වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

දනට පිනට හුරුකර ගත යුතු සිත

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අප හැමවිටම බෞද්ධයන් හැටියට ,ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අය හැටියට දන්නවා හොඳ බෞද්ධ ජීවිතයක් ගත කරන්නට නම් නිරන්තරයෙන් කුසල සිතිවිලි ඇති කර ගන්නට අවශ්‍ය බව. ඒ විතරක් නොවෙයි කුසල සිතිවිලි ඇති කර ගැනීම බුදු දහමේ ඉගැන්වෙන විදියට සැප විපාක ලබා දෙන බවත් අප දන්නවා.
ඉතින් මොනව ද මේ කුසල සිතිවිලි කියලා කියන්නේ? සිත කිලිටි කරන ලෝභ, ද්වේෂ හා මෝහ කියන මේ මූලික කෙලෙස් තුනට අප කියනවා අකුසල සිතිවිලි කියලා. ඉතින් මේ හැම අකුසල සිතිවිල්ලක්ම අපේ සසර ගමන දිග් කරනවා. ඒ වගේම අපට දුක පිණිස අවැඩ පිණිස පවතිනවා. කිසිම ආකාරයකින් සැප විපාකයක් ලබා දීමට හැකියාවක් ඇති කරන්නේ නැහැ. ඉතින්, මේ නිසා මේ කියන අකුසල සිතිවිලිවලින් සිත මුදා ගන්නවා කියන කාරණයෙහි තේරුම කුසලයට සිත යොමු වුණා කියන අදහසයි. ඉතින්, මේ කුසලයට සිත යොමු කර ගැනීම ඉක්මන් කරන පහසු කිරීමට කරුණු අටක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුම් කරලා තිබෙනවා. උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි භික්ෂූන් වහන්සේ අමතා “පුඤ්ඤාභිසන්ද” නමින් සූත්‍රයක් දේශනා කරලා තිබෙනවා. පුඤ්ඤ හා අභිසන්ද යන වචන දෙක එකතුවෙලයි පුඤ්ඤාභිසන් ද යන වචනය හැදිලා තියෙන්නේ. මේ ‘අභිසන්ද” යන වචනයේ තේරුම ජනිත කරනවා. ප්‍රසව කරනවා. ඇති කරනවා කියන එකයි. මොනවද මේ ප්‍රසව කරන්නේ? එහෙම නැත්නම් ඇති කරන්නේ? පුඤ්ඤ තමයි ප්‍රසව කරන්නේ. එනම් පින් රැස් කිරීමයි
අපේ බුදුරජාණන් වහන්සේ කුසල් සිත් ඇති කිරීමට හේතුවන කරුණු අටෙන් පළමුවෙන්ම පෙන්වා දෙන්නේ” බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්” එය පළමු අවශ්‍යතාව බවයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මූලික වශයෙන් ඇදහීමක්, විශ්වාසයක් ඇති කර ගැනීම මෙහි දී මූලික අවශ්‍යතාවයි. එහිදී මිථ්‍යා ඇදහීම්වලින් බැහැරව තමන්ට පිහිට පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන මේ බරපතල විශ්වාසය ඇති කර ගතයුතු වෙනවා. එවැන්නක් ඇති කර ගැනීම මෙහිදී මූලික අවශ්‍යතාවයි. එහි දී මිථ්‍යා ඇදහීම්වලින් බැහැරව තමන්ට පිහිට පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන මේ බරපතල විශ්වාසය ඇති කර ගතයුතු වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට නම් ඔහුට ශ්‍රද්ධාව පිහිටා තිබිය යුතු වෙනවා. ශ්‍රද්ධාව ස්ථීරසාරව පිහිටනව නම් මූලික වශයෙන් සෝවාන් මගඵලවත් පසක් කර තිබිය යුතු වෙනවා. කෙනෙක් තෙරුවන් සරණ යාමට කල්පනා කරනවා නම් ඔහු මුලින්ම කරන්නේ “ බුදුන් සරණ යාම” යි. එසේ තෙරුවන් සරණ ගිය අයටයි බුදුදහමේ ඉගැන්වීම් අනුව උපාසකයා හෝ උපාසිකාව කියා හඳුන්වා දෙන්නේ. ඊළඟ අවශ්‍යතාව මේ “ධර්මය සරණ යාම” තෙවැනි අවශ්‍යතාව වන්නේ “ආර්ය සංඝරත්නය සරණ යාම”යි . මේ විදියට බලද්දී කුසල් සිතිවලි ජනිත කර ගැනීම ට මේ කියන බුද්ධ , ධම්ම, සංඝ යන රත්නත්‍රයම සරණයාම අවශ්‍ය වෙනවා. තෙරුවන් සරණ යාම පමණක්ම කුසල සිත පහළවීමක් ලෙස ද හඳුන්වන්නට පුළුවනි. ඒ කුමන හේතුවක් නිසා ද කියනවා නම් තෙරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකයාට කිසි විටෙක අකුසල් සිතිවිලි උපදවා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවක යන මේ වචනයෙන් භික්ෂු, භික්ෂූණී, උපාසක හා උපාසිකා කියන කොටස් හතරම ගැනෙනවා. ඔහු නිරන්තරයෙන්ම බුද්ධාදී රත්නත්‍රය විෂයෙහි ශ්‍රද්ධාව උපදවාගෙන අප්‍රමාදයෙන් යුතුව සිහිය පිහිටුවා ගෙන ක්‍රියා කරන උතුමෙකු වන නිසාය.

ඊළඟට පෙන්වා දෙන්නේ තෙරුවන් සරණ ගිය මෙ ආර්ය ශ්‍රාවකයා බුදුන් සරණ යාම , දහම් සරණ යාම හා සඟුන් සරණ යාම යන කරුණු තුන සපුරාලමින් කුසල් සිත් වඩා වර්ධනය කරමින් ඊළඟට තවත් පියවර පහක් සපුරා ගන්නවා. එයින් පළමුවන කරුණ වන්නේ ප්‍රාණඝාතයෙන් හෙවත් ප්‍රාණ හිංසාවෙන් සම්පූර්ණයෙන්ම අත් මිදීමයි. මේ අය තමන්ට මෙන්ම තමන්ගෙන් බාහිර සමස්ත ලෝකයේ ම සියලු ම ප්‍රාණීන්ට අභය දානය නිරතුරුවම සලසාලන අයකු බවට පත් වෙනවා. මේ ආකාරයෙන් පංචශීලයෙහි දැක්වෙන එක් එක් ශික්ෂාපදයන්ට අනුව සම්පූර්ණයෙන් ම හික්මීමෙන් කිසි විටෙකත් කාටවත් සැපතක් මිස විපතකට ඉඩකඩ සලස්වන්නේ නැතිව හැමවිට ම මහා දාන පහක් සිදු කරනවා. මේ දාන පහ ලෝකයේ පවත්නා වචනයේ අර්ථයෙන්ම මහාදාන වෙනවා මයි. එමෙන්ම ඊට වඩා වැඩියෙන් අගය කරන තවත් දානයක් නම් ලෝකයේ ඇත්තේ ම නැහැ. එමෙන්ම ඒ දානය හැමදාමත් අගය අඩු නොවන දානයක් මයි. ඒ දානයේ ආනිසංස කවදත් එම විදිය මයි. කලින් කලට එහි ආනිසංස වෙනස් වන්නේ නැහැ. සනාතනික විදියට එහි අගය රඳා පවතිනවා. ඒ වගේම තමා එහි ආනිසංසවල කිසි ආකාරයකින් වෙනස් වන්නේ යයි සැක පහළ කරන්නට හේතුවක් ඇති වන්නේ නැහැ. එමෙන්ම ශ්‍රමණ බ්‍රාහ්මණාදී උතුමන් විසිනුත් එහි ඇති ශක්තිය අගය හා වටිනාකම කිසි විටෙකත් අඩු තක්සේරුවක් කරන්නෙත් නැහැ. හැමදාම එම ආනිසංශ ශක්තිය එම ආකාරයෙන් පවතිනවා.
මීළඟට බුදුරජාණන් වහන්සේ එක් එක් ශික්ෂාපදය උපුටා දක්වමින් ඒ එකකින් සිදුවන දාන කෙබඳුද? යන්න පහදා දෙනවා.
ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා ආර්ශ්‍රාවකයා ලෝකයේ ජීවත්වන අප්‍රමාණ සත්ව ප්‍රජාවකට අභය දානය ලබා දෙනවා. මේ නිසා ලොව ජීවත්වන හැම සත්වයෙක්ම භය නැතිව ජීවත් වෙනවා. භය නැති නිසා එතැන අසහනය දුරු වෙලා සහනසීලි සන්සුන් පරිසරයක් ඇති වෙනවා. දෙවැනි දානය තමා එම ආර්ය ශ්‍රාවකයා නිසා අවෛරය හැම සත්වයෙකුටම ඇති වෙනවා. මේ තත්වය යටතේ හැම සත්වයෙක්ම තවත් අයෙකුට වෛර නොකර සැනසිල්ලේ ජීවත් වෙනවා. මෛත්‍රී සහගත සිතිවිලි බහුල වෙනවා. හැම සිතකම මෘදු ගුණය බහුල වෙනවා. නපුරුගති දුරු වෙනවා. මෙන්න කාය කර්ම, මෙත්තා, වචී කර්ම හා මෙත්තා මනෝ කර්මවලින් එම ආර්ය සමාජය තුළ හැම අයෙක්ම යුක්ත වෙනවා. එමෙන්ම මේ හේතුවෙන් අප්‍රමාණ සත්ව ප්‍රජාවට කිසිදු දුකක් නැතිව සුවසේ ජීවත් වීමේ හැකියාව ඇති වෙනවා. මෙසේ දුක් නැති බව ලබා දෙනවා යන්නෙහි අදහස සැප ලබා දෙනවා. කියන එකයි. එයද මහාර්ඝ සම්පන්න දානයක් ලෙස මෙහිදී සලකා බලා තිබෙන්නේ. පස්වෙනි අවස්ථාව ලෙස දක්වලා තිබෙන්නේ ප්‍රාණහිංසාවෙන් වැළකුණු ආර්ය ශ්‍රාවකයා නිසා ජීවත්වන සමස්ත ප්‍රජාව අභයට අවෛරයට නිදුක් බවට හිමිකාරයෙක් බවට පත් වෙනවා. මේ දක්වා තිබෙන්නේ පංචශීලයෙහි දැක්වෙන එක ශික්ෂාපදයක් වූ ප්‍රාණහිංසාවෙන් වැළකීම කියන මෙහි සනාතනික ශක්තිය අගයයි.
මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා තවදුරටත් නුදුන් දෙය පැහැර ගැනීමෙන් වළකිනවා. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිනවා ,බොරුවෙන් හෙවත් වංචාවෙන් වළකිනවා. රහමෙර පානයෙනුත් වළකිනවා. දැන් කුමක්ද? සිදුවී තිබෙන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා සමාජයේ මනා පැවැත්මට අවශ්‍ය වූ සිල්පද පහෙන්ම තම පැවැත්ම සරසා ගන්නවා. එවැනි සමාජයක ජීවත් වන අප්‍රමාණ මිනිස් ගණයට වැටෙන සත්වයන්ට පමණක් නොව සෙසු සියලුම ප්‍රාණීන්ට මෙම ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන්ම අභය ලබා දෙන අවෛරය ලබා දෙන නිදුක්බව ලබා දෙන, එම සියලුම සහනසීලි තත්ත්වයන්ට හිමිකම් කියන තත්ත්වයට එම සමාජය පත් වෙනවා. මේ අනුව බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙම ශික්ෂාපද පහෙන් එකින් එක සමරනවා වගේම කල්පැවැත්ම සනාතනික වුවත්, ඒ මක් නිසාද? පන්සිල් රකින සමාජයක් තුළ ජීවත් වන සෑම සත්වයෙක් ප්‍රාණියෙක්ම සැකෙන් භයෙන් තොරව ජීවත් වෙනවා. ඒ නිසාම වෛරී සිතිවිලි පහළ වන්නේ නැහැ. හිතට මෙන්ම ගතට සැපයක් උදා කර දෙනවා. එපමණක් නොව එසේ පන්සිල් පද ආරක්ෂා කරමින් ක්‍රියා කරන පුද්ගලයා ඒකාන්ත වශයෙන් සුගතියෙහි උප්පත්තිය ලබනවා. මෙවැනි පසුබිමක් තුළ ඇති වන වැදගත්ම ප්‍රතිඵලය වන්නේ එම සමාජයේ ජීවත වන ආර්යශ්‍රාවකයා හැම දෙනාගේම යහපත හිතසුව පිණිස පවතිනවා. එවැනි සමාජයක ජීවත්වන සෑම කෙනෙකුටම ඒ සුගතිය උදා කර ගැනීමට තරම් මානසික වශයෙන් සුවදායක පරිසරයක්ද නිර්මාණය වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X