වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පිළිවෙතින් කරන පින්කමෙන් ලැබෙන කුසල් අපමණයි

අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් අත් මිදීම පිණිස උතුම් සදහම් දේශනා වදාළ සේක.අපගේ විමුක්ති මාර්ගය සලසා ගන්නා ආකාරය පිළිබඳව බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළ සේක. අප ඒ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා උත්සුක වන ආකාරය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීම ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම පින්කම් සිදු කිරීමේදී අනවබෝධය නිසා නැවත නැවතත් සසරට ඇලෙන බැඳෙන ආකාරයෙන් පින්කම් කිරීමත්, පින්කම තුළ සැබෑ ලෙස සතුටුවීමට නොහැකි වීමත් අපට තිබෙන ප්‍රධානම අඩුපාඩු ලෙස පෙනී යනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හෙවත් දාන, ශීල ,භාවනා සිදු කිරීමේදී බොහෝ විට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව කටයුතු කරන ආකාරය අපට දැක ගන්නට ලැබෙනවා. මේ කරුණු ඉතාමත් සරල කරුණු කියල කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒත් මේවා වරද්දා ගැනීම තුළින් අපට නිවන් මඟ අහිමි වෙනවා. සුගතිය අහිමි වෙනවා.
අප දානමය පින්කම් කරන අවස්ථාවලදී වරද්දා ගන්නා ආකාරය ටිකක් විමසල බලමු. අපි හිතමු යම් පින්වතෙක් පින්වතියක් සාංඝික දානමය පින්කමක් කරනව කියලා . ඉතින් මහා සංඝරත්නයට දානය පිරි නමනව. සමහරු මහා සංඝරත්නයට දානය පිරිනමල උන්වහන්සේලාට නිදහසේ දානය වළඳන්න ඉඩදෙන්නෙ නෑ. උන්වහන්සේලාගෙන් විවිධ දේවල් අහනව. උන්වහන්සේලා සමඟ සාකච්ඡා කරනව. සමහර විට උන්වහන්සේට ආහාර වළඳන ගමන් කථාකරන්න සිදුවෙනව. අපට විනයානුකූලව දානය වළඳනකොට කථා කරන්න සුදුසු නෑ කියල අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව. ඒත් මේ පින්කම කරන දායක පින්වතුන්ම ඒ විනය කඩ කිරීමට කටයුතු කරනවා. ඒ වගේම සමහර විට වගේම බොහෝ විට විකාලයේ දානය පූජා කරනව. එතකොට අපේ සාංඝික දානයෙන් ලබා ගත හැකි නියම ආනිශංස ලැබෙන්නෙ නෑ .බොහෝ විට මහා සංඝ රත්නයට ශික්ෂාපද රැක ගැනීමට බාධා කිරීම නිසා අකුසල් රැස් වෙනව.ඉතිං බලන්න. අප සිදු කරන්නෙ උතුම් පින්කමක්. නමුත් එය සිදු කරන ආකාරය අනුව අපට අකුසල රැස් වෙනව.
ඒ වගේම බොහෝ නිවෙස්වල පින්කම් සිද්ධ වෙනකොට අද අනිවාර්ය අංගයක් වෙලා තියෙනව මත්ද්‍රව්‍ය, මත්වතුර, දානමය පින්කමකදී ඒ ගෙදර ස්වාමියා හෝ සහෝදරයෙක් හෝ වෙනයම්ම කෙනෙක් මත්ද්‍රව්‍ය මත්වතුරට ඇබ්බැහි වෙලා ඉන්නව නම් අනිවාර්යයෙන්ම මේ පාපකාරී කාරණාව සිදු කරනව. සමහර විට ධර්මය අහන්නෙත් මත්වතුර පානය කරල. දානෙ බෙදන්න එන්නෙත් මත්වතුර පානය කරල. දානෙට පන්සලෙන් ගෙනාපු පිඟන් බඩු ටික භාරදෙන්න එන්නෙත් මත්ද්‍රව්‍ය පානය කරල. පිරිත් ගෙදරත් මත්වතුර, මල ගෙදරත් මත්වතුර, සමහර විට මළගෙවල්වල රෑ එළිවෙනකම් නිදිවරන පුද්ගලයන්ට දිගටම මත්වතුර, මත්ද්‍රව්‍ය දෙනව. සම්පූර්ණයෙන්ම රැස්වෙන්නෙ අකුසල්. හැබැයි පින්කම අවසන් වුණහම පුදුම විදියට සතුටු වෙනව අපි අංග සම්පූර්ණව පින්කම කළා කියල. ඒත් පින්කමට වඩා කරගෙන තියෙන්නෙ පව්කම්.
ඊළඟට පිරිකර පූජා කරන අවස්ථාවෙදී සමහර උපාසක උපාසිකාවො කලින්ම තීරණය කරනව අහවල් හාමුදුරුවන්ට මම පිරිකර පූජා කරනව කියල. ඒත් තමන්ට කලින් වෙන කෙනෙක් ඒ ස්වාමින් වහන්සේට පිරිකර පූජා කළොත්. මේ කෙනාගේ හිතට අමාරු වෙනව. සමහර විට තමන්ට කලින් අර පිරිකර පූජා කරපු කෙනා පිළිබඳව ද්වේෂයක් ඇති කරගන්නව. පින්කමක් කරන්නෙ. ඒත් ද්වේශය ඇති කර ගන්නව. බලනකොට ව්‍යාපාද සංකල්පනාව තුළ ඉන්නෙ. මෛත්‍රියක් නෑ. දන්නෙම නැතිව අකුසල් රැස් කර ගන්නවා. ඒ වගේම දන් වැළඳූ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන අවස්ථාවේදී සමහර විට තමන් අර දානයට සකස්කළ ආහාරපාන පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙනව. තමන් ඒව බෙදා දෙන්න පෙර වෙන කෙනෙක් ඒව අරගෙන පරිහරණය කරල තිබුණොත් අන්න තමන්ට සමහර විට ද්වේෂය හට ගන්නව. මේ වගේ සිදුවීම් අනන්තවත් සිදුවෙනව. එතකොට අත්හැරීම කියන එක හරියට සිදුවෙන්නෙ නෑ. පින්කම අතරතුරේදී ලෝභය ඉස්මතුවෙලා එනව. ඒ කියන්නෙ නෙක්ඛම්ම සංකල්පනාව ඇතිවෙන්නෙ නෑ. සමහර විට දානය අවසන් වුණාට පස්සෙත් අර මහා පින්කම ගැන හිතල සතුටුවෙන්නෙ නෑ. පින්කමේදී වෙච්ච අඩුපාඩු ගැන තමයි කල්පනා කර කර ඉන්නෙ.
ඊළඟට පින්වතුන් සීලය පිළිබඳව විමසල බලන්න ඕනෑ. සමහර විට සිල් රැක ගැනීමට පෝය දිනවල විහාරස්ථානයට යනව. ඒත් නෙක්ඛම්ම සංකල්පනාව නෑ. ධර්මශාලාවෙ නිරතුරුවම ඉඳගන්න තැනක් තියෙනව නම් හැම පොහෝ දිනකම ඒ උපාසක මහත්මා හෝ උපාසිකාව එතනම තමයි ඉඳගන්න කැමැති වෙන්නෙ. බැරි වෙලාවත් එතන වෙන කෙනෙක් ඉඳගෙන හිටියොත් අදාළ කෙනාට ඒ පිළිබඳව අමනාපයක් ඇති වෙනව. සමහර විට එතන ඉඳගෙන ඉන්න කෙනා එක්ක කේන්ති යනව. එතකොට ඇතිවෙන්නෙ ව්‍යාපාද සංකල්පනාව අර බිත්තිය අතහැර ගන්න බැරි වෙනකොට ඇතිවෙන්නෙ ලෝභ චේතනාවක්. කාය සංකල්පනාව, නෙක්ඛම්ම සංකල්පනාව නෙවෙයි.
ඒ වගේම භාවනාවෙදිත් අපේ පින්වතුන් මිථ්‍යා සංකල්පනාව තුළ ඉඳගෙන කටයුතු කරනව. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව කරන්නට කියල අපි හිතමු. සමහර විට නිදිමත දැනෙන කොට ශරීරයට නොයෙක් වේදනා එනකොට ව්‍යාපාදය හටගන්නවා. එතෙන්දි අපි කරන්න ඕන මෛත්‍රි ඇති කරගැනීම. ඒ වගේම අපි හිතමු අපි භාවනා කරනකොට බල්ලො බුරනව කියල. එතකොට සමහරුන්ට බල්ලොත් එක්ක කේන්ති යනව. ළමයි කෑගහනකොට ළමයි එක්ක කේන්ති යනව. ඉතිං බලන්න පින්වතුනි කරන්නෙ මෛත්‍රී භාවනාව. හැබැයි ඉන්නෙ ව්‍යාපාදය තුළ. ඉතිං ඒ නිසා පින්වතුනි, අපි පින්කම් කරනකොට මේ අවබෝධය ඇති කරගෙන සම්මා සංකප්ප තුළ ඉඳගෙන කටයුතු කරන්න ඕන. එතකොට අපිට සැබෑ ලෙස පින්කම් කරන්න පුළුවන්.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X