වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අභය දානය

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ, 
හෑගොඩ විපස්‌සී හිමි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ විශේෂ අවස්‌ථාවන් ලෙස දාන සංකල්පය හඳුන්වා දිය හැකි දාන සංකල්පය විවිධාකාරයෙන් වර්ධනය වූ ස්‌වභාවයක්‌ දැකිය හැකියි.
දානය යනුවෙන් අදහස්‌ කරනුයේ දීමයි. ආමිස දානය, අභය දානය, ධර්ම දානය යනාදී වශයෙන් දානයේ විවිධ අවස්‌ථාවන් දැකිය හැකියි. මෙම දානමය අවස්‌ථා අතරින් අද අපේ අවධානයට යොමු වන්නේ අභය දානය දීම පිළිබඳවයි.
වර්තමාන සමජයේදී අභය දානය දෙනවා කී විට මිනිසුන්ගේ සිත් තුළ පැනනගින්නේ කිරි හරක්‌ නිදහස්‌ කිරීම, මරණයට නියම සතුන් මුදා ගැනීම ආදී අවස්‌ථාවන්. ඇත්ත වශයෙන් ම අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් අභය දානය කියන්නේ කුමක්‌ද? කියලා.
ආර්ය මාර්ගයේ, සෝවාන් මාර්ගයට පිවිසෙන කෙනා අභය දානයෙන් යුක්‌ත පුද්ගලයා ද විය යුතුයි. අභය දානය පිළිබඳව බුද්ධ දේශනාව සොයා බැලීමේදී ඉතා හොඳ විග්‍රහයක්‌ අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ පුඤ්භිසන්ද සූත්‍රයේ සඳහන් වෙනවා.
ඉධ භික්‌ඛවේ, අරියසාවකො පාණාතිපාතං
පහාය පාණාතිපාතා පටිවිරතෝ හොති – පාණාතිපාතා
පටිවිරතෝ භික්‌ඛවේ අරියසාවකො අපරිමාණනං
සත්තානං අභයං දෙති. අවේරං දෙති.
අව්‍යාපඡ්ධං දෙති. අපරිමාණානං සත්තානං අභයං
දත්වා අවේරං දත්වා අබ්‍යාපඡ්ධං දත්වා
අපරිමාණස්‌ස අභයස්‌ස අවෙරස්‌ස අබ්‍යාපජධස්‌ස භාගී හොති.
ඉදං භිඛවෙ පඨමංදානං මහාදානං අග්ගඤ්ඤං
රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්‌ණං අසංකිණ්‌ණපුබ්බං නසංකීයති න සංකියිස්‌සති අප්පතිකුඩ්ඪං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ªහි”

මේ ලෝකයේ ආර්ය ශ්‍රාවකයා (යම් පුද්ගලයෙක්‌) ප්‍රාණඝාතයෙන් තොරව ජීවත් වේ නම් ඔහු අප්‍රමාණ වූ සත්වයන්ට අභය දානය දෙනු ලබනවා. අවෛරය දෙනු ලබනවා. නිදුක්‌ බව දෙනු ලබනවා. ඒ නිසා අපරිමාණ සත්ත්වයන්ට අභය දී අවෛරය දී, අවෛරයේදී නිදුක්‌ බව දීමට ක්‍රියා කරන පුද්ගලයා අපරිමාණී වූ අභය ලබනවා අභය දානය යනු උතුම්ම දානයක්‌. මෙය පාරම්පරිකව සිදු කරනු ලබන උතුම් දානයක්‌. ශ්‍රමනයන් විසින් ද, බ්‍රාහ්මණයන් විසින් ද (මෙහිදී බ්‍රාහ්මණ යනුවෙන් අදහස්‌ කෙරෙනුයේ රහතන් වහන්සේලායි) පණ්‌ඩිතයන් විසින්ද සැකයක්‌ කරන්නේ නැති, පිළිකුල් කරන්නේ නැති උතුම් දානය අභය දානයයි.
ඒ වගේම යම් පුද්ගලයෙක්‌ සොරකම් කරන්නේ නැති නම් කාමයේ වරදවා හැසිරෙන්නේ නැති නම්, බොරු කියන්නේ නැත්නම්, සුරාමේරයෙන් වැළකී සිsටින්නේ නම් ඔහුත් සිදු කරගනු ලබන්නේ අන් අයට අභය ලබාදීමක්‌.
අභය යනු බය නැති කියන අදහසයි. එහි විරුද්ධ වචනය භියයි.
මේ ලෝකයේ සතුන් මරණ, මිනිසුන් ඝාතනය කරන මිනිසුන් සිටිනවා. මේ පුද්ගලයන්ට අපි කොච්චර බියෙන් ද සිටින්නේ. සමාජයේ මිනීමැරුම් සිදු නොවේ නම් එම සමාජයේ මිනිසුන් බිය නැතිව ජීවිත ගත කරනවා. පසුගිය කාලයේදී අප සමාජයේ මේ කියන බිය තිබුණා. කොයි වෙලාවේ බෝම්බ පුපුරයිද, වෙඩි තැබීම් සිදුවෙයිද? පහරදීම් සිදුවෙයිද කියා මිනිසුන් ජීවත් වුණේ බියෙන්. තස්‌ත්‍රවාදී සංවිධානයක්‌ විසින් ඇති කර තිබූ මෙම බිය සමාජයේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ භය නැති කිරීමට දායක වූ සෑමදෙනාම සිදු කළේ අභය දීමක්‌.
අප සමාජයේ මිනිසුන් ගෙවල් දොරවල්වලින් එළියට පැමිණිවිට කොයි තරම් බියෙන්ද සිටින්නේ. තමන්ගේ නිවෙස සොරුන් බිඳී දැයි ද ඔවුන් සිටින්නේ බියෙන්. ඒ නිසා සොරකම් නොකරන පුද්ගලයා සමාජයට අභය දානය දෙනු ලබනවා.
මේ අයුරින් ප්‍රාණඝාතය සිදු කරන, සොරකම් කරන, කාමේ වරදවා හැසිරෙන, බොරු කියන අය නිසා මිනිසුන් කොයි තරම් බියෙන්ද සිටින්නේ. මෙම පුද්ගලයෝ තමන්ම මේ දේවල් නොකරන සිටීමෙන් සමාජය අභය දානය දිය හැකියි කියා සිතනවා නම් ඔවුන්ට කෙතරම් ශේ්‍රෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්ද?
එම ශේ්‍රෂ්ඨත්වය හරහා විශිෂ්ට සමාජයක්‌ ගොඩනගා ගැනීමට පුළුවන්. එවැනි සමාජයක මිනිසුන් සිsටින්නේ සතුටින්. අප දුක්‌ මහන්සියෙන් හම්බ කර ගත් දේ යම්කිසි හේතුවක්‌ නිසා මොහොතකින් නැතිවෙන්න පුළුවන්. ඒ ගැන අප බියෙන් පසුවේ නම් එතැන සතුටක්‌ නැහැ. ඒ නිසා භියෙන් නොපෙළෙන සමාජයක්‌ ගොඩගැනීමට දායක වීම අභය දානය දීමක්‌ හා සමානයි. ඒ නිසා අභය දානය කියන දෙය අපට නිවැරැදිව තේරුම් ගත හැකි නම් සෑම පුද්ගලයකුටම විශාල කුසලයක්‌ කළ හැකියි. කොටින්ම යම් පුද්ගලයයෙක්‌ පංචශීලීව ආරක්‍ෂා කරන්නේ ඔහු සිදු කරන්නේ සමාජයට අභය දානය දීමක්‌.
අද අප සමාජයේ බොහෝ දෙනා බොහෝදෙනාට වෛර කරනවා. එවැනි වෛරී සමජයක්‌ තුළ අපට අවෛරීව සිටිය හැකි නම් එතැන සිදුවන්නේත් අභය දීමක්‌. වෛරී සමාජය තුළ අවෛරීව කටයුතු කිරීමෙන් අපට අභයට හිමිකාරයකු විය හැකියි.
අටුවාව අනුව මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්.
අභයදානං පන රාජතො චොරතො අග්ගිතො උදකතො වෙරීපුග්ගල
තො සීහව්‍යග්ඝයක්‌ඛරක්‌ඛසාදීතො සත්තානං භයෙ
පච්චුපට්‌ඨිතෙ තතො පරිත්තාණභාවෙන වෙදිතබ්බං

පුද්ගලයන්ට රජුන්ගෙන් බිය ඇති වෙනවා. සොරුන්ගෙන් බිය ඇති වෙනවා. ගින්නෙන් බිය ඇති වෙනවා. දියෙන් බය ඇති වෙනවා. ඒ වගේම සිංහ, ව්‍යාඝ්‍ර, යක්‍ෂ, රක්‍ෂාදීන්ගෙන් බිය ඇතිවෙනවා. තැති ගැනීම් ඇතිවෙනවා. ඒ නිසා හාත්පසින් ඇතිවෙන සියලු බිය නැති කර අපට ජීවත් විය හැකි නම් එයම අභය ලැබීමක්‌ වෙනවා.
මිනීමරුවන්ගෙන් හෝ සොරුන්ගෙන් වංචනිකයන්ගෙන්a හෝ කාමාතුරයන්ගෙන් හෝ මත්ලෝලීන්ගෙන් හෝ බොරු කියන්නන්ගෙන් හෝ අලි, කොටි, වලසුන්ගෙන් හෝ දියෙන් ගින්නෙන් හෝ වසන්ගත රෝගයන්ගෙන් හෝ සත්වයන්ට බිය වීමට හේතුවක්‌ ඇති වූ කල්හි එයින් ඔවුන් ගලවා අස්‌වසාලීම ද අභය දානයයි.
අශෝක රජතුමාගේ ටැම්ලිපි අංක 7 මෙහෙම සඳහන් වෙනවා. “ධම්මනියමෙ චු ඛො එස යෙමෙ ඉයං කටෙ ඉමානිච
ඉමානි ජානානි අවධියානි. අංනානි චු බහුකානි
ධංමනියමානි යානි මෙ කටානි නිධතියා ච දු භූයෙ
මුනිඝානං ධංමවඪි වඪිතා අවිහිංසායෙ භූතානං
අනාලංභයෙ පානානං” එම ටැම්ලිපියේ අදහස නම්
ධාර්මික නීති නම් මේ මේ සත්ත්වයන් නොනැසිය යුතුයි.

මා යම් නියමයක්‌ කරන ලද නම් එයයි. තවත් බෙහෝ ධර්ම නියමයන් මා කර තිබෙනවා. එහෙත් තම තමන් සිතා බැලීම හේතුකොට ගෙන සත්වයන්ට හිංසා නොකිරීම සඳහා සත්ත්වයන් නොමැරීම සඳහා ද වැඩියත් මිනිසුන් ධාර්මික වෙන්න ඕනෑ.
තවද අශෝක රජු රජකමට පත් වූ සෑම වර්ෂයකම සිරකරුවන්ට අභයදානය දුන් බව තෝප්‍රා ටැම් ලිපියක සඳහන් වෙනවා.
සියලු සතුන්ට ජීවිත දානය හෙවත් අභය දානය දුන් අවස්‌ථා අපේ ඉතිහාසයෙන් හෙළි වෙනවා. එවන් අවස්‌ථාවක්‌ අනුරාධපුර යුගයේ “ආමණ්‌ඩගාමිණී අභය” රජු මාඝාත” නීතිය පැන වූ අවස්‌ථාව පෙන්වා දෙන්න පුළුවන්. මහා වංසයේ 35 වැනි පරිච්ඡේදයේ 6 වැනි ගාථාවෙන් ඒ බව ඔප්පු වෙනවා. එනම්,
“මාඝතං සකලෙ දීපෙකාරෙසි මනුජාධිපො
වල්ලිඵලානි සබ්බානි රොපාපෙත්වා තහිං තහිං

එම ගාථාවේ අදහස” ඒ ශේ්‍රෂ්ඨ රජතුමා රට පුරා මාඝතය හෙවත් සතුන් නොමරයි යන ව්‍යවස්‌ථාව කරවීය. ඒ වගේම ගෙඩි හට ගන්නා ගස්‌ කොලන් ඒ ඒ තැන රෝපණය කරවීය.
මෙවැනි උදාහරණ ඕනෑතරම් ඉතිහාසය විපරම්කරන විට සොයා ගන්න පුළුවන්. රටේ ජනතාව සුත මුදිතව සිටි තරමටයි ඒ රටේ සංවර්ධනය මනින්නේ. මෙම නූතන රීතිය හරි අපූරුවට අපේ බොහෝ රජවරු ක්‍රියාත්මක කළා.
ඒ වගේම රට පාලනය කරන රජතුමාගෙන් භිය ඇතිවෙන්න පුළුවන්. කොයි වේලාවකදී හෝ තමාගේ දේපළ පවරා ගනීවිද කියලා ජනතාව ඒ දවස්‌වල භියෙන් සිටි අවස්‌ථා තිබුණා.
ඉහළ නිලධාරිවාදය තුළද තියෙන්නේ මෙම බියය තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු කිරීමත් අභය දීමක්‌. රාජකාරිය නිසිලෙස ඉටු කිරීමට අවශ්‍ය පරිසරය හා උපදෙස්‌ ලබාදීම ඉහළ නිලධාරින්ගේ වගකීමක්‌.
අප රාත්‍රි භාගයේදී නින්දට යනවා. පසුදින බලන විට බඩු මිල වැඩිවෙලා. නමුත් බොහෝ රාජ්‍යයන් තුළ ස්‌ථාවර මිල පාලනයක්‌ තියෙනවා. බඩු මිල වැඩිවෙන ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒවා වැඩිවන්නේ අදාළ කාලයන් තුළ පමණයි. ඒනිසා මිනිසුන්ගේ ජීවන රටාවේ ස්‌ථාවරභාවයක්‌ ඇති කිරීමේ වගකීම ඇත්තේ රජයටයි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධාර්මිකව රට පාලනය කරන්න කියලා. යහපත් රාජ්‍යය පාලනය කරන්න කියලා. මහාවංශය හා දීපවංශය වැනි ඉතිහාස ග්‍රන්ථ පරිශීලීනය කිරීමේදී මෙය මැනවින් තහවුරු වෙනවා. යම් පාලකයකු රටේ ස්‌ථාවර භාවයක්‌ ඇතිකර රට යහපත්ව පාලනය කිරීමත් අභය දීමත්, නැතිනම් ඒ රටේ මහජනතාව ජීවත් වන්නේ බියෙන්. ඒ වගේම සැකයෙන් රටේ පාලකයන්ට සෑමදාම සුදු රෙදි ඇඳගෙන අටසිල් සමාදන් විය නොහැකියි. එහෙත් රටේ පාලකයන්ට තමන්ගේ සේවාව ජනතාවට වෙනුවෙන් නිසි ලෙස ඉටු කිරීම අභය දීමක්‌ හා සමානයි.
අද අපට නිතර ඇසෙන දෙයක්‌ තමයි අලි මිනිස්‌ ගැටුම. අලින් ගම්වැදීම නිසා මිනිසුන්a ජීවත් වන්නේ භියෙන්. අම්පාරේ අපගේ ස්‌වාමීන් වහන්සේ නමක්‌ වැඩ සිටිනවා. උන් වහන්සේගේ පන්සලට දෙපාරක්‌ ම අලින්ගෙන් ප්‍රහාර එල්ල වුණා. අලි වැටක්‌ ඉදිකර එය නැවැත්වීමට බලධාරීන් පියවර ගත්තේ නම් උන්වහන්සේට බියෙන් තොරව ජීවත් වීමට පුළුවන්. උන්වහන්සේට පමණක්‌ නොවෙයි අලින්ගෙන් හිරිහැරවන ප්‍රදේශවල ජනතාවට අලින්ගෙන් වන බිය තුරන් කිරීමට පියවර ගැනීම වනජීවී නිලධාරීන්ගේ වගකීමක්‌. අලි මිනිස්‌ ගැටුම උග්‍රවීමෙන් ඇතැම් අවස්‌ථාවල මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා අලින්ගේ ජීවිත ද නැති වෙනවා.
ඒ නිසා අලින්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම අලින්ගෙන් මිනිසුන්ට වන ජීවිත හානි වැළැක්‌වීමට පියවර ගැනීමත්a අභය දානය දීමක්‌.
මෙම ධර්ම සංකල්ප සරලව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. නැතිනම් අපට සෝවාන් මාර්ගයට නොව ඒ අසලටවත් ඒමට බැරිවේවි.
අප පාරේ ගමන් කරනවිට මොනතරම් බියෙන් ද යන්නේ. සමහරක්‌ වාහන කන ළඟින් ඉගිලෙනවා. අපේ හෘද ස්‌පන්දන හැත්තෑදෙවාරයට වඩා වැඩි වෙනවා. රියෑදුරන් විනීත ලෙස රිය පදවනවා නම්, මාර්ග නීති අනුගමනය කරනවා නම් පාරේ ගමන් කරන ජනතාව භිය නැතිව ගමන් කරන්න පුළුවන්. අසංවරව රිය පැඳවීම නිසා අද මොන තරම් නම් මිනිස්‌ ජීවිත හානිවෙලා තියෙනවාද? රිය අනතුරු කීපයක්‌වත් දවසකට අසන්නට ලැබෙනවා. දිනෙන් දින රිය අනතුරුවලින් මියයන සංඛ්‍යාව වැඩි වෙනවා. සමහර අවස්‌ථාවලදී මෙම රිය අනතුරු සිදු කරන්නේ රියෑදුරු බලපත්‍රයන්වත් නොමැති අය. ඒ නිසා බොහොම පැහැදිලියි, රියෑදුරුන් මහ මගදී සිදුවන රිය අනතුරු වළක්‌වා මිනිස්‌ ජීවිත ආරක්‍ෂා කිරීමත් අභය දානය දීමක්‌ ලෙසයි සලකන්න පුළුවන්.
අභය භූමිවල සතුන්ට නිදහසේ හැසිරෙන්න පුළුවන්. ඒ වගේම අපේ අභය භූමි තිබෙනවා. මොනවද ඒ අභයභූමි ඒ අභයභූමි තමයි විහාරස්‌ථාන. විහාරස්‌ථාන හැම එකක්‌ම අභය භූමියක්‌. ඕනෑම මනුස්‌සයකුට විහාරස්‌ථානයට ඇවිත් නිදහසේ හැසිරෙන්න පුළුවන්. ආගමික වතාවත්වල යෙදෙන්න පුළුවන්. විහාරස්‌ථානය කියන්නේ භිය නැතිව හැසිරෙන්න පුළුවන් ස්‌ථානයක්‌. නමුත් ඇතැම් අවස්‌ථාවලදී මෙම සංකල්පයෙන් බැහැරව ක්‍රියා කරන අය ගැනත් ඇතැම් විට අසන්නට ලැබෙනවා එවිට විහාරස්‌ථානය අභය භූමියක්‌ වන්නේ නැහැ. විහාරීය සංකල්පය ආරාමීය සංකල්පය ආරක්‍ෂා කර ගැනීම භික්‍ෂූන් වහන්සේලාගේ යුතුකමක්‌.
අපට ලෙඩ රෝග වැළඳුණුවිට දුක්‌ වෙනවා. බිය වෙනවා. ඉතාමත් අසාධ්‍ය ලෙඩ රෝග හැදුණු විට මරණ බිය පවා ඇතිවෙනවා. වෛද්‍යවරුන් එම රෝග සුවපත් කර ඇති වූ බිය තුරන් කරනවා. ඒ නිසා වෛද්‍යවරුන් රෝගීන් වෙනුවෙන් කරන්නේ අභය දානය දීමක්‌. වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරිය වෙනුවෙන් වැටුපක්‌ ලැබුවත් ඔවුන් කරන සේවය වැටෙන්නේ අභය දානයටයි.
මාධ්‍යයට වුණත් සදාචාරාත්මක නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම අභය දානයක්‌ වෙනවා. අප හිතමුකෝ යම් මාධ්‍යයක්‌ බොරු ප්‍රචාරය කරනවා කියලා. එවිට ජනතාව වැරදි ආකල්ප ගොඩනගා ගන්නවා. ඒ තුළින් ජනතාවට බියක්‌ ඇතිවන්න පුළුවන්. ඒ නිසා ජනතාව බිය නොවන ආකාරයට මාධ්‍ය හැසිරවීමෙන් අභය දීමක්‌ වෙනවා.
අප මෙතෙක්‌ සාකච්ඡා කළ කරුණු ඔස්‌සේ පැහැදිලි වන්නේ අභය දානය යන්න බුදු දහමේ දැක්‌වෙන ඉතා පුළුල් සංකල්පයක්‌ බවයි. අද මොනතරම් ධර්මය දේශනා කළත් අප සමාජයේ ඇති වී තිබෙන්නේ දැඩි පිරිහීමක්‌. එම තත්ත්වය තුළ අප මේ කියන දේවල් සියයට සියයක ප්‍රතිශතයක්‌ බලාපොරොත්තු වන්න බැහැ. නමුත් අභය දානය නමැති උතුම් ධර්ම සංකල්පය නිසි ලෙස අවබෝධ කර ගැනීමෙන් සමාජ ගත ජීවිතය කෙතරම් අර්ථවත් කරගන්න පුළුවන්ද? අභය දානය නමැති ධර්ම සංකල්පය නිසි ලෙස අවබෝධ කර ගැනීමෙන් කී දෙනකුට අභය දානය දීමට හැකියාව පවතිනවාද? එයයි අප තේරුම් ගත යුත්තේ. ක්‍රියාවට නැංවිය යුත්තේ.
අභය දානය යනු සෑම තැනකම විහිදුණු දෙයක්‌. එහි විශේෂ අවස්‌ථාවක්‌ ලෙස ගවයන් නිදහස්‌ කිරීම, මරණයට කැපවුණු කිරි ගවයන් නිදහස්‌ කිරීම හා වෙනත් සතුන් නිදහස්‌ කිරීම පෙන්වා දිය හැකියි. නමුත් අභය දානය යන්නෙන් කිරි ගවයන් නිදහස්‌ කිරීම පමණක්‌ අදහස්‌ නොකෙරේ. අපි සතුන්ද නිදහස්‌ කරන්නේ. ඇයි? සත්තු නිදහස්‌ කරන්නේ මිනිසුන් විසින් එම සතුන් මරණ නිසයි. මිනිසුන් සතුන් මරන්නේ නැතිනම් ඔවුන්ව නිදහස්‌ කර ගැනීමටත් අවශ්‍ය නෑ. ඒ නිසා අප කාටත් ආගම් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව මිනිසුන්ගේ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමත් සඳහා අභය දානය නමැති උතුම් ධර්ම සංකල්පය යොදා ගත හැකියි.
අද සමහර දෙනා පලතුරු කල්තබා ගැනීමට වස විස දමනවා. එළවළු කල්තබා ගැනීමට නොයෙකුත් මිනිස්‌ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය එක්‌කරනවා. ඔවුන් මේ දේවල් කරන්නේ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යැමටයි. නමුත් තමන් කරන දෙයින් අනුන්ගේ ජීවිතය විනාශ වෙනවා නේද කියලා කල්පනා කළොත් මේ අයට මෙම වැරැදි ක්‍රියාවන්ගෙන් ඉවත්වෙනවා පමණක්‌ නොවෙයි අන්අයට අභයට අභය දිය හැකියි. නමුත් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කරන්නේ බරපතළ අකුසල කර්මයක්‌. මේ අය මේ දේවල් කරන්නේ වැඩි ලාභ ලැබීමටයි. නමුත් අඩු ලාභයක්‌ තියාගෙන වෙළෙදාමක්‌ කරගෙන අධ්‍යාත්මික සුවයක්‌ ලැබීමට මේ අයට පුළුවන්.
අද පිළිකා රෝගය වැඩිවෙලා තියෙනවා. පිළිකා වැඩිවීමට හේතුව අපි ගන්නා ආහරවල පවතින ශරීරයට හිතකර නොවන ආහාර රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර බව හෙළිවී තිබෙනවා. නමුත් මේවා කවුරුවත් සිතන්නේ නැහැනේ. නමුත් තමන් කරන අකුසලකර්මවලට මෙලොවෙදී හො පරලොවදී විපාක දීමට සිදුවන බව කවුරුත් තේරුම් ගත යුතුයි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X