වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ජීවිත භක්‍ෂණයෙන් වැළකිය යුත්තේ ඇයි?

පූජ්‍යණෝපාද ආචාර්ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
සභාපති - ශ්‍රී ලංකා අහිංසාවාදී භික්‍ෂු මහ සභාව

බෞද්ධාගම්කාරයින් වශයෙන් අප දැනගත යුතු, මෙනෙහි කළ යුතු කරුණු කාරණා කිහිපයක්‌ මෙසේ සැකෙවින් පෙන්වා දෙමු.

මෙම අතිභයන්කාර අගක්‌ මුලක්‌ මැදක්‌ නොමැති දිගු සංසාරය සසර කතරකි. අසංඛෙය යනු අංක එක සහ බිංදු එකසිය හැටක්‌ වැනි ගණනය කිරීමට පවා අපහසු සංඛ්‍යාවකි. ගෞතම සම්බුදුරදුන් නියත විවරණ ලබා බුද්ධත්වයට පත්වීමට පෙරුම් පිරීමට බුදුවරුන් විසිහතර නමක්‌ පහලවීමට එකී සංඛ්‍ය කල්ප ලක්‍ෂ හතරක්‌ ගත වී ඇත. මෙවන් කාලයක්‌ ගත වූයේ නියත විවරණ ලබාගැනුමෙන් පසුව පමණි. 

බුදුවරුන් පන් ලක්‍ෂ දොළොස්‌ දහස්‌ තුන් නමකගෙන් අප මහා බුදුපියාණෝ බෝධි සත්ත්වයෙකු වශයෙන් අනියත විවරණ ලබා ඇති බවද දහමේ කියෑවේ. එසේ නම් සුදනනි, සංසාරය කෙබඳු ඈත අතීතයක්‌ද ප්‍රථම අනියත විවරණයද මුලාරම්භයක්‌ නොවේ. එයට මත්තෙන්ද කිව නොහැකි තරමේ ඈත භව අතීතයක සාමාන්‍ය පෘථග්ජනයෙකු හෝ යම් සත්ත්වයෙකු දෙව් බඹුකු හෝ සතර අපාය ගාමියකු හෝ වශයෙන් ඔබ පමණක්‌ නොව මේ ලියන අපද එවැනිම බුදුන් වහන්සේද භව චක්‍රයේ ගමන් කරන්නට ඇත.

කරුණු කාරණා එසේ නම් මෙලොව වාසය කරන සියලුම සත්ත්වයින් එනම් අපගේ ගුරුවර දෙමාපියන්, සහෝදරයින්, අඹුදරුවන් ආදි වශයෙන් නොවුණු කිසිවකු නොසිටින බවද දහම අනුව අප පසක්‌ කර ගත යුතුය.

මෙතුන් ලොවේ යම් සත්ත්වයෙක්‌ තවත් සත්ත්වයෙකුගේ මව්නොවූ පියනොවූ අඹු ස්‌වාමි නොවූ සහෝදර සහෝදරියක නොවූ එකදු සත්ත්වයෙකු පහල නොවනු ඇති බවද දහමෙහි සඳහන් වේ. එසේ නම් සුදන සැදැහැවතුනි( අප දැන් අනුභව කරනුයේ අතීත භවවලදී අපගේම ලේ ඥාතීන් නොවන්නේද මේ අනුව සියලු සත්ත්වයිනට කෙසේ මෛත්‍රිය වඩන්නද?.

එසේ නම් දැල් දමා බුරුතු පිටින් මරාදමා අල්ලා ගන්නා මසුන්, හරකුන්, එලුවන්, කුකුළන් ආදී සතුන් එකම පවුලක අයවලුන් නොවිය හැකි යෑයි කෙසේ තර්ක කරන්නද? සැබවින්ම ඔවුන් අප සමග එක කුස උපන් අතීතයේදී අපගේම අය බව නිසැක වේ. එසේ නම් කථාකළ නොහැකි ඔවුන්ව නොකළ වරදකට මරණ දඬුවම විඳින නිරා දුකින් පෙළෙණ එම සත්ත්වයින්ගේ සෝ සුසුම් හඬ වේදනාව කම්පාව දුක අපගේම නොවන්නේද?

සම්බුදුරදුන්ම පවසන පරිදි මේ සියල්ල තමුන්ට වනවා යෑයි අනුරූපව තමන් සිතන්නේ නම් අප ශරීරයේ ඇති වන සුළු තුවාලයකට කැළඹෙන, කම්පාව න බෙරිහන් දෙන අපට සත්ත්වයින්ගේ මරණ වේදනාව කෙතරම් දැන ගත යුතු ද. අපගේ දරු පවුලට තවත් අයගෙන් එසේ විපතක්‌ සිදු වුවහොත් ඇතිවන කම්පාව, දුක, කලකිරීම භය කෙබඳුවේදැයි මෙනෙහි කරන්න.

මරණින් මතු අප යන දිසාව ඔබ දන්නේද නැතහොත් මා දන්නේද? මාංශ සඳහා මරණයට පත්කරන සත්aත්වයින් දන්නේද නැත. එහෙත් එය චුති චිත්තය අනුවත් පින් පව් අනුවත් සිදු විය හැකිය. වේදනාවෙන් භයෙන් නිරතුරුව රුදුරු මරණයට පත්වන සත්ත්වයා යහපත් භවයක්‌ ගොඩනගාගත හැකි තත්ත්වයට පත්වේද? පිළිතුරු ඔබම සොයන්න. එහෙත් සිතන්න වෛරය, ක්‍රෝධය පසුතලය වී ඇති තත්ත්වයක ඔවුන් සුගති ලෝකවලට ස්‌ථීර වශයෙන් නොයන බව කර්ම විෂය අනිත්‍යය (මෙසේ සිදුවේ යෑයි නිර්ණය කළ නොහැකි) බව පමණක්‌ ආවර්ජනය කරගන්න.

මාංශ භක්‍ෂණය යනු නිමේෂයක අඟල් තුනක දිව කොටස පිනවන විශාල වරදකට ඔබ යොමුවීම සහ අනුබල දීම නොවන්නේද? සත්ත්වයාගේ දිව මෙන්ම අපගේ දිව යන දෙතිස්‌ කුණු අවයවයන් යම්කිසි දිනක මහ පොළොවට පස්‌වන බව මෙනෙහි කරනු වටී. වෙහෙර විහාර අසුහාර දහසක්‌ කරවා තම දරුවන්ද මාර්ග ඵලවලට යොමු කරවු ධර්මාශෝක මහරජතුමාද චුති චිත්තය ක්‍රෝධ සහිත වූ නිසා එතුමාගේ නාමයද හිමාලයේ විශාල පිඹුරකුව ඕපපාතිකව ඉපදුන බව බණ කථාවල සඳහන්ය.

ඉතා කුඩා අකුසලයක්‌ වුවද විපාකය බලවත් බව පසක්‌කර ගන්න. කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්‌ දැඩි වෙයි ගිනි සේ." යන ලෝවැඩ සඟරාවේ කවි පදය නිතර සිතින් මුමුණන්න. දෙඇස්‌ පෑදීමටද අඳුරින් එළියට ඒමටද එයම ප්‍රමාණවත්ය. පව් කිරීමට සහ පවට අනුබල දීමටද වඩා බෙහෙවින් විශාල අකුසලයක්‌ වන්නේ දිනපතා සිල්පද බොරුවට මුමුණමින් වරදින් වළකින බවට පොරොන්දු වෙමින්ම නැවත නැවත එම අකුසලයෙහිම නිරත වීමය.

ඉතා සුළු ජීවිත කාලයක්‌ මෙම අස්‌ථීර ජීවිතයේ ආයු ගෙවන සත්ත්වයින්ද ඒ හා සමානව සංසන්දනාත්මකව ඉතා කෙටි අනිත්‍ය අස්‌ථීර ජීවිත ගත කරන අපටද සත්ත්ව හිංසාවට අනුබලදීම කවරාකාරයෙන් යුක්‌ති යුක්‌ත වන්නේදැයි සිතා බලන්න. මෛත්‍රියෙන් තොර නිවනක්‌ කිසිසේත් නොමැත. දැන් නොකරන මෛත්‍රීය කවදා වඩන්නද ඔබලා. මෛත්‍රි බුද්ධ ශාසනයට අවතීර්ණ වීමක්‌ද නොමැත. ඉතා කුඩා කෘමියාද සිය දිවියට අපමණ ආදරේය. දිනපතාම මෙවන් කෘමියකු හෝ මරණයෙන් මුදවන්න. ජීවිත දානය ඔබ ජීවිතයේ එකම විනෝදාංශය කරගන්න. තිසරණ සරණයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X