වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

උසස්‌ අනුසස්‌ ලැබෙන ඉල්ලීම් අටක උපත

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාම නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල වූ මෙම සිදුවීම ශාසනයේ සංවර්ධනය සඳහා හේතු වූවකි. තවද උසස්‌ අනුසස්‌ ලබාගත හැකි කුසලයක්‌ද අත්පත්කරගත් පුවතකි.
දිනක්‌ බුදුසසුනේ අග්‍රදායිකා වූ විශාඛා තොමෝ බුදුරදුන් දක්‌නට පැමිණියාය. බුදුරදුන් වැඳ එකත්පස්‌ව සිටියාය. බුදුරදුන් දැහැමි කතාවෙන් කතාකොට කරුණු දක්‌වා එහි සමාදන් කරවා සතුටු කරවූහ. සතුටට පත් විශාඛාවෝ පසුදින භික්‌ෂු සංඝයා සමග සිය නිවසට වැඩම කරන්නැයි ආරාධනා කළහ. පසුදා උදෑසන මහා වර්ෂාවක්‌ ඇදහැළිණි. බුදුරදුන් භික්‌ෂුන් අමතා මේ සිවු දිවයිනට එකපැහැර වසින්නාවූ අන්තිම මේඝයයි. මහණෙනි, කය තෙමවු කීහ. භික්‌ෂුන්ද සිවුරු ගලවා තබා සිරුරු වැස්‌සෙන් තෙමන්නේය. මේ අතර විශාඛාවන්ද දහවල් දානය පිළියෙළ කරන්නේ සේවිකාවක කැඳවා කියන්නේ විහාරස්‌ථානයට ගොස්‌ දහවල් බත සූදානම් යෑයි දන්වන්න කියාය. ඇය විහාරස්‌ථානයට යන විට සිවුරු නොමැතිව භික්‌ෂුන් නානු දැක වහා දිවගොස්‌ විශාඛාවට දන්වන්නේ භික්‌ෂුන් නැති බවත්, ආජීවකයන් ඇතිබවත්ය. නුවණැති විශාඛාව නැවතද සේවිකාව යවයි. නැවත ගොස්‌ බලන විට එක්‌ අයකුදු පෙනෙන්නට නැත. ඒ වනවිට භික්‌ෂුන් නා පිරිසිදුව තම කුටිවලට ගොස්‌ සිටියේය. නැවතද සේවිකාව ගොස්‌ කියන්නේ කිසිවකු විහාරස්‌ථානයේ නොමැති බවයි. මෙය නුවණින් විමසා බලා එම සේවිකාව නැවත ද යවයි.
අනතුරුව බුදුරදුන් දහවල් දානයට වේලාව පැමිණි පසුව භික්‌ෂුන් අමතා බතට කල් යෑයි දැන්වූහ. ඒ සියලු දෙනා වහන්සේම හැඳ පොරවා පාත්‍රා ගෙන සෘද්ධියෙන් විශාඛාවගේ නිවසට වැඩම කළහ. විශාඛාවද මහ වැසි වැස ගංගා උතුරා ගියද පා නොතෙමීම මහත් ආනුභාවයෙන් සියලු දෙනා වහන්සේ වැඩම වූ බව දැන සතුටු වී එයින් ඔද වැඩී ගියෙන් කෑ යුතු දෙයින් බිඳිය යුතු දෙයින් සියතින් දන්දී පූජාකොට දානාවනාසනයෙහි බුදුරදුන් වැඳ වර අටක්‌ දෙන්නැයි ඉල්ලීය. තථාගතයෝ ස්‌ත්‍රීන්ට වර නොදෙතියි බුදුහිමි දැන්වූහ. එවිට යමක්‌ කැපද නිදොස්‌ද එබඳු ඉල්ලීම් අටක්‌ බව දැන්වූයෙන් බුqදුරදුන් මෙකරුණ විමසූහ.

එවිට විශාඛාව මෙම කරුණු අට ඉදිරිපත් කළාය.

1. දිවි ඇතිතෙක්‌ සංඝයාට වැසිසළු දීමට

2. දිවි ඇතිතෙක්‌ සංඝයාට ආගන්තුක බත් දීමට

3. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගමිකබත් දීමට

4. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලන්බත් දීමට

5. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලානෝපස්‌ථායක බත්දීමට

6. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලන් බෙහෙත් දීමට

7. දිවි ඇතිතෙක්‌ සංඝයාට නිති කැඳ දීමට

8. දිවි ඇතිතෙක්‌ මෙහෙණ සඟනට දියසළු දීමට

එවිට බුදුරදුන් මෙම කරුණු ඉල්ලීම් කළේ ඇයිදැයි මෙහි නිධානය විමසූහ. විශාඛාව ඉල්ලීම් කරන්නට හේතු ඉදිරිපත් කළාය. පළමු ඉල්ලීමට හේතු ව නම් අද දිනයේ දහවල් දානයට භික්‌ෂුන්ට දැන්වීමට සේවිකාවක විහාරස්‌ථානයට යෑවූ බවත් එහිදී භික්‌ෂුන් සිවුරු නොමැතිව වැසි දියෙන් නාමින් සිටි බවත්, එය භික්‌ෂුන් නොගැළපෙන බැවින් පළමු ඉල්ලීම කළ බවත් දැන්වීය. දෙවැනි ඉල්ලීම නම් ආගන්තුක භික්‌ෂුන් වීථියෙහි දක්‌ෂ නොවූයේ ගෝචර ස්‌ථාන නොදන්නේ විඩාපත්ව පිඬුපිණිස හැසිරෙන බැවින් දන් පිළිගැන්වීමට අවසර ඉල්ලීය. තුන්වැනි කාරණාවට හේතු කියන්නේ ගමික භික්‌ෂුන් තම පිණ්‌පාතය සොයා යන්නේ තම පිරිසෙන් මඟහැරෙන්නේය. යම් තැනකට යනු කැමැත්තේද එතැනට නොකල්හිම පැමිණෙන්නේය. එම නිසා ගමික බත්දීමට අවසර ඉල්ලීය. සිවුවැනි කාරණාවට හේතු දක්‌වන්නේ ගිලන් භික්‌ෂුන්ට හිතවූ බොජුන් නොලැබීමෙන් ආබාධ වැඩෙන්නේය. කලුරිය කිරීම හෝ වන බැවින් ගිලන්බත් සැපයීමට අවසර ඉල්ලීය. පස්‌වැනි කරුණට හේතු දක්‌වන්නේ ගිලානෝපස්‌ථායක භික්‌ෂුන් තමාගේ දානය ලැබ පසුව ඉරු නැඟී ගිය කල්හිත් දානය ගෙනයන බැවින් බත් විසිකරන බවත්, ගිලානෝපස්‌ථායක භික්‌ෂුන්ට සුදුසු කාලයෙහි දානය දීමට අවසර ඉල්ලීය. සයවැනි කරුණට හේතු දක්‌වමින් ගිලන් භික්‌ෂුන්ට හිතවූ බෙහෙත් නොලැබීමෙන් ආබාධ වැඩිවන බවත්, කලුරිය කරන බවත් දන්වා එය නොවන්නට ගිලන් බෙහෙත් සපයාදීමට අවසර ඉල්ලීය. සත්වැනි ඉල්ලීමට හේතුව නම් භාග්‍යවතුන් වහන්සේ අන්ධක වින්ද නගරයේදී කැඳ පිදීමේ අනුසස්‌ දහයක්‌ දැක්‌වූ බවත් එම අනුසස්‌ දැන නිති කැඳ පූජා කිරීමට අවසර ඉල්ලීය. කැඳ පිදීමෙන් ලැබෙන අනුසස්‌ මහාවග්ග පාලියේ භේඝඡ්ජක්‌ඛන්ධකයේ දක්‌වා ඇත්තේ මෙසේය. ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ යන අනුසස්‌ පහක්‌ද සාගින්න සන්සිඳීම, පිපාසාව සන්සිඳීම, වාතය අනුලෝම වීම, ආමාශය පිරිසිදු වීම, නොපැසී ඉතිරි වූ ආහාර පැසීම යන අනුසස්‌ පහක්‌ද ලැබේ. අටවැනි ඉල්ලීමට හේතු දක්‌වන්නේ මෙහෙණින් වහන්සේලා අචිරවතී නදියෙහි වෙසඟනන් සමග නග්නව ස්‌නානය කළ බවත්, එහිදී වෙසඟනක්‌ තරුණ කාලයෙහි කාමභෝගී වී වසයට ගිය කල්හි බඹසර වසන්නැයි ඔවුන්ට කියා ඇති බවත් එයින් වෙසඟනන් ගේ වෙහෙසීමට පත්වූ බවද, මෙහෙණන් නග්නව දියනෑම නුසුදුසු බවද පෙන්වා දෙමින් ඊට අවසර ඉල්ලීය.
එවිට ඔබ කිනම් අනුසස්‌ දැන මෙම ඉල්ලීම් කරන්නේදැයි විශාඛාවගෙන් ඇසීය. එවිට ඇය කියන්නේ ස්‌වාමීනි බොහෝ භික්‌ෂුන් සැවැතට පැමිණෙති. තවද සමහරෙක්‌ කලුරිය කෙරෙති. එවිට බුදුරදුන් ඔවුන්ගේ ගති විචාරා ඔවුහු සේවාන් වූහ. සකෘදාගාමී වූහ. අනාගාමී වූහයි කියති. ඉදින් එවන් භික්‌ෂුන්ට බතින් බෙහෙතින් සංග්‍රහ කළ බව සිහිවීමෙන් මට ප්‍රමෝදය උපදින්නේය. ප්‍රමුදිත වූ මට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීති සිත් ඇති මාගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තී සුව විඳින්නෙමි. සුව ඇත්තාවූ මාගේ සිත එකඟ වන්නේය. එය මට ඉන්ද්‍රිය භාවනාව, බල භාවනාව, බොඡ්Cධංග භාවනාව වන්නේය. ස්‌වාමීනි මේ අනුසස්‌ දන්නා මම තථාගතයන් වහන්සේගෙන් මේ වර අට ඉල්ලමි. එවිට බුදුරජාණන් වහන්සේ, විශාඛාව ඉතා යහපති කියා එම වර අට ලබාදුන් සේක.
ඉන්පසුව විශාඛාවට අනුමෝදනා පිණිස මෙසේ දේශනා කළ සේක. 'සුගතයන් වහන්සේගේ සීල සම්පන්න වූ යම් ශ්‍රාවිකාවක්‌ ප්‍රමුදිත වූවා ආහාර පාන දේද, මසුරු මළ මැඩ ස්‌වර්ගයට හිතවූ ශෝක දුරුකරන්නා වූ සුව එළවා දන්දෙන්නේද, ඕ තොමෝ දිව්‍යමය වූ ආයුෂ ලබයි. ප්‍රහීණ වූ රාගාදී රජස්‌ ඇති පව් නැති මාර්ගයට පැමිණ පින් කැමැති ඕ තොමෝ සුවපත්ව රෝග රහිතව ස්‌වර්ග ලෝකයෙහි බොහෝ කල් සතුටු වෙයි.'
මෙම දේශනාවෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ නැගිට විහාරස්‌ථානය කරා වැඩම කළ අතර එහිදී භික්‌ෂුන් අමතා මහණෙනි, වැසිසළු, ආගන්තුක බත, ගමික බත, ගිලන් බත, ගිලානෝපස්‌ථායක බත, ගිලන් බෙහෙත්, නිති කැඳ, මෙහෙණ සඟනට දියසළු අනුදනිමි' යි වදාළ සේක.
මෙයින් බුදු සසුනට ලැදි ශ්‍රද්ධා සම්පන්න උපාසිකාවන් විසින් පෙර සිට බුදුසසුනත් සඟ සසුනත් ආරක්‌ෂා කොට, සංවර්ධනය පිණිස තම දායකත්වය ලබාදුන් සැටි පෙනේ. උවසු උවැසියන්ගේ ශ්‍රද්ධා මහිමය කැපී පෙනෙන්නේ සම්මාසම්බුද්ධ ශාසනය කෙරෙහි ළැදියාවෙන් සුරක්‌ෂිත කිරීම මිස විවේචනය නොවේ. තවද භික්‌ෂු, භික්‌ෂුණීන්ගේ දියසළු පිළිබඳ සිදුවීම ඊට හොඳම උදාහරණය වේ. මෙතෙක්‌ සම්බුදු සසුන සුරක්‌ෂිත වූයේද අචල ශ්‍රදධාවන්ත උපාසක උපාසිකාවන්ගේ නොමඳ දායකත්වය මතය. එබැවින් විශාඛා උපාසිකා චරිතය නූතනයට මහත් ආදර්ශ සම්පන්න චරිතයකි. (මහා වග්ග පාලිය ඇසුරිණි.)
හොරණ රාජකීය විද්‍යාලයේ ආචාර්ය, 
ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X