වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අට මහා කුසල් අතර පළමු පින්කම

අවුලේගම බයව කැලේගම 
පුරාණ විහාරයේ 
හිඳව සෝභිත හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 
කඨිනංච පරික්ඛාරං වාසදානංච උත්තමා 
බුද්ධප්පමුඛ සංඝස්ස දානංධම්මස්ස ලේඛනං 
ඛෙත්තදානංච සංඝස්ස පටිමාකරණම්පිච 
කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤාති වුච්චරෙතී.

සුපින්වතුනි,
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මේ කාමාවචර ලෝකයේ අපට සිදු කරන්නට පුළුවන් අටමහා කුසල් පිළිබඳව සඳහන් කළා. සැමදා පින් වර්ධනය වෙන පින්කම් අටක්. 1. කඨින සිවුරක් පූජා කිරීම, 2. අට පිරිකරක් පූජා කිරීම, 3. ආවාස ගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම, 4. බුදු පාමොක් මහ සඟනට සඟසතු කර දන්දීම, 5. බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම, 6. සඟසතු කර හෝ බුද්ධ පූජා වශයෙන් හෝ කෙත්වතු පිදීම, 7. බුදු පිළිම තැනවීම (ධාතු චෛත්‍ය විහාර මන්දිර මලසුන් හා බෝධි රෝපණය ද මීට අයත් වේ.) 8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම යන කරුණු අටයි. අට මහ කුසල්වල මුල්ම පින්කම කඨින චීවර පූජාවයි. පෙරවස් පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක්වරක් පමණක් දිය හැකි ආමිෂ දානයකි. වප්මස අව පෑලවිය දිනයේ පටන් ඉල්මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් පමණ වූ කාලය කඨිනය පූජා කළ හැකි සමයයි. එය චීවර මාසය නමින් හැඳින්වේ. කඨින චීවරය ලැබීම නිසා පස්මසක් ගතවනතුරු භික්ෂූන්ට විනය ප්‍රඥප්ති පහක් පිළිබඳව විශේෂ පහසුකම් ඇතිවන බැවින් කඨින චීවර පූජාව වැදගත් පින්කමකි. වෙනත් සිවුරු දහසක් ලැබීමෙන් ද භික්ෂුවකට ඒ වරප්‍රසාද එකකුදු නොලැබේ. මේ නිසා කඨිනය දෙන දායකවරුන්ට ද මහා කුසලයක් ලැබේ. “කඨින” යන වචනයේ තේරුම අනුව ද ඉක්මනින් කළයුතු තදබල නොසැලෙන ගරු මහා පින්කමක් බව කියවෙයි. සතරපේරුවේ දායක දායිකා පිරිස දිනයක් නියම කරගෙන ගොදුරු ගමේ සෑම ගෙදරක්ම පින්කමට සහභාගි කරවා ගැනීමට කටයුතු පිළියෙළ කරති. නියමිත දින අලුයම තුන් සිවුරක් එක් සිවුරකට ප්‍රමාණවත් අලුත් වස්ත්‍රයක් හා එයට අවශ්‍ය ඉදිකටු, නූල්, පඬු ආදිය ද අනෙකුත් උපකරණත් සමඟ ගමපුරා කඨින වස්ත්‍රය රැගත් පුද පූජා භාණ්ඩ සහිත මහා පෙරහර සංචාරය කර අලුයම් වේලෙහි, ගරු ගම්භිර විලාසයෙන් විහාරස්ථානයට ළඟාවේ. අනතුරුව කඨිනය මහා සංඝයාට පූජා කරති. උදෙන්ම පිදිය යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදිනම සිවුරක් කරගත යුතු බැවිනි. හිමිදිරි උදෑසන නැවුම් වස්ත්‍රයක් කඨිනය සඳහා පූජා කිරීමෙන් හැම සිත් සතන් තුළම පහන් සිතිවිලි ජනිත වනු ඇත. පූජා කළ වස්ත්‍රය කපා මසා පඬු පොවා සිවුරක් කිරීමේදී ද ගිහි පැවිදි දායක කාරකාදීන්ට මහත් කුසල් රැසක් අත්කර ගැනීමට අවස්ථාව ලැබේ. මහණෙනි, වස් වැසූ භික්ෂූන්ට කඨිනය අතුරන්ට අනුදැන වදාරමි. මෙසේ පනවා වදාළ බුද්ධ වචනයට අනුකූලව වස් වැසූ භික්ෂූන් විෂයෙහි කරන මහා උදාර පූජාවකි.
කඨින පූජාවේ දී භික්ෂූන්ට ප්‍රයෝජනවත් වෙනත් පිරිකර හා ගරු ලඝු පරිස්කාර ද ආහාරපානාදිය සැදැහැතියෝ පුදති. කඨින පූජාවට වස්ත්‍ර දෙක තුනක් පිදුවොත් සංඝ සම්මතයෙන් වඩා සුදුසු වස්ත්‍රය කඨිනය වශයෙන් පිළිගත යුතු ය. කඨින පූජාව කරන අයට ද එම ආනිසංස වශයෙන් උත්තම පුරුෂයෙක්ව ඉපදීම, අගතියට නොයාම, ඉසුරුමත්ව මිනිස් ලොව ඉපදීම, උසස් කුලයන්හි ඉපදීම, ධනවත් වීම, පි‍්‍රය මනාපවීම, සක්විති සම්පත් ලැබීම, තේජස හා කීර්තිය පැතිර යාම යනාදී යහපත් පලවිපාක අත්පත් වේ. නාගිත තෙරුන්වහන්සේ මහා කල්ප දහ අටක් (18) දෙව් ලෝ මිනිස් ලෝ සැප විඳ ඒ කඨින දානානිශංසයෙන් ම සකල ක්ලේශයන් ප්‍රහීණ කොට බුදුරදුන් ඇතුළු පන්සියයක් මහ තෙරුන් වහන්සේ ඉදිරිපිට තමාගේ පූර්ව කර්ම චරිතාපදානය ප්‍රකාශ කළහ. කඨිනය අයුතු සෙවීමකින් හෝ කයින් බසින් දායකවරුන් පොළඹවා හෝ නොලැබිය යුත්තකි. අහසින් පැමිණි දෙයක් මෙන් ලබා ගන්නා නොදැනුවත්ම ඇඟවීමක් නොමැතිව ධාර්මික ව ලැබිය යුත්තකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි කඨිනයක් පිළිගත්තා වූ කඨිනයක් ඇතුරුවා වූ භික්ෂූන් වහන්සේට ආනිසංස පහක් ලැබෙනවා. ඒ කුමන ආනිසංස පහක්ද භික්ෂූන් වහන්සේ නමක් තමන් ඉන්න ආවාසයෙන් පිටවෙලා යනවා නම් අඩු තරමින් එතන ඉන්න ආවතේව කරුට කියා හෝ මිස පිටත් විය නොහැකිය. එසේ නොකියා පිටවෙලා ගියොත් ඇවතක් සිදුවෙනවා. නමුත් මේ කඨින චීවරය ලැබූ භික්ෂූන් වහන්සේ නමකට යම්කිසි ධර්ම චර්යාවක් සඳහා යහපත් කටයුත්තක් සඳහා ඕනෑම වෙලාවක කිසිවෙකුට නොදන්වා විහාරයෙන් බැහැරවීමේ අයිතිය තථාගතයන් වහන්සේ විසින් පවරලා තියෙනවා. ඒ පළවෙනි ආනිසංසයයි. දෙවෙනි ආනිසංසය තුන්සිවුරු අධිෂ්ඨාන කළා වූ භික්ෂුවකට සෑම දාම පසුවදා අරුණ නැගෙන කොට ඉර පායන කොට සිවුරු තුනම ළඟ තියෙන්නට ඕන. එකක් හෝ වෙන තැනක තිබුණොත් ඇවතක් සිද්ධ වෙනවා. මේ කඨින චීවරය පිළිගත්තාවූ භික්ෂුවකට කැමැති සිවුරක් ළඟ තියාගන්න පුළුවන්. කැමති සිවුරක් බැහැර තියන්න පුළුවන්. සුවසේ පහසුවෙන් ගුණධර්ම පුරන්න පුළුවන්. මේ කියන ලද මාස පහේ කාලය ඇතුළත. මේ කඨින චීවරයක් ලැබූ භික්ෂුවකට ලැබෙන්නා වූ ආනිසංසයයි. තෙවැනි ආනිසංසය අතීත කාලයේ සමහර මනුෂ්‍යයෝ භික්ෂූන් වහන්සේලා දෙතුන් නමක් වැඩ සිටින තැනට ගිහින් ආරාධනා කරනවා. ස්වාමීනි, අපේ ගෙදර අද බතක් ලෑස්ති කරලා තියෙනවා යැයි නුසුදුසු ආකාරයෙන් ආරාධනා කරනවා. එබඳු නුසුදුසු ආකාරයේ ආරාධනා පිළිගන්නට එපා කියලා බුදුහාමුදුරුවො දේශනා කළා. නමුත් මේ කඨින චීවරයක් ලැබුවා වූ භික්ෂුවකට කවර විදියෙන් ආරාධනා කළත් දානයකට අනුග්‍රහ පිරිසක් තමන්ගේ මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිසත් ඒ ඕනෑම ආරාධනාවක් පිළිගෙන දන් වළඳන්නට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. මේ කඨින චීවරයක් ලැබූ භික්ෂුවකට ලැබෙන ආනිසංසයක්. සිව්වැනි ආනිසංසය උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරනවා නම් ඒ සිවුරු තුනට අමතරව කිසිම වස්ත්‍රයක් විනයානුකූ ක්‍රමයකට හැරෙන්නට තියාගන්න බෑ. එහෙම තියාගත්තොත් ඇවතක් සිද්ධ වෙනවා. නමුත් මේ කඨින චීවරයක් පිළිගත්තා වූ භික්ෂුවකට තමන් වහන්සේ කැමති තාක් සිවුරු පිරිකර මේ මාස පහ ඇතුළත පරිහරණය කරන්න පුළුවන්. අන් අයට දෙන්න පුළුවන් කැමති සේ පවත්වන්න පුළුවන්.
පස්වෙනි ආනිසංසය අන්‍ය අවස්ථාවලදී සඟ සතු කරලා යම් තාක් සිවුරු පිරිකර පූජා කරනවද. ඒවා එක් භික්ෂුවකට ගන්න බෑ. සියලු දෙනාට බෙදා දෙන්න ඕන. නමුත් මෙසේ කඨිනයක් පිළිගත්තා වූ භික්ෂුවකට ඒ හා සමඟ සඟසතු කරලා ලැබෙන සිවුරු සියල්ලමත් කඨිනානිසංස පවතින මාස පහ ඇතුළත ලැබෙන සිවුරු සියල්ලමත් තමන්ට කැමැත්තක් කරන්න පුළුවන්. කැමැති නම් අන් අයට දෙන්න පුළුවන්. කැමැත්තට අනුව පවත්වන්න පුළුවන්. මේ කියන ශික්ෂාපද පහකින් බුදුහාමුදුරුවො නිදහස දුන්නා කඨින චීවරයක් ලබන්න වූ භික්ෂුවකට. මේ භික්ෂූන් වහන්සේට ලැබෙන්නා වූ ආනිසංසයන්, සැදැහැවත් පින්වතුන් බොහොම වුවමනාවෙන් කරන්නා වූ මහා පින්කමක් කඨින පින්කම, ගම්බද පැරණි කඨින පූජා පින්කම්වල තවත් විශේෂ ලක්ෂණයකි. විහාරස්ථානයට අවශ්‍ය ගරු ලඝු භාණ්ඩ, පූජා කිරීම, එසේම කඨින පූජා පෙරහර සැදැහැතියන් විසින් ගෙන යන කෙසෙල් පොල් පුවක්, ආදී පැළ වර්ගද බෙහෙත් පැළෑටි වර්ගද, පන්සල් වත්තේ රෝපණය කරති. මෙම පින්කමින් බෞද්ධ ජනතාව තුළ ගුණවගාව ඇතිවන අතරම පන්සල ද පුෂ්පාරාමයක්. ඵලාරාමයක් බවට පත් වේ. වර්ෂයකට වරක් ගම පුබුදුවා ගිහි පැවිදි සම්බන්ධය තහවුරු කරවන දෙලොව වැඩ සලසන කඨින පූජා පින්කම අට මහ කුසල් අතර ප්‍රථම ස්ථානයේලා ගැනේ. රටේ පාලකවරුන් මහා උත්සවාකාරයෙන් රට වැසියා සමඟ මෙම පින්කම කළ බව පොත පතේ සඳහන් වෙනවා. 4 වන දළ මුගලන් රජතුමා ලක්දිව සියලුම ආරාමයන්ට කඨින චීවර පූජා කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමන් (බු.ව. 1889) කඨින පින්කම් අසූවක් සිදුකර ඇත. කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජතුමා (බු. ව. 1953) කඨින පින්කම් (3432) ක් සිදුකළ බව සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (බු.ව. 2226) කඨින පූජා රැසක් සිදු කළ බව සඳහන් වේ. රාජාධිරාජසිංහ රජු (බු.ව. 2323) වර්ෂයක් පාසා කඨින පින්කම් සිදුකරන්නට උනන්දු වූ බව වාර්තාගතයි. අටමහා කුසල් දෙව්ලොව, මිනිස් ලොව, උසස් සැප සම්පත් ලබාදීම පමණක් නොව අවසානයේ සසර දුකින් නිදහස්ව ලබන ලෝකෝත්තර තත්ත්වය අවබෝධ කර ගැනීමටද හේතුවන කුසලයන් බව සැළකිය යුතු යි.
ඔබ සැමට තෙරුවන් සරණයි.
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X