වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අභය දානය දෙමු. පර පණ නොනසමු.

අලුතෑපොල ගණේකන්ද පුරාණ 
රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ චීන ඒකකයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බොහෝ දෙනා කල්පනා කරන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටීම පමණක් ප්‍රමාණත් වේ යැයි කියාය. මේ නිසා ඇතැම් අය ආගමික හැඟීමක් නැති වුවත් වෙනත් සතෙකුගේ ජීවිතයට හානි නොකරන නමුත් තව කෙනෙක් පර පණ නසන විට ඊට අනුබල දෙති. මේ පායන කාලයේ සිඳී යන වැව් අමුණු හෝ ඇළවේලි වල මාලු අල්ලන අය දුටු විට ඇතැම් අය ඒ වටේ රැස් වී සිනහ වෙමින් එය විනෝදයක් කරගන්නා අතර අසරණ මාලුවෝ ජීවිතය රැක ගැනීම සඳහා මරුවා සමඟ සටන් කරති.
අසරණ සතෙකුගේ මරණය තමන්ගේ සතුට කරගන්නා මිනිස්සු ඒ මහා පාප කර්මයේ විපාකය කොයිතරම්ද යන්න මොහොතකට වත් කල්පනා නොකරති. අප මාලුන් අල්ලන්නේත් නෑ යැයි කියමින් මාළුන් අල්ලා අවසන් වූ විට ඒ මාලු මිලට ගෙන සතුටු සිතින් යුතුව ගෙදර යන මිනිස්සු තමන් ද ඒ මහා පාප කර්මයට හවුල් වූවා යැයි කිසිසේත් නොසිතති.
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කාලයේ ධම්මික නම් උපාසකයෙක් උපාසකයන් පන්සියයක් සමඟ බුදුරදුන් දැකීමට පැමිණියේය. එසේ පැමිණි ධම්මික උපාසකයා බුදුරදුන්ගෙන් විමසුවේ ගිහි පැවිදි දෙපිරිස අතර උසස් වූ ප්‍රතිඥාවක් ඇතිව කටයුතු කරන්නේ කෙසේද කියායි. එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගහට්ඨ වත්තා පන වෝ වදාමි 
යථාකරෝ සාවකෝ සාධු හෝති 
න හේ සෝ ලධ්භා සපරිග්ගහේන
විස්සේතුං යෝ කේවලෝ භික්ඛු ධම්මෝ” 
“හොඳ යහපත් ගිහි ශ්‍රාවකයෙකු වීමට 
අවශ්‍ය ගිහිවත මම ඔබට දේශනා කරමි 
ලෞකික සැප සම්පත් විඳින ගිහියෙකු ලෙස 
ඔබට උතුම් භික්ෂු ධර්මය පිළිපැදිය නොහැකිය” 
“පානංන හානේ නච ඝානයෙය්‍ය
නචනුජඤ්ඤ හනතං පරේසං 
සබ්බේස භුතේසු නිධාය දණ්ඩං 
යේථාවරා යේච නසන්ති ලෝකේ.

ලෝකයේ තැන්පත් වූ හෝ තැතිගත් යම් සත්ත්වයෝ සිටිත් නම්, ඒ සියලුම සත්ත්වන් කෙරෙහි පහර දීම් වලින් තොරව, මෛත්‍රියෙන් යුක්තව ප්‍රාණඝාතයෙන් වළකින්නේය. ප්‍රාණඝාතය නොකරවන්නේය. ඊට අනුබල ද නොදෙන්නේය.” (ධම්මික සූත්‍රය 18-19 ගාථා)
මෙම ගාථා දෙකෙන් පැහැදිලි වන්නේ යහපත් භික්ෂුවක් වීමට පෙර මනුෂ්‍යයා යහපත් ගිහියෙකු විය යුතු බවය. මේ සඳහා පළමු කොටම ප්‍රාණඝාතයෙන් තොර ප්‍රතිපත්තියක් ගිහියා විසින් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව මනාව පැහැදිලි වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කොට වදාළේ මෛත්‍රියෙන් යුක්ත පුද්ගලයා තමන් ප්‍රාණඝාතය නොකරන අතර අනුන් ලවාද නොකරවන බවත්, ඊට අනුබලයක් වත් නොදෙන බවත්ය. ඊට හේතුව නම් ඒ පුද්ගලයාගේ සිතේ පවතින අප්‍රමාණ මෛත්‍රී සහගත ස්වභාවයයි.
මේ අනුව මෛත්‍රී සහගත පුද්ගලයා තම සතෙකුගේ පණ නොනසන අතරම මෙත් සිතින් යුතුව අන් සතුන්ගේ සිත් තුළ ඇති බිය ද දුරු කරයි. එනම් මරණ බිය නැති කරයි. අභය දානය යනු සතෙකුගේ සිතක තිබෙන මරණයට ඇති බිය දුරු කර බියෙන් තොරව ජීවත්වීමට ඉඩකඩ සැලැස්වීමයි. පණ ඇති සතෙකුට එබඳු සැනසීමක් ලබාදීම අපමණ කුසලයකි. එම කුසලය මෙලොව දී ම පළ දෙන මහා අනුසස් ඇති පිනකි. මේ සඳහා දක්නට ලැබෙන වර්තමාන උදාහරණ රාශියකි.
ඒ අතර අලුතෑපොල වසන එක් මාතාවකගේ සිද්ධිය මෙහිදී පළමු කොටම සඳහන් කළ හැකිය. මාතාව අප දායිකාවක් වන අතර රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතාම භයානක ලෙස අඩුවීම නිසා ඇය රෝහලේ නතර වී ප්‍රතිකාර ගත්තාය. ඇයගේ තත්වය දින කීපයක් තුළ ඉතාමත්ම නරක තත්ත්වයට පත්වූ අතර ඇය පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි බව වෛද්‍යවරු දරුවන්ට ප්‍රකාශ කළහ.
මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ සිටින ඤාතිවරු පිරිසක් එම මාතාවට සෙත් පතා අභයදානමය පින්කමක් කිරීමට තීරණය කළහ.
ඒ අනුව ඔවුහු ගවඝාතකාගාරයකට ගොස් එදින මරා දැමීමට නියමිතව සිටි ගවයෙකු නිදහස් කළහ. මේ සඳහා ගිය වියදම ඔවුන් රැස්කර ගත්තේ මුදල් සම්මාදම් කර ගෙනය. මෙම අභයදානමය පින්කමට ඔවුහු බොහෝ දෙනෙකු දායක කරගත්හ. අවසානයේදි ගවයා මරණයෙන් නිදහස් කරගෙන එම සතාට නිරුපද්‍රිතව ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරදුන් වහාම එම මාතාවගේ පිරිහී තිබුණ සෞඛ්‍ය තත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත් වන්නට වූ අතර වෛද්‍යවරුන්ද පුදුමයට පත් කරවමින් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලැබුවාය. දැන් ඇයගේ වයස අවුරුදු 85 කි.
අභයදානයෙන් සැනසීමට පත් විශාල පිරිසක් පිළිබඳ තොරතුරු අප සතුව පවතී. ඒ අතර රථවාහන කාර්මිකයෙකු ලෙස කටයුතු කළ මා නමින් නොහඳුනන පන්වතාගේ සිද්ධිය මෙසේය.
ඔහු දිනක් තැතිගත් ස්වරූපයෙන් මා හමුවට පැමිණියේය. “මට ස්වාමින් වහන්සේට යමක් කීමට අවශ්‍යයි” ඔහු කීවේය. “කියන්න” මම කීවෙමි. “ස්වාමීන් වහන්ස මම වාහන අලුත්වැඩියාවක් සඳහා යන විට කෑගල්ලේ දී ඉතා භයානක රිය අනතුරක් දැක්කා. අප ඉදිරියෙන් පැමිණි ත්‍රි රෝද රථයක් පාලනය කරගත නොහැකිව වම්පැත්තේ ගමන් කළ බස් රථයක හැපී යට වී එහි ගමන් කළ මිනිසුන් තුන් දෙනෙකු මළ මිනි සේ එලියට ගත්තා. එදා පටන් මට රෑට නින්ද යන්නෙ නැහැ. අදට සතියක්”.
“එම අනතුර ඔබ අතින් සිදු වූ එකක් නොවෙයිනේ. ඒ නිසා ඇයි තැති ගෙන ඉන්නේ” මම ඔහුව අස් වැසීමට එසේ කීවෙමි නමුත් කුමන ආකාරයෙන් පැහැදිළි කළත් ඔහු සුවපත් නොවන බව දකින්නට ලැබුණූ අතර අවසානයේදි මා ඔහුට ප්‍රකාශ කළේ ඔබ මීගමුව දෙසට යන විට මැරීමට කූඩු කර සිටින කුකුළන් කීපදෙනෙක් ඒ විපතට පත් අය සිහිපත් කර නිදහස් කරන ලෙසයි. දින කීපයක් ගත විය. එක් දිනක් රාත්‍රි කාලයේ ඔහු මා හමුවීමට නැවත පැමිණියේය.
එවර ඔහු බොහෝ සේ තැන්පත් වී සිටියේය. ඒ වගේම ඔහු සැනසීමට පත් වූ බව ඔහුගේ මුහුණින් දිස්විය.
ස්වාමින් වහන්ස, මම එදා රාත්‍රියේම පාර ළඟ මැරීමට කූඩු කර සිටි කුකුළන් කීප දෙනෙකු ම මිලට ගෙන ළඟ දේවාලයක ප්‍රසිද්ධියේම නිදහස් කළා. ඒ සතුන් අදටත් නිිරුපද්‍රිතව ඉන්නවා. මම ඒ පිං විපතට පත්වෙච්ච අයට අනුමෝදන් කළා. ඒක මට ඉතා විශාල සහනයක්”.
මේ පුද්ගලයාගේ සිතේ තිබුණ සැනසීම ඔහුගේ වචනයෙන් මෙන්ම මුහුණින්ද මනාසේ දැක ගත හැකි විය. මේ නිසා තමන් විසින් නොකරන ලද වරදක දී වුවත් තම සිත වද දෙන අවස්ථාවලදී සැනසීම පතා අභයදානමය පින්කම් කළ හැකි බව අප අමතක නොකළ යුතුය.
සියලු සතුන් වෙත මෙත් සිත පතළ කළ බුදුරදුන්ගේ මග යමින් අපිද පරපණ නොනසමු. අභය දානය දෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X