වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ජීවමාන බුදුරදුන්ට දක්වන ගෞරවයක් සේ සිතා බෝධි වන්දනාව කරමු

බෝධි වන්දනාවේ ආරම්භය මෙන්ම එහි ඇති වැදගත්කම ගැනත් අප පසුගිය කලාපයකදී කතා කළා. අතීතයේ සිටම බෞද්ධයන් චෛත්‍යය වන්දනාවට මෙන්ම බෝධි වන්දනාවට ඉමහත් ශ්‍රද්ධාවක් දැක්වූ බවද අප හොඳින් දන්නවා. එසේ වුවත් වර්තමානයේ ඇතැම් උපදේශකවරුන් යැයි කියා ගන්නා පිරිස් තරුණ දරු දැරියන්ට බෝ ගස සම්බන්ධව වැරැදි අර්ථකතන ලබා දෙන බව පෙනෙනවා. ‘බෝ ගස තවත් එක් වෘක්ෂයක් බවත් එසේ බෝ ගසට වන්දනා මාන කරනවානම් බුදුරජාණන් වහන්සේ පාගමන් කළ පස්වලටත් වන්දනා මාන කළ යුතු බවට ඉතාම වැරැදි මති මතාන්තර මේ පිරිස් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරන බවක් පෙනෙනවා.
ඒ සම්බන්ධව නිවැරැදි කරුණු නොදත් බොහෝ තරුණ පිරිස් මෙන්ම ඇතැම් වැඩිහිටියන් පවා මුළා වන බව පෙනෙන්නට තිබෙනවා. අද අන්තර්ජාලයේ බෝ ගස සම්බන්ධව විස්තර සොයා බැලුවහොත් වර්තමාන විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල දැන ගන්නට පුළුවන්. අනෙක් සෑම වෘක්ෂයකටම වඩා ලොව පවතින අනෙක් ශාකවලට වඩා පිරිසුදු කිරණ පිටකරන ශාකය බෝගස බව අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසුදු දේ සිඳ දමා පිරිසුදු දේ වර්ධනය කළ හැකි ශක්තියක් බෝ වෘක්ෂයට තිබෙනවා. ග්‍රහ අපල හෝ වේවා එදිනෙදා ඇතිවන භෞතික රෝග හෝ වේවා ඇස්වහ හෝ වහ කටවහ සිත්වහ ආදිය හෝ වේවා මේ සියල්ලටම ආශිර්වාදය ලබා දිය හැකි බලයක් බෝ සමිඳුන් සතු වනවා.
එවන් ශක්තියක් ඇති බෝ සමිඳුන්ට බුදුරජාණන් වහන්සේගේ බලයත් එයට එක් වූ විට, එමෙන්ම පසේ බුදුවරුන්ගේ බලයත් ඒ සඳහා එක් වූ විට එමෙන්ම අර්හත් බලයත් ඒ සඳහා එක් වූ විට ලැබෙන්නා වූ ආශිර්වාදය කෙතරම් බලසම්පන්නදැයි අපට සිතා ගැනීමට පුළුවන්. එසේම එම බෝ සමිඳුන්ට දෙවියන්ගේ බලයත් ලැබෙන බව අප අමතක නොකළ යුතු වනවා.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදීම බෝ සමිඳුන්ට පුද පූජා පැවැත්වූ බව අප හොඳින්ම දන්නවා. ආනන්ද බෝධි රෝපණය බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළා.
ධර්මාශෝක රජතුමා විසින්ම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට දිනපතාම බෝධි පූජා පැවැත්වූවා. රජතුමාගේ බිසවක වූ අසන්දිමිත්තාට වැටහුණේ තමන්ට වඩා රජතුමා බෝධියට ආදරේ බවයි. මේ නිසා එම බිසව බෝධින් වහන්සේ විනාශ කරන්න කටයුතු කළ බව ඉතිහාසයේ දැක්වෙනවා. මේ සිදුවීම් බොහෝ බෞද්ධයන් දන්නෙ නැහැ. හෙළ රජ දවසින් පවා අපට වටහා ගත හැකි බොහෝ දේ තිබෙනවා. දේවානම්පියතිස්ස රජතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කර යළි මාලිගයට ගියේ නැහැ. රජතුමා සත් දිනක් යනතුරු රජ ඔටුන්න බෝ සමිඳුන් ළඟ තබා දොරටුපාලකයෙක් ලෙස බෝධින් වහන්සේ උදෙසා කටයුතු කළා.
එමෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සියලු ප්‍රදේශවල නායකයන් ප්‍රාදේශීය නායකයන් වගේම සියලු ප්‍රභූන් එක්වර රැස්වුණේ ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයට බව ඉතිහාසයේ දැක්වෙනවා. චන්දන ග්‍රාමයේ චන්දන බමුණා මෙන්ම දෙරමඩලාව ප්‍රදේශයේ නායකයන් වගේම රෝහණයේ නායකයන් ඇතුළු සියලුම නායකයන් මෙන්ම ජනතාව මේ සඳහා එක් රැස් වුණා.
ලංකා ඉතිහාසයේ රජදරුවන් විසින් 14 වතාවකට වඩා රාජ්‍යය බෝ සමිඳුන්ට පුදා තිබෙනවා. ඒ රටේ ආරක්ෂාව උදෙසායි. රටට බෝ සමිඳුන්ගේ ආරක්ෂාව සැලසෙන බව දන්නා නිසයි. ආරක්ෂා සම්පත්තිය බෙහෙවින් වැදගත් බව අතීතයේ සිට රජදරුවන් දැන සිටියා. ඒ බව රටවැසියන්ට මනාව අවබෝධ වුණා. එම නිසා වර්තමානයේ මෙන් මිථ්‍යා දෘෂ්ටික අදහස් රෝපණයට ඉඩක් ලැබුණේ නැහැ. බෝ සමිඳුන්ට සියලු පුද සත්කාර කරන්නේ අපේ බුදු හාමුදුරුවන් යන අදහසින්. සියලු ජනයාට එක හා සමාන අවස්ථාව ලබා දීමට බුදුරජාණන් වහන්සේ එදා කටයුතු කළත් අද අපේ ඇතැම් පිරිස් බුදු දහමට පවා විවිධ අර්ථකතන එකතු කර බෝධීන් වහන්සේ නැහැවීම කාන්තාවන්ට සුදුසු නොවන බව පවසනවා. මේ කතාවන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීම අනුව ඇති කළ කාන්තාවන්ට පැවිදිවීමේ අයිතිය ලබා දීමේ සිට කාන්තා විමුක්තිය ලබා දීම දක්වා වූ සියල්ල ලඝු කොට දැක්වීමක් බව පැවසිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ විසින් නොපනවන ලද කරුණු එකතු කර දහම විකෘති නොකර අනාගත පරපුරට උරුම කර දීමත් ඉතාම වැදගත් වනවා. ඇතැමුන් පවසන්නේ කාන්තාවන් බෝ සමිඳුන් අසලට යාමෙන් ‘කිල්ල’ට හසුවන බවයි.
මඳක් සිතන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ඕනෑම අයකුට උන්වහන්සේ හමුවට යාමට හැකියාව තිබුණා නම් අපේ මුදුන් මල් කඩවන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් නම් කාන්තාවන්ට බෝ සමිඳුන් අභියසට යාමට නොහැකි බව විවිධ අර්ථකතන මඟින් ගෙන හැර දක්වන්නේ බුදු දහම විකෘති කරන්නන් හා බුදු දහම නිසි ලෙසින් නොදන්නා අය බවත් කිව යුතු වෙනවා. එය බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට කරනු ලබන මහත් අපහාසයක් බවද පෙන්වා දිය යුතුයි.
යම් කාර්යයක් ආරම්භ කිරීමට පළමුව බොහෝ දෙනා අද බෝධි පූජා තබන්නේ එහි ඇති වැදගත්කම දන්නා නිසයි. මනස ඒකාකාරීව තබා ගෙන සන්සුන් සිතින් යම් කාර්යයක් ආරම්භ කරන්න එය ඉවහල් වනවා. බෝගස අපට මනා ආදර්ශයන්ද දෙන බව අපට පැහැදිලිව පෙනෙන දර්ශනයක්. කිසි විටක මුල අමතක නොකරන ලෙසින් යළි මුල් දෙසටම නැමී බර වන බෝගස මල් නොපෙන්වා ඵලය පමණක් පෙන්වා දීමෙන් අපට පෙන්වන්නේ බාහිර අලංකාරයට වඩා සෑම විටම යහපත් ප්‍රතිඵලය වැදගත් වන බවයි.
බෝ සෙවණේ හැදෙන වැඩෙන ඕනෑම අයකුට දීර්ඝායුෂ තිබෙනවා. හොඳින් සිතා බලන්න ස්වාමින් වහන්සේ නමක් බොහෝ විටම අපවත් වන්නේ වයෝවෘද්ධ වීමෙන් පසුවයි. කලාතුරකින් වෙනත් හේතුන් මත යම් ආකාරයක හදිසි ආපදාවක් වන්නට පුළුවන්. ඒ වගේම විහාරස්ථානයේ සිටින සුනඛ බළල් ඇතුළු වෙනත් සත්ත්වයන්ද දීර්ඝායුෂ ගෙවනු ලබන බව ඔබට පෙනෙනවා ඇති. ඉතාම කලාතුරකින් හැරෙන්නට බොහෝ විට එම තිරිසන් සතුන් පවා දීර්ඝායුෂ ලබනවා. කිසිවෙක් මේ සඳහා බලපවත්වන හේතුන් විද්‍යාත්මකව හෝ ප්‍රායෝගිකව හෝ ඔප්පු කර නැහැ. නමුත් ඒ සඳහා එකම හේතුව බෝ සෙවණේ සිටීම බව ඉතාම පැහැදිලියි. නිතර බෝ සෙවණේ වැඩ සිටින නිතරම බෝ මළුව අමදින ස්වාමින් වහන්සේ මෙන්ම විහාරස්ථානයේ ඇප උපස්ථාන කරනු ලබන අය දෙස බලන්න. ඔවුන් නිරෝගි සුව විඳිමින් දීර්ඝායුෂ ලබනවා. වර්තමාන ක්ෂණික ආහාර රටාව අනුව යම් ආකාරයක රෝගී තත්ත්වයන් ඇති වීමට පුළුවන්. නමුත් පොදුවේ ගත් කළ බෝ සමිඳුන් වෙතින් ලබන්නා වූ ආශිර්වාදය මේ අනුව අපට සිතා ගන්නට පුළුවන්. එපමණක් නොවේ මවු කුසක හට ගන්නා කළලයේ ස්වභාවය පවා යම් දුරකට වෙනස් කිරීමේ බලයක් බෝ සමිඳුන්ට තිබෙන බව බෞද්ධයන් ලෙසින් අප විශ්වාස කරනවා. යම් ආකාරයක හෝ අපහසුතාවයන්ට පත්වන ගැබිනි මවුවරුන් බෝධි පූජාවන්ගෙන් සුවය ලබන්නේත් රෝගී බව පවසන නූපන් දරුවන් නිරෝගී වී පරිපූර්ණ ලෙසින් බිහිවන්නේත් එම නිසයි.
ලේ ධාතුව පවා බෝ සමිඳු සෙවෙණ් සිටීමෙන් පිරිසුදු වනවා. කලින් කීවාක් මෙන් ආශිර්වාදය මෙන්ම කායික ශක්තියක්ද අපට බෝ සමිඳුන්ගෙන් ලැබෙන නිසයි අප විවිධ රෝගී තත්ත්වයන් ඇති වූ විට බෝධි පූජා පවත්වන්නේ. මේ කරුණූ දෙස විමසුම් ඇසින් බැලීමෙන් අපට ඉතාමත් පැහැදිලියි. බෝ සමිඳුන් වහන්සේ අපේ දිවිය සමඟ කෙතරම් සමීප වී ඇත්ද යන්න සම්බන්ධව. එම නිසා කවුරුන් කෙසේ කීවත් අප සැබෑ බෞද්ධයන් ලෙසින් කටයුතු කරනවා නම් බෝධි පූජාව නිසි අයුරින් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන ගෞරවයෙන් කළ යුතු වෙනවා.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X