වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

වස් පවාරණයයි - කඨින චීවරයයි


කඨින පින්කම් මගින් විවිධ දූෂණයන්හි යෙදෙන භික්ෂූන් ගැන ද කියැවෙන මේ ලිපිය වස් පවාරණය, කඨිනය, කඨින චාරිත්‍ර සමඟ චීවරයේ අගය පිළිබඳ ව ද තොරතුරු රැසක් හෙළි කරයි.

ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය වැනි බෞද්ධ රටවල ථේරවාදි උපසම්පදා භික්ෂූන් වහන්සේ වස්සාන ඍතුවෙහි වස් සමාදන් වෙති. එය බුදු රජාණන් වහන්සේ විසින් පනවන ලද විනය ප්‍රඥප්තියකි. භික්ෂූන් වහන්සේලාගේ සියලු කටයුතු පදනම් ව ඇත්තේ යම් යම් සම්ප්‍රදායයන් සහ එම සම්ප්‍රදායයන් කඩ කරන්නවුන්ගෙන් සසුන ආරක්ෂා කරගැනීම සඳහා පනවන ලද නීති-රීති සමූහයක් අනුව යි. එම නීති-රීති පැනවීමේ දී මානව නිදහස අහිමි නොකර, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් සුරැකෙන පරිදි කටයුතු කර තිබෙන අයුරු විචාරාත්මක ව බලන විට පෙනෙයි.
පැවිද්ද සහ උපසම්පදාව හැරුණ විට තවත් වැදගත් සංඝ කර්මයකි උපෝසථ කර්මය. වස්සාන සමය තුළ සංඝ උපෝසථ කර්ම පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු වෙයි. වස් ආරම්භයේ දී පොහොය සීමා මාලකයකට ගොස් සංඝයා ඉදිරියේ ඇවැත් දෙසා පිරිසිදු වී පාමොක් හෙවත් ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සම්ප්‍රදාය වෙයි. දින පහළොවකට වරක් උපෝසථ කර්මය සිදු කළ යුතු ය. භික්ෂූන් වහන්සේලා සඳහා පනවන ලද ශික්ෂාපද එක්තැන් කර ‘ප්‍රාතිමෝක්ෂය’ නමින් ශික්ෂාපද මාලාවක් ඇත. සෑම උපෝසථ දිනයක දී ම සංඝයා රැස් වී එම ප්‍රාතිමෝක්ෂය දේශනා කර, ශික්ෂා පද නැවත නැවතත් සිහිපත් කරති. එසේ ම ආපත්තිවලට පැමිණි භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේලා අතින් සිදු වූ තුලසි, නිසගි, පචිති,
 පාවාරණ ආදි කොට ඇති ඇවැත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කොට, පිරිසිදු වීමේ අවස්ථාව මෙමගින් උදා වෙයි. එම වැරදි නිවැරදි කරගෙන පිරිසිදු සිල්වතකු බවට පත් වීමට අවශ්‍ය කරන අනුශාසනා උපදෙස් දීමත්, දඬුවම් ලබා දීමත්, සිදු කරනු ලබන්නේ සංඝ සමූහයාගේ ම ඒකමතික තීරණයන් අනුව ය. මෙය සංඝ සමාජය තුළ තිබෙන ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.
සංඝකර්මවල දී ඔවුනොවුන්ගේ සිත් රිදවීම්, කලකිරීම් සහ නොයෙකුත් වාද භේද නොමැති ව ඒ ඒ අවස්ථානුකූල ව කටයුතු කිරීම පිණිස ධර්මය හැඩගසා ඇත. එසේ ම එය සංඝයාගේ චිර පැවැත්මට ද සමගියට ද ඉවහල් වී ඇත. වස් පවාරණය ද එවැනි සංඝකර්මයකි. වස් තුන්මාසය තුළ වස්සච්ඡේදනය නොවී, හොඳින් වස් ආරක්ෂා කරගැනීම වස් විසූ භික්ෂුව සතු කාර්යභාරයකි.
වස්සාන ඍතුව මාස හතරක් වුව ද වස් විසීම තුන් මසකින් නිමාවට පත් වෙයි. ඉතිරි මාසය චීවර මාසය වශයෙන් හැඳින්වෙයි. වස් වසන ලද භික්ෂුව වස් අවසානයේ සංඝයා මධ්‍යයට එළඹ ඇවැත් දෙසා පිරිසිදු වී, වැඩිහිටි තෙරුන් වහන්සේ ඉදිරියෙහි උක්කුටිකයෙන් හිඳ දොහොත් මුදුනෙහි තබාගෙන ‘සංඝං භන්තේ පවාරේමි, දිට්ඨේනවා සුතේනවා පරිසංකායවා වදතුමං භන්තේ අනුකම්පං උපාදාය... පස්සන්තෝ පටිකරිස්සාමි...” යනුවෙන් ‘ස්වාමීනි, මා විසින් කරන ලද වරදක් දැකීමෙන් ඇසීමෙන් සැකයෙන් හෝ ඇත් නම් මා කෙරෙහි අනුකම්පා කර එය ප්‍රකාශ කරනු මැනවි...” යනුවෙන් පැවරීමක් කරති. උන් වහන්සේගේ වරදක් නොමැති නම් සංඝයා තූªෂ්ණීම්භූත ව සිටිති. පවාරණය වශයෙන් සැලකෙන්නේ මෙම විනයකර්මය යි.
පවාරණය වනාහි අතිශය වැදගත් විනය කර්මයකි. මහා පවාරණයක් කිරීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක් වත් වැඩ සිටිය යුතු ය. එම විනය කර්මය කරන ස්ථානයෙහි ප්‍රධානත්වය ගන්නේ සංඝ ස්ථවිරයන් වහන්සේ ය. උන් වහන්සේට උස් ආසනයක් පැනවිය යුතු ය. සෙසු භික්ෂූන් වහන්සේලා සුදුසු අසුන්වල වැඩ සිටිනු විනා, නායක පදවි, කාරක පදවි ආදිය අනුව අසුන් පැනවීම සාසන විරෝධී ක්‍රියාවකි. මෙකල ඇතැම් සීමාමාලකවල එම ලෞකික පදවි අනුව ආසන පනවාගෙන විනය කර්ම කරනු දක්නට ලැබේ. එය විනය විරෝධී ක්‍රියාවකි. එවැනි විනය විරෝධී ක්‍රියා දැකදැකත් ඇතැම් සංඝ ස්ථවිරයන් වහන්සේලා මුනිවත රකින්නේ ‘අනවශ්‍ය කරදර ඇති වේ ය’ යි තිබෙන බිය නිසා විය යුතු ය.
පළමු ව පවාරණය කරන්නේ සංඝ ස්ථවිරයන් වහන්සේ ය. අනතුරු ව සෙසු භික්ෂූන් වහන්සේලා උන් වහන්සේ ඉදිරියෙහි ඉහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් පවාරණය කළ යුතු ය. මෙසේ මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් උදෙසා කඨින චීවරයක් පූජා කිරීමට හැකියාව ලැබෙයි. වස් කාලයෙහි සුවිශේෂ අවස්ථාව වන්නේ චීවර මාසයයි. කඨින චීවර පූජාව අට මහා කුසල්වලින් පළමු වැන්න වෙයි. ඒ නිසා ම බෞද්ධ පින්වත්හු එයට ඉමහත් උනන්දුවක් දක්වති.
‘කඨිනය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි-දැඩි, කඨෝර, ශක්තිමත් බවක් අඟවයි. මහමෙර සෙලවුණත්, මහ පොළොව කම්පිත වුණත්, වජිර පර්වතය සිඳ-බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නො සිඳෙයි. ආනන්තර්ය පාප කර්මයකට හැර වෙනත් කුසලයකට හෝ අකුසලයකට යටපත් කළ නොහැකි නිසා ද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස් සමාදන් ව හොඳින් වස් ආරක්ෂා කරගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකට කඨිනයක් ලැබිය හැකි ය. ‘දේවේනවා මනුස්සේනවා, පඤ්චන්නංවා සහධම්මිකානං අඤ්ඤකරේත දින්නං වට්ඨති...’ යනුවෙන් දෙවියකු, මනුෂ්‍යයකු, භික්ෂුවක, භික්ෂුණියක, සාමණේරයකු, සාමණෙරියක, ශිෂ්‍යමාණවයකු යන අය විසින් දෙනු ලබන වස්ත්‍රය කඨිනය සඳහා සුදුසු වෙයි. වස්ත්‍ර යනුවෙන් සඳහන් කළාට සියලු වස්ත්‍ර වර්ග කඨිනය සඳහා ගැනීම කැප නැත.
බුද්ධ කාලීන සමාජයේ මිනිස්සු විවිධ වස්ත්‍ර ප්‍රයෝජනයට ගත්හ. ඒ අනුව 1. කුසවීර: කුස තණවලින් කරන ලද වස්ත්‍ර, 2. වාකවීර: පට්ටාවලින් කරන ලද වස්ත්‍ර, 3.කේසකම්බල: කෙස්වලින් කරන ලද වස්ත්‍ර, 4. වාලකම්බල: සෙමර මුවන්ගේ ලොම්වලින් කරන ලද වස්ත්‍ර, 5. උලුකප්ක්ඛ: බකමූණු පිහාටුවලින් කරන ලද වස්ත්‍ර, 6. අකම්බල: එළු ලොම්වලින් කරන ලද වස්ත්‍ර, 7. උත්තරථරණ: ඇතුන් පිට අතුරන වස්ත්‍ර, 8. කුම්භත්ථරන: බිම වර්ණය රැකගැනමට කළ වස්ත්‍ර, 9. හත්තථරන: මතුපිට අතුරන වස්ත්‍ර, 10. අස්සත්ථරන: අසුන් පිට අතුරන වස්ත්‍ර, 11. සිය දහස් ගණන් වටිනා කම්බිලි, 12. සියුම් ලෙස නූල් කැට වියන ලද වස්ත්‍ර, 13. සුදු, නිල්, දුඹුරු, කහ, රතු, කළු, මදටිය පැහැයෙන් යුතු වස්ත්‍ර, 14. ලොම් ආදියෙන් කළ වස්ත්‍ර, 15. බොහෝ මල් වැටෙන සේ ලොම්වලින් කළ රතුපාට වස්ත්‍ර, 16. සිංහ-ව්‍යාඝ්‍ර රූප සිතුවම් කොට ලොම්වලින් කරන ලද වස්ත්‍ර, 17. ඒකන්තලෝම: එක් පසෙකින් ලොම් උඩට මතු වනසේ වියන ලද වස්තු, 18. උද්දලෝම: දෙපසින් ලොම් උඩට මතු වන සේ වියන ලද වස්ත්‍ර, 19. කෝසෙය්‍ය: රනින් වැඩ දැමූ පට නූලෙන් වියන ලද වස්ත්‍ර, 20. අජිතප්පවේණී: අඳුන් දිවි සමෙන් කරන ලද වස්ත්‍ර, 21. කදලිමිග: මුව සමින් කළ වස්ත්‍ර යන ආදි වශයෙන් වස්ත්‍ර කර්මාන්ත හෙවත් දියුණු පේෂ කර්මාන්තයක් එකල සමාජයේ තිබුණි. එසේ වුව ද සාණ, භංග, කම්බල, කප්පාසික, කෝසෙය්‍ය යන වස්ත්‍ර වර්ග ම චීවරය සඳහා උචිත වේ. හිසකෙස්, පියාපත්, සම් වර්ග ආදියෙන් කරන ලද වස්ත්‍ර අකැප ය.
චීවරයකට තිබිය යුතු පැහැය පිළිබඳ විවිධ මතවාද ඇත. කළු, රතු, කහ පැහැයන් මිශ්‍ර වීමෙන් ඇති වන වර්ණය වඩාත් උචිත වේ. එම පැහැය නුග ගසෙහි පොතු තම්බාගැනීමෙන් ලබාගත හැකි ය. මේ පැහැය ලබාගත හැකි පඬු වර්ග වත්මන් වෙළෙඳපළේ ඇත. එසේ ඒ පැහැයෙන් යුතු වස්ත්‍ර ද වෙළෙඳපළෙහි ඇත. කසට පැහැය ඉක්මනින් කිලිටි නො වේ; එසේ ම නිතර පඬුපෙවීමට අවශ්‍ය නො වේ; අලංකාරය නිසා ඇති වන තෘෂ්ණාදි කෙලෙස් ඇති නො වේ; දුරට නොපෙනෙන බැවින් අන්තරායන් අඩු වෙයි; මැසි-මදුරුවන්ට අපි‍්‍රය බැවින් එවැනි උවදුරු ද අවම කරගත හැකි ය. චීවරය පඬු පෙවීම සඳහා ගත යුතු වන්නේ මූල රජනං, ඛන්ද රජනං, තච රජනං, පත්ත රජනං, පුප්ඵ රජනං, ඵල රජනං යනුවෙන් දැක්වූ පරිදි ගස්වල මුල්, කඳ, පොතු, කොළ, මල්, ගෙඩි යන කොටස් ය.
චීවරයෙහි ප්‍රමාණය ගැන ද සැලකිලිමත් විය යුතු ය. එය බුදු හිමියන්ගේ චීවරයට වඩා කුඩා විය යුතු ය. එනම්: දිගන් සුගත් වියත් නවයකට සහ පළලින් හයකට වඩා අඩු විය යුතු ය. සුගත් වියත යනු වඩු රියන් එක හමාරකි. ඒ අනුව එවැනි විශාල සිවුරක් අද කිසිවකුට අවශ්‍ය වේ ය යි සිතිය නොහැකි ය. ඉතා කුඩා සිවුරුවලින් සුපටිච්ඡන්ත පරිමණ්ඩල ශික්ෂා පද රැකීම අපහසු වෙයි. එබැවින් තම-තමන්ගේ ශරීරවල ප්‍රමාණයන් අනුව චීවරය සකස් කරගැනීම වඩාත් සුදුසු වෙයි. පස්කඩ, සත්කඩ වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතු ය. පසළොස්කඩ, අසූකඩ වශයෙන් ද සිවුරු මසාගනිති. එහෙත් අලංකාරය පිණිස කිසිදු මැස්මක් නොකළ යුතු ය. ඇතැම් භික්ෂූන් වහන්සේලා අලංකාර ලෙස රැලි ගන්වා සිවුරු මසාගෙන සිටිනු දැකිය හැකි ය. එය විනය විරෝධි ය.
‘න නිමිත්ත කථේන අත්ථානංහෝති කඨිනං පරිකථා කථේන අත්ථානංහෝති කඨිනං...’ යනුවෙන් මහාවග්ගපාලියෙහි සඳහන් පරිදි “මෙම රෙදි වර්ගය හොඳ ය... මෙම සිවුර කඨිනයට සුදුසු ය...” ආදිය ප්‍රකාශ කිරීමෙන් ලබන සිවුරත්, “කඨින චීවර පූජාව වටිනා පිංකමකි... වෙන අවුරුදුවල නම් මේ කාලයට කඨින පිංකම් කරනවා... මේ අවුරුද්දේ එයට සූදානමක් නැහැ වගෙයි...” මෙලෙස සඳහන් කිරීමෙන් උපයාගත් සිවුරත් කඨිනයට සුදුසු ය. කඨිනය මව්පියන්ට වුව ද කියා ලබාගැනීම නුසුදුසු ය. ව්‍යංග්‍යයෙන් හෝ ඉල්ලීමක් නොකර ම අහසින් හදිසියේ කඩා වැටුණාක් මෙන්වූ ලැබුණාක් මෙන් වස්ත්‍රය ම කඨිනයට සුදුසු වෙයි. මෙකල බොහෝ විහාරස්ථානවල කඨින පින්කම සංවිධානය කරන්නේ වස් වසා වැඩ සිටි භික්ෂූන් වහන්සේ ම ය. කඨින පෙරහැර සංවිධානය කරමින් පෙරහරෙහි ද ගමන් කරති. අනවශ්‍ය වියදම් කරමින් දායකයන් තළා-පෙළා කඨින පින්කම් කළ යුතු නො වේ. ඉහත විනය කරුණු අනුව එය කිසි සේත් සුදුසු නොවන බව පෙනෙයි. කඨින පිංකමක් සංවිධානය කළ යුතු වන්නේ දායක-දායිකාවන් විසින් ම ය. අවශ්‍ය වන්නේ නම් උපදෙස් දීම භික්ෂූන් වහන්සේසතු කාර්යයකි.
කඨිනය චීවරයක් හෝ වස්තුවක් වශයෙන් පිදිය හැකි ය. වස්ත්‍රයක් නම් එදින ම සිවුරක් මසා අධිෂ්ඨාන කළ යුතු බැවින් අරුණට පෙර පූජා කළ යුතු ය. චීවරයක් නම් “ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම...” යනුවෙනුත්, වස්ත්‍රයක් නම් ‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම...” යනුවෙනුත් කියා සඟ සතු කළ යුතු ය. එසේ සඟ සතු කළ වස්ත්‍රය සිවුරක් බවට පත් කිරීම භික්ෂූන් වහන්සේලා විසින් හෝ මැසීම පිළිබඳ දන්නා වෙනත් අයකු විසින් හෝ කළ යුතු ය. සියලු කටයුතු නිමා වීමෙන් පසු ‘ඤත්ති දුතිය’ විනය කර්ම වාක්‍යයක් මගින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පවරාදීම වැදගත් විනය කර්මයකි. සුදුසු භික්ෂුවක් වශයෙන් සැලකෙන්නේ එම සීමාව තුළ වස් විසූ වස්සච්ඡේදනය නොවූ, වෙනත් කඨින චීවරයක් නොලද, දුර්වල සිවුරු ඇති, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකි. එසේ ම 1. පක්ඛමන්තිකා, 2. නිට්ඨානන්තිකා, 3. සන්නිට්ඨානන්තිකා, 4. නාසානන්තිකා, 5. සවනන්තිකා, 6. ආසාවච්ඡේදිකා, 7. සීමාතික්කංන්තිකා, 8. සහුබ්හාරා යන මෙම කරුණු පිළිබඳ දැනගෙන සිටීම ද සුදුසුකමකි.
චීවර අතරින් උතුමි චීවරය වන්නේ කඨින චීවරය යි. එය අට මහා කුසල්වලින් පළමුවැනි කුසලය යි. එහි ඇත්තේ මූල්‍යමය වටිනාකමකට වඩා විනයානුකූල වටිනාකමකි. කඨින චීවරක් පිදිය හැකි වන්නේ ද එක් වසරක දී එක් විහාරස්ථානයක එකක් පමණි. පූජා කරන දායක-දායිකාවන්ට මහත් ඵල, මහා ආනිසංස ලැබෙන අතර කඨින චීවරයක් ලද භික්ෂුවකට ද විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි වෙයි. අනාමන්තචාරෝ: විහාරයෙහි වසන භික්ෂූන්ගෙන් නොවිමසා ගෙවල්වලට යෑමට කඨින චීවරය ලද භික්ෂුවට හැකියාව ලැබෙයි. අසමාදානචාරෝ: නිසගි-පචිතිවලට අයත් දෙවන ශික්ෂා පදය යි. කඨිනය ලද භික්ෂුවකට අධිෂ්ඨාන කරගත් තුන්සිවුරෙන් වෙන් ව රාත්‍රිය ඉක්මවිය හැකි ය. ගනභෝජනං: භෝජක වග්ගයේ දෙවන ශික්ෂා පදය යි. ගනභෝජනය වැළඳීමෙන් ඇවැත් සිදු නො වේ. යාවදත්ත චීවරං: නිසගි පචිතිවල පළමු සික පදය යි. දස දිනකට වඩා අතිරේක සිවුරු දැරීමෙන් සිදු වන ඇවතින් නිදහස් වෙයි. යෝච තත්ථ චීවරුප්පාදෝ සෝනේසං භවිස්සති: විහාරයට ලැබෙන වස්ත්‍ර, චීවර ආදිය කඨින චීවරය ලද භික්ෂුවට අයත් වේ. මෙම පංච ආනිසංසයන් ලබාගත හැකි වන්නේ කඨින චීවරය ලැබූ දිනයේ සිට හේමන්ත ඍතුවේ අවසන් දිනය වූ මැදින් පුර පසළොස්වක දිනය දක්වා පමණි.
චීවරය වනාහි වසර දහස් ගණනක් තිස්සේ නොවෙනස් ව පවතින ඇඳුමකි. ඇඳුමක් වශයෙන් සඳහන් කළ ද එය උතුම් පූජනීය වස්තුවක් වශයෙන් බෞද්ධයෝ සලකති. චීවරයක් දැරූ කවරකුට හෝ ගරු කිරීම බෞද්ධයන්ගේ සිරිතයි. මෙය වටහාගත් ඇතැමුන් චීවරධාරීන් වශයෙන් චීවරයට මුවා වී විවිධ අපචාරවල යෙදෙන අවස්ථා ගැන අසන්නට ලැබෙයි. චණ්ඩාශෝක නමින් හැඳින්වූ අශෝක රජතුමා දැහැමියකු බවට පත් වූවේ චීවරයක් දැරූ, සන්සුන් ඉඳුරන්ගෙන් යුතු කුඩා සාමණේර නමක් දැකීමෙනි. එය චීවරයට එක් වූ ආධ්‍යාත්මික පවිත්‍රත්වය නිසා සිදු වූවකි. ගැමුණු කුමරු සහ තිස්ස කුමරු අතර සටනක් ඇති වීමට සූදානම් වූ විට, භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් එතැනට වැඩම කොට සටන සමථයට පත් කළ අවස්ථාවේ, ගැමුණු කුමරු පැවසුවේ ‘ඔබ වහන්සේලා වැඩම කළේ කුමට ද? සත් හැවිරිදි කුඩා සාමණේර නමක් පැමිණියත් අප අතර සාමය ඇති වන්නේ ය’ යනුවෙනි. එය චීවරයෙහි අසීමිත බලය යි. චීවරයක් දැරූ භික්ෂුව සිංහ රාජයකු මෙන් එඩිතර ය. වාරියපොළ සුමංගල හිමි, ඉහගම තෙරුන් වහන්සේ, කුඩාපොළ හිමි වැනි හිමිවරුන්ගේ චරිත කථා ඇසුරෙන් ඒ බැව් මැනවින් පසක් වෙයි. එසේ ම චීවරය දැරූ භික්ෂුව ස්වර්ණ හංසයකු මෙන් නිදහස් ය.
රාගය ආදි කෙලෙස් කසටවලින් යුතු, ඉන්ද්‍රීය දමනයෙන් සහ වාග් සත්‍යයෙන් තොර වූවෝ චීවරය දැරීමට සුදුසු නො වෙති. බිඳුණු සිල් ඇති, දුස්සීලයෙකියි ප්‍රසිද්ධ වූ, අසංවර වූ, පස්කම් සැප කෙරෙහි ගිජු වූ පැවිද්දෝ චීවරයට සුදුසු නො වෙති. නොසන්සුන් සිත් ඇති, අධික මානයෙන් යුතු, නුවණ නැති පුද්ගලයා සුදු වස්ත්‍රයකට පමණක් සුදුසු වෙයි. නොසන්සුන් සිතක් සහිත, චපල ගති ඇති පැවිද්දා චීිවරයක් දැරුව ද හෙතෙම සිංහ සමක් පෙරවාගත් වඳුරකුට සමාන ය. (කස්සපථේර ගාථා).
යමෙක් කෙලෙස් කසට දුරු කර, ශීලාදි ගුණයෙන් යුක්ත වේ නම්, ඉන්ද්‍රීය දමනයෙන් සහ සත්‍යගරුක බවෙන් යුතු වේ නම්, හෙතෙම චීවරයට සුදුස්සෙක් වෙයි. යමෙක් සිල්වත් වේ ද, රාගය දුරු කළේ ද, සංසිඳුණු පිරිසිදු සිතක් ඇත්තේ ද, හෙතෙම චීවරයට සුදුස්සකු බවට පත් වේ. චීවරයක් පරිභෝග කළ යුතු වන්නේ අලංකාර වීමට නො වේ; එසේ ම උසස් ලෙස පෙනී සිටීමට ද නො වේ. එවැනි අදහසකින් චීවරය දරන්නේ නම් තණ්හාව, මානය, සක්කායදිට්ඨිය වර්ධනය වේ. එය මග ඵල කෙසේ වෙතත්, පැවිදි බව රැකගැනීමට ද බාධාවකි. චීවරය දැරිය යුතු වන්නේ ශීතල–උණුසුම දුරු කරගැනීමටත්, මැසි-මදුරු, පැත්තෑ, ගෝනුසු වැනි සතුන්ගෙන් සිදු වන හිරිහැර වළක්වාගැනීමටත්, ලජ්ජා ස්ථාන වසාගැනීමටත් යන අදහස නිරතුරු ව ම සිතෙහි දැඩි සේ දරාගෙන ය. එවැනි හැඟීමක් ඇති වූ විට තණ්හාව, මානය ඇති නො වේ; චීවරය පරණ ය, අවලක්ෂණ ය, කියා සිතෙහි දොම්නසක් ද ඇති නො වේ. හෙතෙම නිවැරදි ව චීවරය පරිභෝජනය කරන අයකු බවට පත් වෙයි. 
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X