වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පින් කුසල් කළ යුත්තේ ඇයි?

ශාස්‌ත්‍රපති ගයිරෑනගම විනීත හිමි
අප බොහෝවිට පින කුසලය ගැන කතා කරමු. කරන පින, කළ පින, කිරීමට ඇති පින ගැනද කතා කරමු. පින මෙතරම් වටින්නේ පරලොව පිහිට පිණිස පින හේතු වන බැවිනි. 'පුඤ්ඤානි පරලෝකස්‌මිං පතිට්‌ඨා හොන්ති පාණිනං.' එමෙන්ම පින නිසා මෙලොව මෙන්ම පරලොවද සතුටින් ජීවත්වන්නට අපට හැකියාව ලැබේ. කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති. පින එසේ සසර ජීවත් වන්නට අවශ්‍ය ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥ යන සම්පත් ලබාදෙයි. එසේ කළ හැකි පින් වර්ග රාශියක්‌ වෙති. දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පත්තිදාන (පින් දීම),, පත්තානුමෝදනා (පින් අනුමෝදන් කිරීම), වෙයියාවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදිය යුත්තත් පිදීම), දේශනා (ධර්ම දේශනා කිරීම, කරවීම), සුති (ධර්මය ඇසීම), දිට්‌ඨිජුකම්ම (ස්‌ථිර නිවැරැදි දැක්‌මක්‌ සහිත වීම) මෙම පුණ්‍ය ක්‍රියාවෝය. දස පුණ්‍ය ක්‍රියා ගනයට ඇතුළත් නොවන යහපත් ක්‍රියාවන්ද ඇත. ආරාම රෝපණය, වන රෝපණය, වෙහෙර විහාර පන්සලි ආදී පූජනීය ස්‌ථාන ඉදිකිරීම, පොදු අවශ්‍යතා වන පාර, පාලම්, ළිං ආදිය ඉදිකිරීම තුළින් සැමදාම පින් සිදුකරගත හැකිය. පින සසර වසන සත්ත්වයාට අවශ්‍යම අංගයක්‌ වන්නේ පින නොමැති වීමෙන් බොහෝ අඩුපාඩු සහිතව දිවි ගෙවීමට සිදු වන බැවිනි. එය මිනිස්‌ ලොව මෙන්ම සත්ත්ව ප්‍රජාව දෙස බැලීමේදී අවබෝධ කරගත හැකිය.
කුසලය නම් වැඩිය යුත්තකි. කුසලස්‌ස උපසම්පදා. අට මහා කුසල් දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා සරලව කිරීමට නොහැකි බවයි. කඨින චීවර පූජාව,අට පිරිකර පූජාව, ආවාස කරවීම, බුදු පාමොක්‌ සඟනට දන්දීම, බණ පොත් ලිවීම, කෙත්වතු පූජා කිරීම, බුදුපිsළිම කරවීම, වැසිකිළි කරවීම ආදිය සරල ඒවා නොවේ. තවද කුසල් කිරීමේදී කාය චිත්ත සංවරය මෙන්ම එම ක්‍රියාව කෙරෙහි මනාව යොමුවූ සිතින් කළ යුතුය. එහි මහඟු ආනිශංස ලබාගත හැක්‌කේ ඇතුළතින් යොමුවු ක්‍රියාවක්‌ බවට පත්කර ගැනීමෙන් පමණි. මුදල් වියදම් කළ පමණින් උසස්‌ අනුසස්‌ ලද නොහැකිය. මේ පිනට එහා ගිය කුසලයක්‌ වන්නේ එබැවිනි. දන්දීම, පිනක්‌ වන්නේත්, සඟසතු දානය කුසලයක්‌ ලෙසත් දක්‌වා ඇත්තේ ක්‍රියාවට වඩා මානසිකව පවත්නා බරපතළ අකුසල ෙච්තනා යටපත් කිරීමට, උපදවා ගනු ලබන කුසලය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ නිර්වාණය දක්‌වා ගමන් කිරීමටද හැකියාව ලැබේ. බුද්ධ කාලීන උපාසක උපාසිකා පිරිස අතර කුසල් කළ සමහර දෙනා සෝවාන් වූ බවත් කෙනෙක්‌ රහත්වූ බවත්, ඇතැමෙක්‌ දෙව්ලොව උපන් බවත් සඳහන් වන්නේ කුසලය තුළින් නිවන් මඟ සාදාගත් ආකාරයේ ඇති වෙනස්‌ බව නිසාය.
සසර සැරිසරන සත්ත්වයා අතර මිනිසාට පින කුසලය ගැන මෙතරම් අවවාද කර ඇත්තේ මක්‌නිසාද? මිනිසා අන් සත්ත්වයන් අතර උසස්‌ වන නිසාය. එම උසස්‌ තත්ත්වය ලැබෙන්නේද සසර කළ පිනෙහි සහ කුසලයෙහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ලබාගත් උසස්‌ මනුෂ්‍ය භාවය ආරක්‌ෂා කර ගැනීමේ වගකීම තම තමන් සතු වේ. එමෙන්ම පිනෙහි විපාකය ලැබෙන්නේ එය කරන පුද්ගලයා පිහිටුවාගනු ලබන චිත්ත සම්පත්තිය අනුවය. ඇතැම් අය පින් කරන්නට ආරම්භ කරන්නේම ලෝභය පෙරටු කොට ගෙනය. අටපිරිකර පූජාව යනු අටමහා කුසලයකි. ආගමික ස්‌ථානයකින් අඩු මුදලට ලබාගෙන පූජා කිරීමට ඇතැමෙක්‌ යොමුවන්නේ එම මහා පින්කමේ අනුසස්‌ නොදැනය. අඩු මුදලට ගැනීමට සිතීමෙන් ලෝභය පෙරට එන සැටි ඔබට වැටහෙනවා ඇත. එවිට උසස්‌ ආනිශංසයක්‌ ලැබෙන්නේ කෙසේද? ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මොහෝ අකුසල මූලං (අකුසල මූල සූත්‍රය, අං. නිකාය). ලෝභය අකුසල මූලයක්‌ මිස කුසල මූලයක්‌ නොවේ. එනිසා පිනක්‌ හෝ කුසලයක්‌ කිරීමේදී අලෝභ අදෝස, අමෝහ කුසල මූල ඇතිකර ගැනීම ඉතාම වැදගත් වේ.
මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති සූත්‍රයක්‌ සංයුත්ත නිකායේ දැක්‌වේ. එය ඛණ සූත්‍රයයි. එහි දැක්‌වෙන ආකාරයට (ලාභාවො භික්‌ඛවෙ සුලද්ධං වො භික්‌ඛවෙ ඛණො වො පටිලද්දං බ්‍රහ්මචරියා වාසාය) මහණෙනි, ඔබට ලාභයෙකි, ඔබට යහපත් ලැබීමෙකි, බ්‍රහ්මචරියාව වාසය කිරීමට සුදුසූ අවස්‌ථාවක්‌ ඔබලා විසින් ලබන ලද්දේය. මහණෙනි මා විසින් ඡ ඵස්‌සායතන නම් නිරයො දැක්‌කෙමි. එහි ඇසින් යම් රූපයක්‌ දකීනම් අනිෂ්ට රූපයක්‌ම දකියි. ඉෂ්ට රූපයක්‌ නොදකී. (අනිට්‌ඨා රූපංයේව පස්‌සති නො ඉට්‌ඨ රූපං) අකමැති රූපයක්‌ම දකී. කැමැති රූපයක්‌ නොදකී. (අකන්ත රූපංයේව පස්‌සති නො කන්ත රූපං) ප්‍රිය මනාප නොවූ රූපයක්‌ම දකී. ප්‍රියමනාප රූප නොදකී. (අමනාප රූපං යේවපස්‌සති නො මනාපං) එමෙන්ම කනින් යම් ශබ්දයක්‌ අසයිද, අනිෂ්ඨ ශබ්දයක්‌ම අසයි. ඉෂ්ට ශබ්දයක්‌ නොඅසයි. අකමැති ශබ්දයක්‌ම අසයි. කැමති ශබ්දයක්‌ නොඅසයි. අප්‍රිය ශබ්දයක්‌ම අසයි. ප්‍රිය ශබ්ද ඇසීමට නැත. නාසයට යම් ගඳක්‌ දැනේ නම් අනිටු ගඳක්‌ම දැනේ ඉටු ගඳක්‌ නොදැනේ. අකමැති ගඳක්‌ම දැනේ, කැමැති ගඳක්‌ නොදැනේ. අප්‍රිය ගඳක්‌ම දැනේ ප්‍රිය ගඳක්‌ නොදැනේ. දිවෙන් යම් රසයක්‌ දැන ගනීද, අනිටු රසයක්‌ම දැනේ ඉටු රසයක්‌ නොදැනේ. අකමැති රසයක්‌ම දැනේ, කැමති රසයක්‌ නොදැනේ. අමනාපරසයක්‌ම දැනේ, මනාප රසයක්‌ නොදැනෙ. කයින් යම් ස්‌පර්ශයක්‌ බාද, අනිෂ්ට ස්‌පර්ශයක්‌ම ලබයි. ඉෂ්ට ස්‌පර්ශයක්‌ නොලබයි. අකමැති ස්‌පර්ශයක්‌ම ලබයි.කැමැති ස්‌පර්ශයක්‌ නොeබෙයි. අප්‍රිය ස්‌පර්ශයක්‌ම ලබයි. ප්‍රිය ස්‌පර්ශයක්‌ නොලබයි. සිතට යම් යම් අරමුණු එයිද, අනිෂ්ට අරමුණක්‌ම එයි, ඉෂ්ඨ අරමුණක්‌ නොයෙයි. අකැමැති අරමුණක්‌ම එයි, කැමැති අරමුණක්‌ නොයේ. අප්‍රිය අරමුණක්‌ම ලැබෙයි, ප්‍රිය අරමුණක්‌ නොලැබෙයි.
මහණෙනි, ඔබලාට ලාභයක්‌ම ලැබුණේය. යහපතක්‌ම ලැබුණේය. බ්‍රහ්මචරියා වාසයට සුදුසුම අවස්‌ථාවක්‌ ලබන ලද්දේය. මා විසින් ඵස්‌සායතනික නම් සුගතිය දකින ලද්දේය. (දිට්‌ඨි මායා භික්‌ඛවෙ ඵස්‌සායතනිකා නාම සග්ගා) එහි ඇසින් යම් රූපයක්‌ දකීද, ඉෂ්ට රූපයක්‌ම දකී. අනිෂ්ට රූපයක්‌ නොදකී. කැමැති රූපයක්‌ම දකී. අකැමැති රූපයක්‌ නොදකී. ප්‍රිය රූපයක්‌ම දකී. අප්‍රිය රූපයක්‌ නොදකී. කනින් යම් ශබ්දයක්‌ අසයිද ඉෂ්ට ශබ්දයක්‌ම අසයි.අනිෂ්ට ශබ්දයක්‌ නොඅසයි. කැමැති ශබ්දයක්‌ම අසයි. අකැමැති ශබ්දයක්‌ නොඅසයි. ප්‍රිය මනාප ශබ්දයක්‌ම අසයි, අප්‍රිය ශබ්දයක්‌ නොඅසයි. නාසයෙන් යම් සුවඳක්‌ දැන ගනීද, ඉෂ්ඨ වූ සුවඳක්‌ම දැනගනී, අනිෂ්ට වූ සුවඳක්‌ නොදැනේ. කැමැති වූ සුවඳක්‌ම දැනේ, අකැමැති සුවඳක්‌ නොදැනේ. ප්‍රිය වූ සුවඳක්‌ දැනේ, අප්‍රිය වූ සුවඳක්‌ නොදැනේ. දිවෙන් යම් රසයක්‌ විඳ ගනීද, ඉෂ්ට වූ රසයක්‌ම විඳියි, අනිෂ්ට වූ රසයක්‌ නොවිඳී. කැමැති වූ රසයක්‌ම විඳී, අකැමැති වූ රසයක්‌ නොවිඳී. ප්‍රිය වූ රසයක්‌ම විඳී, අප්‍රිය වූ රසයක්‌ නොවිඳී. ශරීරයෙන් යම් ස්‌පර්ශයක්‌ ලබාද, ඉෂ්ට වූ ස්‌පර්ෂයක්‌ම ලබයි. අනිෂ්ට වූ ස්‌පර්ෂයක්‌ම නොලබයි. කැමැති වූ ස්‌පර්ෂයක්‌ම ලබයි, අකමැතිවූ ස්‌පර්ෂයක්‌ නොලබයි. ප්‍රියවූ ස්‌පර්ෂයක්‌ම ලබයි, අප්‍රිය වූ ස්‌පර්ෂයක්‌ නොලබයි. සිතින් යම් අරමුණු දැන ගනීද, ඉෂ්ට වූ කැමැතිවූ, ප්‍රිය මනාප වූ අරමුණක්‌ම ලබයි. අනිෂ්ට වූ අකැමැතිවූ ප්‍රිය වූ අරමුණු නොලබයි.

ඉහත සඳහන් සූත්‍රය විස්‌තරාත්මකව දැක්‌වූයේ එහි සඳහන් අර්ථය මනාව දැන ගැනීම සඳහාය. බුදුරජාණන් වහන්සේ නිවැරැදි මාර්ගය දන්නේය (මග්ගඤ්­). මාර්ග පෙන්වීමෙහි දක්‌ෂය (මග්ග කෝවිදෝ). උන්වහන්සේ සර්වඥ බැවින් සියල්ල මැනවින් පසක්‌ කළ සේක. එබැවින් තමා දැක්‌ක දෙයම දැක්‌ක දේ ලෙස දේශනා කර ඇත. නිරයත් එහි ස්‌වභාවයත්, සුගතියත් සුගතියේ ස්‌වභාවයත් දකින උන්වහන්සේ මහාකරුණාවෙන් මිනිසාට දේශනා කරන්නේ දුගතියට නොයා සුගතියට යන ලෙසය. ඒ සුගතිය සැප සහිත බැවිනි. දුගතිය දුක්‌ සහිත බැවිනි.

එහෙත් බුද්ධ දේශනාවේ පරම සැපය ලෙස දක්‌වා ඇත්තේ නිවන් අවබෝධ කිරීමයි. නිබ්බානං පරමං සුඛං. එම නිසාම ලෝකෝත්තර සැප විෂයෙහි මූලික අවධානය යොමු කිරීම තථාගත දේශනාවේ දැකිය හැකිය. සංයුත්ත නිකායේ සගයිහ සූත්‍රයේ දක්‌වා ඇත්තේ මහණෙනි, දෙවි මිනිසුන් රූපයෙහි, ශබ්දයෙහි, ගන්ධයෙහි, රසයෙහි, අරමුණෙහි ඇල්මෙන් යුතුව, සතුටු වෙති. එම සංවේදන වෙනස්‌වීමෙන් විරාගයෙන්, නිරෝධයෙන්, දුක්‌ ඇතිව වාසය කරති. තථාගත සම්බුදුරජාණන් වහන්සේ රූප, ශබ්දාදියෙහි ඇතිවීමත්, නැතිවීමත්, ආස්‌වාදයත්, ආදීනවයත්, නිස්‌සරණයත් තතුසේ දැන අරූපයෙහි ඇල්ම නැතිව, රූප ශබ්දාදියේ විරාගයෙන් නිරෝධයෙන් සතුටුව වාසය කරන බවයි. මේ අනුව පින් කුසල් කිරීමෙන් මෙලොව සතුටින් වාසය කිරීමත්, පරලොව සුගතිගාමී වීමත්, මෙන්ම ලෝකෝත්තර සැප වශයෙන් නිවන් අවබෝධ කිරීමත් පෙන්වාදිය හැකිය. මෙම සෑම අවස්‌ථාවකටම වැදගත් වන්නේ ලබාගත් උතුම් මිනිස්‌ භවයයි. බණ සම්පත්තිය දැන් ලබාගෙන ඇත. උත්සාහවත් වීම තම තමන් සතු කාර්යයකි. නුවණැත්තෝ උත්සාහ කරත්වා.
 
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X