වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ඇස් පිදීමක් වන වූ පහන් පූජාවේ අනුසස්

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.
අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.
පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,
කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතූවාය.
එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.
පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.
ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.
(ආපදානපාළියෙන්)
(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් )
Path to Nirvana

උසස්‌ අනුසස්‌ ලැබෙන ඉල්ලීම් අටක උපත

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාම නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල වූ මෙම සිදුවීම ශාසනයේ සංවර්ධනය සඳහා හේතු වූවකි. තවද උසස්‌ අනුසස්‌ ලබාගත හැකි කුසලයක්‌ද අත්පත්කරගත් පුවතකි.
දිනක්‌ බුදුසසුනේ අග්‍රදායිකා වූ විශාඛා තොමෝ බුදුරදුන් දක්‌නට පැමිණියාය. බුදුරදුන් වැඳ එකත්පස්‌ව සිටියාය. බුදුරදුන් දැහැමි කතාවෙන් කතාකොට කරුණු දක්‌වා එහි සමාදන් කරවා සතුටු කරවූහ. සතුටට පත් විශාඛාවෝ පසුදින භික්‌ෂු සංඝයා සමග සිය නිවසට වැඩම කරන්නැයි ආරාධනා කළහ. පසුදා උදෑසන මහා වර්ෂාවක්‌ ඇදහැළිණි. බුදුරදුන් භික්‌ෂුන් අමතා මේ සිවු දිවයිනට එකපැහැර වසින්නාවූ අන්තිම මේඝයයි. මහණෙනි, කය තෙමවු කීහ. භික්‌ෂුන්ද සිවුරු ගලවා තබා සිරුරු වැස්‌සෙන් තෙමන්නේය. මේ අතර විශාඛාවන්ද දහවල් දානය පිළියෙළ කරන්නේ සේවිකාවක කැඳවා කියන්නේ විහාරස්‌ථානයට ගොස්‌ දහවල් බත සූදානම් යෑයි දන්වන්න කියාය. ඇය විහාරස්‌ථානයට යන විට සිවුරු නොමැතිව භික්‌ෂුන් නානු දැක වහා දිවගොස්‌ විශාඛාවට දන්වන්නේ භික්‌ෂුන් නැති බවත්, ආජීවකයන් ඇතිබවත්ය. නුවණැති විශාඛාව නැවතද සේවිකාව යවයි. නැවත ගොස්‌ බලන විට එක්‌ අයකුදු පෙනෙන්නට නැත. ඒ වනවිට භික්‌ෂුන් නා පිරිසිදුව තම කුටිවලට ගොස්‌ සිටියේය. නැවතද සේවිකාව ගොස්‌ කියන්නේ කිසිවකු විහාරස්‌ථානයේ නොමැති බවයි. මෙය නුවණින් විමසා බලා එම සේවිකාව නැවත ද යවයි.
අනතුරුව බුදුරදුන් දහවල් දානයට වේලාව පැමිණි පසුව භික්‌ෂුන් අමතා බතට කල් යෑයි දැන්වූහ. ඒ සියලු දෙනා වහන්සේම හැඳ පොරවා පාත්‍රා ගෙන සෘද්ධියෙන් විශාඛාවගේ නිවසට වැඩම කළහ. විශාඛාවද මහ වැසි වැස ගංගා උතුරා ගියද පා නොතෙමීම මහත් ආනුභාවයෙන් සියලු දෙනා වහන්සේ වැඩම වූ බව දැන සතුටු වී එයින් ඔද වැඩී ගියෙන් කෑ යුතු දෙයින් බිඳිය යුතු දෙයින් සියතින් දන්දී පූජාකොට දානාවනාසනයෙහි බුදුරදුන් වැඳ වර අටක්‌ දෙන්නැයි ඉල්ලීය. තථාගතයෝ ස්‌ත්‍රීන්ට වර නොදෙතියි බුදුහිමි දැන්වූහ. එවිට යමක්‌ කැපද නිදොස්‌ද එබඳු ඉල්ලීම් අටක්‌ බව දැන්වූයෙන් බුqදුරදුන් මෙකරුණ විමසූහ.

එවිට විශාඛාව මෙම කරුණු අට ඉදිරිපත් කළාය.

1. දිවි ඇතිතෙක්‌ සංඝයාට වැසිසළු දීමට

2. දිවි ඇතිතෙක්‌ සංඝයාට ආගන්තුක බත් දීමට

3. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගමිකබත් දීමට

4. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලන්බත් දීමට

5. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලානෝපස්‌ථායක බත්දීමට

6. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලන් බෙහෙත් දීමට

7. දිවි ඇතිතෙක්‌ සංඝයාට නිති කැඳ දීමට

8. දිවි ඇතිතෙක්‌ මෙහෙණ සඟනට දියසළු දීමට

එවිට බුදුරදුන් මෙම කරුණු ඉල්ලීම් කළේ ඇයිදැයි මෙහි නිධානය විමසූහ. විශාඛාව ඉල්ලීම් කරන්නට හේතු ඉදිරිපත් කළාය. පළමු ඉල්ලීමට හේතු ව නම් අද දිනයේ දහවල් දානයට භික්‌ෂුන්ට දැන්වීමට සේවිකාවක විහාරස්‌ථානයට යෑවූ බවත් එහිදී භික්‌ෂුන් සිවුරු නොමැතිව වැසි දියෙන් නාමින් සිටි බවත්, එය භික්‌ෂුන් නොගැළපෙන බැවින් පළමු ඉල්ලීම කළ බවත් දැන්වීය. දෙවැනි ඉල්ලීම නම් ආගන්තුක භික්‌ෂුන් වීථියෙහි දක්‌ෂ නොවූයේ ගෝචර ස්‌ථාන නොදන්නේ විඩාපත්ව පිඬුපිණිස හැසිරෙන බැවින් දන් පිළිගැන්වීමට අවසර ඉල්ලීය. තුන්වැනි කාරණාවට හේතු කියන්නේ ගමික භික්‌ෂුන් තම පිණ්‌පාතය සොයා යන්නේ තම පිරිසෙන් මඟහැරෙන්නේය. යම් තැනකට යනු කැමැත්තේද එතැනට නොකල්හිම පැමිණෙන්නේය. එම නිසා ගමික බත්දීමට අවසර ඉල්ලීය. සිවුවැනි කාරණාවට හේතු දක්‌වන්නේ ගිලන් භික්‌ෂුන්ට හිතවූ බොජුන් නොලැබීමෙන් ආබාධ වැඩෙන්නේය. කලුරිය කිරීම හෝ වන බැවින් ගිලන්බත් සැපයීමට අවසර ඉල්ලීය. පස්‌වැනි කරුණට හේතු දක්‌වන්නේ ගිලානෝපස්‌ථායක භික්‌ෂුන් තමාගේ දානය ලැබ පසුව ඉරු නැඟී ගිය කල්හිත් දානය ගෙනයන බැවින් බත් විසිකරන බවත්, ගිලානෝපස්‌ථායක භික්‌ෂුන්ට සුදුසු කාලයෙහි දානය දීමට අවසර ඉල්ලීය. සයවැනි කරුණට හේතු දක්‌වමින් ගිලන් භික්‌ෂුන්ට හිතවූ බෙහෙත් නොලැබීමෙන් ආබාධ වැඩිවන බවත්, කලුරිය කරන බවත් දන්වා එය නොවන්නට ගිලන් බෙහෙත් සපයාදීමට අවසර ඉල්ලීය. සත්වැනි ඉල්ලීමට හේතුව නම් භාග්‍යවතුන් වහන්සේ අන්ධක වින්ද නගරයේදී කැඳ පිදීමේ අනුසස්‌ දහයක්‌ දැක්‌වූ බවත් එම අනුසස්‌ දැන නිති කැඳ පූජා කිරීමට අවසර ඉල්ලීය. කැඳ පිදීමෙන් ලැබෙන අනුසස්‌ මහාවග්ග පාලියේ භේඝඡ්ජක්‌ඛන්ධකයේ දක්‌වා ඇත්තේ මෙසේය. ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ යන අනුසස්‌ පහක්‌ද සාගින්න සන්සිඳීම, පිපාසාව සන්සිඳීම, වාතය අනුලෝම වීම, ආමාශය පිරිසිදු වීම, නොපැසී ඉතිරි වූ ආහාර පැසීම යන අනුසස්‌ පහක්‌ද ලැබේ. අටවැනි ඉල්ලීමට හේතු දක්‌වන්නේ මෙහෙණින් වහන්සේලා අචිරවතී නදියෙහි වෙසඟනන් සමග නග්නව ස්‌නානය කළ බවත්, එහිදී වෙසඟනක්‌ තරුණ කාලයෙහි කාමභෝගී වී වසයට ගිය කල්හි බඹසර වසන්නැයි ඔවුන්ට කියා ඇති බවත් එයින් වෙසඟනන් ගේ වෙහෙසීමට පත්වූ බවද, මෙහෙණන් නග්නව දියනෑම නුසුදුසු බවද පෙන්වා දෙමින් ඊට අවසර ඉල්ලීය.
එවිට ඔබ කිනම් අනුසස්‌ දැන මෙම ඉල්ලීම් කරන්නේදැයි විශාඛාවගෙන් ඇසීය. එවිට ඇය කියන්නේ ස්‌වාමීනි බොහෝ භික්‌ෂුන් සැවැතට පැමිණෙති. තවද සමහරෙක්‌ කලුරිය කෙරෙති. එවිට බුදුරදුන් ඔවුන්ගේ ගති විචාරා ඔවුහු සේවාන් වූහ. සකෘදාගාමී වූහ. අනාගාමී වූහයි කියති. ඉදින් එවන් භික්‌ෂුන්ට බතින් බෙහෙතින් සංග්‍රහ කළ බව සිහිවීමෙන් මට ප්‍රමෝදය උපදින්නේය. ප්‍රමුදිත වූ මට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීති සිත් ඇති මාගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තී සුව විඳින්නෙමි. සුව ඇත්තාවූ මාගේ සිත එකඟ වන්නේය. එය මට ඉන්ද්‍රිය භාවනාව, බල භාවනාව, බොඡ්Cධංග භාවනාව වන්නේය. ස්‌වාමීනි මේ අනුසස්‌ දන්නා මම තථාගතයන් වහන්සේගෙන් මේ වර අට ඉල්ලමි. එවිට බුදුරජාණන් වහන්සේ, විශාඛාව ඉතා යහපති කියා එම වර අට ලබාදුන් සේක.
ඉන්පසුව විශාඛාවට අනුමෝදනා පිණිස මෙසේ දේශනා කළ සේක. 'සුගතයන් වහන්සේගේ සීල සම්පන්න වූ යම් ශ්‍රාවිකාවක්‌ ප්‍රමුදිත වූවා ආහාර පාන දේද, මසුරු මළ මැඩ ස්‌වර්ගයට හිතවූ ශෝක දුරුකරන්නා වූ සුව එළවා දන්දෙන්නේද, ඕ තොමෝ දිව්‍යමය වූ ආයුෂ ලබයි. ප්‍රහීණ වූ රාගාදී රජස්‌ ඇති පව් නැති මාර්ගයට පැමිණ පින් කැමැති ඕ තොමෝ සුවපත්ව රෝග රහිතව ස්‌වර්ග ලෝකයෙහි බොහෝ කල් සතුටු වෙයි.'
මෙම දේශනාවෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ නැගිට විහාරස්‌ථානය කරා වැඩම කළ අතර එහිදී භික්‌ෂුන් අමතා මහණෙනි, වැසිසළු, ආගන්තුක බත, ගමික බත, ගිලන් බත, ගිලානෝපස්‌ථායක බත, ගිලන් බෙහෙත්, නිති කැඳ, මෙහෙණ සඟනට දියසළු අනුදනිමි' යි වදාළ සේක.
මෙයින් බුදු සසුනට ලැදි ශ්‍රද්ධා සම්පන්න උපාසිකාවන් විසින් පෙර සිට බුදුසසුනත් සඟ සසුනත් ආරක්‌ෂා කොට, සංවර්ධනය පිණිස තම දායකත්වය ලබාදුන් සැටි පෙනේ. උවසු උවැසියන්ගේ ශ්‍රද්ධා මහිමය කැපී පෙනෙන්නේ සම්මාසම්බුද්ධ ශාසනය කෙරෙහි ළැදියාවෙන් සුරක්‌ෂිත කිරීම මිස විවේචනය නොවේ. තවද භික්‌ෂු, භික්‌ෂුණීන්ගේ දියසළු පිළිබඳ සිදුවීම ඊට හොඳම උදාහරණය වේ. මෙතෙක්‌ සම්බුදු සසුන සුරක්‌ෂිත වූයේද අචල ශ්‍රදධාවන්ත උපාසක උපාසිකාවන්ගේ නොමඳ දායකත්වය මතය. එබැවින් විශාඛා උපාසිකා චරිතය නූතනයට මහත් ආදර්ශ සම්පන්න චරිතයකි. (මහා වග්ග පාලිය ඇසුරිණි.)
හොරණ රාජකීය විද්‍යාලයේ ආචාර්ය, 
ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

පරිපූර්ණ වශයෙන් සීලය පිරිසුදුවීම

නාවලපිටියේ අරියවංශ හිමි

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ නො වුණ කාලයකත් ඇතැමුන් සිල් රකිනවා. ඒ ආකාරයට සිල්වත්ව වාසය කරන අය සමාධියත් උපදවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණායින් පස්සෙත් සීලය තිබෙනවා. මිනිසුන් සීලය සමාදන් වෙනවා. බොහෝ අය ඒ සීලය ආරක්ෂා කරනවා. ඒ සීලය මුල් කරගෙන සමාධිය ඇති කර ගන්නවා. ඒ දෙකේ වෙනස මොකක් ද? බුද්ධ ශාසනයක් මුල්කරගෙන සීලය ආරක්ෂා කරන පුද්ගලයාට ඒ සීලය මුල්කරගෙන සමාධිය දියුණුවෙන පුද්ගලයාට සංසාරයෙන් නිදහස් වීම පිණිස අවස්ථාව ලැබෙනවා. ඔහු සංසාරෙන් නිදහස් වීමේ මඟට එනවා. බුද්ධ ශාසනයක් නැති කාලෙක සීලය තිබෙනවා, සමාධියත් උපදවා ගන්නවා. නමුත් එතැන සංසාරෙන් නිදහස්වීමට ඉඩක් නැහැ. අවකාශයක් නැහැ. සංසාරෙන් නිදහස් වීමේ මඟට ඒමට අවස්ථාවක් නැහැ.
එහෙනම් අප ධර්මය ඇසුවා, ධර්මය ඉගෙන ගත්තා, ධර්මයේ හැසිරීමෙන් යුක්තව වාසය කරනවා. නමුත් අපටත් සංසාරයෙන් නිදහස්වීමේ භාග්‍යය අහිමිවෙන්නට බැරිද? ඒක වෙන්නට පුලුවන්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ යුගයක පවා සිල්වන්ත පුද්ගලයාට සමාධිය උපදවා ගත්ත පමණින් නිවන් මඟ මුණ නො ගැහී තිබෙන්නටත් පුළුවන්. එහෙනම් අප ලොකුª කල්පනාවකින් ලොකු වැටහීමකින් කටයුතු නො කළොත් අපට බුද්ධ ශාසනයේ ලැබුණ ලාභය අත්කර ගන්නට බැරිවෙනවා. අප සීලයට ආපු පමණින් සමාධියක් උපදවා ගත්ත පමණින් බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා වෙනවද? නැහැ. අප විසින් අන්න ඒ වෙනස හඳුනා ගත යුතුයි. මේ ලැබුණ අවස්ථාව අත්නොහැර සීලය සමාධිය තහවුරුකර ගැනීම පිණිස අප විසින් කළයුත්තේ මොකක් ද? ඒ සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදුකර ගැනීමට උත්සාහ කිරීමයි.
ඒ සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදු කර ගත් පුද්ගලයාට පමණයි නිවන් මඟට දොර විවර වෙන්නේ. නැත්නම් බුද්ධ ශාසනයෙන් එපිටත් සිල් රකින අය ඉන්නවා. ඒ සීලය පිහිට කොට සමාධියක් උපදවා ගන්නවා. නමුත් නිවන් මඟ වැඩීමක් නැහැ. අප විසින් සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදු කර ගන්න කල්පනා කළ යුතුයි. ඒ සඳහා අප ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් වැඩපිළිවෙල මනාකොට හඳුනාගෙන අනුගමනය කරන්නට ඕන. එයට කියනවා “සීල විසුද්ධිය” කියා. සීල විසුද්ධිය කියා කියන්නේ පරිපූර්ණ වශයෙන් සීලය පිරිසුදු කර ගැනීම යි.
භාග්‍යතුන් වහන්සේ නමක් නැති කාලෙක ඒ බුද්ධ ශාසනයක් නො පවතින කාලයක සිල්වත් අය හිටියා. ඒ අය සීලය මුල්කරගෙන සුගති ලෝකවල ඉපදුණා. නමුත් ඒ පින අවසන් වූවට පස්සේ ඔවුන් නැවත වරක් දුගති ලෝකවල උපදින්නේ එසේ සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදුවෙලා නැති නිසයි. සීලය නැවත අපිරිසුදු නොවන ලෙස පිරිසුදුකර ගතහොත් නැවත දුගතියේ ඉපදීමක් නැහැ. ඔහුට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කිරීමේ අවස්ථාව උදාවෙනවා. එයයි නිවන් මඟේ ආරම්භය. ඒ නිසා අප සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදුකර ගන්නට වෑයම් කරන්නට ඕන. ඒ සඳහා ධර්මයේ පෙන්වා දී තිබෙන වැඩපිළිවෙල මනාකොට අනුගමනය කරන්නටත් ඕන. අප එසේ අනුගමනය කළා නම් ලොකු දෙයක් ජීවිතයට කර ගත්තා වෙනවා. අපේ මුළු ජීවිත කාලයේදීම හෝ මහන්සිවෙලා වෑයම් කරලා අප විසින් ඉටුකරගන්නට කැමැති විය යුත්තේ සීලය නො පිරිහෙන ලෙස පිරිසුදු කර ගැනීම යි. කොහොමද එය කරන්නේ? සේඛ බල පුරුදුකර ගැනීමෙන්, දියුණුකර ගැනීමෙන් පමණයි සීලය පිරිසුදු වෙන්නේ. සේඛබල පිරෙනවිට සීලය අපිරිසුදුවෙන්ට පටන් ගන්නවා. සේඛබල දියුණු වෙන්ට දියුණු වෙන්ට සීලය දියුණු වෙනවා. එවිට ඔහුගේ සීලය අපිරිසුදු නොවන දෙයක් බවට පත්වෙනවා.
සේඛබල කියන්නේ ශ්‍රද්ධාව, පවට ලජ්ජාව, පවට භය, වීර්යය, ප්‍රඥාව යි. මේ කාරණා පහ දියුණුකර ගතහොත් සීලය අපිරිසුදු නොවන මට්ටමට දියුණුකර ගන්නට පුළුවන්කම තිබෙනවා. එසේනම් සේඛබල දියුණුකර ගන්නට නම් සේඛබල අප තුළ උපදවා ගන්නට ඕනෑ. අපේ ජීවිතයට සේඛබල ඇති කර ගන්නේ කොහොම ද? සේඛබල ඇති කරගන්නට නම් පිරිසත් සමග සමගි සම්පන්නව වාසය කරමින් ඒ අය උදෙසා උපකාර කරමින්, වාසය කරන්නට ඕන. එවිට සේඛබල දියුණුවෙනවා. සංවරභාවය ඇතිවන අයුරින් එකිනෙකාට උපකාර කරමින් වාසය කරන්නට ඕන. ඒ සඳහා එකිනෙකාට ගරුසරු ඇතිව වාසය කරන්නට ඕන. ඒ ඇතිවන සේඛබල දියුණු කර ගන්න පුළුවන්කම තිබෙන්නේ ඒ ධර්මයේ සඳහන් ප්‍රතිපදාව පුරුදු කර ගැනීමෙන්.
එකිනෙකාට උපකාර කිරීම මුල් කරගෙන අප තුළ සංවරකම ඇතිවෙන්නේ නැත්නම් සේඛබල ඇතිවෙන්නේ නැහැ. තමා තුළ සංවරකම ඇතිවෙන ආකාරයට අප එකිනෙකාට උපකාර කරන්නට ඕන. අප සංවර වන ආකාරයට අන් අයට උපකාර කරන්නේ කොහොම ද? මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඇති කරගන්න ඕන. ඒ ආකාරයට උපකාර කරන පුද්ගලයා සංවර වෙනවා. ඒ සඳහා මෙත්තා කරුණා, මුදිතා උපේක්ෂා කියන ඒ සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව වාසය කරන්නට ඕන. යම් කෙනෙකුට මෛත්‍රී සහගත සිතින් උදව් කළොත් ඒ නිසා තමන් සංවරවීමට පටන් ගන්නවා. ඒ වගේ ම කරුණාවෙන් යුක්තව මුදිතාවෙන් උපේක්ෂාවෙන් එකිනෙකාට උපකාර කරන කොට තමාව සංවර වීමට පටන් ගන්නවා.
අප වත්පිළිවෙත් කරනවා. මිදුල් අතුගානවා, වැසිකිළි සෝදනවා, නිවාස පිරිසුදු කරනවා. ඒ කටයුතු මුල්කරගෙන අන් අයට උපකාරයක් වෙනවා. ඒ උපකාරය අප තුළ සංවරවීම ඇතිවන ආකාරයට කරන්න පුළුවන්. එසේනම් කරුණාව, මෛත්‍රීය, උපදවාගෙන ඒ කටයුතු කළොත් අප සංවර වෙනවා. එසේ නැතිව අමනාපයෙන් අකැමැත්තෙන් අන් අයට උපකාර කළොත් සංවර වෙන්නේ නැහැ. එකට එක කරන ගතිය උපදිනවා. ගැටෙන හැඟීම් අකැමැති සිතිවිලි උපදිනවා. වංචා සහගත හැඟීම් උපදිනවා. අපට අකුසල් වැඩෙන ආකාරයට අන් අයට උපකාර කරන්න පුළුවන්. යම් යම් කටයුතු කරපු පමණින් ම කුසල් උපදින්නේ නැහැ. අප සමහර වෙලාවට ගොඩාක් වැඩ කරනවා. දවස පුරා වැඩ කරනවා. නමුත් කුසල් ඉපදිලා නැහැ. ඒ අකැමැති හිත ඉපදිලා තිබෙන්නේ. එක්කෝ ඔහු වැඩකට ඇලිලා ගිහිල්ලා, නැත්නම් පිරිසට ඇලිල ගිහිල්ලා එහෙම නැත්නම් ගැටුණු සිතින් වැඩ කරනවා. එහෙම කෙනෙක් තුළ කුසල් වැඩෙන්නේ නැහැ. ඔහු තුළ සංවරභාවය හට ගන්නේ නැහැ. සේඛබල උපන්නට තිබෙන ඉඩකඩ නැතිවෙලා යනවා. යම් පිරිසක් සංවර වෙන ආකාරයට කුසල් සිතින් වත් පිළිවෙත් කරනවානම් ඒ පිරිස එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කන්න ඕන. මෛත්‍රීය, කරුණාව, උපේක්ෂාව ආදී කුªසල් සිතිවිලි උපදවාගෙන එකිනෙකාට උපකාර කරන්නට එවිට පෙළඹෙනවා. එය ධර්මතාවයක්.
අප කල්‍යාණ මිත්‍ර ඇසුර අත්හැර ගන්නේත් නුවණින් කල්පනා නො කිරීම නිසාම යි. ඒ නුවණින් කල්පනා කිරීමේ හැකියාව වැහිලා යන්නේ රාගය, ද්වේශය, මෝහය මුල්වෙලා. කෙනෙකුට රාගය ඉපදිලා සිල් බිඳුනාම මගේ සිල් බිඳුනා කියා ඒක හඳුනා ගන්නවා. ද්වේශය ඉපදුණාම ඒකත් හඳුනා ගන්න පුළුන්කම තිබෙනවා. මට කේන්ති ආවා. මම බැන්නා කියලා. නමුත් මෝහය කියන්නේ කලක් ගිහිල්ලවත් හඳුනා ගන්න ඉතා ම අමාරු එකක්. මෝහය මුල්කරගෙන තමා මාන්නය කියන අකුසලය අපට ඇතිවෙන්නේ. මෝහයෙන් මුලා වුණොත් මාන්නයට හිත යට වුණොත් ඔහුට කල්‍යාණ මිත්‍ර ඇසුර නැතිවෙලා යනවා. ඒනිසයි කල්‍යාණ මිත්‍ර ඇසුර අපට අවශ්‍ය වෙන්නේ.
අප මේ ධර්මය පුරුදුකරගෙන යනවිට අපට සතුට සොම්නස පී‍්‍රතිය ඇතිවෙනවා. එවිට ඒ සතුට සොම්නස ඉපදුණේ කුමක් මුල්කරගෙන ද? අප ධර්මය කියන විට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවිට ධර්මය කතාකරන විට අපට සතුටක් උපදිනවා. ඒ වගේ ම භාවනාවක් කරන විට සැපයක් ඇතිවෙනවා. ඇයි ඒ? කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන්නේ සැප උපදවන කරුණු හතරක්.
මේ සෝතාපත්ති අංග හතර හඳුනාගන්න බැරි කෙනාට ධර්ම මාර්ගයේ ඉදිරියට යාමක් සිදුවෙන්නේ නැහැ. ඔහු කෙලෙස්මයි වඩන්නේ. මාන්නයම වඩනවා. ඔහු නුවණින් විමසල කරුණු තේරුම් ගන්නේ නැති නිසා ශ්‍රද්ධාවට එන්න අපහසුයි. ශ්‍රද්ධාව උපදවා ගන්න බැරිවෙනවා. එනිසා ඔහුට හිරි ඔතප්, ලජ්ජා, භය උපදින්නේ නැහැ. වීර්යය උපදින්නේ නැහැ. ප්‍රඥාව උපදින්නේ නැහැ. ඔහුට සේඛධර්ම උපදවා ගන්න බැරිව යනවා.
ඒනිසා අප කල්‍යාණ මිත්‍ර ඇසුර අතනොහැරෙන ආකාරයට ජීවිතයට සමීප කර ගැනීමට කල්පනා කළ යුතුයි. නුවණ පාවිච්චි කළ යුතුයි. කැමැත්ත උපදවාගෙන වාසය කළ යුතුයි. මේක අමාරු වැඩක්. තව කෙනෙකුගෙන් අසා වැඩ කරනවා කියන එක අමාරුයි. විමසනවා කියන එක අමාරුයි. මේ වගේ මාන්නයක් අපේ හිත් තුළ තියෙනවා. එනිසයි කලක් තිස්සේ අප සසරේ ගියේ. මේක කොහොමද කරන්නේ කියා අහන්න කෙනෙකුට අමාරුයි. එතරම්ම මේ හිත ජඩයි. තව කෙනෙකුගෙන් විමසන්නට අහන්නට කැමැති නැහැ. මේක තමා ඉස්මතු කර “මම දන්න කෙනා” කියන අදහස. ඒ අදහසේම වැජඹෙන්නට තමා මේ හිත කල්පනා කරන්නේ. ඒ නිසා අප එය අඳුනාගෙන කල්‍යාණ මිත්‍රයා අඳුනා-ගෙන ඔහුට නැඹුරු වූ සිතින් වාසය කරන්නට පුරුදු වුණොත් අපට මේ ධර්මය පුරුදු කරනවිට උපදින සැප සොම්නස ඒ ආකාරයට ලැබුණේ කියා කල්පනා කරන කොට විතරයි. එතනැම කළගුණ සැලකීම උපදිනවා. ඔහු ක්‍රමක ක්‍රමයෙන් දියුණුවට යනවා.

භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පැනවූයේ ඇයි?

අප ධර්මය ඉගෙන ගනිද්දීත්, සීලයක් සමාදන් වෙලා පුරුදු කරද්දීත්, බණ භාවනා හුරුවීමෙනුත් අපට ආඩම්බරය ඇතිවෙනවා නම් ධර්මය නිසා අපට භය තැතිගැනීම නම් උපදින්නේ, ඒ තිසරණයේ පිහිට අප අත්කරගෙන නැහැ කියා තේරුම්ගත යුතු යි.
භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු අටවෙනි වස්සානය ගත කළේ වේරඤ්ජාව කියන ප්‍රදේශයේ. ඒ සමඟ සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ රහතන් වහන්සේලා පන්සිය නමක් ද එහි වැඩ සිටියා. ඒ කාලයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේට කල්පනාවක් ඇතිවුණා. “කවර භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනයද චිරාත් කාලයක් පැවතුණේ?” කවර භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනය ද කෙටි කලකින් නැතිවෙලා ගියේ? කියල. ඊට පස්සේ භාවනාවෙන් නැඟී සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුණගැහිල වන්දනා කර අසා සිටිනවා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම විවේකීව ඉන්න විට මට මේ වගේ අදහසක් ඇති වුණා. ඒ තමයි “කුමන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනයද චිරාත් කාලයක් පැවතුනේ? කෙටි කලකින් නැතිවෙලා ගියේ කුමන භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයද? කියා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ කාරණය අපිට කියා දෙන සේක්වා කියල.
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් සාරිපුත්ත, විපස්සී, සිඛී, වෙස්සභු කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන චිරාත් කාලයක් පැවතුණේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසු, ඒ වගේම ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවීමත් සමඟම ඒ ශාසනය අතුරුදහන් වෙලා ගියා. පසුව ඒ ශාසනයට පැමිණි භික්ෂූන් වහන්සේලා, ශාසනය අතුරුදහන් වෙන්ට කටයුතු කළා. ඒ වගේ ම කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසන, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුත්, ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසුත් බොහෝ කලක් පැවතුණා.
ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අසා සිටියා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, විපස්සී, සිඛී, වෙස්සභු කියන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන, ඒ බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු, ඒ සම්මුඛී මහරහතන් වහන්සේලාගේ - පිරිනිවීමෙන් පසු අතුරුදහන්වීමට හේතුව? කාරණය මොකක් ද? ඒ වගේ ම ඒ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ද ඒ බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුවත්, ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුවත් චිරාත් කාලයක් පැවතීමට හේතුව , කාරණය මොකක්ද ? කියා.
ඊට පස්සේ අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පින්වත් සාරිපුත්ත, විපස්සී, සිඛී, වෙස්සභූ කියන ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ නවාංග ශාස්තෘ ශාසනය බොහෝ විස්තර වශයෙන් දේශනා කළේ නැහැ. ඒ වගේම උන්වහන්සේලා භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂාපද පැණෙව්වේ නැහැ. ඒ වගේ ම උන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට පණවා වදාළේ නැහැ. මෙන්න මේ කාරණා හේතු කරගෙන උන්වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු, ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු ඒ ශාසන අතුරුදහන් වුණා. නමුත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, මේ නවාංශ ශාස්තෘ ශාසන විස්තර වශයෙන් දේශනා කළා. ඒ වගේ ම සංඝයා වහන්සේලා උදෙසා ශික්ෂාපද දේශනා කළා. ශික්ෂා පද පැනෙව්වා. ඒ ශික්ෂාපද ගැන කියා දුන්නා. ඒ වගේ ම ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද අනුදැන වදාළා. මෙන්න මේ කාරණා තුන මුල්කරගෙනයි ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනය උන්වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුත්, ඒ සම්මුඛී මහරහතන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුත් බොහෝ කලක්,චිරාත් කාලයක් පැවතුණේ, ම කියල.
ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එහෙනම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පිහිටුවා වදාළ බුද්ධ ශාසනයත් චිරාත් කාලයක් පැවතීම පිණිස, ශික්ෂාපද පණවන සේක්වා. ප්‍රාතිමෝක්ෂය පණවන සේක්වා” කියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් සාරිපුත්ත, දැන්මම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ නැහැ. ඒකට නියම කාලය උදාවෙනවා. අන්න එහෙම නියමිත කාලය උදාවෙන තෙක් භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ නැහැ කියල. ඊට පස්සේ සම්බුද්ධත්වයෙන් අවුරුදු විස්සක් ගතවුණායින් පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද පනවන්නට පටන් ගත්තේ.
භාග්‍යවතුන් වහන්සේ කුමන අරමුණක් මුල්කරගෙනද මේ ශික්ෂා පද පැනෙව්වේ කියල. දැන් ඔබ සියලු දෙනා මේ ශික්ෂා පද සමාදන් වෙලා ඒ ශික්ෂා පද වලට පැමිණ වාසය කරන්ට කැමැත්තෙන් තමයි සිටින්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ශික්ෂා පද පැනෙව්වේ කුමක් අරමුණු කරගෙනද? මේ ශික්ෂාපද මේ අය සමාදන් වෙලා ආඩම්බර වෙත්වා. ජනයා අතර ප්‍රසිද්ධ වෙත්වා. ජනපි‍්‍රය අය බවට පත්වේවා, ඉස්සර වෙලා ශික්ෂා පද සමාදන් වූ පිරිස පස්සේ ශික්ෂා සමාදන් වූ කට්ටියගෙන් ගරුසරු ලබත්වා, ආදි දේ සඳහා ද භාග්‍යවතුන් වහන්සේ ශික්ෂා පද පනවා වදාළේ?
එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ නවාංග ශාස්තෘ ශාසනය පිහිටුවා වදාළේ කුමක් අරමුණු කරගෙන ද? ඒ ශික්ෂා පද පැනෙව්වේ කුමක් අරමුණු කරගෙන ද? ඒ ප්‍රාතිමෝක්ෂය දෙසීම පැනෙව්වේ කුමක් අරමුණු කරගෙන ද? අප ඒ අර්ථයටයි පිවිසිලා වාසය කරන්නට ඕන. ඒ අර්ථයට පිවිස වාසය නො කළොත් අප අනර්ථය කරාමයි, වැනසීම කරාමයි යන්නේ.
ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අනුශාසනාව ඉගෙන ගෙන, උන්වහන්සේ ශ්‍රාවකයාගෙන් කුමක්ද අපේක්ෂා කළේ කියන දේ තේරුම් ගන්ට ඕන. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සම්මුඛී රහතන් වහන්සේලාගේ, ඒ ශ්‍රාවකයින් වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසුව මේ ශාසනය බොහෝ කලක් පවතීවා කියන අදහසින් තමයි මේ ශික්ෂා පද පැනෙව්වේ. මේ නවාංග ශාස්තෘ ශාසනය පිහිටුවා වදාළේ, මේ ප්‍රාතිමෝක්ෂය උදෙසීම අනුදැන වදාළේ. එහෙනම් මෙන්න මේ කාරනා තුන අප තේරුම් ගන්ට ඕන. මේ කාරණා තුන අප පිළිගන්ට ඕන. එසේ පිළිගත්ත කෙනා ඒ පිළිගන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කාරුණික අවවාදයි.
ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ චිරපැවැත්ම පිණිස යම් ක්‍රමවේදයක්ද අනුගමනය කළේ එය භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය යි. මේ ශාසනය පිහිටුවේ භාග්‍යවතුන් වහන්සේ. මේ ශාසනය සුරක්ෂිත වෙන විදිය දන්නෙත් භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය සුරැකීම පිණිස, චිරාත් කාලයක් පැවතීම පිණිස, යමක් අනුදැන වදාළේද ඒක අපි පිළිගත්තොත්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිඅරගෙන එයට අනුව කටයුතු කිරීම පිණිස හිත පිහිටුවා ගත්තොත්, ඔහුට අවස්ථාවක් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්ට.
එහෙනම් ඔබලා ශික්ෂාවට කැමති වෙනවා නම් කැමැති වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව ඉටු කරන්නටයි. ප්‍රාතිමෝක්ෂය දෙසීමට කැමති වෙනවානම් කැමැති වන්නේ් භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව ඉටු කරන්ටයි. ඉතින් ඔබලා ඒ නවාංග ශාස්තෘ ශාසනය බොහෝ අයට කියාදෙමින් එයට හානි නොවන ආකාරයෙන් කටයුතු කරන්ට කල්පනා කරනවා නම් ඒ ඔබලා කැමැති වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව ඉටුකරන්ට යි. එවිට භාග්‍යවතුන් වහන්සේ සමඟ වාසය කරන කෙනෙක් බවට පත්වෙනවා. එහෙම නැත්නම් අප ඒ ධර්මය ඉගෙන ගන්නවා. නමුත් කවුද මේ ධර්මය කියල දුන්නේ කියලවත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ ධර්මයම අරගෙන අප ආඩම්බරය ඇති කර ගනී. එපමණයි සිදුවෙන්නේ. ඒ අවාසනාවන්ත ඉරණමට අපි ගොදුරුවීමේ ඉඩකඩ වැඩියි. ඇයි ඒ? මේ ලෝකේ අධිපති භාවයට පත්වෙලා ඉන්නේ මාරයා. ඒ මාරයාගේ වසඟයේ තමා සාමාන්‍ය මනුස්සයා නිතරම ඉන්නේ. මේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියන ආයතන හය මාර වසඟයේ තමයි තියෙන්නේ. කීකරු වෙන්ට නම් මාන්නය අයින් වෙලා යන්ට ඕන. නිහතමානීකම ඇතිකර ගන්ට ඕන. මාන්නය තියාගෙනම අප කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන කාරණය කරන්න කල්පනා කළොත්, කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක නිවැරැදිව සිද්ධ වෙලා යන්නේ නැහැ. ඒ නිසා මේ අකුසල සහගත ස්වභාවයට ගොදුරුවීමේ ඉඩකඩ වැඩියි. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලෙත් මේවා බහුලව සිදුවුණා. එහෙනම් අද සිදු නොවී තියෙයි ද? අද ඊට වඩා සිද්ධ වෙන්න පුළුවන්. ඇයි, අද ප්‍රඥාවෙන් දුබල වූ මනුස්ස වර්ගයා තමයි ඉන්නේ. ප්‍රඥාව දුබල කරන දේට ම තමයි සමාජය විසින් මනුස්සයා පොළඹවන්නේ. ප්‍රඥාව ඇති කරණ ස්වභාවයට මනුස්ස වර්ගයා පොළඹවන ස්වභාවය ඉතා අඩුයි. එහෙනම් එබඳු ස්වභාවයක් තුළ අපිට අමාරුවේ නොවැටෙන්ට තියෙන ඉඩකඩ ඉතා අඩුයි.
එහෙනම් අපි රැකෙනව නම් රැකෙන්ට තියෙන එකම තැන තමයි කීකරුකම. කීකරු කෙනාට, අතිශයින්ම කීකරු කෙනාට, බොහෝ සෙයින් කීකරු කෙනාට, බොහෝ ප්‍රතිලාභ ලබාගන්ට පුළුවන්කම තියෙනවා. අකීකරු කෙනාට බොහෝ ප්‍රතිලාභ අහිමිවීමයි තියෙන්නේ. ඒ නිසා අපි කැමති වෙන්නේ ඔබලා කීකරුකම කියන කාරණාවට කැමතිවෙනවාට යි. අන්න එසේ කීකරුවෙන කෙනා භාග්‍යවතුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ ශාසන චිරාත් කාලයක් පැවතීම උදෙසා යම් ක්‍රමවේදයක් හඳුන්වා දුන්න නම් පිහිටුවා වදාළ නම් අපට ඒ ගැන අනුශාසනා කළා නම්, අන්න ඒ දේ හිස් මුදුනින් පිළිඅරගෙන, තමන් අතින් ඒකට කවදාවත් හානියක් සිදු නොවන ආකාරයට කටයුතු කරන්ට සිත් පිහිටුවා ගනිවී.
නයනා නිල්මිණි

කාමයේ වරදවා නො හැසිරීමෙහි ආනිසංස

1. සතුරන් නැත්තෙකු වීම 
2. සියලුම දෙනා ප්‍රිය කරන්නෙකු වීම 
3. ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම 
4. සැපසේ නින්දයාම.
5. අපායට භය නැත්තෙකු වීම.
6. ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම.
7. ඒ ඒ දෙය පරීක්ෂා කරන්නෙකු වීම.
8. කර නොබාගත් කෙනෙකු වීම.
9. සැප විහරණ ඇත්තෙකු වීම.
10. සැපසේ පිබිදීම.
11. අහාරපාන , ඇඳුම් පැළඳුම් හෝ ඉඳුම් හිටුම් අඩුපාඩු නොවීම.
12. කාන්තා, නපුංසක හෝ උභතෝ ලක්ෂණයට පත් නොවීම.
13. සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම.
14. ඔවුනොවුන්ට ප්‍රියමනාප අඹුසැමියන් ලැබීම.
15. පිරිපුන් ඉඳුරන් ඇති බව.
16. සැක නැති පුද්ගලයෙකු වීම.
17. මහන්සි නොවී ධනය ලබන්නෙකු වීම.
18. ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම.

සද්ධර්ම ශ්‍රවණයෙන් සෝවාන් විය හැකිද..?

"සතර මසක්‌ මුළුල්ලේ තමන් වහන්සේට දන් පිළිගැන්වූ උපාසිකාවගේ සිත තම සිතින් දැනගත් මලියදේව මහ රහතන් වහන්සේ දහම් පද දෙක - සුවපත් වේවා, දුකින් මිදේවා" අළලා ත්‍රිපිටකය ඇසුරින් පසුදා පහන් වනතුරු ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයේ දී දන් පිළිගැන්වූ උපාසිකා තොමෝ දහසක්‌ නයින් ප්‍රතිමණ්‌ඩිත සෝවාන් ඵලයෙහි පිහිටියාය".

(සෝවාන් මග ඵල ලාභියකු වීමේ පිළිවෙත 117 පිට)

සේවාන් හෙවත් සෝතාපන්න යන්න සුමංගල ශබ්ද දෝෂය හඳුන්වා ඇත්තේ ශ්‍රොත ආපන්න - නිවන් කර ගෙන යන ආර්ය මාර්ගය නමැති සැඩ පහරට පැමිණි" වශයෙනි. "සෝවාන් වීම යනු ගොතභූ ඥනයෙන්" පෘථග්ජන ගෝත්‍රය ඉක්‌මවා" සෝවාන් හෙවත් සේඛ යන ආර්ය තත්ත්වයට පත්වන්නායි. ඔහු අටවරක්‌ නූපදින බව "නතෙ භවං අට්‌ඨමං ආදියන්ති" තථාගත දේශනාවයි. එසේම ඔහු අපායගාමී සියලු අකුසලයන්ගෙන් වැළකී සුගතිගාමී කුසල් කර අපාගත නොවෙයි. කෙනෙකුට මරණින් මතු අපාගත නොවීමට නම් සෝවාන් විය යුතුම බව තථාගතයන් වහන්සේගේ සහතිකයයි. සෝවාන් නොවූවන්ට ඒ සහතිකය නම් නැත.

සත්‍ය සතර අවබෝධයෙන් සෝවාන් වූ අයකුට විඳීමට සිදුවන දුක ප්‍රමාණය ස.නි. නබසිකා සූත්‍රයේ වදාරා තිබේ. සෝවාන් වූවෙකුට විඳීමට සිදුවන දුක්‌ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ නිය පිට ඇති පස්‌ වලට සමාන බවත්, අඳබාල සහ පෘථග්ජන යන දෙදෙනාට විඳින්නට සිදුවන දුක්‌ ප්‍රමාණය මහ පොළොවේ වැලිවලට සමාන බවත් උපමා කිරීමයි. එවැනි තවත් උපමා 10 ක්‌ දේශනා කර ඇත.

සෝතාපත්ති අංග හතරින් සද්ධර්ම ශ්‍රවණය එක්‌ සෝතාපත්ති අංගයක්‌ ලෙස ස.නි. මහා ප්‍රඥ සූත්‍රයේ ද, දීඝනිකායේ සංගිති සූත්‍රයේ ද අ.නි. චතුක්‌ක නිපාතයේ ම.නි.ආ.ච. බහුපකාර සූත්‍රයේ ද තවත් සූත්‍ර වල ද දේශනා කර ඇත.

මෙහිදී "ධම්ම" යන්න ධ. සංගණීපකරණ අට්‌ඨ කථාව අරුත් දෙන්නේ "ධරාණුයි" අඳුරෙන් එළියට ගෙනයන හා අපායට යා නොදී දරාගෙන සිටිනු ධම්මයි. ධර්ම යන්න විභංග අට්‌ඨ කථාව පැහැදිලි කරන්නේ යම් හෙයකින් ආර්ය සත්‍යයන් අවිපරිත ස්‌වභාව වන බැවින් ධර්ම ශබ්දය තෙමේ ආර්ය සත්‍යයන්හි වේද එහෙයින් ධර්මයෙහි ඥනය නම් සත්‍ය විෂය ඥනයයි. නොහොත් සංඛත ධර්මයන්ට (හේතු ප්‍රත්‍ය දෙකින් හටගත්) උත්තරීතර වූ ආර්ය මාර්ගයත් ආර්ය ඵලයත් යතානු ශිෂ්ට ප්‍රතිපන්නයන් අපාය දුගතීන්හි නොයන්නට ධරාද එහෙයිනුදු ධර්ම නම්, ඒ නිශ්‍රයභූත ආර්ය ඵලයෙහි ප්‍රවෘත්ති වූ තද් සහගත වූ ප්‍රඥ තොමෝ ධර්මඥන නම්, "ධම්ම නම්. (සතර අපායේ දොර වසනුයි) ධර්ම නම්, කුමන ධර්මයක්‌ද, යමෙක්‌ පටිච්ච සමුප්පාද ධර්ම දකීද, හේ ධර්මය දකී. යමෙක්‌ ධර්මය දකීද හේ පටිච්ච සමුප්පාද ධර්මය දකී. යෑයි ම.නි. මහා හත්ථි පදොaපම සූත්‍රයේ දේශනා කර ඇති පරිදි, චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධය සඳහා පටිච්ච සමුප්පාද ධර්මයේ අංග 12 ප්‍රඥවෙන් අවබෝධ විය යුතු බවයි, ආයතන ධාතු 18, පංච උපාදානස්‌කන්ධ සයෝජන 10, නීවරණ 05, සමථ විපස්‌සනා මඟින් ත්‍රිලක්‍ෂණ අවබෝධය, ධර්මය දැකීම, නිවන් දැකීමයි. යම් ධර්ම දේශනාවක්‌ සුතමය ප්‍රඥවත්, සද්ධාව නැතිය වූන්ගේ සද්ධාව ඇති වීමටත්, සද්ධාව ඇතිවූවන්ගේ සද්ධාව ආකාරවතී සද්ධාව දක්‌වා වර්ධනයටත් උපකාර වේ නම් එම සද්ධර්ම දේශනා වලට සවන් දී සෝවාන් වේ. මහා සාරෝපම සූත්‍රයේ වදාරා ඇති පරිදි සද්ධර්මයේ අරමුණ, හරය වන්නේ මේ දහම් කරුණුය. සෙසු දහම් කරුණු අරටුව තිබිය දී කොළ, අතු, පොතු, සිවිය, පලය හා සමාන බැව් බුද්ධ දේශනාවයි.

එසේනම් සෝවාන් වීම සඳහා උපයෝගී වන මේ ධර්ම කරුණු ධර්ම දේශනාවලින් ශ්‍රවණය කළ යුතුය. එපමණක්‌ නොවේ, හෙතෙම දස අකුසලයෙන් නොවැළකී කොතරම් ධර්මය ශ්‍රවණය කළත් එය හිල් භාජනයකට ජලය පිරවීමක්‌ හා සමාන වන්නේය. නිකාය ග්‍රන්ථයන්හි අප්‍රමාණ සූත්‍ර සංඛ්‍යාවක මේ දස අකුසල දේසනා කර තිබෙන්නේ කවර සෝවාන් අංගයකින් වුවද සෝවාන් වීම සඳහා කඩ නොකළ යුතු බැවිනි. (කයින් 3, වචනයෙන් 4, සිතින් 3 කෙනෙකු ගේ ප්‍රඥව වැඩෙන ආකාර තුනකි. එනම්, සුතමය ප්‍රඥ, භාවනාමය ප්‍රඥ හා චිත්තාමය ප්‍රඥයි. සෝතාපත්ති අංග 4 න් සත් පුරුෂ ආශ්‍රයෙනුත්, සද්ධර්ම ශ්‍රවණයෙනුත් සූතමය ප්‍රඥව ලැබේ.

සුතමය (ඇසීමෙන් ලැබෙන) ප්‍රඥව

පරතොඝොෂයෙන් "තංසුනාථ සාධුකං මනසිකරෝත" අසා හොඳින් මෙනෙහි කරන්න. (වචනයෙන් මනා කොට උපදවන ලද යම් ප්‍රඥවක්‌ ඇද්ද මේ සුතමය ප්‍රඥවයි). පරතොසොෂයෙන් යම් ප්‍රඥවක්‌ උපදීද මේ ශ්‍රැතමය ප්‍රඥයි. ධර්ම ශ්‍රවණයෙන්, ධර්මය සාකච්ඡා කිරීමෙන් සුතමය ප්‍රඥව ලැබේ. එහි යම් කුසල මූලයක්‌ වේද එය සූතමය ප්‍රඥව සපුරාලයි. සූතමය ප්‍රඥව සම්පූර්ණ වූවා සවිතත්ක සවිචාර සමාධිය පුරයි. සමථ නිමිත්ත පුරයි. සමථ නිමිත්ත පරිපූර්ණ වූයේ නෙක්‌ඛම්ම විතර්කය පුරයි. ප්‍රඥව ශක්‌තිමත් වූ විට, ගැඹුරු වූ විට, සමාධිය වැඩි දියුණු වී නිශ්චලව පවතී. මෙවන් ආනිශංස, සූත්‍ර අභිධර්ම ග්‍රන්ථ පරිශීලනයෙන්ද කෙනෙකුට සෝවාන් විය හැකිය. ධර්ම ඥනය ලැබේ. අමාදියෝ සොළෝ. ලෙරිස්‌ මහතා එසේ සෝවාන් වූ බව සෝවාන් මඟ ඵල ලාභියකු වීමේ කෘතියේ 174 පිටුවේ දැක්‌වේ. පෘථග්ජනයෝ මනුෂ්‍ය, දිව්‍ය, රූපාවචර, අරූපාවචර, බ්‍රහ්ම ලෝක වල (ශුද්ධාවාස බඹලොව 5 හැර) දක්‌නට ලැබේ.

සෝවාන් යනු සේඛ හෙවත් ආර්ය තත්ත්වයට පත්වන්නායි. පෘථග්ජනයා තුන් වර්ගයකට බෙදා අ.නි. පුද්ගල වර්ගයේ දේශනාකර තිබේ. අන්ධබාල පෘථග්ජන, කල්‍යාණ පෘථග්ජන වශයෙනි. මේ තිදෙනා උපමා කර ඇත්තේ පිළිවෙලින් ඇස්‌ දෙකම නොපෙනෙන අන්ධයා, එක ඇසක්‌ පෙනෙන අන්ධයා සහ ඇස්‌ දෙකම පෙනෙන්නාට ය. එහි කල්‍යාණ පෘථග්ජනයා හඳුන්වා ඇත්තේ පෙර කී සෝවාන් අංග 4 න් එකකින් මාර්ග විදර්ශනාවට බැසගැනීම පතන්නා වශයෙනි (ම.නි.ප. 429) අනෙක්‌ දෙදෙනාම ධර්මාවබෝධය නොලබන්නේ ය.

ධර්ම ශ්‍රවණය කරන්නා වූ තිදෙනෙකු පිළිබඳව අංගුත්තර නිකායේ 3 පණ්‌ණාසකයේ පුද්ගල වර්ගයේ පැහැදිලි කර ඇත. මේ තිදෙනාම ආරාමයට ගොස්‌ භික්‍ෂූන් වහන්සේලා දේශනා කරන දහම් මුල අග යහපත් අර්ථවත් ව්‍යංජනවත් බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරන ධර්මයට සවන් දෙත්. එහෙත් එක්‌ අයෙක්‌, මුල මැද අග මෙනෙහි නොකරයි. කට යටට හැරවූ කළයක්‌ මෙන් කිසිවක්‌ නොරැඳෙයි. ඔහු අවකුච්ඡ පඥය. තවකෙක්‌ ඒ ධර්ම අසයි මුල මැද අග මෙනෙහි නොකරයි. ඔහු හිඳගෙන සිට නැඟිටින විට ඔඩොක්‌කුවේ තිබූ යමක්‌ නොසැලකිල්ලෙන් නැගිට ගියාක්‌ මෙන් සියල්ල එතන දමායයි. ඔහු උච්චංග පඥය, තෙවැන්නා උතුම්ය. ඔහු ශ්‍රවණය කළ ධර්මය මුල මැද අග එතනදීත් පසුවත් මෙනෙහි කරයි. ඔහු කළය පුරවාගෙන යයි. ඔහු ප්‍රථුපඥය.

සද්ධර්ම ශ්‍රවණයෙන් ලබන ප්‍රඥා 13 කි. පෘථුල ප්‍රඥව, විපුල ප්‍රඥව, ගාම්භීර ප්‍රඥව, අසාමන්ත ප්‍රඥව, භූරි ප්‍රඥව (පොළව හා සමාන) ප්‍රඥබාහුල ප්‍රඥව, ශීඝ්‍ර ප්‍රඥව, ලහු ප්‍රඥව, භාසු ප්‍රඥව, ජවන ප්‍රඥව හා තීක්‍ෂණ ප්‍රඥයි.

සද්ධර්ම ශ්‍රවණයෙන් කුසල් රැස්‌ කෙරේ. සිත පිරිසිදු කෙරේ. එසේ වීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්නාගේ සිතේ හටගත යුතු චෛතසික ධර්ම 52 ජාතක පොතේ මහා නාරද කාශ්‍යප ජාතකයේත්, අභිධර්මයේ ධම්ම සංගණීපකරණයේත් දැක්‌වේ.

ධර්ම ශ්‍රවණයෙන්

අස්‌සුතං සුනාථ } නොඇසූ දේ අසන්නට ලැබේ.

සුතං පරියෝදපේත } කලින් අසා තිබූ ධර්ම කරුණු වඩාත් තහවුරු වේ.

කංඛං විතරථ } කලින් ඇසූ ධර්මයෙහි යම් සැකයක්‌ වී නම් පහව යයි.

දිට්‌ඨිං උජුං කරොත } දෘෂ්ටිය සෘජු වෙයි.

චිත්ත මස්‌ස පසීදතී } සිත පිරිසිදු වේ.

01. අස්‌සුතං සුනාථ - නොඇසූ දේ අසන්නට ලැබේ.

නොඇසූ දේ අසන්නට ලැබීම, ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද රහතන් වහන්සේ සිය උදාන ගාථාවක මෙසේ ප්‍රකාශ කර ඇත. බුදු සමිඳුන්ගෙන් ධර්ම ස්‌කන්ධ අසූ දෙදහසක්‌ මං ලබාගත්තා. ශ්‍රාවකයන්ගෙන් දෙදහසක ධර්මස්‌කන්ධයක්‌ මං ලබාගත්තා. මං ප්‍රගුණ කරගත්ත ධර්මස්‌කන්ධ අසූ හාරදහසක්‌ (ථෙරගාථා 1029) ධර්ම ඥනයෙන් නැති කෙනා හැදෙන්නේ හරකෙක්‌ වගේ. ඔහුගේ වැඩෙන්නේ මස්‌ විතරයි. ඔහුට ප්‍රඥව වැඩෙන්නේ නෑ. (ථෙරගාථා 1030) ධම්මේන හීනඃ පශුහීර් සමාන( ධර්මයෙන් හීන වූයේ තිරිසනෙක්‌ වැනිය.

ධර්මස්‌කන්ධ ප්‍රමාණය සලකා බලනවිට කෙනකුට සිය ජීවිත කාලයම කැප කළත් ඒ සද්ධර්මය, කියවා නිම කළ නොහැකිය.

එහෙත් යමෙක්‌ සෝවාන් වීමට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සියල්ල අසා දැනගැනීමේ අවශ්‍යතාවයක්‌ නැත. (අවශ්‍ය ධර්ම කරුණු පෙර සඳහන් කෙරුණි). ඇමරිකාවේ වෙසෙන එක්‌කෝටි අසූලක්‍ෂයක්‌ බෞද්ධයන් අතුරින් සියයට අසූපහක්‌ සූත්‍ර පිටකයේ මජ්ධිම නිකාය සූත්‍ර 152 ම කියවා ඇති බවත් ඉතිරි සියයට 15 එහිම මූල පණ්‌ණාසකයේ සූත්‍ර 52 කියවා ඇති බවත් ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. මෙම සංඛ්‍යාව මහාචාර්ය චන්දන ජයරත්න විසින් ද තහවුරු කර ඇත. (2011.5.22 සිළුමිණ) පෙර සඳහන් කළ අමාදියො සෝලෙ ලෙරිස්‌ මහතා කියවා ඇත්තේ චතුරාර්ය සත්‍ය අඩංගු පිටු අනූවකින් යුත් කුඩා ධර්ම ග්‍රන්ථයකි, කෙනෙකුට සෝවාන් වීමට මඟ පෙන්වා නොදෙන ග්‍රන්ථ, ධර්ම ග්‍රන්ථ වශයෙන් සැලකිය හැකිද? යමෙක්‌ චතුරාර්ය සත්‍යය පිරිසිද දක්‌නා ලද්දේ නම් එයින් සෑහීමකට පත්විය හැක. මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධය සඳහා ධර්ම ශ්‍රවණය කළ යුතුය. අවශ්‍ය වන්නේ ප්‍රඥවෙන් ධර්ම ශ්‍රවණයයි.

02. සුතං පරියෝ දපේති - කලින් අසා තිබූ ධර්ම කරුණු වඩාත් තහවුරු වේ.

ඇසූ දහම් නැවත නැවතත් ශ්‍රවණය කරන විට හෝ මෙනෙහි කරන විට වඩා හොඳින් කරුණු අවබෝධ වේ. කෙටියෙන් දෙසූ ධර්ම කරුණක්‌ සවිස්‌තරාත්මකව අසනවිට වඩාත් හොඳින් අවබෝධ වේ. බුදුරජාණන් වහන්සේ උපමා උපමේය භාවිත කළේ ඇසූ ධර්ම කරුණු වඩාත් හොඳින් සිතේ ධාරණය වීම සඳහාය. මනුෂ්‍යත්වයක්‌ ලබා ගැනීමේ දුර්ලභ බව කීමට එකැස්‌ ඇති කැස්‌බෑවා වර්ෂ 100 කට වරක්‌ විය සිදුරින් එළිය දැකීමට උපමාකර ම.නි. ධාතු විභංග සූත්‍රයේ වදාළ සේක. ගැඹුරු ධර්ම දේශනාවක්‌ නම් පටිගත කර තබාගෙන නැවත නැවත ශ්‍රවණය කරන විට හොඳින් අවබෝධ වේ. මේ ලේඛකයාට ඒ පිළිබඳ හොඳ අත්දැකීමක්‌ ඇත). මීට වර්ෂ 40 කට පමණ පෙර ඇරඹූ ධර්ම ශ්‍රවණ පිපාසය තවම සංසිඳී නැත. 1910 ජනවාරි මාසයේ 4 දා අතිපූජ්‍ය පැලෑනේ වජිරඥන නාහිමිපාණන්වහන්සේ දේශනා කළ මාර්ග සත්‍යය පිළිබඳ දීර්ඝ ධර්ම දේශනාවක්‌ කියවීමට ලැබිණි. ඒ ධර්ම දේශනාව කියවීමෙන් මාර්ග සත්‍යය පිළිබඳ පෙර ධර්ම දේශනා ගණනාවකින් අසන්නට හා සූත්‍ර ගණනාවකින් කියවන්නට නොලැබුණු හරවත් අර්ථවත් ගැඹුරු දහම් කරුණු එකතු කර ගැනීමට (මට) අවස්‌ථාව ලැබිණි.

03. කංඛං විතරති - කලින් ඇසූ ධර්මයෙහි යම් සැකයක්‌ වී නම් පහව යයි

යම් ධර්ම දේශනාවක්‌ ශ්‍රවණය කර එහි යම් ධර්ම කරුණක්‌ පිළිබඳ සිතේ සැකයක්‌ හටගැනීමට පුළුවන. උදා( වේදනානු පස්‌සනාව හෝ පංචස්‌කන්ධයේ එක්‌ ස්‌කන්ධයක්‌ ගෙන විදර්ශනා වඩන විට එය ඥත පරිඥ, තීරණ පරිඥ, පහාන පරිඥ වශයෙන් (විදුර ජාතකය) හා වේදනානුපස්‌සනාව වඩා නිවන් අවබෝධය ග්‍රන්ථය. බෙදා දැක්‌වීම කෙසේ සිදුවේද, නිවැරදි බෙදීම කෙසේද, යනාදී වශයෙන් සැක ඇති විය හැක. එවැනි ධර්ම දේශනා කිහිපයකට සවන් දීමෙන් සැක නැති කරගත හැකිය. ධර්මයේ මෙසේ පරිඥ ත්‍රයට බෙදීම දක්‌වා ඇතත් ධර්ම දේශනාවකදී අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

එබැවින් නැවත නැවතත් ධර්ම ශ්‍රවණය කරන විට ඇසූ ධර්ම කරුණක්‌ පිළිබඳ හෝ සැකයක්‌ සිතේ පැවතුණේ නම් ඒ සැකය සද්ධම්මං සොතු මිච්චති ධර්මය අසන්නා බොරුවෙන් මුදයි. විචිකිච්ඡාව පහව යන්නේය. එපමණක්‌ නොව කම්ම ස්‌සකථා සම්මා දිට්‌ඨියත්, මග්ග සම්මා දිට්‌ඨියත් සෘජුවී සෝවාන් මාර්ගයට පිළිපන්නකු තුළ ඇතිවිය යුතු ආර්ය සම්මා දිට්‌ඨිය පහළ වන්නේය.

04. දිට්‌ඨිං උජුං කරොති - සිත මිථ්‍යා දිට්‌ඨියෙන් සම්මා දිට්‌ඨියට හැරෙයි

ධර්ම ශ්‍රවණයෙන් දිට්‌ඨිය සෘජුවන බව මෙයින් ප්‍රකාශිතය. දිට්‌ඨිය සෘජු වෙනවා යනුවෙන් වදාරා ඇත්තේ පෙර සඳහන් කළ ධර්මය කෙරෙහි ඇති සැක සංකා දුරුවී ආර්ය මාර්ගයට අවතීර්ණ වන බවයි.

05. චිත්ත මස්‌ස පසීදති - ධර්මය අරමුණු කොට සිත ප්‍රසන්න වෙයි

ධර්ම ශ්‍රවණයෙන් කෙනෙකුගේ සිත තුළ ඇති වන ප්‍රසන්න භාවය ප්‍රකාශ කිරීමට සමහර අයට නොහැකිය. (එහෙත්) සතුට මුහුණින් පෙනේ. අ.නි. භණ්‌ඩුර වග්ගයේ සූත්‍රයේ මෙසේ වදාරා ඇත. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය ස්‌වාක්‌ඛාතය, සංඝයා සුපටිපන්නය යන මෙය ඔබලාගේ සන්තුෂ්ටියට සුදුසුයි. සතුටට සුදුසුයි. සොම්නසට සුදුසුයි. තමන් 

වහන්සේගේ ශ්‍රාවකයන් විසින් කරන ලද ධර්ම දේශනාවලට සවන් දුන් අප බුදුරජාණන් වහන්සේ නොයෙක්‌ වර සාදුකාර දී ඇති බව සූත්‍රයන්හි දැක්‌වේ. පිලෝතික නම් පිරිවැජියෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර එය මෙනෙහි කරමින් ආපසු යන විට ජානුස්‌සෝණි නම් බමුණාව මුණගැසිණි. ඔබ කොහි සිට එන්නේදැයි බමුණා ඇසූ විට බුදුරජාණන් වහන්සේ හමුවී ධර්ම ශ්‍රවණය කර එන බවත් උන්වහන්සේගේ ඤාණ පද 04 ක්‌ පිළිබඳ විස්‌තර පිලෝතිකගෙන් ඇසීමෙන් අපරිමිත සතුටට පත් ජානුස්‌සෝණි බමුණු තෙමේ තමා ගමන් කළ සුදු වෙළෙඹියන් යෙදූ රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ සිටින දිශාවට හැරී ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්‌කාරය වේවායි. නමස්‌කාර කර නිවසට ගොස්‌ වෙනත් දිනක බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ පිලෝතිකගෙන් දැනගත් ඤාණ 4 කීවේය. ඒ අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට චුල්ලහත්ථි පදොaපම සූත්‍රය වදාළ සේක. ධර්ම දේශනාව අවසානයේ ධර්ම ශ්‍රවණයෙන් තමා තුළ හටගත් ප්‍රීතිය ජානුස්‌සෝණි බමුණා ප්‍රකාශ කළේ මෙසේය. භාග්‍යවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපතියි, තෙවරක්‌ කියා භාග්‍යවත් ගෞතමයන් වහන්සේ යටිකුරුව තිබූ කළයක්‌ උඩුකුරු කර විවෘත කර පෙන්වන්නා සේද, මං මුළා වූවෙකුට හරිමඟ කියා දුන්නාසේද, වැසී තිබුණු නිධානයක්‌ විවෘත කලා සේද, ඇස්‌ ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයේ සිටියකුට තෙල් පහනක්‌ දැල්වූවා සේද භවත් ගෞතමයන් වහන්සේ අනේක පරියායෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ මම අද පටන් භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයා ද සරණ යමි. භගවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට තිසරණ සරණ ගිය උපාසකයකු කොට දරන සේක්‌වායි ප්‍රකාශ කළේය. (ආර්ය තත්ත්වයට පත්වීම)

ධර්ම ශ්‍රවණය සඳහා උන්වහන්සේ ළඟට පැමිණි බොහෝ අන්‍ය තීර්ථක, බමුණු, පිරිවැජි ආදීන් ධර්මදේශනාව අවසානයේ තමන්ට ධර්මය අවබෝධ වීමේ ප්‍රීතිය මේ ආකාරයෙන් (ධර්මාව බෝධය) මේ උදාහරණ හතර දෙමින් ප්‍රකාශ කර ඇති බව බොහෝ සූත්‍ර වල අග දැක්‌වේ. උදාහරණ වශයෙන් සුප්‍රසිද්ධ දරුණු ආලවක යක්‍ෂයාද (ආලවක සූත්‍රය) බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා සරණ ගියේ මේ ආකාරයෙනි. ඉන් පසු මේ යක්‍ෂයා මිනීමස්‌ අනුභවය නතර කර තෙරුවන් ගුණ ගමක්‌ ගමක්‌ නගරයක්‌ නගරයක්‌ පාසා ප්‍රචාරය කරන බව ප්‍රකාශ කළේය.

06. අමතක වූ දේ මතක්‌ වෙයි

පංච නීවරණයන් ගෙන් සිත වැසී ඇති බැවින් වරක්‌ ඇසූ පමණින් ගැඹුරු ධර්ම කරුණු සිතේ රඳවා ගැනීම පෘථග්ජනයාට පහසු කටයුත්තක්‌ නොවේ. කොපමණ මෙනෙහි කළද මතකයට නොඒ. ඇතැම් ගැඹුරු ධර්ම කරුණු වරක්‌ ඇසූ විට යටි සිතේ රැඳෙයි. එහෙත් කොතරම් උත්සාහ කළත් මතුපිටට නොඒ. යටි සිතේ තැන්පත්ව ඇති එවැනි ධර්ම කරුණු ධර්ම ශ්‍රවණයේදී නැවත අසන්නට ලැබුණු විට සිත නින්දෙන් අවදිව සිහිවීමට පටන් ගනී.

07 කුසල් රැස්‌කිරීමේ චේතනාව

ධර්ම ශ්‍රවණයේදී අන් සියල්ල සිතින් බැහැර කොට ඊටම අවධානය යොමුකර, අඩුපාඩු සෙවීමේ අදහසින් නොව යමක්‌ ඉගෙන ගනිමියි. මතු ප්‍රයෝජනයට ගනිමි අසා දැන අන්‍යන්නට ද, ප්‍රකාශ කරමි. ඔවුන්ද රුචි නම් දහම් ඇසීමට පොළඹවමියි. ධර්ම ශ්‍රවණයේ ආනිශංස පහදා දී කුසල් රැස්‌කර ගනිමියි යන ෙච්තනාවෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ථෙර ථෙරි ගාථාවන් හි ධර්ම ශ්‍රවණ පිළිබඳ ප්‍රකාශ බණ ඇසීම කොයි තරම් හොඳද අහපු බණ අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳය. (ථෙරගාථා 36)

"ආනන්ද, නිසි කල බණ ඇසීමේ ආනිශංස හයකි". සද්ධර්ම ශ්‍රවණයේ ඒ ආනිශංස හය අංගුත්තර නිකායේ එග්ගුණ සූත්‍රයේ (846) වදාරා ඇත. ධර්ම ශ්‍රවණය කළ ආර්ය ශ්‍රාවකයා මරණාසන්න අවස්‌ථාවේ ඇසූ ධර්මය සිහිපත් කර පංච ඕරම්භාගික සංයෝජන වලින් සිත මිදෙයි, ඇසූ ධර්මය සිතින් අනුවිතර්ක කර, අනුවිචාර කර විමසත්, විමසා බලා පංච ඕරම්භාගිය සංයෝජන වලින් සිත මිදෙයි, උතුම් නිවනෙහි සිත අරමුණු කොට දෙයි, නිවන අරමුණු කොට සිත මිදෙයි, අර්ථය ප්‍රතිවේධය කරයි. අර්ථ ප්‍රතිවේධ කරන ඔහුට ධර්මය ප්‍රතිවේධ කරන ඔහුට ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදයෙන් ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සන්සිඳේ, සන්සුන් කය ඇත්තේ සැප වීඳී ස.නි. පුනබ්බසු සූත්‍රයේ පුනබ්බසුනම් යක්‍ෂ පෝතකයා සිය මෑණියන්ට කියා ඇත්තේ "සද්ධර්ම සවණං සුඛං". සද්ධම්ම ශ්‍රවණය සැපය, ප්‍රීතිය ගෙන දෙන බවයි. සුවපත් වූවන්ගේ සිත සමාහිත වෙයි. ධර්ම විචාර කරයි. අනුවිචාර, අනුවිතර්ක, අනුපේක්‍ෂා කර කමටහන් මනාව උගනී. අ.නි. 6 577 ධර්ම ශ්‍රවණය කරන්නා. බණ ඇසීමේ දුර්ලභත්වය හා බණ ඇසීමේ ආනිශංස වශයෙන් ත්‍රි වර්ග සම්පත්තිය ලැබෙන බව දැන බණ අසයි, දෙසන බණ පදයක්‌ පදයක්‌ පාසා සාවධානව අර්ථ මෙනෙහි කරමින් බණ අසයි, දහම් පදයක්‌ හෝ ගිලිහී යන්නට නොදී මුතුවැලක්‌ අමුණන්නාසේ දහම් පද සිතට ඇතුළත් කර ගනිමින් බණ අසයි, භාවනාවක යෙදෙන්නා සේ හිඳගෙන, නිසලව, සන්සුන්ව දැඩි අවධානය ඒ කෙරෙහිම යොමුකර සමාහිත සිතැතිව බණ අසන්නේ නම් සිත සමාධිගත වේ. කතාවට නින්දා නොකරයි. කතිකයාට නින්දා නොකරයි. තමාට නින්දා නොකරයි. කෙළ තොලු නැති ප්‍රාඥයෙක්‌ වෙයි. නොදන්නා දෙය දැනගත්තේ යෑයි සතුටු වෙයි. අ.නි. (692)

ආලවක සූත්‍රයේ ප්‍රඥව ලැබෙන්නේ කෙසේදැයි ඇසූ පැනයට "සුස්‌සුතා ලභතේ පුඤ්ඤං" නිර්වාණය අවබෝධයට ධර්ම ශ්‍රවණයෙන් ප්‍රඥව ලබා දෙන බව වදාළහ.

සද්ධර්ම ශ්‍රවණයේ තවත් ආනිශංස සද්ධර්ම ශ්‍රවණයෙන් සෝවාන් වේ, සද්ධර්මය දේශනා කිරීමෙන් කල්ප අසංඛයක්‌ දුගතිගාමී නොවේ, සද්ධර්මය දේශනා කිරීමට ආරාධනා කිරීමෙන් කල්ප 9 දුගතිගාමී නොවේ, සද්ධර්මය දේශනා ඇසීමෙන් කල්ප 8 ක්‌ දුගතිගාමී නොවේ, සද්ධර්මය දේශනා අසා පින් දීමෙන් කල්ප 1 ක්‌ දුගතිගාමී නොවේ, සද්ධර්ම ශ්‍රවණයෙන් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥ යන ධන 5 ද ලැබෙන්නේය.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උපත ලබා නිවන් අවබෝධයට අන්තරායකර ධර්ම 5 න් ආවරණය නොවූ අයකු සද්ධර්ම දේශනා අසා සිටී නම් ඔහු නියතව සම්බෝධිපරායන සෝවාන් ඵලයට පත්වේ.

කල්‍යාණ පෘථග්ජනයා සෝවාන් ඵලයට පත් කිරීම සෑම ධර්ම දේශනාවකම හරය වන්නේය. ආටානාටිය සූත්‍රයේ දී යක්‍ෂයන් ප්‍රකාශ කර ඇති පරිදි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ සබ්බ දුක්‌ඛාපනුදනං සියලු දුක්‌ අවසන් කිරීමටයි. ආලවක යක්‍ෂයා පවා සෝවාන් වීමට දෙසූ ධර්මය ධර්ම ශ්‍රවණයට ලැබීම වාසනාවකි.

(සෝවාන් මහ ඵල ලාභියකු වීමේ පොතෙන් උපුටා ගන්නා ලදී).
අනගාරික සම්‍යක්‌ බ්‍රහ්ම්මචාරී දයාසේන සේනාරත්න

සඟ සතු දානය

සඟ සතු දානයක් යනු බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් දන් පූජා කිරීමයි. වර්තමානයේ දන් පිළිගන්වන විටකදී ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙස සධාතුක ධාතු කරඩුව වඩමවා සඟ සතුකොට දන් පිළිගන්වති. මෙහිදී වඩමවන සංඝයා වහන්සේලා වැඩමවීමේ දී අවශ්‍ය සංඝයා වහන්සේලා ප්‍රමාණයක් සඳහන් නොවේ. එදිනම මහණ වූ එක් සාමණේර සංඝයා වහන්සේ නමකට වුව මහා සංඝයා නියෝජනය කරමින් සඟ සතු දානයක් දන් දිය හැක. එසේ ම යම් සංඝයා වහන්සේ නමක් අරමුණු කරගෙන කවර හෝ දෙයක් හෝ දානයක් පිළිගන්වන්නේ නම් එය පුද්ගලික දානයක් වේ. එය සඟ සතු දානයක් නොවේ. මහත් ඵල මහත් ආනිසංස ඇතිවන්නේ මහා සංඝයා අරමුණු කරගෙන සඟ සතු දානය පිළිගැන්වීමෙනි.

එසේ පිළිගන්වන දානය මහත් ඵල මහත් ආනිසංස ඇතිවන්නේ ධාර්මිකව ඉපයූ ධනය වැය කර දන් දීමෙනි. මේනිසා සෑම විටම යමක් මහා සංඝයා උදෙසා යම් දාන වස්තුවක් පිළිගන්වන විට ඒ සඳහා ධාර්මිකව ඉපයූ ධනය භාවිතයට ගන්න. සෑමවිටම එසේ දන් දීමේදී තුන්සිත පහදවාගෙන (දන් පිළිගැන්වීමට පෙරත් පිළිගන්වන අවස්ථාවෙත් ඉන් පසුවත් සංවර සිතින්) සීල්වත්ව දන් දීමෙන් දාන ආනිසංසය මහත්ඵල මහත් ආනිසංස ඇති වේ.

සංඝයා සඳහා සඟ සතු කර පිළිනොගැන්විය යුතු දෑ
සත්වයන් සඟ සතු නොකරයි.
ස්ත්‍රීන් සඟ සතු නොකරයි.
දාසියන් සඟ සතු නොකරයි.
ධාර්මික නොවන දෑ සඟ සතු නොකරයි.

සංඝ රත්නය භික්ෂු සහ භික්ෂූණී යනුවෙන් කොටස් දෙකකි. බුදුන් වහන්සේ දවස පටන් අද දක්වා නොකොටවා පැවැත එන්නේ භික්ෂු සාසනය පමණකි. අතීතයේ උපසම්පදා භික්ෂූණීන්ගේ නොකඩවා වර්තමානය දක්වා පැවැත ඒම නතරවීම හේතුකොට වර්තමානයේ භික්ෂුණී සාසනයක් නොමැත. නැවත භික්ෂුණී සාසනයක් ඇතිවීමට ඇති ඉඩ කඩ වන්නේ ලිංග විපර්යාසයක් වූ උපසම්පදා භික්ෂුන් වහන්සේ සතර නමකින් පමණකි. වර්තමානයේ කාන්තාවන් දස සිල් මාතාවන් ලෙස බුදු සසුන තුළ දක්නට ලැබේ. සාමණේර භික්ෂුණීන් වහන්සේලා හෝ නොමැති වර්තමානයේ සඟ සතු දානයක් එම සිල් මාතාවන්ට පිළිගත නොහැක.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X