අත්දැකීමෙන්ම වටහා ගනී.

චතුර්වේදයේ පාරප්‍රාප්ත සංගාර නම් බ්‍රාහ්මණයෙක්‌ දිනක්‌ භාග්‍යවතුන් වහන්සේ හමුවී තමන් බොහෝ කාලයක්‌ වේද වේදාන්තයන්හි ඉතා හොඳ මතකයක්‌ තිබූ බවත් දැන් අමතකවීමේ ස්‌වභාවයට පත්වී ඇති බවත් ඊට හේතුව විමසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර කාමඡන්ද ආදී නීවරණ ධර්ම සිත තුළ ජනිත වීමත් දැනගත් දේ දිගුකල් හැදැරීම නවතාලීමත් මතකය මැකී යාමට හේතුවන බව වදාළහ.

'යෝගා වේ ජායති භූරී

අයෝගාභූරි සංඛයෝ'

යෝගාවචර ජීවිතය ප්‍රඥව වැඩීමට හේතුවේ. යෝගී ජීවිතය පිරිහීමෙන් ප්‍රඥවද පිරිහීමට හේතු වේ.

අධ්‍යාත්මික ගුණ වගාවේදී මානසික දියුණුව ඇතිකර ගැනීම සඳහා පංචනීවරණ ධර්ම ගැන දැන ගැනීමත් නැතිකර ගැනීම සඳහා සුදුසු පසුබිමක්‌ දහමට අනුව සකසාගත යුතුය.

නීවරණ යනු නිවන වසාලන, සැනසිල්ල සතුට දියුණුව, සැපය නැතිකරන ධර්මතාය.

''කත්ථ කතමානි පංච නීවරණානි,

කාමච්ඡන්ද නීවරණං

ව්‍යාපාද නීවරණං

ථීන මිද්ධ නීවරණං

උද්ධච්ච කුක්‌කුච්ච නීවරණං

විචිකිච්ඡා නීවරණං

ඉමානි පංච නීවරණානි''

(විභංග ප්‍රකරණය - ඛුද්දක චථු විභංගය)

ඉහත පාලි පාඨයෙන් ප්‍රකාශිත නීවරණ ධර්ම හිත තුළ ජනිත වීමෙන්ම කුසල් සිත් හටගැනීම දුරු වේ. සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු එක හිතකින් පහසුවෙන් කර ගැනීමටත් යෝගාවචරයාට ධ්‍යානාංග වඩා රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන බල ඇති කර ගැනීමටත් බාධා ඇති කරයි. ධ්‍යානාංග වූ චිත්තක, විචාර, පීති, සුඛ ඒකාග්ගතා සහිත ඒකාග්‍ර සිතට ප්‍රතිවිරුද්ධය. ඒ බව,

ඣානාදී වසෙන උප්පඡ්ජනක කුසල චිත්තං

නිවාරෙන්ති, නිසෙධෙන්ති, තථතස්‌ස

උප්පඡ්ජිතුං න දේන්තීති නිවරාණාති'

ධ්‍යාන වශයෙන් උපදින කුසල් සිත් හට ගැනීම ආවරණය කරන සාධනයට ඉඩ නොදෙන එසේම උපදීමට ඉඩ නොදෙන්නේ 'නීවරණ' වේ.

1. කාමච්ඡන්දය - කාම ගුණයට ඇල්මය. පංචකාම සම්පත්වලට රුචිකත්වයයි. පස්‌කම් සුවය නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ විඳීමයි. ඇස, කන, නාසය, දිව, කය සම්බන්ධව ප්‍රසාද රූපයේ ඔපවත් ස්‌වභාවයට අරමුණු සම්බන්ධ වීමේදී ඵස්‌සය මගින් සිදුවන ධර්මතාවයේදී සිත හටගනී. සුභ හෝ අසුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නිසා ඇලීම හෝ ගැටීම නිසා තණ්‌හාව උපදී. දැඩිව ගැනීම උපාදානය වේ. සායම් පෙවූ භාජනයකින් තම මුහුණ දැකීම හා සමාන වේ.

'සුභ නිමිත්තං භික්‌ඛවේ, අයොනිසෝ මනසිකරොන්තෝ අනුප්පන්නෝච කාමච්ඡන්දො උප්පඡ්ජති උප්පන්නෝ ච කාමඡ්ඡන්දො භියේ‍යාභාවාය වේපුල්ලාය සංවත්තති'

නිමිත්ත සුඛ හෙවත් සුබ වශයෙන් ගැනීම නිසා කාමච්ඡන්දය හටගනී. සුබ වශයෙන් ගන්නේ අයෝනිසෝ මනසිකාරය නිසාය. සුභ සංඥව නැති කිරීමට අසුබ සංඥව වඩන්න නිර්දේශ කළේ ඒ නිසාය. කායගතානුසති භාවනාවේ අසුබය මෙන්ම පටික්‌කූල මනසිකාරය එකට යෙදී ඇත්තේ ඒ නිසාය.

මේ සිත අරමුණෙන් අරමුණට සම්බන්ධ වන්නේ අත්තක්‌ හැර තවත් අත්තක්‌ අල්ලාගැනීමට පනින වඳුරකු මෙනි. වඳුරා කිසිවිටකත් තමා සිටින අත්ත අත් හරින්නේ නැහැ, එහි සුව පහසුවම ඉතා හොඳනම්ෘ තවත් අත්තකට පනින්නේ ඊටත් වඩා සුව පහසු බවක්‌ විඳීමේ කැමැත්ත ඇතිවය. සිතත් ඒ හා සමානය. පංචකාම ගුණයට සිත දැඩිව වසඟ කරයි. එහිම කි¹ බසී. ලොල්බවට පත් කරයි. කෑදරකමම වඩයි. නමුත් එහි ආදීනව බොහෝය. 'අප්පස්‌සාදා බහු දුක්‌ඛා' කුරුම්බා ගෙඩියට අත දැමූ වඳුරාට වූ දේ පංචකාම ගුණ කෑදර කමින් සිටින්නාටද සිදුවේ.

ලොඳ ඇති කුරුම්බා ගෙඩියකට ලොඳ කෑමේ කෑදරකමෙන් වඳුරෙක්‌ කුඩාසිදුරක්‌ පාදාගෙන අමාරුවෙන් අත දමා හොඳට ලොඳ හූරා මිට මොලවා ගනී. මිට මොලවා ගත් අත එලියට ගැනීමට උත්සාහ කරයි. මිට මොලවාගත් අත කුඩා සිදුරෙන් එලියට ගත නොහැක. අමාරුවෙන් හූරාගත් ලොඳ අතහරින්නේද නැත. ඒ නිසාම බඳුරාට මරණයට හෝ මාරාන්තික ව්‍යසනයකට පත්වීමට සිදුවේ. එමෙන්ම පංචකාම ගුණයේ ආදීනව නොදකින පුහුදුන් අයටද සංසාරික වශයෙන් දුගතිගාමී වී බොහෝ කාලයක්‌ මහා දුකට පත්වී දුක්‌ විඳීමට සිදුවීම නොවැළැක්‌විය හැක.

ව්‍යාපාදය - තරහව, ක්‍රෝධය, පටිඝය ආදී චෛතසික සමූහයක ක්‍රියාකාරීත්වයයි. සිත රත් වූ නටන ජල බඳුනක්‌ බඳුය. ක්‍රෝධය මෙලොව, පරලොව මෙන්ම නිවන් සැපය නසන බරපතළ අකුසල චෛතසිකයෙකි. 

නත්ථි දොස සමො ඛලී

ද්වේෂය හා සමාන අපරාධයක්‌ නැත.

කුද්ධෝ ධම්මං න පස්‌සති

කිපුන තැනැත්තාට හොඳ නරක නොපෙනේ.

කුද්ධෝ අත්ථං නජානාති

කිපුණ අයට තමාගේ අභිවෘද්ධිය නොසැලසේ.

අනත්ථි ජනනො කොධො

කිපුණ අය නිතරම අනර්ථයම කරයි.

වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ගුණමකු= බව, ව්‍යාපාදයට පරිබද්ධව හටගනී. මෛත්‍රී භාවනාව ව්‍යාපාදය නැතිකිරීමට නිර්දේශිතයි. යෝනිසෝa මනිසාකාරය හෙවත් එළඹ සිටි සිහියෙන් විසීම නිසාම පටිඝය අරමුණක්‌ වශයෙන් ගෙන ව්‍යාපාදය හට නොගනී.

පටිඝ නිමිත්තං භික්‌ඛවේ, අයොනිසෝ මනසිකරොන්තො අනුප්පන්නෝ ෙච්ව ව්‍යාපාදොa උප්පඡ්ජති. උප්පන්නෝච ව්‍යාපාදො භියෙයාභාවායවේපුල්ලාය සංවත්තති''.

මහණෙනි, ගැටෙන නිමිත්ත, අයෝනිසෝමනසිකාරයෙන් ගැනීම නිසා නූපන් ව්‍යාපාදය හටගනී. උපන් ව්‍යාපාදය බොහෝ සේ වැඩේ. වර්ධනය වේ. 

'ඛන්ති පරමං තපො තිථිකඛා' ක්‍ෂාන්තිය උසස්‌ම පැවැත්මයි. කාමච්ඡන්දය යනු රාගයයි. ව්‍යාපාදය යනු ගැටීමයි. ඇලීම ගැටීම යනු තණ්‌හාවයි. ඒ නිසා පටික්‌කූල මනසිකාරය සහිත කායගතානුසති භාවනාවෙන් රාග ගිනි නිවාලීම කළ හැක. මෛත්‍රිය භාවනාවෙන් ද්වේෂය හෙවත් ගැටීම යටපත් කර ගත හැක. මේ භාවනා දෙකම එක විට වඩා නීවරණ ධර්ම යටපත්කර ධ්‍යාන මට්‌ටමට සිත දියුණුකර ගත හැක.

ථීන මිද්ධය යනු සිතේ හැකිලිණු බව, ඔතෑනි බව,අලසබව, නොපිපුණු බව, පසුබෑම, උදාසීනගතිය, කම්මැලිබව, අකර්මන්‍ය බව වේ.දිය සෙවලින් වැසී ගිය ජල බඳුනක්‌ බඳුය. එවිට ජලය ප්‍රසන්න පිරිසිදු බව දුරුවී යයි. ථීනමිද්ධය සමථ හා විදර්ශනා භාවනාවට ප්‍රධාන බාධකයකි. කුසල් දහම් නොඇලේ. අලසබව, කම්මැලිබව, ලෞකික ලෝකෝත්තර දියණුවට බාධක මෙන්ම පිරිහීමටද හේතු වේ.

1. ආරම්භක ධාතු 2. නෙක්‌ඛම ධාතු 3. පරකක්‌ම ධාතු 

වශයෙන් ථීන මිද්ධය නැතිකිරීමට සම්‍යග් ප්‍රයෝග වශයෙන් භාවිත කර ඇත. යමක ආරම්භය වීර්යයෙන් කළ යුතු වේ. ඒ සඳහා පූර්ව කෘත්‍ය වශයෙන් පරිසරය උචිත පරිදි සකසා ගැනීම අනිවාර්ය වේ. ආරම්භ කළ භාවනාව හෝ කටයුත්ත සම්බන්ධයෙන් වහ වහා ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුය. ළිඳක්‌ හාරන්නා වහා වතුර ලැබේවායි ප්‍රාර්ථනාවක්‌ නැත. ප්‍රාර්ථනා කළ තරමට ලැබෙන්නේ නැත. ඉදිරියට උනන්දුවෙන් කිරීමත් වෙර වීර්යයත් ඒ සඳහා කැපවීමත් නොඅඩුව සිදුවිය යුතුය. අප්‍රතිහත ධෛර්යයෙන් කැමැත්තෙන් සතුටෙන් කාර්යයෙහි යෙදීමෙන් අභිමතාර්ථය සමෘද්ධිය සිදුවනු ඇත. නෙක්‌ඛම ධාතුව හා පරක්‌කම ධාතුව යනු නොපසුබස්‌නා වීර්යයි.

ථීන මිද්ධය නැතිකිරීම සඳහා අවට පරිසරය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. ප්‍රසන්නබව, පිරිසිදුබව, ආලෝකය, බොහෝ දැ ළංකර නොගැනීම, වීර්යයෙන් යුතු උසස්‌ උතුමන් ඇසුර, ඉරියව් විටින් විට වෙනස්‌ කිරීම, එළිමහනේ සිටීම, අධික භෝජන නොගැනීම, ලැබූවාවූ මිනිසත්බවේ, බුද්ධෝත්පාද කාලයේ, සද්ධර්මයේ වටිනාකම මෙනෙහි කිරීම, කිසියම් හෝ ආර්ය ඵල ලාභීත්වයක්‌ තවම නොලබා සිටී නම් වහාම ඒ සඳහා කටයුතු කිරීම, සසරෙහි බිය දැකීම, කල්‍යාණ මිත්‍ර ඇසුර, උතුමන්ගේ චරිතාපදානයන් නිතර සිහිකිරීම, බෝධිපාක්‌ෂික ධර්ම වඩාගෙන ඉදිරියට යාමයි.

උද්ධච්ච කුක්‌කුච්චය - සිත, සෙලවෙන, වංචල ජලාශයක ස්‌වභාවය පෙන්නුම් කරයි. චංචල සිත සමාධිය නොවැඩේ. අලුගොඩකට ගලකින් ගැසූ විට හැම තැනම විසිරුණු සිතුවිලිවල ස්‌වභාවය ගනී. අරමුණු හමුවේ ඒකාග්‍රබවක්‌ නැත. උද්ධච්චය කුක්‌කුච්චය විශේෂයෙන් තමාගේ චරිතය හා සම්බන්ධව හටගන්නා බැවින් පළමුව සීලයක පිහිටා සමාධිය වැඩීම කළ යුතුය. මෙහිදී පාරමිතා සීලය හෙවත් ලෝකෝත්තරසීලය වඩවා ගැනීම නිවනට හේතුකාරක වේ.

සීලෙහි පතිට්‌ඨාය නරො සපඤ්ෙඤා්

චිත්තං පඤ්ඤංච භාවයං

ආතාපි නිපකො භික්‌ඛු 

සෝ ඉමං විජටයේ ජටං

ඇතුළත ගැට , පිට ගැට, නැතිකර රහත් බව ලැබීමට නිර්දේශිත ක්‍රමය ඉහත ගාථා රත්නයෙන් පැහැදිළි කරයි. පළමුව සීලයෙහි පිහිටා උද්දච්ච කුක්‌කුච්චය නැතිකරගන්න. චිත්ත භාවනාවෙන් ලෞකික සමාධිය වඩා මනස ශක්‌තිමත් කර ගන්න. ඉන්පසු විදර්ශනා භාවනාවෙන් හෙවත් ප්‍රඥවෙන් ලෝකයෙන් එතෙරවීමට කෙලෙස්‌ මුලින් උපුටා දමන්න.

විචිකිච්චාව යනු බුද්ධ, ධම්ම, සංඝ, සික්‌ඛා, පුබ්බන්න, අපරන්ත, පුබ්බාපරන්ත, පටිච්චසමුප්පන්න ධර්ම ගැන සැකයයි. අඳුරේ ඇති දිය බඳුනක්‌ හා සමානයි. ස්‌ථිර නිගමනයකට එකඅරමුණකට සිතනන්ව ගත නොහැකි බව. බුද්ධ, ධම්ම,, සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණ වැඩීම මේ නීවරණය නැතිකිරීමට හේතු වේ. බුද්ධ යනු චතුරාර්ය සත්‍යයයි.

බෝධිං වුච්චති චකුසු අරිය සච්ෙච්සු ඤාණං' 

බුද්ධ යනු බෝධිය අවබෝධයයි. එනම් දුක්‌ඛ, සමුදය, නිරෝධය, මාර්ගය, චතුරාර්ය සත්‍ය දැකීමයි. ලෝකය පදනම් කරගෙන පළමු සත්‍ය දැකීම. එනම් දුක අවබෝධයයි. ලෝකය දුක මත පිහිටා ඇත. ජරා, මරණ, සෝක, පරිදේව ආදී චෛතසික, මාන, සිත, කායික දුක්‌වලින් නිරන්තරයෙන්ම සත්වයා වෙලී පැටලී සිටින බව දැකීම. දුකට හේතව වූ තණ්‌හාව සමුදය වේ. තණ්‌හාව සිත තුළින් නැති කර ගතහොත් දුක නැති වන බව දැනගැනීම. ඒ සඳහා මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලුවීමයි. එමගින් මිච්ඡාදිට්‌ඨිය නැතිවී සම්මා දිට්‌ඨිය හෙවත් ලෝකයේ යථාර්ථය හරි හැටි දැකීම වේ. බුදුගුණ වැඩීමෙන් දහම් ගුණ සඟ ගුණද වැඩේ. මේ ගුණ වගාවෙන් විචිකිච්ඡාව දුරුවී සමථ සමාධිය වැඩිදියුණු කර විදර්ශනා සමාධිය වඩා දස සංයෝජන මුලින් උපුටා දමා නිවන් දැකිය හැක.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X