වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සංඝභේද අකුසලය ගිහියකුට කළ හැකිද?


රාජකීය පණ්‌ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි

වර්තමාන සමාජයෙහි බුදු දහම පිළිබඳ විවිධ මත ප්‍රකාශ වනු පෙනේ. ඒවා සියල්ලම ධාර්මිකද නොවේ. තම හිතු මනාපය පරිදි ධර්මය විකෘති කරන්නවුන් බොහෝය. පෙළ අටුවා අලුතින් අර්ථ ගන්වමින් අලුත් බණ දෙසමින් ගොඩ වැඩි කරගන්නා අයවලුන් බොහෝමය. එසේම එකී හිතළු දෙසන්නන්ගෙන් සාමාන්‍ය ජනයාට ගැලවී යැම අපහසු වන තරමට එකී පුද්ගලයෙක්‌ සංවිධානාත්මක වී ඇත. එබැවින් ධර්මය පිළිබඳ නොදත් හා ප්‍රඥාවෙන් අඩු වූ ජනයා මේ කෙරේ ඇදීයැමේ ප්‍රවණතාවය වැඩිව තිබේ. ඒ ඔවුන් මුලාවේ දමමින් සිදුකරනු ලබන එම අධර්ම ක්‍රියාවන් සමාජයට හෙළිකරමින් එම ක්‍රියාවන් දුරු කිරීමට ඇතැම් ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේලා ද ක්‍රියාත්මක වීම යහපත් ක්‍රියාවකි. කෙසේ නමුත් ඔවුන් එසේ පවසන කරුණක්‌ පිළිබඳ විවරණයක්‌ ඉදිරිපත් කිරීම යහපත් යෑයි සිතෙන බැවින් මෙසේ සටහන් තබන්නෙමු. ධර්මය විනය අනුව විමසත්වා.

අධර්මවාදී පුද්ගලයන් තම මතය සමාජගත කිරීම පිණිස ප්‍රකාශ කරනු ලබන එක්‌ ප්‍රධාන කාරණාවක්‌ නම් තම මතයට විරුද්ධව කතා කරන්නා සංඝභේදය අකුසලය සිදු කරගන්නා බවයි. එවැන්නක්‌ ඇසීමම බියට කරුණක්‌ වන බැවින් බොහෝ දෙනකු අධර්මයට ධර්මයෙන් ප්‍රතිඋත්තර නොබඳින්නේ වෙයි. එයම එකී පුද්ගලයන්ගේ අවශ්‍යතාවය වේ. කෙසේ නමුත් බුද්ධ දේශනාව අනුව සංඝභේදය නම් කිමෙක්‌ද එය කෙසේ සිදුවන්නක්‌ ද යන්න විමසා බලන කල අධර්මයට එදිරිවිමට බාධා කිසිවක්‌ එහි නොමැති බව පළමු කොටම අවධාරණය කරමු. එසේම ශාසනය තුළ යම් අධර්මයක්‌ ඇත්තේ නම් එය ධර්මයෙන් දුරුකරන ලෙස බුද්ධානුශාසනාව දක්‌වන්නේ වේ. එබැවින් ද අධර්මය දුරලීමට ධර්මයෙන් කරුණු දැක්‌වීම වරදක්‌ හෝ අකුසලයක්‌ හෝ නොවේ. එසේම එහිලා උකටලී වීම හෝ පසුබැසීම නොව උත්සාහවත් වීම උතුම් කුසලයක්‌ බවද දැක්‌වේ.

එහිදී සංඝ භේදය පිළිබඳ පැහැදිලි විස්‌තර දත හැකි මූලාශ්‍ර කිහිපයක්‌ම වේ. පාරාජිකාපාලිය හා චුල්ලවග්ග පාලිය ප්‍රධාන වේ. එහි පාරාජිකාපාලිය තුළ සංඝාදිශේස යටතේ සංඝභේදයට උත්සාහ කිරීම හා එහිලා සහයවීම යන කාරණා දෙක යටතේ ශික්‌ෂාපද පනවා ඇත. එහි සංඝභේද සික්‌ෂාපදය තුළ දෙව්දතුන්ගේ ආයාචන පස පිළිබඳව දක්‌වා එමගින් සංඝභේදයට උත්සහ කිරීම යටතේ එසේ උත්සහකරන්නහුට සමනුභාෂණ තුන අවසානයේ සංඝාදිශේස පනවා වදාළ සේක.

චුල්ලවග්ග පාලියෙහි සංඝභේදකක්‌ඛන්ධකයෙහි සංඝභේදය පිළිබඳ මනාවූ විස්‌තරයක්‌ දැක්‌වේ. එම කරුණු අධ්‍යයනය කරන්නකුට සංඝභේදය යනු කුමක්‌ ද එය සිදුවන්නේ කෙසේද යන්න මනාව වටහා ගැනීමට හැකිවේ. ඒ කරුණු මෙසේ දක්‌වන්නෙමු.

එහිදී උපාලි තෙරුන් වහන්සේ බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසන ලදී.

''ස්‌වාමීනි සංඝරාජය සංඝරාජය යෑයි කියනු ලැබෙයි. ස්‌වාමීනි කොපමණකින් සංඝරාජය වේද? එනමුත් සංඝභේදය නොවේද? ස්‌වාමීනි කොපමණකින් සංඝරාජය ද සංඝභේදය ද සිදුවේද?''

භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාරන සේක.

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) එක්‌ අයෙකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනකු වෙයි ද, සතරවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනෙකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනෙකු වෙයි ද, පස්‌වැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, සවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, සත්වැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) සිවුදෙනකු වෙයි ද, අටවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

මෙසේ එක්‌ පසෙකින් භික්‌ෂුන් වහන්සේලා එක නමක්‌, දෙනමක්‌, තුන් නමක්‌ දක්‌වාත් අනෙක්‌ පසින් දෙනමක්‌, තුන් නමක්‌, සිවුනමක්‌ දක්‌වාත් සිටියේ නමුත් සංඝභේදය නම් ආනන්තරික අකුසලය සිදු නොවන බව බුද්ධ දේශනාව මනාව පෙන්වා දෙනු ලබයි.

එසේ කරුණු දක්‌වා අනතුරුව සංඝභේදය සිදුවන ආකාරය මෙසේ දක්‌වා වදාරන සේක. 

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) සිවුදෙනෙකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) සිවුදෙනකු වෙයි ද, නවවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් සංඝරාජය ද වෙයි. සංඝභේදය ද වෙයි. උපාලිය නවයකින් හෝ අතිරේක නවයකින් සංඝරාජය ද සංඝභේදය ද වෙයි.''

මෙසේ අවම නව දෙනකු හෝ නව දෙනකුට වඩා වැඩි ගණනකින් සංඝභේදය සිදුවේ.

මෙහි අවම නවය යනු කවුරුන් වන්නේද? එයටද පිළිතුරු එහිම දැක්‌වේ.

''උපාලිය භික්‌ෂුණිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සික්‌ඛාමානාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසකයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසිකාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාලිය සමාන සංවාසක වූ සමාන සීමාවක සිටියා වූ ප්‍රකෘති භික්‌ෂුව සංඝයා බිඳින්නේ වෙයි.''

මෙහිදී පැහැදිලිවම වටහාගත යුතු ප්‍රධාන කරුණු නම් සංඝභේදය යන්න කළ හැක්‌කේ පිරිසිදු උපසම්පදාව සහිත එකම ආවාසයක එකට කටයුතු කරන හා සංඝභේදය කරන වේලෙහි එකම සීමාවක (පොහොයගෙයක) සිටින භික්‌ෂුන් වහන්සේලාට පමණකි. එසේම උන්වහන්සේලා එකම සීමාවක වෙන වෙනම විනය කර්ම කළ යුතුය. එයින් පරිභාහිරව සංඝභේදය සිදු නොවේ.

එසේම යම් ගිහියකු හෝ පැවිද්දකු හෝ අධර්මයට එදිරිවන සිතින් කරුණු දැක්‌වීම සිදු කළ ද ඒ නිසා වාද හටගත්තේ ද සංඝභේදය සිදු නොවන බව දත යුතුය. 

එබැවින් එහිලා බිය නොවිය යුතුය. එනමුත් කවරකු හෝ වේවා සංඝයා බිඳවීමට උත්සහ කරයි නම් එය ඉතා බරපතළ අකුසලයක්‌ වන්නේමය.

අනතුරුව උපාලි මහරහතන් වහන්සේ සංඝභේදයට හේතු වන කරුණු විමසා සිටින කල බුදුරජාණන්වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළ සේක.

උපාලිය මෙසස්‌නෙහි භික්‌ෂුව අධර්මය ධර්මය යෑයි දක්‌වයි. ධර්මය අධර්මය යෑයි දක්‌වයි. අවිනය විනය යෑයි දක්‌වයි. විනය අවිනය යෑයි දක්‌වයි. තථාගත අභාසිතය අලපිතය, තථාගත භාසිතය ලපිතය යෑයි දක්‌වයි. තථාගත භාසිතය ලපිතය, තථාගත අභාසිතය අලපිතය යෑයි දක්‌වයි. තථාගත අනාචිණ්‌ණය, තථාගත ආචිණ්‌ණය යෑයි දක්‌වයි. තථාගත ආචිණ්‌ණය, තථාගත අනාචිණ්‌ණය යෑයි දක්‌වයි. තථාගත අපඤ්ඤත්තය, තථාගත පඤ්ඤත්තය යෑයි දක්‌වයි. තථාගත පඤ්ඤත්තය, තථාගත අපඤ්ඤත්තය යෑයි දක්‌වයි. අනාපත්තිය ආපත්තිය යෑයි දක්‌වයි. ආපත්තිය අනාපත්තිය යෑයි දක්‌වයි. ලහුක ආපත්තිය ගරුක ආපත්තිය යෑයි දක්‌වයි. ගරුක ආපත්තිය ලහුක ආපත්තිය යෑයි දක්‌වයි. සාවසේස ආපත්තිය අනවසේස ආපත්තිය යෑයි දක්‌වයි. අනවසේස ආපත්තිය සාවසේස ආපත්තිය යෑයි දක්‌වයි. දුට්‌ඨුල්ල ආපත්තිය අදුට්‌ඨුල්ල ආපත්තිය යෑයි දක්‌වයි. අදුට්‌ඨුල්ල ආපත්තිය දුට්‌ඨුල්ල ආපත්තිය යෑයි දක්‌වයි. ඔවුන් මේ වස්‌තු දහඅටෙන් සංඝයා ආපසු අදින්නේ වෙයි. දැඩිසේ ආපසු අදින්නේ වෙයි. වෙන්ව (ඔවුනට පමණක්‌ ආවේනික ව) උපෝසථය කරයි. වෙන්ව පවාරණය කරයි. වෙන්ව සංඝකර්ම කරයි. උපාලිය මෙපමණකින් සංඝයා බිඳුනේ වෙයි. (චුල්ලවග්ග පාලි, සංඝභේදක්‌ඛන්ධකය.)

ඉහත කී පරිදි මේ භේදකර වස්‌තු දහ අටෙන් එකක්‌ හෝ කිහිපයක්‌ හෝ ගෙන එනම් අධර්ම කරුණක්‌ හෝ අවිනය කරුණක්‌ ගෙන මෙය ධර්මය වන්නේය, මෙය විනය වන්නේය යනුවෙන් මත ප්‍රකාශ කොට එය මුල්කර ගනිමින් පිරිස්‌ වෙන්ව විනය කර්මයක්‌ මගින් වෙන්වීම සංඝභේදය වේ. එසේම එම අකුසලය කල්පයක්‌ පුරාවට අවීචි මහා නරකයෙහි විපාක දෙනු ලබන බරපතල අකුසලයක්‌ වේ.

එසේම එබඳු අධර්ම ක්‍රියා දුරු කිරීම හා භින්න සංඝයා සමගි කිරීම කල්පයක්‌ සුගති විපාක දෙනු ලබන උතුම් කුසලයක්‌ බවද තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ සේක.

එබැවින් අධර්මය ඉදිරියේ බිය නොවී ධර්මය විනය ඔස්‌සේ කරුණු දක්‌වමින් ධර්මය ආරක්‌ෂා කරමින් උතුම් කුසල් රැස්‌ කරගෙන නිවනින්ම සැනසෙත්වා කියා මෙත් ප්‍රාර්ථනා කරනෙමු. සියලු සත්වයෝ සුවපත් වෙත්වා..

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X