වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සක් දෙවිඳු

344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.

“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.

මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
345
එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.
346
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
347
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”
“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය. Path to Nirvana

සිංහල ත්‍රිපිටකය Sinhala Tipitaka ඉතිරිය ->

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X