වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

වස් සමය හා භික්ෂූන් වහන්සේ කඨින චීවරයෙහි සුවිශේෂීත්වය

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
උතුරාවල ධම්මරතන හිමි
කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ආයතනය

“කඨින” යන වචනය කථ ධාතුවෙන් උපන්නෙකි. කථ ධාතුවෙන් පරව ඉන ප්‍රත්‍ය යෙදීමෙන් කථ ධාතුවෙහි ඇති ‘ථ’ හට ‘ඨ’ වී කඨින යන්න සෑදී ඇත. එසේම විනයත්ථ මංජුසා ටීකාවේ දැක්වෙන්නේ සංගණනාර්ථ කථ ධාතුවෙන් පසු ‘ඉන’ ප්‍රත්‍ය යෙදීමෙන් පසු ‘කථ’ ධාතුවේ ‘ථ’ කාරයට ‘ඨ’ කාරය ආදේශවීමෙන් කඨින යන්න සැදුනු බවයි. කථ ධාතුවෙහි අර්ථ දෙකක් ඇතුළත්ව ඇත. එක්රැස්වන සංගණනාර්ථය හා කිසිකලෙක වෙනස් නොවන ස්ථිරාර්ථය ද ඇත. මෙයින් පළමුවැනි අර්ථය මෙසේ සලකා බැලිය හැකිය. කඨින චීවරය යනු ඉහත දැක් වූ අර්ථ ද්වයම එක්කළ අවස්ථාවකි. එහි මුල් අවස්ථාව කුසල චිත්තුප්පාදය පාදක කොට ගත් වස් ආරාධනාවයි. එහි මධ්‍ය අවස්ථාවෙහි හා අවසාන අවස්ථාවෙහි එම කුසලය වර්ධනය වී කාමාවචර මහාකුසල සිත්වලින්ම පිරිසුදු වීමෙන් සංග්‍රහ වන්නේ ය. එසේම පැවිදි පක්ෂය ද වස් ශික්ෂාපද ආරක්ෂා කර කඨිනයෙන් ලබන ආනිසංස ද සංග්‍රහ වන්නේ ය. මෙසේ ගිහි පැවිදි දෙපක්ෂයම මහා කාමාවචර කුසල් සිත්වලින් සංග්‍රහ වන හෙයින් කථ ධාතුව එක් රැස්වන සංගණනාර්ථයෙහි යෙදෙන බව පැහැදිලි වේ.
කඨින යන්නෙහි ස්ථිරාර්ථය ගැබ් වී ඇතිබව නාගිතාපදානයෙහි එන පහත පාලි පද්‍යයෙන් පැහැදිලි වේ.
පඨවරිව න ජාතු කම්පතෙ
න චලති මෙරුරිවාති වායුනා
වජිරමේව න භිජ්ජතේ ඝණං
තමිධමතෝ කඨිනංති වූචචති
යනුවෙන් කඨින පූජාවේ ආනිසංස, අහේතුකව කම්පා නොවන මහා පොළොව මෙන් කිසි බාධකයකින් කම්පා නොවී ස්ථිරව විපාක දෙන හෙයින් ද මහා සුළඟකට නොසෙල්වෙන මහමේර පර්වතය මෙන් ස්ථිරව විපාක දෙන හෙයින් ද අවි ආයුධයකට සිදුරු කළ නොහැකි වජ්‍ර පර්වතයක් මෙන් ස්ථිරව විපාක දෙන හෙයින් ද කඨින යැයි කියනු ලැබේ. මෙසේ කථ ධාතුවෙන් ස්ථිර බව, නොසෙල්වෙන බව ඇතුළත්ව ඇති කඨින යන්නෙන් කුසල විපාක සංග්‍රහ වීමද ඒවායෙහි විපාක ස්ථිරව ලැබෙන බව ද කියවේ.
කඨින යනු සමූහ ප්‍රඥප්තිමාත්‍රයෙක පරමාර්ථ වශයෙන් එක් ධර්මකෙනෙක් කොට ඇත්තේ’යි කියා ආ බැවින් මේ කඨින නාමය සමූහ ප්‍රඥප්ති මාත්‍රයෙක්මය. පරමාර්ථ වශයෙන් එක් ධර්ම කෙනෙක් නොම ඇත්තේයැ’යි දත යුත්තේ ය. පෙර දැක්වූ පරිදි ස්ථිරාර්ථයෙන් ද කඨින විය යුතුයි. පහත දැක්වෙන ආනිසංස පහ ඇතුළත් කිරීමට සමත් වූයෙන් ස්ථිර වේ. එනම්,
1. අනාමන්තචාර 
2. ආසමාදාචාර 
3. ගණභෝජන 
4. යාවදත්ථචීවර 
5. චීවරුප්පාදය, යනුවෙනි.

එහෙයින් සාරත්ථදීපනි, විමතිවිනෝදනි, වජිරබුද්ධි යන ටීකාවල මෙසේ දැක්වේ.

“පඤ්චානිසංසෙ අනෙනාකණෙ සමනථනාය ටීනෙහි අතෙථා”
එසේම සංග්‍රහර්ථයෙන් ද කඨින වන බව දැක්වූයේ මේ හේතුව නිසාය.
පඤ්චාහනිසංසෙ අඤ්ඤත්ථ ගන්තුං අදත්ථා 
සංගහණතෙථන කඨිනතෙථන කඨිනං”

එනම් ඉහත දැක්වූ පඤ්චානිසංසයන් අන් තැනෙක්හි යන්නට නොදී සංක්ෂිප්ත වශයෙන් ගන්නා ලද හෙයිනි.
කඨින යන්න සිවුරක් සඳහා භාවිතා වූයේ පසු කාලයේ ය. මුල් යුගයේ සිවුර මැසීම සඳහා උපයෝගී කර ගත් උපකරණය කඨින නමින් හැඳින්විය. එකල්හි භික්ෂූහු ඒ ඒ තැන් උල් සිටුවා බැඳ සිවුරු මසති. සිවුර නොසමවූ කොන් ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
“අනුජානමි භික්ඛවේ කඨිනං කඨිනරජජුං තත්ථ තත්ථ ඕබක්‍ධිත්වා චීවරං සිබ්ඛේතුන්ති”
එනම් ඒ ඒ තැන නමා බැඳ සිවුර මැසීමට කඨිනය හා කඨිනයෙහි බැඳි රැහැන ද අනුදක්නා ලදී. ඒ අනුව සිවුර මැසීමට උපයෝගී කරගත් උපකරණ හා රැහැන කඨින නමින් හඳුන්වා ඇත. මුල් යුගයේ හතර කොන උල් සිටුවා ඒවායේ රැහැන් බැඳ වස්ත්‍ර කඩ කඩ එකට යාකර සිවුරු මසා ඇත. පාංශුකූල වස්ත්‍ර කැබලි එසේ එකතු කිරීමේ දී සතර කොන වෙනස් වන නිසා හුල්වල නොබඳින ලද අතර වෙනස් නොවන ආකාරයට සිවුරේ කොන් සතර දැඩිව බැඳිය හැකි ලී රාමුවක් වැනි උපකරණයක් අනුමත කර ඇත. මුල් අවධියේ කඨින වශයෙන් හඳුන්වා ඇත්තේ එම උපකරණයටය. එම කඨින භාවිතා කළ යුතු ආකාරය මෙසේ ය.
එම කඨිනයේ ඇතුළ දිරන්නට වූ නිසා වාටියක් යොදා ගැනීමටත් කඨිනය ප්‍රමාණවත් නොවන විට මදි වූ සිවුර මැදින් බඳින දණ්ඩ කඨිනයට ද දණ්ඩ කඨිනයෙහි ප්‍රමාණයට කළාලයෙහි දෙකොණ නමා අකුලා දෙපට කිරීමට විදලකය ද, දෙපට සිවුර ඇතුළෙහි යොදන ඉරටුවද මහා කඨිනය සමඟ දණ්ඩ කඨිනය බඳින රැහැන ද බැඳගෙන සිවුර මසන්නට දණ්ඩ කඨිනයෙහි සිවුර බඳින නූල ද යොදා සිවුර මැසීමටත් අනුදැන ඇත. සිවුර නූල් ගසා කෙළින් ලකුණු කරන්නටත් මෙකී කඨිනය නො සෝදන ලද පයින් හෝ තෙත් වූ පයින් නොපාගන්නටත් අනුදැන ඇති අතර කඨිනය වැසි දිනවල තෙමෙන බැවින් එය තැබීමට ශාලාවක් ද එය ජලයෙන් යටවන හෙයින් මණ්ඩපයක් ද කඨිනහලට පියස්සක් ද කඨින හල පිරියම් කොට ලියකම් සිතුවම් කිරීමට ද සිවුර මසා අවසන් වූ පසු කඨිනය අකුලා ඒ මැද ලීයක් තබා බැඳ ආරක්ෂිත තැනක තැබීමට ද උපදෙස් දී තිබේ.
මේ අනුව වස් වැස නිම කළ භික්ෂූන්ට අනුදැන කඨින චීවරය මෙම උපකරණයෙහි තබා බැඳ වසන හෙයින් එම නම භාවිතා කරන්න ඇත. පාංශුකූල චීවරය එසේ සකස් කළ එකකි. කඨින චීවරය හ කඨිනය අතර ඇති සම්බන්ධතාවය නිසා එම නම වස් වැසූ භික්ෂූන්ට පුදන සිවුරට භාවිතා කිරීම යුක්ති සහගතය.
මුල් යුගයේ භික්ෂූන්ට තැනින් තැන එකතු කරගත් වස්ත්‍රවලින් සකස් කර ගත් සිවුර පඬු පොවා ගැනීමෙන් පරිභෝග කළ අතර එය පංසුකූල චීවර නමින් හැඳින්විය. එම වස්ත්‍රය සකස් කර ගැනීමට අනුමත වස්ත්‍ර විසිතුනක් දැක්වේ.
1. සෝසානිකය - සොහොනෙහි දමාගිය වස්ත්‍ර
2. පාපණිකය - සල්පිල් හෙර කඩ ඉදිරියේ දමා ගිය හෝ වැටුණු වස්ත්‍ර
3. රථිය චෝලිය – පාංශුකුලික භික්ෂූන් විසින් ගනු ලැබේවායි කවුලු දොරින් වීථියට විසිකර දමනු ලැබූ වස්ත්‍ර
4. සොත්ථිය – කතුන්ගේ ගැබ්වල පිස ඉවත දැමූ වස්ත්‍ර
5. සංකාර චෝලය – කසළ ගොඩින් සොයාගත් වස්ත්‍ර
6. නහන චෝලය – අමනුෂ්‍ය වේශයෙන් පෙළෙන්නන් යයි සම්මත කළ අය ජපකරන ලද ජලයෙන් නැහැවීමේ දී අත්හැර දමා ගිය වස්ත්‍ර
7. තිත්ථචෝලය – නහන තොටෙහි දමා ගිය වස්ත්‍ර
8. ගනපච්චාගතය - සොහොනට ගිය අය නා අවසන් කොට ඉවත දමා ගිය වස්ත්‍ර
9. අග්ගිදඩ්ඪය – ගින්නෙන් පිලිස්සීමෙන් හැඳීම අශුභයැයි අත්හැර දමාගිය වස්ත්‍ර
10. ගොඛායිනය – ගවයින් විසින් කන ලැබුව අත්හැර දමා ගිය වස්ත්‍ර
11. උපචිකාඛායිතය - වේයන් කන ලදුව ඉවත ලූ වස්ත්‍ර
12. උන්දුරඛායිතය – මීයන් විසින් කන ලදුව ඉවත ලූ වස්ත්‍ර
13. ධජාහමය – යුද්ධ භූමියෙහි හෝ නැව් නඟින්නන් විසින් කොඩි වශයෙන් බඳින ලදුව ඉවත් කළ වස්ත්‍ර
14. ථූපචීවරය – බලිකර්ම වශයෙන් තුඹස්වල බඳනා ලද වස්ත්‍රය
15. සමණචීවරය – භික්ෂූන් වහන්සේ සතු වස්ත්‍රය
16. අභිසේඛීය – රජවරු අභිෂේක කළ තැන්හි ඉවත හළ වස්ත්‍ර
17. ඉද්ධිමය - සෘද්ධියෙන් ලැබුණු චීවරය
18. පන්ථිකය – අතරමඟ වැටී තිබූ හිමිකරුවෙක් නැති වස්ත්‍ර
19. වාතාහමය - සුළඟෙහි ගසාගෙන ආ වස්ත්‍රය
20. දේව දන්තිය - දෙවියන් විසින් පුදන ලද වස්ත්‍ර
21. සාමුද්දිය – මුහුදෙහි වැටි රලින් ගොඩට ගසාගෙන එන වස්ත්‍රය
මෙම වස්ත්‍රවලට වටිනාකමක් නැත. මේ වස්ත්‍ර පරිහරණයෙන් භික්ෂුවට තම ජීවිතයේ අරමුණට හානියක් නොවේ. කෙලෙස් නො වැඩේ. එසේම ඝන හා සිනිදුවුවත් නොයෙක් වස්ත්‍ර කැබලි එක් රැස් කර සකස් කළ හෙයින් කිසිදු වටිනාකමක් නොමැත. විවිධ වස්ත්‍ර එක් වරණයක් ගැන්වීම සඳහා කසට වර්ණ ගැන්වීමෙන් හෙවත් පඬු පෙවීමෙන් ද වටිනාකම හීන කර ඇත. එහෙයින් ගිහියනට එය සොරාගැන්මෙන් කිසිදු කටයුත්තකට යොදා ගත නොහැකිය. එසේ වුවද ශරීරයේ ආරක්ෂාවට බාහිර උවදුර වළක්වා ගැනීමට උචිත වස්ත්‍රයක් වේ. මේ වස්ත්‍රවලට අමතරව වෙනත් වස්ත්‍ර කඨින වස්ත්‍රය බුදුන් වහන්සේ විසින් අනුමත කළහ.
“කඨින” යන පදයෙහි සම්භවය කඨින විනිච්ඡයෙහි මෙසේ සංග්‍රහ කර ඇත. කඨින ශබ්දය තෙම රූල්හි ශබ්දනාම භූත වූ අනිෂ්පන්න ප්‍රානිපදික ශබ්දයකැයි කියනු ලැබේ. හේ කෙසේ හැඟෙන්නේ ද යත් ත්‍රිවිධ විනයටීකාවෙහි පංචානිසංසය ඇතුළත් කිරීම සමර්ථ බැවින් ස්ථිරයයි කියා මෙසේ වර්ණනා කළ හෙයින් ස්ථිරාර්ථයයි කියා හැඟෙන්නේ ය. අපිව මේ කඨින ශබ්දය තෙම කථ යන ධාතු කෙරෙ නපරව ඉන ප්‍රත්‍යයෙන් සිද්ධවන්නේය. හේ කෙසේද? “කථසංගහණෙ” යන ධාතු ‘කථ’ කියා වේ. ඕ හට “භුවාදයෝ පෙ පංචානිසංසෙ අඤ්ඤත්ථ ගන්තුං අදත්වා සංගණ්හාති” යන අර්ථයෙහි “ජිනො ඉනසබ්බත්ථා” යන සූත්‍රයෙහි ඉන සබ්බත්ථ යන යොග විභාගයෙන් හෝ “සුපතො ච” යන සූත්‍රයෙහි “ච” යන ශබ්ද ග්‍රහණයෙන් හෝ ඉන ප්‍රත්‍යය කොට පරාක්ෂරයා කරා පමුණුවා කඨින ශබ්දය කෙරෙන් නම් වත්සිවිභත්ත්‍යාසාදිය කළ කල්හි “කඨිනං” යනු සිද්ධයි. මෙම කඨින චීවරය අනුදැනීමට පසුබිම් වූ හේතුවක් ද වේ.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහාසිටාණන්ගේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන කල්හි කොසොල් රට බටහිර දිශාවෙහි පාඨෙය්‍ය රට කොසොල් රජුගේ එක පියාට දාව උපන් බාල සහෝදර වූ කුමාරවරු තිහක් වූහ. රුවින් හා සිතින් යහපත් වූයෙන් භද්‍ර විය. එක් ව වසන හෙයින් වර්ගී නම් විය. ඒ අනුව සමූහාර්ථවාචී භද්‍ර වර්ගිය කුමාරවරු තිස් දෙන පාඨ්‍යෙය නුවර කපුවනයේ දී බුදුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කර පැවිදි වූහ. මේ තෙරවරු තිස් දෙනම මෙබඳු ලක්ෂණ ඇත්තේය.
1. ආරණ්‍යගත වෙසෙන හෙයින් ආරාණ්‍යකයෝ ය.
2. පිඬු සිඟායාමෙන් ලද අහරින් යැපෙමින් ශ්‍රවණ ධර්ම පුරණ හෙයින් පිණ්ඩපාතිකයෝ ය.
3. තැනින් තැන දමා ගිය රෙදි කැබලි ගෙන සකස් කළ වස්ත්‍රයෙන් උපන් චීවර දරන හෙයින් පාංශුකුලික විය.
4. සඟළ සිවුර, තනිපට සිවුර හා අඳනා සිවුර යන සිවුරු දරන හෙයින් තෙචීවරක වූහ.
මෙයින් පැහැදිලි වන්නේ එකල භික්ෂූන් වහන්සේලාගේ චීවර පරිභෝග කිරීම පිළිබඳ වැදගත් කරුණු දෙකකි. පාංශුකූලික සිවුරු දැරීම හා තුන් සිවුරු දැරීමට පමණක් සීමා වූ භික්ෂූන් වහන්සේ අතිරේක සිවුරක් පරිභෝග නොකළ බවයි. එසේම එම පරිභෝගයට සීමා වූ බවයි.
මේ පිරිස බුදුන්වහන්සේ දක්නට පාඨ්‍යෙය නුවරින් නික්ම සැවැත් නුවර බලා යන්නේ සාකේත නුවරට පැමිණියහ. එහිදී ඇසළ අව පෑළවිය දිනය වූයෙන් අතරමඟදී වස් එළඹියහ. සාකේත නුවර සිට සැවැත් නුවර යොදුන් සයකි. එහෙත් උන්වහන්සේ දක්නට නොලැබුණු නිසා කලකිරීමෙන් වස් කාලය ගෙවූ අතර වස් තෙමස ඇවෑමෙන් පවාරණය කර වැසි වසිද්දී දිය ගැල්මෙන් පිරුණු කල්හි ගොහොරු මඩෙහි තෙමුණු සිවුරු ඇතිව කලාන්තව ජේතවනාරාමයට පිවිස බුදුරජාණන් වහන්සේ හමු වූහ. එහිදී උන්වහන්සේ එම භික්ෂූන්ගේ සැප සනීප විමසූහ. අනතුරුව තමන් මුහුණ දුන් අභියෝග පැහැදිලි කළ එම භික්ෂූන් වහන්සේලා තමන් පැමිණි ස්වභාවය ද කීහ. වැසි වසිද්දී සිය ගැල්මෙන් ගොහොරු වූ මඩෙහි දියෙන් පිරුණු සිවුරුවලින් යුතුව කලාන්තව දිගු මඟට බැස පැමිණීම විස්තර කළහ. බුදුරජාණන් වහන්සේ මෙම කාරණය සළකා බලා මෙසේ විනය නීතියක් පැනවූහ.
“අනුජානාමි භික්ඛවේ, වස්සං වුත්ථානං භික්ඛුනං අත්ථරිතුං, අත්ථත කඨිනානං වෝ භික්ඛවේ. පඤ්ච කප්පිස්සන්ති. අනාමන්තචාරො අසමාදනචාරො, ගණභොජනං, යාවදත්ථචීවරං, යො ච නත්ථ චීවරුප්පාදො. සො නෙසං භවිස්සහි අත්ථත කඨිනානං වෝ භික්ඛවේ ඉමානි පඤ්ච කප්පිස්සන්ති.”
යනුවෙන් මහණෙනි වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි.මහණෙනි ඇතිරූ කඨිනය ඇති භික්ෂූන්ට පහත ආනිසංස කැප වන බව වදාළහ.
1. අනාමන්තචාරය - නො විචාරා ගම් පිවිසීම
2. අසමාදානචාරය – තුන් සිවුර නොගෙන යාම.
3. ගණභෝජනය - සමූහ භෝජනය
4. යාවදත්ථචීවරය – කැමැති පමණ සිවුරු පිළිගැනීම
5. චීවරුප්පාද – එහි කඨිනය ඇතිරු විහාරයෙහි යම්තාක් සිවුරු ලැබීමක් වේද එය ද ඔවුන්ට අයත් වන්නේ ය.
කඨිනවිනිච්ඡයට අනුව කඨිනය ලබන්නා හෝ නො ලබන්නා කවරෙක්දැයි මෙසේ දැක්වේ. පශ්චිමාන්තයෙන් ප්‍රතිග්‍රාහකයා සමඟ පංචවර්ග සංඝයා එය ලබන බව මිපෙය්‍යක්ඡනඛකයෙහි දැක්වේ.
“තත්‍රවෙ භික්ඛවේ යායං චතුවග්ගෝ භික්ඛුසංඝා ඨපෙත්වා තීනි කම්මානි උපසම්පදං පවාරණං අඛභානන්ති”
මේ අනුව වස්සඡේදනය නො කොට පළමු පවාරණයෙන් පැවැරූ ප්‍රතිග්‍රාහකයා ඇතුළුව පස් නමකට කඨින වස්ත්‍රය ගැනීම සුදුසු බව කියවේ. එසේම කිසි අනතුරකින් නොපැවැරු සංඝයා ද කඨින ඇතිරීම කටයුතු නොවන්නේ ය. එහෙයින්ම වස් ජේදනය වූ භික්ෂුව හෝ පශ්චිම පැමිණියහු කඨින වස්ත්‍රය පිළිගැනීම සුදුසු නොවන බව මෙසේ කියවේ.
“ජින්නවස්සා වා පච්ජිමිකාය උපගතා වා නලභන්ති”
එසේම නොයෙක් සීමාවල වස් විසූ භික්ෂූන් ද අන් විහාරවල වස් විසූ භික්ෂූන් ද මේ විහාරයෙහි කඨිනතථාරය නොලබන්නේ ය. තවද පෙර වස් විසුවේ නම් පිරිපුන් වයස් ඇති සාමණේර භික්ෂුව ද ගණපූරණය සඳහා උපසම්පදා කර කඨිනය ගත්කල ඒ සියල්ලන්ටම ව කඨිනය ඇතිරීමෙන් ලැබෙන ආනිසංස හිමි වන බව මෙයින් කියවේ.
“පරිපුණ්ණවස්සො සාමණේරා සචේ පචඡිමකාය”
උපසම්පජ්ජති ගණපූරකොචේ’ච හොති ආනිසංසඤ්ච ලභති”
උපසම්පදා භික්ෂූන් සමඟ සාමණේරවරු ගණ පූරණයට අදාළ වන්නේ මෙසේ ය. උපසම්පදා තුන් නමක් ද සාමණේර දෙනමක් ද, සාමණේර තුන්නමක් හා උපසම්පදා දෙනමක් ද, උපසම්පදා එක් නමක් හා සාමණේර සතර නමක් ද පෙර වස් විසුවේ නම් කඨිනය ගත් කල්හි ඒ සියල්ලෝම එම වස්ත්‍ර ඇතිරීමෙන් අනුසස් ලබන්නෝ වෙති. එසේම අන් උපචාරවලින් ගණ පූරණය පිණිස වැඩි සංඝයා මේ විහාරයෙහි කඨිනය ඇතිරීමෙන් ලබන අනුසස් ලබන්මෝ නොවන බව කියවේ.
කඨිනය ඇතිරීම යනු සංඝයාගේ පැවැරුම් ලබන සුදුසු භික්ෂුව කඨින වස්ත්‍රය ගෙන එම වස්ත්‍රය සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියා සම්පූර්ණයෙන් නිමා කර සිවුර මසා පඬු පොවා කප්බිඳු තබා තමාගේ පැරැණි සඟල සිවුර පච්චුද්ධරණ කර නව සිවුර අධිෂ්ටාන කළ යුතු ය. අනතුරුව සිවුර නමා තමා අතට ගෙන පහත වාක්‍ය තුන් වරක් කියා පිරිමැදීමෙන් කඨින ස්ථාරණය කළේ වෙයි. මෙසේ කඨින වස්ත්‍රය සඳහා කළයුතු විනය කර්ම කිරීම කඨිනය ඇතිරීමයි.
මෙසේ කඨින චීවර ඇතිරීමෙන් එම භූමිය තුළ ඇතිවන බලය සංඝයා එකතුව “කඨිනුද්ධාර” විනය කර්මය කිරීමෙන් ඉවත් කළ හැකිය. එසේම සිවුර සම්බන්ධ ප්‍රඥප්තීන් ඉක්මවා යාමෙන් ද කඨින බලය විනාශ වෙයි. එබඳු බලය විනාශවන ක්‍රියාවක් සිදු නොවුනහොත් එම විහාරසීමාවෙහි මාස පහක් ඉක්මවනතුරු කඨින බලය පැවැත්වේ. එම බලය පැතිරීම “කඨිනත්ථාරණ” නම් වේ.
කඨිනය පිළිබඳ මූලික විස්තර කිරීමක් කඨිනවිනිච්ඡයහි දැක්වේ.

“කඨිනං නාම කිං කෙන
නිදාගෙන මහෙසිනො
අනුඤ්ඤාතං කිමත්ථාය
කස්මා කඨිනත්ති වුච්චති
කේහි කස්සච තං කේන
දාතබ්බං කත්ථවා කදා
ඉචෙචවමාදි ඤාතිබ්බං
කඨිනස්ස්‍ය විසේසතෝ

එයින් කඨිනය සම්බන්ධ මූලික ප්‍රශ්න නවයක් කියවේ. එනම්,
1. කඨිනය යනු කුමක්ද?
2. කඨිනය කවර නිදානයකින් පනවන ලද්දේ ද?
3. කුමක් පිණිසද ?
4. එයට කවර හෙයින් කඨිනය යැයි කියනු ලැබේද?
5. කඨිනය කවුරුන් විසින් දිය යුතු ද?
6. කා හට දිය යුතු ද?
7. කුමකින් දිය යුතු ද?
8. කවර කලෙක දිය යුතු ද?
9. කොතැන්හිදී දිය යුතු ද?
යනුවෙනි. එම කරුණු මෙසේ එකිනෙක විමසා බලමු.
1.කඨිනය යනු කුමක්ද?
පහත දැක්වෙන වස්ත්‍රවලින් කවර එකකින් වුවද සිවුරක් කිරීම කඨිනයයි. එම වස්ත්‍රවර්ග මෙසේ මහාවග්ග පාලියේ දැක්වේ.
1. අලුත් වස්ත්‍රය (අහනේන)
2. අලුත් වස්ත්‍රයට සමාන රෙදි කඩක් (අහන කප්පේන)
3. රෙදි කැබලිවලින් කළ සිවුර (පිලෝනිකාය)
4. පංසුකුල වස්ත්‍රය (පංසුකූලේන)
5. වෙළෙඳ සැල් දොරටුවෙහි අත්හැර දැමූ අහුලාගත් වස්ත්‍රය (පාපණිකේන)
6. කලින් ඇඟවීමක් නැතිව ලැබුණු වස්ත්‍රය (අනිමිත්තකේන)
7. කලින් අනුසස් නොකීමෙන් ලද වස්ත්‍රය – (අපරිකථාකථෙන)
8. තාවකාලික නොවූ වස්ත්‍රය (අකුක්කුහෙන)
9. කලින් තැන්පත් කොට නොතැබූ වස්ත්‍රය (අසන්නිධිකේන)
10. නිසඟි නොවූ වස්ත්‍රය (අනිස්සග්ගියෙන)
11. කප් බිංදු තැබූ වස්ත්‍රයෙන් (කප්පකථෙන)
12. තනිපට සිවුරෙන් (උත්තරාසංඝේන)
13. සඟල සිවුරෙන (සංඝාටියකේන)
14. අඳනයෙන් (අන්තරවාසකේන)
15. එදිනට කඩකපන ලද අතු පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති වස්ත්‍රයෙන් (පඤ්ඤකේනවා අතිරේක පඤ්චකේන)
6. පුද්ගලයෙකුට අයිතිවීම් වශයෙන් ඇතිරීමෙන් (පුග්ගලස්ස්‍ය අත්ථාරක)
17. මැනවින් අතුරන ලද එම සීමාවෙහි භික්ෂූන් විසින් අනුමෝදන් වන ලද කඨිනය මනාකොට අතුරන ලද කඨිනය වේ.
ඒ අනුව කඨින වනුයේ උක්ත වස්ත්‍රවලින් එකක් ඇසුරෙන් මනාව අතුරන ලද වස්ත්‍රයයි.
2. කවර නිදානයකින් පනවන ලද්දේ ද?
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී භද්‍රවර්ගීය භික්ෂූන් වහන්සේලා තිස් නම වස් විසීමෙන් පසු තෙමීගත් සිවුරුවලින් යුතුව බුදුන් වහන්සේ දක්නට පැමිණීම කඨින චීවරයෙහි නිදානයයි.
3. කුමක් පිණිස ද?
වස් වැසූ භික්ෂූන්ට පහසු විහරණය පිණිස අනුමත තුන් සිවුරට අමතරව කඨින සිවුර පිළිගැනීම අනුමත කර ඇත.
4. එයට කවර හෙයින් කඨිනය යැයි කියනු ලැබේද?
කඨිනයෙහි ආනිසංස නොසෙල්වෙන නොබිඳිය හැකි කම්පා නොවන ස්ථිර හෙයින් එයට කඨිනය යැයි කියනු ලැබේ.
5. කඨිනය කවුරුන් විසින් දිය යුතුද?
උපසම්පන්න භික්ෂූන්ට වස්විසීමට ආරාධනා කළ ගිහි සැදැහැවතා විසින් වස්විසීම අවසන් කළ භික්ෂුවට දිය යුතු යි.
6. කාහට දිය යුතු ද?
පෙර වස් වසා අවසන් කළ භික්ෂුවට පමණක් පිළිගත හැකි ය. සංඝයාට පූජා කළ විට එම පිරිස සුදුසු භික්ෂුවට පවරා දෙනු ලැබේ.
7. කුමකින් දිය යුතු ද?
මුලින් සඳහන් කළ වස්ත්‍රවලින් එකක් සිවුරක් මැසීමට සුදුසු පරිදි පූජා කළ යුතුයි. එයින් තුන් සිවුරෙන් එකක් මසා නිමකර පරිභෝග කළ හැකි ය.
8. කවර කලෙක දිය යුතු ද?
වස් වසා පවාරණය කළ භික්ෂූන්ට චීවර මාසයේ දී දිය යුතු ය. එම චීවර මාසයට වප්මස අවපෑළවිය සිට ඉල්මස පුර පසළොස්වක දින දක්වා කාලය අයත් වේ.
9. කොතැන්හිදී දිය යුතුද?
වස් විසූ විහාර සීමාව තුළ දී පූජා කළ හැකි ය.
මෙසේ මේ පරිද්දෙන් කඨින චීවර පිළිබඳව පිළිවෙත් අනුගමනය කළ යුතුයි.
මෙම කරුණුවලට අනුව පංසුකූල හා ගහපති ආදී චීවර භාවිතා කළ භික්ෂූන් වහන්සේලාගේ පහසු විහරණය සඳහා කඨිනය අනුදැන ඇති අතර එය කුමන අර්ථයකින් භාවිතා වූයේ ද යන්නත් එහි භික්ෂු ජීවිතයේ මූලික ප්‍රතිපත්ති හා අරමුණට අනුකූල වන ආකාරයෙන් භාවිතා කළ යුතු ආකාරය මනාව පැහැදිලි වේ.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X