වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පින ලබා දෙයි සැපය

දර්ශනපති, රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

ඒ කාලයේ මනුෂ්‍ය ලෝකයේ පසේබුදු නමක් වැඩ සිටියා. මේ පුද්ගලයා හොඳ ගොවියෙක්. එදා මිනිසුන් ඒ පසේ බුදුවරයාණන් වහන්සේට දන් පූජා කළා. පැන් පූජා කළා. වන්දනාමාන කරමින් පින් රැස්කර ගත්තා. ඔවුන් ඒ සඳහා ගියේ මේ කුඹුර මැදින්. ගොවියාට යම් ශ්‍රද්ධාවක් තිබුණත් කුඹුරේ ගොයමට හානි සිදුවන නිසා එතැනින් යන පාර වසා දැමුවා. මිනිසුන් ඒ වැසූ පාර ඇරගෙන කුඹුර මැදින් ගියා. ගොවියාට කේන්ති ගියා. ක්‍රෝධයක් ඇතිවුණා. ඔහු පසේ බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවකදී ආරාමය කඩා විනාශ කොට ගිනි තැබුවා. එහි ප්‍රතිවිපාකයක් ලෙස මොහු අට මහ නිරයේම දුක් වින්දා. බොහෝ කල් දුක් වින්දා. එයින් චුත වී ඉතිරිය මෙසේ විඳවනවා කියා තථාගතයන් වහන්සේ වදාළා. පාපය යනු දිට්ඨධම්මවේදනීය යි. සමහර පව් මේ භවයේදීම තමා සොයාගෙන පැමිණෙනවා.

ස්වාමින් වහන්ස, “සසර ” ගැන තථාගතයන් වහන්සේ වදාළේ කුමක්ද?

“ගංගා” කියන සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේගෙන් එක් බ්‍රාහ්මණයෙක් අසනවා “ස්වාමිනි, මම කෙතරම් ප්‍රමාණයක් ඉපදී මියගොස් ඇත්ද? භව ගමන කෙතරම්ද?’ කියා. “බ්‍රාහ්මණය ඔබ ආ භව ගමන කල්ප ගණනකින්වත් කිව නොහැකි යි”. “එසේනම් ස්වාමිනි, ඉදිරියට මට තව කෙතරම් ප්‍රමාණයක් ඉපදී මියෙන්නට තිබේද”? “බ්‍රාහ්මණය, එය දහයි, දෙදහයි, පන්දහයි කියා කිව නොහැකි යි”. “ස්වාමිනි එසේනම් උපමාවක් වදාරණ සේක්වා”. “බ්‍රාහ්මණය, ඔබ ගංගා කියන ගඟ දැක තිබෙනවා නේද? ඒ ගඟ යම් තැනකින් ආරම්භ වෙනවානේ. ඒ ආරම්භයේ සිට මහා මුහුද දක්වා දිවෙන ගඟේ වැලිකැට කෙතරම්ද කියා ඔබට සිතන්නට පුළුවන්ද? අනේ “ස්වාමිනි, ඒ බව නම් කෙසේ සිතන්නද?”. එසේනම් බමුණ ඒ උපමාව උපයෝගයෙන් සිතන්න ඔබ ඉපදී ඉපදී ඇවිත් තිබෙන ආත්ම ගණන මේ ගංගා ගඟේ වැලිකැට වලට වඩා වැඩියි. ඉදිරියට යන්න තිබෙන වාරත් එසේම යි. එක වැලි කැටයක් කල්පයක් කියා කිව්වොත් ඒ ප්‍රමාණයම ඔබ මේ සසරේ ගමන් කරන්නට තිබෙනවා.
ඒ නිසා ප්‍රමාන කළ නොහැකි සසරක යන අප දෝලනයක කරමින් සසරේ ඉපදෙන අපගේ ජීවිතය යම්කිසි පාලනයකට නතුකර ගන්නට වෙනවා. ඒ පාලනය කළයුත්තේ අපගේ සිත මතම යි. ඒ නිසා වඩ වඩාත් මේ සිතට ධර්මය සමීප කළහොත් අප ආරක්ෂිතයි.

පවක් කෙරුණ පසු එහි විපාකය කෙබඳුද?

අප කරන පින් පව් වල විපාකය ඒ මොහොතේදීම ඵල දෙන්නේ නැහැ. කිරි දොවපු ගමන් මිදෙන්නේ නැහැ වගේ. පාපය වැඩිපුර බර පහළට තල්ලු කරන්නයි. කළුකර්ම වලින් අප පහළට ඇද වැටෙනවා. දිනක් මුගලන් මහරහතන් වහන්සේත්, ලක්ඛන මහ රහතන් වහන්සේත් ගිජ්ඣකූඨ පර්වතයේ වඩිමින් සිටිද්දී මහා පිඹුරෙක්ව දුටුවා. ඒ පිඹුරාගේ හිසෙන් පටන්ගෙන වලිගය දක්වා ගිනිගෙන දැවෙනවා. නැවත වලිගයෙන් පැන නඟින ගිනි ජාලාව රැල්ල මෙන් දිගටම හිස දක්වාම පුච්චාගෙන එනවා. නොකඩවාම සිදුවෙන මේ සිදුවීමෙන් පිඹුරා අධික වේදනාවෙන් දැවෙනවා. ඒ දුටු සිදුවීම ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියා. එවලෙහි උන්වහන්සේ ස්වාමින් වහන්සේලාට සසර බිය ඇතිකළ යුතු නිසාත්, හිත වැරැදුන විට තමාට වරදින බවත් පෙන්වාදීමට ඒ කථාවේ අතීත කතාව වදාළා.
මහණෙනි, මේ දුක් විඳින පිඹුරා පෙර ජීවිතයේ මනුස්සයෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරාතුව සිදුවූ සිදුවීමක්. ඒ කාලයේ මනුෂ්‍ය ලෝකයේ පසේබුදු නමක් වැඩ සිටියා. මේ පුද්ගලයා හොඳ ගොවියෙක්. එදා මිනිසුන් ඒ පසේබුදුවරයාණන් වහන්සේට දන් පූජා කළා. පැන් පූජා කළා. වන්දනාමාන කරමින් පින් රැස්කර ගත්තා. ඔවුන් ඒ සඳහා ගියේ මේ කුඹුර මැදින්. ගොවියාට යම් ශ්‍රද්ධාවක් තිබුණත් කුඹුරේ ගොයමට හානි සිදුවන නිසා එතැනින් යන පාර වසා දැමුවා. මිනිසුන් ඒ වැසූ පාර ඇරගෙන කුඹුර මැදින් ගියා. ගොවියාට කේන්ති ගියා. ක්‍රෝධයක් ඇතිවුණා. ඔහු පසේබුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවකදී ආරාමය කඩා විනාශ කොට ගිනි තැබුවා. එහි ප්‍රතිවිපාකයක් ලෙස මොහු අට මහ නිරයේම දුක් වින්දා. බොහෝ කල් දුක් වින්දා. එයින් චුත වී ඉතිරිය මෙසේ විඳවනවා කියා තථාගතයන් වහන්සේ වදාළා. පාපය යනු දිට්ඨධම්මවේදනීය යි. සමහර පව් මේ භවයේදීම තමා සොයාගෙන පැමිණෙනවා. දෙවැනි භවයේදීත් පව තමා සොයාගෙන එනවා. එහෙම නැත්නම් ඕනෑම භවයකදී ඒ පව තමා සොයාගෙන පැමිණෙනවා. එය ඵල නොදී අහෝසි වීමක් නැහැ. එය අහෝසි කර ගන්නටනම් අප මේ භවයේදීම සසරින් එතෙර විය යුතුය. ඒ නිසා කර්මය මත යක්ෂ, පේ‍්‍රත, භූත, ලෝකවලටත්, සිත දියුණු කිරීම මත මනුස්ස, දේව, බ්‍රහ්ම ලෝක වෙත යා හැකි බවත් ශාස්තෘන් වහන්සේ වදාළා.

පවින් වැළකීම කෙසේ කළ යුතුද?

බුද්ධ කාලයේදී තථාගතයන් වහන්සේගෙන් බණ අසා පැහැදුනු තරුණ පිරිසක් පැවිදි වුණා. ගෘස්තෘන් වහන්සේගෙන් කමටහන් ගෙන වනාන්තරයට ගියේ භාවනා දියුණු කරන්න යි. ඒ භික්ෂූන් වනයේ දින කිහිපයක් ගතකළා. භාවනා කළා. දින කීපයකට පසු උන්වහන්සේ වැඩ හුන් තැන්වල ගස්කොළං තදින් සෙලවෙන්න පටන් ගත්තා. භයානක ශබ්ද ඇසුනා. දවල් කාලයේත් අඳුරු ස්වභාවයක් ගත්තා. විකාර දේ උන්වහන්සේ දුටුවා. උන්වහන්සේලා ගේ සිතට බියක් ගෙනදුන් නිසා බුදුරජාණන් වහන්සේ සොයාගෙන නැවත වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, අපට පෙනෙන ලෝකය මෙන්ම නො පෙනෙන ලෝකයකුත් තිබෙනවා. ඒ නිසා ඔබලා පළමුව මෙත්සිත පුරුදු කළයුතු වෙනවා. මහණෙනි, මෙත්සිත පතුරුවන පුද්ගලයාට නො පෙනෙන ලෝකයේ අය කිට්ටුවන්නේ නැහැ. ඒක හරියට යම් කෙනෙක් දෙපැත්ත කැපෙන ආයුධයක් ගෙන අතට තදකරගෙන නවන්නට උත්සාහ කරනවා වගේ වැඩක්. දෙපැත්ත කැපෙන තද ආයුධය නැවෙන්නේ නැහැ. නවන්නට උත්සාහ කරන පුද්ගලයාගේ අත කැපී යනවා පමණයි. එතැනින් තමා අප නිතර දෙවේලේ සජ්ඣායනා කරන කරණීයමෙත්ත සූත්‍රයේ ආරම්භය ඇතිවන්නේ. “කරණිය” කියන්නේ කරන්න කියන අදහසයි. ඒ නිසා මෙත්සිත වඩන අපට අමනුෂ්‍යයෝ පි‍්‍රය කරනවා. ඔහු දෙවියෝ ආරක්ෂා කරනවා. ඒනිසා ඔබගේ සාමාන්‍ය ජීවිතයේ දී නො පෙනෙන ලෝකයෙන් කරදර බාධක එනවානම් මෛත්‍රී චිත්තය වඩන්න. මෛත්‍රි සිත මුලින්ම තමන්ගෙන් ආරම්භ කර ඊළඟට ගෙදරට, ගමට, නගරයට, පළාතට, රටට, ලෝකයටම මෙත් සිත පතුරුවන්න. ඒ තුළින් ඔබට ශක්තියක්, බලයක්, ආශිර්වාදයක් ලබාගන්න පුළුවන්. ගංගා, ඇළදොල ගලාගෙන ගොස් කුඹුරු පිරෙනවා. ඒ වගේ පින නිසා අපේ ජීවිත සමෘද්ධිමත් වෙනවා.

ඇලීම හා බැඳීම නිසාත් සසර දිගු වන්නේද?

අප දන්නවා පව් කළවුන් පහළට, හෙළට වැටෙනවා. අල්ප වූ දෙනෙක් සුගති ලොව ඉපදෙනවා. බොහෝම සුළු පිරිසක් මේ ලෝකයෙන් නිදහස් වෙලා විමුක්ති කරා ගමන් කරනවා. රූපයෙන් මිනිසුන් වුණාට ක්‍රියාව අමනුස්ස පිරිස අද බහුලයි. ඇලීම, බැඳීම කෙතරම් බලවත්ද කියනවානම් නිතරම උත්සාහ කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, පිනවන්නයි. උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට වැටෙන තුරු පොරකන්නේ දඟලන්නේ ඇලීමටයි. බැඳීමටයි. මේ ඇලෙන නිසාමයි ගැටීම එන්නේ. ඇලීම, බැඳීම,ගැටීම හැම මොහොතකම අපේ සිත තුළ සැරිසරනවා. දවාලයේ අප ගත් අරමුණු සමඟ රාත්‍රියේදී අප ගැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අපේ මේ සිත තුඹසක් වගේ කියා. රාත්‍රියට දුම් දමන සිත දවාලට ගිනි ගන්නවා. දුම් දමනවා කියන්නේ නින්දට ගිහින් කල්පනා කරනවා අර පුද්ගලයා මට අවමන් කළා. මම නොකළ දේ කළා, මට බැන්නා, මගේ දේ පැහැර ගත්තා යැයි සිතනවා. ඒකයි රෑට දුම් දමනවා කියන්නේ. ඒ දුම් දැමූ දේ දවාලට ඇවිලෙනවා. ඒ කියන්නේ ඔහු රාත්‍රියේ සිතු චේ දවල් කාලයේදී ක්‍රියාවට යොමු කිරීමයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X