වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ධ ර් ම දානය නි ර් වා න දානයකි

බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ථීන මිද්ධ, ව්යාපාද, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්රත්යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීමෙනුත් සිය ගණන් දහස් ගණන් එකවර මාර්ග ඵල අවබෝධ කොට නිවන් දුටු බව ත්රිපිටකයෙහි නොයෙක් තැන සදහන්ව ඇත.


යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්ය ලෝකයෙහිත් මනුෂ්ය ලෝකයෙහිත් අප්රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවා ලුවාක්මෙන් අප්රමාණ වූ සුගති සංඛ්යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.

පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය.

නව කපපං සුත ධමමං
අට්ඨ කපපං ච යාචිතො
එක කපපං අනුමොදනතුං
දෙසිතො ච අසංඛයො

ධර්මය ඇසීමෙන් නව කල්පයක් ද ධර්මය දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක් ද එහි පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක් ද ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්යයක් ද සුගතියෙහි සැප ලැබෙන බව එයින් කියවේ. අටුවාවෙහි එසේ කීවද ධර්ම දානයෙහි ආනිසංස සීමාකර කිව නොහැකි වන්නේමය.

සදධමම දේශනා කාලෙ
සාධු සාධුති හාසනො
මුඛතො වායතෙ ගනෙධා
උපපලංව යථොදකෙ

ධර්ම දේශනා කරන කාලයෙහි ධර්මාලම්බන ප්‍රීතියෙන් සාධු ! සාධු !! යැයි කීමෙන් උප නූපන් ජාතියෙහි කටින් මහනෙල් මල් සුවඳ හමන්නේය යනු එහි අදහසය. ධර්ම ශ්රවණය කරන්නාට එසේ නම් ධර්මය දේශනා කරන්නාට කෙබඳු විපාක ලැබිය යුතු දැයි සලකා ගත යුතුය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර නොහැකිය.

ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .

සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.

අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පිංකම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වැස්සේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පිංකම් වලට වඩා  ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය

එබැවින මා පින්වත් කළණ මිතුරු මිතුරියනේ.
බුදු රජාණන්වහන්සේ ම දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ යන වගයි.

වරක් බුදුරජාණන්වහන්සේ දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා” කියල. ධර්මය ඉක්මවා ගිය මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ.

ඊලගට “ ධම්මෝෂධ සමං නත්ථි - ඒතං පිවත භික්ඛවෝ ” කියල කියනව. ඒ කියන්නෙ ධර්මය හා සමාන ඔසුවක් නැත, එය පානය කරව් කියල.

ඊලගට “සබ්බ දානං ධම්ම දානං ජිනාති ”
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිට වැදගත්ද කියල ඔබට හිතෙනව ඇති.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)

3. කීර් තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම

2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම

3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම

4. ධර්මය ඉගැන්වීම

5. පිරිස් වලට බණපොත් කියවීම

6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

7. දරුවන්ට ධර් මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,

12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෛත්‍රී බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1. කඨින සිවුරක් පූජා කිරීම

2. අටපිරිකර පූජාකිරීම

3. ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4. බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5. බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6. සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7. බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම් වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය) අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

කෙටියෙන් ගත්කල.
ධර්ම දානයේ අනුහසින්.
කල්පයක් මුළුල්ලේ වසින වැස්සේ වැහි බිංදු ගණන කීමට තරම් තියුණු නුවණ ලැබීම හා නිවන් සුව විද ගැනීමේ වාසනාව ලැබේ.

සියලූම යහපත වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
සුඛී හෝතූ...


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X