වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

උපතට හේතුවන මරණාසන්න සිත

කඩවත සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්ය 
ශාස්ත්‍රවේදී, 
පයාගල නන්ද හිමි

"චේතනා සූත්‍රයට අනුව මතු උපතකට උපකාරවන සිතක් සකස්වීමට සිතේ ක්‍රියාකාරීත්වය තුන් අයුරකින් බලපායි. චේතනාව, කල්පනාව, සැඟව පවතින කර්මය යනුවෙනි. මේ අවස්ථා තුනෙන් එකක් හෝ ඇතිවිට විඤ්ඤාණය පිහිටයි. උපතක් සිදුවෙයි. හදිසි මරණයකදී සිහිසුන්ව මියෙන විට චේතනාව හෝ කල්පනාව ඇති නොවේ. අනුසය නැතිනම් සැඟව පවතින කර්ම ශක්තිය මුල් වී අලුත් භවයක උපත සිදු වේ"
මරණාසන්න මොහොත මතු උපතට බලපාන්නේ කෙසේදැ’යි දැන ගැනීමට බොහෝ දෙනා කැමැතිය. කිට්ටු සෙනෙහෙබර ඥාතියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය හැසිරුණු ආකාරය අනුව සමහරු නොයෙක් අදහස් දරති. මේ අදහස් ඇතැම්විට ජන සමාජයේ විශ්වාස හා පිළිගැනීම් ඇසුරෙන් ඇතිවීමට පිළිවන. එසේ නැතිනම් ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන ජන සමාජය තුළ පැතිරීමටද හැකිය. බෞද්ධයන් අතර ද තමන් ඇසූ අන්දමට මේ පිළිබඳ මතිමතාන්තර ගොඩනඟාගත් අයද සිටිති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අන්දමට මේ කරුණු සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් පැහැදිලි කිරීම මෙහි අරමුණයි.
යහපත් ලෙස ජීවත් නොවූ අයෙකු මියයන මොහොතේ හ¾ඩමින් වැළපෙමින් කෑගසමින් හැසිරෙතොත් අවට සිටින අය ඔහු අපායේ ගිනිදැල් දැක, යමපල්ලන් දැක බිය වී එසේ හැසිරෙන බව පවසති. වටපිටාවේ වෙසෙන්නෝ මෙසේ මරණයට පෙරම ඔහු අපායට යවති.අනෙක් පැත්ත ගැන ද පොදු ජනයා තුළ පවතින්නේ මෙවැනිම අදහස් ය. ගුණ යහපත්කමින් ජීවත් වූ උපාසිකාවක මිය යන මොහොතේ අත් දෙක එකතු කරගෙන වන්දනා කරන ඉරියව්වෙන් මිය ගියහොත් ඇය නිසැකවම දෙව්ලොව යන බව පවසති.

මෙහිදී අප හමුවේ මතුවන ප්‍රශ්නාර්ථයක්ද වෙයි. සීලාදි ගුණ වැඩූ මවු කෙනෙකු අවසාන කාලයේ දැඩි සේ ගිලන්ව සිහිසුන්ව දින ගණනක් එක් තැන්ව හිඳිමින් මිය යාමට පුළුවන. එවැනි චරිතවත් සිල්වත් ගුණවත් ජීවිතයක් ගතකළ මවක් සිහිසුන්ව මිය ගියහොත් නිරයට යතැයි අපි කෙසේ කියමුද? ගුණ යහපත්කමින් ජීවත් වූ අයෙකු සිහිමුළා වී කලුරිය කළ පමණින්ම ඔහුගේ මතු භවය දුගතිගාමි වේ යැයි කිව හැකිද? අපි බොහෝවිට දහම නිවැරැදිව තේරුම් නොගෙන වරදවා කියන බණ අසා වැරැදි විශ්වාස තුළ සිටිමු. මරණාසන්ත සිත පිළිබඳවත් ඒ අනුව මතු උපත සකස්වන අන්දම ගැනත් දෙසූ විස්තර විවරණ සූත්‍ර ධර්මවල සඳහන් වෙයි. ඒ අතර සංයුත්ත නිකායේ සංචේතනා සූත්‍රයද වැදගත් ය.
සංයුත්ත නිකායෙම එන චේතනා සූත්‍රයෙන් සිහිසුන්ව මරණයට පත්වීම, සිහිමුළා වී කලුරිය කිරීම, හදිසි අනතුරකින් අභාවයට පත්වීම වැනි අවස්ථාවකදී කෙනෙකුගෙ සිත සකස්වන අන්දම ගැන නිවැරැදි දැනුමක් ඇතිකර ගත හැක.
චේතනා සූත්‍රයට අනුව මතු උපතකට උපකාරවන සිතක් සකස්වීමට සිතේ ක්‍රියාකාරීත්වය තුන් අයුරකින් බලපායි. චේතනාව කල්පනාව සැඟව පවතින කර්මය, යනුවෙනි. මේ අවස්ථා තුනෙන් එකක් හෝ ඇතිවිට විඤ්ඤාණය පිහිටයි. උපතක් සිදුවෙයි. හදිසි මරණයකදී සිහිසුන්ව මියෙන විට චේතනාව හෝ කල්පනාව ඇති නොවේ. අනුසය නැතිනම් සැඟව පවතින කර්ම ශක්තිය මුල් වී අලුත් භවයක උපත සිදු වේ.

චේතනාව උපතට මුල්වන අන්දම

චේතනාව, කර්මය බවත් සංඛාර යන්නෙන් අදහස් කරන්නේත් චේතනාව ම බවත් ඔබ හොඳින් දනියි. ඇතැම් අය චේතනාව හැටියට තේරුම්ගෙන ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයයි. මෙවැනි නිදසුනකින් චේතනාව මුල් වී කර්ම සිදුවන අන්දම විස්තර කළ අවස්ථාවක් ගැන විමසා බලමු.
“ඔබ විහාරයට වන්දනාවට යන විට ඔබ යන මාර්ගයේ කුඩා පණුවන් ඔබේ පයට පෑගී මරණයට පත්විය හැකිය. ඒ සතුන් මරණයට පත්වුණේ ඔබගේ පයට පෑගී වුවද එයින් ඔබට පවක් සිදු නොවේ. මක් නිසාද ඔබේ චේතනාව වන්දනාවට පන්සලට යෑම මිස සතුන් මැරීම නොවන හෙයිනි. එහෙයින් චේතනාවක් නො තිබූ හෙයින් ඔබට ප්‍රාණඝාතය සිදු නොවේ.” මෙයට සමාන කතාවක් ධම්ම පදට්ඨ කතාවේ ද එයි.
“පාලිත හිමියන් සක්මන් මළුවේ සක්මන් කරනවිට උන්වහන්සේගේ පයට පෑගි කුඩා පණුවන් මරණයට පත් වේ. මේ ගැන භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට දන්වති. එවිට උන්වහන්සේ පාලිත රහත් භික්ෂුවක් බවත් දෙනෙත් අන්ධ හෙයින් කුඩා පණුවන් තම දෙපයින් මරණයට පත් කිරීමේ අදහස් නොවූ බවත් පවසති.” (ධම්මපදට්ඨ කතා)
කෙසේ නමුත් මෙවැනි අදහස් මුල්කරගෙන යමක් කරන විට හෝ කියන විට සිතක් පහළ වේ නම් එය කර්මයකි යන අදහස ඇතිවීම වැළැක්විය නොහැක. අප කරන හැම ක්‍රියාවකටම හැම වචනයකටම සිත සම්බන්ධය. සිතීමකින් තොරව කිසිවක් කළ නොහැක. නිරායාසයෙන් මෙන් සිදුවන දෙයට ද සිතේ සම්බන්ධය පවතියි. ඒ හැරුණුවිට සිතා කල්පනා කොට කරන බොහෝ දේ එදිනෙදා ජීවිතයෙදී අපට මුණ ගැසෙයි. චේතනාව සිතා මතා කරන දෙය නම් මේ සියල්ල කර්ම ගණයට වැටෙයි. එසේ වූ විට කෙනෙකු ජීවිත කාලය තුළ මොනතරම් කර්ම රැස්කරත්ද? සාමාන්‍යය ජීවිතයෙදී කෙනෙකු යහපත් දෙයට වඩා අයහපත් දෙය කළ හැකිය. එසේ වූ විට සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙකු මහත් සේ කරන අතර ඒ සියල්ලටම විපාක දුන්නොත් සසරින් මිදීමක් සිදු නොවේ.
භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව මෙසේවදාළහ. මහණෙනි, යමෙක් සත්වයා කරන සියලු කර්මවලට විපාක වින්ද යුතු යැයි කියත් නම් එය මම නොපිළිගනිමි. යමෙක් වින්ද යුතු කර්මවලට විපාක වින්ද යුතු යයි කියත් නම් එය මම පිළිගනිමි. සියලු කර්මවලට විපාක විඳීමට සිදුවුවහොත් බ්‍රහ්ම චරිය වාසය නිෂ්ඵල වෙයි. (අංගු.නි. ලොණඵල වග්ග)
මෙයින් අදහස් කරන්නෙ උතුම් බඹසර හැසිරීමෙන් ලද යුතු නිවන් පසක් කරගැනීම, පුද්ගලයෙකු කරන සියලු කර්මවලට විපාකදීමට සිදුවුවහොත් ඉඩක් නොලැබෙන බවයි.

කෙබඳු කර්මවලට විපාක ලැබේද?

“මහණෙනි, මම රැස් කරන ලද චේතනාත්මක කර්මවලට විපාක වින්ද යුතු බව වදාරමි. සංචේතනාත්මක කර්ම විපාක විඳීමෙන් තොරව අවසන් කළ නොහැක. කළ රැස්කළ සංචේතනික කර්මවලට විපාක නොවිඳ දුක් අවසන් කිරීමක් නොවේ. (අංගු. නිකාය)
සංචේතනාත්මක කර්මවලට මිස මැරෙන මොහොතේ දකින පෙනෙන දෙයට අනුව උපතක් සිදු නොවන බව මේ දේශනාවට අනුව හොඳින්ම පැහැදිලි විය යුතු යි. සංචේතනාත්මක කර්මය යනු චේතනා සහිත කර්මයයි. චේතනා සූත්‍රයේ පළමුවන අවස්ථාව ලෙස සැලකෙන ‘චේතෙති’ යනුවෙන් එය සඳහන් වෙයි.

නැවත නැවත සිතීමයි.

යම් අකුසල් අරමුණක් මුල් වී එය කර්මයක් වන අන්දම දෛනික ජීවිත රටාව තුළින් මෙසේ තේරුම් ගත යුතුයි. චේතනාවේ මූලික ස්වරූපය ලක්ෂණය නැවත නැවත සිතීමයි. අභිසංස්කරණය කිරීමයි. යළි යළි සිතීම නිසා අවට ලෝකය ගැන වැරැදි ලෙස සිතීමට පෙළඹෙයි. දහමේ විපල්ලාස නමින් සඳහන් වන්නේ මේ ලෙස ලොව වරදවා තේරුම් ගැනීමයි. නිදසුනකින් මේ කරුණු මෙසේ තේරුම් කරගත හැකි යි.
දෙදෙනෙකු එක සමාන අභූත අයුතු චෝදනාවකට මුහුණපාති. තමන් නොකළ වරදකට අනුන් විසින් චෝදනා නගනවිට සිතේ සසලවීමක්, කෝපයක් ඇති වෙයි. එක සමාන ගැටලුවට දෙදෙනෙකු ප්‍රතිචාර දක්වන අන්දම කෙසේ විය හැකිද?
ඒ තැනැත්තාට මෙවැනි අභූත චෝදනාවක් කළවිට ඔහු නිහඬව සිතයි. මේ වරද මා ළඟ නැහැ. ඒත් මගෙන් පළිගන්න තමයි මෙවැනි දේ කරන්නෙ. මේවාට මං කලබල වෙලා ඔහු සමඟ එකට එක කරන්න ගියොත් මේ චෝදනාවල කෙළවරක් නැති වෙයි. ඒ වගේම මා මේ වරද නොකළත් සමහරවිට සමාජය මේ ගැන කතාබහ කරන්න පුළුවන්. ඒ සියල්ලට වඩා සිතේ සැනසීමක් නැතිවෙන්න පුළුවන්. මෙසේ සිතමින් ඔහු තුළ උපන් ගැටලු සහගත සිතිවිලි වැඩිදුර ගෙන නොයයි. මිනිසුන්ගේ හැටි ඔහොම තමයි යනුවෙන් සිතා ඔහු සිතේ හටගත් අමනාපය එතැනින් නවතයි
බී නමැත්තා මේ ගැන කණ වැටුණු වහාම කලබලවෙයි. අතනට මෙතනට දුරකථනයෙන් කතා කරමින් දන්න කියන අයට මේ ගැන කියයි. ඔවුන්ද මේ ගැන කියන දෙයින් ගැටෙන සිත තවත් දැඩි කරගනියි. ගෙදර පැමිණි පසුත් සිදුවන්නේ කෝප සිත වැඩෙන දෙය මිස සිත නිවන දෙය නොවේ. මේ අන්දමට සිත තුළ සිතිවිලි ක්‍රියාත්මක වීම නිසා තමාට වීමට ගිය හානිය දෙගුණ තෙගුණ වීමටද බැරි නැත. නිවන් මගින් ඈත්ව මෙසේ සිතිවිලි දිග් ගැසීම තුළ වැඩෙන්නේ අකුසල් සිතිවිලියි. සමහර විට නොසිතූ සිදුවීමක් දක්වා මේ අන්දමට සිත තුළ සකස් කරගත් සිතිවිලි පැතිර යාමට පුළුවන. මෙවැනි මානසික ස්වභාවයක් නිතරම දුක පිණිස පවතියි. එවැනි සිතිවිලිවල වැඩීමක් සංචේතනික තත්ත්වයට පත් වී මරණාසන්න සිතට යොමු වී උපතකටද බලපායි.
ඒ නමැත්තා කී අන්දමට මුල් සිතිවිල්ල අභිසංස්කරණය නො කරත් නම් ඔහුගේ සිත තුළ කර්ම බලවේගයක් ඒ නිමිති කරගෙන ඇති නොවේ.
ද්වේශය මුල් කරගත් සිදුවීම යළි යළිත් සිතීමේ ප්‍රතිඵලය මෙලොව මානසික අස්වැසිල්ල නැතිවීමත් පරලොව දුක් විපාක සඳහා සිත සකස් වී එයට අනුකූල තැනක විඤ්ඤාණය පිහිටීමත්ය.
කුසලාරම්මණයත් මුල්වීමෙන් සැප විපාක සඳහා සිත සකස් වන්නේ මේ අන්දමටයි. මෙසේ අකුසල් සිතිවිලි රැස්වුණත් කුසල් සිතිවිලි රැස් වුණත් සිදුවන්නේ එකම ප්‍රතිඵලයයි. ඒ කර්ම රැස්වීමයි. සසර දිගුවීමයි. එහෙයින් සිතක කර්ම ඇතිවන සැටිත් ඒ සඳහා නැවත නැවත ගැටුමට ලක් වූ නිමිත්ත පත් වූ පරිදි දැකිය යුතු යි. එවිට අපවටා ලෝකය වැරැදි ලෙස හඳුනා ගනියි. මමත්වය මුල් කරගනිමින් අවට ලෝකය වැරැදි ලෙස දකින තුරු අපට ගැළවීමක් නොමැත. නිදහස්ව නිවහල්ව ජීවත්වීමට නම් චේතනාව ඒ සැටියෙන්ම හඳුනාගත යුතුයි. චේතනාව ක්‍රියා කරන අන්දම දැකීමෙන් අපට වහල් බවෙන් මිදිය හැකිය. විදසුන් වඩන යෝගියා සිහි නුවණින් මේ තතු දැක නිවහල් මානසිකත්වයකට හිමිකම් කියයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දන් දීමයි අනුසස් ලැබීමයි අත් හැරීමයි නිරාමිස සතුටයි

රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය යන 
උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත 
කොළඹ නව තොටමුණේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්.
දේවතා සංයුත්තය පිළිබඳව විමසිලි ඇසින් බලන විට බොහෝම මාතෘකා ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. දානය හෝ පරිත්‍යාගය පිළිබඳව දෙවිවරුන් විසින් විවිධ මති මතාන්තර අදහස් දැරු බව පෙනෙන්නට තිබෙනවා.
දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්. නමුත් මේ සූත්‍ර දෙකෙන්ම පැහැදිලි කරන කාරණා දෙපැත්තට විහිදුන කාරණා නොවෙයි. ඒ දෙවර්ගයේදීම දෙවිවරුන් විසින් අසා ඇත්තේ දානය පිළිබඳවයි.
අද අප මේ සූත්‍ර අතරින් මච්ඡරි සූත්‍රය ගැන පැහැදිලි කරමු. මච්ඡරී යනු මසුරුකමයි. ඒ මසුරුකම මුල් කරගෙන දානය පිළිබඳ අදහස් මෙම සූත්‍රයේ ඇතුළත්. ඒ වගේම මච්ඡරි සූත්‍රයේ දන් දිය යුත්තේ කවුද? කියා සාකච්ඡා කරනවා.

දෙවැනි මච්ජරී සූත්‍රයේදී සාකච්ඡාවට භාජනය වන්නේ දෙන්නාගේ සහ නො දෙන්නාගේ වෙනසයි. මේ සියල්ලම අපට ඉතාමත් වැදගත් මෙන්ම ඉතාමත් ප්‍රයෝජනවත් කරුණුයි.
මච්ඡරි සූත්‍රයේ දාන ආනිසංස බොහෝ විස්තර කොට තිබෙනවා. සතුල්ලපකායික දෙවි දේවතාවන් විසින් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මුළු ජේතවනය ඒකාලෝකමත් කරගෙන පැමිණ මෙසේ විමසා සිටියා.
නිදුකාණන් වහන්ස, මසුරුකමත්, ප්‍රමාදයත් නිසා ඇතැම් අය දන් දෙන්නේ නැහැ. පින් කැමැති දානඵල දන්නා අය, දාන ආනිශංස දන්නා අය දන් දිය යුතු වෙනවා. මේ දේවතාවාගේ දානය පිළිබඳව ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මසුරුකම සහ ප්‍රමාදය නිසා දන් නො දෙන්නා පිළිබඳවයි. නමුත් පින් කැමැති දානයේ ආනිශංස දන්නා අය දන් දීමට මැළි වන්නේ නැහැ. අප දන්නවා වර්තමානයේ ඇතැම් අය ශ්‍රද්ධාව මුල්කරගෙන වගේම දානයේ අනුසස් දැනගෙනත් දන් දෙනවා. ඇතැම් අය දන් දෙන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ ඇති ලෝභය, ද්වේෂය, මෝහය යටපත් කිරීමටයි. මෙය දානය පිළිබඳව ඇති ධර්මානුස්වභාවය යි.
නමුත් අද සමාජයේ ඇතැම් අය දන් දෙනුයේ අවබෝධයකින් නොවෙයි. විවිධ භය නිසා, මළගිය අය නිසා, ඔවුන්ගෙන් සිදුවන කරදර නිසා දන් දීමට පෙළෙඹනවා. එසේ නොමැතිව ශ්‍රද්ධාවෙන් දන් දෙන අයට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් මඟ පෙන්වන සූත්‍රයක් තමයි මච්ඡරි සූත්‍රය.
තවත් එක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ අභියස දී මෙසේ ප්‍රකාශ කළා. ස්වාමිනි නිදුකාණන් වහන්ස , මසුරා, දැඩි ලෝභයා යම් කටයුත්තකට බියෙන් දන් නොදෙයි. එයම ඔහුට භය පිණිස පවතිනවා. මසුරු තැනැත්තා ඒ නිසාම මෙලොවත්, පරලොවත් දුක් විඳියි. දුක බාලයා ස්පර්ෂ කරයි. ඒ නිසාම මසුරුකම හැරදා එය මැඬලීම පිණිස දන් දිය යුතුයි. ඒ වගේම නිදුකාණන් වහන්ස, මියයන සත්ත්වයාට පරලොවදී පිහිට පිණිස පවතින්නේ පිනයි. ඒ නිසා පින් කර ගන්නට ඕන. පින් කිරීමට නම් දන් දීම අවශ්‍ය යැයි ඒ දෙවියා බුදුරජාණන් වහන්සේ අභියසදී ප්‍රකාශ කළා.
මේ පින පිළිබඳව අර්ථ දක්වන තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාළා ගිහි අයට ද, දෙවියන්ටද, පැවිදි උතුමන්ටද පින අවශ්‍යයි. පින අනුවයි මේ සියලු දෙනාගේම බැබළීම සිදුවන්නේ. පින පරලොවදී සත්ත්වයාට පිහිට පිණිස පවතියි කියා.
තව දේවතාවෙක් පවසනවා යමෙක් සමඟ ගමනක් යන කෙනෙකුට ලැබුණ දේ බෙදා ගන්නාක් මෙන් ටිකක් ඇති කල්හිත් දන් දෙනවා නම් ඒ අය මළවුන් අතර නොමැරී සිටිනවා යැයි කියා සිටියා.
අප දන්නවා ඇතැම් අයට විශාල ලෙස මිල මුදල් තිබෙනවා. ඇතැම් අයට ටිකක් තිබෙනවා. ටිකක් තිබෙන කෙනෙක් ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවානම් ඒ තැනැත්තා මළවුන් අතර, නො මළ කෙනෙක්. ඇතැම් අය ටිකක් ඇති විටත් දන් දෙනවා. ඇතැම් අය බොහෝ තිබියදීත් දන් නොදේ. නමුත් සුළුවෙන් තිබියදී හෝ ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවා නම් එය දෙලොව යහපතට හේතු වෙනවා.
තවත් දේවතාවෙක් ප්‍රකාශ කරනවා අසද්පුරුෂයෝ ස්වල්පයක් ඇති කල්හී දුෂ්කර වූ දානය දෙන සද්පුරුෂයා අනුගමනය කරන්නේ නැහැ. ස්වල්පයක් ඇති කල්හිත් දීම නැමැති දුෂ්කර, සුචරිත ක්‍රියාව පුරුදු කළ යුතු බවයි මේ දේවතාවා කියන්නේ. ඒ දේවතාවා තවදුරටත් කියා සිටියා මේ සමාජයේ ටිකක් තිබෙන සද්පුරුෂයෝ ඉන්නවා ඒ වගේම ඉන්නවා ටිකක් තිබෙන අසද්පුරුෂයෝ. එයින් ටිකක් තිබෙන සද්පුරුෂයෝ දීම නමැති ඒ සුචරිත ක්‍රියාව ප්‍රගුණ කිරීම නිසා සුගතියේ ඉපදෙනවා .
ස්වාමිනි, සද්පුරුෂයාගේ ධර්මය පිරීම ඉතා අමාරුයි. එය ඉදිරියට ගෙන යාම, ව්‍යාප්ත කිරීම ඉතා අමාරුයි. අද සමාජයේ වුවත් හොඳ කරන අය අඩුයි. ඒ අය කරන ක්‍රියාවන්ද අසන්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා සද්පුරුෂයාගේ ධර්මය පිරීම අසීරු බවයි මේ දේවතාවා කියන්නෙ. අප දන්නවා බෝසතාණන් වහන්සේ දසපාරමිතා පුරන අවදියේ ඒ පාරමිතා පිරුවේ පහසුතා ලබාගෙන නොවේ. බොහෝම දුෂ්කරතා මැද දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ. ඒ නිසා අප තේරුම් ගන්න ඕන සද්පුරුෂයාගේත් අසද්පුරුෂයාගේත් වෙනස්කම් පවතිනවා. සද්පුරුෂයා මෙලොවින් පරලොව යනවිට සුගතියට යනවා. අසද්පුරුෂයා නිරයට යනවා කියන කාරණයයි මේ දේවතාවා ප්‍රකාශ කරන්නේ. මේ ආකාරයට දානය පිළිබඳව විවිධ අදහස් දෙවිවරුන් විසින් ප්‍රකාශ කර සිටියා.
ඒ දෙවි පිරිස පසෙකින් සිටි විට එක් දෙවියෙක් ඉදිරියට පැමිණ කියන්නේ ස්වාමිනි නිදුකාණන් වහන්ස, අප ප්‍රකාශ කළ ප්‍රකාශ වලින් වඩාත් වැදගත් නිවරැදි සාධු ධර්මය, සුභාෂිත ප්‍රකාශය කිව්වේ කවුද?
ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය, ඔබ සියලු දෙනාගේම කියමන් ඉතාමත්ම සුභාෂිතයි. ඒ වගේම මාගේ ප්‍රකාශයත් අසන්න. දේවේන්ද්‍රය, යමෙක් දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරේ ද? අඹු දරුවන් පෝෂණය කර, ටිකක් තිබියදීත් දන් දෙයිද? ලක්ෂ ගණන් වියදම් කොට සිය ගණන් යාග කරන්නාගේ දීම ඔහුගේ දානයෙන් සියයෙන් පංගුවක් නො වටී කියායි. එහිදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළේ දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරෙමින්, අඹුදරුවන් පෝෂණය කරමින්, ධනය ටිකක් තිබියදීත් දන් දෙනවා නම් ඒ දන් දීම අධාර්මිකව හරිහම්බ කර දන් දෙන පුද්ගලයාට වඩා වටිනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දෙවියන් අරභයා වදාළා.
මේ දේ අද සමාජයටත් වැදගත් වෙනවා. දෙන දේ ධාර්මිකව, සිල්වත්ව උපයාගෙන එය ශ්‍රද්ධාවෙන් දීම ඉතා හොඳ බව මෙයින් අවධාරණය කරන්නේ.එනිසා ටිකක් හරි දෙන දේ ශ්‍රද්ධාවෙන් දෙන්න. දෙන්නම් වාලේ දෙන්න එපා. දෙන ටික හෝ තේරුම් අරගෙන දෙන්න. මම දෙන මේ පරිත්‍යාගය මාගේ චිත්ත සන්තානයේ ප්‍රසාදය පිණිස හේතුවේවා කියා දෙන්න. ආශාව සංසිඳීමටත්, මුලාව බැහැර කිරීම සඳහාත් කියන හොඳ සිතිවිලි ඇතිකරගෙන දන්දීම කළයුතු වෙනවා.
දන් දෙනවිට දහඩිය මහන්සියෙන් සොයා ගත් දෙයකින් දන් දීම වටිනවා. කෙසේ නමුත් දානයක් දීමේදී වඩා අර්ථවත් වන්නේ කර්මය, කර්මඵල දැනගෙන දීමයි. දැහැමින් දුන් දෙයි වටිනාකම වැඩියි. අධාර්මිකව හම්බ කරන දේ කෝටි ගණන් දුන්නත් එය මහත්ඵල මහානිසංස නොවෙයි. ඉහත කී දෙය දෙවි දේවතාවන් අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළද එය අද සමාජයටත් ඉතා වැදගත්. අකාලික මුනි දහම එසේමයි. එනිසා ටිකක් දන් දුන්නත් චේතනාව බලවත්නම් එය මහත්ඵල මහානිසංස යි. ඇතැම් කෙනෙක් විෂම පැවැත්මෙන් යුතුව අනුන් තලා පෙළා ශෝක කරවා හැඬු කඳුළු ඇතිකරවා දන් දෙනවා. එය මහත්ඵල මහානිශංස වන්නේ නැහැ. ඒ නිසා දේවතා සංයුත්තයේ මච්ඡරි සූත්‍රය අපේ ජීවිතවලට ඉතාමත් වැදගත් වෙනවා.
දන් දෙන්නේ කෙසේද කියන කාරණය මෙන්ම දන් දිය යුත්තේ කටද? කියන දෙයත් මච්ඡරි සූත්‍රයෙන් ඉතාමත් මැනවින් පැහැදිලි වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සක් දෙවිඳු

344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.

“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.

මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
345
එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.
346
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
347
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”
“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය. Path to Nirvana

සිංහල ත්‍රිපිටකය Sinhala Tipitaka ඉතිරිය ->

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පොහොයට අටසිල් සමාදානය අර්ථවත් කරමු

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අපේ රටේ බොදු ජනතාව අතර ජනපි‍්‍රය බොදු සිරිතක් බවට පත්ව ඇති දෙයක් තමයි පොහොය දවස්හි අටසිල් සමාදන් වීම. නැතිනම් පෙහෙවස් සමාදන් වීම. ඉතින් මේ සිරිත අද ඊයේ ඇති වූවක් පමණක් නොවෙයි. පෙර රජදරුවන් පවා පොහොය දවස්හි අටසිල් සමාදන්වී උතුම් ප්‍රතිපත්ති පූජාවක් පවත්වා තිබෙනවා. අප මහබෝසතුන් මවුකුස පිළිසිඳ ගත්තේත් එදා මහාමායාදේවිය පෙහෙවෙස් සමාදන්ව සිටි දවසකයි.
වර්තමානයේ විශේෂයෙන් පුරපසළොස්වක පොහොය දිනයෙහි මෙම සීලසමාදානය විශේෂ වශයෙන් සිදු වෙනවා. මෙයට වසර තිහ හතළිහකට පෙර නම් සතරපෝයට මත්තෙන් අපේ රටේ උවසු උවැසියන් යම් පමණක් පිරිස් මේ අටසිල් සමාදන් වුණා. අනුරාධපුර, කතරගම කිරිවෙහෙර, මහියංගණ, මුතියංගණ ආදී මහා විහාරස්ථානයන්හි දහස් ගණනින් පුරපසළොස්වක පොහොය දිනයන්හි මේ චාරිත්‍රය අනුගමනය කරන උවසු උවැසියන් දක්නට ලැබෙනවා. ලංකාවේ සෑම විහාරස්ථානයකම පාහේ මේ විදියට සිල් සමාදන් ව දවස ගත කිරීම හොඳ බොදු සිරිතක් බවට පත්ව තිබෙනවා. සුදුවතින් හැඳගෙන අතිශය චාම් සරල පෙනුමක් ඇති කරගෙන මේ ආකාරයෙන් වෙහෙර විහාරස්ථානවල සිල් සමාදන්වී සිටින පිරිස් දකින කොටත් ඒ දකින අයට පවා මහත් ප්‍රසාදයක් සිතේ ලොකු නිවීමක් ඇති වෙනවා. මේ නිසා මේ විදියට සිල් සමාදන් වන දහස් ගණන් පිරිස්වලට ආහාර, ගිලන්පස ආදියෙන් සත්කාර කරන පිරිස් ද අපට නිතරම බහුලව දකින්නටත් ලැබෙනවා. ඉතින් උදේ පාන්දරම එනම් 6.00 ට විතර පන්සලේ හාමුදුරුවෝ විහාරමන්දිරයට හෝ විහාර මළුවට වැඩම කරවලා මේ පිරිස අටසිල් ගැන්වීමයි පළමුවෙන්ම දවසේ සිදුකරන කාර්යය බවට පත් වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ අටසිල් සමාදානයෙන් සිල් සමාදන් වන අය ඒ දවසේ සිල් පද අට මුවින් කියවා කුමක්ද සිතට ගන්නට ඕන කාරණය වෙලා තියෙන්නේ? ඇත්තෙන්ම මේ සිල් සමාදන් වන පිරිස නිවැරැදි තේරුමක් ඇතිව ද? මේ අටසිල් සමාදන් වී පන්සලේ දවස ගත කරන්නේ. මෙහි දී වැදගත් වන්නේ සතිය හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. තවත් විදියකින් කියනවා නම් අප්‍රමාදයෙන් කටයුතු කිරීමයි. නිවන්මග අරමුණු කරගන්නා අය සතිය ඇතිව යි ක්‍රියා කරන්නේ. නිවන් මගට යොමු වෙනවා. කියන්නේත් සතිය පිහිටුවා ගෙන ක්‍රියා කරත්වා කියන එකයි. ඉතින් එතකොට අප සිල් සමාදන් වෙලා දවස ගත කරනවා කියන්නේ දවස සතියෙන් හෙවත් සිහියෙන් ගත කිරීමට උත්සාහ කිරීම යි. මේ කියන සතිය කුමක්ද? කියන එකයි. මෙහිදී වැදගත් වන කාරණය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙන ‘සංඛිත්තඅට්ඨංගුපොථ සූත්‍රයෙන්’ අපට ඉතා වැදගත් වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පෙන්වා දෙනවා අංග අටකින් යුක්ත මේ සීලයෙන් යුක්තව කල් යැවීම මහත්ඵල මහානිසංස වන බව.
එහිදී ආර්ය මාර්ගය අනුව ක්‍රියා කරන අය සිතට ගත යුතු කාරණා අටක් ඒ එක් එක් සිල් පදයක් සමාදන් වන විට සිහියට නගා ගතයුතු වෙනවා. ආර්යමාර්ගය අනුගමනය කරලා රහත් බවට පත් උතුමා දිවි ඇති තෙක් ම කවර ම ආකාරයකින්වත් සත්ව හිංසනයක, සත්ත්ව ඝාතනයක යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් දඬු මුගුරු අතට ගන්නෙත් නැහැ. අවි ආයුධ භාවිතා කරන්නේත් නැහැ. මෙත් සිතින් කල් යවනවා. පවට ඇත්තේ පුදුමාකාර ලජ්ජාවක්. හෙවත් හිරියක්. හැම විටම සියලු සතුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙනුයි පසු වන්නේ. ‘මමත් දවාලෙත් රැයෙන් රහතුන් ගත් මග ඔස්සේ යමින් ඒ ආකාරයෙන්ම කල් යවන්නටද මහ සිල් පද අටෙන් පළමු සිල්පදය මා විසින් මේ දවසේ ආරක්ෂා කළා වන්නේ සිතා සිහියෙන් දවස ගත කරනවා. එතකොට දැන් අප කාටත් වැටහෙනවා තම සිහියේ කුමන සිතිවිල්ලක් පළමුවෙන්ම තහවුරු කර ගතයුතු වෙනවා ද කියල. දැන් එහෙම වෙනකොට මම පළමු සිල්පදය රැක්කා වෙනවා.
දැන් දෙවන සිල් පදයට හැරෙමු. යමක් සොරසිතින් ගැනීමෙන් වැළකීම, ඒත් සිහිය පිහිටුවා ගන්නේ අරවිදියටමයි. රහත් බවට පත් උතුමා දිවි හිමියෙන් ම නොදුන් දේ පැහැර ගැනීමෙන් වැළකී සිටින උතුමෙක්. ඒ උතුමා දුන් දෙයක් පමණක් ගන්නේ ය. මමත් මේ දිවා රෑ ඒ ආකාරයෙන්ම සිහියෙහි පිහිටුවා ගන්නේ මට දුන් දෙයක් ගැනීමට කැමැත්තක් දක්වනවා හැර එවැනි සොර සිතක් කුමන ආකාරයකින් වත් ඇති කරගන්නේ නැහැ. මේ කරුණ සියලු ඉරියව් පටන් දෙවැනි සිල්පදය සමාදන් වන අය නිරතුරුවම රහත් උතුමන් අනුකරණය කරමින් සිහියෙහි පිහිටුවා කල් යවනවා.
තෙවන ශික්ෂාපදය කාම මිථ්‍යාචාරයෙන් වැළකීමයි. ආර්ය මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයා කුමක්ද? සිහියට නගා ගන්නේ මෙම පෙර රහත් උතුමන් දිවි හිමියෙන් ක්‍රියා කළ ආකාරයෙන් කාමභෝගී අඹුසැමියන් ලෙස සංවාසයෙන් තොරව ඒවායින් දුරින් ම දුරු වී උතුම් බ්‍රහ්මචරියාවෙන් යුතුව, ඉන්ද්‍රිය අනුගමනයෙන් යුතුව කල් යවා සිහියෙහි මනා කොට පිහිටුවාගෙන කාලය ගත කිරීමයි. මෙය තවදුරටත් කියනවා නම් රහතන් වහන්සේ ගත් මග අනුකරණය කිරීමට ගනු ලබන උත්සාහයක් ලෙසයි සලකන්නේ.
මීළඟට සමාදන්වන අටසිල්පදය වන්නේ මුසාවාදයෙන් වැළකීමේ චර්යාව අනුගමනය කිරීම අදහස් කෙරෙන ශික්ෂාපදයයි. දිවි ඇතිතාක් රහතන් වහන්සේ විසින් ආරක්ෂා කළ මේ චරියාව පිළිබඳ අටසිල් පෙහෙවස් සමාදන් වන අය කුමක්ද? සිහියට නඟා ගතයුතු වන්නේ මෙම කාලය තුළ මම ස්ථිර වශයෙන්ම බොරු කීමෙන් වැළකෙමි. සත්‍ය පමණක් ගළපා කතා කරනවා. පාවිච්චි කරන වචන පිළිබඳ වගකීමක් ඇතිවන ස්ථිරවම නිවැරැදි වචනයෙහි පිහිටා ඕනෑම අයෙකු විසින් විශ්වාස කටයුතු කතාබහ ඇතිව ලෝකය වංචනික ලෙස කිසිවිටෙකත් රැවටීමකට ලක් නොකර ඒ උතුම් රහතන් වහන්සේ අනුකරණය කරමින් මනා ලෙස ඒ කරුණෙහි ද සිහිය පිහිටුවා පෙහෙවස් සමාදන් වෙනවා යි දිවා රාත්‍රී කාලය සිහි බුද්ධියෙන් කල්යවනවා කියන මේ අධිෂ්ඨානය ඇති කර ගැනීමයි.
පස්වන ශික්ෂාපදය ලෙස පෙහෙවස් සමාදන් වන උවසු උවැසියන් සිතට ගත යුතු වන්නේ ද, දිවිහිමියෙන් ආර්ය උත්තමයන් වහන්සේ මේ ආකාරයෙන් මදයට හා සිහිවිකල් බවටත්, සිත විසිරෙන ප්‍රමාදය කියන මේ නිවන් මඟ සම්පූර්ණයෙන් අවුරාලන මත්වතුරට, මත්ද්‍රව්‍යයට ගොදුරු නොවී එයින් දුරින් ම දුරු වී මෙම දවස් හි රාත්‍රී ‘මම සිහියෙන් යුක්තව කාලය ගත කරමි’යි යන අධිෂ්ඨානයෙන් යුතුව දවස ගත කිරීමයි. මෙයින් සිදු වන්නේ රහතන් වහන්සේ අනුගමනය කිරීමක්, මෙය මනාව දියුණුවන කුසල සිතිවිල්ලක් බවට පත් වෙනවා.
සයවෙනුව සමාදන්වන සීලය වන්නේ පෙරවරු කාලයෙහි පමණක් ආහාර ගැනීමත් පස්වරුවෙහි හෙවත් විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීමත්ය. මේ පිළිවෙත ද රහතන් වහන්සේ දිවිහිමියෙන් සුරැකි පිළිවෙතක් වෙනවා. උවසු උවැසියන් විසින් මෙහිදී අධිෂ්ඨානයෙන් සිහියට නඟා ගන්නේ ඒ රහතන් වහන්සේ ගත් මඟ තමන් විසින් ද අනුකරණය කරමින් මේ දිවා රාත්‍රී කාලය ගත කරනවා කියන ප්‍රතිපදාව අනුගමනය කිරීමයි.
හත්වන ප්‍රතිපදාව ලෙස සැලකෙන්නේ නැටුම් ගැයුම් වැයුම් උසුළු විසුලු දසුන් මෙන්ම මල් සුවඳවිළවුන් සිරුරෙහි ගැළවීම තවදුරටත් ඒ මඟින් තම සමේ අඩු තැන් පුරවාලමින් කාමභෝගී සාටෝප පෙනුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරීම කියන මේ සියලුම ව්‍යාජ තත්ත්වයගෙන් අත්මිදී බොහොම සරලව දිවිපවත්වා ගැනීමයි. මේ මග ද දිවිහිමියෙන් රහතන් වහන්සේ අනුගමනය කළ ගමන්මගයි. ‘මසිත ද ඒ ආකාරයෙන් උන්වහන්සේ මුළුසිතින්ම අනුකරණය කරමින් දිවා රාත්‍රී කාලය හෙවත් දවස ගතකරනවා කියන මේ අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කිරීම අදහස් කෙරෙනවා.
අටවෙනුවට පෙහෙවෙස් සමාදන් වන අය විසින් අධිෂ්ඨාන කර ගන්නා ප්‍රතිපදාව ලෙස සඳහන් වන්නේ පෙර රහතන් වහන්සේලා දිවිහිමියෙන් අනුගමනය කළ ආකාරයෙන්ම ක්‍රියා කරමින් මමත් පමණ ඉක්ම වූ උස් ආසන හා මහා ආසන භාවිත නො කර අතිශයින් සරල කිසිදු වටිනාකමක් නැති, තණ, පන්කොළ ආදියෙන් සකස් කළ පැති ඇතිරියක, සයනයක හිඳ මේ දිවා හා රාත්‍රී කාලය ගත කරන්නෙමි’. යන සිහියෙන් කල් යැවීමයි. මෙය ද ඒ ආර්ය උත්තමයන් වහන්සේ අනුකරණය කරමින් ක්‍රියා කිරීමක් වෙනවා.
මෙසේ මුල දී කියැවුණු මේ චර්යාත්මක වෙනස්කම් ඇති කර ගැනීමේ දී හැම විටම ප්‍රතිපත්තිමය වශයෙන් පුරුදු පුහුණු කර ගන්නා වෙන පැවැත්මකු යි අදහස් කර තිබෙන්නේ. මේ ප්‍රතිපත්තිමය චර්යාවන්ට යොමු වන සැදැහැති උපාසකයා හෝ උපාසිකාව මෙම සිහිය වගේම තම පැවැත්ම එක් පොහොය දිනකට පමණක් සීමා කර මාසයේ අනික් දවස් 29 හෝ 30 වෙනත් විෂම චර්යාවන්ට ගොදුරු වූවාට වරදක් නොවේ කියන අදහසක් මෙහි දී අදහස් වන්නේ නැහැ. එම උදවිය තම ජීවිතයට මේ කියන උතුම් චර්යාවන් හුරු කරගෙන අනෙකුත් දිනවල ද සරලව චාමෙට මනා සිහියෙන් යුක්තව දවස් යැවීමයි වැදගත් වන්නේ. මේ තත්ත්වය තමන්ගේ සාංසාරික පැවැත්ම නිවැරැදි කර ගැනීමටත් මහත් පිටුබලයක් වෙනවා. එවැනි අය දුසිරිතෙන් දුරු සමාජයේ නිවැරැදි ව හැම විටම ක්‍රියා කරනවා. කිසිවිටෙක මතට යොමු වන්නේත් නැහැ. කාටත් ආදර්ශයට ගත හැකි සරල ජීවිතයකට හුරු වෙනවා. මේ තත්ත්වය නිවන්මග හෙළි කර ගැනුමට කරන උත්සාහයක් බවට පත් වෙනවා. මෙය තවත් විදියකින් කියනවා නම් ගිහිගෙයින් දවසක් හෝ අභිනිෂ්ක්‍රමණය වීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සපුරාගන්නට යොමු වීමක් ද වෙනවා. එය ද නිවන් මඟට යොමු වීමකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

හොඳ - නරක විනිශ්චයෙහි බොදු පිළිවෙත

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ 
මහාචාර්ය 

හඟුරන්කෙත ධීරානන්ද හිමි

හොඳ , නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් හා මැදි මඟක් පෙන්වන ආගම බුද්ධාගම වන අතර එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන පුද්ගලයා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකම් ලබන්නෙකු වේ. එමෙන්ම යමෙකු බුදුරදුන්, දහම් හා සඟුන් සරණ යයිද (යො ච බුද්ධං ච ධම්මං ච සරණං ගතො) එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහුම දුකින් මිදේ යැයි (චත්තාරි අරිය සච්චානී සම්මපඤ්ඤාය පස්සති) දක්වන සඳහනින් ද ඉස්මතුකොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතිය හා පුද්ගල ශක්‍යතා ලක්ෂණයෝය. බෞද්ධයකු නම් හෙතෙම සත්‍ය සතර පිළිබඳ නිවැරැදි වැටහීමක් ලද්දකු විය යුතුය. එමෙන්ම තෙරුවන්ගේ ගුණය නිවැරැදිව හඳුනාගත යුත්තකු විය යුතුය. එබඳු පුද්ගලයකුගේ බුද්ධිමය අවකාශය ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳව නිවැරැදිව නුවණින් දකින්නකු වන බවද එමඟින් ගම්‍ය කෙරේ.
පුද්ගලයකුගේ ශක්‍යතාවය පිළිබඳව තමා විසින් නිශ්චය කළයුතු බවත් අගැයුම ද ඉන් ලබන ඵලයද තමා සතුවන ආකාරයත් බුදුදහමින් අවධාරිතය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. (අත්තා හි කිර දුද්දම)අපහසු වුවද තමාට පිහිට තමාමය. තමාට පිළිසරණත් තමාමය.(අත්තාහි අත්තනො නාථො –අත්තාහි අත්තනො ගතිං) එබැවින් තමාගේ අඩුපාඩු බලා තමාටම චෝදනා කරගත යුතුය. (අත්තනා චොයත්තානං පටිමාසෙ අත්තමත්තනො) කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරභයා පිහිට විය නොහැකිය. (කොහි නාථො පරෙසියා) සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. (අත්තානකංච සුදන්තෙන නාථං ලභති දුල්ලභං) මෙහි දමනය යනු සිත දමනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට දමනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත සමනය කිරීමෙන් තමාගේද සිත දමනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනෙකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේමය. (සුද්ධි අසුද්ධී පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයේ) තමාට පිහිට තමාමය. එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම සිත දමනය කිරීම වන අතර දැමුණු සිත ඇති කය ද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වාභාවිකය.
කුසල, අකුසල යනු තමා විසින් කරනු ලබන යහපත හා අයහපත නැතහොත් හොඳ, නරක දෙක වේ. මේ අංශ දෙක පිළිබඳව දැනීමක් ඇත්තේ ප්‍රඥාවන්තයා ලෙසින් බුදුදහමට අනුව විවරණය කළ හැකිය. සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන ක්‍රියාදාමයන්ය. එම ක්‍රියාවෝ, හොඳ, නරක හෝ කුසල්,අකුසල් යැයි ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකිය.අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය පිළිබඳ ඇති දැනීම හා එහි ඵලය විපාකය වක අකුසල් නොකිරීමට හේතු වේ. කුසලා කුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අපගේ සිත සෑම ක්‍රියාවකටම මූලය වේ. සිත, සිතිවිලි මත ක්‍රියාත්මක වේ. එසේ ඇතිවන සිතිවිලි මත ත්‍රිවිධ ද්වාරය මඟින් කුසල අකුසල ක්‍රියාවෝ ක්‍රියාත්මක වෙති.
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ කුසලාකුසල යනු කුමක්ද? යන්න පිළිබද ඉතා පැහැදිලි විවරණයක් වේ. බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් අමතා ඒ අවස්ථාවේ මෙසේ දේශනා කළ සේක. “රාහුලය, මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙම් ද මගේ මේ කාය කර්මය තමාට දුක් පිණිස පවත්නේය. අනුන්ට දුක් පිණිස පවත්නේය. උභය පක්ෂයටම දුක් පිණිස පවත්නේය. මෙම කාය කර්මය අකුසල කාය කර්මය වේ. එය දුක් වඩන්නේය. දුක් විපාක ඇත. එමෙන්ම යම් වූ කාය කර්මයක් තමාට දුක් පිණිස නොපවතීද අනුනට දුක් පිණිස නොපවතීද උභය පක්ෂයටම දුක් පිණිස නොපවතීද මෙම කාය කර්මය කුසල්ය. සැප පිණිස පවතින්නේය. එහි සුබ විපාකයක් ඇත.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කර ඇති ප්‍රකාශය වන්නේද තමන් යමක් කිරීමට මත්තෙන් ඒ පිළිබඳව පූර්ව විනිශ්චයක් කළ යුතු බවකි. එහි පූර්ව විනිශ්චයට මූලික වන්නේ අන් කවරක් නොව තම සිතම බව පැහැදිලිය. සිතින් සිතා කායික හා වාචසිකව සිදුකරනු ලබන ක්‍රියාවෝ (වෙතයිත්වා කායෙන වාචා මනසා) බුදුදහමේ කර්මය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. සිතින් සිතා ගතින් හා වචනයෙන් ඉටු කරනු ලබන ක්‍රියාවෝ ඵල සහිතය. කර්මඵල යනු එම ක්‍රියාවන් වන අතර එහි විපාකයක්ද ගැබ්ව තිබේ.
තම ද්වාර (හිත, කය, වචනය) සංවර කර ගැනීමේ ඵලය කුමක්ද යන්නද බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළහ. වචනය රැක ගත යුතුය. සිත සංවර කර ගෙන තැන්පත් කර ගත යුතුය.අකුසල් නොකළ යුතුය. (වාචානුරක්ඛී මනාස සුසංවුතො කායෙනච අකුසලං න කයිරා) මෙසේ තිදොරින් සිදුවන තුන්කර්ම පථයන් පිරිසුදු කරගත් කල්හි බුද්ධාදී උතුමන් දෙසු නිවන් මඟ සම්පූර්ණ කරන්නෙක්ද වන බව උන්වහන්සේගේ දේශනයෙන් අපට පසක් කර දී තිබේ. (එතෙතයො කර්මපථෙ විසොධයෙ ආරාධයෙ මගං ඉසිප්පවෙදීතං) මානසික හා කාය වාග් සංවරත්වයද නිවන් දැකීමට අත්‍යවශ්‍ය වන මූලයක් බව එමගින් පැහැදිලි වේ. තිදොරේ සංවරත්වය කුසල,අකුසල විනිශ්චයේ මෙන්ම සත්‍ය ගවේෂණයේ මූල පදනමක් බවද මින් පෙන්නුම් කෙරේ.
සමාජයක් තුළ සංවරත්වය සමාජ ප්‍රගමනයේ එක් මූල සාධකයක් වේ. සංසුන් මනසක් හා සංසුන් කාය, වාග් ක්‍රියාකාරිත්වයක් සමාජය තුළ වෙසෙන පුද්ගලයන් තුළ ඇති කල්හි සමාජය තුළ නිර්මාණය වන දහසකුත් ප්‍රශ්න අවමකර ගැනීමට මහත් රුකුලක් වන බව පැහැදිලිය. ශීලය යනුවෙන් පෙන්වා දෙනුයේ මෙම ශික්ෂණ මාර්ගයේ පළමු පියවරය. දැහැමි මගට පිවිසීමට නිරතුරුව හේතුවන තම කාය, වාග් සුචරිතය. පදනම් කරගත් වැරැදි පහකින් සංවරත්වයට පත්වීම පඤ්ච ශීලයෙන් අර්ථවත් කෙරේ. පඤ්චශීල ප්‍රතිපත්තිය මුල් කර ගත් ශීක්ෂණ ක්‍රමයක වැදගත්කම බුදුදහමින් පැහැදිලිව අනාවරණය කොට ඇත. නිත්‍ය ශීලය ලෙසින් පඤ්චශීලයට සුවිශේෂී වූ වැදගත්කමක් බුදුදහමින් ලබා දී ඇත. පරපණ නොනසන, නොදුන්දේ ගැනීමෙන් වළකින. කාමයේ වරදවා, නොහැසිරෙන, බොරු නොකියන හා සුරාව පානයෙන් වැළකීම මෙම ප්‍රතිපත්ති පහට අන්තර්ගතය. මෙම ශික්ෂණ පහෙන් සංසුන් වෙන්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද අහිතක්වන අන්දම මෙන්ම සමාජයේ පැවැත්මට කෙතරම් බාධාකාරි ද යන්නත් වත්මන් සමාජයට අවධානය යොමු කරන විට අවබෝධ කොට ගැනීම අපහසු නොවේ. සමාජයක ප්‍රගමණය රඳා පවතින්නේ පුද්ගලයන් මත නම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය මෙහිදී ප්‍රමුඛ වේ. ක්‍රියාකාරිත්වය යනු තමාට මෙන්ම සමාජයේ ජීවත්වන අන් පුද්ගලයන්ගේ සුබසිද්ධියට හේතුවන ක්‍රියාවන්හි නිරතවීමය. සැමට සැපතක් පතා කරන ක්‍රියාවන් සංවරත්වයක් මත කළ යුතුවන අතර අසංවරත්වය නිරතුරුව තමාට මෙන්ම අන් සැමටත් අයහපතක් මතම පවතින්නක් බව පැහැදිලිය.මේ නිසා පංචශීලය සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ නිත්‍ය සංවර පහ ලෙසින් දක්වා තිබෙන අතර සමාජ හා පුද්ගල අරමුණු මුදුන් පත් කර ගැනීමේ පළමු අදියර ලෙසින්ද පස් පවින් වැළකෙන සංයත බව වැදගත් කොට පෙන්වා දී තිබේ.
සමාජයක ජීවත්වන පුද්ගලයා පළමුවෙන් තමා හා ජීවත්වන පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ වටිනාකම දැකගත යුතුය.එමෙන්ම තමා හා සමගාමීව එම පරිසරය තුළ ජීවත්වන සෑම සත්වයෙකුටම තමා මෙන්ම ජීවත්වීමේ අයිතියක් ඇති බව දැන ගත යුතු අතර ජීවත් වීමේ වටිනාකම අවබෝධ කරගත යුතුය. සමාජයක ජීවත්වන පුද්ගලයකුගේ මූලික සංකල්පය විය යුත්තේ ද මෙම කරුණුය.එසේ නොවන විට අන් කිසිම කරුණක් පිළිබඳව ඔහුට සිතීමට අවකාශයක් ඇති වේ යැයි කිව නොහැකිය. බුදු දහම තුළින් මෙම කරුණ ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. නිරතුරුව තමා පළමුවෙන් උපමා කොට අන් ජීවිත දෙස බලන්න. (අත්තානං උපමං කත්වා) යැයි උපදෙස් ලබා දෙයි. තමා විසින් තමා නසා ගන්නට හෝ අන් කෙනෙකුගෙන් නැසීමකට ලක්වීමට අකැමැතිය. එය තමාට බිය ගෙන දෙන ත්‍රාසය ඇති කරනු ලබන ක්‍රියාවකි. එසේ නම් මේ පරිසරයේ ජීවත්වන සෑම සත්වයකුම තමා නැසීයාමකට කැමැති නැති බව වටහා ගත යුතු වේ.
වෛරය, ඊර්ෂ්‍යාව,ආත්මාර්ථකාමීත්වය හා තද ආශාව වැනි නරක සිතිවිලිවලින් යුත් පුද්ගලයකුට අන් ජීවිතයක් නැසීම බරපතල කරුණක් ලෙසින් නොපෙනේ. එබඳු සිතිවිලිවලින් වෙලෙන ජීවිතය පළමුවෙන් නසා ගන්නේ තමාගේ ජීවිතය බව නොසිතයි. තම සිතට එබඳු සිතිවිලි ගලා එන විට ඉන් මිරිකී පීඩනයට පත්ව එහිම අන්ධයකු බවට පත්වී එම සිතිවිලිවලට යට වීමේ ඵලයක් ලෙසින් පුද්ගලයකු විසින් තව ජීවිතයක් විනාශ කිරීමට ඉදිරිපත් වේ. ඒ සමඟම ඔහු තමාගේ සිතට වහලකු වී තමා විසින් තම විනාශය ඇති කොට තව ජීවිතයක් විනාශ කරයි. මෙබඳු පුද්ගලයන් සමාජයට හානිකරය. සමාජයේ අන් පුද්ගලයන්ගේ ජීවිතවල වටිනාකම නොදක්නා පුද්ගලයාගෙන් සමාජයට වැඩදායි දෙයක් සිදුවේද යන්න කිව නොහැකිය.වේළුද්වාර සංයුත්තයේදී ද මේ හා සම්බන්ධ ඉතා වැදගත් දේශනයක් බුදුරජාණන් වහන්සේ කළ සේක. එනම්” තමන් ජීවත්වීමට කැමැතිය. මරණයට අකැමැතිය. සැපතට කැමැතියි. දුකට අකැමැතිය. එසේ ජීවත්වීමට කැමැති, මරණයට හා දුකට අකැමැති තමන්ගේ ජීවිතයට යම් හානි කරද්දී හිංසා කරද්දී එයට තමන් කැමැති නොවේ. තමා මෙන්ම අනෙක් අයද ජීවත්වීමට කැමැතිය. එබඳු වූ අන් අයගේ ප්‍රාණයට හානි කිරීමට තමන් ඉදිරිපත් වේද එය ඉතා නුසුදුසුය. එසේ සිතා තමාද අන්‍යයන්ගේ ප්‍රාණයට හෝ දේපළට හානි කිරීමෙන් වළකියි. අන් අය ලවා ප්‍රාණයට හෝ දේපළට හානි කරවීමෙන්ද වළකියි. එමෙන්ම ප්‍රාණයට හානි කිරීමෙන් වැළකි සිටීමේ වැදගත්කම ද අනුන්ට ප්‍රකාශ කරයි.මේ නිසා ඔවුන්ගේ කාය කර්මය තුන් ආකාරයකින් පිරිසුදු වේ” යන්නයි.
මෙම සූත්‍රයෙන්ද පැහැදිලි කරනුයේ පුද්ගල පාරිශුද්ධියට ආත්ම දමනය මෙන්ම අන් ජීවිතවල ඇති වටිනාකම අවබෝධ කර ගැනීම අතිශයින්ම වැදගත්වන බවය. පන්සිල්හි පළමු අංගය ලෙසින් පරපණ නැසීමෙන් වැළකීම දැක්වීමට හේතුවක් වනුයේද අන් කුසල මූලයනටද මෛත්‍රි සහගත සිතිවිල්ල මුල්වීම ප්‍රධාන සාධකයක් වන නිසාය.අන් පුද්ගල සැපත අගයන පුද්ගලයාට ඇතිවන සිතිවිලි මෛත්‍රි සහගතය. මධ්‍යස්ථ වූ සිතිවිලි ඇති පුද්ගලයාට අවබෝධාත්මක ඥානය වහා දියුණු කර ගැනීමට ඇති අවකාශය වැඩිය.
එමෙන්ම සමාජයක් තැති ගන්වන බියක් ගෙන දෙන ජීවිත නැසීමෙන් තොර පරිසරය සත්වයාට කෙතරම් සැනසිලිදායකද? තමාට පමණක් නොව අන් අයගේ සිතට මේ තුළින් ඇතිවන සංයමය අපමණය. සැමදෙනාටම ආදරය කරන සැමදෙන අගයන සමාජයක දැහැමි සිතිවිලි වර්ධනයට ඇති අවකාශයද වැඩිය. ඒනිසා ආත්ම සංයමට අදාළ පරපණ නැසීම පළමුවෙන් හුවා දක්වන අතර සමාජමය වශයෙන් එහි වටිනාකමද ඉතාමත් ඉහළය.සැමට මෙත්සිත් පෙරදැරිව කටයුතු කිරීම කුසල සිතිවිලි වර්ධනයටද හේතු වන අතර අකුසලය නැතිකිරීමටද හේතුකාරකයක් වේ. යහපත් සමාජයක් අපේක්ෂා කරන පුද්ගලයන් විසින් තම තමන් සුචරිතය වර්ධනයකරලීමටත්, දුශ්චරිතයෙන් වැළකීමටත් පියවර ගත යුතුවන අතර තමා සමඟ හොඳ, නරක පිළිබද විනිශ්චයකට හා සම්මුතියකට එළැඹීමෙන් සුචරිතවාදි සමාජයක් වෙත පිය නැගීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සමාජය තුළ කරනු ලබන සෑම යහපත් වැඩක්ම කුසල්ද? පින්ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි

අපට සිටින ඥති සමූහයා පෙර සංසාරය තුළ සිට පැමිණෙන පිරිසක් වෙයි. අප උපදින විටම ලේ ඥාතීන් හෙවත් සහලේ නෑයන් ලෙස හතර වරිගයක ඥාතීන් රැගෙන පැමිණෙයි. අප ඉපදීමටත් පෙර සිටම අපේ ලේ ඥාතින් ඉපදිලා අවසානයි.ලෝකයේ ආගම් බහුල වශයෙන් පැවතුණද, එම කිසිම ආගමක ඥාතී සමූහයාට පින් දීමක් සිදු වන්නේ නැහැ.
ඇතැම් ආගම් තුළ මළවුන් ඇදහුවද , පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමක් වෙන ආගම් තුළ දක්නට නැහැ. පරලොව ගිය ඥාාතීන්ට පින් අනුමෝදන් කිරිම මළවුන් ඇදහීමක් නොවෙයි. අපට හමුවන ලේ ඥාතීන් මෙලොව පමණක් හමුවන පිරිසක් නොවන අතර සිංහල ඥාතීන් අතර පවතින බාහිර පෙනුමට වඩා අභ්‍යන්තර ස්වරූපය වෙනස් ස්වභායක් ගනී.අධ්‍යයනය කර බැලුවහොත් ලේ නෑයන් අතර ගැටුම් බහුල ලෙස පවතී.සිත් තුළ හදාගත් ප්‍රශ්න නොමනාපය , විරෝධතාවය,තරහව,ක්‍රෝධය,වෛරය,බද්ධ වෛරය යන තත්වයන් තුළ ඔවුන් කාලය ගෙවීම කරනු ලබයි. ඇතැමි පිරිස් ඥතීන්ගේ මුහුණ නොබලන තරමට වෛරයෙන් ජීවත් වෙයි. කවුරුන් හෝ කළ විශාල වරදක් හේතුකොට ඇතිවූ තත්වයන් නොවුනත් ඔවුන් විසින් සිත තුළ ඇතිකරගනු ලැබූ ස්වභාවය වෙයි. මෙම දෙදෙනා මේ තරම් වෛරයෙන් තරහවෙන් ජීවත් වන්නේ ඇයිද? යනුවෙන් විමසමින් හේතු විමර්ෂණය කරන විට බරපතල හේතු කාරණා දක්නට ලැබෙන්නේ නැහැ.

කර්ම ශක්තිය

පුංචි සිදුවීම් මනස තුළ තබාගැනීමෙන් අවසානයට එය විශාල ප්‍රශ්නයක් ලෙස ශරීරයට දැනීම නිසා පරම්පරාගත වෛරකාරයන් ඇතිවෙයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පුද්ගලයෙකුගේ පෙර සංසාරය තුළ පවතින කර්ම ශක්තිය අනුව ලේ ඥාාතීන් හමුවෙයි. මේ තරම් අම්මලා සිටියදී ඔයා ඔයාගෙම අම්මාගේ කුස තුළ දරුවෙකු ලෙස ඉපදුනේ ඇයිද? යන පුශ්නය නැඟුªවහොත් ඔබට දීමට පිළිතුරක් නැතිව යයි. පෙර සංසාර කර්ම ශක්තිය අනුව තමන්ට හමුවන පළමුවන ඥාතීයා තමාගේ අම්මායි.එය තමාට ලැබෙන්නේ පෙර සංසාරය තුළ තමා ලබා උපන් උරුම කර්මය අනුවයි. සිංහල භාෂාව තුළ කරුමේ යනුවෙන් සඳහන් වන්නේ තමන් අත්විඳින අද්දැකීම් වෙයි. බණ පොතේ සඳහන් කර්ම යන වචනයට පෙර පින යන අර්ථයද,පෙර පව යන අර්ථයද සඳහන් වෙයි.කර්ම ශක්තිය අනුව ලැබෙන ඥාතීන් ලෙස සඳහන් කළ විට ඔවුන් පෙර පිනට ලැබෙන පිරිසක් විය හැකි සේම පෙර පවට ලැබුණ ඥාතීන් පිරිසක් ද විය හැකියි. ඇතැම් ඥාතීන් අප අසුරු නිසුරු කරමින් සිටින අතර ඇතැම් ඥාතීන් දුරින් තබා ඇති අතර තවත් ඥාතීන් පිරිසක් නොදැකම සිටී. එය ඥාතීන් ගේ වරදක් බව අප සඳහන් කළත් එතනදී දක්නට ලැබෙනුයේ පුද්ගලයාගේ විවිධ ස්වභාවයයි.

මනුෂ්‍ය ස්වභාවය

ඇතැම් ඥාතීන් කතාකිරීමට පමණක් හොඳ වුවත් ඔවුන්ගේ සිත හොඳ නැහැ. සමහර ඥාතීන්ගේ සිතිවිලි හොඳ වුවත් කට හොඳ නැහැ. ඇතැම් ඥතීන්ගේ හිත සහ කට හොඳ වුවත් කය හොඳ නැහැ.මනුෂ්‍යන් අඩුපාඩු සහිත පිරිසක් වෙයි. සෑම මනුෂ්‍යයකුගේම කිසියම් අඩුපාඩුවක් පවතියි. තමා කතා කරන විට තමාගේ අඩුපාඩු වසාගෙන යහපත් පැත්ත පමණක් සමාජයට පෙන්වීමට උත්සාහ කරමින් අනෙක් පුද්ගලයෙකු පිළි්බඳව කතාකරන විට යහපත් පැත්ත වසන් කරමින් අයපහත් පැත්ත පමණක් පෙන්නුම් කිරීමට උත්සාහ දරයි. අපි නොදන්නවයැ එයාගේ හැටි යන ප්‍රකාශ කරමින් ඔහු පිළිබඳව හඳුන්වයි. එවැනි අයහපත් කාරණා අපගේ සිත් තුළින් සිදුවුවත් , සංසාර ගත නෑයන් හැදෙන්නේම ආත්ම ගණනාවක සිට අපත් සමඟ එකට ඉපදුන පිරිසක් ලෙසයි.
පුබ්බේනිවාසානුස්සති ඥානය, ආසවඛ්‍ය ඥානය, චුතූපපාත ඥානය යන ත්‍රිවිද්‍යා ඥාන තුළින් අතීතය පිළිබඳව අනාගතය පිළිබදව බලමින් සත්වයාගේ චුති උප්පත්තිය පිළිබඳව විමර්ෂණය කළ දැනුම තුළින් බුදුරජාණන් වහන්සේ යමි යම් කාරණා දේශනා කර ඇත. .ඉපදීමට පෙර භවයක් තිබුණ බවත් , එම භවයෙහි කිසියමි කර්ම සම්බන්ධතාවයක් මත මවුකුස තුළ දරුවෙකු පිළිසිඳ ගනී. මරණයට පත්ව කිසියම් ස්ථානයකට ගමන් කරනු ලබන්නේ තමාගේ කිසියමි කර්ම ශක්තියක් මත බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.අපට හමුවන ලේ ඥාතීන් එකවගෙයි. පුද්ගලයන් සියයක් සිය ආකාර වුවත් ඔවුන් අතර ලේ ඥාතීන් පිරිසක් සිටිය හොත් ලේ ඥාතීන් එකම වගේ නිසා ඔවුන් ඥාතීන් නොවන බව ප්‍රකාශ කළත් ඥාතීන් පිරිසක් බවට සමානත්වයෙන් පෙන්නුම් කරයි. වෛද්‍ය විද්‍යාව තුළ ජාන ප්‍රවේණිය යනුවෙන් යමි කාරණාවක් හඳුන්වයි. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වයි. බුදුදහම තුළ හඳුන්වන කර්මය යන වචනය ප්‍රවේණිය යන වචනයට වඩා පුළුල් අදහසක් පවතියි. පෙර සංසාරය තුළ එකට ඉපදිලා තිබෙන ඥාතීන් නිසා සිතිවිලි සමඟ සිත තුළ තරහව වෛරය ක්‍රෝධය තබාගත යුතු නැහැ.එසේ තබාගැනීම තුළ මනසට එය බරක් වෙයි. තමාගේ ශරීරයේ අයහපත පිණිස බලපානු ලබන බරක් වෙයි. යම් යම් පුද්ගලයන් ඊර්ෂ්‍යාවෙන්. , තරහවෙන් විවිධ කාරණාවන් කරන අවස්ථාවල පෙරලා ප්‍රතිචාර දක්වන්නට එපාය යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.පෙර තමා විසින් දුන් දෙය තමාට ලැබෙන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
හඳ අහස තුළ තිබුණත්, අමාවකට හඳ බබළන්නේ නැහැ.වලාකුළු තුළින් නොවැසුණු පුර හඳ අහස තුළ බබලයි. යන උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. කිසියම් පුද්ගලයෙකු තමන්ගේ සිත කය වචනය අන්‍යයාට හෙවත් සමාජයට අයහපතක් වන ආකාරයේ සිතිවිලි සිතන්න එපා යනුවෙනි. තමා බොරුවක් ප්‍රකාශ කරනවා යනු අසත්‍ය සමාජ ගත කිරීමයි.තමා යමක් කරනවාය යනු තමා යමි දෙයක් සමාජයට ලබාදීමයි.

පෙරලා ලැබීම

අප ලබාදුන්දෙය අපට පෙරලා ලැබෙයි. එම නිසා නරක සිතිවිලි සිතින් සිතමින් අයහපත් දෙය සමාජයට දෙන්න එපා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරනු ලැබුවේද, තමාට එවැනි දෙය පෙරලා ලැබෙන නිසයි. මනුෂ්‍යයෙකු මේ ලෝකය තුළ උප්පත්තිය ලැබූවිට එම පුද්ගලයාට මානවයා හෙවත් සියලු සත්වයා වෙනුවෙන් මානව යුතුකමක් පවතී. තමන්ගේ සිත කය වචනය යන තුන් දොර අනෙකාගේ අයහපත පිණිස නොපවතින ආකාරයෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙයි.අනෙකාගේ හෙවත් පොදු සමාජය තුළ අයහපත පිණිස තමාගේ මනස තුළ සිතිවිලි නොසිතිය යුතුයි.කිසියම් පුද්ගලයෙකු එවැනි ආකාරයෙන් කටයුතු කරනු ලැබුවහොත් ඔහුට ලැබී තිබුණ දේ නැතිව යයි. අනුනට අයහපත ෙවිවායි යන සිතිවිලි සිතන පුද්ගලයාට එවැනි ආකාරයෙන් සිතීම යුතුකමක් නොවුණත් ඔහු එය කරනවා නම්, තමාට පෙර සංසාරය තුළ පිනට ලැබුණ මනස තමන් අයහපත පිණිස යොදවනු ලබයි. එම අහපත ලෙස යොදවන විට එහි විපාකය වශයෙන් ඔහුගේ ජීවිතය තුළ කිසිම දවසක යහපත් සිතිවිලි සිතට නැගෙන්නේ නැහැ.යහපත් දේ කිරීමට නොසිතීම ඔහුට ලැබෙන දඬුවමයි.
තමාගේ වචනය අනෙකාගේ අයහපත පිණිස හැසිරවීම තහනම් වෙයි. එවැනි ආකාරයෙන් හසුරුවන පුද්ගලයා නැවත ඉපදෙන විට දිවකොට වි හෝ වෙනත් ආබාධ සහිතව උපදියි.තමාගේ පෙර සංසාරය තුළ තමා විසින් කරනු ලැබූ පින් අනුව මෙම ශරීරය ලැබී තිබුණත්,එය සමාජයේ අයහපත පිණිස නොයෙදිය යුතුයි. එසේ හැසිරෙන පිරිසට එහි අයහපත් විපාක ද ලැබෙයි.

සතුට වර්ධනය කිරීම

කෙතරම් උස ගොඩනැඟිලි ගොඩනඟාගෙන සිටියත් සතුට පවතින්නේ ගොඩනැඟිලි තුළ නොවෙයි.සතුට පවතින්නේ මනස තුළ මිස තට්ටුගණන් උස ගොඩනැඟිලිවල හෝ, නවීන වර්ගයේ වාහනයක,හෝ කසාදයක හෝ නොවෙයි. මනස තුළ පවතින සතුට වර්ධනය කරගැනීම සඳහා සෙසු කාරණා අවශ්‍ය වෙයි. සිත තුළ පවතින සතුට නැතිනොවන්නේම කිසියම් කර්ම ශක්තියක් නිසයි. සෑම පුද්ගලයෙකුගේම තුන්දොරින් අනෙකාගේ අයහපත පිණිස වන ආකාරයේ කටයුතු කිරීම තහනම් වෙයි. අයහපතින් වැළකීම එක කාරණාවක් වන අතර යහපත කිරීම තවත් කාරණාවක් වෙයි.සමාජය තුළ ජීවත් වන ඇතැමි පිරිස් මෙම කාරණා දෙක එකක් ආකාරයෙන් සිතා සිටියත් එය කාරණා දෙකක් මිස එකක් නොවන බව අවබෝධ කරගත යුතුයි.
"අනෙකෙකුගේ පරපණ නැසීම , අනෙකාගේ ජීවිතය එපාවන ආකාරයෙන් කතාකිරීම , අනෙකාගේ සිත තුළ පවතින ධෛර්යසම්පන්න බව නැතිවන ආකාරයෙන් කතාකිරීම, ජීවිතය පිළිබඳව කලකිරෙන ආකාරයෙන් කතා කිරීම යන සියල්ල ප්‍රාණඝාත වෙයි. මැරීම පමණක් නොවෙයි අනෙකුත් සියල්ලත් ප්‍රාණඝාත කොටසට අයත් කාරණාවන් වෙයි. මිනිසුන් මරණයට පත් නොකිරිම පමණක් නොවෙයි"
අයහපතෙන් වැළකීම යහපත ලෙස සැළකුවද,එය නිවැරැදි නොවන අතර එය අයහපතෙන් වැළකීම වෙයි. යහපත නම් අලුතෙන් යමක් කළ යුතුයි. පින්කම් නොකළාට පන්සල් නොගියාට පංචශීලය අනුව ජීවත් වන නිසා මම කාටවත් අයහපතක් නොකරන බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලබයි.
පංචශීලය යන කාරණා කළ යුතුම දේවල් වෙයි. අනෙකෙකුගේ පරපණ නැසීම , අනෙකාගේ ජීවිතය එපාවන ආකාරයෙන් කතාකිරීම , අනෙකාගේ සිත තුළ පවතින ධෛර්යසම්පන්න බව නැතිවන ආකාරයෙන් කතාකිරීම, ජීවිතය පිළිබඳව කලකිරෙන ආකාරයෙන් කතා කිරීම යන සියල්ල ප්‍රාණඝාත වෙයි. මැරීම පමණක් නොවෙයි අනෙකුත් සියල්ලත් ප්‍රාණඝාත කොටසට අයත් කාරණාවන් වෙයි. මිනිසුන් මරණයට පත් නොකිරිම පමණක් නොවෙයි ජීවත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් අප කරනු ලබන්නේ කුමක්ද? නොමරා සිටීම පමණක් ප්‍රමාණවත්ද? ප්‍රාණඝාත අතහැර දඬුමුඟුරු නොගෙන අවිආයුධ නොගෙන සිටීම පාණාතිපාතා වෙයි. ප්‍රාණඝාත කරන පිරිස පිළිබඳව ලජ්ජාවිය යුතු සේම ජීවත්ව සිටින සත්වයන් වෙනුවෙන් දයාව කරුණාව උපේක්ෂාව දැක්විය යුතුයි.වැළකීම සහ කිරීම දෙකක් මිස එකක් නොවෙයි.
“යස්ස පාපං කතං කම්මං” කිසියම් පුද්ගලයෙකුගේ අතින් පාපකර්මය කෙරෙයි. ඇතැමි විට දැනගෙන හෝ නොදැන කළත් තමන් කළ පව කුසල් රැස්කිරීමෙන් යම්තාක් හෝ මගහරවා ගත හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.තමා කරන පව් වෙනුවට පින් කරන බවට සමාජය තුළ තකාබහක් පවතියි.පින් කිරීමෙන් තමා කළ පව් වසාගැනීමට නොහැකියි. තමා කළ පවි වෙනුවට පින් දහම් අලුතෙන් කළ විට කළ පවි මැකීයන බව ඇතැමුන් විශ්වාස කළත්, තමන් කළ පව, පින තුළින් වැසීමට බැරි බව අවබෝධ කරගත යුතුයි.
තමන් කළ පවි කුසල් තුළින් වැසිය හැකි නමි, පවයි , කුසලයයි පවයි අකුසලයි පිනයි කුසලයයි,අතර වෙනසක් තිබිය යුතුයි. ධර්මය ශ්‍රවණය කිරීම ,නිවස තුළ දන්පහන් දීම, ගමේ පන්සලත් සමඟ පින්දහම් කිරීම,කරනු ලබන සැම ක්‍රියාවකින්ම කුසල් රැස්කරගත හැකියි. කිසියම් පුද්ගලයෙකු විසින් සමාජය තුළ කරනු ලබන සෑම යහපත් වැඩක්ම කුසල්ද? පින්ද? යන අර්ථකතනයට පැමිණුන හොත් ගමට අඩුපාඩුවක් වශයෙන් පැවතුණ වතුර ප්‍රශ්නයක් පිළිබඳව කිසියමි පුද්ගලයෙකු විසින් තම ධන පරිත්‍යාගයෙන් පොදු ළිඳක් ගමට පරිත්‍යාග කළහොත් එම ක්‍රියාව පිනක්ද? පවක්ද? කුසලයක්ද? අකුසලයක්ද? ඇතැමි පිරිසක් මෙය කුසලයක් ලෙස අර්ථකතනය කරනු ලබයි. බණ පොතට අනුව මෙය කුසලයක්ද? අකුසලයක්ද? යනුවෙන් විස්තර කරගැනීමට යනවා නමි,බාහිරින් බලන පුද්ගලයෙකුට එය තේරීම අපහසුයි. එම ක්‍රියාව පිනක්ද, පවක්ද, අකුසලයක්ද කියන කාරණාව බාහිර සමාජය තුළ සිට බලන පුද්ගලයෙකුට ප්‍රකාශ කළ හැකි වුවද,කුසලයක් බව බාහිර සමාජය තුළ සිට බලන අයෙකුට ප්‍රකාශ කළ නොහැකියි. සාමාන්‍ය දැනීමට අනුව එය කුසලයක් වුවද, ධර්මයෙහි විස්තර කරන ආකාරයට අනුව,කුසලයක් නොවිය හැකියි. කිසියම් පුද්ගලයෙකු කිසියම් ක්‍රියාවක් කළ විට එම ක්‍රියාව අකුසල නමි, අපට ප්‍රකාශ කළ හැකි වුවද,කුසලයක්ද කියා වෙනත් අයෙකුට ප්‍රකාශ කළ නොහැකියි. තමාගේ පෞද්ගලික ධනය වියදමි කරමින් කළ ක්‍රියාව සද්ක්‍රියාවක් ලෙස පෙනුණත් ඇතැම් විට ඔහුගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන අරමුණක් වෙනුවෙන් වුවත් එසේ කළ හැකියි.බණ පොතෙහි සඳහන් වන ආකාරයට අනුව කිසියම් පුද්ගලයෙකු විසින් කරනු ලබන ක්‍රියාව සඳහා ඔහුගේ හෝ ඇයගේ චේතනාව බලපානු ලබයි. තමා තුළ පවතින චේතනාව වෙනත් පුද්ගලයෙකුට මේ යැයි කියා ප්‍රකාශ කළ නොහැකියි.පරාර්ථය පිණිස කරනු ලබන ක්‍රියාවක් ලෙස බාහිර සමාජයට පෙන්නුම් කළ හැකි වුවද, ප්‍රකාශ කිරීම වෙනත් කාරණවක් වන අතර චේතනාව වෙනත් කාරණාවක් වෙයි.චේතනාව පවතින්නේ තමන් තුළ පමණයි. සමාජය විසින් කරනු ලබන ක්‍රියාවන් කුසල අකුසල ලෙස දැනුම්වත් සිටින්නේ තමා විසින් පමණයිි. තමන්ගේ චේතනාව නිවැරැදි විය යුතුයි.පිනක්ද? යනුවෙන් විමසන විට චේතනාව අදාළ නොවේ. ගමට බලපාන ගැටළුවක් විසඳා දීම විශාල පිනක් වෙයි. පිනයි කුසලයයි පිළිබඳව තරමක් සියුම් ලෙස වටහාගත යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X