වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ධර්‍මදානයෙහි අනුසස්

ධර්ම දානයත් ඒ වෙනුවෙන් භාෂා ඥානයත් පිණිස උපකාර වීම සිවුපිළිසිඹියා සහිත නිර්වාණාවබෝධයට උපකාර වීම ය...



"ධම්මං විනා නත්ථි පිතා ච මාතා"
තිලොවග තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.

📖️

සන්ථාර සූත්‍රය.
’’මහණෙනි, මේ ඇතිරීම් (සඳර) දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස සන්ථාරයද, ධර්ම සන්ථාරයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි ඇතිරීම් වෙත්. මහණෙනි, මේ ඇතිරීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම ඇතිරීමක් වේද, මෙය අග්‍රය.’’

📖️

පටිසන්ථාර සූත්‍රය.
’’මහණෙනි, මේ පිළිසඳර දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය පිළිබඳ පිළිසඳරද, ධර්මය පිළිබඳ පිළිසඳරද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි පිළිසඳරයෝ වෙත්. මහණෙනි, මේ පිළිසඳර දෙක අතුරෙන් යම් මේ ධමයෙන් කරණු ලබන පිළිසඳරක් වේද, මෙය අග්‍රය.’’

📖️

ඵසනා සූත්‍රය.
’’මහණෙනි, මේ සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය සෙවීමද, ධර්මය සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සෙවීම් වෙත්. මහණෙනි, මේ සෙවීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම සෙවීමක් වේද, මෙය අග්‍රය.’’

📖️

පරියෙසනා සූත්‍රය.
’’මහණෙනි, මේ හාත්පස පවත්නා සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය පරියෙසනාවද, ධර්ම හාත්පස සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සෙවීම් නම් වෙත්. මහණෙනි, මේ හාත්පස සෙවීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම හාත්පස සෙවීමක් වේද, මෙය අග්‍රය.’’

📖️

පරියෙට්ඨි සූත්‍රය.
’’මහණෙනි, මේ සම්පූර්ණවූ සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සම්පූර්ණ සිවුපසය සෙවීමද, සම්පූර්ණ ධර්මය සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සම්පූර්ණවූ සෙවීම් දෙකක් වෙත්. මහණෙනි, මේ සම්පූර්ණ සෙවීම් දෙක අතුරෙන් යම් මේ සම්පූර්ණ ධර්මය සෙවීමක් වේද, මෙය අග්‍රය.’’
📖️

පූජා සූත්‍රය.
’’මහණෙනි, මේ පූජා දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස පූජාවද, ධර්ම පූජාවද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි පූජා වෙත්. මහණෙනි, මේ පූජා දෙක අතුරෙන් යම් මේ ධර්ම පූජාවක් වේද, මෙය අග්‍රය.’’
📖️

ආතිථෙය්ය සූත්‍රය.
’’මහණෙනි, මේ ආගන්තුක සත්කාරයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිසයෙන් කරණ ආගන්කුක සත්කාරයද, ධර්මයෙන් කරණ ආගන්තුක සත්කාරයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි ආගන්තුක සත්කාර වෙත්. මහණෙනි, මේ ආගන්තුක සත්කාර දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් කරණ ආගන්තුක සත්කාරයක් වේද, මෙය අග්‍රය.’’

📖️

ශුද්ධි සූත්‍රය.
’’මහණෙනි, මේ සමෘද්ධිහු දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස සමෘද්ධියද, ධර්ම සමෘද්ධියද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සමෘද්ධීහු වෙත්. මහණෙනි, මේ සමෘද්ධි දෙක අතුරෙන් යම් මේ ධර්ම සමෘද්ධියක් වේද, මෙය අග්‍රය.’’

📖️

වුද්ධි සූත්‍රය.
’’මහණෙනි, මේ වැඩීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිසයෙන් වැඩීමද, ධර්මයෙන් ඩැඩීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි වැඩීම් වෙත්. මහණෙනි, මේ වැඩීම් දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් වැඩීමක් වේද, මෙය අග්‍රය.’’

📖️

රතන සූත්‍රය.
’’මහණෙනි, මේ රත්නයෝ (ඇලුම් කරණු ලබන්නෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස රත්නයද, ධර්ම රත්නයද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි රත්නයෝ වෙත්. මහණෙනි, මේ රත්න දෙදෙන අතුරෙන් යම් මේ ධර්ම රත්නයක් වේද, මෙය අග්‍රය.’’

📖️

සන්නිචය සූත්‍රය.
’’මහණෙනි, මේ රැස්කිරීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය රැස්කිරීමද, ධර්මය රැස්කිරීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි රැස්කිරීම් වෙත්. මහණෙනි, මේ රැස්කිරීම් දෙක අතුරෙන් යම් මේ ධර්මය රැස්කිරීමක් වේද, මෙය අග්‍රය.’’

📖️

වෙපුල්ල සූත්‍රය.
’’මහණෙනි, මේ මහත් භාවයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිසයෙහි මහත් බවද, ධර්මයෙහි මහත් බවද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි මහත් භාවයෝ වෙත්. මහණෙනි, මේ මහත් භාව දෙක අතුරෙන් යම් මේ ධර්ම මහත් භාවයක් වේද, මෙය අග්‍රය.’’


ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය.

දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. දිවි හිමි කොට ධර්ම දානය කළේ ද අඩු වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලවුන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.

ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දානය ඇසිල්ලකින් කර නිම වන කුසල කර්මයක් නොවේ. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි.

එළු, කුකුළු, ඌරු, බලු, බළල්, ගව ආදි තිරිසන් සතකුට දුන් ආහාර ආදිය සියයක් ජාතියෙහි ආයුවර්ණ, සැප, බල, ප්රඥා වශයෙන් පන්සියයක් විපාක දෙයි. වැදි කෙවුල් ආදී දුශ්ශීල මනුෂ්යයකුට දුන් දානය දහසක් ජාතියෙහි පන් දහසක් ආනිශංස දෙයි. බාහිර සිල්වත් දැහැමි මනුෂ්යයකුට දුන් දානය ලක්ෂයක් ආත්ම භාවයන්හි පන්ලක්ෂයක් විපාක වෙයි. අෂ්ට සමාපත්ති ලාභී බාහිර තාපසයකුට දුන් දානය කෙළ ලක්ෂයක් ජාතියෙහි උපදවා පස්කෙළ ලක්ෂයක් විපාක දෙයි. ඔවුන් සියයකට දුන් දානයට වඩා මේ සසුනෙහි තිසරණයෙහි පිහිටියකුට දෙන දානය උසස් වෙයි.

පන්සිල්හි, අටසිල්හි, දසසිල්හි පිහිටි උපාසකයින්ට දුන් දානය එකිනෙකට ආනිශංසයෙන් වැඩිවෙයි. අසංඛෙය්ය අප්‍රමෙය්ය වූ විපාකම දෙයි. එයට වඩා මේ ශාසනයෙහි පැවිදි බවට ඇතුළත් වූ සාමණේරය, සාමාන්ය උපසම්පන්නය, ව්රතසාර උපසම්පන්නය, ආරබ්බ විදර්ශකය, මාර්ග සමන්ගීය, සොතාපන්නය, සකදාගාමීය, අරහත්ය, ප්‍රත්යෙක බුදධය යන දක්ෂිණාර්හ පුද්ගලයන්ට දුන්දානය පිළිවෙළින් එකිනෙකට සියක් දහසක් ගුණෙන් වැඩිවෙමින් අනන්ත අප්රමාණ ආනිශංස දෙයි. පසේ බුදු වරුන් සියක් දහසකට දුන් දානයට වඩා එක ලොව්තුරා බුදු කෙනෙකුට දුන් දානයම අනන්තාපරිමාණ ආනිශංස දෙයි.

බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දුන් සාංඝික දානය එයටත් වඩා අසීමිත ආනිශංස දෙයි. සතර දිගින් වඩින මහා සංඝයාට ආවාසයක් කර දුන්නේ නම් එහි ආනිශංසය එයටත් වැඩි වෙයි. ඇසිල්ලක් සියලු සතුන් වෙත මෛත්රීය වැඩුවේ නම් එයට සත සහශ්ර ගුණයෙන් වැඩි ආනිශංස වෙයි. විදර්ශනා වැඩුවේ නම් එයටත් වඩා අප්‍රමෙය්ය වූ ආනිශංස දෙයි. යමෙක් ධර්ම දානය දුන්නේ වී නම් හෙ දෙවුයේ වී නම් ඒ ධර්ම දානමය කුශල කර්මය ඉහත කී සියලුම දානයන්ට වඩා මහත් ඵල මහානිශංස වෙයි. ප්රමාණකල නොහැකි වූම සැප විපාක ඇති වෙයි.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්යාග කරති. සමහරු ධනයද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්‍රත්යංගද කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය.

ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්‍රමුඛ වෙයි.


සියලූම යහපත වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
සුඛී හෝතූ...


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X