වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අත්හැරීමේ චේතනාවෙන්ම දන් දෙන්න

විසාලා මහනුවර වූ කලි බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි උත්තර භාරතයේ පිහිටි සුවිශාල නගරයකි. මේ කියන වකවානුවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ය. මෙහි විසූ සීහ සේනාපතියා ජෛනාගම ඉතාම භක්තියෙන් අදහාගෙන, නිගණ්ඨනාථපුත්තට දාන මානාදියෙන් සංග්‍රහ කරමින් සිටි එම ආගමේ බැතිමත් අනුග්‍රාහකයෙක් විය.

එක්තරා අවස්ථාවක ලිච්ඡවි රජවරු න් පිරිසක් එකතු වී බුද්ධරත්නයේ ගුණත්, ධම්ම රත්නයේ ගුණත්, සංඝ රත්නයේ ගුණත් ඉතා උත්කර්ෂවත් ලෙස වර්ණනා කරමින් සිටින ආකාරය සීහ සේනාපතිට දැන ගත හැකි විය. ඒ ගුණ ගායනාව අසා සිටි මොහුගේ සිතේ බලවත් ප්‍රසාදයක් ඇතිවිය. පැහැදීම හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යෑමට බලවත් ආශාවක් උපන්නේ ය.

සාමාන්‍ය වශයෙන් තමන් අදහන ආගමෙන් පිටස්තර ශාස්තෘවරයකු හමුවට යෑමට නම් තම ශාස්තෘවරයාගෙන් අවසර ගත යුතු වීම සිරිතක් විය. ඒ නිසා සීහ ද නිගණ්ඨනාථපුත්ත හමුවීමට ගොස් බුදුරජාණන් වහන්සේ දැකීමට යෑමට අදහසක් පහළ වූ බවත්, ඒ නිසා ඒ සඳහා අවසර ලබා ගැනීමට පැමිණි බවත් කියා සිටියේ ය. නිගණ්ඨනාථපුත්ත මොහොතක් කල්පනාකර, යම් කෙනෙක් බුදුරදුන් සමීපයට ගියොත් නම් ආපසු නොඑන බවත්, බුදුරදුන්ට යම් මායා බලයක් ඇති බවත් කියමින් බුදුරදුන් දැකීමට යාමට අවසර නොදී සිටියේ ය. බුදුරදුන් කෙරෙහි පවතින මේ මායා බලය ආවර්තනී මායාව නමින් හැඳින්වෙන බවත් වැඩිදුරටත් පැවසී ය.

සීහ සේනාපති ඉතා ධනවත් ය. මෙබඳු ධනවත් පුද්ගලයකුට බුදුරජාණන් වහන්සේ සමීපයට යන්නට ඉඩ දීමෙන් තමන්ට සිද්ධ වෙන්නේ බලවත් පාඩුවකි. නිගණ්ඨනාථ පුත්ත මහත් භීතියට පත්විය. ඒ නිසා වඩාත් බුදුරදුන් කෙරෙහි කළකිරීම ඇති කරවනු පිණිස බුදුරදුන් අකිරියවාදියකු බව ද කියා සිටියේ ය.

කෙසේ වෙතත් සීහ තම අධිෂ්ඨානය අත් හැරියේ නැත. දෙවැනි වරටත් අවසර ඉල්ලා සිටිමුත් එවර ද අසාර්ථක විය. තුන්වැනි වරට ද අවසර ඉල්ලා සිටියත් ඔහුගෙන් කිසිම ඉඩ හසරක් බුදුරදුන් හමුවීමට යෑමට නොලැබෙන බව දැන ස්වමතය අනුව ම බුදුරජාණන් වහන්සේ වෙත ගියේ ය. බුදුරජාණන් වහන්සේ හමුවට ගිය සීහ “ඔබ වහන්සේ වෙත එන්නට නිගණ්ඨනාථපුත්ත මට ඉඩ නොදුන්නේ ඔබ වහන්සේ “අකිරියවාදියෙක්” යැයි කියන නිසා බව පවසා එය සත්‍යයක්දැ යි විමසී ය. සිත, කය වචනයෙහි සුචරිතය දියුණු කරන අදහසින් අකිරිය නොව කිරියවාදියෙක් යැයි තමන් හට කියන බව බුදුරජාණන් වහන්සේ පැවසූහ.

මෙසේ දහම් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව සීහ සේනාපති සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. මෙසේ ඵලාධිගමනයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මොහුට දේශනා කළේ නිගණ්ඨනාථපුත්තට දුන් දානය නොනවත්වා තව දුරටත් දෙන හැටියටයි. සීහ දැන් මාර්ගඵල ලාභියෙකි. සම්මා දිට්ඨිය ලැබූවෙකි. ආර්ය භූමියට සැපත් වූවෙකි. සීලබ්බත පරාමාස යනුවෙන් හැඳින්වෙන මිසදිටු ඇදහිලි, විශ්වාස බුදු සසුනෙන් පිටස්තර අන් ශාසනයක සරණ යෑමක් නැත. මෙසේ සිටියා වූ මට මිථ්‍යාදෘෂ්ටිකයකුට දන් දෙන්න යැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවර කරුණක් නිසාද? ආර්ය භූමියට සැපත් වුවකුට මෙසේ කියන්නේ කුමක් නිසා දැයි සිතට විමතියක් ඇතිවිය. ඒ නිසා ඔහු මේ කාරණය බුදුරජාණන් වහන්සේගෙන් විමසීය.

දන් දෙන්නේ අන් කිසිවක් නිසා නොවෙයි. තණ්හාව නැති කිරීමට යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙහිදී වැදගත් වන්නේ දන් දෙන්නේ කාටද? යන්න නොව දානය කුමක් අරභයා ද යන කාරණයයි. මෙහි කුමක් අරභයා ද යන අදහස ගැඹුරින් විමසිය යුතු ය. බුදු දහමේ මූලික සිද්ධාන්තයක් නම් ‘අත්හැරීම’ යන කාරණයයි. නිර්වාණයට හේතු වන්නේ එයයි. සියල්ලෙන් ම මිදීමට සංසිඳීමට, ලෝකයට අයත් හැම ධර්මතාවයකින් ම මිදී ක්ෂාන්තී දායක වූ නිර්වාණය නිවීම සඳහා උපකාර වන්නේ අතහැරීම හෙවත් තෘෂ්ණාව නැත්තටම නැති කිරීමයි.

බුදුදහමේ එකම අවසාන පරමාර්ථය නැවැත්වීමයි. නවත්වන්නේ කුමක්ද? භව ගමනයි. නිර්වාණය කියන්නේ එයයි. එසේ නම් මේ සඳහා අප මෙතෙක් රැස් කරගෙන සිටි හා රැස් කරන සෑම දෙයක්ම අතහැර දැමිය යුතු ය. දානයෙහි පරම අර්ථය එයයි.

සසර දුකට එකම හේතුව හැටියට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් වන්නේ තෘෂ්ණාවයි. එය මුළුමනින්ම හැර දැමීමට නම් සියල්ල අත්හළ යුතු ය. ඒ නිසා දන් දෙන තැනැත්තා (ප්‍රතිග්‍රාහකයා) නොවෙයි වැදගත් වෙන්නේ. දීමේ පරමාර්ථයයි. සිල්වතුන් සොය සොයා දන්දීමට නොයා යුතු ය. අපට නැති කර ගන්න, ප්‍රහීණ කර ගන්නට තිබෙන්නේ තණ්හාවයි. කාට දන් දුන්නත් එහි පරමාර්ථය විය යුත්තේ සියල්ල අත්හැරීමත්, තණ්හාවට පහර දෙමින් නිර්වාණය කරා ගමන් කිරීමයි.

බුද්ධ දේශනාව අසා සීහ තවදුරටත් පැහැදුණේ තවත් දිනක් විශාලා මහ නුවර කූඨාගාර ශාලාවේ දී ඔහු බුදුරජාණන් වහන්සේගෙන් දානයේ සාන්දෘෂ්ටික ප්‍රතිවිපාක තිබේ දැයි ඇසීය. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

දන් දෙන පුද්ගලයෝ දන් දෙන ආකාරය අනුව තුන් ආකාර වේ. එනම්,

දාන දාස, දාන සහායක හා දානපති යනුවෙනි.

දාන දාස -

මොහු දානය පන්සලට යවන්නේ දාසයන් අත ය. නිවසේ දී දානය පිළිගන්වන අවස්ථාවක නම් සේවක සේවකාදීන් ලවා එය පිළියෙල කර ගනී. තමන් භුක්ති විඳින ප්‍රමාණයට වඩා අඩුවෙන් දානය පිණිස දීමට සලස්වයි.

දාන සහායක -

අන් පුද්ගලයන් දන් දෙන විට දානය පිළියෙල කරගැනීම ආදිය සඳහා උදව් කරයි. යහළුවන්ටත් තමන් අනුභව කරන ආකාරයට ම සංග්‍රහ කරයි.

දානපති -

තමා පරිභෝග කරනවාටත් වඩා හොඳින් දන් දෙයි. සියතින් ම සකසා මැනවින් තමා අතින් ම පිළිගන්වයි. දානයෙහි ආනිශංස පස් ආකාර වේ.

සමාජයේ කා අතරත් පි‍්‍රය මනාප පුද්ගලයකු බවට පත්වේ. මේ ආනිසංස ලබන්නේ දානපතියා ය.

දානය නිසා තව තවත් සත් පුරුෂයන් බොහෝ කොට හඳුනා ගැනීමට අවස්ථාව උදාවෙයි. යහපත් කෙනකුගේ ඇසුර ලබන්නේ තවත් එබඳුම යහපත් කෙනෙක් ම ය.

ප්‍රසන්න වූ කීර්ති රාවයක් පැතිර යයි.

දානපතියාට ඕනෑම සභාවක් මැදට ගිය විට විශාරදයකු සේ නිර්භයව බැබළේ.

මරණින් පසු සුගතිගාමී වී වේ.

සීහ සේනාපතියා මේ බුද්ධ දේශනාව අසා සිට මෙසේ පැවසීය. මේ ආනිශංසවලින් මුල් හතර මට ශ්‍රද්ධාවෙන් තොරව ම පිළිගත හැකිය. එය පිළිගැනීමට මට ශ්‍රද්ධාවක් අවශ්‍ය නොවේ. මුල් ආනිසංස සතරම සාන්දෘෂ්ඨික ය. ප්‍රත්‍යක්ෂ ය. මගේ ජීවිතයෙන් ම මට පෙනී යයි. පස්වැන්න මා පිළිගන්නේ ශ්‍රද්ධාවෙනි. කුමක් නිසාදැයි කිවහොත් මතු ආත්ම භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් මට නැති නිසා ය.

සීහ සේනාපති මනා කොට දන් දුන් කෙනෙකි. මරණින් මතු සුගතිගාමී වන බව පමණක් ප්‍රත්‍යක්ෂ භාවයේ තොර නිසා ශ්‍රද්ධාවෙන් පිළිගත යුතුව මෙන්, අප ද ශ්‍රද්ධාව දියුණු කරගෙන ප්‍රත්‍යක්ෂය කරා යා යුතු ය.

දේශනාව අවසානයේ සීහ සෙන්පතියා අතිශයින් පී‍්‍රති ප්‍රමෝදයට පත්විය. ජීවිතයට සතුට ලබා ගැනීමේ එකම මඟ ධර්මය උපයෝගී කර ගැනීමයි. කාට වුවත් ප්‍රශ්නයක් නැත. අත්හැරීමේ චේතනාවෙන් යුතුව ම දීමෙහි නරත වන්න. නිවනට මඟ එය ම වන්නේ ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X