වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

කුසල් ලෙසින් පෙනෙන අකුසල්

නාවලපිටියේ අරියවංශ හිමි
ගරුසරු ඇතිව වාසය කරමින් සේඛ ධර්ම ඇතිකර ගන්නා ආකාරයයි මීට පෙර සාකච්ඡා කළේ. ඒ වගේම පිරිස සමග ගරුසරු ඇතිව වාසය කරන විට නුවණින් කල්පනා කළ යුතු තවත් කාරණාවක් තිබෙනවා. එකට වාසයට කරද්දි අපට සිහිනුවණ නැතිවුණොත් ඡන්දයෙන් අගතියට යන්න පුළුවන්. තමා එකිනෙකා ගැන හෝ යම් යම් වැඩ වලට හෝ විශේෂ කැමැත්තකින් අන්තයට යන්ට පුළුවන්. ඡන්දයෙන් අගතියට ගියවිට කරන කටයුතු වත් පිළිවෙත් වගේ පෙනෙයි. ගරුසරු කිරීමකුත් පෙනෙයි. ඒ අය දන්නේම නැතිව කම්මාරාමතාවට වැටෙනවා. නැත්නම් භස්සාරාමතාවට වැටෙනවා. එහෙම නැත්නම් නින්දට ඇලෙනවා. පිරිස එක්ක කතා කර කර ඉඳලා ඒ පිරිසට ඇලී වාසය කරනවා. ඒ නිසා සතර අගතියට නො වැටී කටයුතු කරන්ටත් පුරුදු වෙන්ට ඕන.
ඡන්දයෙන් අගතියට නො ගිහින් කටයුතු කරන්ට පුරුදු වෙන්ට ඕන. ඒ වගේම ද්වේශයෙන් අගතියට නො ගිහින් භයෙන් මෝහයෙන් අගතියට වැටෙන්නේ නැතිව කටයුතු කරන්ට ඕන. මේ ධර්මය පුුරුදු කරන්න ඉතාම අමාරුයි. සිහිනුවණ නැතිවුණොත් ඒක තුළින්ම ඔහු මුලාවෙනවා. ආඩම්බරයක් එනවා “මට යමක් තිබෙන කෙනෙක්. මම වගකී-මක් දරන කෙනෙක් කියන හැගීමට එනවා. ඔහුට හොයා ගන්න බැහැ තමාට මොකද වුණේ කියල?. කලින් මෘදු, මොලො- ක් වචන තිබ්බ නම්, තනතුරක් ලැබුණහම වවන රළුවෙනවා. ගමන බිමන වෙනස් වෙලා යනවා. සිහි නුවණ නැතිවෙලා යනවා. ඡන්දයෙන් අගතියට යනවා. එහෙම නැත්නම් ද්වේශයෙන්, මෝහයෙන් භයෙන් අගතියට යනවා. ඒ නිසායි ඔහුගේ ස ්වභා-වය වෙනස් වෙලා යන්නේ.
අපි එකිනෙකාට උපකාර කරනවා කියා කියන්නේ වත් පිළිවෙත් කිරීම යි. එතකොට ඒ විදියට වත් පිළිවෙත් කරන විට කෙනෙකුගේ හිත ඡන්දයෙන් අගතියට යන්ට පුළුවන්. නැත්නම් ද්වේශයෙන් අගතියට යන්ට පුළුවන්. නැත්නම් භයෙන් අගති-යට යන්ට පුළුවන්. අප ඒවා තේරුම් ගන්ට දක්ෂ වෙන්ට ඕන. අප හිතමු, යම් ආහාරයක් පොදුවේ බෙදන්ට යම් කෙනෙකුට පවරනවා. මෙන්න මේ ආහාර ටික ඔක්කෝටම බෙදන්ට කියල. අපි හිතමු ඒ ආහාර බෙදන කෙනාගේ විශේෂ හිතවත් කෙනෙක් ඉන්ට පුළුවන්. එවිට ඔහුට හොඳ ආහාර ටික දෙන්ට හිතෙන්න පුළුවන්. වැඩිපුර දෙන්න හිතෙන්න පුළුවන්. එහෙම හැඟීමක් එයිද නැද්ද? එන්න පුළුවන්. ඒ ලෝක ස්වභාවයක්. මේවා ගෙවල් දොරවල් වලත් තියෙනවා. මේ සමාජයේ තිබෙන ස්වභාවයක්. එබඳු ස්වභාවයන්ට කියනවා අගතියට යනවා කියා.
අප හිතමු යමෙකුට යම් පිරිසක් රැකබලා ගන්න ලැබෙනවා. ඔහුට විශේෂයෙන් අකැමැති කෙනෙක් ඉන්ට පුළුවන්. එවිට ඔහු සතර අගතිය තුළ කටයුතු කළොත්, ඒ තමාට අකැමැති පුද්ගලයාට පහසුවක් සලසා දෙයිද? නැහැ. අහිතවත් පුද්ගල-යාට අපහසුතා ඇති කරන්ට පුලුවන්. එතනදී අප සතර අගතියට වැටිල කටයුතු කරනවා කියා අඳුනා ගන්ට බැහැ.
අප පිළිගන්ට ඕන මෙබඳු අකුසල් අප තුළ හට ගන්ට පුළුවන් කියා. ඇයි එහෙම පිළිගන්නේ? අප සංසාරේ බොහෝ කල් ගියේ මෙබඳු අකුසල් තිබුණ නිසා. මේ අකුසල් අප තුළ තිබුණේ නැත්නම් සංසාරේ මේ තාක් කාලයක් එයිද? එන්නේ නැහැ. එහෙනම් අප අවංක භාවයෙන් පිළිගන්ට ඕන අප ළඟ මේ නොයෙකුත් අකුසල් තිබිල ඇති. හැංගිලා වගේ මේවා තිබුණට මේවා මතුවෙලා එන්ට පුළුවන්. ඒ අකුසල් හැංගිලා තියෙන්නේ. අර 'තුඹස අස්සේ ඉන්න නයා'වගේ අකුසලය හිත ඇතුලේ හැංගිලා තියෙන්නේ. මේ හිත හරියට 'නිදියන් ඉන්ට කොටිය'වගේ. නිදාගෙන ඉන්නවිට නම් හරිම ලස්සනයි. ගිහින් අත ගාන්ට හිතෙනවා. නමුත් මොහොත-කින් ඔහුගේ නියම ස්වභාවය මතු වෙලා එනවා.
මේ සියලු අකුසල් ස්වභාවයන් මතුවෙලා එන්නේ පිරිස සමඟ එකට වාසය කරන විටයි. තමන්ම තමන් ගැන හොඳට සිහියෙන් කල්පනා කර බැලුවොත් සිහියෙන් වාසය කළොත-් “මගේ හිත ඡන්දයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා භයෙන් අගතියට යනවා නේද කියන කාරණාව තමා තුළම දැක ගන්ට පුළුවන්.
එවිට අප ඉගෙන ගන්ට ඕන. සතර අගතිය කියා දෙයක් තියෙනවා. ඒක කුසල් වේශයෙන් එන අකුසලයක් කියල. කුසල් වේශයෙන් අකුසල් ඇවිත් අපට ඒවා දුරුකර ගන්ට බැරිව යනවා. කුසල් වේශයෙන් එන කාරණය නිසා දන්නේම නැතිව හිත ද්වේෂයට හැරෙනවා. ද්වේෂයෙන් අගතියට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අකුසලය හොයන්න බැහැ.
අපට තේරුම් ගන්ට බැහැ අකුසල් වලින් මේ හිත ගිලිල තියෙනවා කියා. ඒවා අප තේරුම් නො ගත්තොත් සිත අනතුරට පත්වෙනවා කියන එක වළක්වන්ට බැහැ. දන්නේම නැතිව හිතේ නො සන්සුන්තාවයන් හටගෙන , හිත විනාශ වෙලා යනවා. එහෙම වෙනකොට ඔහු දස කතාව හුරු වෙන්නේ නැහැ ඒ හිත ඡන්දයෙන් දේව්ෂයෙන්, මෝහයෙන්, භයෙන් අගතියට ගිය නිසායි. ඒ වගේම ඔහුට අවවාදයක් කළොත් ඒක හිතට යන්නේ නැහැ. ඔහු මෝහ-යෙන් මුලාවෙලා දුකට පත්වෙලා. ඊළඟට භයෙන් අගතියට යනවා. මොනව හරි ගැටලුවක් ඇති වුණානම් මට බැනුම් අහන්ට වෙයිද දන්නේ නැහැ. මාව ලජ්ජාවට පත්වෙයිද දන්නේ නැහැ කියා ඔහු භයෙන් අගතියට යනවා. අප හිතමු තමා අතින් සිල් පදයක් පළුදු වුනා කියා. මේ ගැන කාගෙන්වත් අහන්ට බැහැ. ඇහුවොත් මං ලජ්ජාවට පත්වෙයි කියා .ඔහු භයෙන් අගතියට ගිහිල්ල වාසය කරනවා.
ඒ නිසා මේ සතර අගතිය හඳුනාගෙන අපට එය දුරු කරන්ට නොහැකි වුණොත් වත් පිළිවෙත් කළ පමණින්ම ගරුසරු තිබූ පමණින්ම මේ අකුසල ස්වභාවයන් හඳුනා නො ගත්තොත් අපට එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන ඒ හැඟීම සාර්ථක කරගන්ට බැරිව යනවා. ඊළඟට ඒ වත්පිළිවෙත් කිරී-මෙන් අප තුළ දියුණුකර ගැනීමට අපේක්ෂා කරන ඒ සංවරය අපට අත්කර ගන්ට බැරුව යනවා.
ඒ නිසා අප ඒ කාරණාව හොඳින් තේරුම්ගන්ට ඕන. ඒ වගේම අප පිළිගන්ට ඕන අප තුළ මේ අකුසල් හට ගන්ට ඉඩ කඩක් තියෙනවා කියා. ඇයි අප සංසාරේ යමින් ඉන්න අයනේ. සංසාරේ යන අප තුළ අකුසල් තිබිය යුතුයි නේද? එහෙනම් අප අවංකව පිළිගන්ට ඕනැ මේවා අප ළඟ තියෙන්ට පුළුවන් කියා. මේ අකුසල් හැංගිලා තිබිලා අවස්ථාවකදී මතුවෙන්ට පුළුවන් කියා.
ඉතින් පිරිස සමඟ එකිනෙකාට උපකාර කරමින්, සමඟිව වාසය කරණකොට සිහියෙන් යුක්තව වාසය කිරීමේදී තමයි මේ අකුසල් හඳුනගන්ට තියෙන්නේ. ඒකට ඕන සිහියත්, නුවණත් .නුවණ කියල කියන්නේ ධර්මයේ තියෙන දේ විශ්වාස කිරීමයි. ධර්මය පිළිගැනීමයි. දැන් සතර අගතිය ගැන අප කලින් දැනගෙන හිටියෙ නැහැ. ධර්මයෙන් අපි ඒ කාරණා ඉගෙන ගත්තා. අන්න ඒ ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වන්නේ. අප ඒක ඉගෙනගෙන පිළිගත්ත ගමන් අපේ දැනුම උපදිනවා. අන්න ඒකයි ඔහුගේ නුවණ වෙන්නෙ. ඊට පස්සෙ ධර්ම කාරණා නුව-ණින් කල්පනා කරනවා. මෙන්න මෙබඳු අකුසලයක් මනුස්සයාගේ හිත තුළ හට ගන්ට පුළුවන්ම කියල. එහෙනම් ඒක මගේ හිතෙත් හටගන්ට පුළුවන් කියල ඔහු කල්පනා කරනවා.
මේ ධර්මය තුළ ඡන්දයෙන් අගතියට යාම කියා අකුසලයක් තිබෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ අවබෝධය , එහෙනම් ඒක මගේ හිතෙත් හට ගන්ට පුළුවන් කියල පිළිගන්නවා. ඒක ඔහුගේ නුවණයි. ඒක විශ්වාස කරමින් ඔහු ජීවිතය ගැන නුවණින් කල්පනා කරනවා. ඊට පස්සේ ඔහු හොඳට සිහියෙන් ඉන්නවා. එවිට තේරෙනවා. තමා තුළම ඡන්දයෙන්, දේවේශයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යෑම තිබෙනවා කියා. එහෙම හඳුනාගන්ට පුළුවන් වෙන්නේ ධර්මය දැනගෙන සිහියෙන් හිඳිමින් තමා තුළ මේ අකුසල් හටගැනීම දකින්ට වෑයම් කිරීම නිසායි. ඔහු ධර්මය දකින කෙනා වෙනවා. ඉලක්කයක් තියෙන්නේ පිරිසුදු වීම පිණිස, ඒ නිසා ඒ අකුසලය බැහැර කරනවා. හිතේ පවත්වන්ට කැමැති වෙන්නේ නැහැ. ඒ ආකාරයට කටයුතු කළවිට සතර අගතිය නිසා උපදින අකුසල් වලින් නිදහස් වෙන්ට අවස්ථාව තියෙනවා. එබඳු සිතකින් වාසය කරන පිරිසට අන් අය උදෙසාම මෙත් සිත ඇති කර ගන්ට පුළුවන්. කරුණාව, මුදිතාව, උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්ට පුළුවන් . ඒ පිරිස දවසක් සතියක් නොවෙයි. අවුුරුද්දක් නොවේ දිවි ඇති තුරා එකිනෙකාට උපකාර කරයි. ඒ පිරිසගේ සිත් කැලඹිලා යන්නේ නැහැ. ඒ පිරිසගේ හිතට දස කතාව පි‍්‍රයයි. දස කතාව ජීවිතයට හුරු වෙනවා. එවිට හිත වැඩෙනවා. හිත වැඩෙනවා කියා කියන්නේ නීවරණ වලට ආහාර නැති වෙලා යනවා. නීවරණ දුබල වෙන්ට පටන් ගන්නවා. ඔහුට ඒ දස කතාව තුළ හික්මෙන්ට පුළුවන්කම තිබෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකර ගන්ට පුළුවන්. ශ්‍රද්ධාව උපදවා ගන්ට පුළුවන් .ඔහුට සේඛ ධර්ම ඇති කර ගන්ට අවස්ථාව තිබෙනවා. ඔහු තුළ සීලය ටිකෙන් ටික පිරිසුදු වෙන්න පටන් ගන්නවා. එනිසාම ඔහුට “සීල විසුද්ධිය” ඇතිකර ගන්ට භාග්‍යය උදාවෙනවා.
නයනා නිල්මිණි
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X