අතීතයේ ලක්දිව කම්පුව නමින් ගමක් තිබුණා. හෙළදිව අවසන් මහරහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධ මාලෙය්‍යදේව හෙවත් මලියදේව තෙරුන් වහන්සේ ඒ ගම ඇසුරු කරගෙන දිනපතා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළා.
උන්වහන්සේ එක් දිනක් උදෑසනින් නැඟිට පාත්‍ර සිවුරු අරගෙන පහත හෙළාගත් ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගෙපිළි වෙළින් පිඬුසිගා වැඩියා. එසේ වඩින තෙරුන් වහන්සේ දුගී පවුල් කිහිපයක් ජීවත්වන පෙදෙසකටයි මෙදින වැඩම කළේ. එහි ජීවත්වුණා ඉතා දිළිඳු වූ, අසරණ වූ මහලු කාන්තාවක්.
ඇය ඉතා අපහසුවෙන් සකසා ගත් කැඳ ස්වල්පයක් ආහාරයට ගැනීමට උදෙන්ම සූදානම් වී සිටියා. ඒ මැහැල්ල ඒ මොහොතෙහි ම ඈතින් වැඩම කරන මලියදේව තෙරුන් වහන්සේ දුටුවා. සමීපයට වැඩම කරන තෙක් පෙරමඟ බලා සිට ශ්‍රද්ධාවෙන් කැඳ කෝප්පය පිළිගැන්වූවා. ඇය බොහෝම සතුටට පත් වුණා. බත් උළුවලින් හා පිටිවලින් මිශ්‍ර වූ ඒ කැඳටික අරගෙන තෙරුන් වහන්සේ නිදහස් ස්ථානයකට වැඩම කළා.
මලියදේව තෙරුන් වහන්සේට පිණ්ඩපාතය නො ලැබුණ බව දැනගත් පුවඟුදිවයින් වැසි මිත්‍ර තෙරුන් වහන්සේ නමක් වූ තිස්ස තෙරුන් විසින් භික්‍ෂූන් වහන්සේ දෙනමක් පිණ්ඩපාතය රැගෙන උන්වහන්සේ වෙත එවා තිබුණා. මලියදේව තෙරුන් වහන්සේ ඒ දෙනම ගෙනා ආහාර පිළිගන්ට අකමැති වුණා.
දුප්පත්, අසරණ, මහලු කාන්තාව පිළිගැන්වූ කැඳටිකම ඇයට අනුකම්පා පිණිස වැළඳුවා. එය වළඳා අවසානයේ දිවසින් බලා වැඩම කර සිටි දෙනම අමතා, ‘පින්වත් ස්ථවිරයෙනි, මා වෙත අද කැඳ පිළිගැන් වූ අසරණ මැහැල්ල සැටකල්පයක් මුළුල්ලේ මෙහි විපාක විඳීනවා”යි ප්‍රකාශ කළා.
තෙරුන්ගේ කීම ඇසූ ඒ පිණ්ඩපාත භෝජනය ගෙනා රහත් තෙරුන් වහන්සේ දෙනමගෙන් එක් නමක් ප්‍රතිඋත්තර දෙමින් “ස්වාමිනි, දුර්භික්‍ෂ කාලයේ දී දුෂ්කර දෙයක් කළ මේ උපාසිකාව සැත්තෑ කල්පයක් සැප විඳීන්නේ යැයි මට පෙනෙනවා” යි පවසා සිටියා. දෙවැනි තෙර නම ඒ බස් අසා, “මහතෙරණුවෝ ආනිශංස ස්වල්පයයි දුටුවේ. ඔබ වහන්සේත් ස්වල්පයයි දුටුවේ. මේ මැහැල්ල අසූකල්පයක් සැප විඳීන බව මට පෙනෙනෙවා’යි කියා සිටියා. ඒ භික්‍ෂු දෙනම නැවත රේවත නම් මහතෙරුන් වෙත ගොස් සැක දුරු කර ගැන්ම සඳහා ඒ කාරණය නැවතත් විමසා බැලුවා. එහි දී උන්වහන්සේ අමතා “ස්වාමිනි, ගැටලුවක් තිබේ, මාලෙය්‍යදේව තෙරුන් වහන්සේට එක් මැහැල්ලක් කැඳ දානයක් පිළිගන්වා තිබෙනවා. උන්වහන්සේ එහි ආනිශංස වශයෙන් සැටකපක් සැප විඳින බව දකිනවා.
මම සැත්තෑකපක් යැයි ප්‍රකාශ කළා. ධම්මගුත්ත තෙරුන් වහන්සේ පවසන්නේ අසූකපක් ඒ මැහැල්ල කැඳ දානයේ විපාක විඳින බවයි. තුන්දෙනා වහන්සේ ම ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් ආනිශංස ප්‍රමාණය කරමින් දකිනවා. ඔබ වහන්සේට කෙතෙක් පෙනේ දැයි කිව මැනවැ”යි විමසා සිටියා. එවිට උන්වහන්සේ දෙනම ඇමතූ රේවත තෙරුන් වහන්සේ
“පින්වත් ස්ථවිරයෙනි,
මලියදේව තෙරුන් වහන්සේත්, තොප දෙදෙනා වහන්සේත්, අල්ප සංඛ්‍යාවක් ම යි දැක තිබෙන්නේ. ඒ මහලු කාන්තාව අනූකපක් සැප විඳීමට භාග්‍ය උදාකර ගෙන තිබෙන බව මට පෙනෙනවා” යි පවසා සිටියා.
මේ භික්‍ෂු දෙනම සාගරයට ඇතුල්ව එහි වැඩ වසන මහත් ඍද්ධි ඇති නාග තෙරුන් වෙත එළඹ මේ කාරණය තවදුරටත් පැහැදිලි කර ගැනීමේ අදහසින් ඉදිරිපත් කළා.
නාග තෙරුන් වහන්සේ ඒ දෙනම කේලාසපබ්බත විහාරයට යවා එහි වැඩ වසන උන්වහන්සේගේ ශිෂ්‍යවරයකු වූ සාමණේර නමකගෙන් විචාරා දැන ගන්නට සැලැස්වූවා.
ධම්මගුත්ත තෙරුන් වහන්සේත්, අනෙක් භික්ෂුවත් එහි ගොස් සාමණේර නමට ඒ සියල්ල කියා සිටියා. හැම දෙනාගේ ම කීම් ඇසූ, පිරිසුදු නුවණැති, දක්‍ෂ වූ සාමණේර නම මොහොතක් කල්පනා කොට බලා
“මේ දානය අප්‍රමේය වූ, කල්ප වශයෙන් ගණන් කළ නො හැකි කාලයක් විපාක දෙන්නක්.
එහෙත් මෙහි වරදක් තිබේ, එය පිළිගනු මැනවි. යම් කිසිවකු විසින් පිරිසුදු සිතින් අධික ගුණ ඇත්තන් කෙරෙහි දෙන ලද දානයාගේ විපාකය ප්‍රමාණ කරන්නට යන්න එපා, එය නො වටිනා වැඩක්, අශෝභන දෙයක්, සිත කිළුටු කරන දෙයක්”යැයි දක්වමින් ධර්මාවවාද කළා.
වැඩිමහලු වූ දෙදෙනා වහන්සේ ම එය මහත් ගෞරවයෙන් පිළිගත්තා.
දන්දීමෙන් පසු එහි විපාක කොතරම් දැයි ගණනය කිරීම හෝ ප්‍රමාණය කිරීම හෝ නො වටිනා බවත්, බෞද්ධ ඉගැන්වීම්වලට නො ගැළපෙන බවත්, නිවනට බාධා පමුණුවන බවත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා.
මෙය බෞද්ධ සැදැහැතියන්ටත්, දන් දෙන සෙසු ජන කොටස්වලටත් මහත් උපදේශයක් ලබාදෙන කතා පුවතක්. දුන් දෙයෙහි වටිනාකමත්, එයින් ලැබෙන විපාකත් ගණනය කිරීම නොවැදගත් දෙයක් බවයි මේ කතා පුවතින් පෙන්වා දෙන්නේ.
ඔබ දන් දී වියදම් වූ මුදල ගණනය කිරීමටවත්, ලැබෙන ආනිශංස ප්‍රමාණය කිරීමටවත්, මැන බැලීමටවත් නො යන්න. එය පින්කමක ඇති නො වැදගත්ම දෙයයි. මෙය ඉතා පැරැණි සිංහල බණ කථාවල සඳහන් වන වටිනා කතා පුවතකි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤