වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

දානය මහත්ඵල මහානිසංශ වීමට

ඔබව දන්දීමෙන් වළක්‌වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක්‌ වේවා ඔහු ඔබගේ ඥාතියෙක්‌ හෝ හිතවතෙක්‌ නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න. එවැනි අයගෙන් දුරස්‌වන්න. යමෙක්‌ තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන,දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ළඟම ඥාතියා කරගන්න. සිදුකරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික සම්මා දිට්‌ටියට අනුව සිදුකරගන්න. ඔබ නිරතුරුවම තැන්පත් කළ දෙය නොව පරිත්‍යාග කළ දෙය ගැන මෙනෙහි කරන්න. විශාඛා උපාසිකාව වරක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් වර අටක්‌ ඉල්ලා සිටිනවා. ඒ අනුව දිවි ඇති තුරා සංඝයා හට වැසි සළුදෙන්නට, ආගන්තුක බත් දෙන්නට, ගමික බත් දෙන්නට, ගිලන් භික්‍ෂුවට බත් දෙන්නට, ගිලානෝපස්‌ථායක බත් දෙන්නට, ගිලන් බෙහෙත් දෙන්නට, නිති කැඳ දෙන්නට, මෙහෙණ සඟනට දියසළු දෙන්නට කැමත්තෙමියි විශාඛාව එම වර අට ඉල්ලා සිටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් විශාඛා උපසිකාවගේ මේ ඉල්ලීමට කැමත්ත දෙනවා. බලන්න විශාඛා උපාසිකාව උතුම් සෝවාන් ඵලයට පත් උපාසිකාවක්‌. පිංවත් ඔබත් එම අවබෝධයට පැමිණීමට නම් ඔබ කාවද අනුගමනය කළ යුත්තේ? ආදර්ශයට ගත යුත්තේ? විශාඛා උපාසිකාව ගැන අනේපිඬු සිටුතුමා ගැන නකුලමතා, නකුල පිතා ගැන නිරතුරුවම ඔබ සිතන්න, මනසින් දකින්න. එම උතුමන් දානයට ලබාදුන් වටිනාකම් කොතෙක්‌ද කියලා.
විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක්‌ සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක්‌ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්‌වත්... අවුරුද්දට වතාවක්‌..... ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්‌ද? වැසිසළුවක්‌ පූජාකරන කෙනෙක්‌ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්‌ථානයන් සිදුකරන කෙනෙක්‌ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්‌ටුකරල අහන්න. පිළිතුර 'ඔව්' වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ඔබ තවමත් ප්‍රමාද බව දකින්න. අප්‍රමාදී වීමට ඔබ උත්සාහ ගන්න. බැංකුපොතේ ඔබ රැස්‌කොට තබන දෙය අනුන්ගේ කෙටි ලාමක කෙටි සැපයන් උදෙසා බවත්, රැස්‌ නොකොට දන්දෙන දෙය ඔබට ආශ්චර්යමත් සැපයක්‌ උදෙසාම බවත් දකින්න. සශ්‍රික දේවානුස්‌සතිය වඩන්න. ඉහත පිංකම් නිතිපතා, සතිපතා, මාස්‌පතා ඔබගේ ආදායමට ගැළපෙන ආකාරයට කිරීමට උත්සාහ ගන්න. ලැබෙන සෑම අවස්‌ථාවක්‌ම අපතේ නොහරින්න. අනුන්ගේ ශීලය, සමාධිය ගැන නොසොයන්න. සෑම විටම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිස වශයෙන්ම දකින්න. මේවා පිං උල්පත් බව දකින්න. උල්පතේ ගැඹුර නොගැඹුර උස්‌පහත් බව නොසොයා ඔබගේ සංසාරික දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය ජලය ගැන පමණක්‌ සිතන්න. ඔබගේ දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට ජලය ලැබෙනවා නම් උල්පත ගැන සෙවීම මෝහය නිසාම සිදුවන්නකි. දෘෂ්ටීන්ගෙන් මිදී හේතුඵල ධර්මයන්ට විවෘත වන්න. අතීතයේ වැඩ සිටියා වු අනන්ත වූ ගුණයෙන් ඥානයෙන් යුත් භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සමූහයම අරමුණු කරගන්න.
මසකට එක වතාවක්‌ එළඹෙන පසළොස්‌වක පෝය දිනය ඔබ ඔබගේත්, ඔබගේ පවුලේත් පිංකම් දිනය බවට පත්කරගන්න. පන්සල වේවා, ඔබගේ නිවස වේවා, එදින සතර අපායෙන් එතෙරවීමම අරමුණුකොට දාන, ශීල, භාවනා කටයුතු සිදුකරගන්න. දරුවන් බිරිඳ දැසි දස්‌සන්වත් හවුල්කරගන්න. ඒ අය අකමැති නම් ඔබ තනිවම මේ ව්‍යායාමයේ නිරතවන්න. සතර අපාය යනු කුමක්‌ද? එහි සත්වයා විඳින දුක කුමක්‌ද? එහි ආයුෂ මොනතරම් දීර්ඝද? සතර අපායට වැටුණ කෙනාට එයින් මිදීම මොනතරම් අපහසුද.......? මේවා සකච්ඡා කරන්න. ඔබ ලැ-ජාවෙන්න එපා. මාන්නයට පත්වෙන්නත් එපා 'අනේ අපි ආයෙත් තිරිසනෙක්‌, ප්‍රේතයෙක්‌, නිරිසතෙක්‌ වෙන්නේ නැහැ' කියලා. එහෙම කියන සිතමයි ඔබව සතර අපායට ඇදදමන්න අවශ්‍ය පාර කපන්නේ. අනේ මම තවම සතර අපායෙන් මිදිල නැතැයි කියලා දකින්න නිහතමානී වෙන්න. සැබවින්ම ඔබ සතර අපායෙන් මිදිලා නොමැතිනම් සක්‌කාය දිට්‌ටිය ඉහ වහා ගිය, සතියෙන් නැතිනම් මාසයෙන් මාර්ගඵල ලාභීන් බවට පත්කරන ක්‍රමවේදයන් සිහිබුද්ධියෙන් හඳුනාගනිමින් මඟහරින්න. හේතුඵල ධර්මයන් ගළපමින් ඔබ, ඔබ ගැනම විමසා බලන්න. මෝහයෙන් මිදෙන්න. අවබෝධය යනු අනුන් දෙන දෙයක්‌ නොව තමා තමා තුළින්ම දැනුවත්භාවයෙන් ලබන්නක්‌ බව හොඳින් සිහිතබා ගන්න. පසළොස්‌වක පොහොය දවසේ ඔබ පවුලේ සියලුදෙනාම, එසේත් නැතිනම් පන්සලේ සිල්සමාදන් වෙන සියලුදෙනාම සතර අපායේ බියකරුභාවයත් එයින් මිදීමේ මාර්ගයත් සාකච්ජා කළොත්, ඒ ගැන අවධානය යොමුකළොත් ඔබට පුළුවන් මාසේ ඉතිරි දවස්‌ විසිනවයේම එම ශක්‌තිය තුළ, මාර්ගය තුළ ජීවත්වෙන්න.
මේ සටහන පුරාවට සතර අපායෙන් මිදීම සඳහා ඔබට ත්‍යාගානුස්‌සතිය වැඩීම ගැනයි සඳහන් කරන්නේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා හෝ දුගී මගී යාචක, බලූ කපුටු එසේත් නැතිනම් දෙවියන්, අමනුෂ්‍යයින් මේ කවුරුන් විෂයෙහි වේවා ලෝභකම අතහැරීම උදෙසාම දන්දෙන්න. තෘෂ්ණාව ක්‌ෂය කිරීම උදෙසාම දන්දෙන්න. දන්දීමට කාලසටහන් සාදා නොගන්න. පාරේ ගමනක්‌ යන විට පිණ්‌ඩපාතේ වඩින භික්‍ෂුවක්‌ දැක්‌කොත් සද්ධාවෙන් යමක්‌ පූජාකරන්න. දුර ගමනක්‌ ඔබ යන විට බසයේදී මඟ තොටේදී හමුවන භික්‍ෂුවකට අවශ්‍ය බිස්‌කට්‌ එකක්‌, ගිලන්පස එකක්‌ ගැන විමසීමට සිතක්‌ ඇතිකරගන්න. අනුන් කරනවාද නොකරනවාද යන්න ඔබ නොසිතන්න. ලැබෙන පුංචි අවස්‌ථාවකින් පවා උපරිම ත්‍යාගානුස්‌සතිය වැඩීමේ අවස්‌ථාව ලබාගැනීමට දක්‍ෂවෙන්න. දන්දෙන්නේ අනුන් සඳහා නොව, අනුන්ගේ කුස පිරවීම සඳහා නොව, තමාගේම සැපය සඳහාය යන්න සිතන්න. ඔබ ප්‍රාර්ථනා කරන්න, වීර්යයෙන් අවස්‌ථාව උදාකරගන්න. කළ පිංකම්, දුන් දානයන් නැවත නැවත දෙන්න, නැවත නැවත මෙනෙහි කරන්න. මට දානය පූජාකර ගැනීම සඳහා තව තව ස්‌වාමීන් වහන්සේලා මුණ ගැසේවා. උපාසක උපාසිකාවන් මුණ ගැසේවා. තව තව පන්සල් ආරණ්‍ය විහාරාංග ඉදිවේවා. තව තව පිංකම් සිදුවේවා. කියා ප්‍රාර්ථනා කරන්න. කුමක්‌ සඳහාද? ඒවා උදෙසා පරිත්‍යාගයන් සිදුකර ත්‍යාගානුස්‌සතිය වැඩීම පිණිස. මේ සැම ඔබ ඔබේ සතුට කරගන්න. මේ සැම යනු දේවානුස්‌සතිය හැර වෙන කුමක්‌ද? දන් දීම තුළින් ඔබ ඇතිකරගන්නා අතහැරීමේ ශක්‌තිය සක්‌කායදිට්‌ටිය ක්‍ෂය කිරීමේ මාර්ගයම මිස වෙන කුමක්‌ද? බිරිඳගෙන්, සැමියාගෙන්, දූ පුතුන්ගෙන්, වස්‌තුව දේපලවලින් ඔබ ලබන බැඳීම, සක්‌කායදිට්‌ටිය තව තව ඝනභාවයට පත්කිරීම සඳහාම බව ඔබම දකින්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ Dedunna
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X